සංඛ්යා ධම්ම - වලතර සෝභිත හිමි 2009.pdf
- කතෘ :
- වලතර සෝභිත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2009
- මුද්රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 244
- බාගත කිරීම් ගණන :
- 3
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 22 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සංඛ්යා ධම්ම යනු ත්රිපිටකය හා පාලි-සිංහල බෞද්ධ සාහිත්ය ග්රන්ථයන්හි විසිරී ඇති සංඛ්යාත්මක ධර්ම කරුණු එක්තැන් කොට සැකසුණු ප්රයෝජනවත් අත්පොතකි. මෙය සම්පාදනය කරන ලද්දේ ගාල්ලේ ගල්වඩුගොඩ පරමවිචිත්රානන්ද මහා විහාරවාසී ශාස්ත්රපති පූජ්ය වලතර සෝභිත නාහිමියන් විසිනි. කතුවරයා මීට පෙර පළ කළ ‘ධම්ම මාලා’ කෘතියේ නවතම සංස්කරණයක් වශයෙන් මෙය ඉදිරිපත් කර ඇත.
පාසල් දරුවන්ට, ගුරුභවතුන්ට, ධර්ම දේශකයන්ට මෙන්ම සාමාන්ය පාඨකයන්ට ද පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් ඒකක ධර්මයන්ගේ සිට අංක 38 දක්වා ද, ඉන්පසු දාන, ශීල, භාවනා සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්රඥප්ති ආදී විවිධ සංඛ්යාත්මක කරුණු විස්තරාත්මකව හා ලුහුඬින් මෙහි අන්තර්ගත කොට තිබේ.
මෙම කෘතිය 2009 වසරේදී කොළඹ සමයවර්ධන පොත්හල මඟින් ප්රකාශයට පත් කරන ලද්දකි.
පෙරවදන
සංඛ්යා ධම්ම නමැති මෙම ග්රන්ථයෙන් ත්රිපිටකය පුරා විසිරී ඇති සංඛ්යාත්මක ධර්ම කරුණු හා බෞද්ධ සාහිත්ය ග්රන්ථයන්හි දක්නට ලැබෙන සංඛ්යාත්මක කරුණු සංගෘහිත වී තිබේ. ත්රිපිටකයෙන්, පූජාවලිය, රත්නාවලිය ආදි ධර්ම සාහිත්ය ග්රන්ථයන්හිත් ඇති සංඛ්යාත්මක ධර්ම කරුණු බොහෝ සේ දක්නට ලැබේයි. ඒවා එකතු කර ගැනීම බෙහෙවින් දුෂ්කර කරුණකි. එම දුෂ්කර කරුණ තරමක් දුරට හෝ සාර්ථක කර ගැනීමට ප්රබල උත්සාහයක යෙදුනෙමි. එහෙත් අභිධර්ම පිටකයේ දක්නට ලැබෙන සංඛ්යාත්මක ධර්ම කරුණු තෝරාගැනීමේ දී මම බෙහෙවින් ප්රවේශම් වුනෙමි. එම කරුණු සාමාන්ය පාඨකයන්ට එතරම් ප්රයෝජනවත් නොවන නිසා අවශ්යම කරුණු කීපයක් පමණක් තෝරා මෙම පොතට ඇතුළත් කළෙමි.
මේ ග්රන්ථයේ බොහෝ කටයුතු නිමාවට පත්වූයේ මා බටහිර ඕස්ට්රේලියාවේ පර්ත් නගරයේ ගත කළ කාලයේදී ය. එහිදි මට ලැබුණු විවේකය මේ කාර්යය සාර්ථක කර ගැනීමට බොහෝ දුරට ඉවහල් විය. එහිදී සිංහල බෞද්ධ පොත් පත් සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර කරුණක් විය. එය මේ පොත සකස් කිරීමේ දී මා මුහුණ දුන් ලොකුම ගැටළුව විය. කාලයක් තිස්සේ පොත්පත් කියවන අවස්ථාවන්හි සංඛ්යාත්මක ධර්ම කරුණු දුටු විට ඒවා සටහන් කර තබා ගැනීමේ පුරුද්දක් මා සතු විය. මේ පොත සකස් කිරීමේ දී ඒවා බෙහෙවින් මට උපකාරී විය. මගේ මෙම උත්සාහය කෙතෙක් දුරට සාර්ථක වීද යන්න මට නිගමනය කිරීමට පුළුවන් කමක් නැත. එය පාඨකයා සතු කාර්යයකි. සමහරවිට විවිධ අඩුපාඩුකම් හා වැරදි තිබෙන්නට පුළුවන. ඉක්මණින් ම මුද්රණ කටයුතු අවසන් කර ගැනීමට බලාපොරොත්තු වූ නිසා කරුණු පෙළගැස්වීම එතරම් ම ක්රමානුකූලව කරගත නොහැකි විය. එය මා දකින ලොකුම අඩුවයි. එහෙත් සිදු වී ඇති අඩුපාඩු හිතාමතා කළ ඒවා නොවන නිසා යම් තරමක සැනසීමක් තිබේ. මේ ග්රන්ථය සකස් කිරීමේ දී සංඛ්යා ධර්ම දීපනිය, පාලි නිඝණ්ඩුව බෞද්ධ කෝෂ ග්රන්ථ හා මෙතෙක් බුද්ධ ධර්මය පිළිබඳව ලියැවී ඇති සෑම බෞද්ධ ග්රන්ථයකින් ම මම කිසියම් දෙයක් ලබාගෙන ඇති නිසා මට උපකාර වූ ග්රන්ථ නාමාවලියක් මෙහි දැක්වීමට පෙළඹුනේ නැත. කෙසේ වෙතත් බුද්ධ ධර්මය පිළිබඳව විවිධ ග්රන්ථ සම්පාදනය කළ සියළු ම උගත් කතුවරයන්ට මගේ කෘතඥතාවය නිතැතින් ම පිරිනැමේ. වෙන් වෙන් වශයෙන් කර්තෘ වරයන්ගේ නම් හා පොත් වල නම් දැක්වීමට නොහැකි වීම ගැන බෙහෙවින් කණගාටු වෙමි.
සංඛ්යා ධම්ම දීපනිය වැනි ග්රන්ථයන් ඉතාම උසස් තත්ත්වයෙන් තිබුණත් එම පොත් වල අඩංගු කරුණු ආධුනිකයන්ට තේරුම් ගැනීමට බෙහෙවින් අපහසුය. එම ග්රන්ථ පාලි භාෂාවට බෙහෙවින් නැඹුරු නිසා පාසල් දරුවන්ට ගුරුභවතුන්ට ලැබිය හැකි ප්රයෝජනය අල්පය. මගේ උත්සාහය එම දුෂ්කරතාවය මග හැරීමයි. ගුරු උපදේශක සේවයේදීත් පාසල්හි පවත්වන ලද දේශනයන්හිදීත් මගෙන් ගුරු භවතුන් හා සිසු දරු දැරියන් අසන ලද ප්රශ්න මේ කාර්යයට මා මෙහෙයවීය. මෙවන් ග්රන්ථයක් එළිදැක්වීමට මා මෙහෙය වූ ප්රධාන ම හේතුව එය විය. වරින් වර ගුරු පුහුණු සම්මන්ත්රණයන්හි දී ගුරු භවතුන් පසළොස්වරණ ධර්ම, අෂ්ටවිද්යා මොනවාද වැනි ප්රශ්න විචාරන අවස්ථාවන්හි මෙවැනි ග්රන්ථයක් කළහොත් මැනවි යන අදහස මා සිත පිළිසිඳ ගැනිණි. එම අදහස වඩාත් කුළු ගැන්වූයේ මා වරක් ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්යාලයේ අධීක්ෂණයට ගිය අවස්ථාවේදී ය. එහිදී එක් ගුරුතුමියක් තුන්සිත කුමක්දැයි මගෙන් ප්රශ්න කළාය. එකවර පිළිතුර මගේ මතකයට නගා ගත නොහැකි විය. පාසලෙන් එන අතර මගදී පිළිතුර මගේ සිතට නැගුණි. එවෙලෙහි ම මෙවන් ග්රන්ථයක් කළ යුතුය යන අධිෂ්ඨානය ඇති කර ගතිමි. එම අධිෂ්ඨානයේ ප්රතිඵලය මෙම සංඛ්යා ධම්ම ග්රන්ථයයි. ධර්ම දේශන පවත්වන අවස්ථාවන්හි, දේශන වලදී පන්ති වල ඉගැන්වීම් කාර්යයේ යෙදෙන විට මෙවන් ප්රශ්න නිතර ඉදිරිපත් වේ. ත්රිපිටකය පුරාම මෙවන් කරුණු විශාල ප්රමාණයක් ඇතුළත් වී තිබේ. මෙහි ඉදිරිපත් කර ඇත්තේ නිතර අවශ්ය වන ඉතා අල්ප මාත්රයක් පමණි. මෙය හුදෙක් ආධුනිකයන් සඳහා වෙයි. එහෙත් ගුරුභවතුන්ට දේශකයිනට බුද්ධ ධර්මය විෂය පිළිබඳ පර්යේෂණ කරන විද්යාර්ථීන්ට බුදු දහම ගැන උනන්දුවක් දක්වන පොදු පාඨකයිනට මේ ග්රන්ථයෙන් ලබාගත හැකි ප්රයෝජනය අප්රමාණ බව මගේ විශ්වාසය යි.
සංඛ්යාත්මක ධර්ම කරුණු ඉදිරිපත් කිරීමේ දී ඉඩ ලද හැටියට සමහර කරුණු විස්තර කර ඇත. එහෙත් බොහෝ කරුණු විස්තර කිරීමට අවස්ථාවන් නොවීය. බොහෝ ප්රකට කරුණු විස්තර කිරීමට නො පෙළඹුනෙමි. එය විශාල අඩුවක් බව මම දනිමි. මෙම කෘතියේ දී විවිධ අයුරින් මට සහාය වූ සියලු දෙනාට පිං දෙමි. මෙම ග්රන්ථය මා විසින් කලින් පළ කළ ධම්ම මාලා ග්රන්ථයේ නවතම සංස්කරණයකි.
වලතර සෝභිත හිමි
පරමවිචිත්රානන්ද මහා විහාරය
ගල්වඩුගොඩ
ගාල්ල.
ගල්වඩුගොඩ
ගාල්ල.