සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය - මුද්දරගම ධම්මාලංකාර හිමි 1954.pdf
- කතෘ :
- මුද්දරගම ධම්මාලංකාර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1954
- මුද්රිත වර්ෂය :
- 1954
- පිටු ගණන :
- 255
- බාගත කිරීම් ගණන :
- 8
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 40 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය යනු අභිධර්ම පිටකයට අයත් සප්ත ප්රකරණයන්ගෙන් එකක් වන පුග්ගලපඤ්ඤත්ති ප්රකරණය ඇසුරින් සකස් කරන ලද සිංහල ග්රන්ථයකි. බණ්ඩාරබොවල විද්යාදර්ශ පිරිවෙනේ උපප්රධානාචාර්ය ත්රිපිටකාචාර්ය පණ්ඩිත මුද්දරගම ධම්මාලංකාර ස්ථවිරයන් වහන්සේ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
බුද්ධ දේශනාවෙහි දැක්වෙන ෂඩ්විධ ප්රඥප්තීන් අතුරෙන් පුද්ගල ප්රඥප්තිය විස්තර කරමින්, විවිධ පුද්ගල නාමයන් උද්දේස හා නිද්දේස ක්රමයට අනුකූලව ලිහිල් සිංහල බසින් මෙහි විස්තර කර තිබේ. බුද්ධාදී ආර්ය පුද්ගලයන් ඇතුළු විවිධ පුද්ගල ස්වභාවයන් පිළිබඳ පුළුල් විග්රහයක් මීට ඇතුළත් වේ.
මෙම කෘතිය සඳහා බලගල්ලේ සරස්වතී පිරිවෙන්හි උපප්රධානාචාර්ය හපුවලානේ ශ්රී ඥානාලෝක ස්ථවිරයන් විසින් හැඳින්වීමක් සපයා ඇති අතර, මුද්දරගම රෙජිස්ට්රාර් ආර්. ඇස්. ඒ. ඇම්. ඊ. සේනාරත්න වෛද්යතිලක මුහන්දිරම් මැතිතුමාගේ ප්රකාශනයෙන් දෙවලපොළ මුද්රණාලයේ දී 1954 වසරේ දී මුද්රණය කරවා ඇත.
හැඳින්වීම.
නමො බුද්ධාය.
සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය.
බුද්ධදෙශනාව සූත්ර, අභිධර්ම, විනය, යි පිටකත්රයකින් යුක්තය. එහි අභිධර්ම පිටකය ධම්මසඞ්ගණී ආදි ප්රකරණ සතකින් සමුපලක්ෂිතය. ඒ ප්රකරණයන් අතුරෙහි පුග්ගල පඤ්ඤත්තිය ද එක් ප්රකරණයකි.
බුද්ධ දෙශනාවෙහි දැක්වුණු ෂඩ්විධ ප්රඥප්තීන් අතුරෙහි පුද්ගල ප්රඥප්තිය විදහා දක්වමින් දෙශිත ධර්මය එහි ඇතුළත්වෙයි. එය පාලිභාෂාවෙන් දෙශිත හෙයින් සිංහල භාෂාව පමණක් දන්නා බෞද්ධ ලෝකයාට වැඩක් නැත. බුද්ධ ධර්මයෙහි බොහෝ දහම් කොටස් සිංහලයෙන් ඇතත් පුද්ගල ප්රඥප්තිය දක්වන දහම්කොටස් නැතිකම පාඩුවෙකි. ඒ මේ පාඩුව පිරිමසාලීමක් වශයෙන්, මේ ග්රන්ථය රචනා කරන ලද්දේ. බුද්ධ ධර්මය සිංහලෙන් කියන්නට වත් බොහෝදෙන ව්යාඛ්යාන ද්වාරයෙන් හෝ අනුවාද ද්වාරයෙන් කියතත් මේ ග්රන්ථය පුග්ගල පඤ්ඤත්තිප්පකරණය ඇසුරු කරමින් අමුතු නිර්මාණයක් සේ රචිත හෙයින් මෙය සිංහල සාහිත්යයට එක්වුණු සාහිත්ය ග්රන්ථයක් සේ සලකනු සුදුසුය.
රජයේ පාඨශාලාදියෙහි බුද්ධධර්මය උගන්වන්නට නියම කරතිබෙන මෙසමයෙහි මේවිදියේ ග්රන්ථයක් රචනා කිරීමෙන් මෙහි කර්තෘ තැන්පත් බණ්ඩාරබොවල විද්යාදර්ශ පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය ත්රිපිටකාචාර්ය්ය පණ්ඩිත මුද්දරගම ධම්මාලංකාර ස්ථවිර පාදයන් වහන්සේ බෞද්ධ ලෝකයාගේ ප්රශංසාවට පාත්රවන බව කියන අතරම, මේ ග්රන්ථය බුද්ධ ධර්මය ඉගැන්වීමේ නිර්දේශ පත්රයට ඉක්මණින්ම ඇතුළත් කළයුත්තක් බව ද කියමි.
මේවගට, බලගල්ලේ සරස්වතී පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය හපුවලානේ ශ්රී ඥානාලොක ස්ථවිර. 2498 1954. 4. 21 දින බලගල්ලේ දිය.
බලගල්ලේ සරස්වතී පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය හපුවලානේ ශ්රී ඥානාලොක ස්ථවිර.
නිවේදනය.
අභිධර්ම පිටකයෙහි සප්ත ප්රකරණයන් අතර පුග්ගල පඤ්ඤත්තිය ඉතා සරල ග්රන්ථය වුවද, බෞද්ධයෙකු විසින් අවශ්යයෙන් දතයුතු දහම් කොටස්වලින් පරිපූර්ණය. බුද්ධ දෙශනාවෙහි දැක්වෙන පුද්ගල නාමයන්ගෙන් අධික ප්රමාණයක් විස්තර වශයෙන් හඳුන්වා තිබීම මෙහි ඇති විශේෂයයි. බුද්ධාදී ආර්ය්ය පුද්ගලයන් පිළිබඳ වැ මේ ග්රන්ථයෙහි දැක්වෙන තත්ත්වනිරූපණය සර්වසම්පූර්ණය. ධර්මකාමීන්ගේ මනදොල සපුරාලීමෙහි අත්යර්ත්ථයෙන් සමර්ත්ථය.
සූත්රපිටකයට අයත් අංගුත්තර නිකාය ආදී ග්රන්ථයන්හිද ඇතැම් පුද්ගලයෙකු හඳුන්වා තිබෙනු දක්නට හැකිය. එහෙත් මෙතරම් නිරවශේෂ විස්තරයක් ඒවායෙහි නොම සඳහනි. එබැවින් ධර්මරසිකයනට මේ ග්රන්ථය හස්තසාර වස්තුවකි.
සිංහල පුග්ගල පඤ්ඤත්ති විභාගය.
වූකලී ප්රථමෝක්ත අභිධර්ම ග්රන්ථය ආශ්රයෙන් ලිහිල් සිංහලයෙන් සැපයුණකි. මෙහි පුද්ගලයන් හැඳින්වීම පාලි ග්රන්ථයට අනුගත වනසේ උද්දෙස නිද්දෙස ක්රමයෙන් දැක්වෙයි. ඇතැම් තැනෙක ව්යවහාරෝචිත පරිදි එම ක්රමය උල්ලංඝනය කරන්නට ද සිදුවිය. එහෙත් මූලික ග්රන්ථගත කරුණුවලට හෝ ධර්මරසයට ඉන් හානියක් නොවේ. විවාදයට භාජනව පවත්නා තන්හි අටුවා මතය අනුකරණය කරමින් අප අදහස් දැක්වූ තැනුදු ඇත. විවේචකයන්ගේ විමර්ශනයට භාජන වියයුතු එබඳු ස්ථාන තවදුරටත් පරීක්ෂාකර බැලීම ධර්මධරයනට භාරධූරයකි.
මෙම ග්රන්ථය පිළිබඳවැ දතයුතු දේ මොනවට පැහැදිලි කරමින් “හැඳින්වීමක්” සැපයූ අපගේ ධර්මාචාර්ය්යවරයෙකු වන බලගල්ලේ සරස්වතී පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය පූජ්ය පණ්ඩිත හපුවලානේ ශ්රී ඥානාලොක ස්වාමීන්ද්රයන් වහන්සේ කෘතගුණ පූර්වකවැ සිහිපත් කරමු.
තවද මෙය ප්රකාශයට පැමිණවීමෙන් අපට උපකාර කළ මුද්දරගම “සිරිසෙවනෙහි” නිවැසි රෙජිස්ට්රාර් තැන්පත් වෛද්යාචාර්ය්ය ආර්. ඇස්. ඒ. ඇම්. ඊ. සේනාරත්න වෛද්යතිලක මුහන්දිරම් මැතිතුමා සහ එම මැතිණිය වන පාඨශාලාචාර්ය්ය ඇම්. ඇස්. අනසනෝනා නෝනා මහත්මිය ද බෞද්ධ මහජනයාගේ ආශීර්වාදයට පාත්රවිය යුතුය. මෙම සත්කාර්ය්යයෙහි උනන්දු කරවමින් අප මෙහෙයවූ සැදැහැවත් එම දෙපල උදාර කුසලයක් අත්පත් කරගත් බව පවසනුයේ බලවත් ප්රීතියෙනි.
මෙහි මුද්රණය ශොභනලෙස හා ඉතා සැලකිල්ලෙන් කළ දෙවලපොළ මුද්රණාලයට අපගේ අවංක ස්තුතිය හිමි වේ.
මුද්දරගම ධම්මාලංකාර ස්ථවිර. සිරිනිකේතාරාමය, මගලෙගොඩ. වේයන්ගොඩ. 2498 1954 5. 21
මුද්දරගම ධම්මාලංකාර ස්ථවිර.