බෝධිපාක්ෂික ධර්ම විස්තරය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
242
බාගත කිරීම් ගණන :
154
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 122

බෝධිපාක්ෂික ධර්ම විස්තරය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ ජයන්ති සමයේ (1955) සම්පාදනය කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. මෙහි විසිදෙවන මුද්‍රණය ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත.

සසර දුකින් මිදී නිවන් දැකීම පිණිස උපකාරී වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව පාඨකයාට වෙහෙසකින් තොරව වටහාගත හැකි වන පරිදි, සංකීර්ණ පද විග්‍රහ හා ව්‍යාකරණ විභාගයන්ගෙන් තොරව, ලිහිල් සිංහල බසින් මේ කෘතිය තුළ විස්තර කර ඇත. සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වෙන වෙනම හඳුන්වා දෙමින් ඒවා ප්‍රායෝගිකව වඩන අයුරුත්, ඉන් ලැබෙන අනුසස් සහ ප්‍රයෝජනත් මෙහි මැනවින් පැහැදිලි කෙරේ.

යෝගාවචර ජීවිතයක් ගත කරමින් භාවනා වඩා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ගිහි පැවිදි සැමට මෙම ග්‍රන්ථය මහඟු මඟපෙන්වීමක් සපයයි.

ලේකම්ගේ සටහන්...

බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන හඳුනා ගන්නට වෙර දරන බොහෝ දෙනා ඒ සඳහා තමන් තුළ ඇති කර ගත යුතු ගුණධර්ම, අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන හැඳුනුමක් නැතිව මංමුලාව කටයුතු කරනු දුටු රේරුකානේ නාහිමියන් අතින් ලියැවුණු බෝධිපාක්ෂික ධර්ම විස්තරය අප මණ්ඩලය නැවත මුද්‍රණය කර ඔබ අතට පත් කරනුයේ සතුටිනි.

නොයෙක් අපල උපද්‍රව දුරුකර ගැනීම අරබයා, ජ්‍යෝතිෂමය පිළියම්, බලි තොවිල්, බෝධි පූජාදිය පවත්වන ජනතාව තම ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් බෝධිපාක්ෂික ධර්ම ක්‍රියාත්මක කරන්නේ නම් මේ ජීවිතයේ පැමිණෙන අපල උපද්‍රවයන් ගෙන් මිදීම පමණක් නොව, ජීවිතය සාර්ථක කරන අනුසස් ඉදිරිපත් වන බව ද, සසර අපායගාමී භයින් මුදවන බව ද කිවමනා නො වේ. හැකියාවන් සම්පූර්ණ කළ පසු එවැන්නකු පරම නිෂ්ඨාව අවබෝධ කරන බව ද අපි විශ්වාස කරමු.

මෙය ලෙහෙසි කරුණක් නොවන නමුදු, ජීවිතයේ ඇති විවිධ දුක් පිළිබඳව හා ඉන් අත් මිදීමේ සහනය පිළිබඳව තේරුම් ගත හැකි නම් අනුගමනය කිරීම දුෂ්කර නොවේ. අප සසර සරන්නේ ඒ ඒ භව (ව්‍යවහාරික ආත්ම) යන්හි පරිහරණය කළ යුතු දෑ ප්‍රයෝජනයට නොගෙන රැස් කිරීමත්, සිතින් බැඳ ගැනීමක් නිසා බව පැහැදිලි වුවහොත් භාණ්ඩ පරිහරණය පිළිබඳ අපේ ආකල්ප මීට වඩා ලිහිල් වන බව පැහැදිලි ය. එසේ වුවහොත්, අපේ ගෙවලත්, අපේ සිත් තුළත් මෙතරම් ‘බර පොදි’ රැස් නොවනු ඇත. ලෝභය හා අරපිරිමැස්ම අතර වෙනස තේරුම් ගතහොත් ‘සත්‍යය’ වැසී ඇති පටලය බිඳී යනු ඇත.

රේරුකානේ නාහිමියන්ගේ පැවිදි දිවියත්, ඒ හා ඇරඹි ශ්‍රී ලංකා ශ්වේජින් නිකායත් 2006 වර්ෂයේදී ශත සංවත්සරය සිහි කළේය. විනය ගරුක සිල්වත් භික්ෂු පරපුරක අවශ්‍යතාව වෙනුවෙන් ඇරඹුණු ශ්වේජින් නිකායේ මුල් සියවස අභිමානයෙන් සිහි කිරීමට හැකි අයුරින් ගෙවී ගියේ ය. බුදුදහම තේරුම් කිරීම සම්බන්ධයෙන් බුද්ධඝෝෂාචාරීන් වහන්සේගේ ඥාතිත්වය සිහි කරන පොත් පෙළක් රේරුකානේ නාහිමියන් අතින් පල විය. සිවුවනක් පිරිසට අනුගමනය කළ හැකි භාවනා පුහුණුවක් කඳුබොඩ කේන්ද්‍රීයව කහටපිටියේ සුමතිපාල නාහිමිපාණන් හා සිසු පරපුරෙන් ව්‍යාප්ත විය. බුදුසමය පවතින තුරා රුවන්වැලි සෑ කොතින් ආලෝකය විහිදුවන චූඩාමාණික්‍යයක් නිකාය නිර්මාතෘ විනයාලංකාර නාහිමිපාණන් අතින් පැලඳුන අතර, කෙලෙස්භරිත කවුරුන් විසින් හෝ ස්වභාවධර්මයා විසින් හෝ එහි මිණිකැට අතුරුදන් කරනලදුව, 2021 පමණේදී මුළු කොතම බිම තබා අලුත් කොතක් නිර්මාණය විය. උන්වහන්සේ අතින් මහනුවර ශ්‍රී දළදා මැඳුරට නව විහාර මන්දිරයක් ඉදිකළත් කර්තෘ අඥාත කෘතියක් සේ එය දළදා මැඳුර අලංකාර කරයි. මේ කාලය තුළ ලෝකහිත වූ නිකායික භික්ෂූන් වහන්සේ අතින් විවිධ ආගමික හා සමාජ මෙහෙවරක් සිදුවිය.

ඒ මෙහෙයවීම මත නිකායික වර්තමාන භික්ෂු පරපුර කටයුතු කරනු පෙනේ. නිකායික මත වාදයන්ගෙන් බැහැරව සියලු සංඝරත්නය සමග කටයුතු කරමින් බුදුදහමේ සහනය සියල්ලන්ට ලබාදීමේ උත්සාහයක උන්වහන්සේලා නිරතව සිටිති. රේරුකානේ නාහිමියන්ගේ “බුදුදහම පැහැදිලි කිරීමේ පොත්” සියලු නිකායික භික්ෂූන් වහන්සේට ගුරුවරුන් සේ පිහිට වෙයි.

එයිනුදු බෝධිපාක්ෂික ධර්ම විස්තරය නීවරණයන්ගෙන් ඈත්ව යෝගාවචර ජීවිතයක් ගත කිරීමට විශේෂ මග පෙන්වීමක් කරයි. එය ජීවිතය සාර්ථක කිරීම සඳහා ගිහි පැවිදි කාටත් එකසේ ප්‍රයෝජනවත් වෙයි. නාහිමියන් අතින් ලියැවුණු මේ පොත් බෞද්ධයන් අතර ප්‍රකට කිරීමේ වගකීම දැරූ පූජ්‍ය ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යාණධම්ම යන ස්වාමීන් වහන්සේලාත් වර්තමාන භාරකාරත්වය දරන පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් අතින් ප්‍රදර්ශනය වූ ගුරු ගෞරවය අමිල වටිනාකමකින් යුක්තය. ඒ වගකීම ඉටු කිරීමේදී සැදැහැවතුන්ගෙන් ලැබෙන නොමඳ අනුග්‍රහයද ප්‍රශංසනීයය. මේ වන විට නාහිමියන් අපවත් වී වසර 26 ක් ගෙවෙයි. ඉංග්‍රීසි ආධිපත්‍යයේ පැවැති අඳුරු යුගයකදී නාහිමියන් ආරම්භ කළ ධර්ම ප්‍රචාරක කටයුතු අද වන විට සාර්ථක වී ඇති අයුරු සතුටට හේතු වේ.

මේ විහාරවංශයෙන් වන ශාසන මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින් කිරිඔරුවේ ධම්මානන්ද නා හිමිපාණන් වහන්සේ ආරම්භ කළ ‘සඳවිමල සෙනසුන’ 2011 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සටහන් කළ හැකි වැදගත් ව්‍යාපෘතියක් වනු ඇත.

සෝදුපත් සැසඳීමට උපකාර වූ ‘මාලිනී’ත්, සම්පූර්ණ පොතෙහි පරිගණක ප්‍රතිශෝධනයක් කළ අරුණ තලගල මහතාත්, එහි වැය බර දැරූ රයිගම කසුන් ජයවර්ධන මහතාත්, ආර්ථික අර්බුදය හමුවේ මනා ලෙස මුද්‍රණය නිමකළ සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතාත් කළ සේවය අගයමින්, ඔබේ අනුග්‍රහය හා පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමි, පූජ්‍ය කළුතර පදුම හිමි ඇතුළු විහාරස්ථ හිමිපාණන් වහන්සේලාගේ සෙවනේ සැනසුමත් මේ කාර්යයෙහි මා පොළඹවන බව සටහන් කරමි.

ආර්ථික කැලඹීමක සාධක ලෙස පොත් මිල ඉහළයාම, ඔබේ ධර්ම රසඥතාවට බාධකයක් නොවීම පිණිස ඔබේ සිත සැකසේවා.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්ද්‍රවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය
2024 පෙබරවාරි මස 01 වන දින
පොකුණුවිට ය.

සංඥාපනය

ලෝකයා විසින් අවිද්‍යාව නිසා සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් සලකා ඇලුම් කරන මේ පඤ්චස්කන්ධය වනාහි මන්දස්වාදයක් ඇති මහා දුඃඛස්කන්ධයෙකි. මහා ආදීනව රාශියකි. නො දිරා පවත්වා ගැනීම සඳහා ආහාර - පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කළත් පඤ්චස්කන්ධය නො නැවතීම දිර දිරා යන්නේ ය. එයින් ලේ මස් අඩු වී නහර ඉල්පී, සම රැලි ගැසී, දුර්වර්ණ වී, කුදු ගැසී, කෙස් රවුළු පැසී, දත් වැටී, විරූපත්වයට පැමිණෙන්නේ ය. සිහි නුවණ හීන වන්නේ ය. ඇස් නො පෙනී යන්නේ ය. කන් නො ඇසී යන්නේ ය. ගඳ දැනීම, රස දැනීම හීන වන්නේ ය. දුබල වී ශරීරය වෙවුලන්නට පටන් ගන්නේ ය. ඇස්වලින් කබ කඳුළු ගලන්නට පටන් ගන්නේ ය. ශරීරයෙන් දුගඳ හමන්නට පටන් ගන්නේ ය.

ක්‍රමයෙන් දිර දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළඳ ගත් සිප ගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුවත් කැමති නො වන්නාහ. දක්නටවත් කැමති නො වන්නාහ. කලින් තමාත්, අන්‍යයනුත් ඇලුම් කර ගෙන සිටි රූප කය එබඳු තත්ත්වයකට පැමිණීම නම් මහ දුකෙකි. මේ ජරා දුක ඇති වීමේ හේතුව කුමක් ද? එය ඇති කරන සතුරා කවරෙක් ද? සංස්කාරයන්ගෙන් අන්‍ය වූ ජරාව ඇති කරන හේතුවක් නැත. එය ඇති කරන අන් සතුරෙක් ද නැත. දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයෙකි. සංස්කාරයක් ඇති වුවහොත් එය නො දිරා නො නවන්නේ ය. ජරාව ඇති වීමේ හේතුවත්, ජරාව ඇති කරන සතුරාත්, මේ පඤ්චස්කන්ධය ම ය. දිරන්නේත් පඤ්චස්කන්ධය ම ය. දිරන බැවිනුත්, දිරීම ඇති කර දෙන සතුරා වන බැවිනුත්, පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නො ව බිය විය යුත්තකි.

මේ ශරීරය අනේකප්‍රකාර රෝගයන් ගේ උත්පත්ති ස්ථානයකි. කොතෙක් පරෙස්සම් කළත් කෙසේ පරෙස්සම් වුවත්, රෝගයෙන් නො මිදිය හැකි ය. මේ ශරීරයෙහි වෙර ඇති මිනිසුන් දෙදෙනකු විසින් කඹයක් පටලවා තද කරන කලෙක මෙන් ද, මිටියකින් ගසන කලෙක, හුලකින් අණින කලෙක මෙන් ද දරුණු වේදනා ඇති වන ශීර්ෂ රෝගයෝ හට ගනිති. හුලක් ගසා කරකවන කලෙක මෙන් මහත් වේදනා ඇති කරන කර්ණ රෝගයෝ ද, දන්ත රෝගයෝ ද හට ගැනෙති. මිරිස් කුඩු ලූ කලෙක, වීදුරු කුඩු ලූ කලෙක මෙන් වේදනා ඇති වන නේත්‍ර රෝගයෝ හට ගැනෙති. කුණු පොල් ගෙඩියකින් වැස්සෙන කුණු දිය සෙයින් දුගඳ සොටු, ලේ සැරව ගලන නාශිකා රෝගයෝ ද හට ගැනෙති. පිහියා වලින් කපන කලෙක මෙන් ද, හුල්වලින් අනින කලෙක මෙන් ද, ගින්නෙන් දවන කලෙක මෙන් ද, වේදනා ඇති කරන රෝගයෝ පපුවේ, බඩේ හට ගනිති.

ශාරීරික සප්තධාතූන් කෙමෙන් ක්ෂය වී යාම ඇති, බොහෝ කල් දුක් විඳ දිවි කෙළවර කරන්නට සිදුවන ක්ෂය රෝගය ය, කන් නාස් ඇඟිලි - අත්වලින් පටන් ගෙන ක්‍රමයෙන් ශරීරය දිරා කුණු වී කැඩී කැඩී යාම ඇති, බොහෝ කල් දුක් විඳින්නට සිදු වන ලාදුරු රෝගය ය, එසේ ම බොහෝ කල් දුක් විඳින්නට සිදු වන වණ, කුෂ්ඨ, පිළිකා රෝගය ය, කයින් අඩක් පණ නැතිව බොහෝ කල් දුක් විඳින්නට වන පක්ෂාඝාත රෝගය ය, සිහිසන් නැති වී තැන තැන වැටෙන අපස්මාර රෝගය ය යනාදි බොහෝ රෝගයෝ ද මේ ශරීරයෙහි හට ගැනෙති. ලෝකයෙහි රෝග හේතු සැටියට සලකන කරුණු ඇත ද, ජලයෙහි ලෑමෙන් කළගල මැටිකැටය සේ දිය නො වන්නාක් මෙන්, රෝග හට ගන්නා ස්වභාවයක් ශරීරයෙහි නැති නම් රෝග හේතූන් සැටියට සලකන දේවල් නිසා ශරීරයෙහි රෝගයෝ නො හට ගන්නාහ. රෝග හටගන්නේ ශරීරයෙහි ඇති රෝග හට ගන්නා ස්වභාවය නිසා ය. එබැවින් සත්‍ය වූ රෝග හේතුවත් රූපස්කන්ධය ම මිස අනිකක් නො වන බවත්, රෝග උපදවන සතුරාත් රූපස්කන්ධය ම මිස අනෙකකු නො වන බවත් කිය යුතු ය.

රෝගයැ යි කියනුයේ ද රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ට ම ය. ව්‍යාධි දුඃඛයේ සත්‍ය හේතුවත් රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය ම ය. රෝග දුඃඛය ගෙන දෙන සතුරාත් මේ ශරීරය ම ය. ශරීරය ම රෝගය වන බැවිනුත්, රෝග හේතුව වන බැවිනුත්, රෝග කාරක සතුරා වන බැවිනුත්, රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරය ඇලුම් කළ යුත්තක් නො ව බිය විය යුත්තකි.

උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන් ම නවත්තාහු නො වෙති. දිරූ පසු ඒවා බිඳී යති. බිඳී යාමය යි කියනුයේ නැති වීම ය. සත්ත්වයාට ජීවිතාන්තය දක්වා ම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදියෙන් නැවත නැවත ශරීරය පෝෂණය කරන්නට සිදු වී ඇත්තේ, ආහාරපානාදියෙන් ඇතිවුණු රූප දිර දිරා බිඳී යන බැවිනි. සැපය ඇති කර ගැනීමට, ප්‍රීතිය ඇති කර ගැනීමට, නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්‍රියා කරන්නට සිදු වී ඇත්තේ ද ලබා ගත් සුවය ලබා ගත් ප්‍රීතිය සැණෙකින් ජරාපත් වී බිඳී යන බැවිනි. වෙහෙසී වියදම් කොට ඇති කර ගන්නා රූප බිඳී බිඳී යාමත්, සැප බිඳී බිඳී යාමත්, ප්‍රීති බිඳී බිඳී යාමත්, මහා දුඃඛයකි. එසේ සංස්කාරයන් ගේ බිඳී බිඳී යාම ඇති බැවින් සත්ත්වයාට එක් භවයක හැම කල්හි ජීවත් වන්නට ද නො ලැබෙන්නේ ය. ජීවත් වීම සඳහා නොයෙක් ආකාරයෙන් උත්සාහ කරද්දී ම ඒ සියල්ල නිෂ්ඵල වී සත්ත්වයාට මරණයට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. ජීවිතයට නො දෙවෙනි කොට ඇලුම් කරන ධන-ධාන්‍ය, පුත්‍ර-භාර්‍ය්‍යාදි ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට ද සිදු වන්නේ ය. ප්‍රිය විප්‍රයෝගය ද සත්ත්වයාට මහා දුඃඛයෙකි. පඤ්චස්කන්ධය දිරන-බිඳෙන-මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණිසත්, සැප ලැබීම පිණිසත්, සත්ත්වයාහට නොයෙක් විට නොයෙක් පව් කම් ද කරන්නට සිදු වේ. ඒවායින් සත්ත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එය සියල්ලට ම මහත් වූ දුක ය. මරණයේ හේතු සැටියට සලකන නොයෙක් කරුණු ඇතත් පඤ්චස්කන්ධයෙහි මැරෙන ස්වභාවය නැති නම් කිසි ම හේතුවකට, කිසි ම සතුරකුට මරණය සිදු කළ නො හැකි ය. මැරෙන ස්වභාවය පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් කිසිවකුට කවර බලයකින් වත් මරණයෙන් නො මිදිය හැකි ය. සත්ත්වයන්ට මරණ දුක්ඛය ඇති වීමේ සත්‍ය වූ හේතුව අනිකක් නොව පඤ්චස්කන්ධය ම ය. මරණ දුඃඛය ඇති කර දෙන සතුරාත් අනිකකු නොව පඤ්චස්කන්ධය ම ය. මැරෙන්නේත් පඤ්චස්කන්ධය ම ය.

නිතර වෙනස් වන දිරන - ගෙවෙන - බිඳෙන - මැරෙන මේ පඤ්චස්කන්ධය මහා දුඃඛයක් වන බැවින් සියල්ලෝ ම දුකින් මිදීමත්, සැපයත් බලාපොරොත්තු වෙති. දුකින් මිදීමටත්, සැපය ලැබීමටත්, මං සොයති. උත්සාහ කරති. දුකින් මිදීමට හා සැපය ලැබීමට සාමාන්‍ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක් ද ඇත්තේ ය. බුදුන් වහන්සේ විසින් ගන්නා ලද මගක් ද ඇත්තේ ය. ඒ දෙ මගින් ලෝකයා විසින් ගෙන තිබෙන මග නම් වෙනස් වන - දිරන - ගෙවෙන - බිඳෙන - මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයට පිළියම් කිරීම හා එසේ නො වනු පිණිස පඤ්චස්කන්ධය ආරක්ෂා කිරීම ය. නො දිරන - නො බිඳෙන - නො මැරෙන පඤ්චස්කන්ධයන් හෝ ලබා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ ගත් මාර්ගය දිරන - බිඳෙන - මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීම ය.

පඤ්චස්කන්ධය නො දිරන, නො ගෙවෙන, ගිලන් නො වන, නො බිඳෙන, නො මැරෙන, ස්වභාවයට පැමිණවීම සිදු නො කළ හැකි වැඩකි. අතීතයෙහි කිසිවකුට කිසි ම බලයකින් එය නො කළ හැකි විය. අනාගතයේදී ද කිසිවකුට කිසි ම බලයකින් එය නො කළ හැකි වන්නේ ය. ඒ සඳහා කරන උත්සාහයක් වේ නම් එය සම්පූර්ණයෙන් ම නිරර්ථක වන්නේ ය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන, පොදු ජනයා ගෙන සිටින ඒ මාර්ග හළ සේක. පඤ්චස්කන්ධයෙන් මිදී නිවනට පැමිණ දුකින් මිදීමේ නො වරදින මග තථාගතයන් වහන්සේ ගත් සේක. දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් තථාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පඤ්චස්කන්ධය නිත්‍ය-ශුභ-සුඛ ස්වභාවයට පැමිණවීමට වෙහෙසීම් වශයෙන් නිෂ්ඵල ව්‍යායාමයක් නො කොට පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදී, පරමසුඛ ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමන්ගේ සම්පූර්ණ උත්සාහය යෙදිය යුතුය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයෙන් මිදී අපාය දුඃඛයෙන් මිදී නිවන් සැපය ලැබීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙන ම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය. අනාගතයෙහි නිවන් දක්නවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්ම වර්ධනය කෙරෙත්වා!!

මේ බුද්ධජයන්ති කාලයේ ධර්මය සෙවීමට - නිවන් සෙවීමට නැමුණු සිත් ඇතියවුන්ගේ සංඛ්‍යාව තරමක් ඉහළ නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම වශයෙන් අප විසින් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. සිංහල කියවිය හැකි කවරකුට වුවත් මේ පොත කියවීමෙන් වැඩි ආයාසයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳව නිවැරදි දැනුමක් ඇති කර ගත හැකි ය.

කියවන්නා වෙහෙසට පත් කරවන, කාරණය තවත් අවුල් කරන, පද විග්‍රහ - ධාතුප්‍රත්‍ය විභාග - පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. මෙහි බෝධි පාක්ෂික ධර්ම සත්තිස වෙන වෙන ම ලිහිල් සිංහල බසින් හඳුන්වා, ඒවායේ විශේෂ විභාගත්, ඒවා වැඩිය යුතු ආකාරයත්, ඒ ඒ ධර්මය වැඩීමෙන් වන ප්‍රයෝජනයත් විස්තර කර ඇත.

ධර්මය ලොවෙහි බැබළේවා!

මීට,
රේරුකානේ චන්දවිමල ස්ථවිර

2499 / 1955 මැයි 30 වෙනි දින
පොකුණුවිට
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.