සමන්ත පට්ඨානය සිංහල අරුත් සහිත - 2026.pdf

ප්‍රකාශිත වර්ෂය :
2026
මුද්‍රිත වර්ෂය :
2026
පිටු ගණන :
64
බාගත කිරීම් ගණන :
5,181
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-09-04
ගොනුවේ ප්‍රමාණය :
840 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 20

සිංහල අරුත් සහිත සමන්ත පට්ඨානය යනු අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන මහා පට්ඨාන ප්‍රකරණයේ ප්‍රත්‍යය උද්දේස හා නිද්දේස පාඨ සිංහල අර්ථ සහිතව සජ්ඣායනා කිරීම සඳහා සකස් කරන ලද අත්පොතකි.

මෙහි පාලි පාඨය සහ සිංහල තේරුම පේළියෙන් පේළියට (line-by-line) දක්වා ඇති අතර, රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ ‘අභිධර්ම මාර්ගය’ ඇසුරෙන් විස්තර කරන ලද සූවිසි ප්‍රත්‍යය විවරණය ද ඇතුළත් වේ. ධර්ම දානයක් ලෙස බෙදාහැරීම පිණිස 2026 වසරේදී Archana Offset Printers ආයතනයෙන් මුද්‍රණය කර ඇත.

හැඳින්වීම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අනන්ත දුක් ගැහැට විඳිමින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයේ මුදුන්මල්කඩ බඳු වූයේ ‘පට්ඨාන මහා ප්‍රකරණයයි’. බුද්ධත්වයෙන් සිව්වන සතියේදී රුවන්ගෙයි වැඩහිඳිමින් මෙම අති ගම්භීර වූ හේතු-ඵල ධර්මය මෙනෙහි කරන කල්හි, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන් මුළු මුළු ලෝක ධාතුවම ආලෝකමත් කරමින් විහිදී ගියේ මෙම ධර්මයේ ඇති අසිරිමත් භාවය නිසාමය. වසර 45ක් මුළුල්ලේ දේශනා කළ ධර්මස්කන්ධයේ හදවත බඳු වූ මෙම පට්ඨාන ධර්මය, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන් තෙරුන් වහන්සේ ඇතුළු අප්‍රමාණ රහතන් වහන්සේලාට අරිහත්වයට මග පාදා දුන් උත්තරීතර මාර්ගෝපදේශයකි.

මෙම පට්ඨාන ධර්මය නිතර සජ්ඣායනා කිරීමෙන් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස වචනයෙන් කියා නිම කළ නොහැකිය. මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින භවයන්හිදී පවා තියුණු ඥානයක් ලැබීමටත්, සියලු කෙලෙස් නසා අරිහත්වයට පත්වීමටත්, රහත්වන භවයේදී සිව්පිළිසිඹියාපත් ඥානලාභී වීමටත් මෙය බලවත් හේතුවක් වේ.

මියන්මාරය (බුරුමය) වැනි ථෙරවාදී රටවල ජනතාව මෙම පට්ඨාන සජ්ඣායනාව තම දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගෙන ඇත. හදිසි අනතුරු වළක්වා ගැනීමට, සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට, තම ව්‍යාපාරික හා ආර්ථික කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරන්තරයෙන් ලබා ගැනීමට ද ඔවුහු මෙය දිනපතා සජ්ඣායනා කරති. එම රටේ දිනපතා ගුවන්විදුලියෙන් පවා මෙම සජ්ඣායනාව ප්‍රචාරය කරන්නේ සමස්ත ජාතියේම ආරක්ෂාව හා අභිවෘද්ධිය උදෙසාය.

නමුත් අතිශයින්ම කනගාටුවට කරුණ නම්, අනාගතයේදී සම්බුද්ධ ශාසනය පිරිහී යන කල්හි මුලින්ම අභාවයට යන්නේ ද මෙම ගාම්භීර පට්ඨාන ධර්මය වීමයි. එබැවින්, ශ්‍රද්ධා ප්‍රඥා සම්පන්න සත්පුරුෂයන් වන අප සැමගේ පරම යුතුකම වන්නේ මෙම ධර්මය දිනපතා සජ්ඣායනා කරමින්, මතකයේ දරා ගනිමින්, මතු පරපුර උදෙසා එය සුරක්ෂිත කිරීමයි.

මෙම උතුම් ධර්මය පරිශීලනය කිරීම තවදුරටත් පහසු කරනු වස්, වෙනත් සජ්ඣායනා ග්‍රන්ථවල දැකගත නොහැකි විශේෂාංග කිහිපයක් මෙම පොතට ඇතුළත් කර ඇත. පාලි ගාථාව සහ ඊට අදාළ සිංහල තේරුම පේළියෙන් පේළියට (Line-by-line) ගලපා ඇති බැවින්, හුදෙක් ශබ්ද නගා කීමෙන් ඔබ්බට ගොස් එහි අර්ථය ද ඒ මොහොතේම අවබෝධ කරගැනීමට පාඨකයාට අවකාශ ලැබේ. එපමණක් ද නොව, රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ අභිධර්ම මාර්ගය අභිධර්ම මාර්ගය පොත ඇසුරෙන් සැකසූ හේතු ප්‍රත්‍යයේ සිට අවිගත ප්‍රත්‍යය දක්වා වූ සූවිසි (24) ප්‍රත්‍යයන් එකිනෙක පිළිබඳව පැහැදිලි, සරල සිංහල විස්තරයක් ද මෙහි අන්තර්ගත කර ඇත.

අරුත් දැනගෙන, මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව මෙම පට්ඨාන ධර්මය දිනපතා සජ්ඣායනා කරමින් ඔබේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් ඒකාන්තයෙන්ම සාර්ථක කරගැනීමටත්, අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගැනීමටත් මේ උතුම් ග්‍රන්ථය ඔබට මග පෙන්වනු ඇත.