විනය කර්ම.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
277
බාගත කිරීම් ගණන :
135
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 139

විනය කර්ම පොත යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත, භික්ෂු විනයෙහි දැක්වෙන විවිධ විනය කර්ම පිළිබඳ විස්තරාත්මක මාර්ගෝපදේශ ග්‍රන්ථයකි. බුද්ධ ජයන්ති මහෝත්සවය නිමිති කරගෙන වර්ෂ 1955 දී මෙහි ප්‍රථම මුද්‍රණය ප්‍රකාශයට පත් විය.

විනය පිටකයෙහි විවිධ තැන්වල විසිරී පවතින විනය කර්ම හා කර්මවාක්‍යයන් එක්තැන් කොට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි සකසා ඇති මෙම කෘතියෙහි පැවිදි කිරීම, උපසම්පදා විධි, පාරිශුද්ධි උපෝසථය, සීමා බන්ධනය, ආපත්ති වුට්ඨානය, පබ්බාජනීයාදී ගරුක විනය කර්ම මෙන්ම ගිහියන් විෂයෙහි සිදු කරන පත්තනික්කුජ්ජන කර්මය ආදී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු විනය කර්ම විධි හා ඒවාට අදාළ කර්මවාක්‍යයන් අක්ෂර වරදින් තොරව සවිස්තරව දක්වා ඇත. විශේෂයෙන් කර්මවාක්‍ය ප්‍රකාශ කිරීමේදී සිදුවිය හැකි දෝෂ වළක්වා ගැනීම සඳහා ඒවා පැහැදිලි විශාල අකුරින් දක්වා තිබීම මෙහි විශේෂත්වයකි.

මෙම 16 වන මුද්‍රණය 2025 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, මුද්‍රණය පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය විසින් සිදු කර ඇත.

ලේකම්ගේ සටහන්....

ශාසනයේ පැවැත්මට හේතු වන විනය පිටකය හා විශේෂයෙන් භික්‍ෂුත්වය හා භික්‍ෂු සමගිය ගොඩනගන්නා වූ එහි ඇතුළත් ‘විනය කර්‍ම’ පිළිබඳව ඇති නොදැනුමට හේතු දක්වන පූජ්‍යපාද රේරුකානේ නාහිමියෝ මෙහි ප්‍රස්තාවනාවෙන් වැදගත් කරුණු කීපයක් අපේ අවධානයට ලක් කරති.

සමාජයීය හේතු නිසා භික්‍ෂු පරමාර්ථවලින් සංඝයා වහන්සේ ඈත්වීමත්, ‘විනය කර්‍ම ඒකාධිකාර’ පිහිටුවීමත් මේ අතර වැදගත් වෙයි. සමකාලීන පඬි රුවනක් වූ පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ ද තම ‘සඟබණ’ සමන්තේසනාවෙන් මේ පණිවුඩය ගම්‍ය කළහ.

භික්‍ෂුත්වය ආරක්‍ෂා කර ගනිමින් සංකීර්‍ණ සමාජයක කටයුතු කිරීම හා ගිහි-පැවිදි වෙනස ගැන තේරුම් ඇතිව ගිහි-පැවිදි සම්බන්ධය වර්ධනය කිරීම අද මහා සංඝ රත්නයෙන් ඉටුවිය යුතු අගනා කාර්‍ය භාරයකි. ගිහියන් විනය දැනුමින් පිරිහී සිටින නිසා නොබියව ප්‍රතිපදාව බිඳින හෝ විනය ප්‍රඥප්තිය, තමන්ම නොදැනීම නිසා එය බිඳින හෝ භික්‍ෂූන් වහන්සේ, අනිකුත් සමයයන් අතර බුදුසමය සිටිනා උත්තරීතර තත්ත්වය හුවා දක්වන්නට අසමත් වෙති. වෙනත් ආගමිකයන් තම අනුගාමිකයන් රඳවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලාමක පිළිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පහත වැටෙනවාට වඩා බෞද්ධ භික්‍ෂූන් වහන්සේට තම දායකයන් ඇද-බැඳ තබාගන්නා, ශ්‍රද්ධාව මුවහත් කිරීමේ මග විනය ප්‍රඥප්තිය නොපිරිහෙලා ක්‍රියාත්මක කිරීම බව බොහෝ දෙනා වහන්සේට නොවැටහීම අභාග්‍යයකි. බෞද්ධකම ගැන දැනුමක්, අභිමානයක් දායකයන් තුළ රඳවන්නට අසමත් උන්වහන්සේලා වෙනත් සමයයන් පිළිගන්නට තම දායකයන්ට මං පාදති.

මහා සංඝරත්නය රැකීම පිණිස යුතුකමක් වශයෙන් ගිහියා පුදන පාරිෂ්කාරයන්හි ආගමික අගය ඉතිහාසය විසින් වෙනස් කර ඇති බවත්, ආනිසංසයන් පැරණි අගයෙන් දැක්විය නොහැකි බවත් බෞද්ධයන්ගේ විචාරයට ලක්ව ඇති බව පෙනේ. විද්‍යාව හා තාක්‍ෂණය පෙරමුණ ගත් නව අධ්‍යාපන රටාවෙන් ආගම ගැන ඉහළ තක්සේරුවෙන් සිතන තරුණ පිරිස අඩු කරයි. ඔවුන් ආස්වාදය ලබන්නේ බෞද්ධ දර්ශනයේ පහස ලැබීමෙනි. මේ නිසා නිතැතින් ගිහි මානසිකත්වය ආකර්‍ෂණය කර ගන්නා බුද්ධාඥාව රැකීම සඳහා භික්‍ෂු අධ්‍යාපනයේ විශේෂ තැනක් හිමිවිය යුතු බව වගකිය යුතු ගිහි-පැවිදි දෙපිරිසෙහි අවධානයට යොමු විය යුතුව ඇත.

එක්විසි අනේසන නිසා කුලදූෂණය වන බවත්, තමන් ඇසුරු කරන භික්‍ෂූන් වහන්සේ නිසා දායකයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තහවුරු වන අයුරුත් බුදුරජාණන් වහන්සේ නොයෙක් තන්හි දේශනා කර ඇත. එනිසා චිරාත් කාලයක් බුදු සසුන රැකීමෙන් ලෝකයාට සැලසෙන යහපත පවත්වා ගැනීම පිණිස වත්මන මහා සංඝරත්නය විනය පිටකය ගැන අවධානය යොමු කරත්වා. ශාසන සංරක්‍ෂණය වෙනුවෙන් මහා සංඝරත්නයෙන් ඉටුවිය යුතු ප්‍රධානතම වගකීම ද එයයි.

කලින් මුද්‍රණයන්හි තිබූ අඩුපාඩු හා මුද්‍රණ දෝෂ සටහන් කර දුරකථනය මගින් පෙන්වා දෙමින් ඇහැටුවැව ධම්මරාජගල අරණ්‍ය සේනාසනයේ පූජ්‍යපාද නාවල ධම්මානන්ද නාහිමිපාණන් කළ උපකාරය මා ලද භාග්‍යයකි. කරුණු තහවුරු කිරීමේදී නාහිමියන් උපුටා ගත් පෙළෙහි හා අටුවාවෙහි උද්ධෘතපාඨයන්හි මූලය පෙන්වා දෙන්නට, පොකුණුවිට සඳවිමල සෙනසුන්වාසී පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද හිමිපාණන්ගේ නිරීක්‍ෂණයෙන් හැකි වූ බව ස්තූති පූර්‍වකව සටහන් කරමු. විනය පොත් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් අධීක්‍ෂණය කළ පූජ්‍යපාද කිරිබත්ගොඩ ධම්මානන්ද නාහිමිපාණන්ට හා පූජ්‍ය කළුතර පදුම හිමියන් ප්‍රමුඛ විහාරස්ථ හිමිපාණන් වහන්සේලාගේ සහායට කෘතඥවෙමි. මෙහි පරිගණක වර්‍ණ සංයෝජනය අරුණ තලගල මහතාගේ නිපුණත්වය, දැනුම හා කැපවීම පෙන්නුම් කරයි. රයිගම ඒ. ඩී. තිළිණි කුමාරි ජයවර්ධන මහත්මිය, ඇගේ සොයුරු කසුන් ජයවර්ධන මහතා ආරම්භ කළ මේ පොත් පෙළෙහි වර්‍ණ සංයෝජනයට අදාළ වියදම් දැරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයමින් ඉතිරිව තිබූ සියලු පොත්වල වැයබර දරමින් මේ පොතට ද උපකාර කළාය. මෙම මුද්‍රණය සිකුරු පොත් ප්‍රකාශක, ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයේ දායකත්වයෙන් මනා ලෙස නිම විය. අප අරමුදල පවත්වාන්නට උරදෙන සියලු සැදැහැවත්හු මේ පොතෙහි නොකඩවා පැවැත්මටද උපකාර වූහ. සියල්ලනට බුදු සසුනේ පැවැත්මට සම්බන්ධ වූහයි ලැබෙන සතුටු සිතින් විදර්ශනාව සඳහා යොමුවීමට අවස්ථාව උදාවේවා.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්‍මපුස්තක
සංරක්‍ෂණ මණ්ඩලය.
2025 ජූනි 10 වන දින,
පොකුණුවිට ය.

ප්‍රස්තාවනා

“විනයො නාම සාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති”1 යන සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥා දේශනාව වූ විනය පිටකය, සර්වඥශාසනයේ ජීවය වන බැවින් ද, විනය පවත්නා තෙක් ම බුදුසස්න පවත්නා බැවින් ද සකල ශාසනමාමක භික්ෂූන් විසින් ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළයුතු ය. සීමා බන්ධන, උපසම්පදාදි විනය පිටකයෙහි එන කර්‍ම, විනය කර්‍ම නම් වේ. කුලපුත්‍රයන් උපසම්පදා කොට බුදුසස්නට ඇතුළුකිරීම හා එසේ බුදුසස්නට ඇතුළු වූ කුලපුත්‍රයන්ගේ ශීලය නැවත නැවත සංස්කරණයත් විනය කර්ම මාර්ගයෙන් ම සිදු කළයුතු බැවින් විනය කර්‍මය ද බුදුසස්නෙහි උසස් තැනක් ගන්නකි.

විනය කර්‍ම කරන කල්හි විනයාගත ක්‍රම නො ඉක්මවා ඉතා පිරිසිදු ලෙස ම එය කළයුතු ය. වරදවා කරන විනය කර්‍මය කෙළේ ද නො කෙළේ වේ. නො දැන වුවද විනය කර්‍ම වරදවා කිරීම ඉතා නපුරෙකි. එයින් බුදුසස්න නැසෙන්නේ ය. වරදවා සීමා බන්ධනයක් කළහොත් ගල්කණු සිටුවා ඇත ද එය සීමාවක් නො වේ. එහි කරන විනය කර්‍ම එකකුදු හරියන්නේ නො වේ. එහි උපසම්පදාවක් කෙළේ ද, ඒ උපසම්පදා කරනු ලැබුවෝ උපසම්පන්නයෝ නො වෙති. මතු කාලයේදී ඒ අසීමාවල උපසම්පදා කරනු ලැබූවන් විසින් කරන පැවිදි උපසම්පදා එකකුදු හරිනොයන්නේ ය. සීමාව හොඳ වුව ද උපසම්පදා කර්‍මය වරදවා කරන ලද්දේ නම්, ඔවුහු ද අනුපසම්පන්නයෝ ම වෙති. මතු කාලයේදී ඔවුන් විසින් පැවිදි කරන ගෝලයෝ ද නො පැවිද්දෝ, අනුපසම්පන්නයෝ ම වෙති. වරදවා විනය කර්‍ම කිරීමෙන් වන හානියේ බරපතළ බව මේ කරුණුවලින් තේරුම් ගතයුතු ය.

විනය කර්‍ම ගැන මනා දැනුමක් ඇතිවීමට සම්පූර්‍ණ විනය පිටකය ම මැනවින් උගතයුතු ය. නො එසේ නම්, විනය කර්‍ම හෝ වෙන් වශයෙන් උගතයුතු ය. මැනවින් විනය කර්‍ම කළහැකි වීමට පොත් පරිශීලනයමත් ප්‍රමාණ නො වේ. ඒ සඳහා විනය කර්‍ම කළ පුරුද්ද ද තිබියයුතු ය. අතීතයෙහි විසූ බොහෝ භික්‍ෂූහු විනය කර්‍ම ගැන දැනීම හා කළ පුරුද්ද ඇත්තෝ වූහ. මෙකල භික්‍ෂූන් අතර විනය කර්‍ම ගැන මනා දැනුම හා කළ පුරුද්ද ඇති භික්‍ෂූන් බහුල නැති බව කියයුතු ය. එයට හේතු කීපයකි.

අතීත භික්‍ෂුවට ධර්‍ම විනය පරිශීලනයට තමාගේ මුළු කාලය ම යෙදවියහැකිව තිබිණි. වර්‍තමාන භික්‍ෂුවට ලෝකයෙහි තත්ත්වයක් ඇතිව වාසය කිරීමට ධර්‍ම විනය හැර තවත් බොහෝ දේ ඉගෙනගන්නට සිදුවී තිබේ. එබැවින් වර්‍තමාන භික්‍ෂුවට තමාගේ උගෙනීමේ කාලයෙන් වැඩිහරියක් ධර්‍ම විනයෙන් පිට දේ උගෙනීම සඳහා යොදවන්නට සිදුවී තිබේ. එය ද මෙකල භික්‍ෂූන්ට ධර්‍මඥානය හා විනයඥානය මඳවීමේ එක් හේතුවකි. පිරිවෙණක උගෙනීම අවසන් කොට සිය අරමට පැමිණියා වූ භික්‍ෂුවට ද පන්සලේ කටයුතුවලට හා දායකයන්ගේ කටයුතුවලට, සංඝයාගේ කටයුතුවලට, තමාගේ අඩුපාඩුකම් පිරිමසා ගැනීමේ වැඩවලට මුළු කාලය ම යොදවන්නට සිදුවේ. එද මෙකල භික්‍ෂුවගේ ධර්‍ම විනය ඥානය මඳවීමේ එක් හේතුවකි.

ලාංකික භික්‍ෂූන්ට විනයකර්‍ම නුපුරුදු වීමට ඇති තවත් හේතුවක් නම්, ඒ ඒ නිකායවල උපසම්පදා කර්‍මය එක් එක් පිරිසක් විසින් අයිති කරගෙන තිබීම ය. උපසම්පදා කර්‍මය තථාගතයන් වහන්සේ විසින් එක් පිරිසකට පමණක් හිමිකර ඇතියක් නො වේ. එය උපසම්පදාව ඇති සකල භික්‍ෂූන්ට ම හිමි ය. මධ්‍ය දේශයෙන් පිටත ඕනෑ ම ප්‍රදේශයක පිහිටි සීමාවකදී උපසම්පදාව ඇති භික්‍ෂූන් පස් නමක් එක්ව උපසම්පදා කර්‍මය කළහැකි ය.

බුද්ධකාලයෙහි ඒ ඒ පෙදෙස්වල විසූ උපසම්පදාපේක්‍ෂකයන් උපසම්පදා කර තිබෙන්නේ ඒ ඒ පෙදෙස්වල විසූ භික්‍ෂූන් විසින් ම ය. බුරුමයේ දැනුදු ඒ ඒ පෙදෙස්වල උපසම්පදා කර්‍මය කරන්නේ ඒ ඒ පෙදෙස්වල භික්‍ෂූන් විසින් ම ය. උපසම්පදා කර්‍මයට නියමිත විශේෂ පිරිසක් හා විශේෂ තැන් එහි නැත. සෑම තැන ම කෙරෙන උපසම්පදා කර්‍ම වෙනසක් නැතිව එහි පිළිගනු ලැබේ. රටේ සියලු පෙදෙස්වල ම උපසම්පදා කර්‍මය එහි කෙරෙන බැවින් ඒවාට සහභාගිවන්නට ලැබීමෙන් සියලු ම භික්‍ෂූන්ට විනය කර්‍ම කිරීමේ පුරුද්ද ඇතිවේ. ලංකාවේ ද ඒ සිරිත පවතිතහොත් බොහෝ භික්‍ෂූන්ට විනය කර්‍ම පිළිබඳ අභ්‍යාසයක් නිරායාසයෙන් ම ලැබෙන්නේ ය.

එක් පිරිසකට ම උපසම්පදා කර්‍මය හිමි වී තිබීමේ ගුණාගුණ දෙක ම කියහැකි ය. කොතෙක් ගුණ එහි ඇතත් ඉතා ම නපුරු ආදීනවයක් ද එහි ඇත්තේ ය. එනම්: උපසම්පදාව හිමි කරගෙන සිටින පිරිස යම්කිසි ක්‍රමයකින් අශුද්ධ පිරිසක් වී නම් මුළු නිකායට ම, ඒ නිකායේ සංඝ පරම්පරාවට ම උපසම්පදාව නැතිවී යාම ය. උපසම්පදාපේක්‍ෂකයකුට උපසම්පදාව ලබාගැනීමට ඇති ඉතා ම හොඳ ක්‍රමය නම්, තමා හොඳින් දන්නා හඳුනන, නිර්‍මල උපසම්පදාව ඇතියන් සැටියට සැකයක් නැතිව තමාට පිළිගතහැකි පිරිසකගෙන් උපසම්පදාව ලබාගැනීම ය. එසේ උපසම්පදාව ලබාගත් භික්‍ෂුවට තමාගේ උපසම්පදාව පිළිබඳ සැකයක් ඇති නො වේ. ඒ නිසැකි බව ආදරයෙන් ශීලය රකීමටත් කරුණක් වේ. තොරතුරු නො දන්නා, නාඳුනන පිරිසකගෙන් උපසම්පදාව ලබාගත් තැනැත්තාට තමාගේ උපසම්පදාව පිළිබඳව ස්ථිර විශ්වාසයක් ඇති නො වේ. නොයෙක් විට උපසම්පදාව ගැන කුකුස් ඇතිවේ. එය හොඳින් මහණදම් පුරනු කැමති කුලපුත්‍රයකුට මහත් බාධාවෙකි. අධෛර්‍ය්‍යයට කරුණකි.

උපසම්පදා කර්‍මය එක් පිරිසකට පමණක් හිමි වී තිබීමේ තවත් ආදීනවයක් නම්, උපසම්පදාපේක්‍ෂකයන්ට හා ඔවුන්ගේ ගුරුවරුන්ට බොහෝ මුදල් සපයන්නට සිදුවීම ය. අද පවත්නා තත්ත්වයේ සැටියට නම්, මුදල් වැය නො කොට උපසම්පදාව නො ලැබියහැකි ය. පැවිද්දන්ට මුදල් පරිහරණය තහනම් කොට සිකපද පැනවූ තථාගතයන් වහන්සේ මුදල් වැය නො කොට නො ලැබියහැකි උපසම්පදාවක් නො පනවන සේක. උන්වහන්සේ විසින් උපසම්පදාව පනවා ඇත්තේ පාසිවුරු ඇති කවර දුප්පත් උපසම්පදාපේක්‍ෂකයකුට වුව ද ශතයකුදු වැය නො කොට උපසම්පදාව ලැබියහැකි පරිද්දෙනි.

අද උපසම්පදාව පිළිබඳව පවත්නේ ඊට ඉඳුරා ම වෙනස් ක්‍රමයකි. උපසම්පදාව මුදල් වැයකොට ලැබියයුත්තක් වී ඇති බැවින් ගිහියන් මගුල් ලියුම් නෑ-මිතුරන්ට යවන්නාක් මෙන් උපසම්පදා කර්‍මයට මුදල් ලබනු පිණිස නෑ-මිතුරන්ට, දායකයන්ට ලියුම් යැවීම අද රටේ සිරිතක් වී තිබේ. උපසම්පදා කාලවලදී සමහරුන්ට ඒ ගැන එවන ලියුම් එකක් දෙකක් නොව බොහෝ ගණනක් ද ලැබේ. එය රටට කරදරයකි. බොහෝ දෙනාගේ අප්‍රසාදයට ද කරුණකි. එක් එක් නිකායක එක් එක් පිරිසක් විසින් ම උපසම්පදා කර්‍මය කරන කල්හි එහි යම්කිසි වරදක් ගෙන මුළු නිකායට ම උපසම්පදාව නැත ය කියා තවත් කෙනකු විසින් චෝදනා කරන්නට ඉඩ ඇති බැවින් එක් එක් පිරිසකට ම උපසම්පදා කර්‍මය හිමිකරගෙන තිබීම නිකාය භේදය උග්‍රවීමට ද හේතුවකි. කරුණු මෙසේ හෙයින් එක් එක් පිරිසකට ම උපසම්පදා කර්‍මය හිමි වී තිබීමේ සුදුසු නුසුදුසු බව ගැන මහා සංඝයා වහන්සේ කල්පනා කරන සේක්වා!

විනය කර්‍ම පිළිබඳ දතයුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්ඡේදයක ම සඳහන් නො වන බැවින් විනය පොත් කියවා විනයකර්‍ම ගැන දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්‍ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්‍ම ගැන සඳහන් වන තැන් පවා සොයාගැනීම අපහසු ය. එබැවින් විනය කර්‍ම ගැන පළපුරුදුකම් මඳ වූ ද, විනය පොත් භාවිතය මඳ වූ ද භික්‍ෂූන්ට ඒ ඒ විනය කර්‍ම කරන සැටි පහසුවෙන් දතහැකි වනු පිණිස, සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනය කර්‍ම පොත නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

මෙහි පැවිදිකිරීම හා උපසම්පදාකර්‍මය ද, උපසම්පන්න භික්‍ෂූන්ගේ ශීලපාරිශුද්ධිය සඳහා කරන්නට සිදුවන විනය කර්‍ම බොහෝ ගණනක් ද, වරද කරන භික්‍ෂූන්ට දඬුවම් පිණිස කරන පබ්බාජනීය කර්‍මාදි කර්‍ම බොහෝ ගණනක් ද, ගිහියන්ට දඬුවම් පිණිස කරන පත්තනික්කුජ්ජන කර්‍මය ද, සංඝයාගේ හා පුද්ගලයන්ගේ පහසුව පිණිස කරන විනය කර්‍ම බොහෝ ගණනක් ද, දුෂ්කර විනය කර්‍මයක් වූ සීමා බන්ධන කර්‍මය ද පහසුවෙන් තේරුම් ගතහැකි පරිදි දක්වා ඇත. විනයෙහි අවියත් භික්‍ෂු පිරිසකට වුව ද මේ පොතේ ආධාරයෙන් නිවැරදි ලෙස උපසම්පදා කර්‍මයක් සිදුකළහැකි වනු ඇත. දැනට භික්‍ෂූන් අතර කෙරෙන, භික්‍ෂූන්ට යම් යම් අවස්ථාවලදී කරන්නට සිදුවන විනය කර්‍ම සියල්ල ම අඩුවක් නැතිව මෙහි ඇතුළත් වී ඇත.

කර්‍මවාක්‍යය කීම ඉතා සැලකිල්ලෙන් කළයුත්තකි. කීමේදී වරදක් වුවහොත් කර්‍මය සිදු නො වේ. එබැවින් විනයගරුකයෝ පොත් බලාගෙන ම කර්‍මවාක්‍යය කියති. වයෝවෘද්ධ මහා ස්ථවිරයන් වහන්සේලාටත් පහසුවෙන් කියවියහැකි වනු පිණිස මෙහි කර්‍ම වාක්‍යයන් ලොකු අකුරෙන් මුද්‍රණය කරවා ඇත.

වර්ග කීපයක අකුරු යොදවන මෙබඳු පොතක් මුද්‍රණය කිරීම කල් ගතවන දුෂ්කර වැඩකි. එහෙත් මරදානේ අනුල මුද්‍රණාලයේ කළමනාකාර තැන්පත් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතාගේ ක්‍රියාශූරත්වයෙන් මේ පොතේ වැඩ ඉතා කෙටි කලකින් නිමවූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු.

පොතක් මුද්‍රණය කරවීමේදී ගත්කරුවකුට කරන්නට සිදුවන සෝදුපත් කියවීම් ආදි හැම වැඩක් ම මේ පොත මුද්‍රණයේදී ඉතා සැලකිල්ලෙන් කර දුන් අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම නමට පින් සිදුවේවා!

බුදුසසුන බැබලේවා!

මීට,
ශාසනස්ථිතිකැමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
2499 / 1955 ඔක්තෝම්බර් 10 වැනි දින
පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.