මංගල ධර්ම විස්තරය - ගොඩිගමුවේ සෝරත හිමි.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 385
- බාගත කිරීම් ගණන :
- 270
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 16 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මංගල ධර්ම විස්තරය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් ‘සදහම් අමා’ මාසික දහම් පත්‍රිකා 34ක් ඔස්සේ ලියන ලද ලිපි පෙළක් ඇසුරින්, උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ගොඩිගමුවේ සෝරත ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. ප්‍රථම වරට 1956 දී මුද්‍රණය කරන ලද මෙම කෘතිය, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තිස් අට මංගල කරුණු විස්තරාත්මකව හා ප්‍රායෝගික ජීවිතයට ගළපා පැහැදිලි කරදෙන අගනා ධර්ම සංග්‍රහයකි.
මෙහි අන්තර්ගතය තුළ මංගල සූත්‍රයේ එන බාල සේවනයෙන් වැළකීමේ පටන් අර්හත් ඵලය සාක්ෂාත් කර ගැනීම සහ අෂ්ටලෝක ධර්මය හමුවේ නොසැලී සිටීම දක්වා වූ ක්රමානුකූල ශාසනික ප්‍රතිපදාව මනාව විග්රහ කර ඇත. එසේම ශාසන ඉතිහාසයේ සංක්‍රාන්තික අවධියක වැදගත් සටහන් රැසක්ද මේ තුළින් විවරණය වේ.
මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2024 වසරේ ඔක්තෝබර් මස පළකරන ලද 17 වන මුද්‍රණයයි.
ලේකම්ගේ සටහන්...
පෙර සියවසෙහි 70 දශකයේ ‘දියුණුවේ මාවත’යි අප වැළඳගත් විවෘත ආර්ථිකය අපගේ ආධ්‍යාත්මික ගුණධර්ම සෝදාපාළුවට ලක්කර ආත්මාර්ථය ඉස්මතු කළ හැටි වර්තමාන සමාජයෙන් පෙනේ. පසුව උපන් පරපුර එම චින්තනයේ හැදී වැඩීම තුළ යහපත් සමාජ සංවර්ධනයක් ඇතිකර ගැනීමටද පහසු නොවේ.
එහෙත් පැරැන්නන්ගේ දරුවන් වෙතින් පැවතෙන සමාජ ආකල්ප තවමත් නොසිඳී පවත්නා නිසා එය නොහැකි අරමුණක්ද නොවේ.
‘බෞද්ධයාගේ අත්පොත’ ඒ සඳහා උපයෝගී කරගතහැකි හොඳම මග පෙන්වීමක් වන අතර රේරුකානේ නාහිමියන්ගේ අනෙක් පොත්පෙළද ඊට උපයෝගී වෙයි. 1987 වනවිට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ දහම් පොත් මුද්‍රණය කර බෙදාහැරීමට ආර්ථික වශයෙන් ඇතිවූ අපහසුතාව නිසාම ප්රභවය ලද අප මණ්ඩලය ඔබගෙන් ලද ආධාර/අනුග්‍රහ මත මනා කළමනාකරණයෙන් මේ වනවිට තම ශක්තියෙන් එම කාර්යය ඉටුකිරීමේ හැකියාව ලබා ඇති බව දන්වන්නේ සතුටිනි. ඒ ශක්තිය ලබාදීම වෙනුවෙන් ඔබට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පළකරමු.
ක්‍රියාකාරී ජීවිතයේදී හුරු කළයුතු ගුණධර්ම, සජ්ඣායනාවට සීමා කිරීම අද නිරතුරුවම දැකිය හැකිය. මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදියෙහි දැක්වෙන, අප අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ශාන්තිය අපේක්ෂාවෙන් උදෑසන, රාත්‍රියේ, වැඩක ආරම්භයේදී හා විවාහ කිරීම්වලදී සජ්ඣායනා කිරීම අපේ සිරිතක් වී ඇත. අරුත ගැන නොසිතා පිරිත ගැන පමණක් සිතා කරන මේ මැතිරීම පූජ්‍ය-පූජක දෙපිරිසම පත්ව ඇති මංමුළාව පෙන්නුම් කරයි. බුදුදහමේ පෙන්වා ඇති පරිදි කළයුතු වැඩ කිරීමෙන් මිස කීමෙන්, ආවැඩීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවන බව බෞද්ධයන්ගේ කල්පනාවට බඳුන් වියයුතුය.
සෑම යුගයකම වැඩිහිටියන්ගේ චෝදනාවක් බවට පත්වී ඇති ඊළඟ පරපුර තමන්ට වඩා ගුණදහමින් පිරිහීමට ලක්වී ඇතය යන කරුණද අපේ සැලකිල්ලට භාජන වියයුත්තකි. ඊළඟ පරපුරේ ගුණධර්ම පරිහානියට තමන් කොතෙක් වගකිවයුතු ද? අපේ ධර්මය ඉගැන්වීම හා ඒ අනුව හැසිරීමට උපදෙස් දෙන ආකාරය නිවැරදිද? එම අධ්‍යාපන ක්‍රම නැවත සකස් වියයුතුද? එසේ කරන්නේ නම් ඊට සහභාගි වියයුත්තේ කවුරුන්ද? එම තෝරාගැනීම්වලදී භාවිත කරන මිණුම්දඬු ප්‍රමාණවත්ද? ආදි ගැටළුද අප ඉදිරියේ මතුවෙයි. මේ සියල්ල ජයගැනීම සඳහා එක් එක් ආකාරයෙන් එල්බ ගෙන ඇති මානයන්ගෙන් ලිහිල්වීමට අපට හැකි වියයුතුය. නොයෙක් ආගමිකයන් සමග එක්ව ජීවත්වීම බුදුරජාණන් වහන්සේ විසින්ම ආදර්ශයෙන් පෙන්නුම් කර ඇත. කුමන ගඟෙන් ගැලුවත් මහසයුරේ ජලකඳ එකක් වන්නා සේ විවිධ ජාතීන්ගෙන් සැදුම් ලද නමුත් ලාංකික ජනතාව එකම කණ්ඩායමක් වශයෙන් සැලකීමට අපට දුෂ්කර නො වියයුතුය.
බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ලෝකයත්, නිවනත් පැනවීමෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වූ සත්‍යය සියලු ගැටළු තම තමන් විසින් ම නිරාකරණය කළහැකිය යන පණිවුඩය අපට ගම්‍යමාන කරයි. අප එකිනෙකාගෙන් ඉටුවියයුතු කාර්යභාරය හරිහැටි තේරුම් ගෙන කිරීමට තරම් නුවණක් මේ පොත කියවීමෙන් ලබන්නට සැදැහැවතුන් උත්සාහ ගනී නම් අපේ ප්රයත්නය සාර්ථක වූවා වෙයි.
බුදුන් වහන්සේ මංගල සූත්‍ර දේශනාව කරන ලද්දේ මිථ්‍යා සංකල්පයන්ගෙන් අප බැහැර කරලීමටය. දර්ශනයක් වශයෙන් එය තේරුම් ගත් බොහෝ දෙනා සසරින් එතෙරව නිවන් දකින්නට වෑයම් කරති. මෙහි උගන්වන ත්‍රිහේතුක කුශලය හා විදර්ශනා මග හෙළිකරගත නොහැකි ගිහි පැවිදි බොහෝ දෙනා සසරෙහි ගමන් කරති. සරලව තේරුම් ගත්තත්, ගැඹුරු ධර්මයේ ගැඹුර අප අවබෝධ කළයුතුමය.
මුල් වකවානුවේ රේරුකානේ නාහිමියන් ‘සදහම් අමා’ මාසික දහම් පත්‍රිකා 34කින් පළකළ මංගල ධර්ම විස්තරය තම දැනුම හා අත්දැකීම් ඇසුරින් පුළුල් කර විග්රහ කළ ගොඩිගමුවේ සෝරත හිමියන් සඟසසුනේ වටිනාකම, එය දැරීමේ අපහසුකම හා දැනුමින් කුශල් කිරීමේ වටිනාකම මෙහිදී පැහැදිලි කර ඇත. ශාසන ඉතිහාසයේ සංක්‍රාන්තික අවධියක වැදගත් සටහන් මේ කෘතියෙන් ප්‍රකට වේ.
රේරුකානේ නාහිමියන්ගේ ලේඛන සමාජගත කිරීමෙහි ලා පුරෝගාමී වූ නාහිමියන්ගේ ශිෂ්‍ය, පූජ්‍ය ගොඩිගමුවේ සෝරත හිමියන් හා හේන්ගොඩ කල්‍යාණධම්ම හිමියන් පූර්වගාමීන් ලෙස සටහන් කිරීමේ යුතුකම ද අමතක නොකරමි.
සතුට ධනය ලෙස සිතා කාලය, ශ්‍රමය කැපකර වර්ණ සංයෝජනයේ යෙදුණු අරුණ තලගල මහතාගේ දැනුමත්, අත්දැකීමත් යෙදීමෙන් දෙන සහාය සුළුපටු නොවේ. මුද්‍රණ කටයුතුවලදී සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතාගේ සහාය ද එසේම අගය කළයුතුය. සෝදුපත් සැසඳීමේදී මාලනීගෙන් ලද සහායද මතක් වේ. පාදක සටහන් යෙදීමෙන් බොහෝ දෙනකුට ප්‍රයෝජනයක් වෙතැයි සිතමි. ආර්ථික අපහසුකම් නිසාම දුර්වලව තිබූ රේරුකානේ නාහිමියන්ගේ දහම් පොත් මුද්‍රණ කාර්ය තිරසාර පදනමක් යටතේ නගා සිටුවනු ලැබුවේ පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් විසිනි. උන්වහන්සේගේ අධීක්ෂණ සහභාගීත්වයෙන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය කළුතර පදුම හිමියන් ප්රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහයෝගයෙන් පවත්නා මණ්ඩලයක සාමාජිකයකුව, කොළඹ 10 විනයාලංකාරාරාමාධිපති කළුතර වනරතන හිමියන්ගේද සහාය ලැබ, පොත් පවත්වාගෙන යෑම සඳහා අනුග්‍රහය දක්වන ඔබ වැනි සත්පුරුෂ සමාගමක ඇසුර ලබමින් මේ මහා කුසලයට සම්බන්ධවීමට ලැබීම භාග්‍යයක්, මංගල්‍යයක් ලෙස සලකමි.
සියල්ලෝ සදහම් රසයෙන් සැනසෙත්වා!
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2024 ඔක්තෝබර් මස 15 වන දින
පොකුණුවිටදී ය.
හැඳින්වීම
ධර්මනයාය නීතිගරුක සමාජය දියුණු ය. නො දියුණු සමාජයක නීති රීති ද නැත. පුද්ගලයකුගේ හෝ ජාතියකගේ ආධ්‍යාත්මික හෝ භෞතික දියුණුව ලබාගත හැක්කේ නීතිරීති මගිනි. නීතිරීති ගරු කිරීම යම්තාක් දුරට දියුණු ද ඒ තරමට ඔවුහු දියුණු වෙති. වැද්දන් ගැන සිතන්නකුට මේ ගැන හරි අවබෝධයකට පැමිණිය හැකි ය. ඔවුහු නො දියුණු මිනිස්සු ය. ඊට හේතුව: නීති ගරුක මිනිසුන් වශයෙන් ඔවුන්ගේ පරිණාමයක් නො දක්නා ලද හෙයිනි.
ජීවිතයක බාහිරව පැවති නීතිරීති භෞතික දියුණුව ගෙන එයි. එය ලෞකික ය. එමෙන් ම තාවකාලික ය. හොඳින් හෝ නරකින් යමක් උපයා ගැනීමත් පරිභෝගයත් දෙක ම ජීවිතයේ එක ම අවධියකදී අවසන් වන්නේත්, එතැන් සිට ඔහු පසුතැවිල්ලට යොමුවන්නේත් ඒ නිසා ය. එයින් සැනසීමක් ලද නො හැකි ය. ආධ්‍යාත්මික දියුණුව සදා සුන්දර ය. ඉන් විපුල ඵල ලැබේ. බුද්ධ ධර්මය ආධ්‍යාත්මික දියුණුවේ මාර්ගය යි. ඒ ඒ පුද්ගලයන්ගේ චරිත වර්ධනයට පොහොනා ධර්මනීති ඔවුන්ගේ ම ජීවිතයේ අවයව කොට දැක්වීම දේශනා මාර්ගයෙහි එන සාමාන්‍ය පිළිවෙළ යි. මංගල සූත්‍රය ද එවැනි ධර්මනීති පද්ධතියකි.
එහිලා කියයුතු විශේෂය නම් චරිත පුද්ගල විසින් බැඳීමක් නැති බව යි. කාගේත් අවධානයට මෙන් ම අභ්‍යාසයට ද සුදුසු බව යි. එක ම මූලික කාරණයක් පදනම් කොට ගත් ජීවිතය අඩියෙන් අඩිය පරම ආධ්‍යාත්මික සැපය කරා ළංවීමක් මෙහිදී දැක්ක හැකි ය. මංගල සූත්‍රය නො සිදුණු එක ම ධර්ම න්‍යාය මාර්ගයකින් වෙළී තිබේ.
ත්‍රිවිධ මංගල ශ්‍රී සිද්ධාර්ථ ශාක්යමුනීන්ද්ර සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෙලොව හා පරලොව පිළිබඳ අභිවෘද්ධියට හේතු වූ අතිශ්‍රේෂ්ඨ ධර්ම සමූහය මංගල ධර්ම නමින් හැඳින් වේ. පුරා දොළොස් වසක් මඟුල් නම් මොනවාදැයි සෙවූ දඹදිව වැසියනට බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවෙන් පසුව එතෙක් ඒ පිළිබඳව ඔවුන් දරා සිටි විවිධ අදහස් බිඳී ගියේ ය. එදා ඇතැම් කෙනෙක් “මුලින් දුටු දේ මඟුලැ”යි කීහ. තවෙකෙක් “මුලින් ම ඇසූ දේ මඟුලැ”යි ගත්හ. ඒ මතවල නො පිහිටි ඇතැම්හු “මුලින් ලද සුවඳ හෝ රසය හෝ ස්පර්ශය මංගලය”යි කීහ. මෙසේ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල වශයෙන් මංගල කරුණු පිළිබඳ නානත්වයක් ඉපූළූ, විවිධ මත දැරූ භාරතීයයනට දොළොස් වසක් ඉක්ත්ව ගියේ ය. ඒ තාක් ඔවුහු සිතූහ. සාකච්ඡා කළහ. ඒ ඒ අදහස්වලට විරුද්ධව වාද කළහ. එතෙකින් නො නැවතී දෙවියන් අතරට ද මේ සාකච්ඡාව ගියේ ය. ඔවුහු ද “මංගල කරුණු මොනවාදැ”යි සෙවූහ. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි දේවතාවෙක් “සමස්ත දිව්‍ය මනුෂ්‍යයන් තුළ මංගල කරුණු පිළිබඳව ඇති වී තිබෙන කුහුල දුරුකොට වදාරන ලෙස” අයැදී ය. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනා කොට වදාළේ ඒ අයැදුමෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
මංගල ශබ්දය ‘මංගල’ යනු ඉෂ්ටාර්ථ සූචක පදයකි. ඒ හැර ග්රහභේදය, ශ්රේෂ්ඨාර්ථය, දුර්ගාව, ගෘහ, පතිව්රතාව, පව් නැස්ම ආදිය හා අභිවෘද්ධිය යන විවිධාර්ථයන්හි යෙදෙන මංගල ශබ්දය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කොට වදාරන ලද්දේ ‘අභිවෘද්ධිය’ යන අරුත ඔස්සේ ය. පසු කල එය විග්රහ කළ අටුවා ඇදුරෝ “මං වුච්චති පාපං, තං ගලතීති මංගලං”යි නිරුක්ති දැක්වූහ. ‘මංගල’ යනු පාප සමනයෙන් අභිවෘද්ධියට හේතුවන කරුණු රාශිය යනු ඒ නිරුක්ති අනුව පැහැදිලි ය. මේ සූත්‍රයෙන් අනාවරණය වන කරුණුවලට උත්තම මංගලය යි වදාළ හෙයින් ඉන් ඔබ්බෙහි මංගල නාමයෙන් ව්‍යවහාර කළ හැකි දේ වෙත් නම් ඒ හැම ආරූඪ වශයෙන් මංගල වන නමුත් අර්ථනුගත නො වන්නේ ය. මේ සූත්‍රය එබඳු මඟුල් කරුණු තිස් අටකින් පරිමිත ය.
1, 2, 6 වැනි ගාථාවන්හි කරුණු තුන බැගින් 9 කි. 3, 4, 5, 8, 9, 10 “ “ සතර “ 24 කි. -> 38 7 වැනි ගාථාවෙහි මංගල කරුණු 5 කි.
මංගල සූත්‍රය දෙස එකවරට බලන්නකුට පෙනී යන්නේ එය ස්වප්රධාන වූ වෙන් වෙන් කරුණු තිස් අටක් සංග්‍රහ කළ සූත්‍රයක් වශයෙනි. එහෙත් මුල් ම ශාසනික ප්‍රතිපදාවෙහි පටන් අර්හත් ඵලය දක්වා පවත්වන දේශනා විලාශයක් මෙහි ලා දැක්කහැකි ය. බාලයන් සේවනය නො කළයුතු බවත්, සේවනය කළයුත්තන් දැක්වීමත් මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ශීර්ෂය යි. මිනිසාගේ ජීවිතය අඳුර පහවී විද්‍යාවේ ආලෝකය ලබා සැනසීමට පැමිණියහැකි ක්‍රමය පිළිබඳව අනතුරුව විස්තර වෙයි. අර්හත්වය තෙක් එය ක්රමානුකූල නැඟීමකින් යුක්ත ය. අවසාන මංගල කරුණු කීපයකින් ක්ෂීණාශ්රවයකුගේ පැවැත්ම පිළිබඳව විස්තර වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි ප්රකටව පෙනෙන ආදි, මධ්‍ය, පරියෝසාන කල්යාණතාව මෙහිදී ද පැහැදිලිව දැක්කහැකිය.
මංගල සූත්‍ර භාවය “පිදිය යුත්තන් පිදිය හැක්කේ පණ්ඩිත ජන සේවනය කළහොත් පමණි. මේ කරුණු දෙක සුදුසු ප්‍රදේශයක වාසය කරන බවට මෙන් ම, පෙර පින් ඇති බවට ද සාධක ය. එබඳු අයගේ සිත්සතන් දාන්ත ය, මනා පැවැත්මෙන් යුක්ත ය. එයින් තෘප්ත නො වූ ඔහු තම බහුශ්‍රැත බවත්, ශිල්පයත් ආත්ම දමනය පිණිස යොදයි. හොඳ වචන කියන්නෙක් වේ. ගිහියන් වශයෙන් මව් පිය උපස්ථානයත්, අඹුදරු සංග්‍රහයත් නිසි සේ කෙරේ. දැහැමිව වස්තුව සපයා ගනී. එයින් දන් දෙයි. දහමෙහි හැසිරෙයි. ශක්ති පරිදි නෑයන්ට ද සංග්‍රහ කෙරේ.
නිදොස් කටයුතු ඇති ඔහු පවින් වෙන් වෙයි. මත්පැන් නො බොයි. කුසල ධර්මයන්හි තත්පරවූයේ බුද්ධ, බුද්ධ ශ්‍රාවක, ආචාර්ය්ය උපාධ්‍යායාදීන් කෙරෙහි පැවැත්විය යුතු ගරු බවත්, යටත් පහත් පැවැතුම් ඇති බවත් එළඹ සිටී. යථා ලාභයෙන් සතුටු වෙයි. කළගුණ දන්නකු බවට පැමිණෙයි. සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කරයි. අධිවාසන ක්ෂාන්තිය පෙරදැරිව ඇතිවන කීකරු කම එළඹ සිටී. මෙසේ භික්ෂූන් හමුවීමෙන්, සාකච්ඡා පැවැත්වීමෙන් තපසට බැසගනී.
ඉන්ද්රිය සංවරයෙන් තපසට බැසගත් හේ බඹසර හැසිරෙන්නකු වෙයි. අවසාන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය ලබා නිර්වාණය ප්රත්යක්ෂ කරන්නෙක් ද වේ. ඉන්පසු ඔහුට අටලෝ දහමෙහි නො සැලී සිටීමට හැකි වෙයි. ශෝක රහිත වෙයි. කෙලෙස් ධූලි නැතිවෙයි. සියලු උවදුරු නැතිවෙයි. මෙසේ මංගල සූත්‍රය එක ම ධර්ම වර්ෂාවෙකි.