සදහම් ස්ථූප පත්‍රිකා - කඩවත ගුණානන්ද හිමි 2021.pdf

කතෘ :
කඩවත ගුණානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2021
මුද්‍රිත වර්ෂය :
2021
පිටු ගණන :
200
බාගත කිරීම් ගණන :
275
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
13 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 101

සදහම් ස්ථූප කෘතිය පූජ්‍ය කඩවත ගුණානන්ද හිමියන් විසින් සම්පාදිත, මූලික හා ගැඹුරු ධර්ම කරුණු රැසක් විස්තරාත්මක වගු හා සටහන් ඇසුරින් ඉදිරිපත් කෙරෙන ප්‍රයෝජනවත් ධර්ම සංග්‍රහයකි. මෙම කෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බොදුමග ක්‍රියාශීලී සංසදය මඟින් නොමිලේ ධර්ම දානය පිණිස පළකරනු ලබන ‘සංසාර සාගරයෙන් එතෙර වෙන්නට නිවන් බණ’ පොත් පෙළෙහි 51 වන ප්‍රකාශනයයි.

2007 සිට විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වූවන් සඳහා ‘සදහම් පිටු’ හා ‘සදහම් සෙවණ’ නමින් පත්‍රිකා ලෙස සම්පාදනය කළ ධර්ම කරුණු, ඩබ්ලිව්. එම්. ඩී. බී. විජේකෝන් මහතා විසින් සංස්කරණය කොට මෙසේ පොතක් වශයෙන් මුද්‍රණය කරවා ඇත. රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමි ඇතුළු වියත් යතිවරයන්ගේ මූලාශ්‍ර ග්‍රන්ථ ආශ්‍රයෙන් බුදුගුණ, චතුරාර්ය සත්‍යය, පාරමිතා, අභිධර්ම මූලික කරුණු, චිත්ත-චෛතසික ධර්ම සහ භාවනා ක්‍රම ආදිය පරිශීලනයට සහ මතක තබා ගැනීමට පහසු වන පරිදි මෙහි පෙළගස්වා තිබේ.

හැඳින්වීම

මෙම දහම් පොත දහම් පත්‍රිකා පෙළක එකතුවකි. අප විසින් 2007 වර්ෂයේ සිට වසර තුනක් මුළුල්ලෙහි පවත්වාගෙන ගිය ‘සදහම් පිටුව’ නැමැති දහම් පිටු පෙළ මේ සඳහා යොදා ගෙන ඇත. එකල බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් එම දහම් පත්‍රිකා පෙළ පසුව එම නමින්ම පොතක් වශයෙන් ද සකසා පරිත්‍යාග කළෙමි. එම හේතුවෙන් තවත් බොහෝ දෙනා අතට එය පත්වීමෙන් තව තවත් අගය කිරීම්, ප්‍රශංසා ගලා එන්නට විය. ඒ අතරින් හෝකන්දර පදිංචිව සිටින නම සඳහන් කිරීමට අකැමති පිංවත් මහත්මයෙක් ඊට සම්බන්ධ වී, පොතෙහි බාහිර පෙනුම වැඩි කිරීම පිණිස මනා පිට කවරයක් සකසා දීමෙන්, එතැන් සිට ‘සදහම් සෙවණ’ යන නමින් මුද්‍රණ වාර ගණනාවක් සිදු කරන්නට විය. එසේ බොහෝ දෙනා අතර බෙදී ගිය මෙම පොතට ලැබුණු ප්‍රතිචාර අනුව බොහෝ දෙනාට පොතේ නම පරිදිම එය දහම් සෙවණක්ම විය.

ඉහත දැක්වූ පරිද්දෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් එම පොත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, බොදු මග ක්‍රියාශීලී සංසදයේ එස්. කුමාරසිංහ සහ ඩබ්. එම්. ඩී. බී. විජේකෝන් යන පිංවත් මහත්වරු දෙපළ අතට පත් වීමෙන් පසු, අපව මුණ ගැසී මෙයාකාරයෙන් මුද්‍රණය කිරීමට අවසර ගෙන, ඊට අඩුපාඩු වූ කරුණු ද අප වෙතින් ලියවාගෙන මෙසේ මුද්‍රණය කොට ඇත. වසර තුනක පමණ කාලයක් මේ සඳහා කැපකොට මනා ලෙස පිටු නැවත සකසා අළුතින් පිට කවරයක් යොදා මුද්‍රණය කොට ඇති මෙම දහම් පොතෙහි සංස්කරණ කටයුතු පින්වත් විජේකෝන් මහතා විසින්ම සිදු කොට ඇති අතර පොතට ‘සදහම් ස්ථූප’ යන නම ද එම මහත්වරුන් විසින් ම තබා ඇත.

මෙවර කරුණු පෙළගැස්වීමේදී බුදුරජාණන් වහන්සේගේ පාරමී ධර්ම සම්බන්ධව කරුණු වලින් ආරම්භ කොට තෙරුවන් ගුණ, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, සම්මුති-පරමාර්ථ ධර්ම, ශමත-විදර්ශනා භාවනා ආදී වශයෙන් පිළිවෙළින් ගැඹුරු දහම් කරුණු ඔස්සේ උතුම් වූ නිර්වාණය දක්වා දහම් කරුණුද, ඉන් අනතුරුව පාඨකයාට වැදගත් විය හැකි යයි හැඟෙන අනිකුත් දහම් කරුණුද ඉදිරිපත් කිරීමෙන් අවසන් කොට ඇත. යම් මාතෘකාවකට අදාල සියළු කරුණු එම මාතෘකාව යටතේම ඇතුළත් කර ඇති අතර යම් හෙයකින් වෙනත් තැනක නැවත සඳහන් වී ඇති නම් එතැනට ද එය යෙදිය යුතුම වන බැවිනි. එක් එක් මාතෘකා කරුණු විස්තර කිරීමෙන් අනතුරුව උපයෝගී කර ගත් මූලාශ්‍ර පොත්හි නම් එහිම දක්වා ඇත. එබැවින් මෙතැනින් නොනැවතී තවදුරටත් එම පොත් පරිශීලනය කොට මනා දැනුමක් ඇති කර ගැනීමට එය ද හේතුවක් වන්නේය.

යමෙකුට දහමට ප්‍රවිෂ්ට වීමට ද, ඇසූ දහම් කරුණක් නැවත සිහි ගන්වා ගැනීමට අවශ්‍ය වන විටෙක එම දහම් කරුණ පහසුවෙන් සොයා ගැනීමටද මෙම පොත මහත් රුකුලක් වනු ඇත. ඒ සඳහා මෙවර කියවීමට පහසු වන පරිදි අකුරු වල ප්‍රමාණයද, ඉඩකඩද හොඳින් යොදාගෙන ඇති බැවින් මෙම මුද්‍රණය බොහෝ දෙනාට පරිශීලනයට ප්‍රිය විය හැක. එම නිසාම මෙවර මෙම උතුම් ධර්මදානමය කටයුත්තට සම්බන්ධව මූලිකව කටයුතු කරන්නට යෙදුන ඉහත නම් සඳහන් කළ පින්වත් මහත්මාවරුන් ඇතුළු මෙයට නන් අයුරින් උදව් උපකාර හා පරිත්‍යාගයන් සිදු කරන්නට යෙදුණු සැමට සුවසේ ධර්මාවබෝධය පිණිස මෙම මහඟු ධර්ම දානමය කුශලය හේතු වේවා ! යි ප්‍රාර්ථනා කර සිටිමු.

තෙරුවන් සරණයි !

කඩවත ගුණානන්ද හිමි,
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.
2020-12-31

පුණ්‍යානුමෝදනාව

ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් මුල්කොට වසර 2500 කටත් වැඩි කාලයක් තිස්සේ අවිච්ඡින්නව පැවත ආ ත්‍රිපිටකය පදනම් කොටගත් ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාගේ අවබෝධය පිණිස දේශනා කරමින් තමන්ගේ ද හිත සුව සලසා ගනිමින් අනේකවිධ වූ මිථ්‍යා දෘෂ්ටික බලපෑම්වලින් ආකුල ව්‍යාකුල වෙමින් පවතින කාලයේ නිවැරදි මග හෙළි පෙහෙළි කිරීමට වෙර දරන මේ ශ්‍රී ලංකා ධරණි තලයේ පහළ වනු ලබන ආර්යය මහා සඟරුවන අප සියල්ලන්ට පහන්ටැඹකි.

ජන සමාජය තුළ මෝහාන්ධකාරය දුරින් දුරු කරමින් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශාසනික මෙහෙවරක නියැලෙන, අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වැඩසිටි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ, අතිපූජනීය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් සෙවණේ වැඩවසමින්, පූජ්‍ය කඩවත ගුණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2007-2010 වසර වලදී එම විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියන්ගේ ප්‍රයෝජනය සඳහා මුලින්ම ‘සදහම් පිටු’ 36 ක් වශයෙන් සකසන ලද මෙම දහම් කරුණු එකතුව, පරිශීලනයට පහසු වන අයුරින් නැවත සංස්කරණය කර ‘සදහම් ස්ථූප’ නමින් ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම සත්ක්‍රියාවේ අග්‍ර පුණ්‍යානිශංස පූජ්‍යපාද කඩවත ගුණානන්ද ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි.

මෙම දහම් කරුණු එකතුව සඳහා පාදක වූ, එමෙන්ම ගිහි පැවිදි සියළු බෞද්ධ ශ්‍රාවකයන්ගේ දහම් දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වන ග්‍රන්ථ පෙළක් දායාද කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් ශාසනික මෙහෙවරක් කළ, අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ටද, එලෙසින්ම ලාංකික අප සැමගේ පිනට පහළ වූ මහායතිවරයාණන් වහන්සේලා වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන්, නා උයනේ අරියධම්ම නාහිමියන් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සියළු ස්වාමීන් වහන්සේලාටද මේ පුණ්‍යානිශංස අනුමෝදන් කරන අතර උන්වහන්සේලා ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා යයි ප්‍රාර්ථනා කරමි.

‘සංසාර සාගරයෙන් එතෙර වෙන්නට නිවන් බණ’ නමින් පළ කෙරෙන සදහම් පොත් පෙළේ 51 වන ධර්ම පුස්තකය එළිදැක්වෙන මේ අවස්ථාවේදී, මෙතෙක් පළ කෙරුණු පොත් 50 සඳහා පාදක වූ ධර්ම දේශනාවන් සිදුකළ අප කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා වන, අතිපූජනීය කොට්ටුගොඩ ධම්මාවාස මහනාහිමි, පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමි, පූජ්‍යපාද පිටිගල ගුණරතන හිමි, පූජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප හිමි, පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී හිමි, පූජ්‍යපාද කොස්වත්තේ ආරියවිමල හිමි, පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස හිමි, පූජ්‍යපාද මාන්කඩවල සමාහිත හිමි යන ස්වාමීන් වහන්සේලාටද උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමි.

එසේම ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානයේ වැඩ වෙසෙන සියළු ස්වාමීන් වහන්සේලා ඇතුළු එම විහාරස්ථානයේ දායක දායිකා සියළු ගිහි සුපින්වත් පිරිසට ද මේ පුණ්‍යානිශංස අනුමෝදන් කරන අතර මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් නිවනින් සැනසීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම එම ‘සදහම් පිටු’ නැවත පිටපත් කරමින්, ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි දහම් කරුණු පෙළගස්වමින්, හැකිතාක් දුරට නිවැරදි ලෙසම අක්‍ෂර වින්‍යාසය යොදමින් සංස්කරණය කිරීමට කටයුතු කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන විදුලි ඉංජිනේරු ලෙස සේවය කර විශ්‍රාම ගෙන සිටින ඩබ්ලිව්. එම්. ඩී. බී. විජේකෝන් මහත්මාට ද, රූප සටහන් ඇඳීමෙන් හා දහම් කරුණු වගු ගත කරමින් මනා ලෙස පිටු සකස් කර දීමට කටයුතු කළ එම්. කසුන් වෙනුර රොද්‍රිගු මහත්මාට ද, යම් යම් දහම් කරුණු අතින් ඇතුළත් කිරීමට යෝජනා කිරීමෙන් හා සෝදුපත් බලා දීමෙන් අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යමුනා කුමාරි මහත්මිය ඇතුළු පිංවත් සියළු දෙනාටද, මේ පුණ්‍යානිශංස අනුමෝදන් කරන අතර උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මෙම මහඟු ධර්ම දානමය කුශලය හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.

‘සංසාර සාගරයෙන් එතෙර වෙන්නට නිවන් බණ’ නමින් මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් මෙහි ප්‍රධාන දායකත්වය උසුලනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැනට අංශ 58ක විසිරී පැතිරී සිටින බොදු මග ක්‍රියාශීලී සංසදයේ සාමාජික සාමාජිකා පිරිස විසිනි.

තවද මෙය වගකීමක් හැටියට නොව යුතුකමක් හා සමාජ සත්කාරයක් ලෙස සලකා පින්වත් ස්වාමීන් වහන්සේලාට ද ආශිර්වාදයක් වෙමින් මේ ගෞතම බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැකදීමට බාහිරින් ද සම්බන්ධ වන පිරිස් බොහෝය. ඒ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ චාමර එරංග මහත්මා ඇතුළු පිරිස් ද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ චම්පා පීරිස් මහත්මිය ඇතුළු පින්වත් පිරිස් ද උතුම් ධර්ම දානයට නිරන්තර සහයෝගය ලබාදෙමින් අපව දිරිමත් කරනු ලබයි. සියළු පින්වතුන් දක්වන දායකත්වය සිහිපත් කරනුයේ හද පිරි බැතියෙනි. ඔවුන් සියළු දෙනාටම මේ අනුහසින් එදිනෙදා කරන කියන කටයුතු සඵල වී සසර දුක් ගිනි කෙටි කලකින්ම නිමා වී සැනසීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

මෙම ග්‍රන්ථය මනා ලෙස මුද්‍රණය කර දුන් නුගේගොඩ කොලිටි මුද්‍රණාලයේ සී. ජයසෝම මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා කරමි. නිවන් සිරි ලබනා තුරු ඔබ අප සැමට දෙලොව ශාන්තිය යහපත උදාවේවා යි ප්‍රාර්ථනා කරමි.

මේ දහම් පොත් ඕනෑම අයකුට මුද්‍රණය කර නොමිලේ බෙදා හැරිය හැකිය. තවද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බොදු මග ක්‍රියාශීලී සංසදය මගින් මේ ආකාරයේ සදහම් පොත් මුද්‍රණය කර නොමිලේ බෙදා හැරීමට අප කරන මෙම ශාසනික මෙහෙය සඳහා සත්පුරුෂ වූ ඔබටත් තම තම ශක්ති පමණින් දායක විය හැකි බව කාරුණිකව සිහිපත් කරමි.

මෙවැනි දහම් පොත් මුද්‍රණය කරවා ගැනීම පිළිබඳ වැඩි පුර තොරතුරු සඳහා දුරකථන අංක 0112 483 642 / 0773 685 043 මගින් විමසිය හැකිය. මෙම ග්‍රන්ථය සංස්කරණය කළ විජේකෝන් මහත්මාගේ දුරකථන අංකය 0773 022 377 වේ.

ගිණුම් අංක : 1037-5426-3220 සම්පත් බැංකුව, කොටහේන.

සසුන් ලැදි මෙත්සිතැති,

එස්. කුමාරසිංහ
ප්‍රධාන සංවිධායක,
බොදු මග ක්‍රියාශීලී සංසදය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය,
ජය බහලු පර්යන්තය,
කොළඹ - 13.
2021-01-07