අභිධර්ම මාර්ගය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
337
බාගත කිරීම් ගණන :
258
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
14 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 169

අභිධර්ම මාර්ගය යනු අභිධර්මාර්ථ සංග්‍රහය අනුව සිංහලෙන් සම්පාදිත අභිධර්ම පාඩම් ග්‍රන්ථයකි. මෙය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අතර ප්‍රථම මුද්‍රණය 1958 දී නිකුත් විය.

කතුවරයාගේ හැඳින්වීමට අනුව, දහම් පොත් කියවන ගිහි පැවිදි බොහෝ දෙනාගේ සහ දහම් පාසල් ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි, තේරුම් ගැනීමට, උගෙනීමට හා උගැන්වීමට පහසු අභිධර්ම ග්‍රන්ථයක් ලෙස මෙය සකස් කෙරිණි. ටීකාවල පාලි පාඨ එලෙසම සිංහලට පෙරළා යෙදීම වෙනුවට පොදු ජනයා භාවිත කරන සරල වචනවලින් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන පරමාර්ථ ධර්ම විස්තර කර ඇත. සාමාන්‍ය ධර්මඥානයට අවශ්‍ය කරුණු පමණක් ඇතුළත් කර, සතරවන, අටවන හා නවවන පරිච්ඡේදවල කරුණු දැක්වීමේ පිළිවෙළ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් වෙනස් කර ඇත. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට පිළිවෙළින් ඉගෙනීමේ වැදගත්කම ද කතුවරයා අවධාරණය කරයි.

ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයේ ගරු ලේකම් සී. තනිප්පුලි ආරච්චි මහතාගේ සටහනක් (2025 අප්‍රේල් 14) ද මෙම මුද්‍රණයට ඇතුළත් ය. පූජ්‍යපාද නාවල ධම්මානන්ද හා කැස්බෑවේ බෝධානන්ද හිමිවරුන්ගේ පෙන්වාදීම් අනුව පෙර මුද්‍රණවල දෝෂ ඇතැම් ඒවා නිවැරදි කළ බව එහි සඳහන් වේ.

මෙය විසිහයවන මුද්‍රණයයි (2025 අප්‍රේල්). ප්‍රකාශනය ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට; මුද්‍රණය සිකුරු ප්‍රින්ටර්ස්, පොල්ගස්ඕවිට; පරිගණක වර්ණ සංයෝජනය අරුණ තලගල. ISBN 955-8663-10-7.

ලේකම්ගේ සටහන්. . .

ශතක 26 ක් පැරණි බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඪ කරන තෙක් හා ඉන් පසුවත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රැකගෙන ආ විවිධ නිකායගත, හීනයාන - මහායාන භික්ෂු පරම්පරාව ලෝක බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවෙයි. නිර්මාණවාදී ආගම්, දැනුම් ක්ෂේත්‍රයෙන් පිටමං වන විට මානව චින්තනය අයාලේ යා නො දී රැකගත හැකි ආගමක් හා දර්ශනයක් ඉතිරි කර තබන්නට ගත් වෑයම සුළු පටු නො වන නිසාය.

මේ දැනුම් සම්භාරය තුළ අභිධම්මය ද එක් කොටසකි. බුදු දහමේ විශේෂත්වය වන විදර්ශනාව, බෙදා බැලීම හා හේතු-ඵල න්‍යාය පදනම් කරගනී. අභිධම්මය අවධාරණය කරන්නේ එම න්‍යායයි. අභිධම් පිටකය ධම්යේ කොටසක් ලෙස සළකන භික්ෂු පර්ෂදයන් අතර, ඉතා කුඩා සිකපදයක් පවා ඉවත් නො කර රක්ෂා කරන්නට ප්‍රතිඥා දුන් ථේරීය භික්ෂු පරම්පරාව ගෙනා අභිධම්මය පසුකාලීන වර්ධනයකැයි ඉවත ලන්නට කිසිදු සාධාරණ හේතුවක් නො පෙනෙන්නේ අනික් කාහටත් වඩා නිර්මල වූ දහමක් රැකගන්නට උන්වහන්සේලාට තිබූ උවමනාව නිසාය.

බුද්ධත්වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කරගත් ධම්ය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ, එහි ඇති ගැඹුරු බව නිසාය. දීර්ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසාය. එහෙත් උන්වහන්සේ දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක්, භාරතයේ තිබූ විවිධ දර්ශනයන් නිසා සකස් වී සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්‍ර දේශනාවල අභිධම් න්‍යාය ප්‍රකට විය. සමහර ශ්‍රාවක-ශ්‍රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්‍යාය ප්‍රචලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධම් මාතිකා, නුවණින් අග්‍ර සැරියුත් හිමියන් විසින් තම ශිෂ්‍ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්‍රදායික පිළිගැනීමයි.

අභිධම්මය උගැන්ම හැමට ප්‍රිය වූවක් නොවේ. එදත් - අදත් එය එසේමය. අභිධම්මය අබුද්ධ දේශිතයකැයි මුල්වරට අසන්නට ලැබුණේ අනුරපුර යුගයේදී ය. බුද්ධඝෝෂ හිමියෝ (අත්ථසාලිනියෙන්) ඊට පිළිතුරු දුන්හ. රීස් ඩේවිඩ්ස් ආදි උගතුන්ගේ පාලි සාහිත්‍යය පෙළ ගැස්ම අනුව නැවත විශ්ව විද්‍යාල උගතුන් වෙතින් මේ මතය පළවිය.

රේරුකානේ මහානාහිමියෝ (අභිධම්මයේ මූලික කරුණු) ඊට පිළිතුරු දුන්හ. නැවත මෙකල ධම්කථික භික්ෂු පර්ෂදයක් විසින් මේ මතය මුදාහැර ඇත. සූත්‍ර ඇසුරින් පමණක් බුදුදහම තේරුම් කරන මේ යතිවරයන් වහන්සේලා බුදුදහමේ එක් වැදගත් කොටසක් අවලංගු කරන්නේ නම් ආතර් සී. ක්ලාක් වියතාණන් දුටු අනාගතයේ බුදුසමය ලබාගන්නා මුල් තැන ඊට ලැබිය හැකිද?

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, එහි ඇති වාණිජ වටිනාකමත් මත සිංහල බෞද්ධයන් ඉන් ඉවත් කර බලය ලබාගැනීමේ ප්‍රයත්නය බොහෝ කලක පටන් පැවතෙන්නකි. මුලින්ම එය ආයුධ බලයෙන් සිදුවිය. වරෙක එය අධ්‍යාපනය ඔස්සේ චින්තාමය පරිවර්තනයෙන් සිදුවිය. රැකියා වරප්‍රසාද ආදි අල්ලස් ක්‍රමයන් තවත් වරෙක ක්‍රියාත්මක විය. පසුව විනයවර්ධන වේශයෙන් හා තාපස වේශයෙන් ආ පෙළඹවීමට ද බොහෝ දෙනා අසු වූහ. සාමය හා ආධාර ඔස්සේ ආ පෙළඹවීමට පාලකයෝ අසුවූහ. තමන් ද නොදැන භික්ෂූන් වහන්සේත් මෙයට නතු වුවහොත් ඉරණම කුමක් වේද?

දිගු කලක් සටන් වැදී ජීවිත සමූහයක් පූජා කරමින් දිනාගන්නට සූදානම්ව සිටි නිදහස 1948 දී ප්‍රකාශයට පත් වූ ආකාරය අපේ හර පද්ධතීන් අවතක්සේරුවට පත්කරන පාලක පංතියක් බිහිකරමින් සිදුවීම අභාග්‍යයකි. ඉන්පසු 1978 දී ඇතිකළ ඡන්ද ක්‍රමය ජාතීන් අතර පමණක් නොව එක ම පාක්ෂිකයන් අතරද භේදභින්නතා ඇති කළ මහා විනාශකාරී ව්‍යාපාරයක් බවට පත් විය. මේ වන විට බලය උදෙසා විකෘති සමගියක් පෙන්නුම් කළ ද, ජාත්‍යන්තරය ගැනම සිතන සහායක පිරිසත්, ජාත්‍යන්තරයේ බලපෑමත් නිසා දේශීයත්වය අගයන පාලකයන් මෙන්ම පාලිතයන් බිහිකර ගැනීමද දුෂ්කර වී ඇත.

ලාංකේය වූ අනන්‍යතාවයක් ගොඩනගා ගත යුත්තේ ජාතීන් අතර පවතින ආගමික සම්ප්‍රදාය, කලා සම්ප්‍රදාය හා වෙනත් සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් සමව සිතීමෙනි. මෙය හඳුනාගෙන ප්‍රතිපත්ති හා පාලන ව්‍යවස්ථා සකස්වනු දැකීම ශ්‍රී ලාංකික වූ වැඩිදෙනාගේ ම අපේක්ෂාවයි.

රටේ පාලනයත්, සම්ප්‍රදායත්, ආගමික චින්තනයත් වෙනස් කරන්නට කැසකවන බලවේග ක්‍රියාත්මක වෙමින් ත්‍රිපිටකය විකෘති කරමින් හා බුද්ධ චරිතය මකා දමමින් ඉදිරි අනාගතයේදී අපේ ජාතික අනන්‍යතාව විනාශ කරන්නට කරන උත්සාහය නවතා ලන්නට සිංහල බෞද්ධයින් අවදියෙන් සිටිය යුතු බව නම් සටහන් කළ යුතුමය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත්වල එන නො ගැලපෙන ඇතුළත් කිරීම් බෞද්ධ ළමා පරපුර වල්මත් කරවන අතර, මූලධම්වාදී අන්‍ය ආගමික නිකායන් විසින් කරන නොපනත්කම් අධම්වාදී පාලනයන්ට අතවනනු පෙනේ.

නිරවුල්, නිවැරදි සරල පොත් පෙළක් වශයෙන් රේරුකානේ නාහිමියන්ගේ පොත් තවදුරටත් සංරක්ෂණය කළයුත්තේ මේ පසුබිම තුළය.

මෙහි පරිගණක වර්ණසංයෝජනය, අරුණ තලගල මහතාගේ ආගමික, භාෂා හා තාක්ෂණික දැනුමින් අලංකාර විය. සමුදුරු තරණයේ යෙදෙන රයිගම කසුන් ජයවර්ධන මහතා ඒ සඳහා යන වියදම් දරමින් සසර සයුර තරණයටද සූදානම් වෙයි. සෝදුපත් සැසඳීමේදී මාලනීගෙන් ලද සහාය බොහෝ වටී. ගරු සභාපති, පූජ්‍ය කිරිඹරුවේ ධම්මානන්ද සමිඳුන්ගේ ආශීර්වාදයත්, පූජ්‍ය කළුතර පදුම හිමියන් ප්‍රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහයෝගයත් අගයමින් සිහිපත් කරමි. නිබඳව උදව් දෙන සැදැහැවත් අනුග්‍රාහක පිරිසක් ලැබීම අප මෙන්ම පාඨකයා ද ලද භාග්‍යයකි.

මහ නාහිමියන්ගේ පොත් වඩාත් අවධානයෙන් පරිශීලනය කරන පූජ්‍යපාද නාවල ධම්මානන්ද නාහිමියන්ගේ හා සඳවිමල සෙනසුන්වාසී පූජ්‍යපාද කැස්බෑවේ බෝධානන්ද හිමියන්ගේ පෙන්වාදීම අනුව කලින් මුද්‍රණ වාරවලදී දුටු සමහර දෝෂයන් මගහරවා ගැනීමට හැකිවූ බව ගෞරවයෙන් සටහන් කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය; 2025 අප්‍රේල් 14 වන දින පොකුණුවිටදී ය.

හැඳින්වීම

අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට, උගෙනීමට, උගැන්වීමට පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් අප විසින් ‘අභිධර්ම මාර්ගය’ නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

දැනට ඇත්තා වූ අභිධර්ම පාඩම් පොත්වල බොහෝ තැන් තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ, ටීකා ග්‍රන්ථවල එන පාළි පාඨ ඒ සැටියෙන් ම සිංහලට පෙරළා ඒ පොත්වල නොයෙක් තැන්වල යොදා තිබීම නිසා ය. ‘අභිධර්ම මාර්ගය’ නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී අපි ඒ ක්‍රමය අනුගමනය නො කෙළෙමු.

අප විසින් මේ ගත සම්පාදනය කර ඇත්තේ කෙසේ කිවහොත් ඒ ඒ කාරණය සිසුනට පහසුවෙන් අවබෝධ කරගත හැකිවේද යි සිතීමේදී අපට වැටහුණු හැටියට ය. අන් බසකින් පෙරළාගත් කිසිවක් මේ ග්‍රන්ථයෙහි යොදා නැත. මේ ග්‍රන්ථයෙහි හා අන් අභිධර්ම පාඩම් පොත්වල ඇති වෙනස තේරුම් ගැනීමට නිදසුන් කීපයක් මෙසේ යː-

එක් අභිධර්ම පාඩම් පොතක චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන පරමාර්ථ සතරින් චිත්තය හඳුන්වා ඇත්තේ මෙසේ යː-

“චින්තේතීති චිත්තං, අරමුණ සිතන හෙයින් චිත්ත නම් වේ. මේ වචනාර්ථයෙන් අරමුණු සිතන්නා වූ ස්වභාවය චිත්ත ය යි කියනු ලැබේ”

අන් පොතක චිත්තය හඳුන්වන්නේ මෙසේ ය.

“සිතන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තය ය. සිත ඉපදීම පිළිබඳ අන්‍ය හේතු ඇත ද, අරමුණ දැනගැන්ම එහි ප්‍රධාන හේතුව බව දත යුතු යි”.

මේ ග්‍රන්ථයේ සිත හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිත ය කියනුයේ ද එයට ය”.

එක් පොතක චෛතසිකය හඳුන්වා ඇති සැටි.

“චේතසි භාවං චේතසිකං, සිතෙහි වූයේ චෛතසික නම්. මේ වචනාර්ථයෙන් සිතෙහි පහළ වන ඵස්ස (ගැටීම) වේදනා (විඳීම) ආදි ස්වභාව ධර්ම සමූහය චෛතසික ය යි කියනු ලැබේ”.

අන් පොතක ඇති සැටි.

“චිත්තයෙහි වූවෝ හෙවත් චිත්තයෙහි යෙදුණෝ චෛතසිකයෝ ය”.

මෙහි චෛතසික හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර ව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය”.

එක් පොතක රූපය හඳුන්වා ඇති සැටි.

“රුප්පතීති රූපං. විකාර වේනු යි රූප නම්. මේ වචනාර්ථයෙන් ශීතෝෂ්ණාදියෙන් විකාර වන ස්වභාව ධර්ම සමූහය රූපය යි කියනු ලැබේ”.

අන් පොතක ඇති සැටි.

“ශීත උෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපය ය”.

මෙහි රූප දක්වා ඇති සැටි.

“සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය”.

එක් පොතක නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“වානතෝ නික්ඛන්තං නිබ්බානං. වානය යි කියන ලද තෘෂ්ණාවෙන් නික්මුණා වූ ස්වභාවය නිබ්බාන නම්. මෙහි වාන නම් කුදුමහත් භවයන් එකට බැඳ ගලපන අර්ථයෙන් තෘෂ්ණාවමැ යි”.

අන් පොතක නිවන හඳුන්වා ඇති සැටි.

“වාන යනු තෘෂ්ණාව ය. ඒ වාන සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණේ නිර්වාණය ය. රාගගිනි ආදිය නිවන්නේ හෝ නිර්වාණය යි”.

මෙහි නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වභාවය නිර්වාණය ය.

මෙහි සියලු ම පාඩම් සම්පාදනය කර ඇත්තේ ද හැකිතාක් පොදු ජනයා අතර ව්‍යවහාර කරන වචන යෙදීමෙනි. මෙහි අප්‍රසිද්ධ වචන යොදා ඇත්තේ, ප්‍රසිද්ධ වචනයන් සොයා ගත නුහුණු තැන්වල පමණෙකි. එබැවින් මේ පොත දැනට ඇත්තා වූ අනික් පොත්වලට වඩා පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වනු ඇත. උත්සාහවන්තයකුට ගුරුවරයකු ඇසුරු නො කොට වුව ද මේ පොතින් අභිධර්මය උගත හැකි වනු ඇත.

දැනට භාවිත කරන අභිධර්ම පාඩම් පොත් සියල්ල ම වාගේ සම්පාදනය කර ඇත්තේ අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ය. මෙය සම්පාදනය කර ඇත්තේ ද එසේ ම ය. එහෙත් මෙය අභිධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇතිකර ගැනීම සඳහා උගෙනීම කරන පින්වතුන් උදෙසා සම්පාදනය කරන ලද්දක් බැවින් වඩා ප්‍රයෝජනයකුත් නොමැතිව, උගෙන ගන්නා තැනැත්තාට බොහෝ වෙහෙසෙන්නට සිදු වන, අභිධර්මාර්ථ සඞ්ග්‍රහයෙහි දැක්වෙන ඇතැම් කරුණු මේ පොතට ඇතුළත් නො කරන ලදී. එසේ ම අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළත් වී ඇති වැඩි ප්‍රයෝජනයක් නැති, ඇතැම් කරුණු ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

සමහර තැනකදී අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළු වී නැති ප්‍රයෝජනවත් කරුණු මේ පොතට ඇතුළු කර ඇත්තේ ය. ස්වරූප විභාග වැඩි දුරට පුහුණු කරගන්නට වුවමනා වන්නේ අභිධර්ම ප්‍රකරණ උගෙනීමේදී පහසු වනු පිණිස ය. එතරම් දුරට උගෙනීම කරන්නට බලාපොරොත්තුව නැති පින්වතුන්ට, වඩා ස්වරූප විභාග පුහුණු කිරීමෙන් වෙහෙසක් මිස විශේෂ ප්‍රයෝජනයක් නැත. එබැවින් වැඩිදුර ස්වරූප විභාග ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

මේ පොතට ඇතුළු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇතිකර ගන්නා කෙනකු විසින් අවශ්‍යයෙන් දත යුතු කරුණු පමණෙකි. එබැවින් මේ පොතෙහි අනික් අභිධර්ම පාඩම් පොත්වල තරමට කරුණු ඇතුළත් නැත. පොත මහත් වී ඇත්තේ ඇතුළත් කොට ඇති කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ඇති බැවිනි. මෙහි ඇතැම් තැනක කරුණු දැක්වීමේ පටිපාටිය ද අභිධර්මාර්ථ සඞ්ග්‍රහයට වෙනස් කර ඇත. ඒ වෙනස්කම් බොහෝ සෙයින් ඇත්තේ සතරවන, අටවන, නවවන පරිච්ඡේද තුනෙහි ය. එසේ වෙනස් කොට යොදා ඇත්තේ උගෙනීම පහසු වනු පිණිස ය. අනික් පොතකින් අභිධර්මය උගෙන ගන්නවාට වඩා මේ පොතෙන් අභිධර්මය උගෙනීම තරමක් පහසු වෙනවා ඇත.

කොපමණ ලිහිල් වචන යොදා, උගෙනීමට කොතරම් පහසු වන සැටියට පොත සම්පාදනය කර තැබුවත්, උගෙන ගන්නා තැනැත්තා විසින් උගත යුතු ක්‍රමය වරදවා උගෙන ගන්නට උත්සාහ කළහොත්, මේ ගැඹුරු ධර්මය උගත නො හැකි ය. උගත යුතු ක්‍රමය නම් එක පාඩමකුදු අත නො හැර පිළිවෙළින් උගෙනීම ය. මුල් පාඩම් ගැන, මුල් පරිච්ඡේද ගැන දැනීම ඇතිකර නො ගෙන ඉදිරියට නො යා යුතු ය. අභිධර්ම පාඩම් පොත් සම්පාදනය කර ඇත්තේ පාඩමෙන් පාඩමට, පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සම්බන්ධයක් ඇතිව ය. එබැවින් පළමුවන පරිච්ඡේදය නො පිළිවන් තැනැත්තාට දෙවන පරිච්ඡේදය උගත නො හැකි ය. ඒ දෙක ම නො පිළිවන් තැනැත්තාට තුන්වන පරිච්ඡේදය නූගත හැකි ය. ඒ පරිච්ඡේද තුන ම නො පිළිවන් තැනැත්තාට සතර වන පරිච්ඡේදය නූගත හැකි ය. අවසානය තෙක් ම ක්‍රමය මෙසේ ම ය.

මුල් පරිච්ඡේද ගැන දැනුම නැති ව, මුල් පරිච්ඡේදවල කරුණු මතක තබා නො ගෙන, ඉහළ පරිච්ඡේදයට ගිය තැනැත්තාට ඒ පරිච්ඡේදයේදී කිසිවක් තේරුම් ගත නො හැකි වීමෙන් උගෙනීම එපා වන්නේ ය. අභිධර්මය උගෙනීමට පටන් ගන්නා බොහෝ දෙනා ටික කලකින් එපා වී උගෙනීම අත හැර දමන්නේ මුල් පරිච්ඡේදවල කරුණු නො දැන ඉහළට යෑමෙනි. මුල් පරිච්ඡේදවල කරුණු හොඳින් උගෙන, මතක තබා ගෙන ඉදිරියට උගෙනීම කරන්නවුන්ට මේ ධර්මය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වඩ වඩා රසවත් වන්නේ ය. උගෙනීම හරියන්නට නම්, ධර්මඥානය - ධර්ම රසය ලබන්නට නම්, ක්‍රමානුකූල ව ම උගෙනීම කළ යුතු ය.

දහම් පාසල්වල අභිධර්ම පාඩම් උගැන්වීමේ දුෂ්කරත්වය ගැන නොයෙක් විට කථා කරනු අසන්නට ලැබේ. බොහෝ දෙනා පාඩම් පොත්වල දෝෂය නිසා උගැන්වීම දුෂ්කර වී ඇතැයි සිතති. එහිත් තරමක සත්‍යතාවක් ඇතත් සම්පූර්ණ සත්‍යය නම් එය නො වේ. අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. නො ගැඹුරු විද්‍යාවක් වුව ද අනිකකුට හොඳින් උගැන්විය හැක්කේ ඒ විද්‍යාව ගැන අඞ්ගසම්පූර්ණ දැනුමක් ඇතියකුට ය. දහම් පාසල්වල අඞ්ගසම්පූර්ණ දැනුමක් ඇති ගුරුවරුන් සොයා ගන්නට නැත. එබැවින් අන්‍ය විෂයයන් උගත් ගුරුවරුන් ලවා ම දහම් පාසල්වල අභිධර්ම පාඩම් ද උගන්වා ගන්නට සිදු වී තිබේ. ඒ ගුරුවරුන්ට අභිධර්ම පාඩම් උගැන්වීම දුෂ්කර වීම පුදුමයක් නො වේ. එය විය යුත්තක් ම ය.

පාඩම් පොත්වල කොතෙක් දුබලකම් තුබුණත්, උගත් ගුරුවරයාට කාරණය නො වරදවා හොඳින් උගැන්විය හැකි ය. අභිධර්ම පාඩම් උගැන්වීමට දුෂ්කර වීමේ සත්‍ය හේතුව නම් ගුරුවරුන් ගේ දුබල බව