සිංහල සාහිත්ය විශ්ව කෝෂය - ඩේවිඩ් කරුණාරත්න 1953.pdf
- කතෘ :
- ඩේවිඩ් කරුණාරත්න
- ප්රකාශිත වර්ෂය :
- 1953
- මුද්රිත වර්ෂය :
- 1953
- පිටු ගණන :
- 892
- බාගත කිරීම් ගණන :
- 12
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 186 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිංහල සාහිත්ය විශ්ව කෝෂය යනු ප්රවීණ ලේඛක ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සම්පාදනය කරන ලද, සිංහල භාෂාවේ සම්ප්රදාය, උපමා, ප්රස්තාව පිරුළු, අලංකාර, ආප්ත වචන හා ජනසම්මත වාක්ය ආදිය අකාරාදී ක්රමයෙන් පෙළගස්වා අර්ථ හා නිදර්ශන සහිතව විවරණය කළ විශිෂ්ට කෝෂ ග්රන්ථයකි.
කතුවරයා විසින් කෘෂිකර්ම අමාත්යාංශය වෙනුවෙන් කෘෂිකර්ම ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම සඳහා ලක්දිව නන් දෙස ගම්බද ජනතාව ඇසුරින් ගොවි වදන් හා ගැමි ව්යවහාරයන් රැස්කිරීමේදී හමු වූ අභාවයට යමින් පැවති රසවත් පිරුළු, උපමා හා විසිතුරු යෙදුම් රැකගැනීමේ අරමුණින් මෙම කෘතිය බිහි කර ඇත. පුරාතන හා නූතන සම්භාව්ය සාහිත්ය ග්රන්ථවලින් මෙන්ම ගැමි ජනප්රවාදයෙන් ද නිදර්ශන උපුටා දක්වමින් මෙහි අර්ථ පැහැදිලි කර තිබේ.
ප්රවීණ විද්වතකු වූ මහාචාර්ය ඩී. ජේ. හෙට්ටිආරච්චි මහතාගේ ප්රශංසාත්මක ප්රස්තාවනාවකින් සමන්විත මෙම ග්රන්ථය, 1953 වර්ෂයේදී කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
ප්රස්තාවනා. (ශ්රී ලංකා විශ්ව විද්යාලයේ සිංහලය පිළිබඳ මහාචාර්ය්ය ඩී. ජේ. හෙට්ටිආරච්චි (ඇම්. ඒ., පී. එච්. ඩී.) මහතා විසිනි.)
කවර ජාතියක වුවත් ජීව රුධිරය එම ජාතියේ භාෂාවයි. කලක්ම පරාධීනව සිට මෑතදී ලත් ස්වාධීනත් වයෙන් ඔද වැටී සිටින සිංහලය ද සියල්ලන්ගේ ගෞරව යට හා සැලකිල්ලට භාජනව සිටී. සිංහලය රජයේ භාෂාව කළ යුතු යයි සම්මතවී ඇතත් එය ක්රියාවෙහි යෙදීම සඳහා අවශ්ය විධිවිධාන වඩාත් අන්ලස්ව සම්පාදනය විය යුත්තේමැයි. නිදහස් මිනිසුන් ලෙස අප සිතන්ට මතන්ටත්, ඒ සිතුම් පැතුම් මවු බස වූ සිංහලයෙන් ලියන්ට කියන්ටත් පුරුදු විය යුතුයි. නිදහස් සුවද වැහෙන පොත් පත් සුලභ කට යුතුයි. ජාතික ගෞරවය සැලසෙන ප්රෞඪ සාහිත්යයක් ඇතිවන පරිදි සිංහලය පෝෂණය කළ යුතුයි. සිංහල ග්රන්ථ හදාරන්නවුන්ගේත් සෑම උවමනාවක් සඳහාම සිංහලය ව්යවහාර කරන්නවුන්ගේත් පහසුව හා ප්රයෝජනය සඳහා නා නා ප්රකාර ශබ්ද කෝෂ පාරිභාෂික ශබ්ද මාලා ආදිය ද සම්පාදනය කට යුතුයි.
ලෝකයේ දියුණු රටවල් දෙස බලන කල ඒ ඒ රටවල භාෂාවන්ගෙන් ඒ රටවල භාවිතයට අවශ්යවූ කෝෂ ග්රන්ථ ආදිය මොනවට පිළියෙල වී තිබෙන බැව් පෙනේ. සිංහලයේ සොහොයුරු තන්හි පවත්නා වංගාදී භාෂාවන්ගෙන් පවා විශ්වකොෂ, පර්ය්යාය ශබ්ද කොෂ, විරුද්ධාර්ථ කොෂ, “චලන්තිකා” වැනි කථා ව්යවහාර ගත ශබ්දයන්ගේ කොෂ, ආදී නොයෙක් අයුරින් පිළියෙළ කළ ශබ්ද කෝෂ එමට දක්නට ලැබේ. වංගාදි භාෂාවන්ට තරම්ම විශාල භාග්යයක් සිංහලයට නොමැතත් භාග්යසම්පන්න යුගයක් සිංහලයටත් උදාවීමේ ලකුණු කලක සිට පහළ වී තිබේ. රාජකීය ආසියාතික සමාගමේ හා ලංකාණ්ඩුවේද මෙහෙයීමෙන් සම්පාදනය කරගෙන යනු ලබන සිංහල ශබ්ද කෝෂය නිමවූ විට සිංහලයට ඒ තාක් පැවති බලවත් අඩුපාඩුවක් නිසැකින්ම එයින් පිරිමැසිය යුතුයි. සිංහල උගත් නොයෙක් වියතුන් විසින් සම්පාදනය කරනු ලබන අනෙක් අනෙක් ශබ්ද කෝෂයන්ගෙන් ද සිංහලයට මහත් රුකුලක් ලැබෙනු නොඅනුමානයි.
මෙම ග්රන්ථයේ කර්තෘ භූත ඩේවිඩ් කරුණාරත්න මහතුන් විසින් ද කලක්ම මහත් පරිශ්රමයක් දරා පොතපතෙහි මෙන්ම කථා ව්යවහාරයෙහිත් දක්නා නොයෙක් වාක්ප්රයොග, ප්රස්තාව පිරුළු, සම්ප්රදාය වාක්ය, ආප්ත වචනාදිය එක් කොට මහජනයාගේ ප්රයොජනය සඳහා සම්පාදිත මෙම කෘතිය සිංහල සාහිත්ය රසිකයින්ට අතිශයින් ප්රයොජනවත් විය යුත්තේමැයි. කරුණාරත්න මහතුන් විසින් දරන ලද උත්සාහය ප්රශංසාර්හ බවත්, එය බොහෝ දුරට සාර්ථක වී තිබෙන බවත් කවරෙකුට වුවත් වැටහී යා යුතුයි. සිංහලයාගේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආචාර විචාර ආදිය බෙහෙවින්ම ගැබ්වී ඇත්තේ ගම්බද පරිසරයෙහි හා ඒ ආශ්රයෙන් ලියන ලද පොත් පත්හිද වේ.
සිංහල ප්රස්තාව පිරුළු එක් කොට මීට පෙර ද නොයෙක් භවතුන් විසින් පත්ර සඟරා ආදියෙන් ද වෙනම පොත්පත් වශයෙන් ද පළ කර තිබෙනු දුටිමු. එබඳු පොත්පත් ආදිය දැන් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ කවර පොතක වුවත් පළ නොවූ නොයෙක් ප්රස්තාව පිරුළු ආදිය ද විශේෂ වාගුක්තීන් ද කලක් මුළුල්ලෙහිම එකතු කොට අකාරාදි වශයෙන් ඒවා පිළියෙල කොට විස්තර හා නිදර්ශන පාඨත් සහිතව මෙ සේ පළ කරවීම ඉතා වැදගත් ශාස්ත්රීය සංග්රහයෙකි. “සිංහල බෞද්ධයා” පත්රයේ කර්තෘවරයා හැටියට සාහිත්යයත් රටටත් විශාල සේවයක් සිදු කළ ජාත්යානුරාගී සුප්රසිද්ධ ලේඛකයකු හා ග්රන්ථ කර්තෘවරයකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා, මේ කෘත්යය කරණකොට ගෙන සිංහල සාහිත්ය රසිකයින්ගේ කෘතඥතාවට පාත්ර වනු නොඅනුමානයි. ඒ ඒ පද වාක්ය ආදි විවිධ යෙදුම්වලට නිදර්ශන දැක්වීමෙහිදී ග්රන්ථ කර්තෘ දක්වා ඇති දස්කම නූතන හා පුරාතන සිංහල සාහිත්යයත්, ජනසම්මත සාහිත්යයත්, කථා ව්යවහාරයත් සම්බන්ධයෙන් තමන් සතුව ඇති පෘථුල ඥානයට ඉඳුරා දෙස් දෙන්නේය. රැකී රක්ෂාවක් වශයෙන් හෝ අනුන්ගේ මෙහෙයීමකින් හෝ නොව, සිංහලය කෙරෙහි ඇති හෘද ඇල්මෙන් හා භක්තියෙන්, නිස්සරණාධ්යාශයෙන් හා යථාවකාශයෙන් කරන ලද මෙම ග්රන්ථයෙන් සිංහලයන්ට මහදොපයක් සැලසේවා! කල්යාමකින් වුවත් මීටත් වඩා විශාල වූ විශිෂ්ට වූ මෙබඳු දෙවන කෘතියක පහළවීමට මෙයින් මං සැලසේවායි ද ප්රාර්ථනය කරමු.
මීට,
ඩී. ජේ. හෙට්ටිආරච්චි
“ශ්රීධර” හැඳල, වත්තල
ඩී. ජේ. හෙට්ටිආරච්චි
“ශ්රීධර”
හැඳල, වත්තල
කර්තෘගෙන්.........
වැඩක් කෙළෙමි. එහෙත් එය වූ කලි සිතා මතා කළ වැඩක් නොවේ. දඹුල්ලත් වැඳ ගෙන එන අතරමගදී සිදු වුණු දස් කමක් පමණකි.
දිවයිනේ නා නා පළාත්වල ප්රචලිතව පවත්නා ගොවි සාහිත්යයෙන් වචන එක් රැස් කොට ‘කෘෂිකර්ම ශබ්ද කෝෂයක්’ සම්පාදනය කිරීමේ කෘත්යය මෙයින් පස් වර්ෂයකට එපිට දී කෘෂිකර්ම අමාත්යාංශය මගින් මා වෙත පවරන ලදී. කෘත්යය භාරදූර විය. ලංකාවේ අස්සක් මුල්ලක් නොහැර ඇවිද, ඒ ඒ පළාත් බද ජනතාව අතර මුල් බැස ගෙන තිබුණු ජන සම්මත ගොවි වචන රාශියක් එක් තැන් කරන්නටත්, “කමත් භාෂාව”, “කැලෑ භාෂාව” හා “වැදි භාෂාව” ද අළලා බලන්නටත්, මෙ හේතුවෙන් සිදු විය. වන්නිකරයේ හද්ද පිටිසර ගමටත්, ගොවියන්ගේ ගොවිපලෙන් ගොවිපලටත්, ගම්බද දැනුමැත්තන්ගේ පැල්පතින් පැල්පතටත් ගොවි වචන සොයා ගිය මේ ගමනේදී මට අසන්නට ලැබුණු — මින් පෙර නො ඇසූ විරූ අපූරු පිරුළු බොහෝ විය. සිත් කාවදින උපමා කථා බොහෝ විය. ගරබර ගැමි වදන් බොහෝ විය. ජනසම්මත කාව්ය රීතිත් වැඩි විය.
ගුරුළුගෝමීන් ‘අමාවතුර’ අමරණීය කළ උපමා — විද්යාචක්රවර්තීන් ‘බුත්සරණය’ විසිතුරු කළ යෙදුම් — පූජ්ය ධර්මසේනයන් ‘සද්ධර්මරත්නාවලිය’ අජරාමර කළ ගොවි වදන් ආදිය, අමාවතුර, බුත්සරණය, හෝ සද්ධර්මරත්නාවලිය නාම මාත්රයෙන් පවා අසන්නට නොලදහයි සිතිය හැකි ගැමි ජනතාවගේ මුවගැ නිසඟයෙන් ම රැඳී ගැළී පවත්නු, මේ ගමනේ දී මට දකින්නට ලැබිණි. දිය බිඳක් නැති මරු කතරකදී සිහිල් දිය බිඳක් ලද පිපාසිතයකුගේ ප්රීතිය, මා තුළද ඇති වී යයි කීම අතිශයෝක්තියක් නොවේ. හෙළ උරුමයේ නුමුහුන් බවට දෙස් දුන් ඒ චමත්කාරජනක පද-වැකි හා කවි, ගොවි සාහිත්යයේ වචන සොයා දුර ගමනක් ගිය මගියාගේ දාහය නිවීමට වට සිරි පොද වැස්සක් බඳු වී ය. ගඟ අද්දර නිදා සිටින ගල් කැට, වට වී - මට වී - සිලිටි වී කවාකාරය ලැබූයේ ශෛල ශිල්පියාගේ යකුල් පහර නිසා නොව, ගඟ දියේ සදාකාලික නැටීම හා ගී කීම නිසා බවත්, එලෙසින් ම හෙළ උරුමය හැඩ ගැසුණේ පණ්ඩිතයන්ගේ වියරණ අවිවුල නිසා නොව ගැමියාගේ ගැමි ව්යවහාරය නිසා බවත් මට ඒකාන්තයෙන් ඒත්තු ගියේ ය.
‘කෘෂිකර්ම ශබ්දකෝෂය’ සම්පාදනය කෙළෙමි. ඉක්බිති සිංහලයන්ගේ රසවත් කියුම් හා යෙදුම් ග්රන්ථාරූඪ කරන්නට මට සිතක් පහළ විය. එහි ප්රතිඵලය මේ “සිංහල සාහිත්ය විශ්වකෝෂය” යි. මෙය සිතා මතා කළ දෙයක් නොව දඹුල්ලත් වැඳගෙන එද්දී කෙරුණු ‘තලගොයි දඩයමක්’ බඳු බව ආදියේ ම කීයේ එහෙයිනි. සිංහල සාහිත්යයේ විවිධ යෙදුම් අකාරාදි ක්රමයෙන් දක්වුණු බැවින් ග්රන්ථයට මේ නම යෙදිණි.
සිංහලයේ රසවත් යෙදුම් අභාවයට යමින් පවතී. ගම්බද පරිසරයේ ව්යාප්තව පවත්නා, ගම්බද ජනතාවගේ දිනපතා වචන මාලාව දිප්තිමත් කරන, ස්වභාව සෞන්දර්ය්යය මෙන් ම අව්යාජ වූ හද පුබුදුවන පද-යෙදුම්-හා වචන ද, නාගරික ආක්රමණයෙන් දූෂණය වේගෙන එයි. අපේ එදිනෙදා ව්යවහාරයේ ගැබ්වී ඇති — වැඩිහිටි දැනුමැත්තන්ගේ මුව අගින් නිති පතා ගිලිහෙන-රස බර පද, වැකි, කැලෑ මල් මෙන් උන් සිටි සලකුණක්-සේයාවක්-පවා නො තබා වැසී වැනසී යන්නේය. අපේ සභ්යත්වය, අපේ සංස්කෘතිය හා අපේ සාහිත්යය, අනුරාධපුරයේ දාගැබ් ටික නිසාත්, පොළොන්නරුවේ ගල් කැටයම් ටික නිසාත්, කාවන්ට වේයන්ට මීයන්ට ගොදුරු නොවී මකුළු දැල් හා වවුල් ගඳ මැද වදයෙන් පොරයෙන් බේරී තිබුණු පුස්කොල පොත් ටික නිසාත් යමතම රැකුණු නමුත්, අපේ රසවත් යෙදුම් නම් රැකෙන අතක් පෙනෙන්නට නැත්තේය. එබඳු යෙදුම් රැස්කොට, පුරාතන හා නූතන සිංහල සාහිත්යයෙන් පමණක් නොව ජනප්රවාදයෙන් ද, “ගැමී” යැයි ඇතැම් “සැබියන්” විසින් බැහැර කරනු ලැබිය හැකි ගම්බද කථා ව්යවහාරයෙන් ද, කවි කොළ සාහිත්යයෙන් ද, නිදර්ශන දක්වන්නට උත්සාහ කෙළෙමි. එහෙයින් ගුරුළු ගෝමින් හට මෙන් ම සබේ විදුනෙටත්, විද්යාචක්රවර්තීන් හට මෙන් ම ජෝන් පෙරේරාට ත්, සැවැති පැරකුම්බාවන් හට මෙන් ම මෑතකාලීන ලේඛකයන් හට මෙන් ම සිහිල් පද්යයට මෙන් ම ‘කවි’ කොළයටත්, ගල් සන්නසට මෙන්ම ගැමි වට්ටෝරුවටත් මේ ග්රන්ථ වේදිකාවේ නිසි අසුන් ලැබී ඇති බව පාඨකයන්ට පෙනී යනු ඇත.
ප්රස්තාව පිරුළු උපන්නේ ගැමියාගෙනි. ගොවි කර්මාන්තය එහි පසු බිම විය. එබඳු පිරුළු අද බෙහෙවින් ම ව්යවහාර වන්නේ බාහිර වචන සංක්රමණ යෙන් නො කෙලෙසුණු පිටිසරෙහී නමුත්, මේ ගැමි පිරුළු වර්තමාන ශිෂ්ට සිංහල සම්ප්රදායෙහිදු අංගයක් වී ඇත්තේය.
කෝෂය, ව්යාකරණය, තර්කය, අලංකාරය යන ශාස්ත්ර සතරක් ම භාෂාවක් ව්යවහාර කරන ජනතාවක් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ම භාවිතා කරනු ලැබේ. කෝෂයෙන් කථාව වාංමය වෙයි. ව්යාකරණයෙන් ව්යාකරණීය වෙයි. තර්කයෙන් බුද්ධිගෝචර වෙයි. අලංකාරයෙන් චිත්තානන්දනය කෙරෙයි: ව්යවහාරය වූකලී නොයෙක් විට ශාස්ත්ර විරෝධි විය හැකි වුවත් අශික්ෂිතයන් පවා ස්වකීය දිනපතා ව්යවහාරයෙහිදී මේ චතුර්විධ ශාස්ත්ර අභ්යාස කරන බව සත්යයකි. ගැමියකු හට පහරක් දුන් කල “මෙන්න මා මැරුවෝ!” යනුවෙන් හෙතෙම මොර ගසයි. ඔහුගේ ඒ කීම ශ්රූයමාණාර්ථයෙන් සැලකුවහොත්...