ධාතුකථාදීපනී - බිංගිරියේ අරියචිත්ත හිමි 2026.pdf

කතෘ :
බිංගිරියේ අරියචිත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
2026
මුද්‍රිත වර්ෂය :
2026
පිටු ගණන :
458
බාගත කිරීම් ගණන :
481
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-07-24
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 230

ධාතුකථාදීපනී යනු අභිධර්ම පිටකයේ තුන්වන ග්‍රන්ථය වන ධාතුකථා ප්‍රකරණය විස්තර කරමින් සම්පාදිත අගනා ධර්ම ග්‍රන්ථයකි. නා උයන ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය බිංගිරියේ අරියචිත්ත හිමියන් විසින් රචිත මෙම කෘතිය මඟින් ධාතුකථා පාලි පාඨ, අටුවා පරිවර්තනය හා සරල ක්‍රමවේද මඟින් පැහැදිලි කෙරෙන විස්තර විවරණයන් ඉදිරිපත් කර ඇත.

මෙහි ධාතුකථාවෙහි එන නයමාතිකා, අබ්භන්තරමාතිකා, නයමුඛමාතිකා ආදී මාතෘකා පද සහ තුදුස් නය විග්‍රහයන් ගැඹුරු අභිධර්ම න්‍යායන්ට හා අටුවා ටීකාවන්ට අනුකූලව සවිස්තරව විග්‍රහ කර තිබේ. අභිධර්මය හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පරමාර්ථ ධර්ම ගවේෂණයෙහි යෙදෙන යෝගාවචරයන්ට ද ධාතු, ආයතන, ස්කන්ධ ආදී ධර්මයන් නුවණින් පිරිසිඳ දැකීමට උපකාරී වන පරිදි මෙය සම්පාදනය කර ඇත.

මෙම කෘතිය 2026 වසරේ දී ථේරවාද ප්‍රකාශන සමිතිය මඟින් ප්‍රථම වරට මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාද පණිවිඩය

මීරිගම - මිණිඔලුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, ශාසන සෝභන, කීර්ති ශ්‍රී සරණංකරෝපසේන වංසාලංකාර, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර, ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, අග්ගමහා පණ්ඩිත,

නා උයන ආරණ්‍ය සේනාසනයෙහි පූජ්‍ය බිංගිරියේ අරියචිත්ත ආයුෂ්මතුන් වහන්සේ විසින් සකස් කරන ලද ධාතුකථාදීපනී නම් වූ ධාතුකථා ප්‍රකරණ පෙළ විස්තර වර්ණනාව සහ අටුවා පරිවර්තනය ලැබ කියවා, උන්වහන්සේගේ බලවත් උත්සාහය හා දහම් දැනුම පිළිබඳ සන්තෝෂයට පත්වීමි.

ත්‍රිපිටකයෙහි අභිධර්ම පිටකයට අයත් ධාතුකථා ප්‍රකරණය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කළ අරියචිත්ත යතිවරයන් වහන්සේ තමන් ලැබූ දැනුම තුළින් ධර්ම ඥාණය ලැබීමට උනන්දුවක් වන ගිහි - පැවිදි බොහෝ දෙනෙකුට පහසුවෙන් මෙම ගැඹුරු ධර්ම කොට්ඨාසය හැදෑරීමට ඉඩ - කඩ සලසා දීම පිණිස පාළි පාඨ පිළිබඳව සරලව අර්ථ දක්වමින් ද එම අටුවාව පරිවර්තනය කරමින් ද කරන ලද මෙම ධර්ම සංග්‍රහය බෙහෙවින් අගය කරමින් ඉදිරියට තව තවත් ධර්ම ඥාණය වඩා වර්ධනය කරගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර සේවයක් කිරීමට තෙරුවන් සරණින් කාය - චිත්ත ශක්තිය ලැබේවායි මහත් කරුණාවෙන් ආශිර්වාද කරම්හ.

මෙයට, සසුන් ලැදි,

ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, දර්ශන විශාරද, අග්ගමහා පණ්ඩිත, දර්ශනශූරී, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ වම්හ.

අග්ගමහා පණ්ඩිත, දර්ශනශූරී, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ

සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රශංසාත්මක අගැයුම

පූජ්‍ය බිංගිරියේ අරියචිත්ත ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත “ධාතුකථාදීපනී නම් වූ ධාතුකථා ප්‍රකරණ පෙළ විස්තර වර්ණනාව සහ අටුවා පරිවර්තනය” නම් වූ මූලික ප්‍රකරණයත් එහි අටුවාවත් මැනැවින් විමර්ශනාත්මක ව පරිශීලනය කොට එහි ගම්භීරාර්ථ විග්‍රහ අභිධර්මය හදාරන විද්‍යාර්ථීනට ද ධර්මාභිලාෂීනට ද පරිවර්තනය කැර දෙන මාහැඟි ධර්මග්‍රන්ථයක් ලෙස පළමු ව හඳුන්වා දෙනු කැමැත්තෙමි.

පරමාර්ථ සත්‍යය යථාභූත නුවණින් විනිවිද දැක අවබෝධ කැරගන්නට ධාතුකථායෙහි ලැබෙන පිටුබලය සුවිශේෂ ය. උද්දේස, නිද්දේස වශයෙන් දෙ වැදෑරුම් වන මෙම ධාතුකථා විභාගයෙහි නයමාතිකා, අබ්භන්තරමාතිකා, නයමුඛමාතිකා, ලක්ඛණ - මාතිකා, බාහිරමාතිකා යනුවෙන් මාතෘකා ශීර්ෂ පහක් ‘උද්දේස’ වශයෙන් ද අබ්භන්තරමාතිකා හා බාහිරමාතිකා නය, නයමුඛ, ලක්ඛණ යන මාතිකා හෙවත් මාතෘකා පද විභාගය ‘නිද්දේස’ වශයෙන් ද බෙදා දක්වන ලද්දේ ය. අභිධර්ම ප්‍රකරණයන්හි උගන්වන චිත්ත, චෛතසික, රූප ධර්මයන් ධාතු - ආයතන - ස්කන්ධත්‍රයට පරිච්ඡේද කොට සංග්‍රහ කැරෙන්නේ මෙම ධාතුකථාප්‍රකරණයෙහි ය.

බුදු දහමෙහි ඉගැන්වෙන අනාත්ම සංඥාව වඩන විදර්ශකයකුට, නැත හොත් පරමාර්ථ ගවේෂී යෝගාවචරයකු හට ධාතුමාත්‍ර වූ නිර්ජීව වූ ශූන්‍ය වූ යථාර්ථය විදැක කැරගැන්මට ධාතුකථා දේශනාවෙහි ප්‍රකාශිත වර්ගීකරණ විභාගය ඉ - සියුම් ලෙස වටහාගත හැකි වෙයි. ධම්මසංගණි ආදි සෙසු ප්‍රකරණ දේශනාවන්හි ඒකදේශයෙකින් ප්‍රකාශිත ධර්මස්වභාව සංගහ - අසංගහ ආදි තුදුස් නයානුසාරයෙන් මෙහිලා කැරෙන විභාගය ඒ අවබෝධයට අත්‍යන්තෝපකාරී වෙයි.

පන්සියගම අරණ සෙනසුන් වැසි, එහි ධර්මාචාර්යයන් වහන්සේ නමක් ද වන පූජ්‍ය බිංගිරියේ අරියචිත්ත තරුණ ස්වාමීන් වහන්සේ ධාතුකථාප්‍රකරණය එහි අටුවා හා ටීකා ද මැනැවින් අධ්‍යයනය කොට, තත් ප්‍රාගුණ්‍යයෙන් පරිචිත ඥානය මෙම විෂය හදාරන සියලු විද්‍යාර්ථීනට ද පරමාර්ථ - ධර්මාභිලාෂීනට ද නිවැරැදි දහම් මඟ සොයා යන හැම දෙනාට ද වැඩ පිණිස නූතන - සරල අධ්‍යයන ක්‍රමවේද උපයෝගී කැරගනිමින් සම්පාදිත මෙම “ධාතුකථා ප්‍රකරණ පෙළ විස්තර වර්ණනාව සහ අටුවා පරිවර්තනය” පර්යාප්ති ධර්ම විභාවනය පිණිසත් රක්ෂණය පිණිසත් දෙන පිටුබලය අතිශයින් ම අගය කළ යුතු ය. කෙනෙකුට ධර්මඥානය තිබුණ ද නූතන දැනුම හා විෂයානුබද්ධ පරිඥානය නැත් නම් මෙවැන්නක් කළ නොහැකි ය. එසේ ම ප්‍රතිපත්ති ශාසනයේ මනා පැවැත්ම උදෙසා ථේරවාදී සම්ප්‍රදාය උල්ලංඝනය නො කොට පර්යාප්තියේ සමුත්ථාපනය අරබයා මෙම තරුණ යතිවරයන් වහන්සේ ගත් ප්‍රශංසනීය ප්‍රයත්නය ලක්දිව ආරණ්‍යක සම්ප්‍රදායට ද මහත් ආලෝකයක් ලබා දෙන්නේ ය.

වත්මන්හි දහම් මඟින් විතැන් ව උවදුරු මං පෙතට බැස සිටුනා තරුණ උගත් භික්ෂූන් වහන්සේලාට ද පූජ්‍ය අරියචිත්ත ස්වාමීන් වහන්සේ ගේ මෙම ශාස්ත්‍රීය ධර්මගවේෂණය අගනා ආදර්ශයක් සපයන බව මෙහි ලා සඳහන් කළ යුතු ම ය.

තිරිකුණාමලේ ආනන්ද මහාස්ථවිර
2570/2026. 06. 11
බම්බලපිටියේ සිරි වජිරාරාමයෙහි දී ය.