සූවිසි මහ ගුණය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2025
- මුද්‍රිත වර්ෂය :
- 2025
- පිටු ගණන :
- 469
- බාගත කිරීම් ගණන :
- 241
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 20 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සූවිසි මහ ගුණය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත අගනා ධර්ම ග්රන්ථයකි. බුද්ධ රත්නයේ ගුණ නවය (අරහං ආදී), ධර්ම රත්නයේ ගුණ සය (ස්වාක්ඛාත ආදී) සහ සංඝ රත්නයේ ගුණ නවය (සුපටිපන්න ආදී) එකතු වූ විට ලැබෙන සූවිසි මහා ගුණයන් මෙහි සවිස්තරව විග්රහ කර ඇත.
ත්‍රිපිටකය, අටුවා සහ ටීකා ග්‍රන්ථවල විසිරී ඇති කරුණු එක්තැන් කරමින් සරල භාෂාවෙන් සාමාන්‍ය පාඨකයාට මෙන්ම ධර්ම ගවේෂකයන්ට ද පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි මෙය රචනා කර තිබේ. විශේෂයෙන් සංඝරත්නයේ ගුණ සහ ඒ හා බැඳුණු ගැඹුරු කරුණු පැහැදිලි කිරීමට කතුවරයාණන් වැඩි අවධානයක් යොමු කර ඇත. 1964 දී මුල්වරට මුද්‍රණය වූ මෙම කෘතියේ විසිහත්වන මුද්‍රණය ලෙස 2025 දී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.
ලේකම්ගේ සටහන්.....
දීමට සිත නමා ගැනීම දුෂ්කරය. භෞතික ප්‍රාර්ථනාවෙන් තොරව, පින තේරුම් ගෙන දීම තවත් දුර්ලභය. ආයාසයෙන් උපයා ගත් විශාල මුදලක් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් යොමුකර අත පිසදා ගැනීම, ඉන් සිත සනසා ගැනීම සැමට කළ නො හැකිය. නො සැලෙන ශ්රද්ධාවත්, සසර වාසනාවත් ඇති කෙතකුට පමණක් එවැනි නිර්ලෝභී සිතක් ඇති විය හැකිය. 1989 දී ‘සූවිසි මහ ගුණය’ නො කඩවා පවත්වාගෙන යාම වෙනුවෙන් දෝන සීලවතී ලොකුගේ මැතිණිය තැබූ පදනම අදටත් ශක්තියකි.
ඉන්පසු, ජනාධිපති නීතිඥ ආතර් සමරසේකර මැතිතුමන්, ධර්ම ප්රචාරක කටයුතු සඳහා තම පවුලේ අරමුදලක් වශයෙන් පවත්වන ‘සමරසේකර පුණ්‍ය භාර අරමුදල’ මගින් තෙරුවන් ගුණ වැණීමෙන් ලත් සැනසීම ‘සූවිසි මහ ගුණය’ පැවැත්මට රුකුලක් විය.
තවත් එවැනි සැදැහැවතුන් බොහෝ දෙනෙක් ලොකු, කුඩා දහම් පූජා මගින් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ අරමුදල ශක්තිමත් කිරීම මගින් නාහිමියන්ගේ සියලු දහම් පොත් නොකඩවා පවත්වා ගෙන යාමටත්, අවම මිලකට සැපයීමටත් රුකුල් දුන්හ. මණ්ඩලය ලබා ඇති මේ සාර්ථකත්වය සැදැහැවතුන්ගේ අනුග්‍රහය මෙන් ම පොත් මිලදී ගැනීම තුළින් ද වූ සේවාවකි.
බුදුදහම පමණක් නොව බුදුසිරිත පරිහාසයට ලක් කරන භික්ෂු පර්ෂදයන් බිහි වී ඇති මේ යුගයේ නිවන් දක්නට නම් ශ්‍රද්ධා ධනය ආරක්ෂා කළයුතු බව අවධාරණය කළයුතු ය. කල්‍යාණ මිතුරා අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව මුල්බස්වනු පිණිස රැකගැනීමටය. මේ මිසදිටුවන් වෑයම් කරන්නේ මූලය බිඳදැමීමටය. ශ්‍රද්ධාව රැකගැනීමට සූවිසි මහ ගුණය මූලික අත්පොතකි.
2500 සම්බුදු ජයන්ති උළෙල අරමුණු කර ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ හිමිවරුන් අතින් වූ බෞද්ධ ප්රබෝධය ද අනුපමේයය. රේරුකානේ නාහිමියන්ගේ දහම් පොත් පෙළත්, කහටපිටියේ සුමතිපාල නාහිමියන්ගේ, කඳුබොඩ කේන්ද්‍ර කරගත් භාවනා පුහුණුවත් මහා සංස්ථානයෙන් ඉටුවූ සේවා අතර අද්විතීය ය. ශ්වේජින් නිකායේ නිර්මාතෘ විනයාලංකාර සමිඳුන් ශ්‍රී දළදා මාළිගාවේ ඉදිකළ විහාර මන්දිරයත්, උන්වහන්සේ පැළඳූ රුවන්මැලි සෑ චූඩාමාණික්‍යයත් විහිදූ ආලෝකය විසින් ව්‍යාප්ත කළ සේවා වශයෙන් අදත් මේ සත් ව්‍යාපාර දෙක ක්‍රියාත්මක වෙයි.
2600 සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ඇරඹුණු ‘පොකුණුවිට සඳවිමල සෙනසුන’ වනගත පරිසරයක් තුළ භික්ෂූන් වහන්සේලාට තම භාවනාමය කටයුතු පහසුවෙන් කරගෙන යෑම සඳහා විනයාලංකාර භික්ෂු පරපුරෙන් සසුනට එක්වූ නවාංගයකි. මුල් බුදුසසුනේ ගුණාංග හා අරමුණු නව භික්ෂු පරපුරට මතක්කර දෙන එහි නිර්මාතෘ කිරිබරුවේ ධම්මානන්ද සමිඳුන් (බොහෝ දෙනාගේ උපකාර මත) ගත් වෑයම ප්‍රශංසනීය ය.
රේරුකානේ නාහිමියන් ලියූ පොත් ජනතාව අතරට ගෙන යාමේ වගකීම තේරුම්ගත් නාහිමියන්ගේ ශිෂ්‍ය ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යාණධම්ම යන හිමිවරුන්ගේ සහාය උන්වහන්සේට ලැබීම බෞද්ධයන්ගේ ද වාසනාවකි. ඒ වගකීම ඉදිරියට ගෙන යන්නට උරදුන් කිරිබරුවේ ධම්මානන්ද හිමියන්ගේ සම්ප්‍රාප්තිය ද භාග්‍යයකි. කල්‍යාණධම්ම හිමියන්ගේ අවධියේ පටන් මීට සම්බන්ධව කටයුතු කරන්නට ලැබීමෙන් මා ලැබුවේ ද අසීමිත සතුටකි. මේ කාලය තුළ සහාය වූ මුද්‍රණ කරුවන්ගේ හා වෙළඳ නියෝජිතයන්ගේ ශ්රද්ධාමූලික සේවාව ද මහත් පිටුවහලකි.
මේ මුද්‍රණය අරුණ තලගල මහතා වර්ණ සංයෝජනයෙන් සකස් කළ පිටපතයි. එහි සංශෝධිත සටහන් ද අරුණ තලගල මහතා විසින්ම නිමවන ලදී. කසුන් ජයවර්ධන මහතා එහි වියදම දැරීමෙන් හා මාලනී සෝදුපත් සැසඳීමෙන් කළ උපකාරය සටහන් කිරීම යුතුකමකි. පොත එළිදැක්වීම සිකුරු ප්‍රින්ටර්ස් අධිපති ගිහාන් ජයවර්ධන මහතාගේ හපන්කමකි. පූජ්‍යපාද කිරිබරුවේ ධම්මානන්ද නාහිමි, පූජ්‍ය කළුතර පදුම හිමි ප්රමුඛ විහාරස්ථ හිමිවරුන් සෙවනේ සිට මේ කාර්යයේ නියැලීම සතුටට කරුණකි.
ඔබ සැමට තිසරණ සරණයි!
සී තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2025 මාර්තු මස 01 වන දින,
පොකුණුවිටදී ය.
ප්‍රස්තාවනා
අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතො භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේය. සුපටිපන්නො භගවතො සාවකසංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් සංඝරත්නයෙහි ඇත්තේය. සියල්ල එකතු කළ කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට “සූවිසි මහා ගුණය”යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ ග්රන්ථයට ද සූවිසි මහ ගුණය යන නම ම තබන ලදී.
බෞද්ධ වූ සැමදෙනා විසින් ම තෙරුවන් හොඳින් හැඳින ගෙන සිටිය යුතුය. තෙරුවන් නො හඳුනන බෞද්ධයාට ඇත්තේ බෞද්ධ නාමය පමණෙකි. තෙරුවන් හැඳින ගත යුත්තේ මේ ගුණ සූවිස්සෙනි. මේ ගුණ සූවිස්ස දැන ගැනීම හැර තෙරුවන් හැඳින ගැනීමට අන් කළ යුත්තක් නැත. තෙරුවන් හැඳින ගැනීමේ අනුසස් බොහෝය. මේ ගුණ සූවිස්ස දැන මැනවින් තෙරුවන් හැඳින ගත් තැනැත්තාට කිසි කලෙක වෙනස් නො වන, කිසිවකු විසින් කිනම් උපායකින්දු වෙනස් කළ නො හෙන අචල ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි ඇති වේ. එයින් ඔහු පව්කම් වලින් වැළකී, බෝධිපාක්ෂික ධර්මයන් වඩන පුද්ගලයකු වී මද කලකින් ම නිවන් දැක සියලු දුක් කෙළවර කරගන්නෙක් වන්නේය. තුනුරුවන් නො හඳුනන පුද්ගල තෙමේ කුශලයෙන් දුරු ව, පස්කම්හි හා පව්කම්හි ඇලී ගැලී සිට දුකින් දුකට ම පත් වන්නේය. දුර්ලභ බුද්ධෝත්පාදකාලය ලැබීමෙන් මිනිසත්බව ලැබීමෙන් ගත හැකි උසස් ප්‍රයෝජනයක් නො ලබන්නේය. තෙරුවන් පිහිට නො ලබා මේ සත්ත්වයන්ට ජාති-ජරා-මරණාදි දුක්වලින් හා අපා දුකින් නො මිදිය හැකිය. දුකින් මිදීමට ඇති එක ම පිහිට, නො වරදින පිහිට තෙරුවන් පිහිටය. තෙරුවන් නො හඳුනන්නවුනට එය නො ලැබිය හැකිය. එබැවින් දුකින් මිදී නිවන් සුව ලබනු කැමති ගිහි-පැවිදි, ස්ත්‍රී-පුරුෂ සැමදෙනා විසින් ම තෙරුවන් ගුණ මැනවින් දැන ගැනීමට උත්සාහ කළ යුතුය. බෞද්ධ සැම දෙනා විසින් ම යටත් පිරිසෙයින් එක් එක් රත්නයක ගුණවලින් එක් එක් ගුණය බැගින් වත් හොඳින් දැන සිටිය යුතුය.
තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගෙන තෙරුවන් ගුණ තේරුම් ගැනීම නූගතකුට තබා මහාපණ්ඩිතවරයකුට ද පහසු කාරියක් නො වේ. තෙරුවන් ගුණ බෞද්ධ කාහටත් පහසුවෙන් දත හැකි වීම පිණිස පිටකත්‍රයෙහි හා තවත් ග්‍රන්ථවල විසිරී පවත්නා ඒ කරුණු එක්තැන් කොට තෙරුවන් ගුණ විස්තර කරන ග්රන්ථයක් තිබිය යුතුය. තෙරුවන් ගුණවලින් යම් කිසි එක් ගුණයක් ගෙන එපමණක් විස්තර කර ඇති සිංහල බණපොත් කීපයක් ඇති නමුත් සූවිසි ගුණය ම පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි විස්තර කර ඇති පොතක් සිංහල සාහිත්‍යයට නැති බව දුටු අපගේ සිත සූවිසි මහා ගුණය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි නැමිණ. තෙරුවන් ගුණ, උගත් නූගත් සැමදෙනා විසින් ම දත යුතු බැවින් මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහිදී වැඩි දෙනකුන් දන්නා සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරයෙහි පවතින ප්‍රසිද්ධ වචන හැකිතාක් යොදන ලදී. එබැවින් මෙය කියවා කාහටත් පහසුවෙන් දහම්රසය විඳිය හැකිවනු ඇත. මේ ග්‍රන්ථය තේරුම් ගැනීමට ගැටපද විවරණ සන්න ටීකා වුවමනා නො වනු ඇත.
තෙරුවන් ගුණ ඉතා ගැඹුරුය. ඒවායින් බොහෝවක් ම සාමාන්‍ය ලෝකස්වභාව ඉක්මවා පවතින, අපේ දුබල නුවණට හසු කර ගත නො හෙන, බුද්ධාදි ආර්‍ය්‍යයන්ට ම විෂය වූ කරුණුය. ඒවා සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව හෝ නවීන ප්‍රවීණ විද්‍යාශාස්ත්‍ර අනුව හෝ මණින්නට විවේචනය කරන්නට නොයා යුතුය. මෙකල ඇතැම් උගත්තු තමන් දන්නා දේ අනුව විවේචනය කොට තුනුරුවන් ගැන ද නොයෙක් අදහස් පහළ කෙරෙති. ඇතැම්හු විවේචනය කරමුය, කියා තමන්ට අවිෂය කරුණු ගැන මොක මොකවත් බොරු රැසක් ඇදබා මහ වැඩක් කෙළෙමු යි තමන් ගැන උදම් වෙති. එය තමන්ගේ මෝඩකමේ ම එක් අංශයක් බව ඒ භවත්හු නො දනිති. විවේචනය වනාහි මෝඩකම වැඩි තරමට වඩ වඩා කළ හැකි කාර්‍ය්‍යයෙකි. එබැවින් තෙරුවන් පිළිබඳව ඇති නවීන උගතුන්ගේ ප්‍රශ්න කිසිවක් මේ ග්රන්ථයට ඇතුළත් නො කරන ලදී. අප විසින් අමුතුවෙන් සිතා ද මේ ග්රන්ථයට කිසිවක් ඇතුළු නො කරන ලදී. මෙය සම්පාදනය කර ඇත්තේ, පිටකත්‍රයෙන් හා අටුවාවලිනුත් තවත් සැලකිය යුතු දහම්පොත්වලිනුත් ගන්නා ලද කරුණු අනුවය. ඒ ඒ කරුණු ගත් තැන් ද පොතෙහි ඒ ඒ තැන්වල සඳහන් කර ඇත.
අප විසින් මේ ග්‍රන්ථය ලියන ලදුයේ තවත් නොයෙක් කටයුතුවල යෙදී ඉන්නා අතර ම ය. විවේක මද බව නිසා මෙය ලියා සම්පූර්ණ කිරීමට දොළොස් මසක් පමණ ගත විය. කල් ගත කොට කඩින් කඩ පොත ලියන කල්හි කලින් ලියූ කරුණු අමතක වේ. එබැවින් මෙහි ඇතැම් තැනක වරක් ලියූ කරුණු නැවතත් ඇතුළු වී තිබෙන්නට බැරි නැත. එසේ තිබීම ග්රන්ථ දෝෂයක් වුව ද කියවන්නවුනට එයින් ලාභයක් මිස හානියක් නො වනු ඇත.
බෞද්ධයන් තමන්ට පරලොවට පිහිට පිණිසත්, මිය ගිය ඥාතීන්ට සැප සලසනු පිණිසත්, මිය ගිය ඥාතීන් ප්‍රේතත්වයෙන් ගොඩනගනු පිණිසත්, බෙහෙවින් කරන්නේ සඟරුවනට පිදීමය. උසස් ඵල ගෙන දෙන ඥානසම්ප්‍රයුක්ත කුශලයන් වන පරිදි ඒ පින්කම් කළ හැකි වන්නේ සංඝගුණයන් දැන, සංඝරත්නය හැඳින සංඝරත්නයෙහි පැහැදීමක් ඇතිව සිටියහොත්ය. එබැවින් මෙහි සංඝරත්න ගුණ විස්තරය සැමදෙනා විසින් ම විශේෂයෙන් කියවා තේරුම් ගත යුතුය.
බෞද්ධයන් අතර පවත්නා ප්‍රශ්නවලින් බොහෝවක් සංඝරත්නය හා එහි ගුණ පිළිබඳව ය. සංඝරත්නය පිළිබඳව විසඳීමට දුෂ්කර නොයෙක් ප්‍රශ්න ඇත්තේය. පිටකත්‍රයෙහි සඟරුවනේ ගුණ පිළිබඳ කරුණු ඇත්තේ ද ස්වල්ප වශයෙනි. එබැවින් සඟරුවන පිළිබඳ විස්තර ලිවීමට අපට බොහෝ වෙහෙසෙන්නට සිදු විය. පිටකත්‍රයෙන් කරුණු උපුටා දක්වා හැකිතාක් දුරට කරුණු නිරවුල් කර සංඝගුණය ද මෙහි විස්තර කර ඇත. එය කියවීම උගතුන්ට ද බොහෝ ප්‍රයෝජන වනු ඇත.
මීට
ශාසනප්රීතිකාමී,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිර
2508 / 1965 සැප්තැම්බර් 20 වෙනි දින
පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.