සතිපට්ඨාන භාවනා ක්‍රමය.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 142
- බාගත කිරීම් ගණන :
- 192
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 6.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට විදර්ශනා භාවනා උපදේශ කෘතියකි. බුරුම සම්ප්රදාය ඇසුරින් සතර සතිපට්ඨානය එකවර ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන ආකාරය මෙහි සරලව පැහැදිලි කර ඇත.
ඉරියව් පැවැත්වීම, එදිනෙදා කායික හා මානසික ක්‍රියාකාරකම්වලදී සිහිය පිහිටුවීම සහ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයම අරමුණු කරගනිමින් විදර්ශනා නුවණ දියුණු කර මගඵල නිවන් සාක්ෂාත් කරගන්නා අයුරු කෘතිය පුරා විස්තර කෙරේ.
මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2024 වර්ෂයේදී නිකුත් කරන ලද විසිහත්වන මුද්‍රණයයි.
ලේකම්ගේ සටහන් .....
පූජ්‍යපාද රේරුකානේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත දහම් පොත් සිංහල සාහිත්‍ය වංශය තුළ, ගැඹුරු දහම් සරලව පැහැදිලි කළ පොත් පෙළක් වශයෙන් ප්‍රසිද්ධ ය. එමෙන්ම අනුරපුර යුගයේදී බුදුගොස් හිමියන් විසින් හෙළටුවා පාලියට නැගීමෙන් පසු ත්‍රිපිටකය අලලා ලියවුණු පොත් පෙළක් වශයෙන් ද එය ප්රකටය.
දුක් දොම්නස්වලට සහනය දහම් මගයි. දහම් මගට ඇතුළත් වීම සඳහා මේ කාලයේ බොහෝ දෙනාට උපකාර වූයේ රේරුකානේ නාහිමියන්ගේ පොත් ය. මේ පොත් ඉල්ලා එවන පාඨකයන් විසින් පෙන්වන ලද එම අවශ්‍යතාවත්, පොත්වල ඇති ශාසනික වැදගත්කමත් සලකා ඔබගේ ම අනුග්‍රහය ඇතිව මේ පොත් නැවත මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙම පොත් පෙළ නැවත නැවත මුද්‍රණය කිරීම මගින් චිරාත්කාලයක් පවත්වා ගෙන යාම සඳහා අරමුදලක් ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මුල් අවස්ථාවේ ඔබ දෙන අනුග්‍රහය ඒ අවස්ථාවේ මුද්‍රණය කරන කිසියම් පොතක සටහන් කරන අතර, එම මුදල මේ පොත් පවත්නා තාක් නැවත මුද්‍රණය සඳහා උපකාරී වේ.
මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය අටවන වරට මුද්‍රණය කිරීම සඳහා සම්පූර්ණ වියදම දරණ ලද්දේ, පොකුණුවිට ඩී. ආර්. සුබසිංහ වෙදදුරු මහතා හා එම මැතිණියයි. අදටත් ඒ ශක්තිමත් පදනම පොතෙහි පැවැත්මට උපකාරී වෙයි.
බුරුම භික්ෂූන් වහන්සේගේ ඇසුර ලද ලාංකික භික්ෂූන් වහන්සේ නිසා ලංකා බෞද්ධයන් අතර භාවනාව ප්‍රචලිත විය. මහනුවර යුගයේ බෞද්ධ පුනරුදයෙන් පසු වඩාත් ප්‍රකට වූයේ ඇදහිලි මාත්‍රයන් මිස ප්‍රතිපත්ති පිරීම නොවේ. මේ නිසා භාවනාව ප්‍රචාරය වීම තුළ ඉන් මානසිකව පීඩාවට පත් සමහර භික්ෂූන් වහන්සේ ඊට එරෙහිව ක්‍රියාත්මක වූ බව ද පෙනේ. එහෙත් අද වන විට මොනම හේතුවකින්වත් තොරව සියලු භික්ෂූන් වහන්සේ භාවනාව අගය කරති. ගිහි පැවිදි කර්මස්ථානාචාර්ය්යවරු බුද්ධ විනය අනුව තමතමන්ට ආවේණික සරල ක්‍රම අත්හදා බලමින් උපදෙස් දෙති. භික්ෂූන් වහන්සේටත් වඩා ගිහි බෞද්ධයන් භාවනා කිරීමෙන් සැනසුම සොයා යන බව පෙනෙන අවස්ථා විරල නොවේ.
මේ ‘සතිපට්ඨාන භාවනා ක්‍රමය’ එසේ මුල් යුගයේ අබෞද්ධ භාවනාවක් වශයෙන් බැට කෑ පොතකි. මේ භාවනා ක්‍රමයට එරෙහිව ප්‍රසිද්ධ යතිවරයන්ගෙන් හා උගතුන්ගෙන් විවේචන එල්ල විය. ඒ සියල්ල ඉවසා බුරුමයෙන් භාවනා ඉගෙන මෙහි පැමිණි කර්මස්ථානාචාර්ය්යවරුන්ගේ හා අනුගාමික භික්ෂූන් වහන්සේගේ සහ ධර්මකාමී සැදැහැවතුන්ගේ ආශිර්වාදය නිසා මේ පොත නැවත නැවතත් මුද්‍රණය වෙමින් ඔබ අත පත්වෙයි.
නිවන් දැකීමේ එකම මග විදසුනයි. පැවිදි වූ පමණින් විදසුන් වැඩීම පහසු නොවේ. සංකීර්ණ සමාජයක ආගමික අවශ්‍යතා ඉටු කරමින් තම විමුක්තිය සඳහා ද කටයුතු කළ හැකිවීම පිණිස (විනයාලංකාර භික්ෂූන් වහන්සේට) ‘සඳවිමල සෙනසුන’ නමින් අරණ්‍ය පරිසරයක් පොකුණුවිට ගම තුළ ම නිර්මාණය කිරීමට හැකි විය. නාහිමියන්ට උපස්ථාන පිණිස වැඩමවා, උන්වහන්සේ ලියූ දහම් පොත් සහ උන්වහන්සේ දැරූ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට කැපවූ ධම්මානන්ද නාහිමියෝ සසුන බැබලවූ අගනා සඟරුවනකි. උන්වහන්සේ 2011 වසරේ යෙදුණු 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණෙහි තබා පටන්ගත් ‘සඳවිමල සෙනසුන’ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් රේරුකානේ නාහිමියන් ඇරඹූ බුද්ධ ජයන්ති පොත් මාලාවේ ප්‍රතිඵලය එලි දක්වන අවස්ථාවක් සේ ය.
කලින් මුද්‍රණ වාරයේ සකස් කරන ලද මුද්‍රණ මෙවලම් මෙවර මුද්රණයටද ප්‍රයෝජනවත් විය. එහිදී වර්ණ සංයෝජනයෙන් දායක වූ අරුණ තලගල මහතාද, සෝදුපත් සැසඳීමට සහාය වූ මාලනීද සහෘදව සිහිකරමි. මුද්‍රණ කටයුතුවලදී නිබඳව උදව් දෙන ගිහාන් ජයවර්ධන මහතා ප්රමුඛ කාර්යමණ්ඩලයද පැසසුමට ලක්වෙයි. පූජ්‍යපාද කිරිඹරුවේ ධම්මානන්ද නාහිමි, උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය කලුතර පදුම හිමි ඇතුළු සබඳ ස්වාමීන් වහන්සේලාගේ සහායත් නිරතුරු උපකාරී වෙයි. ඔබෙන් ලැබෙන පිටුබලයද විශාල ශක්තියකි. මේ ආර්ථික අවපීඩනයේදී දායකයන් හා පාඨකයන් දෙන සහාය අස්වැසිල්ලකි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය.
2024 ඔක්තෝබර් 01 වන දින
පොකුණුවිටදී ය.
සංඥාපනය
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහී යන කාලයේදී ඒ බව දුටු භික්ෂූන් වහන්සේලා සත් නමක් ඉමහත් සංවේගයට පැමිණ, “බුදු සස්න පවත්නා මේ උතුම් අවස්ථාව ඉක්ම ගියහොත් නැවත අපට සසර දුකින් මිදීමට පිහිටක් කර ගතහැකි කාලයක් කවදා ලැබේ දැයි නො කියහැකි බැවින් ජීවිත පරිත්‍යාගයෙන් වුව ද උත්සාහ කොට අප විසින් දුකින් මිදීමට පිහිටක් කර ගතයුතු ය”යි සලකා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ ස්වර්ණ චෛත්‍යය වැඳ, මහවනයට වැද, නැගිය නො හෙන එක් පර්වතයක් දැක, ජීවිතාශාව ඇත්තෝ නවතිත්වා! දිවි පුදා මහණ දම් පුරනු කැමැත්තෝ මේ පර්වතයට නගිත්වා! යි කියා හිණිමගක් බැඳ ඒ මගින් පර්වතයට නැග හිණිමග පෙරළා දමා, එහි වෙසෙමින් මහණ දම් පුරන්නට පටන් ගත්හ.
මහණ දම් පිරීමය යනු මගපල පිණිස භාවනා කිරීම ය. ඒ පිරිසෙහි සංඝ ස්ථවිරයන් වහන්සේ එක් රාත්‍රියකින් ම සව් කෙලෙසුන් නසා රහත් වූහ. ඊට පසු දින දෙවන තෙරුන් වහන්සේ අනාගාමී වූහ. ඉතිරි පස් දෙනා වහන්සේ කිසි විශේෂයකට නො පැමිණ ඒ පර්වතය මත නිරාහාර භාවයෙන් වියළී, සන්තුට්ඨපන කාලක්‍රියාවෙන් කලුරිය කොට දෙව්ලොව උපන්හ. ඔවුහු දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයෙහි උපදිමින් බුද්ධාන්තරයක් වූ දීර්ඝ කාලය ගෙවා අප බුදුන් වහන්සේගේ කාලයෙහි නැවත මිනිස් ලොව උපන්හ.
පුක්කුසාති රජ එයින් එක් කෙනෙකි. කුමාර කස්සප තෙරුන් වහන්සේ එක් කෙනෙකි. දබ්බ මල්ලපුත්ත තෙරුන් වහන්සේ එක් කෙනෙකි. සභිය පරිව්‍රාජක එක් කෙනෙකි. දාරුචීරිය එක් කෙනෙකි. කසුප් බුදුන් වහන්සේගේ සස්න පිරිහෙනු දැක සංවේගයට පත් ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත දිවි පුදා මහණදම් පිරීමට නැමුණාක් මෙන් වත්මන් බුදු සස්නේ ආයුෂයෙන් අඩක් ගෙවී යන මේ වකවානුවේ සියලු ම බෞද්ධ රටවල බෞද්ධ පින්වතුන්ගේ සිත් පෙරට වඩා දහමට නැමී බරවී ගොස් ඇති බව නොයෙක් කරුණුවලින් පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ජාතියේදී ම හෝ මේ බුදු සස්නෙහිදීම මගපල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් සිල් රකීමට, භාවනා කිරීමට බොහෝ දෙනා විසින් පටන් ගෙන තිබේ. බෞද්ධ රටවල භාවනා පුහුණු කරන ස්ථාන බොහෝ ගණනක් ඇති වී තිබේ. බෞද්ධ ජනයා විසින් නො සලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත්ව තුබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණෙන්නට වී තිබේ. මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලාන්තරයක් යටපත්ව තුබූ භාවනා ක්‍රමයෙකි. අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමෙන් බොහෝ දෙනකුන් බොහෝ ප්‍රතිඵල ලබා ඇති බව කියති.
භාවනා ක්‍රම අතර ද ඉක්මණින් ඵල දැකිය හැකි ඒවා ද, ඵල ලැබීමට බොහෝ කල් ගත වන ඒවා ද, කොතෙක් මහන්සි වුව ද සෑහෙන ඵලයක් නො ලැබියහැකි ඒවා ද ඇත්තේ ය. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය වනාහි මෙලොව මග - ඵල ලැබීමට සුදුසුකම් ඇතියන්ට ඉක්මනින් ඒවා ලැබියහැකි භාවනා ක්රමයකි. සතර මාර්ග සතර ඵල නිර්වාණය යන මේ ලෝකෝත්තර ධර්මයෝ ගිහි - පැවිදි, ගැහැණු - පිරිමි, බාල - මහලු සැම දෙනට ම සාධාරණයහ. අතීතයෙහි සත් හැවිරිදි ළදරියන් පවා සෝවාන් ඵලයට පැමිණි බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේ ය. වර්තමාන ජාතියෙහිදී මග - ඵල ලැබීමට තරම් භාග්‍යයක් සෑම දෙනාට ම නැති බව නම් ඇත්තකි. එබන්දෝ බුද්ධකාලයෙහි ද බොහෝ වූහ. මෙකල වෙසෙන සෑම දෙනා ම වර්තමාන භවයේ මග - ඵල ලැබීමට භාග්‍ය නැත්තාහු නො වෙති. ඒවා ලැබීමට තරම් භාග්‍යය ඇතියවුන් දැනුදු බොහෝ ඇති බවට කිසිදු සැකයක් නැත.
වී ඇටයෙහි පැළවීමේ ශක්තිය ඇත ද, අටුවේ ම තුබුණහොත් කිසි කලෙක එය පැළ නො වන්නේ ය. එමෙන් මේ ජාතියේදී ම මග - ඵල ලැබීමට භාග්‍යය ඇති තැනැත්තාට ද ලැබීම සඳහා ක්‍රියා නො කළහොත් ඒවා නො ලැබෙන්නේ ය. මේ ජාතියේදී ම මග - ඵල ලැබීමේ භාග්‍යය ඇද්ද, නැද්ද යන බව තේරුම් ගැනීමට කිසි ලකුණක් නැත්තේ ය. භාග්‍යය සැඟ වී ඇති දෙයකි. ඒ නිසා මේ ජාතියේදී ම මේ බුදු සස්නේදී ම මග - ඵල ලැබීමට, නිවන් දැකීමට තරම් භාග්‍යයක් අපට නැත ය කියා කිසිවකු විසින් මන්දෝත්සාහී නො වියයුතු ය. භාග්‍යය ඇති නැති බව දතහැකි වන්නේ ද උත්සාහ කර බැලීමෙනි. නො මග නො ගොස් ඒකාන්තයෙන් මෙලොව ම ඵල දැකියහැකි වන යහපත් විදර්ශනා භාවනා ක්‍රමයක් අනුව කලක් උත්සාහ කළහොත් භාග්‍යය ඇති තැනැත්තා යටත් පිරිසෙයින් සෝවාන් ඵලයටවත් පැමිණෙන්නේ ය. මේ ජාතියේදී ම එයට පැමිණීමට භාග්‍යය නැත්තා වූ පින්වතුන්ට කසුප් බුදුන් සමයෙහි කඳු නැග භාවනා කොට ද ඒ ජාතියේදී සෝවාන් ඵලවලටවත් පැමිණිය නුහුණු භික්ෂූන් වහන්සේලා පස් නමට ඒ කළ උත්සාහය අප බුදු සස්නෙහි ඉතා ඉක්මනින් රහත් විය හැකිවීමට පාරමිතාව වූවාක් මෙන් මතු බුදු සස්නකදී මග පල ලැබීමේ පාරමිතාව වන්නේ ය.
ස්වසන්තානයෙහි කාමච්ඡන්දාදි නීවරණයන්ට ඇති වන්නට ඉඩ තබා සමහර දවසක පමණක් භාවනා කරන්නා වූ තැනැත්තන්ට හා දිනපතා ම වුව ද දවසෙන් සුළු කාලයක පමණක් භාවනාවෙහි යෙදෙන්නවුන්ට කෙටි කාලයකින් මග - පල නො ලැබියහැකි ය. එසේ කරන්නවුන්ට සිය වසකිනුදු මග - ඵල නො ලැබියහැකි ය. ස්වසන්තානයෙහි නීවරණයන් ඇතිවීමට අවකාශයක් නො තබා නීවරණයන්ට සම්පූර්ණයෙන් ම ඉඩක් නොදී, නිදන කාලය හැර දවස මුළුල්ලේ ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන පින්වතාට මග - ඵල ලැබීමට වැඩි කලක් ගත නො වේ. එබැවින් සැරියුත් මහතෙරුන් වහන්සේ “මේ සස්නෙහි කෙතෙක් කල් ධර්මයට අනුව පිළිපදින තැනැත්තේ රහත් වේ දැ”යි විචාළ ජම්බුඛාදක පරිබ්‍රාජකයාහට “න චිරං ආවුසො” “ඇවැත්නි, වැඩි කලක් නොවේය”යි වදාළ සේක.
මේ පොතෙහි දක්වා ඇත්තේ සතර සතිපට්ඨානය ම එකවර භාවනා කිරීමේ ක්‍රමය ය. මෙය අනිකුත් භාවනාවන් මෙන් නොව, සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම - බීම, මලමූත්‍ර පහ කිරීම්, අත්-පා දෙවීම්, වතුර නෑම, කථා කිරීම්, දීම්, ගැනීම්, හැඳීම්, පෙරවීම් ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූ ද, චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූ ද, අරමුණු ගැනීම හා සම්බන්ධය ඇත්තා වූ ද, කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූ ද, සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූ ද, ශ්‍රද්ධාදි ගුණ ධර්ම සම්බන්ධ වූ ද, යහපත් වූත් අයහපත් වූත් කල්පනා සම්බන්ධ වූ ද භාවනාවෙකි. හොඳින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියයන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ.
මේ සතිපට්ඨාන භාවනාව මැනවින් කරන යෝගාවචරයාහට නිදන කාලය හැර අන් සිස් කාලයක් නැත. එබැවින් ඔහුගේ සන්තානයෙහි කාමච්ඡන්දාදි නීවරණයන්හට නැගී එන්නට අවස්ථාවක් නො ලැබෙන්නේ ය. එයින් නො පිරිහෙන්නේ ය. ඒ යෝගාවචරයාහට අද කරන භාවනාවෙන් ඇතිවන සිහියේ දියුණුව, සමාධියේ දියුණුව, ප්‍රඥාවේ දියුණුව, හෙට කරන භාවනාවෙන් ඇති වන සිහියේ දියුණුව හා සමාධියේ දියුණුව හා ප්‍රඥාවේ දියුණුව හා සම්බන්ධ වන්නේ ය. එබැවින් ඇතැම් යෝගාවචරයෝ සතියක් දෙකක් භාවනාවෙහි යෙදීමෙන් ද මග ඵල ලබති. වැඩි කලක් භාවනා කරන්නා ගැන කියනුම කිම?
බොහෝ යෝගාවචරයෝ වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතිපට්ඨාන තුන ගැන සැලකිල්ලක් නො දක්වා කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව පමණක් කරති. එසේ කරන්නා වූ තැනැත්තාට ද එයින් වන නපුරක් නැත ද, සතර සතිපට්ඨානය භාවනා කරන යෝගාවචරයන්ට සේ ඉක්මනින් මග - ඵල ලැබියහැකි නො වේ. “යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො, යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී” යනාදීන් තථාගතයන් වහන්සේ විසින් නොයෙක් සූත්‍රවල සතර සතිපට්ඨානය ම වැඩීම වදාරා තිබෙනු දක්නා ලැබේ. පෙර යෝගාවචරයන් එසේ කළ බවත් නොයෙක් සූත්‍රවලින් පෙනේ.
දිනක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ දැක, කියන සේක් “ඇවැත්නි අනුරුද්ධය, ඔබගේ ඉන්ද්රියයෝ ප්‍රසන්නයහ. මුහුණේ පැහැය පිරිසිදු ය, බබලන්නේ ය. ඔබ මේ කාලයේදී කිනම් විහාරයකින් බොහෝ කොට වාසය කරන්නහු දැ”යි කීහ. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ “චතුසු ඛ්වාහං ආවුසො සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො එතරහි බහුලං විහරාමි” යනුවෙන් “මම මේ කාලයෙහි සතර සතිපට්ඨානයෙහි පිහිටි සිත් ඇතිව බොහෝ සෙයින් වෙසෙමි”යි