විදර්ශනා භාවනා ක්‍රමය.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
241
බාගත කිරීම් ගණන :
227
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 121

විදර්ශනා භාවනා ක්‍රමය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත බෞද්ධ භාවනා උපදෙස් ග්‍රන්ථයකි. බෞද්ධ ශාසනයෙහි පරමාර්ථය වන නිවන් අවබෝධය උදෙසා විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ යුතු ආකාරය සාමාන්‍ය ගිහි-පැවිදි කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් මෙහි විස්තර කර ඇත.

විසුද්ධිමාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථ, බුරුම සම්ප්‍රදායේ භාවනා ක්‍රම සහ තමන් වහන්සේගේ අත්දැකීම් පාදක කරගනිමින් රචිත මෙම කෘතියට අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ‘භාවනා ක්‍රම (සැකෙවින්)’ මැයෙන් යුත් අගනා ප්‍රස්තාවනාවක් සපයා ඇත. එහි හින්දු, ක්‍රිස්තියානි ආදී අන්‍ය ආගමික භාවනා ක්‍රම සහ බෞද්ධ භාවනා ක්‍රම අතර පවත්නා වෙනස පැහැදිලි කර තිබේ.

මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2025 වර්ෂයේදී ප්‍රකාශිත තිස්වන මුද්‍රණය වන අතර මුද්‍රණ කටයුතු සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය විසින් සිදුකර ඇත.

ලේකම්ගේ සටහන් ....

ග්‍රන්ථධුරය දැරූ භික්ෂූන් වහන්සේලා නිසා ශාසනයේ පැවැත්මටත්, උන්වහන්සේලා වැඩසිටි රටවල ඇති වූ සමාජ යහපතටත් බුදුදහමින් වූ සේවය පමණ කළ නොහැකිය. විදර්ශනාධුරය දියුණු වූ අවස්ථා සහ භික්ෂූන් වහන්සේ පිළිබඳ තොරතුරු ඒ ඒ රටවල බුදුසමය පිහිටුවූ මුල් යුගවල ප්‍රකට වුවත්, ශාසන ඉතිහාසයේ දීප්තිමත්ව බැබලුණේ ග්‍රන්ථධුරය දැරූ භික්ෂූන් වහන්සේ පිළිබඳ තොරතුරුය. බුදුසමයේ මූලික පරමාර්ථය නිවනයි. ඒ සඳහා පිරිය යුත්තේ විදර්ශනා ධුරයයි. එහෙත් ගිහි පැවිදි දෙපක්ෂයේම වැරදි යොමුවීම නිසා ඒ දෙක තුලනය කර පවත්වාගෙන යාමට හැකි වූ ස්වාමීන් වහන්සේලා බිහිවූයේ අල්ප වශයෙනි.

බුද්ධ ජයන්තිය මුල් කරගෙන ඇති වූ ශාසන පුනරුදය නිසා ප්‍රතිපත්ති ශාසනය කෙරෙහි බෞද්ධ රටවල අවධානය යොමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියම, බුරුමය වැනි ථේරවාදී රටවල සහාය ඇතිව ලක්දිව බුදුසසුන ද ක්‍රමවත් විය. එහි ඵල වශයෙන් සසුන බැබලවූ සඟපරපුරක් බිහි වූ අතර, රේරුකානේ චන්දවිමල මහනාහිමියන් හා කහටපිටියේ සුමතිපාල නාහිමියන් විදර්ශනා මග හෙළිකිරීමට ගත් උත්සාහය වර්තමානයේ පවත්නා භාවනා දියුණුවට හේතුවක් විය. ලක්දිව සමහර භික්ෂූන් වහන්සේගේම විවේචනයට ලක්වූ නමුත් මේ වනවිට ගුණදහම් පුරන විශාල ගිහි-පැවිදි පිරිසක් මේ නිසා ඇතිවීම සසුනේ පැවැත්මට රුකුලකි.

එහෙත් එහි ගමන් මග ගැන විපරමක් අවශ්‍ය වනුයේ වහා සෝවාන් උපාධි ලබාදෙන සංවිධාන බිහිවීම නිසාය. නිවන දැඩි කැපවීමකින්, වෙහෙසකින්, දුෂ්කර යොමුවීමකින් හා දීර්ඝ කාලයක පුහුණු කිරීමකින් ලබාගතයුතු වන්නේ කාමච්ඡන්දය සිඳීම පහසු නොවන නිසාය. කාමච්ඡන්දය දියුණු කර ලැබියහැකි ඵල කවරේද? ශ්‍රද්ධා, ප්‍රඥා හා වීර්යය තුලනය කරමින් සමතිස් පාරමිතා සම්පූර්ණ කරමින් මේ සඳහා වෙහෙසියයුතු කාලය ගැන බෞද්ධයනට දැනීමක් ඇත.

ලක්දිව තුළ බුදුවරුන් පහළවීමෙන්, බුදුන් වහන්සේ ලක්දිව තුළ ඉපදවීමෙන්, බුදුදහමට වැරදි නිරුක්ති සැපයීමෙන්, බුදුන් වහන්සේත්, උන්වහන්සේ අනුව දහම පැහැදූ අටුවාචාරීන් වහන්සේ හා අනුගමනය කළ යතිවරයාණන් වහන්සේලාත් විවේචනය කිරීමෙන් අනාගත බෞද්ධයන්ගේ ගමන්මග අවුල් කරන, මුල් නැති රුක් බවට පත් කරන උත්සාහය නොදැන කරන්නක් නම් නොවේ. එසේ වූ විවිධ අරමුණු කරා කුළුගැන්වුණු චරිත වටා උගත්, එහෙත් දහම නොදන්නා චරිත රොක්වීම තුළ නිවැරදි, වැදගත් බෞද්ධයනට හා රටට අත්වන හානිය ආර්ථික දියුණුවෙන් පමණක් මැනිය හැකි නොවේ.

මේ පොතෙහි වටිනාකම තේරුම් ගත් අභාවප්‍රාප්ත පියදාස වත්තිඅච්චි මහතා සහ ලිලියන් සිල්වා මහත්මිය එකල මේ සඳහා හොඳ මූල්‍ය පදනමක් සැකසූහ. මේ අරබයාම ආධාර අනුබල දෙන සැදැහැවත්හු ද සිටිති.

නැවත සම්පූර්ණ පොතම වර්ණ සංයෝජනය කරන්නට සිදුවීමෙන් දුෂ්කරතා රැසක් මැද, එහෙත් සැහැල්ලුවෙන් තම දැනුම හා හැකියාව කැප කර එය ඉටු කරදුන් අරුණ තලගල මහතාට පින්දෙමි. වර්ණ සංයෝජනය සඳහා ඉදිරිපත් වූ, විනයාලංකාරාරාමයේ පැවැත්මට විවිධාකාරයෙන් උපකාරී වූ ජයවර්ධන පවුලේ සාමාජිකාවක් වූ තිළිණී තුෂාරි ජයවර්ධන මහත්මිය මේ පොතට ද අදාළ වියදම දරා, සම්බන්ධීකරණය කළ ඇගේ මව ජේ. ඩී. ඉන්ද්‍රානි කාන්ති පෙරේරා මහත්මියත්, වැඩසටහනට මුල පිරූ සහෝදරයාත් සතුටු කළාය. පොත්පෙළ නැවත මුද්‍රණයට සකස් කිරීමේදී මා හා සිටිමින් සෝදුපත් සැසඳීමට හවුල් වූ මාලනීගේ උනන්දුව අගයමි. පෙර පරිදිම මුද්‍රණ කටයුතු සංවිධානය කළ සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන පුතණුවන්ගේ සැදැහැති මෙහෙයද පසසමි.

පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමි සෙවණේ, පූජ්‍ය කළුතර පදුම හිමි, කළුතර වනරතන හිමි ඇතුළු විහාරස්ථ සඟරුවන ඇසුරේ, ආධාර අනුබල දක්වන, කියවන ඔබ සියලු දෙනාගේ අනුබලයෙන් මේ කටයුතුවල යෙදීමට හැකිවීමෙන් මම ද සතුටුවෙමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක
සංරක්ෂණ මණ්ඩලය.
2025 අගෝස්තු මස 02 දින
පොකුණුවිටදී ය.

සංඥාපනය

බෞද්ධයකු වීමෙන් ලැබියයුතු උසස් ප්‍රතිඵල ලැබියහැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබියහැකි ඵල ද භාවනාවෙන් ලැබියහැකි නමුත්, භාවනාවෙන් ලැබියයුතු උසස් ඵල භාවනාවෙන් ම මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නො ලැබියහැකි ය. භාවනාවෙහි යෙදෙන්නකුට එයින් ලැබෙන ඵල පරලොවෙහිදී ම නො ව, මෙලොවදී ම ලැබෙන්නේ ය. ක්‍රමානුකූල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්‍යාන මාර්ගාදි උසස් ඵල නො ලැබූයේ ද ඉන් මොබ ලැබියහැකි බොහෝ අනුසස් මෙලොවදී ම ලබන්නේ ය.

භාවනා ඵලය ගෘහස්ථ, ප්‍රව්‍රජිත, ස්ත්‍රී, පුරුෂ සැමදෙනාට ම නො වෙනස්ව ලැබියහැකි ය. ක්‍රමානුකූලව භාවනාවෙහි කලක් යෙදුණහොත් සිත කය දෙක භාවනාවට හැඩගැසුණු පසු ඒ තැනැත්තාහට භාවනාව මහත් සුවයක් වන්නේ ය. යෝගාවචරයනට ආහාර පාන වාසස්ථානාදියෙන් කිසි ම සුවයක් නැතිව වනගත වී දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනාවෙහි යෙදියහැකි වන්නේ, උසස් සුවයක් එහි ඇති බැවිනි. භාවනාව අමිහිරි වන්නේ, ඒ සුවය ලැබෙන තැනට භාවනාව දියුණු නො වනතුරු ය. සුවයක් වනතුරු භාවනාව දියුණු කරගත් යෝගාවචරයා නැවත භාවනාව අත්හැර දමන්නට නො සිතන්නේ ය. එවෙලේ ම ලැබෙන භාවනාමය සුඛය ද, භාවනාවේ එක් ආනිසංසයකි. තවත් මෙලොවදී ම ලැබෙන බොහෝ ඵල භාවනාවෙහි ඇත්තේ ය.

මෙකල අප රටේ යෝගාවචරයන් අඩු වී ඇත්තේත්, ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකියහැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසා ය. භාවනා ක්‍රමයක් අන්‍යයනට කියාදීමට සමත්, භාවනා කිරීම පිළිබඳ දැනුම, පළපුරුද්ද ඇති ගුරුවරු ද, අප රටේ සුලභ නැත. භාවනා ක්‍රම ගැන දැනුම ඇතියවුන් අතින් ලියවුණු පොත පත ද දුර්ලභ ය. දැනට අප රටේ ඇති භාවනා ක්‍රම ගැන විස්තරයක් දැක්වෙන එක ම පොත විසුද්ධිමාර්ගය යි. පාළි භාෂාවෙන් ලියැවී තිබෙන ඒ පොතින් පාළි භාෂාව නො දන්නවුනට ප්‍රයෝජනයක් ලැබිය නො හැකි ය. පාළි භාෂාව දත් කෙනකුට වුව ද, තවත් ගුරුවරයන්ගෙන් උපදෙස් නො ලබා එයින් භාවනා ක්‍රමය දැනගැනීමට පහසු නැත. ශමථ ක්‍රම තේරුම් ගතහැකි වුව ද, විදර්ශනා භාවනා ක්‍රමය එයින් ලෙහෙසියෙන් තෝරා ගතහැකි නො වේ.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය පිරෙන්නට ළංව තිබෙන මේ කාලයේ විදර්ශනා වඩා මාර්ගඵල ලබාගැනීමේ අදහසක් ඇතැම් පින්වතුනට ඇති වී තිබෙන බව ඔවුන්ගේ කථාවලින් පෙනේ. ටික දෙනකුට වුව ද, එබඳු උතුම් අදහසක් ඇතිවීම, ළඟ අනාගතයේ බුදුසසුන නැවතත් බැබළීමේ පෙරනිමිත්තක් වශයෙන් සැලකියහැකි ය. දෙදහස් පන්සියය ළංවත් ළංවත් ම, උත්සව පැවැත්වීම නම් බහුල වනු ඇත. කොතෙක් උත්සව පැවැත්වුවත්, එය නියම ශාසන දියුණුව නො වේ. සැබෑ ශාසන දියුණුව නම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණි පුද්ගලයන් ඇතිවීම ය. ආර්ය පුද්ගලයින් පහළ නො වූව ද, මාර්ගාධිගමය සඳහා විදර්ශනා වඩන පුද්ගලයන් බහුල වුවහොත් එය ද මනා ශාසන දියුණුවක් සැටියට සැලකියයුතු ය.

කොතරම් වීර්ය කොට, කොතෙක් දුක් ගෙන, කොතෙක් කලක් භාවනාවෙහි යෙදුණත්, ක්‍රමානුකූලව භාවනාව නො කෙරුණහොත් එයින් මෙලොවදී ම දැකියහැකි තරම් ඵලයක් නො ලැබේ. ඉක්මනින් ඵල දැකීමට නම් භාවනා ක්‍රමය නිවැරදිව හොඳින් දැනගෙන භාවනා කළයුතු ය. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුනට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බව ය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාරීවීමේ අදහසින්, අප විසින් විදර්ශනා භාවනා ක්‍රමය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විසුද්ධිමාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන් ද, බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කිහිපයක් ද ඇසුරුකොට, අප විසින් ඇසුරුකළ යෝගාවචරයන්ගෙන් හා සාකච්ඡා කළ යෝගාවචරයන්ගෙන් ද දැනගන්නා ලද බොහෝ කරුණුවලට ද අපගේ ම අත්දැකීම්වලට ද අනුව සම්පාදනය කරන ලද්දකි.

දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක්විට බොහෝ දෙනා කියනු ඇසුණු බැවින් හා කාහටත් පහසුවෙන් තේරුම් ගතහැකි සේ මෙය සම්පාදනය කිරීමට විශේෂ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුණු පිළිබඳ වූ මෙබඳු පොත්, වරක් දෙකක් කියවූ පමණින් තේරුම් ගතහැකි නො වේ. පොතින් ප්‍රයෝජන ලැබීමට නම්, කාරණය වැටහෙනතුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවියයුතු ය. මේ පොත හොඳින් තේරුම් ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නො වරදවා භාවනාව කරගෙන ගියහොත්, වැඩි දෙනකුට භාවනාවේ ප්‍රතිඵලය මෙලොවදී ම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථිර විශ්වාසය යි.

මීට,
ශාසනස්ථිතිකමී,
රේරුකානේ චන්දවිමල
2491
1947 නොවැම්බර් 20 දිනදී ය.
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.

ප්‍රස්තාවනා

භාවනා ක්‍රම (සැකෙවින්)

සසර දුකෙහි කලකිරුණු බොහෝ චින්තකයෝ එයින් මිදෙන උපා සෙවූහ. එහි ඵල වශයෙන් නානාවිධ දර්ශනයෝ පහළ වූහ. වේදාන්තවාදීහු පරමාත්මාබෝධය මෝක්ෂයට උපාය යැ යි කීහ. සාංඛ්‍ය මීමාංසා න්‍යායාදි අන් දාර්ශනිකයෝත් ඇතැම් දැයින් මදක් වෙනස් වූවෝ නමුත්, සාමාන්‍යයෙන් පරමාත්මාබෝධයෙන් ම මෝක්ෂය වේ යැ යි පැවසූහ. දඹදිවින් පිටත්හි ත්‍රෛස්තවාදි අන් දර්ශනවල ද, මෙයට තරමක් හුරු වූ ඉගැන්වුම් පහළවිය.

ඔවුන් කියන පරිදි පරමාත්මාබෝධයට හෝ දෙවියන් හා එක්වීමට යැ යුතු මග නම්, සිත ඒ අතට හුරු කොට වඩා ලීමයි. භාරතීයන් අතර මෙය භාවනා නමින් ද වැහැරවිණ. එය ම යෝග නමින් ද ව්‍යවහෘත වී.

ඒ ඒ අරමුණෙහි පහළ වන චින්තන ක්‍රියාවන්ගේ නිරෝධය යෝග නමැයි “යෝගශ්චිත්තවෘත්ති නිරෝධඃ” යනුවෙන් යෝගසාර උපනිෂද්හි ද, පාතඤ්ජල යෝග සූත්‍රයෙහි ද දැක්විණ. තවත් ඇදුරු කෙනෙක් “සංයෝගඃ යෝගමිත්‍යාහුර් ජීවාත්ම පරමාත්මනොඃ” යි ජීවාත්ම පරමාත්ම දෙකේ එක් වීම යෝග නමැයි කීහ. එය’තර වශිෂ්ඨර්ෂි “සංසාරෝත්තරණේ යුක්තිර් යෝග ශබ්දෙන කථ්‍යතේ”යි සසරින් ගොඩ නැංගේ උපාය ‘යෝග’ යන්නෙන් කියැවේයැ යි පැවසීය.

හෛන්දවයන් අතර පවත්නා යෝග ක්‍රම බොහෝය. භක්තියෝග, රාජයෝගාදි වශයෙනි. දෙවියා කෙරෙහි භක්තිය ක්‍රමයෙන් දියුණු කොට සිතින් දෙවියා හා එක්වීම භක්තියෝග මාර්ගයයි. යම, නියම, ආසන, ප්‍රාණායාම, ප්‍රත්‍යාහාර, ධාරණ, ධ්‍යාන, සමාධි යන අෂ්ටාංග පුරාලීමෙන් චිත්තේකාග්‍රතාව ලබා පරමාත්මාබෝධය කිරීම රාජයෝග නමින් දැක්විණි. සත්‍ය අසත්‍ය දෙක වෙන් වෙන් කොට බල බලා ගොස්, අවසන්හි ලෝක නමින් දැක්වෙන සියල්ල මිථ්‍යා බවත්, ඒක බ්‍රහ්ම පදාර්ථය ම (පරමාත්මය ම) බවත් අවබෝධ කොට එය හා එක්වීම ඥානයෝගයයි.

තම දෙවියාගේ ගුණ අගවන කිසි මන්ත්‍රයක් දපමින්, දෙවියාගේ කිසි ආකාර විශේෂයක් සිතින් සළක සළකා ඔවුන් වඩා අන්තයේදී ඒ දෙවියා හා එක් වීම මන්ත්‍රයෝගයයි. සිරුරෙහි සුෂුම්නා නාඩියට යටින් මූලාධාර චක්‍රයෙහි මැද හෝනා කුණ්ඩලිනී ශක්තිය, ඒ ඒ චක්‍ර අරමුණු කොට සමාධිය වැඩීමෙන් පුබුදුවා, ක්‍රමයෙන් ඉහළ ඉහළ චක්‍ර ඔස්සේ නංවා, අවසනැ හිසැ වූ සහස්‍රාර පද්මයට යවා, එමගින් සමාධි ලබා පරමාත්මාබෝධය කුණ්ඩලිණී යෝගය යි. මේ ආදි වශයෙන් සිත එකඟ කිරීමේ නොයෙක් ක්‍රම උපනිෂද් පොත්වල දක්නා ලැබේ. මේ එකෙකුත් බෞද්ධ ව්‍යවහාරයෙහි පෙනෙන සමථ භාවනා නම් කොටසෙන් පිටත නො යයි.

කසින භාවනාවට හෛන්දව යෝග පොත්වල කළ්ක යැයි ව්‍යවහාර වේ. පරිකර්ම නිමිත්තට ප්‍රතීක යැයි ද, පරිකර්ම භාවනාවට බහිරංග උපාසනා යැයි ද, උපචාර භාවනාවට අන්තරංග උපාසනා යැයි ද, හින්දූන් වහරන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රාණායාම ක්‍රමය බෞද්ධයන්ගේ ආනාපාන ක්‍රමය වැන්නෙකි.

ඔවුන් මේ කී ක්‍රමවලින් ලබන ප්‍රතිභාග නිමිත්ත හෝ කසිනාලෝකය, අනන්ත කොට පතුරුවා එය පරමාත්ම යැයි වරදවා ගෙන, එහි ම සිත ගිල්වා හිඳීම, බ්‍රහ්මයා (පරමාත්මයා) හා එක්වීම යැයි වරදවා සිතන බව බෞද්ධ ඇසින් බලන්නහුට පෙනේ. රූප ධ්‍යාන හෝ අරූප ධ්‍යාන ලැබූ හින්දු යෝගීහු තමනට පෙනෙන ප්‍රඥප්ති අරමුණ පරමාත්ම කොට සලකා මෝක්ෂය ලදුම්හයි එතෙකින් තෘප්තියට පැමිණ නවතිති. ඉන් ඔබ නො යති.

ක්‍රිස්තියානින්ගේ සියලු භාවනා ක්‍රම භක්තියෝග කොටසට ඇතුළත් උපචාර සමාධි මාත්‍ර බව පෙනේ. ඔහු ආරම්භයේදී සිත අන් අරමුණුවලින් ඉවත් කැරගැනීම පිණිස දෙවියන් තමා හමුවෙහි ඉන්නා බව සලකති. සලකා යාඥා කරති. ඉන් පසු සුළු පාපෝච්චාරණයක් වේ. ඉනික්බිති ශුද්ධාත්මාහ්වානය වේ. ඉක්බිති ක්‍රිස්තු තුමාගේ ගුණ හා ආකාරය සිහි කරනු ලැබේ. එයින් පසු

ගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි.