ශාසනාවතරණය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2023
- මුද්‍රිත වර්ෂය :
- 2023
- පිටු ගණන :
- 370
- බාගත කිරීම් ගණන :
- 180
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 15 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශාසනාවතරණය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, සාමණේරයන් වහන්සේලා ඇතුළු සියලු පැවිද්දන් විසින් දැනගත යුතු විනය ශික්ෂාපද, චාරිත්‍ර වාරිත්‍ර සහ බෞද්ධ ප්‍රතිපත්ති මැනවින් විස්තර කෙරෙන අගනා විනය ග්රන්ථයකි.
සාමණේර ප්‍රව්‍රජ්‍යාව ලබා සිටින භික්ෂූන්ට තම ශීලය හා ප්‍රතිපදාව පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම සඳහාත්, එකල පැවති එවැනි ග්‍රන්ථයක අඩුව පිරිමැසීම සඳහාත් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහි ප්රව්රජ්යාවේ වටිනාකම, සාමණේර දස ශීලය, සිව්පස පරිභෝගය, දස පරිජි, ආර්යවංශ ධර්ම, ධුතාංග සහ පැවිද්දන් විසින් නිතර භාවිත කළ යුතු සූත්‍ර ධර්ම ආදී බොහෝ කරුණු අන්තර්ගත වේ.
මෙම විසිවන මුද්‍රණය 2023 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.
ලේකම්ගේ සටහන්
සමිත හිත වෙනත් දහසක් දේවලට වඩා අගනේ ය. හිත සමනය කරන එක වදනක් පවා හිත සලිත කරන වදන් දහසකට වඩා අගනා බව ධර්මයේ සඳහන් වෙයි. භික්ෂූන් වහන්සේගේ හිත සමනය කරන - හිත දමනය කරන මග පහසු කරනු වස් බුදුන් වහන්සේ පනවා වදාළ නීති පද්ධතිය විනය පිටකය නමින් දක්නා ලැබේ.
අප සමාජයේ සමහර කොටස් නීතියට ගරු නොකරන බව, නීතිය මගහැර යාමට උත්සාහ කරන බව පෙනෙන්නට ඇති කරුණකි. නීතිය ඉක්මවා යාම වීර ක්‍රියාවක් සේ සලකා කථා කරන අවස්ථා ද, එය ක්‍රියාවෙන් පෙන්වන ප්‍රභූ පෙළ ද ඇදී ආ දීර්ඝ වකවානුවේ පෙනෙන්නට තිබුණකි.
සමහර භික්ෂූන් වහන්සේ ගෙන්ද මේ ලක්ෂණය පෙන්නුම් කිරීම කණගාටුවකි. තමන්ගේ තේරුම් ගැනීම, තමන්ගේ අවබෝධය මත හිත වැළඳ ගන්නා බුද්ධාගම ඉදිරියට ගෙන යන භික්ෂූන් වහන්සේ එය රකිනා ආකාරය ගැන සොයන්නට ද කෙනෙකු නැත. සංඝ සංස්ථාවේ විවිධ මට්ටම් වල තනතුරු නම් කර තිබුණ ද ඒවා ගරු සම්මාන බවට පමණක් පත්වීම තුළ එහි ගෞරවයක් ද නැත.
වැඩිහිටි භික්ෂූන් වහන්සේ නවකයන් හැඩ ගැස්වීම පිරිවෙන් අධ්‍යාපනයට භාර කර තිබීමත්, එසේ තමන් ගේ ආවාසයීත්වය හැල්ලුවට පත්කර ගෙන තිබීමත් නිසා නවක භික්ෂූන් වහන්සේ ලැබිය යුතු මූලික ශික්ෂණය පවා නො ලබති. අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙස බලා ගෙන පිහිටුවා ඇති පිරිවෙන්, කෝට්ටේ යුගයේ මෙන් භික්ෂු විනය ඇති කරන ආයතන නොව ඉන් බැහැර විෂය ධාරාවක් කරා ගමන් කරන බව, එය ඉගෙන ගත් භික්ෂූන් වහන්සේ උපැවිදි වන්නේ නම් ගිහි සමාජයට නම්යවන පරිදි සකස් කරන බව පෙනෙන්නට ඇති සෙයකි.
මේ සියල්ල සිදුවන්නේ සමාජ අවශ්‍යතාවක් වශයෙනි. එහෙත් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ සමාජය අනුව භික්ෂු සමාජය සකස්වීම නොව ලෞකික සමාජය කුමන මට්ටමක පැවතියත් ඉන් ඉවත්ව යන පරිදි සිත සකස් කිරීමේ මාර්ගයයි, හෙවත් සංඝ රත්නය ආර්‍ය්‍ය මාර්ගයෙහි ගමන් කිරීමයි. ඒ සඳහා විශේෂයෙන් සංඝ රත්නය අනුගමනය කළ යුතු අපහසු ක්‍රියා මාර්ගය විනයෙහි දැක්වේ. ගිහියන් උන්වහන්සේලාට සැලකිය යුත්තේ, පිදිය යුත්තේ ඒ අපහසු ක්‍රියාමාර්ගය සම්පූර්ණ කිරීමට සිවුපසයෙන් උදව් කරනු පිණිස ය.
මේ තත්ත්වය ටිකකින් හෝ තේරුම් ගැනීමට විනය පිටකයේ නවක භික්ෂූන් වහන්සේලා දැන ගත යුතු සියලු කරුණු එක්රැස් කර ඇති ශාසනාවතරණය ගිහි පැවිදි සියල්ලන්ගේ නෙත ගැටේවා.
පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් සහ කුකුල්පනේ සුදස්සී හිමිපාණන් සමග සැසඳූ සෝදුපත් සටහන් සහ පරලෝසැපත් හර්බට් පතිරණ මහතා සැකසූ අනුක්‍රමණිකාව උසස් ලෙස මෙම මුද්‍රණය නිමකිරීමට උපකාරී විය. මෙවර සෝදුපත් සැසඳීමේදී මාලිනීගෙන් ලද සහාය ද සටහන් කළයුතුය. ත්‍රිපිටකයෙන් හා පරිවාර ග්රන්ථයන්ගෙන් උපුටාගෙන පොත තුළ උද්ධෘතකර ඇති පාඨ සඳහා පාදකසටහන් සකස් කිරීමට වෙහෙසී කටයුතු කළ සඳවිමල සෙනසුන්හි පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ ද වෙසෙසින් සිහිකටයුතුය. පූජ්‍ය කළුතර පදුම හිමියන් ප්රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම මේ කටයුතු ක්‍රමවත්ව පැවැත්වීමට උපකාරයකි. පරිගණක වර්ණ සංයෝජනය සමග පොතෙහි කරුණු ක්‍රමවත්ව ගලපා නැවත සකස්කිරීමට උදව් කළ අරුණ තලගල මහතාගේ වෑයම පොත පරිශීලනයට පහසුවකි. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය මුද්‍රණ කඩදාසි මිල තුළ වුව ද හැකිතාක් මිල අඩුකරන්නට සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් අනුරංග ජයවර්ධන මහතාගේ ශ්රද්ධාවත් කැපවීම හේතුවක් විය. මේ පොත් පෙළ නැවත මුද්‍රණය සඳහා දිරිදෙන අනුග්‍රාහක භවතුන් දහමෙත්, සසුනෙත් පැවැත්මට රුකුල්දීමෙන් කරනා අමිල සේවය කෙසේ නම් අගයම් ද?
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2023 මැයි 06 වන දින, පොකුණුවිටදී ය.
ප්‍රස්තාවනා
සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත් නැණවත් කුලපුත්‍රයනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුණ්‍යක්ෂේත්‍රයක් වශයෙන් ද මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුලපුත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාව ය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකියයුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව, නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ ද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරියයුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්රන්ථයක් නැති පාඩුව දුටුවා වූ ද, ශාසනෝදයකාරී මහාස්ථවිරයන් වහන්සේලා කීප නමක් ම සාමණේර ප්‍රතිපදාව විස්තර කරන ධර්ම ග්රන්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කළහ. බුදු සසුනට එවැනි ධර්මග්‍රන්ථයක් නැති පාඩුව අපට ද පෙණුනු බැවින් ඒ ආරාධනාවත් සලකා ශාසනාවතරණය නමැති මේ ධර්ම ග්‍රන්ථය අප විසින් සම්පාදනය කරන ලදී. සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් හා නවක- මධ්‍යම- ස්ථවිර සකල භික්ෂූන් විසින් හා සාමණේරයන් විසින් දැනගත යුතු වූ, සිතට කාවද්දා ගතයුතු වූ, තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇත්තා වූ, බොහෝ ධර්ම ද මේ ග්රන්ථයට ඇතුළු කොට ඇත. එබැවින් මෙය සියලු ම පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම ග්රන්ථයෙකි.
පැවිද්ද වනාහි ශාසනයට බැසගත් තැනැත්තාගේ සිත කය යන දෙකට ම තිබියයුත්තකි. හිසකේ දැලි රැවුල් ඉවත් කොට, ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට, සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල්, ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත