වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2023
- මුද්‍රිත වර්ෂය :
- 2023
- පිටු ගණන :
- 224
- බාගත කිරීම් ගණන :
- 155
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 8.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම හා චිත්ත ස්වභාවය විවරණය කෙරෙන අගනා ධර්ම ග්රන්ථයකි. මෙහි ප්‍රථම මුද්‍රණය 1952 (ප්‍රස්තාවනාව 1947 දී) ප්‍රකාශයට පත් වූ අතර, මෙම පිටපත 2023 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් නිකුත් කරන ලද 19 වන මුද්‍රණයයි.
සිතෙහි හටගන්නා අකුශල ධර්මයන් කුශලයන්ගේ වෙස් ගෙන පුද්ගලයා මුළා කරවන ආකාරය ‘වඤ්චක ධර්ම’ ලෙසත්, සිත කිලිටි කරවන උපක්ලේශයන් ‘චිත්තෝපක්ලේශ ධර්ම’ ලෙසත් මෙහි ගැඹුරින් විග්රහ කෙරේ. නෙත්තිප්පකරණ අට්ඨකථාව ඇතුළු අභිධර්ම මූලාශ්‍ර පාදක කරගනිමින්, පරාර්ථකාමීත්වය, දාන චේතනාව, කරුණාව වැනි උතුම් ගුණාංගයන් මුවාවෙන් ලෝභාදී ක්ලේශයන් සිත රවටන අයුරු මෙහි විස්තර කර ඇත.
පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක්:
- ප්‍රාරම්භය හා ලෝභය පිළිබඳ හැඳින්වීම
- පරාර්ථකාමතා වේගයෙන් වඤ්චක ලෝභය
- දාතුකාමතා, කෘතඥතා සහ අපචිතිකාමතා වේගයෙන් වඤ්චක ලෝභය
- කරුණා, නෛෂ්ක්රම්යකාමතා හා ධර්මදේශනාකාමතා වේගයෙන් වඤ්චක ලෝභය
- අල්පේච්ඡතා හා සංවිභාගශීලතා වේගයෙන් වඤ්චක ලෝභය
ලේකම්ගේ සටහන්...
නිරතුරුව ආතුර බවට, ලෙඩ රෝගයන්ට ගොදුරු වන බවට පැමිණෙන ශරීරය, අනාතුර සිතින් පරිහරණය කර සියලු දුකින් නිදහස්වන මග හෙළිකළ බුදුරජාණන් වහන්සේ, සිතෙහි ලෙඩ ගැන නොයෙක් තන්හි අවධාරණයෙන් දේශනා කර ඇත. සිත ගැන පිරිසිදු දැනුමක් ඇතිකර ගැනීමට අභිධර්මය ඉගෙනීම ප්‍රයෝජනවත් වන අතර, නිකාය පොත්වලද චිත්ත ස්වභාවය පැහැදිලි කළ තැන් අපමණය. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනාහිමියන් ලියා ඇති මේ ග්‍රන්ථද්වය ත්‍රිපිටකයේ හා පරිවාර ග්රන්ථයන්ගේද, උන්වහන්සේගේද දැනුමින් පෝෂිත වූ, මෙම විෂය පිළිබඳව දැනට ඇති හොඳම පාදක ග්‍රන්ථයයි.
මනෝභාවයන් සසර බැඳ තැබීමට කොතරම් ඉවහල් වන්නේද යන්න චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍යය ඉගැන්වීමෙනුත්, පටිච්චසමුප්පාද විග්රහයෙනුත්, අභිධර්මයේ ඉගැන්වීම් සහ විනය හා සූත්‍ර පිටකයන්හි බොහෝ ඉගැන්වීම්වලිනුත් තේරුම් ගතහැකිය. ලෝභ, දෝස, මෝහ හා අලෝභ, අදෝස, අමෝහ යන මනෝ භාවයන්ගෙන් වෙන්වීමම නිවනයි. “චිත්තමිදං ඉදං සචිං” (සියල්ල සිතමයි) යන දර්ශනයක් ඇතිවීමට තරම් මේ අදහස වර්ධනය කළ බෞද්ධ නිකායෝම වූහ.
බෞද්ධයන් වශයෙන් අවධානය යොමු කළයුතු මේ කරුණු අධ්‍යයනය කිරීමටත්, එමගින් සිත වටහාගෙන අන්‍යයන් හා සුහදව විසීමටත්, ඒ වටහා ගැනීමම සියලු දුකින් මිදීමට පාදක කරගැනීමටත් හැකිවුවහොත් අප ගන්නා වෑයම සඵල වූවා වෙයි. සාහිත්‍යසූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම ‘භව කර්ම විකාශය’ ග්රන්ථයේදී මේ පොත අගයකළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් අපවත්වීමෙන් කල් ගතවත්ම උන්වහන්සේගේ පොත්වලට ඇතිවූ මහජන අවධානය සලකා බලනවිට, ඒවා පවත්වාගෙන යාම තම ශාසනික වගකීම බව තේරුම්ගත් විනයාලංකාර භික්ෂුවංශයත්, ඒවා මුද්‍රණයෙන් එළිදැක්වීමේදී ගෞරවයෙන් කටයුතු කළ රත්නායක අප්පුහාමි,
එම්. ජේ. පෙරේරා, කේ. ටී. ඒ. ජයවර්ධන යන මහත්වරුන් හා වර්තමානයේ එම වගකීම දරන මුද්‍රණාලයාධිපති වරුනුත්, පොත් වැඩි ප්‍රමාණයකට අනුක්‍රමණිකාව සැකසූ හර්බට් පතිරණ මහතා ඇතුළු ඒ සත්පුරුෂ සමාගම සිහිකිරීමම මා ලද පිනකි.
මේ මුද්‍රණ වාරයේ අරුණ තලගල මහතා කළ පරිගණක අක්ෂර සංයෝජනය, පොත වඩාත් ක්‍රමවත් කිරීමට ඉවහල් විය. ඔහුගේ දැනුමත් කැපවීමත් අගය කරමි. ඒ සඳහා වැය භාරගත් රයිගම කසුන් ජයවර්ධන මහතා සයුර තරණයෙන් සසර තරණයට ගන්නා වෑයමද පසසමි. සිකුරු ප්‍රින්ටර්ස්හි ශිහාන් ජයවර්ධන මහතාගේ හැකියාව මුද්‍රණයෙන් පිළිබිඹු වෙයි. සෝදුපත් කියවීමේදී මාලනීගෙන් මෙවරද සහාය ලැබිණ.
අතිපූජ්‍ය රේරුකානේ මහනාහිමිපාණන්ට බුහුමන් වශයෙන් මේ පොත් පවත්වන්නට උරදෙන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ප්රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහායද, විශේෂයෙන් පූජ්‍ය කළුතර පදුම හිමියන්ගේ කැපවීමද, පාදක සටහන් යෙදීම සඳහා ත්‍රිපිටක පොත් සිසාරා යන්නට කැපවුණු පූජ්‍ය රන්පොකුණුගම ධීරානන්ද හාමුදුරුවන් වහන්සේගේ සහාය ද, නිරන්තරයෙන් හැකි අවම මිලකට පොත් පවත්වන්නට සහායවන උපකාරක සැදැහැවතුන්ගේ මූල්‍ය අනුග්රහයද සීමා නිර්ණය කළ නොහැකි අටමහ කුසලයට අයත් පින්කමකි. බැංකු ගිණුමක වැල්පොලිය සේ සසර ගමනට මේ කුසල් උපයෝගී වෙත්වා!
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2023 නොවැම්බර් මස 01 දින,
පොකුණුවිටදීය.
ප්‍රස්තාවනා
වඤ්චක ධර්ම නමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන්ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්රන්ථයකි. මෙම ග්රන්ථයෙහි දැක්වෙනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වය ය. චිත්තය වනාහි අති විචිත්‍ර දෙයකි. එයට වඩා විචිත්‍ර වූ දෙයක් ලොවෙහි නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින්:
“දිට්ඨං වෝ භික්ඛවේ, චරණං නාම චිත්තන්ති? ඒවං භන්තේති. තම්පි ඛෝ භික්ඛවේ, චරණං නාම චිත්තං චිත්තේනේව චිත්තිතං තේනාපි ඛෝ භික්ඛවේ, චරණේන චිත්තේන චිත්තමේව චිත්තතරං” යනු ද,
“නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකනිකායම්පි සමනුපස්සාමි ඒවං චිත්තං. යථයිදං භික්ඛවේ, තිරච්ඡානගතා පාණා. තේහි පි ඛෝ භික්ඛවේ, තිරච්ඡානගතේහි පාණේහි චිත්තමේව චිත්තතරං” යනු ද වදාරන ලදී. (ධම්මසංගණීප්පකරණට්ඨකථා, 82 පි.)
සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතැවූ මේ පළමුවන අකුශල චිත්තය සාමාන්‍යයෙන් එකක් වුව ද, පුද්ගලයන් දහසක් තුළ ඇතිවනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ ඇතිවනුයේ දස දහස් ආකාරයකිනි. ලක්ෂයක් තුළ ඇතිවනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ම වුව ද අවස්ථා දහසකදී ඇතිවනුයේ ආකාර දහසකිනි. අවස්ථා ලක්ෂයකදී ඇතිවනුයේ ආකාර ලක්ෂයකිනි. සිත පමණක් නො ව එය හා උපදනා වූ ලෝභාදි චෛතසිකයෝ ද, සිත සේ ම විචිත්‍ර වෙති. සාමාන්‍යයෙන් එකක් වූ ලෝභය පුද්ගලයන් දහසක් කෙරෙහි උපදිනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ උපදිනුයේ ආකාර දස දහසකිනි. ලක්ෂයක් තුළ උපදිනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ඉපදීමෙහි ද ඒ ඒ අවස්ථාවල සැටියට නොයෙක් ආකාර වන්නේ ය. මේ චිත්ත චෛතසිකයන්ගේ විචිත්රත්වය යි.
මෙසේ විචිත්‍ර වූ චිත්ත චෛතසිකයන් අතුරෙන් අකුශල චිත්ත චෛතසිකයෝ සමහර අවස්ථාවලදී ඒවා යම්කිසිවකුගේ සන්තානයෙහි උපදින්නාහු නම් ඒ පුද්ගලයාට ඒවා අකුශල ධර්මයන් බව නො දැනෙන තරමට කුශල ධර්මයෝ ය යි පුද්ගලයන් රවටති. උපන් පුද්ගලයාට කුශල ධර්මයෙකැ යි රැවටීමට හේතු වන ලෝභාදි අකුශල ධර්මයෝ වඤ්චක ධර්ම නම් වෙති. “පරාර්ථකාමතා වේගයෙන් වඤ්චක ලෝභය, දාතුකාමතා වේගයෙන් වඤ්චක ලෝභය” යනාදීන් මෙම ග්රන්ථයෙහි දක්වනු ලබනුවෝ කුශලයන්ගේ ආකාරය ඇති ඒ අකුශල ධර්මයෝ ය. එයින් අකුශලයක කුශලයක් වීම හෝ කුශලයක අකුශලයක් වීම හෝ අදහස් කරනු නො ලැබේ. කිසිකලෙක අකුශලය කුශලයක් හෝ කුශලය අකුශලයක් හෝ නො වේ. මුළා නො වෙනු.
අමු මැටි පිඩේ යටිපැත්ත තුබූ ස්ථානයේ ආකාරය ගන්නාක් මෙන් සමහරවිට ලෝභාදි ධර්මයෝ උපදනා පුද්ගලයාගේ අදහස්වල ආකාරය ගනිති. එබැවින් පාපයට නො කැමති, පාපය පිළිකුල් කරන, පාපයට බිය වන කුශලාධ්‍යාශය ඇති තැනැත්තන් කෙරෙහි උපදනා කල්හි බොහෝ සෙයින් පුද්ගලයාගේ අදහසට අනුකූලවීම් වශයෙන් ලෝභාදි අකුශල ධර්මයෝ කුශලයන්ගේ ආකාරයෙන් පහළවෙති.
වඤ්චක ධර්ම නම් වූ කුශල ධර්මයන්ගේ වේගයෙන් සන්තානයෙහි පහළවන්නා වූ ඒ අකුශල ධර්මයන්ගෙන් කෙරෙන වඤ්චනය තමා විසින් ම තමහට කරගන්නා වඤ්චනය වේ. තවත් ක්‍රමයකින් කියතහොත් එය තමාගේ සිත විසින් ම තමාගේ සිතට කරන වඤ්චනයකි. එබැවින් අන්‍යයන් විසින් රැවටීමට දුෂ්කර වූ බොහෝ නුවණැති පුද්ගලයෝ ද ඔවුන්ගේ සන්තානයෙහි උපදනා වඤ්චක අකුශල ධර්මයන්ට රැවටෙති. සාමාන්‍ය ජනයා තබා බොහෝ ධර්ම ශාස්ත්‍ර උගත්තු ද නොයෙක්විට ඔවුන්ගේ සන්තානයෙහි පහළවන වඤ්චක ධර්මයන්ට රැවටී නො මග යෙති. සාමාන්‍ය ජනයන්ගේ රැවටීම ගැන කියනුම කිම?
වඤ්චක ධර්මයන්ට රැවටී අගුණය ම ගුණය යි වරදවා ගෙන තමන්ගේ සන්තානයෙහි ඒවා වැඩි වැඩියෙන් ඇතිකර ගන්නෝ ද, පින් ය යි වරදවා ගෙන ඇතැම් පව්කම් කරන්නෝ ද, සගමොක් මග ය යි රැවටී අපාමගට බසින්නෝ ද ලෝකයෙහි බොහෝ ය. ඒ බව තේරුම් ගතහැකි වන්නේ වඤ්චක ධර්ම දැන උගෙන නුවණින් ලෝකය දෙස බලන්නවුන්ට ය. උගතා පවා නො මග යවන බැවින් ද වඤ්චක ධර්මයෝ මහානර්ථකරයහ.
පින් පව් නියම වශයෙන් හැඳින, තමන්ගේ සිත පිරිසිදු කරගැනීමට හා තමන්ගේ ක්‍රියා පිරිසිදු කරගැනීමට ද ඇත්තා වූ එක ම උපාය වඤ්චක ධර්මයන් පිළිබඳ මනා දැනුමක් ඇතිකර ගැනීම ය. විශේෂයෙන් ම පරලොව යහපත සඳහා තම තමන් විසින් කරගන්නා පින් පිරිසිදුව කරගත හැකිවීමට වඤ්චක ධර්මයන් පිළිබඳ දැනුම තිබියයුතු ය. පැවිද්දන්ට හා ගුරුවරුන්ටත් අන්‍ය අනුශාසකයන්ටත් විශේෂයෙන් ඒ දැනුම තිබියයුතු ය.
වඤ්චක ධර්ම පිළිබඳව බෞද්ධ ජනතාවට අවබෝධයක් ඇතිකර ගැනීමට ඒවා පිළිබඳව ලියවුණු පොත පත තිබියයුතු ය. එහෙත් එය සඳහා සැපයුණු පොතක් අපේ රටේ දක්නට නැත. එබැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ට ද වඤ්චක ධර්ම ගුප්ත දෙයක් වී තිබේ. බොහෝ දෙනා එබඳු ධර්ම කොට්ඨාසයක් ඇති බව පවා නො දනිති. ගුප්ත දෙයක් වී තිබෙන වඤ්චක ධර්ම ශක්ති පමණින් බෞද්ධ ජනයාට හෙළිකර දීම පිණිස වඤ්චක ධර්ම නම් වූ මෙම ග්‍රන්ථය අප විසින් සම්පාදිත ය.
වඤ්චක ධර්ම බොහෝ ය. මෙම ග්රන්ථයෙහි දැක්වෙන්නේ ඒවායින් කොටසකි. එකවරට ම වඤ්චක ධර්ම සියල්ල සොයා දක්වා ග්රන්ථයක් කිරීම පහසු කාර්යයක් නො වන බැවින් සොයාගතහැකි වූ පමණින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. අපගේ මේ උත්සාහය වඤ්චක ධර්ම හෙළිකිරීමේ මුල්පියවර වශයෙන් සැළකියයුතු ය.
මෙම ග්රන්ථයෙහි දැක්වෙන වඤ්චක ධර්මයන්ගෙන් අටතිසක් නෙත්තිප්පකරණට්ඨකථාවෙහි දැක්වුණු වඤ්චක ධර්මයෝ ය. ඉතිරි වඤ්චක ධර්ම දක්වා ඇත්තේ අභිධර්ම ග්‍රන්ථවල එන කරුණු අනුසාරයෙන් අපට පෙනුණු සැටියෙනි. ඇසට නො පෙනෙන, කයට හසු නො වන, අද්‍රව්‍ය වූ, සටහන් නැත්තා වූ, පැහැයක් නැත්තා වූ, චිත්ත චෛතසික ධර්මයෝ අතිසූක්ෂමයහ. එබැවින් ඒවායේ තත්ත්වයන් නිවැරදිව සෙවීම පහසු කාර්යයක් නො වේ. ඒවා ගැන සොයන්නවුන්ට නොයෙක්විට වැරදි හැඟීම් ඇතිවේ. එබැවින් අපට වැටහුණු සැටියට මෙහි දක්වන ලද කරුණු සියල්ල එසේ ම සත්‍ය ය යි අපි නො කියමු. සමහරවිට අපගේ රැවටීම් ද මෙම ග්රන්ථයට ඇතුළත් වී තිබියහැකි ය. පරමාර්ථ ධර්මවේදීහු විමසත්වා!
මීට, රේරුකානේ චන්දවිමල ස්ථවිර
රේරුකානේ චන්දවිමල ස්ථවිර
2491 / 1947
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.