විද්යාමාර්ග දීපනිය සහ සංක්ෂෙප රූපසංග්රහ වණ්ණනාව - ආචාර්ය සිරිධම්ම හිමි 1922.pdf
- කතෘ :
- ආචාර්ය සිරිධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1922
- මුද්රිත වර්ෂය :
- 1922
- පිටු ගණන :
- 86
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 38 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විද්යාමාර්ග දීපනිය සහ සංක්ෂෙප රූපසංග්රහ වණ්ණනාව යනු කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාමාධිපති ආචාර්ය සිරිධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම ග්රන්ථයකි. බටුල්ලේ ඥානවිලාස ස්ථවිරයන් වහන්සේගේ ආරාධනයෙන් නාමරූප ධර්මයන්ගේ උදයව්යය ලක්ෂණ පහසුවෙන් වටහාගනු පිණිස මෙම කෘතිය රචනා කර තිබේ.
මෙහි පඤ්චවිධ විද්යාවන් (වෙද, මන්ත්ර, ගන්ධාරී, ලෞකික, ආර්ය්ය විද්යා) සහ පඤ්චවිධ ප්රධානීයාංගයන්ගේ සවිස්තර විනිශ්චය, ලෝකෝත්තර ආර්ය විද්යාව උපදවන ආකාරය, නාමරූප ධාතු ස්වභාවය විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීම ආදී විවරණ ඇතුළත් වේ. එමෙන්ම අභිධර්මය ඉගෙනගන්නා ධර්මකාමීන්ගේ ප්රයෝජනය සඳහා ‘සංක්ෂෙප රූපසංග්රහ වණ්ණනාව’ ද මෙයට එක්කොට ඇත.
මෙම පොත වර්ෂ 1922 දී (බු.ව. 2466) රත්නපුරේ අමුවල පදිංචි ඩබ්ලිව්. රත්රන්හාමි මහතාගේ ප්රකාශනයෙන් කොළඹ ග්රන්ථප්රකාශ මුද්රණාලයේ මුද්රණය කරවා පළකරවා ඇත.
සංඥාපනය.
විද්යාමාර්ග දීපනී නම් වූ මේ ධර්ම ග්රන්ථය අප විසින්ම සම්පාදනය කරනලදින් මුද්රණයට පමුණුවා පළවීතිබෙන බොධ්යාලොක නමැති පොතේ සංඥාපනයෙහි නම සඳහන් වූ ගෞරවාර්හ බටුල්ලේ ඥානවිලාස ස්ථවිරයන් වහන්සේගේ ආරාධනාවෙන් ලියා සකස් කරන ලද්දකි.
(මුන්වහන්සේ නාමරූපස්කන්ධයන්ගේ උදයව්යය ලක්ෂණයන් අකුරුදන්නා කාටත් බලා පහසුවෙන් තේරුම් ගත හැකි පරිද්දෙන් මෙය ලියා සකස් කරන්නට ආරාධනා කළ නමුත් ආරාධනා කළ කටයුත්ත නිමවීමට ප්රථම ස්වකීය ස්කන්ධභේදය කරණකොටගෙන ලොකයාට අනිත්යය ප්රකාශකළාක් මෙන් ගොරතර මරුවාට වසඟ වූයෙන් ඒ බව මෙහි සංවේග පුරස්සරව පළමුකොටම සිහිකරන්ට සිදුවිය අහෝ ඛෙදයෙක!)
පඤ්චවිධ විද්යාවන්ගේ සහ පඤ්චවිධ ප්රධානීයාංගයන්ගේ සවිස්තාර විනිශ්චයකුත් සමඟ ලොකොත්තර ආර්ය්යවිද්යාව උපදවන අන්දම මෙහි විස්තරවද පැහැදිලිවද ප්රකාශ වන හෙයින් මෙය බලා යම් යම් නැණවතුන්ට ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ උදයව්යය ලක්ෂණයන් හොඳින් වැටහුණි නම් ඒ නැණවතුන්ට සද්ධර්ම ශාසනය කෙරෙහි ඥානසම්ප්රයුක්ත අවෙච්චප්ප්රසාදය (සිත්සතන්හි වැදගත්) ශ්රද්ධාභක්තිය උපදවා කළණ මිත්ර සුහුදුන් බවට පැමිණගත හැකිවනු පමණක් නොව අනමතග්ග සංසාරය මුළුල්ලෙහි සිත්සතන්හි මුහුකරමින් පැවතෙන්නාවූ සකල දුශ්චරිත දුරාජීව මිථ්යාදෘෂ්ටීන්ට සහ නිරය තිරශ්චීනප්රෙත අසුරාපායිකාදිදුඃඛ ධර්මයන්ට මූලා ධාර සක්කායදෘෂ්ටි විචිකිච්ඡා නමැති ක්ලෙශාග්නි බීජයන් වඳකරදමා ශ්රොතාපන්නිමාර්ග සොපාදිශෙෂ ප්රථම නිර්වාණාධිගමයට මාර්ගය පාදාගත හැකිවේ.
යම් කෙනෙක් ඇතීතාක් ලෞකික විද්යාස්ථානයන්හි අවිනීත අතිවිසාරද පාණ්ඩිතයන්ට පැමිණෙත්මුත් ශාසන ධර්මයන්හිලා උවමනාමවූ කෘත්යය හා සසඳා බැලූකල්හි ඒ පාණ්ඩිතයන් සූක්ෂ්ම ධාතු ස්වභාව දක්වාත් නොබස්නාවූ අවබොධයවත් පහසුවූ කල්පයක්පාසාත් සම්භවවන්නාවූ සමූහ සන්තති සංස්ථානාදි ප්රඥප්ති නමැති පිටලෙල්ලෙහිම පැළඹෙන හෙයින් එකාන්තයෙන් ප්රශංසාර්හනොවෙත්.
යම් කෙනෙක් වනාහි ශෛවාල පටලයෙන් වැසීගිය පොකුණක ඒ ශෛවාල පටලය ඉවතලමින් ජලය පාදා ගන්නාක් මෙන් ස්කන්ධ කායයන්හි ඒ ප්රඥප්ති නමැති පිට ලෙල්ල ඉවතලමින් එකාන්තයෙන් විද්යාමාන නාමරූප ධාතු ස්වභාවම පාදාගෙන අනාත්ම වශයෙන් (පිටත්තර වශයෙන්) ප්රතිවෙධ කරගත්තු නම් ඔවුන්ගේ ඒ ප්රතිවෙධයම එකාන්තයෙන් ප්රශංසාර්හවේ.
වදාරණ ලද්දෝමැයි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් විසින් ථෙරගාථා පාළියෙහි-
“සුඛුමං තෙ පටිවිජ්ඣන්ති වාලග්ගං උසුනා යථා යෙ පඤ්චක්ඛන්ධෙ පස්සන්ති පරතො නොච අත්තතො”යි
යම් කෙනෙක් රූපාදි පඤ්චස්කන්ධයන් අනාත්ම වශයෙන් (පිටත්තර වශයෙන්) මුත් ආත්ම වශයෙන් (ඇතුළත වශයෙන්) නොදක්නාහු වෙත්ද ඔවුහුම වාලාග්රයක් විදපලන්නාක්මෙන් අති සූක්ෂ්ම ස්කන්ධ ධර්මයන් අනාත්ම වශයෙන් ප්රතිවෙධ කර ගත්තුහ යනු භාවයි.
බුද්ධාදි ආර්යයන් දක්නේද මෙසේ ස්කන්ධධර්මයන් අනාත්ම වශයෙන් ප්රතිවෙධ කරගත් සත්පුරුෂයෝමය. ඒ එසේමැයි අප මහාබෝසතාණන් වහන්සේ බුදුවීමට පළමු පස්වග මහණුන්ගෙන් වෙන්වගොස් සාවුරුද්දක් මුළුල්ලෙහි දුෂ්කරක්රියාකොට බුදුව බරණැස ඉසිපතනාරාමයට පෙරළා වැඩි ගමනේදී බුදුවූ බව නොදත් පස්වග මහණුන් විසින් උන්වහන්සේට නාමයෙන් සහ ආවුසොවාදයෙන් කථා කරන ලදින් මහණෙනි! දැන් මම බුදුවීමි මට නාමයෙන් සහ ආවුසොවාදයෙන් කථා නොකරව්යයි වදාළ නමුත් නොඇදහූ ඒ පස්වග මහණුන්ට නැවත නැවත කරුණු කියා පෑමෙන් ධාතුචක්ෂුසපෑදුණු කල්හිම උන්වහන්සේගේ බුදුබව දැනහැකිවිය.
එහෙයින්ම උදන් අනනලදී ආයුෂ්මත් වප්පස්ථවිරයන් වහන්සේ විසින්
“පස්සති පස්සං පස්සන්තං අපස්සන්තඤ්ච පස්සති අපස්සන්තො අපස්සන්තං පස්සන්තඤ්ච න පස්සති”යි
ධාතු චක්ෂුයින් දක්නා පුද්ගලතෙම ධාතු චක්ෂුයින් දක්නා පුද්ගලයාද දකීයි ධාතුචක්ෂුයින් නොදක්නා පුද්ගලයාද දකීයි ධාතු චක්ෂුයින් නොදක්නා පුද්ගලතෙම ධාතු චක්ෂුයින් නොදක්නා පුද්ගලයාද දක්නා පුද්ගලයාද නොදකී යනු භාවයි.
පෙර මේ ලක්දිව රෝහණ ජනපදයෙහි සිතුල්පව් වෙහෙර රහතුන්ගෙන් බැබළෙමින් පැවති කාලයෙහි වාසය කළාවූ එක්තරා ක්ෂීණාශ්රවයන් වහන්සේ කෙනෙකුන්ට උපස්ථාන කරමින් සිටි මහලු පැවිද්දෙක්ද එක්දිනක් ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේ සමඟ පිඬු සිඟාගොස් උන්වහන්සේගේ පාසිවුරු ගෙන පිටිපසින් එමින් ස්වාමීනි! ආර්යයෝ කෙබන්දෝදැයි විචාළේය එවිට ක්ෂීණාශ්රවයන් වහන්සේ ඇවත! මේ සස්නෙහි ආර්යයන්ගේ පාසිවුරු ගෙන වත්පිළිවෙත් කරමින් ආර්යයන් සමඟ හැසිරෙමිනුත් ඇතැම් මහල්ලෙක් ආර්යයෝ කෙබන්දෝදැයි නොදනියි මෙසෙයින් ආර්යයන් දැකීම දුෂ්කර යයි වදාළ කල්හිද ඒ මහලු පැවිදි තැනට උන්වහන්සේගේ ආර්යභාවය නොදැනහැකිවිය. අහෝ! අද පුහුදුන් බවට නින්දාවක්ම වේවා.
මේ කිහ දම්සඟුණී අටුවාවෙහි-
“මංසචක්ඛුනා වා දිබ්බචක්ඛුනා වා අරියා දිට්ඨාපි අදිට්ඨාව හොන්ති”යි. මසැසින් හෝ දිවැසින් ආර්යයන් දුටුවාහු නමුත් ඔව්හු ආර්යයන් නොදුටුවෝම වෙත් යනු භාවයි.
ආර්යයන් දක්නා ධාතු චක්ෂුස ඉපදවිය හැක්කේත් බුද්ධොත්පාද කාලයෙහිමය අබුද්ධොත්පාද කාලයෙහි වනාහි දෙව් මිනිස් ආදි කිසිවකුටත් ඉපදවීමට අවකාශයක් නැත්තේය.
එයින් කිහ විනයෙහි -
“බුද්ධාදිච්චෙව අනුප්පන්නෙ බුද්ධවචනෙ අනුග්ගහෙ තෙසං සභාවධම්මොති නාම මත්තං නජානන්ති”යි.
ලෝකයෙහි සම්යක්සම්බුද්ධ රූප සූර්ය්යා නූපන් කල්හි සම්යක්සම්බුද්ධ රූප චන්ද්රයා නූදාවූ කල්හි ස්වභාව උදයව්යය ලක්ෂණ අනාත්ම ධර්මයන්ගේ නාම මාත්රයද නොදැනහැක්කේය යනු භාවයි.
මෙසේ ආ පෙල අටුවා වචනානුසාරයෙන් ළමැද හැනී හුලක් ඇත්තකු ඒ හුල උගුලාගනු පිණිස හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවාගනු පිණිස සෙසු කටයුතු සියල්ලක් බැහැරලා උත්සාහ කටයුතුවාක්මෙන් අනාදිමත් සසර මුළුල්ලෙහි සිත් සතන්හි හැනී එන ආත්මදෘෂ්ටි නමැති හුල උගුලා ගැනීමට ගින්න නිවාගැනීමට උපකාරී ධාතු චක්ෂුස මේ සස්නේදීවත් ඇතිකරගනු පිණිස සියල්ලන් විසින්ම උත්සාහ කටයුතු.
අභිධර්මය මිනිසුන්ට උවමනාකරන ධර්මයක් නොවේ. අභිධර්මය ඉගෙනගතහොත් කෙකරුටික වේ. ධර්මදේශනාදී කාලයන්හි පොතපතේ එන උපමාවකින්මුත් ඒ වේලාවෙහි සිතට වැටහි ආ උපමාවකින් අර්ථය පැහැදිලිකර දැක්වීම වරදය යනාදි දුර්මත උපදවා ජනචක්ෂුසට පවා පහර වදිනාකාරයෙන් නූගතුන් අතර ඒ මත පහළකරහරින්නන්ද ඇතිවී සිටින බව සැලයි. ඊර්ෂ්යාව පණ්ඩිතමානිත්වය ආදි පාපධර්මයන්ට වසඟ වූවන්ගෙන් පැනනගින එබඳු දුර්මත වලට නොරැවටීම පිණිසද උත්සාහ කටයුතු.
මෙකල අපරදෙශීය වෛද්යයන් විසින් දූරදර්ශික කන්නාඩි ගුරුකොටගෙන ප්රතිසන්ධි ප්රඥප්තිකර දැක්වීම සත්වයන්ගේ මොලකැටි මනොවිඥානයන්ගේ නිඃශ්රය වස්තු කරදැක්වීම රූප නිරොධයන් රූප අවස්ථාන්තර පරිවර්තනයන් කර දැක්වීම යන ආදි වශයෙන් උපදවා තිබෙන සර්වඥමතයට ඉතාම විරුද්ධ වූ දූෂණීකමත විශ්වාස කරමින් භාෂාන්තර පාණ්ඩිතයම ගරුකරන්නාවූද ස්වසමයෙහි සෑහෙන උගත් කමක් නැතත් ඇතැයි පණ්ඩිතමානීවී සිටින්නාවූද ඇතැම් බෞද්ධයන්ගේ පමණක්නොව අබෞද්ධයන්ගේද ඒ දුර්මත නිරාකරණයට මේ ග්රන්ථය අත්යන්තොපකාරී වේමය.
අභිධර්මය ඉගෙනගන්නා ධර්මකාමීන්ගේ ප්රයෝජනය පිණිස “සංක්ෂෙප රූපසංග්රහ වණ්ණනාවද” මීටම යාකර යෙදීමු.
අරංගල සිරිධම්ම ස්ථවිර. A. Siridhamma Thero., ශ්රී බු: ව: 2466 වැන්නෙහි වෙසක් මස පුර 15 වක් බුදදින දෙමටගොඩ මහා විසුද්ධාරාමේදීය.