අභිධර්ම චිත්තවීථි විනිශ්චය - කඩුවෙල අතුලඤාණ හිමි 2026.pdf

කතෘ :
කඩුවෙල අතුලඤාණ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2026
මුද්‍රිත වර්ෂය :
2026
පිටු ගණන :
120
බාගත කිරීම් ගණන :
1,065
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-06-18
ගොනුවේ ප්‍රමාණය :
5.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 61

අභිධර්ම චිත්තවීථි විනිශ්චය යනු අනුරාධපුර සද්ධාතිස්සාරාම මහා විහාරවාසී ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමියන් විසින් සම්පාදිත අභිධර්ම ග්‍රන්ථයකි. අභිධම්මත්ථසංගහයේ සතරවන පරිච්ඡේදය වන වීථි පරිච්ඡේදය වඩාත් සවිස්තරව විවරණය කරමින් බුරුමයේ අශින් ජනකාභිවංස (භාසාටීකා සයාඩෝ) හිමියන්ගේ කෘතීන් හා අතිපූජ්‍ය නාලයනේ අරියධම්ම මාහිමියන්ගේ පරිවර්තනයන් ද ඇසුරු කොට මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

මෙහි චක්ෂුරාදී පඤ්චද්වාරික චිත්තවීථි, මනෝද්වාරික චිත්තවීථි, අර්පණ ජවන් වීථි, මරණාසන්න සහ පරිනිර්වාණ වීථි ආදී සියලු චිත්තවීථි ක්‍රම රූප සටහන් සහ විග්‍රහයන් සහිතව ක්‍රමානුකූලව පැහැදිලි කර දී තිබේ. ථේරවාද ප්‍රකාශන සමිතිය මගින් 2026 වසරේ දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය අභිධර්මය හදාරන ධර්ම ශිෂ්‍යයන්ට සහ පර්යේෂකයන්ට ඉතා ප්‍රයෝජනවත් අත්පොතකි.

පෙරවදන

ඇසට පෙනීම, කනට ඇසීම, නාසයට ගඳ - සුවඳ දැනීම, දිවට රස දැනීම, කයට පහස දැනීම, තමා විසින් වචනයක් කීම, අනුන් කියන දෙයක් හරිහැටි තේරුම් ගැනීම, ශරීරාවයව එසවීම, පහත් කිරීම, එහා මෙහා කිරීම, යෑම, ඒම, දීම, ගැනීම යනාදී කුදු මහත් සියල්ල ම සිත පූර්වාංගම වී ම සිදු වේ. මේ සඳහා එක් සිතක් නොව සිත් පරම්පරාවක් යෙදෙන බව දනිමු. එම සිත් පරම්පරාවට ‘චිත්ත වීථිය’ යැයි කියනු ලැබේ.

මෙලෙස ඇසීම, දැනීමාදී සියලු කරුණු හරිහැටි දැනගැනීම සිත පිළිබඳ අවබෝධයෙන් සිටීමෙන් පමණක් සිදු වේ. එබැවින් සිත පිළිබඳ හරිහැටි අවබෝධයක් නැති සාමාන්‍ය ජනයාට වුව ද ඒ පිළිබඳ කළ හැක්කේ අනුමාන අවබෝධයක් පමණි. අනන්ත ලෝකධාතුවේ වෙසෙන සත්වයන් අතරින් භාග්‍යවතුන් වහන්සේ නමකට මේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇත. අපට වුවද කළ හැක්කේ ගෞතම ශ්‍රී තථාගතයන් වහන්සේ එලෙස ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන ලද්ද ඉදිරිපත් කිරීම පමණි. එනිසා චිත්ත වීථි අවබෝධය සඳහා; එකුන් අනූ චිත්තයන් දෙපණස් චෛතසික සහ අටවිසි රූපයන් පිළිබඳ පූර්ව දැනුමක් තිබිය යුතු ය. ඒ නිසා මේවා පිළිබඳව නො දත් සාමාන්‍ය ජනයාට චිත්ත වීථි පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් හෝ ලැබීම පහසු නොවේ.

ඒ සඳහා අභිධර්ම පිටකය, අටුවා, ටීකා සහ සංග්‍රහ ග්‍රන්ථ උගෙනීම වැදගත් වේ. මහා විහාරවංශාලංකාර, අභිධර්මජ්‍යොතිෂධජ, ශාසන ජෝතික, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති අතුලඤාණ ස්ථවිරයන් වහන්සේ වසර කිහිපයක් මුලුල්ලේ බුරුමරට පරියප්ති මධ්‍යස්ථානවල සැරිසරමින් ආභිධම්මික වැඩිහිටි මහතෙරුන් වහන්සේලා ආශ්‍රය කරමින් විශේෂඥ දැනුමක් වඩා ගන්නා ලද ස්ථවිරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ දැනුමේ ඇති සුවඳ බව හෙළිපෙහෙළි කරමින් පට්ඨාන ප්‍රකරණය පහසුවෙන් ඉගෙනීම සඳහා පොත් පෙළක් රචනා කළ අතර මාතිකා අධ්‍යයනය සඳහා ද ධාතුකථා ප්‍රකරණය අධ්‍යයනය සඳහා ද පොත් පෙළක් රචනා කළේ ය.

එහි ම දිගුවක් ලෙස ‘අභිධර්ම චිත්තවීථි විනිශ්චය’ යන මෙම ග්‍රන්ථය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා රූප සටහන් සහිත ව රචනා කර ඇත. චක්ෂුරාදියෙහි ඇති වන අතිමහන්තාරම්මණ චිත්තවීථියේ පටන් සියලු ම පඤ්චද්වාර හා මනෝද්වාර චිත්තවීථි මෙහි සවිස්තරාත්මක ව දක්වා ඇත.

තව ද අර්පණ ජවන් වීථිවල පටන් මරණාසන්න සහ පරිනිර්වාණ වීථි දක්වා ම වීථි පිළිබඳ පාටුල අවබෝධයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දීමට සමත් වී තිබේ. මේ අනුව ග්‍රන්ථ කිහිපයක් පරිශීලනය කරමින් උකහාගතයුතු දැනුම එක් ග්‍රන්ථයක් වූ මෙයින් ශිෂ්‍යයට ලබා දේ.

මෙලෙස අභිධර්මයේ අප්‍රකට තැන් ප්‍රකට කරමින් ශාස්ත්‍රඥයන්ට නව දැනුම ගවේෂණය කිරීමේ මග සලසා දුන් අතුලඤාණ ස්ථවිරයන් වහන්සේට අප ස්තුති පිරිනැමිය යුතු ය. ශතසහස්‍ර සංඛ්‍යාත ශිෂ්‍ය පිරිසකට එමගින් මහත් පිටුවහලක් සැලසෙන අතර එමගින් පරියත්ති ශාසනයේ අභිවෘද්ධියට ඉමහත් දායකත්වයක් වනු නිසැක ය.

මේ සත්කාර්යයෙහි ව්‍යාවෘත වූ කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන් වහන්සේගේ සියලු ශාසනික අභිමාර්ථ සඵල වේවා.

මෙයට, නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර.

නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර.

සංඥාපනය

සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් යුතු ව සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූරණය කොට දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩපයේ දී සවාසනා සකල ක්ලේශයන් මතු නූපදනා ලෙස ප්‍රහාණය කොට ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ සේක. බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා ලෝක සත්ත්වයන් ස්වර්ග මාර්ගයේ ද මෝක්ෂ මාර්ගයේ ද පිහිටුවමින් ධර්මරාජයාණන් වහන්සේ වදාරා වූ ඒ ශ්‍රී සද්ධර්මය සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය යනුවෙන් පිටකත්‍රයකින් සංග්‍රහ කරන ලදී.

කාය වාග් අසංවරයන්ගේ හික්මවීම සිදු කරන ප්‍රාතිමෝක්ෂ සංඛ්‍යාත ශීලය විනය පිටකාන්තර්ගත ය. බුදුරජාණන් වහන්සේ ඒ ඒ වෙනෙය්‍ය ජනයන්ගේ ආශයානුසය දකිමින් ඒ ඒ සත්ත්වයන්ට අනුරූපව උපමා උපමේය භාවිත කරමින් නොයෙක් ස්ථානවල දී වදාළ දේශනා සූත්‍ර පිටකයෙහි ඇතුළත් වේ. කාම, රූප, අරූප යන භවතත්‍රයට ඇතුළත් වන චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් නොයෙක් ආකාරයෙන් බෙදා අනවශේෂ වශයෙන් වදාළ වූ දේශනාව අභිධර්ම පිටකයෙහි ඇතුළත් වේ.

අභිධර්ම පිටකයේ ඇතුළත් වන ධම්මසංගණි ආදී සප්ත ප්‍රකරණයන් අධ්‍යයනය කිරීමට පෙර එම පිටකයේ ඇතුළත් කරුණු සංක්ෂේපයෙන් ඉගෙන ගැනීම සඳහා අනුරාධපුර යුගයේ සිටි පුරාණාචාර්යයන් වහන්සේලා විසින් නොයෙක් සංග්‍රහ ග්‍රන්ථයන් සම්පාදනය කොට ඇත. එම ග්‍රන්ථයන් අතරින් වඩාත් ම ප්‍රචලිත වූයේ ‘අභිධම්මත්ථසංගහ’ ග්‍රන්ථය යි. ථේරවාද ධර්ම සාහිත්‍යයෙහි එම ග්‍රන්ථය ඇසුරු කොට සකස් වුණූ ටීකා සහ සංග්‍රහ ග්‍රන්ථ බොහෝ ගණනක් පැවතීම එහි විශිෂ්ටත්වය ප්‍රකාශ කරන්නක් වේ.

එම ග්‍රන්ථයේ සතරවන පරිච්ඡේදය වන වීථි පරිච්ඡේදයෙහි අභිධර්ම පිටකයේ සහ අටුවාවල දැක්වෙන චිත්තවීථි පිළිබඳව පැහැදිලි කෙරේ. චිත්තවීථි සම්බන්ධයෙන් වන දැනුම අභිධර්මය මනාව අවබෝධ කරගැනීම සඳහා අත්‍යවශ්‍ය ම ය. අභිධම්මත්ථසංගහයේ පළමු පාඩම් තුනෙහි විස්තර කරන ලද එකසිය විසිඑකක් වූ චිත්තයන්ගේ යෙදීම, ඒ ඒ අවස්ථාවල දී තිස්එක් භූමියක ජීවත්වන නානාවිධ වූ සත්ත්වයන්ගේ සන්තානයෙහි නානාවිධ කෘත්‍යයන් සිදුකරමින් පහළවීම මෙම සතරවන පරිච්ඡේදයෙන් විස්තර වේ. එබැවින් චිත්තවීථි සම්බන්ධයෙන් අවබෝධය ලබාගැනීම දුෂ්කර ය. ගුරුවරුන් සමග සාකච්ඡා කොට ඥානය පිරිසුදු කරගත යුතු ය.

මෙම ග්‍රන්ථය සකස් කිරීම පිළිබඳව අපට අදහසක් පහළ වූයේ 2025 වර්ෂයේ අනුරාධපුර සද්ධාතිස්සාරාමයේ ස්වාමීන් වහන්සේලාට අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වන කාලයේ දී ය. එය ඉගැන්වීමේ දී අප විසින් පරිශීලනය කරන ලද බුරුම බසින් ලියවුණු අශින් ජනකාභිවංස ස්වාමීන් වහන්සේගේ (භාසාටීකා සයාඩෝ) ග්‍රන්ථවල ඇතුළත් ඇතැම් විනිශ්චයන් සිංහල බසින් පළ වී නොතිබුණු අතර ඒවා සිංහල බසින් ලියවුණේ නම් ධර්මකාමීන් හට උපකාර වේ යැයි අපට වැටහිණ. චිත්තවීථි සම්බන්ධයෙන් විස්තරයන් ඇතුළත් වනුයේ උන්වහන්සේ විසින් රචිත අභිධම්මත්ථසංගහ භාසාටීකාවේ හා වීථි විභාගය සහ පට්ඨාන ත්‍රිශිය යන ග්‍රන්ථවල ය. අභිධම්මත්ථසංගහ භාසාටීකාවේ දී චිත්තවීථි සම්බන්ධයෙන් යම් විස්තරයක් දක්වා සෙසු විස්තර සඳහා වීථි විභාගය සහ පට්ඨාන ත්‍රිශිය බැලීමට උපදෙස් දී ඇත. ඒ අනුව මෙම ග්‍රන්ථ දෙක ම පරිශීලන කිරීම අවශ්‍ය වේ.

1964 වර්ෂයේ දී අතිපූජනීය නාලයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් වීථි විභාගය සහ පට්ඨාන ත්‍රිශිය ග්‍රන්ථය පරිවර්තනය කොට තිබුණු අතර කිසියම් හේතුවක් නිසා ඇතැම් කොටස් එහි ඇතුළත් වී නො තිබිණ. මේ හේතුවෙන් ද අභිධම්මත්ථසංගහ භාසාටීකාවේ ඇතුළත් කරුණු ද චිත්තවීථි සම්බන්ධයෙන් ඉගෙන ගැනීමේ දී වැදගත් වන බැවින් සියලු කරුණු එක්කොට අභිනව ග්‍රන්ථයක් සකස් කිරීම ශිෂ්‍යයන්ට පහසු වේ යැයි අපට හැඟුණු බැවින් මෙම ග්‍රන්ථය සම්පාදනය කෙරිණ. මෙම ග්‍රන්ථය සඳහා මූලික සැකිල්ල වශයෙන් අප යොදාගෙන ඇත්තේ වීථි විභාගය සහ පට්ඨාන ත්‍රිශිය ග්‍රන්ථයේ අදාළ කොටස යි. වීථි විභාගය සහ පට්ඨාන ත්‍රිශිය ග්‍රන්ථය ඍජු පරිවර්තනයක් වන අතර මෙම ග්‍රන්ථයේ දී අතිරේක කරුණු ඇතුළත් වී මූල ග්‍රන්ථයේ ඇති අනුපිළිවෙළ වෙනස් වී ඇති බැවින් එම මුල් පරිවර්තනයේ නම භාවිතා නොකොට ‘අභිධර්ම චිත්තවීථි විනිශ්චය’ යන නමින් පළ කෙරේ.

උපකාරානුස්මෘතිය

අප විසින් මෙම ග්‍රන්ථය පරිවර්තනය කොට රැස් කළ පුණ්‍ය ශක්තිය අනුමෝදනාවට විෂය වන සත්පුරුෂයෝ බොහෝ දෙනෙක් වෙති. ඒ කවර හෙයින් ද? යත්, මෙම ග්‍රන්ථය භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකුගේ උත්සාහයක ප්‍රතිඵලයක ලෙස මුද්‍රණය වන බැවිනි.

ප්‍රථමයෙන් ම අභිධර්මය හදාරනු කැමති සත්පුරුෂයන් හට උපකාර පිණිස මෙම ධර්ම විනිශ්චයන් බුරුම බසින් සම්පාදනය කළ භදන්තාචාර්ය ඌ. ජනකාභිවංස සයාඩෝ මහාස්ථවිරයන් වහන්සේට ද එම විනිශ්චයන් සිංහල බසට පෙරළා වදාළ අපගේ උපාධ්‍යායෝත්තම අතිපූජ්‍ය නාලයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ද උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන අත්‍යුත්තම සම්බුද්ධ රාජ්‍යයට පැමිණීම පිණිස අපේ මේ කුශලය පාරමිතාවක් ම වේවා!

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සංස්ථාවෙහි වර්තමානයේ නායකත්වය උසුලන අතිපූජ්‍ය පහළවිටියල ජනානන්දභිධාන නායක මාහිමිපාණන් වහන්සේට ද සභාපති ධුරන්ධර අතිපූජ්‍ය මීතලාවේ විනීතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට ද මහාලේඛකාධිකාරී ධුරන්ධර පූජ්‍ය කහගොල්ලේ සෝමවංසාභිධාන මහාස්ථවිරයන් වහන්සේට ද අපගේ මෙම ග්‍රන්ථකරණය තම තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියෙන් අමෘත සංඛ්‍යාත නිර්වාණය සුඛ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කරගැනීම පිණිස ම හේතු වේවා!

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙහි මෙන් ම මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ වගකීම අප සතු බව අපට කියා දෙමින් මෙවන් කර්තව්‍යයන් උදෙසා අප මෙහෙයන නියමුවාණෝ අන් කිසිවෙකුත් නොව අප ගුරුදේවෝත්තමයන් වහන්සේ ය. අතිපූජ්‍ය නුවරඑළියේ ඤාණසීලාභිධාන ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපගේ මෙම පුණ්‍ය ලාභය සාදර සිතින් අනුමෝදන් වෙත්වා! උන්වහන්සේ ප්‍රාර්ථනා කරන පරිද්දෙන් සුව සේ මෙම ජීවිතයේ ම උතුම් මහරහත් භාවයෙන් නිවන් පසක් කරගැනීමට මෙම කුශල ශක්තිය හේතු වේවා! තව ද අප අත්‍යුත්තම ප්‍රව්‍රජ්‍යාවට පත් තැන් පටන් ධර්මවිනයෙන් මෙන් ම ආධ්‍යාත්මික මග පෙන්වීමෙන් ද අප ශක්තිමත් කළ පූජ්‍ය ගල්වෙල ඤාණදස්සන ස්වාමීන් වහන්සේට ද පූජ්‍ය කුණ්ඩසාලේ අරඤ්ඤගවේසී ස්වාමීන් වහන්සේට ද අභිධර්මය ඉගෙන ගැනීමේ දී අපට මහෝපකාරී වූ අභිධර්ම විශාරද පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන් වහන්සේට ද පූජ්‍ය නාමල්ගමුවේ පඤ්ඤාසේඛර ස්වාමීන් වහන්සේ යන ගුරු ස්වාමීන් වහන්සේලාට ද තම තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියෙන් අමෘත සංඛ්‍යාත නිර්වාණය සුඛ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කරගැනීම පිණිස ම හේතු වේවා!

මෙම ග්‍රන්ථය අප විසින් සම්පාදනය කිරීම ආරම්භ කළේ 2025 වර්ෂයේ මුල භාගයේ දී අනුරාධපුර සද්ධාතිස්සාරාම විහාරයේ සඟ පිරිසට අභිධර්මාර්ථ සංග්‍රහයේ සතරවන පාඩම වන චිත්තවීථි ඉගැන්වීමේ දී ය. ග්‍රන්ථකරණය ආරම්භ කළ අවස්ථාවේ සිට නොයෙක් කටයුතු සඳහා උපකාරී වූ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වෙති. මෙම ග්‍රන්ථයේ කෙටුම්පත තමන් වහන්සේලාට ලැබුණු අවස්ථාවේ කියවා සතුටට පත් වී තම ශිෂ්‍ය සඟ පිරිසට මෙම ග්‍රන්ථය ඉගැන්වූ නාලයන ධර්මායතනයේ අභිධර්මාචාර්ය පූජ්‍ය බිංගිරියේ අරියචිත්ත ආයුෂ්මතුන් වහන්සේ සහ බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යයේ අභිධර්මාචාර්ය ලග්ගල ධම්මසුදස්සී ආයුෂ්මතුන් වහන්සේ ඒ අතරින් ප්‍රමුඛ වෙත්. තමන් වහන්සේලාගේ ශිෂ්‍යයන්ට මෙම ග්‍රන්ථය උගන්වන අතරතුර ග්‍රන්ථයේ තිබූ අඩුපාඩු අපට සිහිපත් කරමින් ශෝධ්‍යපත්‍රයන් පරීක්ෂා කළ උන්වහන්සේලාගේ උපකාරය මෙම ග්‍රන්ථයේ නිරවද්‍යතාව මෙන් ම ගුණත්වයට උපස්තම්භක වූ බව සිහි කටයුතු ය. එහි දී උන්වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු උපකාරය ද සිහිපත් කළයුතු වේ. අප විසින් සකස් කරන ලද අන් සෑම ග්‍රන්ථයක දී ම මෙන් මෙම ග්‍රන්ථයේ දී ද අපට ආරම්භයේ පටන් සෝදුපත් බැලීම, සංස්කරණය ආදී සහ නොයෙක් කටයුතුවලින් අපට උපකාර කරන, දිරිමත් කරවන පූජ්‍ය ගල්පොතුගොඩ ඤාණවංස ස්වාමීන් වහන්සේගේ දායකත්වය ද කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. තව ද ශෝධ්‍ය පත්‍ර පරීක්ෂා කිරීම ආදී නොයෙක් කටයුතුවල දී උපකාර කළ ගලගෙදර තික්ඛින්ද්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, අතලේ උපසමිත ආයුෂ්මතුන් වහන්සේ, අනුරාධපුරයේ ඤාණකෝවිද ආයුෂ්මතුන් වහන්සේ, දෙහිඅත්තකණ්ඩියේ මග්ගකෝවිද ආයුෂ්මතුන් වහන්සේ, දොඩම්බගස්ලන්දේ අනෝපම ආයුෂ්මතුන් වහන්සේ, අනුරාධපුරයේ ඤාණවිහාරී ආයුෂ්මතුන් වහන්සේ, නෙළුම්ගල පඤ්ඤාලෝක ආයුෂ්මතුන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලාගේ උපකාරය ද සිහිපත් කළයුතු වේ. පරාර්ථය වෙනුවෙන් පැවැත්වූ එම කුසල කර්මයන් උන්වහන්සේලාට ප්‍රශස්ත පාරමිතාවක් ම වේවා. අපව නිරන්තරයෙන් ග්‍රන්ථකරණයෙහි දිරිගන්වන පූජ්‍ය දිද්දෙණියේ අරියදස්සන ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලාගේ උපකාරයන් ද කෘතඥතා පූර්වකව සිහිපත් කළයුතු වේ.

තව ද මෙම ග්‍රන්ථ සම්පාදනයෙන් රැස් කර ගත් අප්‍රමාණ කුශල අභාවප්‍රාප්ත ආදරණීය පියාණන්ට නිවන් මග පාරමී ධර්මයක් වේවා! සුජීවත්ව සිටින දයාබර මෑණියන්ට නිදුක් නීරෝගී සුවය පිණිසත් චිර ජීවනය පිණිසත් ආධ්‍යාත්මික ශක්තියක් වේවා! නිරතුරු පහන් සිතින් උපකාර කරන පිටකවරය නිර්මාණය කරදුන් පින් කැමැති ජයනාත් පරාක්‍රම මහතාට ද අපගේ බෙදාහැරීමේදී උපකාර කරන සමිත හෙට්ටිආරච්චි මහතා, ලෙස්ලි පීරිස් මහතා, චාමිනී පීරිස් මහත්මිය යන සියළුදෙනා හට මේ කුශලය නිවන් මග පාරමී ධර්මයක් ම වේවා! මනා නිමාවකින් යුතුව මුද්‍රණ කටයුත්තේ දී අපට උපකාර කළ රංගන මහේෂ් කුමාර මහතා, යසංඛ සෝමරත්න මහතා යන අයට ද මේ කුශලය ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා!

පැවිදි වූ දින පටන් සිවුපසයෙන් උපකාර කළ ලංකාවේ සහ මියන්මාරයේ දායක කාරකාදීන්ටත් සියලු ගිහි පැවිදි කල්‍යාණ මිත්‍රයන්ටත් අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ ම සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගනිත්වා!

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

මීට මෙත් සිතින්, පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

සද්ධාතිස්සාරාම මහා විහාරය, කටුකැලියාව, අනුරාධපුර. 2026-06-02

මෙත් සිතින්,
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි
සද්ධිතිස්සාරාම මහා විහාරය,
කටුකැලියාව, අනුරාධපුර.
2026-06-02