පට්ඨාන මහා පකරණ සන්නය.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 947
- බාගත කිරීම් ගණන :
- 220
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-07-03
- ගොනුවේ ප්‍රමාණය :
- 39 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පට්ඨාන මහා පකරණ සන්නය යනු අභිධම්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන පට්ඨාන මහා පකරණයට සිංහලෙන් සැපයූ සන්නයයි (පාලි පාඨ සහිත ව්‍යාඛ්‍යානයකි). මෙය එහි ප්‍රථම භාගයයි. මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත මෙහි ප්‍රථම මුද්‍රණය 1953 දී නිකුත් විය.
කතුවරයාගේ ප්රස්තාවනාවට අනුව, බුදුන් වහන්සේගේ හේතුඵල දේශනා ක්‍රම තුන වන ආර්යසත්ය, ප්‍රතීත්‍ය සමුත්පාද හා ප්‍රස්ථාන අතුරෙන් සර්වාඞ්ගසම්පූර්ණ අති විස්තර හේතුඵල දේශනය පට්ඨාන මහා ප්‍රකරණයයි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ හා ප්රඥප්තිය ප්‍රත්‍යය සූවිස්සක් අනුව එකිනෙකට ප්‍රත්‍යය වන සැටි එහි දැක්වේ. බුදුරැස් විහිදීම පිළිබඳ සම්ප්‍රදායික කතාව ද ප්රස්තාවනාවට ඇතුළත් ය. පාලි දැනුමෙන් පමණක් පට්ඨානය තේරුම් ගත නොහැකි බැවින් එය උගතයුතු ක්‍රමයට අනුව, බුරුමයේ තවමත් පවතින පෞරාණික අභිධර්ම ඉගැන්වීමේ ක්‍රමය හා බුරුම පට්ඨාන සන්නය ඇසුරින් මෙම සන්නය සම්පාදනය කළ බව කතුවරයා සඳහන් කරයි.
ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයේ ගරු ලේකම් සී. තනිප්පුලි ආරච්චි මහතාගේ සටහනක් (2024 නොවැම්බර් 14) ද මෙහි ඇත. තෙවන මුද්‍රණය 1997 ජූලි මාසයේ බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහයෙන් නිකුත් වූ බවත්, මෙම මුද්‍රණය සඳහා නැවත වර්ණ සංයෝජනය කළ බවත් එහි සඳහන් වේ.
මෙය නවවන මුද්‍රණයයි (2024 නොවැම්බර්). ප්රකාශනය ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට; මුද්‍රණය සිකුරු ප්‍රින්ටර්ස්, පොල්ගස්ඕවිට; පරිගණක වර්ණ සංයෝජනය අරුණ තලගල. ISBN 955-8663-25-5. මෙම භාගය පිටු 917 කින් අවසන් වේ.
ලේකම්ගේ සටහන්...
සම්බුදු දහම චිරාත් කාලයක් පැවතීමේ අවශ්‍යතාව බුදුන් වහන්සේ ජීවමාන කාලයේ නොයෙක් වර පෙන්වා දී ඇති කරුණකි. සසුන පිරිහීමේ කරුණු පෙන්වා දෙමින් ඒවා වළක්වා ගන්නට භික්ෂූන් වහන්සේ දැනුමින් පෝෂණය කළ අවස්ථා රාශියක් කස්සප සංයුත්තයේ දැක්වෙයි. සම්බුදු පරිනිර්වාණයෙන් පසු මහරහතන් වහන්සේලා එක්රැස් වී ධම්ය සංගායනා කොට එහි ඉදිරිපැවැත්ම සඳහා අඩිතාලම දැමුවේ ඒ නිසාය.
ධම්ය තුළ අභිධම්මය බුහුමන් ලැබූවකි. අභිධම්යේ මූලික ලක්ෂණ සමහර සූත්‍ර දේශනා තුළ ඇති නමුත්, එය විෂයයක් වශයෙන් ප්‍රගුණ කළ භාණක පරම්පරා, ප්‍රථම සංගායනාවෙන් පසුව ඇති වූ බව පෙනේ. එය ගැඹුරුය. සියල්ලන්ට තේරුම් ගැනීම උගහටය. ඒ නිසාම අභිධම්යේ ප්රභවය ගැන මත ප්‍රකාශ විය. එය අනුරපුර යුගයේ මතුව ආ අවස්ථාවේ අත්ථසාලිනිය මගින් බුද්ධඝෝෂ හිමියන් වෙතින් පිළිතුරු ලැබී ඇත. මෙකල නැවත ඒ අදහස සමහර භික්ෂූන් වහන්සේගෙන් මතුව එයි. කෙසේ නමුත් භික්ෂූන් වහන්සේ නිකාය වශයෙන් බෙදෙන්නට පළමුව අභිධම්ය සසුන තුළ තිබූ බව සියලු නිකායයන් එය පිළිගැනීමෙන් පෙනෙයි. අද අභිධම්ය නැතිව දහම තේරුම් කිරීම අපහසුය.
බෞද්ධ දර්ශනයේ පැවැත්මට අභිධම්ය උපකාරයකි. උගතුන් අතර රැඳීමට අභිධම් සම්ප්රදාය සමත්වෙයි. ආත්ම දෘෂ්ටිය නැසීමට මෙහි එන විවිධ බෙදා දැක්වීම් ප්‍රයෝජනවත් වෙයි. චිත්ත, චෛතසික, ධ්‍යාන, සමාධි, විමුක්ති, පඤ්චස්කන්ධ, පටිච්ච සමුප්පාද වැනි දහම් කරුණු මෙහි විස්තර වෙයි. අවස්ථානුකූල දේශනයකට වඩා එහි ක්රමානුකූල බවක් පෙනෙයි.
අපේ අධ්‍යාපන රටාව වෙනස් කිරීමෙන් එක් අතකින් මේ විෂයයන් සමාජ අවධානයෙන් ගිලිහෙයි. පිරිවෙන් අධ්‍යාපනය හා දහම් පාසල් අධ්‍යාපනය තුළ මේ ඉගැන්වීම් රටා දියාරු කිරීමක් දක්නට ලැබේ. ඒ නිසාම ලෙහෙසියෙන් සෝවාන් ආදි මාර්ග ඵල ලබන හා ලබාදෙන භික්ෂූන් වහන්සේත් ගිහියෝත් බෝවෙති.
රේරුකානේ චන්ද්‍රවිමල නාහිමියන්ගේ පොත් ත්‍රිපිටකයම විස්තර කරයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියූ පරිදි 2500 බුද්ධ ජයන්තිය අරබයා වැඩි ඝෝෂාවක් නැතිව කළ සාර්ථකම වැඩපිළිවෙල රේරුකානේ නාහිමිපාණන්ගේ බුද්ධජයන්ති පොත් මාලාවය. ලක්දිව බොදු පුබුදුවක් ඇති කිරීමට සමත් වූ ඒ පොත් බුදුගොස් හිමියන්ගෙන් පසුව ත්‍රිපිටකයම අලළා ලියූ වටිනා පොත් රැසකි.
රේරුකානේ නාහිමියන්ගේ පදනම අභිධම්යයි. උන්වහන්සේට මෙතරම් සරලව ධම් කරුණු විග්රහ කරන්නට හැකිවූයේ ඒ දැනුම නිසාය. එකල බොහෝ දෙනෙක් උන්වහන්සේ ‘ආභිධම්මික’ නාමයෙන් හඳුන්වනු ලැබුවේ ද ඒ නිසාය. වසර 2600 කට පමණ පෙර ඇසළ පුන් පොහෝ දිනක දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ වයන ලද අමත දුන්දුභියේ ප්රතිරාවය උදෙසා උපන් අතිපූජ්‍ය රේරුකානේ නාහිමියන්ගේ උපතත් අපවත්වීමත් එකම ඇසළ මාසයක වීම අපූර්ව සිදුවීමකි.
බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහය ලබා 1997 ජූලි මාසයේ මෙහි තෘතීය මුද්‍රණය නිකුත් කළෙමු. තවමත් පොත පිළිබඳව ඇති ඉල්ලීම ගැන කල්පනා කරන විට ගැඹුරු අභිදම් දැනුම ඇති පිරිසක් දැනුත් සිටීම පිළිබඳව සතුටු වියහැකිය. අධික මුදලක් වැයකර, දිගු කලක් මේ පොත අලෙවි කරන්නට වීම ගැන අසතුටුවීමට කරුණක් නැත්තේ ඒ නිසාය.
මෙහි තෙවන මුද්‍රණය නිකුත්වූයේ පරිගණක තාක්ෂණය ලක්දිව හඳුන්වා දුන් අලුතය. පාලි රීතිය හා සිංහල ලිවීමේ ක්‍රම අභිබවා නොගොස් හැකිතාක් එම නියමයන්ට අනුකූලව පොත මුද්‍රණය කරන ලදී. එහිදී සහාය දුන් අභාවප්‍රාප්ත කේ. ටී. ඒ. ජයවර්ධන මහතා කෘතවේදීව සිහිකරමි.
මේ වනවිට නැවත වර්ණසංයෝජනය කර පොත මුද්‍රණය කරන්නට සිදුවීම අභියෝගයකි. තාක්ෂණය දියුණු නමුත් පාළි රීතියට වර්ණ ගොනුකිරීමට ශිල්පීහු මැලිවෙති. අරුණ තලගල මහතාගේ දැනුමත් කැපවීමත් වඩාත් ඉස්මතු අගයක් ගෙනෙන්නේ ඒ නිසාය. එක් වැනි වැකි සමූහයක් නිරවුල්ව ගොනු කිරීමද දුෂ්කර කාර්යයකි. එහිදී සෝදුපත් සැසඳීමට හවුල් වූ මාලනීගේ සහාය ද අගය කරමි. මෙහි වර්ණ සංයෝජනයේ වැය දැරීම සඳහා එම වැඩ පිළිවෙලට පදනම දැමූ කසුන් ඉන්දික ජයවර්ධන මහතාගේ සොහොයුරියක වූ රයිගම තිළිණි තුෂාරි ජයවර්ධන මහත්මියගේ සහාය ලැබුණු බව පින් දෙමින් සටහන් කරමි. දිගු කලක් මේ ව්‍යාපෘතියේ යෙදීමට සිදුවීම නිසා වචන වෙන් කිරීමේදී සමහරවිට එකම වචන තැනින් තැන වෙනස් අයුරින් සඳහන් විය හැකිය. තේරුම් ගැනීමට බාධාවක් නොවන ඒ කරුණේදී ඔබේ සමාව අපට ලැබෙනු ඇතැයි සිතමු.
සමස්තයක් වශයෙන් මණ්ඩලයේ සභාපති ගරු පූජ්‍යපාද කිරිඹරුවේ ධම්මානන්ද නාහිමිගේ අවධානයත්, පූජ්‍ය කලුතර පදුම හිමි, පූජ්‍ය කලුතර වනරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ සහායත් ලැබීම මේ ශාසනවර්ධන කාර්යයන්හි නියැලීමේදී ශක්තියක් විය. දැනට වඩා සියලු ආගමිකයන්ගේ කටයුතුවලට මැදිහත්ව සහාය දෙන රජයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකා සමාජය දියුණු සමාජයක් වී භේද නැති රටක් වනු ඇතැයි මෛත්‍රියෙන් කල්පනා කරමු.
නාහිමියන් ලියූ පොත් මහජන යහපත පතා සමාජගත කිරීමට උනන්දු වූ පූජ්‍ය ගොඩිගමුවේ සෝරත මාහිමි, පූජ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම මාහිමි හා වර්තමානයේ ඒ කාර්යයන්ට උරදෙන පූජ්‍ය කිරිඹරුවේ ධම්මානන්ද නාහිමි කළ සේවයේ තරම අද වනවිට සියලු විහාරස්ථානවල හා ක්‍රියාකාරී බෞද්ධයන් අතර මේ පොත් පරිහරණය වීමෙන් වටහාගත හැකිය.
තිසරණ සරණයි.
සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්‍රී චන්ද්‍රවිමල ධම්පුස්තක සංරක්ෂණ මණ්ඩලය; 2024 නොවැම්බර් මස 14 වන දින පොකුණුවිටදීය.
ප්‍රස්තාවනා
ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අතීත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සර්වඥ පදප්රාප්තව ධම්දූත මෙහෙය සඳහා ප්‍රථම වරට පිටත් කර යවන ලද සැට නමක් වූ මහරහතන් වහන්සේලාගෙන් කෙනකු වූ අස්සජි මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ වෙත එළඹ තථාගතයන් වහන්සේ දේශනය කරන ධම්ය කවරේදැ යි විචාළ උපතිස්ස නම් වූ පිරිවැජහට,
“යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ, තෙසඤ්ච යො නිරොධො - එවංවාදි මහාසමණො”
යනුවෙන් හේතුවෙන් හටගන්නා පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත නාම රූප ධම්යන් හටගැනීමේ හේතුන් හා ඒ හේතුඵල ධම්යන්ගේ නිරෝධය වූ නිවනත් තථාගතයන් වහන්සේ දේශනය කරන්නාහ යි වදාරන ලද්දේ ය. එයින් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ධම්ය හේතුඵල ධම්යක් බව ය.
බුදුන් වහන්සේ විසින් හේතුඵල දේශනය කර ඇත්තේ ද එක් ක්‍රමයකින් ම නොව ක්‍රම තුනකිනි. ආය්යසත්යය ක්‍රමය ය, ප්‍රතීත්‍ය සමුත්පාද ක්‍රමය ය, ප්‍රස්ථාන ක්‍රමය ය යන තුන තථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා ක්‍රම තුන ය. තථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා තුන අතුරෙන් ආය්යසත්ය දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍රවෘත්තියේ හේතුව වශයෙන් තෘෂ්ණා සඞ්ඛ්‍යාත එක් ධම්යක් පමණක් දැක්වීමෙනි. ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයෙහි දැක්වෙන්නේ ද්වාදශාඞ්ගයක් ඇති හේතුඵල පරම්පරාවෙකි. ඒ දේශනා දෙක්හි ම තෘෂ්ණාදිය ඵලයට හේතු වන බව පමණ මුත් හේතුවන සැටි දක්වා නැත. තථාගතයන් වහන්සේගේ සර්වාඞ්ග සම්පූර්ණ අති විස්තර හේතුඵල දේශනය ප්‍රස්ථාන මහා ප්‍රකරණය ය.
දේව මනුෂ්‍ය තිරශ්චීන වෘක්ෂ පර්වතාදි වශයෙන් ලොව ඇති සකල සජීවාජීව වස්තූන් ම සෑදී ඇති මූල ධාතු සමූහය වූ චිත්ත චෛතසික රූප යන පරමාර්ථ ධම් තුන් කොටස හා නිර්වාණ පරමාර්ථය ද ප්රඥප්තිය ද යන මේ සියල්ල මූලභාව ආරම්මණභාව අධිපතිභාවාදි ඵලය උපකාර වන ශක්ති විශේෂයන්ගේ වශයෙන් හේතුප්‍රත්‍යය ආරම්මණප්‍රත්‍යය අධිපතිප්‍රත්‍යය යනාදීන් කොටස් සූවිස්සකට බෙදා නැවත පරමාර්ථ ධම්යන් කුශලාකුශල අව්යාකෘතාදි වශයෙන් කොටස් සසැටකට හා හේතු න හේතු ආදි වශයෙන් කොටස් දෙසියයකට ද බෙදා කුශලාදි ධම්යන්ට ඒ ඒ ශක්ති විශේෂවලින් ප්‍රත්‍යය වන සැටිත්, ප්‍රත්‍යය නො වන සැටිත් දැක්වීම් වශයෙන් ප්‍රස්ථාන ප්‍රකරණය දේශිත ය.
මේ ප්‍රකරණය සේ ගැඹුරු වූ ද, විශාල වූ ද තවත් ග්රන්ථයක් ලෝකයෙහි නැත්තේ ය. මේ ලොව ඇති ග්රන්ථරාජයා ය. දැනට සිංහල අකුරෙන් මුද්‍රණය වී ඇති පට්ඨාන මහා පකරණ පාළිය පිටු 1456 කින් යුක්ත ය. එපමණ පිටු ගණනක පට්ඨාන පකරණය මුද්‍රණය කළහැකි වී තිබෙන්නේ අගමුල පමණක් දැක්වීම් වශයෙන් ද, විස්තර කළයුතු ක්‍රමය පමණක් වචන ස්වල්පයකින් දැක්වීම් වශයෙන් ද, පොත්වල ලිවියහැකි පරිදි භික්ෂූන් විසින් දරියහැකි පරිදි කෙටිකර තිබෙන බැවිනි. එසේ කෙටිකර ඇති තැන් සම්පූර්ණ කර ප්‍රස්ථාන ප්‍රකරණය පත්වල ලියතහොත් එයට කඩදාසි පිටු කෝටියක් වුව ද ප්‍රමාණ නො වේ.
අනන්ත නය ඇත්තා වූ මේ ප්‍රකරණය නය සාගරයෙකි. මහාගතිම්බය තිසදත්ත තෙරුන් වහන්සේ මහබෝ වඩිනු පිණිස නැවකින් දඹදිව යන්නාහු මහසයුරේදී නැවේ උඩතට්ටුවේ සිට සාගරය දෙස බැලූහ. උන්වහන්සේට සාගරයේ එතරක් හෝ මෙතරක් නො පෙනිණ. සිවුදිගින් ම මහ හඬ නගා බිඳි බිඳී යන රළ නිසා හටගන්නා සුදු පෙණින් වැසී ගිය රිදීපටක් සේ දිලෙන සාගර ජලය ම පෙනිණ. ඉක්බිති උන්වහන්සේ මහා සාගරයේ රළ වේගය බලවත් ද, ප්‍රභේද විසින් ප්රකරණ සූවිස්සක් වන සමන්ත පට්ඨාන පකරණයේ නය මුඛය බලවත්දැ යි සිතූහ. සිතන්නා වූ උන්වහන්සේට උඩ යට දෙකින් හා සිවුදිගිනුත් මේ මහා සාගරයේ පරිච්ඡේදයක් ඇත්තේ ය. අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණයේ පරිච්ඡේදයක් නො පෙනේ ය යි බලවත් වූ ප්‍රීතියක් ඇතිවිය. උන්වහන්සේ එතැන ම හිඳ ඒ ප්‍රීතිය විෂ්කම්භනය කොට විදසුන් වඩා සව් කෙලෙසුන් නසා රහත් වූහ.
බුදුරැස් විහිදීම
තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පය්යඞ්කයේ වැඩහිඳ සම්‍යක් සම්බෝධි සමධිගමය කොට “මේ ධම්ය සොයන්නට පටන් ගත් මාහට චතුරසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගියේ ය. මම මේ පය්යඞ්කයෙහි හිඳ මතු කිසිකලෙක හිස ඔසවා නො එන පරිදි එක්දහස් පන්සියයක් කෙලෙස් සතුරන් පරදවා පළවා හැර එතෙක් කල් සොයමින් සිටි ධම්ය ප්‍රතිවේධ කෙළෙමි”යි මහත් සොම්නසට පැමිණ ලොවුතුරා බුදුවුව ද එම අස්නෙන් නො නැගී සම්‍යක් සම්බෝධිය පිණිස බැඳගත් පය්යඞ්කය නො බිඳ අනේක සමවත්වලට සමවදිමින් දහම් රස විඳිමින් නිවන් සුව විඳිමින් සතියක් ඒ අසුනෙහි ම වැඩහුන් සේක. බුදුවීමෙන් අටවන දිනයෙහි ඒ අසුනෙන් නැගිට එයින් මදක් ඈත්ව “මෙය මාවිසින් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශලයන්ගේ ඵල ලැබූ තැන ය”යි වැඩහුන් තැනට හා මහබෝරුකටත් ගරුකිරීමක් වශයෙන් එදෙස බලාගත් වන ම ඇසිපිය නො හෙලා ම සතියක් සිටගෙන ම හුන් සේක. පය්යඞ්කයට උතුරුදිග වූ ඒ ස්ථානය අනිමිස චෛත්‍ය නම් විය. ඉක්බිති ඒ සිටි තැනටත් පය්යඞ්කයටත් අතරෙහි නැගෙනහිරට හා බස්නාහිරට දික්ව පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් කල් යැවූ සේක.
දින එක්විස්සක් ඉක්ම ගියේ ය. ඒ එක් දිනකදීවත් තථාගත ශරීරයෙන් රැස් නො විහිදිණ. සතරවන සතිය පැමිණි කල්හි මහබෝමැඩින් බස්නාහිර උතුරු දෙදිගට අතර රතනඝරයෙහි වැඩහිඳ අභිධම්ය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ ධම්මසඞ්ගණී විභඞ්ග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති කථාවත්ථු යමක යන ප්රකරණ සය පිළිවෙළින් මෙනෙහි කොට පට්ඨාන මහාපකරණයට බැස “හෙතුපච්චයො ආරම්මණපච්චයො අධිපතිපච්චයො” යනාදීන් ධම්ය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ විසින් පළමුව මෙනෙහි කළ ප්රකරණ සය කුඩා බැවින් සර්වඥතාඥානය රිසි සේ පවත්වන්නට ඒ ප්රකරණ ප්‍රමාණ නො වී ය. අනන්ත ක්‍රම ඇති අති විශාල වූ පට්ඨාන මහා පකරණය තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සර්වඥතාඥානය හැසිරවීමට ඉඩ ඇති ස්ථානය විය. පට්ඨාන ප්‍රකරණයට අයත් ඉමක් කොණක් නැති පරම සූක්ෂම ධම්යන්හි රිසි සේ සර්වඥතාඥානය හසුරුවන්නට තථාගතයන් වහන්සේගේ සිත අතිශයින් පහන් විය. ඒ ප්‍රසන්න සිතින් උපදවන රූප ද ඒවා නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ද පැහැපත් විය. තථාගතයන් වහන්සේගේ කෙස් ලොම්වලින් හා නේත්‍රයන්ගෙන් ද නිල්වන් රැස් දහර නික්මෙන්නට විය. එකෙණෙහි ඒ රශ්මීන් නිසා අහස නිල් මල් නිල් කොඩි නිල් වියන්වලින් වැසීගියාක් මෙන් විය. සමින් හා ඇස්වල ඇතැම් තැනකින් ද රන්වන් රැස් දහර නික්මෙන්නට විය. ඒ රැස් නිසා ලෝක කුහරය රන්මල් රන්සුණු රන්වන් මල් විසුරුවා හැරි කලෙක මෙන් කහ පැහැයෙන් බබලන්නට විය. ලේ මස්වලින් හා ඇස්වල රතු තැන්වලින් රතු රැස්දහර නික්මෙන්නට විය. ඒවායින් ලෝක ධාතුව රත්පැහැයෙන් බබලන්නට විය. ඇටවලින් හා දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදු රැස්දහර නික්මෙන්නට විය. එයින් ලෝක ධාතුව සුදු පැහැයෙන් බබලන්නට විය. ශ්‍රී ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨක ප්‍රභාෂ්වර රශ්මීහු ද නික්මෙන්නට වූහ. පට්ඨාන මහා පකරණයාගේ විශිෂ්ටත්වය මේ බුදුරැස් විහිදීමෙන් ද තේරුම් ගතහැකි ය.
පට්ඨාන පකරණ සන්නය සම්පාදනය කිරීම
පට්ඨාන මහා පකරණ පාළිය කියවා එයින් ප්‍රයෝජනයක් ලබනු තබා එහි සැටිවත් කිසිවකුට තේරුම් ගත නො හැකි ය. පාලි භාෂාව දතහොත් බුදුදහම දතහැකි ය යන හැඟීමක් බොහෝ දෙනෙකුට ඇතත් එය මුළාවෙකි. පාලිය කොතෙක් දතුවකුට වුව ද පාලි දැනීමේ බලයෙන් මේ ප්‍රකරණය තේරුම් ගත නො හැකි ය. කොතෙක් පාලි දතුවකු විසින් වුව ද පට්ඨාන පකරණය තේරුම් ගනු කැමති නම් අභිධම්ය දතුවකුගෙන් උගතයුතු ම ය. සන්නයක් නැති කල්හි එය ගුරුවරයකුගෙන් ඉගෙනීම ද අපහසු ය. ඒ බව දත් අපෙන් අභිධම්ය උගත් කාන්තාවක් ඇතුළු බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
පට්ඨාන පකරණය ඉතා ගැඹුරු, ඉතා විශාල ග්රන්ථයක් වුව ද එහි වචන ඇත්තේ සුළු ගණනෙකි. එබැවින් පට්ඨානය ගැන දැනුම නැති පාලි භාෂාව දත් කෙනකුට, වැඩි අපහසුවක් නැතිව පට්ඨානපාළියට පදයෙන් පදය අර්ථ දෙන සන්නයක් නම් සැපයියහැකි ය. එය සිංහලට ද පෙරලියහැකි ය. එහෙත් එබඳු සන්නයකින් හෝ පරිවර්තනයකින් සිදුවන අර්ථයක් නම් නැත. එබඳු සන්නයකින් හෝ පරිවර්තනයකින් පට්ඨානය ඉගෙනගන්නකුට ලැබියහැකි අල්පමාත්‍ර ප්රයෝජනයකුදු නැත. පට්ඨානපකරණයට සන්නයක් සැපයියයුත්තේ ඒ ප්‍රකරණය උගතයුතු ක්‍රමයට ය. පට්ඨානයට සැපයියයුතු සන්නය කෙබඳු වියයුතු ද යනු මේ සන්නය කියවීමෙන් තේරුම් ගතහැකි වනු ඇත. මේ ප්‍රකරණය ශිෂ්‍යයනට උගතහැකි වන පරිදි, උගතයුතු ක්‍රමය දැක්වෙන සන්නයක් එයට සැපයීම නම් ඉතා දුෂ්කර කරුණෙකි. අනික් පොත්වලට සන්න සපයන්නාක් මෙන් අටුවා ටීකා ආශ්රයෙන් මෙය නො කළහැකි ය. අතීතයේ පටන් පැවතෙන පට්ඨානපකරණය උගැන්වීමේ ක්‍රමයක් ඇත්තේ ය. අප රටේ ඒවා ලියා තැබූ පොත් අද කොතැනකවත් දක්නට නැත. සතුරු උවදුරුවලින් අප රටේ කලින් කල ඇතිවුණු ශාසන විනාශවලදී අප රටේ තුබූ ඒ පොත් නැති වී යන්නට ඇත. බුරුමයේ වනාහි අභිධම්ය උගැන්වීමේ පෞරාණික ක්‍රමය හා පොත පත ද අදත් පවතී. අපට මේ පට්ඨාන සන්නය සැපයියහැකි වූයේ බුරුමයේ අදත් ඒ උගැන්වීම් ක්‍රමය පවත්නා නිසා ය. මෙය අප විසින් සපයන ලද්දේ බුරුම පට්ඨාන සන්නය හා පට්ඨානය පිළිබඳ