රාජරත්නාකරය - කරුණාදාස රූපසිංහ 1995.pdf
- කතෘ :
- වල්ගම්පායේ අභයරාජ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1995
- මුද්‍රිත වර්ෂය :
- 1995
- පිටු ගණන :
- 195
- බාගත කිරීම් ගණන :
- 267
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-07-03
- ගොනුවේ ප්‍රමාණය :
- 48 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රාජරත්නාකරය යනු කෝට්ටේ රාජධානි සමයේ අග භාගයෙහි හෙවත් මහනුවර යුගයේ මුල් භාගයෙහි වල්ගම්පායේ අභයරාජ තෙර සාමීන් විසින් රචිත ඓතිහාසික ග්රන්ථයකි. මහාවංසය ලිවීම නැවතී තිබූ අවධියක ලියැවුණු මෙම කෘතියෙන් මෙරට ඉතිහාස තොරතුරු මෙන්ම සාමාන්‍ය ජනයා හා රජවරුන් පිළිබඳ වටිනා තොරතුරු රැසක් අනාවරණය කෙරේ.
මෙම ශාස්ත්‍රීය සංස්කරණය කරුණාදාස රූපසිංහ මහතා විසින් පුස්කොළ පිටපත් 10ක් සහ මුද්‍රිත සංස්කරණ කිහිපයක් සංසන්දනය කරමින් සකස් කර ඇත. ග්‍රන්ථය ආරම්භයේ පුස්කොළ පිටපත් විස්තර, කර්තෘ හා කාලය, භාෂාව සහ ඓතිහාසික අගය පිළිබඳ දීර්ඝ සංඥාපනයක් ඇතුළත් වන අතර, මෙතෙක් මුද්‍රණය නොවූ ‘සුළු රාජරත්නාකරය’ ද මෙහි උපග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ විසින් 1995 දී මෙය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.
පෙරවදන
රාජරත්නාකරය වනාහි ශ්‍රී ලංකා ඉතිහාසයෙහි එක්තරා කාල පරිච්ඡේදයක තොරතුරු දැන ගැනීමට අතිශයින් උපකාරී වන ග්රන්ථයකි. මෙම ග්රන්ථයෙහි සංස්කරණ හතරක් මේ වන විට පළවී ඇත. එහි සිවුවැන්න අපගේ මෙම සංස්කරණයෙහි අත් පිටපත සකස් කොට අවසන් ව පවතිද්දී 1990 වර්ෂයේ දී පළවී තිබෙනු දක්නට හැකි විය. එක ම පුස්කොළ පිටපතක් පමණක් ඇසුරු කරන ලද එම සංස්කරණය ශාස්ත්‍රීය සංස්කරණයක් වශයෙන් නොසැලකිය යුතු තරම්ය. රාජරත්නාකරය වශයෙන් ඉතිහාසඥයින් බොහෝ දෙනෙකුට ඇසුරු කිරීමට ලැබී ඇත්තේ 1929 වර්ෂයේදී පී. ඇන්. තිසේරා විසින් කරන ලද සංස්කරණයයි. එම කෘතිය ද සම්මත ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරමින් කරන ලද බවක් නො පෙනේ. රාජරත්නාකරය පෙළෙහි දක්නා ලැබෙන ඇතැම් ගැටළු තැන් මූලාශ්රයන්ට පමණක් ගැලපෙන අන්දමට කතුවරයාගේ ම අභිමතය පරිදි සකස් කිරීම එහි ඇති ප්‍රධානතම දුර්වලතාවයි. එම කෘතියට පෙර පළ කරන ලද සංස්කරණ වනුයේ 1905 දී සයිමන් ද සිල්වා වාසල මුදලිතුමන් විසින් හා 1987 දී වැලිතර සද්ධානන්ද හිමියන් විසින් පළ කරන ලද සංස්කරණ දෙකයි. එම කෘතීන් දෙක තිසේරා මහතා දක්වන පරිදි කාලාන්තරයක් ගතවීම නිසා පරස්පර විරෝධී වූ ද පෙරැලී ගියා වූද ව්‍යාකූල වූ ද ස්ථානයන්ගෙන් යුක්තය. යට කී හේතූන් නිසා රාජරත්නාකරය සඳහා ප්‍රමාණවත් අන්දමේ සංස්කරණයක අවශ්‍යතාව බලවත් ව පැවතිණ.
පූර්වෝක්ත කරුණු පදනම් කරගෙන කැරුණු මෙම සංස්කරණයෙහි මුල් කොටස සංඥාපනයයි. ඊළඟ කොටස රාජරත්නාකර පෙළ වශයෙන් ඉදිරිපත් කෙරේ. පසුභාගය උප ග්‍රන්ථයයි. සංඥාපනයේ දී කෘති කාලය, භාෂාව, අන්තර්ගතය, ආශ්රිත ග්රන්ථ යනාදී කරුණු පිළිබඳ අධ්‍යයනය කර ඇත. දෙවන කොටසින් ඉදිරිපත් කෙරෙන පෙළ පුස්කොළ පිටපත් ඇසුරින් ම සකස් කිරීමට උත්සාහ ගන්නා ලදී. උපග්රන්ථයට ඇතුළත් වන්නේ රාජරත්නාකරයෙහි අන්තර්ගත කොට ඇති යාථාවන්හි මූලාශ්‍රය කෘති හා මහනුවර රාජාධිරාජසිංහ රජු දවස විසූ කතුවරයකු විසින් ලියන ලද සුළු රාජරත්නාකරය නම් වූ ග්රන්ථයකි. එයින් ඉදිරිපත් කෙරෙනුයේ රාජාධිරාජසිංහ රජු දවස තෙක් සිංහල රජවරුන්ගේ තොරතුරුය. ඒ රජු පිළිබඳ තොරතුරු දීර්ඝ වශයෙන් ද සෙසු රජවරුන් පිළිබඳ තොරතුරු ඉතා සංක්ෂිප්තවද ඉදිරිපත් කෙරේ. මෙතෙක් එම ග්‍රන්ථය මුද්‍රණය වී ඇති බවක් දක්නට නොලැබිණ.
මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා ආරම්භයේ සිට ම ගුරුපදෙසින් අපට සහාය වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන වශයෙන් කටයුතු කළ දැනට ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඒ. වී. සුරවීර මහතාය. එතුමාණන්ගෙන් ලැබුණු අනුග්‍රහය මෙහිලා ස්තුති පූර්වකව සිහිපත් කරමි. මේ කටයුත්තේදී මා ධෛර්යවත් කළ මහාචාර්ය ගැටාරේ ධම්මපාල හිමියනුත් ගෞරව පූර්වකව සිහිපත් කරමි. පුස්කොළ පිටපත් සපයා දීමෙන් අපට සහාය වූ ශාස්ත්‍රපති මඩුවන්වෙල සුගතනන්ද හිමියන්ටත්, පිරිවෙන් පරීක්ෂක කැලීගම දීපිකානන්ද හිමියන්ටත් කෘතඥ වෙමි.
පුස්කොළ පිටපත් ලබා දීම සම්බන්ධයෙන් එම පිටපත් අයත් විහාරස්ථානයන්හි අධිපතීන් වහන්සේලා අප වෙත දැක් වූ අනුග්‍රහය කෘතඥතා පූර්වකව විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. පුස්තකාල පහසුකම් ලබාදීමෙන් සහාය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පුස්තකාලය, කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය රත්නපුර මහජන පුස්තකාලය ආදි පුස්තකාලයන්හි කාර්ය මණ්ඩලයන්ට ද අපගේ ස්තූතිය හිමි වේ.
අත් පිටපත සැකසීමේ සිට සෝදුපත් කියවීම දක්වා අපට සහාය වූ නිහාල් රූපසිංහ මල්ලීටත්, සනත් හේවාගේ ශිෂ්‍යයා ඇතුළු සෑම දෙනාටත් අත් පිටපත යතුරු ලියනය කරදුන් ශ්‍යාමලී කොරටුවවත්ත මෙනෙවියටත් ස්තුතිවන්ත වෙමි. මෙහි පිටකවරය නිර්මාණය කර දුන් හාපිටිගම අධ්‍යාපන විද්‍යා පීඨයේ සෞන්දර්ය අංශයේ කථිකාචාර්ය එම්. ඩී. සුනිල් ජයරත්න මහතාට ද අපගේ කෘතඥතාව පිරිනැමේ.
මෙම කෘතිය පළ කිරීම සඳහා වාර්ෂික ආධාර වැඩ පිළිවෙළට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයටත්, ප්‍රකාශන කටයුතු භාරගත් ගොඩගේ සහෝදර සමාගමටත් එහි කළමනාකාර සිරිසුමන ගොඩගේ මහතාටත් පොත මැනවින් මුද්‍රණය කිරීම පිළිබඳව චතුර මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තූතිය හිමි වේ.
01. 04. 1995
හාපිටිගම අධ්‍යාපන විද්‍යා පීඨය
මීරිගම.
ප්‍රස්තාවනාව
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හදාරන්නෙකු විසින් අවශ්‍යයෙන් ම පරිශීලනය කළ යුතු ග්රන්ථ කීපයක් වෙයි. ඒ අතර මහාවංසය, දීපවංසය, රාජාවලිය, නිකාය සංග්‍රහය, පූජාවලිය යන කෘතිවලට විශේෂ ස්ථානයක් හිමි වේ. මේ ගණයෙහි ලා සැලකිය යුතු තවත් ලේඛනයක් නම් රාජරත්නාකරය යි. මෙවැනි ග්රන්ථ මගින් රටේ ඉතිහාසය වාර්තා කර තබන්නට අපේ මුතුන්මිත්තෝ මහත් රුචියක් දැක්වූහ. ලෝකයේ සෙසු රටවල් සමග සසඳන විට ලංකාවේ තරම් ක්‍රමවත්ව පැවත එන ඉතිහාස ලේඛන සම්ප්රදායක් වෙනත් රටකට නොමැති තරම්ය.
මෙරට කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව ලියැවී එනුයේ පාලි මහාවංසයයි. ඊට සමාන්තර සිංහල ඓතිහාසික ලේඛන සම්ප්රදායක් ද මෙරට පැවැතිණි. මහාවංස කර්තෘවරුන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ රජුන් හා ප්‍රභූන් මෙන් ම බෞද්ධ කටයුතු කෙරෙහි ද බව පෙනේ. රාජරත්නාකරය, රාජාවලිය, අලකේශ්වර යුද්ධය වැනි පොත්වල සාමාන්‍ය මහජනයා පිළිබඳ තොරතුරු ද වාර්තා වී ඇත්තේය. මේ අනුව තත්කාලීන වාර්තාගත සිදුවීම් අනාවරණය කර ගැනීමේහි ලා වඩාත් ම ප්‍රයෝජනවත් කෘති වශයෙන් නූතන ඉතිහාසඥයින්ගේ අවධානය මෙවා කෙරෙහි වැඩි වශයෙන් යොමු වී පවතී.
රාජරත්නාකරය මෙරට වියවුල්ව පැවති කෝට්ටේ රාජධානිය අග භාගයේදී හෙවත් මහනුවර රාජධානියේ මුල් යුගයේ දී පමණ ලියැවුණකි. මේ වන විට මහාවංසය ලිවීම නැවතී තිබිණ. මෙරට උගතුන්ගේ ප්‍රමාණය ද අල්ප විය. එසේ වුවත් රාජරත්නාකර කතුවරයා ඇතුළු තවත් සාමාන්‍ය පෙළේ උගතුන් කීප දෙනෙකුන් හෝ සිටින්නට ඇත. කතුවරයා හා සමකාලීනව උඩරට උප රාජධානියේ විසූ රජතුමා වර්ණනා කිරීම කතුවරයාගේ මූලික අරමුණ වූවා විය හැකිය. මේ යුගයේ තොරතුරු හෙළි කර ගැනීමට එමගින් විශාල මෙහෙයක් සැලසී ඇත. පසු කලෙක දී තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත තෙරණුවන් විසින් මහාවංසය නැවත ලිවීමේදී මූලාශ්‍රය වශයෙන් තබා ගන්නා ලද්දේ ද රාජරත්නාකරය බව පෙනේ. මෙනයින් සලකන කල මේ රටේ ඓතිහාසික ලේඛන හිඟ වකවානුවක තොරතුරු දැන ගැනීම සඳහා රාජරත්නාකරය මහෝපකාරී වන බව පැහැදිලිය.
රාජරත්නාකරය සඳහා ශාස්ත්‍රීය සංස්කරණයක අවශ්‍යතාව බලවත් සේ දැනෙන්නට විය. එම අවශ්‍යතාව සපුරා ලමින් ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් පුස්කොළ පිටපත් 10 ක් සහ සංස්කරණ 03 ක් ද ඇසුරෙන් සම්මත ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරමින් මේ සංස්කරණය සම්පාදනය කර ඇත. මේ කෘතියට ලියා ඇති සංඥාපනයෙහි අත් පිටපත් පිළිබඳ විස්තර, කර්තෘ හා කාලය, ඓතිහාසික අගය ආදී තොරතුරු රාශියක් සාකච්ඡා කර තිබේ. කර්තෘ හා කාලය පිළිබඳ විස්තර දක්වන අවස්ථාවේදි මෙරට ඉතිහාසඥයින් අතර මත භේදයට තුඩු දී ඇති කරුණක් වන වීරවික්රම නම් රජු පිළිබඳ පුවත ගැන විචාරාත්මක අධ්‍යයනයක් කර ඇත එම පරිච්ඡේදය ඉතිහාසඥයින්ගේ විශේෂ අවධානයට යොමු විය යුතු බව හැඟේ. මෙතෙක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වී නොමැති සුළුරාජරත්නාකරය නම් වූ කුඩා ග්රන්ථයක් ද මෙහි උපග්රන්ථයට ඇතුළත් කර තිබීම විශේෂයෙන් අගය කළ යුත්තකි.
කරුණාදාස රූපසිංහ මහතා විසින් සංස්කරණය කරන ලද රාජරත්නාකරය සිංහල සාහිත්‍යය, ලංකා ඉතිහාසය වැනි ක්ෂේත්‍ර සම්බන්ධව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මහත් සේ වැඩදායක වන කෘතියක් බව මගේ හැඟීමයි.
මහාචාර්ය ඒ. වී. සුරවීර
1995 03. 25
36, යහම්පත් මාවත,
මහරගම.