පරමාර්ථ විකාශනී - බෙල්ලන්විල සද්ධර්මරතන හිමි 1941.pdf
- කතෘ :
- බෙල්ලන්විල සද්ධර්මරතන හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1941
- මුද්රිත වර්ෂය :
- 1941
- පිටු ගණන :
- 576
- බාගත කිරීම් ගණන :
- 3
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 125 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමාර්ථ විකාශනී (ප්රථම භාගය) යනු බෙල්ලන්විල ශ්රී මහාබෝධිරාජාරාම විහාරාධිපතිව වැඩවිසූ ආභිධම්මිකාචාර්ය බෙල්ලන්විල සද්ධර්මරතන මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම විවරණ ග්රන්ථයකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්මයන් සහ සප්ත අභිධර්ම ප්රකරණයන් පිළිබඳව ගැඹුරු හා විස්තරාත්මක විග්රහයක් මෙහි ඇතුළත් වේ.
බොරැල්ලේ පී. සමරසේකර වලව්වේ මහත්මිය විසින් පරලෝසැපත් සිය ස්වාමිපුරුෂයා වූ උඩුගම්පල සී. පී. සමරසේකර මැතිතුමා ඇතුළු ඥාතීන්ට පින් පිණිස නොමිලයේ බෙදාහැරීම සඳහා මෙම ග්රන්ථය මුද්රණය කරවා ඇත. ප්රථම භාගය ලෙසින් පළ වූ මෙම කෘතිය පිටු 560කට අධික විස්තරාත්මක ධර්ම කරුණු සහිතව 1941 වසරේදී මරදානේ ශ්රී ලංකෝදය මුද්රණාලයෙන් මුද්රණය කර ප්රකාශයට පත් කරන ලදී.
සංඥාපනය.
‘අභි විසිට්ඨො ධම්මො අභිධම්මො’යි විග්රහ හෙයින් සූත්රවිනය ධර්මයන්ට වඩා විශිෂ්ටාර්ථ ඇති හෙවත් අතිරේකාර්ථ ඇති බුද්ධ ධර්මය අභිධර්ම නමි. සම්මා සම්බුදුරජානන් වහන්සේගේ සියලු ධර්මයෝම විශිෂ්ටයහ. සර්වඥතාඥානයහ. එතකුදු වුවත් සූත්රවිනය දේශනාවෙන් එක්දෙසකින් නොව සම්ප්රකාරයෙන් විශේෂ විභාග කොට තත්වාර්ථ දේශනා කරණ ලද පරමාර්ථ ධර්මයට අභිධර්මයයි කියනු ලැබේ. තථාගතයන්වහන්සේ විසින් මහාකරුණා සමාපත්තියෙන් යුක්තව තුන්මසක් මුළුල්ලෙහි තව්තිසා වැසි දෙවියනට දේශනා කරණ ලද අභිධර්ම නම් වූ චිත්ත - චෛතසික - රූප - නිර්වාණ යන අතිශයින් ගම්භීර වූ මේ සතර පරමාර්ථ ධර්මයෝ ධම්මසඞ්ගණී - විභඞ්ග - ධාතුකථා - පුග්ගලපඤ්ඤත්ති - කථාවත්ථු - යමක - පට්ඨාන යයි ප්රකරණ වශයෙන් සතකට බෙදන ලද්දාහ. ඔවුනතුරෙන් ධම්මසඞ්ගණී ප්රකරණයෙහි:- චිත්ත-රූප-නිබ්බාන රාශි - අට්ඨකථාහාර වශයෙන් සතරකට ද, විභඞ්ග ප්රකරණයෙහි:- ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - ඉන්ද්රිය - පච්චයාකාර - සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - බොජ්ඣඞ්ග - මග්ග - අප්පමඤ්ඤා - සික්ඛාපද - පටිසම්භිදා - ඤාණ - ඛුද්දකවත්ථු - ධම්මහදය යයි විභඞ්ග අටළොසකට; පුග්ගලපඤ්ඤත්ති ප්රකරණයෙහි:- ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - ඉන්ද්රිය - පුග්ගලපඤ්ඤත්ති වශයෙන් සයකටද, කථාවත්ථු ප්රකරණයෙහි:- ස්වකීයවාදයෙහි සූත්ර පන්සියයක් හා පරවාදයෙහි සූත්ර පන්සියයක් දැයි එක්කොට සූත්ර දහසකටද, යමක ප්රකරණයෙහි:- මූල - ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - සඞ්ඛාර - අනුසය - චිත්ත - ධම්ම - ඉන්ද්රියයයි යමක වශයෙන් දසයකට ද, පට්ඨාන නම් වූ මහා ප්රකරණයෙහි:- හේතු - ආරම්මණ - අධිපති - අනන්තර - සමනන්තර - සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - උපනිස්සය - පුරෙජාත - පච්ඡාජාත - ආසෙවන - කම්ම - විපාක - ආහාර - ඉන්ද්රිය - ඣාන - මග්ග - සම්පයුත්ත - විප්පයුත්ත - අත්ථි - නත්ථි - විගත - අවිගත වශයෙන් ප්රත්යයන් සූවිස්සකට බෙදන ලද්දාහ.
මෙසේ අතිශයින් ගැඹුරු වූ, ඒ ඒ ධර්මයන්ගේ තත්වාර්ථය ප්රකාශක පරමාර්ථ ධර්මයන් ප්රගුණ කරණ ආධුනික බෝධිප්රජානතාවගේ විපුල ප්රයෝජනය සලකා බොරැල්ලේ ප්රශාන්ත වලව්වෙහි නිවැසි සී. ඒ. පී. සමරසේකර වලව්වේ මහත්මිය විසින් පරලෝසැපත් ස්වකීය ස්වාමි පුරුෂයා වන උඩුගම්පල සී. පී. සමරසේකර මැතිතුමන්ට හා මුනුබුරාවූ ගාමිණී විජයවර්ධන හාමුමහත්මයාටත් අනිකුත් ඥාති පිරිසටත් ස්වර්ගාපවර්ග සම්පත් ප්රතිලාභය පිණිස නොමිලයේ මහජනයා අතට පත්කිරීමට සුදුසු පරමාර්ථ ධර්මයන් වර්ණනා මුඛයෙන් ග්රන්ථයක් සම්පාදනය කොට දුන මැනවැයි ආරාධනය ලදින් “පරමාර්ථ විකාශනී” නම්වූ මේ අගනා ග්රන්ථය සම්පාදනය කෙළෙමු. මේ සා විශාල ග්රන්ථයක් සම්පූර්ණයෙන් මුද්රණය කරවා එක්වරටම ප්රසිද්ධ කිරීම අතිශයින් දුෂ්කර හෙයින් දීර්ඝ කාලයක් ගත කරන්ට සිදුවන හෙයිනුත්, කාණ්ඩ වශයෙන් නමුත් ඉක්මනින් මහජනයා අතට පත්කිරීම ධර්මොදයකාමීන්ගේ විශේෂ ප්රීතියට හේතු වේයයි සලකා මෙසේ ප්රථම භාගය නිකුත්කරන්ට අදහස් විය. ද්විතීය භාගයද මුද්රණාලයයේ හෙයින් ලඟදීම එයද මහජනයා වෙත පමුණුවන්ට හැකිවේයයි ප්රීතියෙන් දන්වනු කැමැත්තෙමු.
මෙය මුද්රණයෙහිදී පෲප් බැලීම් ආදියෙන් සිතකය වෙහෙසා අනලෝපකාර කළ පංචිකාවත්තේ අභයසිංහරාම විහාරාධිකාරී මාදම්පේ ධර්මකීර්ති ශ්රී විනයාචාර්ය්ය ශ්රී ශීලක්ඛන්ධ ස්ථවිරයන් වහන්සේට හා තද්විහාරාධිපති පානදුරේ ධර්මකීර්ති ශ්රී වාගීශ්වර විනයාචාර්ය්ය ශ්රී ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේටද, මුද්රණ වැඩ කලට වෙලාවට හා ලක්ෂණව කරවා දුන් පංචිකාවත්තේ ශ්රීලංකොදය මුද්රණාලාධිපති ආර්. අමරානන්ද මහතානන්ටද, අපගේ අවංක ස්තූතිය නොමසුරුව මෙයින් පුදකරම්හ.
තවද මේ ග්රන්ථය සම්පාදනය කිරීමේදී බෙල්ලන්විල ශ්රී මහාබොධිරාජාරාම රජමහාවිහාරාධිපතිව වැඩවිසූ ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය උපාධ්යාය උඩුගම්පල ශ්රී රතනපාලාභිධාන මහාස්ථවිර පාදයන් වහන්සේගේ පොත් හා ‘බුද්ධශාසන මහාසූර සේනාපති’ යන රාජදත්තිය නාමොපලක්ෂිත ආගම ශාස්ත්රධාරී ඇම්. ධර්මරත්න පඬිතුමාගේ පොත්පත්ද ආධාරෝපකාරී වූ බව ගෞරවයෙන් හා සන්තෝෂයෙන් මතක් කරම්හ.
පරමාර්ථ ධර්මයන් විස්තර කිරීමෙහි ලා ග්රන්ථයක් සම්පාදනය කිරීමෙහිදී නොයෙක් අශුද්ධ ස්ථානයන් විද්යාමාන විය හැක. එබඳු තැන් හා අක්ෂර යෝජකයන්ගේ ප්රමාදයෙන් වූ අශුද්ධ ස්ථානයන් පිළිබඳවද සම්පූර්ණ ශුද්ධිපත්රයක් ග්රන්ථයාගේ අවසානයෙහි යොදන බවත් කාණ්ඩ වශයෙන් මුද්රණයෙහිදී කාණ්ඩයක් පාසා ශුද්ධිපත්ර යෙදීම දුෂ්කර බවත් මෙය පරිශීලනය කරණ සුධීන් එබඳු අශුද්ධස්ථාන දුටහොත් යථාස්ථානයට පමුණුවා පරිශීලනය කටයුතු බවත් විශේෂයෙන් සඳහන් කරම්හ.
මීට - ධම්මොදය කාමී, වැඩබල සද්ධර්මරතන මහාස්ථවිර. 15 - 1 - 1941 බෙල්ලන්විල ශ්රී මහාබොධිරාජාරාම රජමහා විහාරස්ථානයේ දීය.