බෞද්ධයාගේ අත්පොත.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
257
බාගත කිරීම් ගණන :
256
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 129

බෞද්ධයාගේ අත්පොත යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ අත්පොතකි. බෞද්ධයෙකු විසින් තම ආගමික වතාවත් නිවැරදිව හා මහත්ඵල මහානිසංස ලැබෙන පරිදි ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය මූලික කරුණු මෙහි සරල බසින් පැහැදිලි කර දී ඇත. ප්‍රථම මුද්‍රණය 1949 වර්ෂයේදී නිකුත් වී තිබේ.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා අතර තෙරුවන් ගුණ, තිසරණය සමාදන් වීම හා රැකීම, චෛත්‍ය වන්දනාව, උපාසක ගුණ ධර්ම, දස අකුසල් සහ පංචානන්තර්ය පාපකර්ම විස්තරය, ක්ලේශ හා නීවරණ ධර්ම, දාන ශීලාදී දස පුණ්‍ය ක්‍රියා වස්තු ආදී ප්‍රායෝගික බෞද්ධ ජීවිතයට අත්‍යවශ්‍ය කරුණු රැසක් විස්තර වේ.

  • තිසරණය සහ රත්නත්‍රය
  • උපාසකත්වය ගැන දතයුතු කරුණු
  • දශ අකුශලය සහ සුරාපානය
  • පඤ්චානන්තර්‍ය්‍ය කර්ම හා නීවරණ
  • දශපුණ්‍ය ක්‍රියා වස්තු (දානය, ශීලය ඇතුළු)

මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2025 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද හතළිස් පස්වන මුද්‍රණයයි. මුද්‍රණය පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය මගින් සිදු කර ඇත.

ලේකම්ගේ සටහන්....

“සිංහලයෝ බෞද්ධයෝ ය”. සෙනරත් පරණවිතාන ශූරින් තම ‘සිංහලයෝ’ නම් කුඩා ග්‍රන්ථය ආරම්භ කළ වැකිය යි. එවක පුරාවිද්‍යා කොමසාරිස් ලෙස ලක්දිව පැරණි ඉතිහාසය පිරික්සූ සෑම මොහොතක ම රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැන මතු වූ හෙළ බෞද්ධ කලා ශේෂයන්ගෙන් ඔහු ඒ දැනුම තහවුරු කරන්නට ඇත.

පණ්ඩුකාභය රාජ යුගයේ පටන් ම විවිධ අදහන්තන් අප රටෙහි විසූ බවත්, මහින්දාගමනයෙන් පසුවත් විවිධ මතයන්ට රටෙහි ඉඩ තිබූ බවත් අනුරපුර - පොළොන්නරු නටබුන්වලින් හා ඊට පසු ශේෂ වූ කරුණුවලින් අවබෝධ කළ හැකි ය. සිංහලයන් වෙනත් අය සමග ගැටුමකට ගියේ නම් ඒ අනිත් පසින් ජාතිකාභිමානයට එරෙහි වූයේ නම් පමණි. සමහර භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් සහ උගතුන් තමන් විසින් කරන අවභාවිතයන් නිසා අධිකරණයට යොමුවන සැටිත්, ආගමික ගෞරවයට සහ උගත්කමට නිගා දෙමින් ඔවුන් දඬුවම් ලබන සැටිත් දැකීම සංවේගයට කරුණකි.

මේ අභිමානය පිළිබඳ ගැටුම රටේ අවනතිය සඳහා යොමු වූයේ ජාතිය තුළ ම කළුසුද්දන් බෝකිරීමෙනි. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, අධිකරණය, පාලන ක්‍රමය ආදී සියලු ක්ෂේත්‍රයන්හි කිඳා බැස දේශීයත්වයට හිස එසවීමට නුපුළුවන් වන ආකාරයේ පීඩනයක් ඇතිකර තිබීම නිසා මතු පරපුර ද ඒ මත්තේ යාම අවහිර කළ නො හැකි විය. ’56 යේ දරුවන්’ එය වෙනස් කරති යි තැබූ විශ්වාසය, අඩරට සුදු නෙළුම් පිපීමත්, අඳුරේ තවලම් යාමත් නිසා වරද්දා ගත් ඉතිහාසයක් අපට හිමි විය.

තිස් වස් ත්‍රස්තවාදය මානුෂික මෙහෙයුමකින් අවසන් කර රටේ සියලු ජන කොටස්වලට එකතුව රට ගොඩනගන්නට තිබූ අවස්ථාව මගහැර ගිය අප නැවත ‘නව කොරෝනා’ වසංගතය සාර්ථකව මර්දනය කර එක්ව ගොඩනැගෙන්නට තවත් අවස්ථාවක් උදාකරගෙන සිටිමු. රටේ සිටි මුල් ජාතිය වූ සිංහල බෞද්ධයන් හා එක්ව විවිධ ජාතීන් බොහෝ කල් ජීවත් වූ සැටිත්, අගරදගුරු හිමියන් පවා එය පිළිගෙන කථා කළ සැටිත් කල්පනා කර අන්තවාදී නො වී එක්ව කටයුතු කරන්නට සියල්ලන්ට සිත් පහළවේවා! 2025 වර්ෂාරම්භයේදී ක්‍රියාත්මක වූ ‘Clean Sri Lanka’ වැඩසටහන දේශපාලන නාමපුවරුවකින් තොරව රට පුරා සෑම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක වුවහොත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දියුණු ‘ශ්‍රී ලාංකික’ ජාතියක් ගොඩනගා ගැනීම අසීරු නොවේ.

එදා මෙන් ම හෙටත් ඒ සඳහා අත දිගුකරන්නට ‘බෞද්ධයාගේ අත්පොත’ ඔබ හිත සකස්කරනු ඇත. සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි රටක් ඇති කරන්නට සියලු ලාංකිකයන්ට හැකි වේවා!

සෝදුපත් සැසඳීමේදී සහාය වූ මාලනීටත්, පරිගණක වර්ණ සංයෝජනය සමග පොතෙහි නිර්මාණ අගය වැඩිකරන්නට එකතු වූ අරුණ තලගල මහතාටත්, නුගේගොඩ නෙතායා හේවාවිතාරණගේ දියණියට සෙත්පතා වර්ණ සංයෝජනයට අදාළ වියදම් දැරූ රයිගම කසුන් ජයවර්ධන මහතාටත්, මුද්‍රණයෙන් පොත එළිදැක්වූ සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්‍ය්‍යමණ්ඩලයටත් කෘතඥතාව පළ කරමි. නිබඳ මේ සේවය සැලසීමට දහම් සෙවණෙහි මා රැඳවූ මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන්, බොහෝ වගකීම් භාරගෙන කටයුතු කරන පූජ්‍ය කළුතර පදුම හිමිපාණන් ප්‍රමුඛ විනයාලංකාරාරාමස්ථ ස්වාමීන් වහන්සේලා ද කෘතවේදීව සිහිපත් කරමි. ආධාර - අනුග්‍රහ දැක්වූ සියලු සැදැහැවතුන්ගේ සත්පුරුෂ සමාගමය අගය කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 මාර්තු 21 වන දින,
පොකුණුවිටදී ය.

සංඥාපනය

මතු ඵල සඳහා කරන සෑම දෙයකින් ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇතිව කරන තැනැත්තාට ය. කරන දෙය ගැන හොඳ දැනුමක් නැතිව වැඩ කරන්නහුගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිෂ්ඵල වේ. එසේ කරන දෙයකින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නො සරිලන අල්ප ඵලයෙකි. වරදවා කරන ප්‍රතිකාරයෙන් සමහර විට රෝගියා මියයන්නාක් මෙන් නො දැන කරන වැඩවලින් සමහරවිට විපතක් ද සිදු වේ. බුද්ධාගම ඇදහීම වනාහි උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැතිව නො මනා ලෙස ආගම අදහන බෞද්ධයාට නො ලැබී යන්නේ ය.

මෙකල වෙසෙන බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක් ම සෑහෙන පමණට ආගම ධර්මය නො දන්නෝ ය. එ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකිව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝු කොට සිතා නො කර හරිති. සමහරවිට පින ය යන හැඟීමෙන් පව් කරති. පව ය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නො කර හරිති. ඇතැම් බරපතල පව්කම් ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදුවන ලෙස දන් දෙති. නො මනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන සැටියට භාවනා කරති. මනා කොට ආගම නො දැනීම නිසා සමහර කරුණුවලදී සමහරවිට පැවිද්දන් ද නො මග යනු දක්නා ලැබේ.

ආගම සම්බන්ධ කරුණුවලදී බොහෝ බෞද්ධයන් නොයෙක්විට වරදවා ක්‍රියා කරනු දුටු අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහත දී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකිවීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි, අග්‍යයෙන් දතයුතු, නිතර දැන සිටියයුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගතහැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේය. ඒ කරුණු මෙහි පටුන කියවා දතහැකි ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළයුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත්පොත යන නම තබන ලදී.

මෙබඳු පොතකට වන්දනා ගාථා හා පිරිත් ද ඇතුළු වියයුතු නමුත් ඒවා ඇති පොත් රටේ සුලභ බැවින් මෙයට ඒවා ඇතුළු නො කරන ලදී.

මෙයට - ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
2485 නොවැම්බර් මස 18 වෙනි දින
1949
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.