සතිපට්ඨාන භාවනා විවේචනය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
173
බාගත කිරීම් ගණන :
315
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
7.2 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 87

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත වටිනා ධර්ම ග්‍රන්ථයකි. බුද්ධ ජයන්ති සමයේ ලක්දිව ප්‍රචලිත වූ බුරුම සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමයට එරෙහිව එවකට පළවූ විවේචන සහ චෝදනාවලට ත්‍රිපිටකාගත ධර්ම කරුණු අනුව විධිමත් ලෙස පිළිතුරු දෙමින් මෙම කෘතිය රචනා කර ඇත.

මෙහි පළමු මුද්‍රණය 1958 දී සිදුවූ අතර, මෙම එකොළොස්වන මුද්‍රණයට ‘සතිපට්ඨාන භාවනා විවේචනය’ට අමතරව ‘පූජාවාද නිරාකරණය’ ඇතුළු තවත් ලිපි හා සාකච්ඡා කිහිපයක් සංග්‍රහ කර ඇත. පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක් මෙසේය:

  • සතිපට්ඨාන භාවනා විවේචනය (සම්‍යක් සමාධිය හා මිථ්‍යා සමාධිය, භාවනා ප්‍රතිඵල, සමථය හා විදර්ශනාව ආදිය)
  • සතිපට්ඨාන විපස්සනා භාවනාව
  • පූජාවාද නිරාකරණය (බුද්ධ පූජාව, ප්‍රතිපත්ති පූජාව, කණ්ඩ සූත්‍රය, විහාරවල පින්පෙට්ටි, ධර්මපූජාව ආදිය)

මෙම සංස්කරණය 2025 දී පොකුණුවිට ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මුද්‍රණය පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනයෙන් සිදු කර ඇත.

ලේකම්ගේ සටහන් .....

බුරුම ජාතික ඌ. විනයාලංකාර හිමිපාණන් ලක්දිව සැපත්වූයේ මෙහි නැවතීමේ අදහසකින් නොවේ. එකල ලංකාවේ වෙහෙර විහාර වන්දනාව සඳහා පැමිණි බොහෝ විදේශිකයන් අතර උන්වහන්සේ ද කෙනෙකි. (විස්තර ඇතුළත ලිපිවල පළවේ.) ඒ විසිවන සියවසේ මුලමය. ක්‍රි.ව. 1901 දී ය. වස් කාලයේ වස් වසමින් හා රුවන්මැලි මහසෑ ප්‍රතිසංස්කරණාදි කටයුතුවලට සහාය වෙමින්, පයින් ම ගමන් කරමින්, දීර්ඝ වන්දනා ගමනක යෙදී ශ්‍රීපාද වන්දනාවෙන් පසු ආපසු සිය රට බලා වඩනා උන්වහන්සේ පොකුණුවිට ප්‍රදේශයේ නවාතැන් ගැනීමට පැමිණීම ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ වෙනසක් සටහන් කළේය.

එවකට නිකායත්‍රය තුළ ක්‍රියාත්මක වූ භේදකර ගති ලක්ෂණවලින් කම්පිතව සිටි බෞද්ධයන්ට, බුරුම හිමියන්ගේ ඇවතුම් පැවතුම් කොතරම් සිත් ගත්තේ ද යත්, උන්වහන්සේ නවතාගෙන මහා පින්කම් කිරීමටත්, කුලදරුවන් පැවිදිකිරීමටත් ඒ නිසා හැකිවිය.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා බන්ධනය කර, 27 නමක් පැවිදිකිරීමෙන් ආරම්භ වූ ශ්‍රී විනයාලංකාර වංශය අද දක්වා සසුනට කර ඇති සේවය අගය කිරීම, ලිහිල් බසින් දහම් පොත් රැසක් ලියා 2500 බුද්ධජයන්තිය වෙනුවෙන් අති විශාල සේවයක් කර අපවත් වී වදාළ රේරුකානේ චන්ද්‍රවිමල නාහිමිපාණන් වහන්සේට හා භාවනා කේන්ද්‍රයක් බිහිකළ කහටපිටියේ සුමතිපාල නාහිමියන්ට කරන ගෞරවයකි, මේ පළකිරීම.

අංගුත්තරනිකායේ නවක නිපාතයේ නවාංගුපෝසථ සූත්‍රය අනුව අටසිල්හි හා මෛත්‍රී භාවනාවේ යෙදවූ, නවාංග උපෝසථ ශීලය සමාදන් කරවීමෙන් බුරුම හිමියන් කළ ශාසන සේවය ඉවසිය නොහැකිව වාදකරුවන් එවීමෙන් හා ‘නවංග උපෝසථය’ නමින් 1905 දී විවේචන පොතක් පළකරවීමෙන් ලාංකික භික්ෂූන් වහන්සේගේ පළමු ප්‍රහාරය බුරුම හිමියන්ට විරුද්ධව එල්ලවිය.

උන්වහන්සේ තමන්ට ලැබුණු පිරිකරාදිය පිරිනමා, දීමට සැලසූ මහ දනට නොවැඩීමෙන් දෙවන විරෝධතාව එල්ල කළ නමුත්, වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් ඉදිරිපත්ව සියක් නමක් වඩමවා ඊට සහාය දීමෙන් එම අභියෝගය ද ජයගන්නට විනයාලංකාර හිමියන්ට හැකිවිය.

මහනුවර යුගයේ ශාසන පරිහානියෙන් පසුව සරණංකර සංඝරාජ හිමියන්ගේ උත්සාහයෙන් ලක්දිව යළි ශාසනය පිහිටුවූ පසු ප්‍රතිපත්තිය අභිබවා ආමිෂය පමණක් මතුවී පැවැත්තේය. ශ්‍රද්ධාවෙන් ආමිෂ පූජාවේ යෙදෙන අතර ඊට වැඩි උනන්දුවකින් ප්‍රතිපත්ති ශාසනය ආරක්ෂා කිරීමේ වැදගත්කම සලකා බුරුම ජාතික භික්ෂූන් වහන්සේ ප්‍රචලිත කළ භාවනා මාර්ගයට විරුද්ධව තෙවන අභියෝගයක් ද එල්ලවිය. ‘බෞද්ධ භාවනා ක්‍රමය හා අළුත් බුරුම භාවනාව’ නමින් 1958 දී උගත්, ප්‍රසිද්ධ නාහිමිවරුන්ගේ ලිපි ඇතුළත් පොතක් පළකිරීමෙන් මේ විරෝධතාව දැඩිව එල්ලකරන ලදී. භාවනා මධ්‍යස්ථාන ‘සෝවාන් පැක්ටරි’ නමින් හැඳින්වූ එම පොත, රේරුකානේ නාහිමියන්ගේ භාවනා පොත් ද ඊට අනුබල දෙතියි නිර්දය විවේචනයට ලක්කළහ. (මේ සතිපට්ඨාන භාවනා විවේචනය ලියැවුණේ ඊට පිළිතුරු වශයෙනි.)

මේ සියලු විරෝධතාවලට කරුණු සහිතව පිළිතුරු දීමෙන් හා නොබියව සසුන් කටයුතුවල යෙදීමෙන් කලක් යන විට සත්‍යය පැහැදිලි කිරීමට හැකිවිය. හුදු තම ක්‍රියාමාර්ග සසුනේ පැවැත්මට මිස ලාභ සත්කාර ලැබීමේ මගක් නොවන බව අල්පේච්ඡ ජීවිකාවෙන් තහවුරු කළ විනයාලංකාර පරපුර ක්‍රමයෙන් සියල්ලන්ගේ ප්‍රසාදයට පත්විය.

ඇමෙරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ආදීන් කළ ජාතික ආගමික මෙහෙවරට නොදෙවැනි ශාසන පුනරුදයක් කළ විනයාලංකාර හිමියන්, අල්පේච්ඡව හා නිශ්ශබ්දව තම කටයුතු කළ නිසාම ඉතිහාසයේ දිලිසෙමින් සටහන් වූයේ නැත. රුවන්වැලි සෑ චූඩාමාණික්‍යය සැපයීම, ශ්‍රී දළදා මාළිගයට නව විහාර මන්දිරයක් තැනීම, උන්වහන්සේ නිසා භාවනා ක්‍රම ප්‍රචලිත වීම තුළ ඇති වූ සසුන් දියුණුව අමතක කළහැකි නොවේ. උන්වහන්සේගේ සිසු පරපුරින් ඇතිවූ ශාසන දීපක කටයුතු අතර භාවනා මධ්‍යස්ථාන සහ රේරුකානේ මහ නාහිමියන්ගේ දහම් පොත් සම්පාදනය ද විශේෂ ස්ථානයක් ගනී. විනයාලංකාර නාහිමියන්ගේ ලංකාගමනය නොවන්නට භාවනාවෙන් ලැබෙන සහනය ලංකාවාසීන්ට අත්විඳින්නට අවස්ථාවක් නොලැබෙන්නට ද ඉඩ තිබිණි.

ඒ අතරම මිෂනාරි අධ්‍යාපනය ලැබ, දේශීයත්වය අමතක කර බුද්ධාගමත්, ජාතිකත්වයත් හෑල්ලුවට ලක්කරන්නවුනට පිළිතුරු දෙන්නටත්, ඒ සඳහා දේශීය උගතුන් ඇතිකරගත් සංවිධානවලට උදව් දෙන්නටත්, විනයාලංකාර පරපුර කටයුතු කර ඇති බව රේරුකානේ නාහිමියන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පිහිටුවූ සිංහල මහා සභාවට ප්‍රාදේශීයව උදව් කිරීමෙන් සහ සංසරත්නය නමින් ධර්මවිජය පුවත්පතට 1955 දී ලියූ ලිපිවලින් හා ජාතිය පුවත්පතට ලියූ ලිපිවලින් පෙනේ. අද කෙසේ සිතුවත් ඉතිහාසයේ අවශ්‍යතා ලෙස ඒවායේ අගය ප්‍රමාණ කළ නොහැකිය.

මෙම පරපුරේ විශේෂ සේවාවක් කළ හිමිවරුන් වශයෙන් අරංගල සිරිධම්ම, උඩුවේ විමලරංසි, කහටපිටියේ සුමතිපාල, දෙවිනුවර ඤාණාවාස, රේරුකානේ අරියඤාණ, ඇම් යූ. ශ්‍රී කවිශ්වර, රේරුකානේ චන්දවිමල, හේනේගම කල්‍යාණසිරි ආදි මහනාහිමිවරුන් සටහන් කළහැකිය. එයිනුත් වඩා ප්‍රකට වන්නේ ජාතියට හා ආගමට වන සියලු අභියෝගයන්ට නොබියව පිළිතුරු දෙමින් ජනතාව අතර බුද්ධධර්මය ගැන හැඟීමක් ඇතිකිරීමට මහත් උත්සාහයක යෙදුණු රේරුකානේ චන්දවිමල නාහිමියෝය. වර්තමාන මහා නායක ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියෝ ද නිකායේ ස්වාමීන් වහන්සේලා හා එක්ව, සිල්වත්බව, ධර්මය හා ධර්ම මාර්ගය රකින භික්ෂු පිරිසක් පවත්වාගෙන යාමට කාලීනව එන අභියෝගයන්ට මුහුණු දෙමින් කටයුතු කරති.

විදේශිකයන්ට නතුවීමේ සිට 20 වන සියවසේ මුල්භාගය දක්වා විදේශිකයන්ගේ ගැහැටට ලක්වූ බුදුසමය ඉන්පසු තවමත් නිසි සැලකිල්ල නොලබා දුෂ්කරව රැකෙන බව නොරහසකි. අප රටේ අනන්‍යතාව රැකෙන එක් අංගයක් වූ බුද්ධාගම ඊට නිසි අයුරින් පෝෂණය කිරීමේ වගකීම දරන අමාත්‍යාංශයක් පවා තිබුණ ද, පැවරෙන අභියෝගය භාරගන්නට තරම් සවිමත් මානසිකත්වයක් වගකිවයුත්තන් තුළ නොතිබීම නිසාදෝ බුද්ධාගමත්, භික්ෂූන් වහන්සේත් ඔවුන් තුළම හෑල්ලුවට ලක්වනු කොතෙකුත් දක්නට ලැබේ. සිංහල බෞද්ධයින් වශයෙන් අන්‍යාගම්වලට හා ජාතිකත්වයට ගරු කරන මුත් අපේම ආගම හා ජාතිය පිළිබඳව සැහැල්ලුවෙන් සිතීම ජාතික අභාග්‍යයකි. විවිධාකාරයෙන් බෙදී සිටින භික්ෂූන් වහන්සේත්, දේශපාලන නායකයනුත් නිසා සියලු අනන්‍යතා නසා ගන්නා ජාතියක් බවට පත්ව සිටින අප ලාංකිකයන් වශයෙන් සමගිවීමේ අගය වටහාගන්නේ කවදා ද?

විනයාලංකාර හිමියන් ප්‍රමුඛ එම පරපුරෙන් වූ ප්‍රධාන සේවාවන් අතර ප්‍රතිපත්ති ශාසනය ඉස්මතු කිරීම (භාවනා හා ශීල සමාදානය) දළදා මැදුරේ සංවර්ධනය, රුවන්වැලි සෑයෙහි සංවර්ධනය, ජාතික ආගමික කටයුතු පිළිබඳ උද්යෝගය හා දහම් පොත් පත් සම්පාදනය ප්‍රධාන වශයෙන් අගය කළහැකිය.

අද වනවිට සසුනට ගරහන්නේ අන්‍ය ආගමිකයන් පමණක් නොවේ. මූලධර්මවාදීන් එසේ කරන අතරම බුදුසමයත්, බුදුසිරිතත්, ලංකා ඉතිහාසයත්, ඉන්දීය ඉතිහාසයත් විකෘතියට පත්කරමින් කුඩා දරුවන්ගේ මනස වෙනස් කර අනාගතය අඳුරු කරන කල්ලි කණ්ඩායම් ජනමාධ්‍යය තුළ කරන සෙල්ලම භයානකය.

එන විවේචනයන්ට පිළිතුරු දීමට බොහෝ සංයමයෙන් ලියූව ද, කොතරම් ධර්ම කරුණු ඇතුළත් වුව ද, පළමු මුද්‍රණයෙන් පසු එය මුද්‍රණය කිරීම නාහිමියන් විසින් අනුමත නොකෙරිණ. ඒ ප්‍රස්තුත ස්වාමීන් වහන්සේලාගේ සිත් රිදීමක් වුවහොත් එය නොමැනවැයි උන්වහන්සේ සිතූ නිසාය. එම ස්වාමීන් වහන්සේලාත්, නාහිමියනුත් අපවත් වූ පසු මෙය මුද්‍රණය කිරීමට අප කල්පනා කළේ එහි ඇති ප්‍රයෝජනය නොසලකා හැරිය නොහැකි බැවිනි. මේ ශාසන ඉතිහාසයේ වැදගත් යුගයක තොරතුරු ඔබට කියන්නට අපට හැකිවූයේ දහම් පොත් ලිවීම මෙන්ම කාලීන තොරතුරු ආරක්ෂා කර ලියූ රේරුකානේ මහනාහිමියන්ගේ කුඩා සටහන් පොත් නිසාය.

මේ සංග්‍රහය සකස්කිරීමෙලා මා උනන්දු කරවූ, රේරුකානේ මහනාහිමියන්ගේ ආගමික ක්‍රියාමාර්ග තවදුරටත් සරු කොට තහවුරු කරන්නට මහත් උත්සාහයක යෙදෙන, විහාරාධිපති පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන්ටත්, කළමනාකරණ කටයුතුවලදී වෙහෙසී වැඩකරන පූජ්‍ය කලුතර පදුම හිමි, කලුතර වනරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලාටත්, සෝදුපත් කියවූ මාලනීටත්, තම දහම් දැනුම හා භාෂාඥානය, මුහුකුරා ගිය අත්දැකීම් ඔස්සේ අනාගත පරපුරට දායාද කරන්නට, මගේ වෙහෙසට එක්වෙමින් පරිගණක අකුරු ළංකළ අරුණ තලගල මහතාටත්, මුද්‍රණයෙන් සහාය වූ සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමි.

විවාදාත්මක කරුණු රාශියක් නිසා දුර්වල වූ ආර්ථිකයෙන් හෙම්බත්ව සිටින, රට තුළ ධර්මයට ලැදිව උදව් කරන, ධර්මය කෙරෙහි විශ්වාසය තබා එය පරිහරණය කරන, එහි ජීවත්වන ඔබට ඉඩ මෝදතු, පෙව්ව මෝදතු යි පින්දෙමින් ප්‍රාර්ථනා කරමු.

තිසරණ සරණයි!

සී තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 මාර්තු මස 01 වැනි දින,
පොකුණුවිටදී ය.

නිදානය

මේ පොත ලියූයේ කුමට ද?

මා විසින් මේ පොත ලියූයේ භාවනා මධ්‍යස්ථානයක් අල්ලා ගැනීමේ අදහසින් නො වේ. අපට ඇති භාවනා මධ්‍යස්ථානයක් අන්‍යයන් අල්ලා ගනිති ය යන බිය නිසාත් නො වේ. අප විසින් මේ භාවනාව පුහුණු කරවන පිරිසක් අනුන් අල්ලා ගනිත් ය යන බිය නිසාත් නො වේ. අප විසින් මේ භාවනාව කාටවත් පුහුණු කරවීමටවත්, අළුත් දායක පිරිසක් අල්ලා ගැනීමටවත් නො වේ. අපට භාවනා මධ්‍යස්ථාන නැත.

මේ භාවනාව ප්‍රචාරය කරන මහාසි තෙරුන් වහන්සේ හා අපගේ ඇති සම්බන්ධයක් නිසා ද නො වේ. ඒ තෙරුන් වහන්සේ හා මා කතාකර ඇත්තේ එක් දිනයක් පමණෙකි. මේ භාවනාව පුහුණු කරවන භාවනා මධ්‍යස්ථානයන් හා අප අතර ඇති සම්බන්ධයක් නිසා ද නො වේ. මේ භාවනාව කරවන පුද්ගලයන් හා අපේ ඇති මිත්‍රකමක් නිසා ද නො වේ. යම්කිසිවකු විසින් කරන ලද ආරාධනාවක් හෝ පෙලඹවීමක් නිසා ද නො වේ. මේ භාවනාවට විරුද්ධ අය හා අපගේ ඇති වෛරයක් නිසා ද නො වේ. ඒ අයට රිදවීමේ අදහසින් ද නො වේ.

මේ විවේචනයෙන් සමහරුන්ගේ සිත් රිදෙන්නටත් බැරි නැත. එසේත් නො වන පරිදි විවේචනයක් කිරීම අපහසු ය. කිසිවකුගේ නම් ගම් මෙහි සඳහන් කර නැත. එසේ කරන ලද්දේ ද හැකිතාක් අනුන්ගේ සිත් රිදවීමෙන් වළකිනු පිණිස ය.

කාලාන්තරයක් යටපත්වී තුබූ මේ භාවනා ක්‍රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදුවූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්‍රමය පවත්නේ සුළු පිරිසක් අතේ ය. බලවතුන් නගන ප්‍රශ්නවලට සෑහෙන පිළිතුරු දීගන්නට ඒ අය අසමර්ථ වුවහොත්, සමහරවිට මේ උතුම් භාවනා ක්‍රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මා විසින් මේ පොත ලියූයේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නො වී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.

මීට - ශාසනස්ථිතිකැමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර.

01. 12. 1958
පොකුණුවිට
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.