ආනාපාන සති භාවනාව - මාතර ශ්‍රී ඥානාරාම හිමි 1992.pdf

දෙවන කොටස

කතෘ :
මාතර ශ්‍රී ඥානාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1993
මුද්‍රිත වර්ෂය :
1993
පිටු ගණන :
102
බාගත කිරීම් ගණන :
10
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
11 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 52

ආනාපාන සති භාවනාව (දෙවන කොටස) යනු මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසූ කර්මස්ථානාචාර්‍ය්‍ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රායෝගික භාවනා අත්පොතකි. මීට පෙර පළවූ මුල් කෘතියෙන් ආනාපානසති භාවනාවේ මූලික කරුණු විස්තර වූ අතර, මෙම දෙවන භාගයෙන් එහි උසස් අවස්ථාවන් හා සප්ත විශුද්ධි මාර්ගය ඔස්සේ විදර්ශනාව වඩන ආකාරය සවිස්තරව පහදා දී ඇත.

උන්වහන්සේගේ අපවත්වීමට ආසන්න සමයේ උදයබ්බය ඥානය දක්වා ලියා නිමකළ මෙම කෘතිය, භාවනානුයෝගීන්ට මුහුණපෑමට සිදුවන ප්‍රශ්න සහ අත්දැකීම් සාකච්ඡා කරමින් සමථ හා විපස්සනා මාර්ගයන්හි නිරතවීමට මඟපෙන්වයි.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • ගතයුතු හා අතහැරිය යුතු පැති සහ සතිපට්ඨානය
  • ආනාපාන සති සමථය (උපචාර, අප්පණා සහ වශීතා පුහුණුව)
  • ආනාපාන සති විපස්සනාව (නාමරූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ගහ ඥානය, සම්මසන ඥානය සහ උදයබ්බය ඥානය)
  • යෝගාවචර උපදෙස්

ප්‍රකාශක නිවේදනය.

අති පූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ පශ්චිම භාගයේ අවුරුදු පහක කාලයක්, උන්වහන්සේගේ සුළුම ශිෂ්‍යයෙකු සහ කුළුපග දායකයකු වශයෙන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලද විශිෂ්ටතම භාග්‍යය වශයෙන් මම සලකමි. මන්ද, මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ශ්‍රේෂ්ඨතම කළ්‍යාණ මිත්‍රෝත්තමයෙකි. ආචාර්යයන්ගෙන් අද්විතීය ආචාර්යෝත්තමයෙකි.

මේ ධර්ම ග්‍රන්ථය උන් වහන්සේගේ ගැඹිර ප්‍රඥාවෙන්, මහා කරුණාවෙන්, ප්‍රතිඵලයකි. අපගේ වාසනාවකට මෙන් උන් වහන්සේ අපවත්වීමට පෙර, මෙම ධර්ම ග්‍රන්ථය උන්වහන්සේ විසින්ම සම්පූර්ණ කරන ලදී.

ආනාපාන සති භාවනාවේ වශී භාවය ලැබූ යෝගාවචරයෝ, එම භාවනාව, ඉතාමත්ම ආස්වාදජනක, ශාන්ත, ප්‍රණීත භාවනාවක් බව දනිත්. ආනාපාන සති භාවනාව සමථ විදර්ශනා භාවනා මාර්ගයන්ගේ කෙළවරටම වැඩීමට ඉතාමත්ම යෝග්‍ය භාවනා අරමුණකි. ධ්‍යාන ඵල සහ මාර්ග ඵලයන්ගෙන් ප්‍රත්‍යක්ෂ වන්නාවූ උතුම්වූ නිවාණ සැපය මෙම භාවනා මාර්ගයේ ප්‍රතිඵලයය.

මෙම භාවනා ග්‍රන්ථය විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වඩන්නන්ට ඒකාන්තයෙන් මහෝපකාරී වනු ඇත.

මෙම ධර්ම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට මට බොහෝවින් උපකාර වූ යූ. එස්. මුදලිගේ මහතාටත්, ධර්මසේකර පෙරේරා මහතාටත් මගේ කෘතඥතාව පළ කරමි.

මෙම ධර්මදානමය කුශලය සියල්ලෝම අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම ධර්ම ප්‍රාර්ථනා මුදුන් පත්වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවයෙන් සැනසෙත්වා!

මෙයට,
මෙත් සිතැති,
මිත්‍ර වෙන්තිමුනි
2536 / 1992 සැප්තැම්බර් 03

පෙරවදන

නොබෝදා අපවත් වී වදාළ කර්මස්ථානාචාර්‍ය්‍ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ යෝගාවචර ජීවිතයේ අවසාන සමයේ ඉතා උනන්දුවෙන් සම්පාදනය කරමින් සිටි කෘතියකි, මේ ‘ආනාපාන සති භාවනාව’ (දෙවන කොටස). මෙමඟින්, සම්පූර්ණ ආනාපාන සති භාවනා වැඩ පිළිවෙල සප්ත විශුද්ධි ක්‍රමය අනුව එලි දැක්වීම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ අභිප්‍රාය විය. “උපදින තාක් සංස්කාර ධර්මයෝ නැසී යන්නාහ”. මේ ධර්මතාව ඉතාමත් සැලකිල්ලෙන් යුක්තව සාකච්ඡා කරමින් උදයබ්බය ඥාණය පිළිබඳ විස්තරය ලියා හමාර කිරීමෙන් අනතුරුව යෝගාවචර පිරිස ඉදිරිපිට එය තම ජීවිතය තුළින් ම ගෙනහැර පාමින් අති පූජනීය මාහිමිපාණන් වහන්සේ අප අතරින් වියෝ වූහ.

“හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා. අප්පමාදෙන සම්පාදෙථ.” යන අවසාන බුදු වදනට නැවත පණදුන් මොහොතක් මෙන් විය, යෝගාවචරයනට එම වියෝවීම.

එම සංවේගාත්මක අවසාන පණිවිඩය තම තමන්ගේ නිවන් මග හෙළි පෙහෙළි කරගැනීමට රුකුලක් කර ගනිමින් අප්‍රමාදීව කටයුතු සම්පාදනය කිරීමට සියල්ලෝ ම අධිෂ්ඨාන කරගනිත්වා. එමඟින් සියලු අභිමත සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගනිත්වා.

සංස්කාරක

මීතිරිගල නිස්සරණ වනය.
2536 / 1992 මැයි 31 දා.

හැඳින්වීම.

නවක යෝගාවචරයෙකුට ගැලපෙන ලෙසට ආනාපාන සති භාවනාව පිළිබඳ මූලික කරුණු ක්‍රමවත්ව ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් එලි දැක්වූ ආනාපාන සති භාවනාව නම් පොත බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වී ඇති බව දැන ගතිමු. එය ප්‍රයෝජනයට ගත් ගිහි පැවිදි යෝගාවචරයන් බොහෝ දෙනෙකුන් විසින් එම භාවනා වැඩ පිළිවෙලෙහි මීළඟ පියවර සම්බන්ධ උපදෙස් හා විස්තර ඉතා ඕනෑ කමින් සාකච්ඡා කරන්නට යෙදුනි. එසේම එම කරුණු පළමු පොත හා බැඳුණු දෙවන කොටසක් ලෙසට ඉදිරිපත් කරන මෙන් කෙරුණු ඉල්ලීම අනුව මෙම දෙවන භාගය පිළියෙල වුනි.

මෙම පියවරෙහි දී සලකා ගත යුතු විශේෂ කාරණයක් ඇත. එනම්, පළමු පොතින් විස්තර කළ පරිදි උපදෙස් පිළිපදිමින් යෝගාවචරයා විසින් උපදවාගත් භාවනා සිත - නැතිනම් ස්වකීය භාවනා අත්දැකීම් - වැවෙන ළපටි පැලයක් සේ සලකා එය සනිපවත් ලෙසටත්, සරු ලෙසටත් වැඩෙන බවට වගබලා ගත යුතු වීමයි. යෝගාවචරයාගේ පැත්තෙන් එසේ අඛණ්ඩ වැඩීමයක් අපේක්ෂා කරන අතර එම පැලය අතු ඉති බෙදෙමින් විකාශනය වී යන ආකාරයට උපදෙස් හා විස්තර සාකච්ඡා කිරීම මෙම දෙවන කොටසෙහි අපේක්ෂාවයි. ඒ අනුව සරු ප්‍රතිඵල නෙලා ගැනීමට නම් මෙහි එන උපදෙස් හා විස්තර මෙන්ම නීතිපතා ඉතා ඕනෑකමින් භාවනාවෙහි නිරත වෙමින් යෝගාවචරයා ලබන අත්දැකීම් ද, එක සේ වැදගත් වන බව මුලින් ම අවබෝධ කර ගත යුතු වේ.

ප්‍රධාන වශයෙන් භාවනා වැඩ පිළිවෙලෙහි ප්‍රශ්නකර තැන් මතු කරමින් ඒවා සාකච්ඡාවට ලක් කිරීම් වශයෙන් මෙහි විස්තර හා උපදෙස් ඉදිරිපත් කොට ඇත. ප්‍රයෝජනය සලකා ආනාපාන සති භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට එය විශේෂ පහසුවක් වනු ඇත.

මෙයට සසුන් හිතැති
මාතර ශ්‍රී ඥානාරාම ස්ථවිර.
මීතිරිගල නිස්සරණ වනය,
මීතිරිගල.