බෝධි පූජාව.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 118
- බාගත කිරීම් ගණන :
- 274
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 4.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෝධි පූජාව යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ උපදේශාත්මක හා වන්දනා ග්රන්ථයකි. බෝධි පූජාවන්හි නියම අර්ථය, බෝධීන් වහන්සේගේ පූජනීයත්වය, වැඳුම් පිදුම් කරන ආකාරය සහ ඥාන සම්ප්රයුක්තව කුසල් රැස් කරගැනීමේ මග මෙමගින් විස්තර කෙරේ.
කතුවරයාණන් වහන්සේ වයෝවෘද්ධ අවධියේදී (වයස අවුරුදු 81 දී, 1978 වර්ෂයේදී) පොදු ජනයාගේ ඉල්ලීම පරිදි මෙය සම්පාදනය කර ඇති අතර, විවිධ ලෞකික ශාන්තිකර්ම හා අපල උපද්‍රව දුරු කරගනු පිණිස නිවැරදි චේතනාවෙන් යුතුව බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
මෙම විසිතුන්වන මුද්‍රණය 2024 දෙසැම්බර් මස ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.
ලේකම්ගේ සටහන්. . .
ලෝකයේ විශේෂ ලෝකයේ විශේෂ සිදුවීම් සිදුවීම මෙන් ම, විශේෂ පුද්ගලයන් බිහිවීම ද ඉතිහාසය පදනම් කරගත් ඉතිහාසයේ ම අවශ්‍යතා සම්පූර්ණ කිරීම් වශයෙන් ඉටුවිය. නොහොත් ඒ සියල්ල මානව ශිෂ්ටාචාරයේ විකාශනයන් ය. බුදුන් වහන්සේගේ ලොව පහළවීම මෙන් ම, බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහි වූ දර්ශනය ද ඒ සත්‍යයෙන් බැහැර නොයයි.
භාරතයේ බ්‍රාහ්මණ ක්ෂත්රිය කුල අතර තිබූ නිබඳ තරගයෙන් ක්ෂත්රියයන් ජයගත් අවස්ථාවක් ලෙස නිගණ්ඨනාත පුත්‍රයන්ගේ හා බුදුන් වහන්සේගේ පහළවීම සැලකේ. උන්වහන්සේලා විසින් දේශිත ධර්මය ද කලින් වේද ග්රන්ථවලින් ප්රභවය ලැබ විකාශයට පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤං”යි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තය යි උපාදාන කරගෙන සිටි ඇදුරන් වෙතින් ඈත්ව පරම සත්‍යය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකිවූයේ අන් ඇදුරන් විසින් එතෙක් අවබෝධ කරගත් ධර්මය උගෙනීමේ ප්‍රතිඵල වශයෙනි.
‘බුද්ධ’ සංකල්පය මෙන් ම, ‘බෝධි’ සංකල්පය ද බුදුන් වහන්සේට කලින් නිපදවූ අදහස් ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියැවුණේ වේද සාහිත්‍යයේ ය. අස්වත්ථය හෙවත් ඇසතු බෝ රුක සියලු පව් දුරුකරන පූජනීය වස්තුවක් බවට පිළිගෙන තිබුණේ මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයේ පටන් ය. බ්‍රාහ්මණ, උපනිෂද් ග්රන්ථවලින් එහි පූජනීයත්වය වඩාත් වර්ධනය විය.
සියල්ලන්ගේ සැලකීමට පත් රුක් මුලක හිඳ බුදුවීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්චිත බෞද්ධ අරුතක් දීමට බුදුන් වහන්සේ සමත්වූහ.
පළමුව තමන් වහන්සේ විසින් ම නේත්‍ර පූජාවෙන් පූජා කිරීමෙන් ද, පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු පූජනීය චෛත්‍යයක් වශයෙන් ‘ආනන්ද බෝධිය’ නම් කිරීමෙන් ද තම අනුගාමිකයන්ගේ, බෝධිය පිළිබඳ අදහස වෙනසකට පත්කිරීමට බුදුන් වහන්සේට හැකිවිය. සාංචි ස්තූපයේ කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුක යොදාගත් සැටි ද පෙනේ.
එම ඇසතු බෝධීන් වහන්සේ ලක්දිව පිහිටියේ නව සිංහල බෞද්ධ සංස්කෘතියක් ද පිහිටුවා ව්‍යාප්ත කරමිනි. ඒ වනවිට තිබූ විවිධ ඇදහිලි යටපත් කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්මාශෝක අධිරාජ්‍යයන්ගේ ධර්මවිජය පිළිවෙත අනුව දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්වයේ පිහිටුවාගෙන මුළු පාලනතන්ත්‍රය ම වෙනසට පත්කිරීමට සමත් කාර්යමණ්ඩලයක් ලක්දිව තහවුරු වූයේ බෝධි ආරක්ෂක නිලධාරීන් වශයෙනි. ලක්දිව පරිසරය අධ්‍යයනය කිරීමෙන් පසු සැලසුම් සහගත චින්තන විප්ලවයකට මග පෑදූ මහින්දාගමනය, දුමින්දාගමනයෙන් එහි ඵල නෙලා ගත්තේය. ලක්දිව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කර්මාන්ත ව්‍යාප්ත කිරීමට සමත් කුල ශ්‍රේණි රාශියක් ද බෝධියේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබිණ. ඒ අයුරින් පාලන තන්ත්රයත්, ආර්ථික වර්ධනයත් .එකවිට ලබාදුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංඝනීය බලයකි. අෂ්ට ඵලරුහ බෝධි හා දෙතිස් ඵලරුහ බෝධි එදා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රාදේශීය පාලන ඒකකයන්හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේ ය.
බුද්ධපූජාව සඳහා අනුමත චෛත්‍යය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයයි. බෝධියට කරන පූජාව හුදෙක් බෝධිපූජාවක් නොව බුද්ධපූජාවකි. කුශලාකුශල විභාගයේදී චේතනාව වැදගත් තැනක් ගනී. බුදුගුණ පිළිබඳ සිත මෙහෙයා කරන බෝධිපූජාව, බුද්ධපූජා චේතනාමය උසස් ත්‍රිහේතුක කුශලයෙකි. බෝධිපූජාව සාම්ප්‍රදායික වෘක්ෂ වන්දනාවෙන් වෙන් වූයේ ද එහි ඇති බුද්ධපූජාව නිසා ය.
එහෙත් පසුකාලයේ ඇතිවූ බෝධිපූජා විකාශය බුද්ධපූජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැප පතා කරන ශාන්තිකර්ම ස්වරූපයක් ගැනීමත්, බෝගසෙහි කිරි, එහි පත්‍රවල ස්වරූපය ආදි උද්භිද විද්‍යාත්මක ලක්ෂණ, සූර්යරශ්මිය ප්‍රතික්‍රියා කර ඇසුරු කරන්නන්ට බලපාන අන්දම ආදි බාහිර දේ විශ්ලේෂණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීන වී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධිපූජාව ශාන්තිකර්මයක් වශයෙන් සලකා ඊට නැඹුරුවී ඇත්තේ එහි මූලික අරුත වෙනස්වීමෙනි.
අද චෛත්‍යයට, විහාරයට නොගොස් බෝධිපූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝවන බව, සවසක පන්සලට යන විට පෙනේ. ග්‍රහ අපල සඳහා බෝධිපූජා නියමකිරීමත්, යුද්ධය-පවුලේ සාමාජිකයන් විදේශගතවීම ආදි හේතු නිසා ඇතිවන සාංකාව දුරුකර ගෙන සෙත් පැතීමත් වැනි කරුණු ද, පානදුරේ අරියධම්ම හිමියන්ගෙන් පසු ව්‍යාප්තව ගිය බෝධිපූජා වැඩසටහන් ද නියම මගින් ඈත්වන්නට හේතු වූ කරුණු බව පෙනේ.
බෞද්ධයන්ගේ මේ බෝධිපූජා ක්‍රමයට නැඹුරුවීම තුළ විහාරස්ථානවල ද නව බෝධිපූජා, බුද්ධපූජා පිළිවෙතක් ව්‍යාප්ත වනු දක්නා ලැබේ. අටවිසි බෝධිය හා අටවිසි බුදුවරුන් සංකේතවත් නො කළහොත් අද පන්සලකට අඩුවක් බව සිතන තරමට ගිහිපැවිදි දෙපිරිස ම සකස්වී සිටිති. විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින් දේශිත එක ම සත්‍ය දර්ශනයෙන් ඈත්ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත භාණ්ඩ ඇති කෞතුකාගාරයකට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසු ද?
මේ අනුව ක්‍රි.පූ. 6 වන සියවසේදී බුදුන් වහන්සේ හඳුන්වා දුන් බෞද්ධ බෝධිපූජාව වෙනුවට බ්‍රාහ්මණ, උපනිෂද් ග්රන්ථයන්හි වර්ණිත අස්වත්ථපූජා ශාන්තිකර්මයන් නැවත ක්‍රියාත්මක වන බව තේරුම්ගැනීම අපහසු නොවේ.
කුමක් වුව ද සාම්ප්‍රදායික ලක්ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධිපූජාවේ මේ ශාන්තිකර්ම ලක්ෂණ දුටු රේරුකානේ මහනාහිමියෝ යටත්පිරිසෙයින් ඒ ස්වරූපයෙන්වත් මේ පූජාව ඥාන සම්ප්රයුක්තව කිරීමට උපදෙස්දීම සඳහා මේ ‘බෝධි පූජාව’ ලියූහ. “මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධිපූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි”යි උන්වහන්සේ පවසන්නේ ඒ නිසා ය.
බුද්ධාගම ඇසුරෙන් මිථ්‍යාව පැතිරීම අපරාධයකි. බුද්ධාගම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනා ඥානයට ය. බුද්ධදේශනාවේ එන පිරිත් සූත්‍ර එහි ගුණ වැඩීමට අප යොමුකළත් ඒවා ආවැඩීමට යොදාගැනීම බහුල වී ඇත. එවැනි මෙහෙයක් ලබාගත හැකි චිත්තශක්තිය වර්ධනය කළහැක්කේ එහි යථා ස්වරූපය තේරුම්ගෙන කටයුතු කිරීමෙනි. ඒවා නිරුත්සාහයෙන් එන ආනිශංසයන් ය.
බෝධිපූජාව ශාන්තිකර්මයක ස්වරූපයට පත්වීම ගැනත්, පිරිත් නූල් - පිරිත් පැන් ගැන අද තිබෙන අදහස් මිථ්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංසරත්නයේ අවධානය යොමුවිය යුතු ය.
මේ සටහන ලිවීමේ අදහස වූයේ ශාසන ඉතිහාසය ගැන නොදැනීම බුද්ධාගම පවතින ස්වරූපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහා ය. රේරුකානේ නාහිමියන්ගේ පොත්වලින් ධර්මය හරිහැටි තේරුම් ගතහැක්කේ, ඉන් ඵල ලැබියහැක්කේ හරි දැක්මක් තිබුණොත් පමණි ය.
මෙහි දසවන මුද්‍රණයේ වියදම් දරමින් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමති විජේකෝන් යුවලත්, වර්ණ සංයෝජනයේ වියදම් දරමින් රයිගම කසුන් ජයවර්ධන මහතාත් දැමූ ශක්තිමත් පදනම බෝධිපූජාව පොත නිරතුරුව මුද්‍රණයට උපකාරී වෙයි. වර්ණ සංයෝජනයේදී අරුණ තලගල මහතාගේ දැනුම හා කැපවීම පොත ක්‍රමවත් කිරීමට උපයෝගී විය. සිකුරු ප්‍රකාශක ශිහාන් ජයවර්ධන මහතාගේ මුද්‍රණ සහාය පවතින මිල ගණන් අනුව අවම මිලකට පොත ඔබ අතට පත්කිරීමට උපකාරී විය. මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාද කිරිඹඔරුවේ ධම්මානන්ද නාහිමිගේ අධීක්ෂණය හා පූජ්‍ය කලුතර පදුම හිමියන් ප්රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම තුළ නිමල බුදුදහමේ මානසික සුවය හා සසර ගමනේ මගපෙන්වීම ඔබට ලැබේයි. අනුග්‍රාහක සත්පුරුෂ සමාගමෙන් වන සේවාව අටමහකුසලයන් දක්වා වර්ධනය වීමට කියවන වාරයක් පාසා ඔබට සිහිපත් වේවා!
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය.
2024 දෙසැම්බර් 01 වන දින,
පොකුණුවිට දී ය.
සංඥාපනය
මේ බෝධි පූජා යුගයෙකි. පෙර කැරුණු බණ පින්කම් පිරිත් පින්කම් දැන් අඩු ය. දේව පූජාත් අඩු ය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය. සාස්තරකාරයා, කේන්දර බලන්නා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජාව ය. මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, රෝග සුව කර ගැනීමට, ගොවිතැන හරියාමට, නඩුවෙන් බේරීමට, වෙළඳාම දියුණුවීමට, තවත් නොයෙක් දෙයට මෙකල කරන්නේ බෝධි පූජාව ය.
බෝධි පූජා කරතත් එය කරවන, කරන බොහෝ දෙනකුන්ට ඒ ගැන සෑහෙන දැනුමක් නැත. ඇතැම්හු බුදුන්ට වඳින ගාථාව හෝ පාඨය හෝ කියා බෝධියට වඳිති. බුදුන්ට මල් පුදන ගාථාව කියා බෝධියට මල් පුදති. බුදුන්ට පහන් පුදන ගාථාව කියා බෝධියට පහන් පුදති. බෝධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නො ලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් බෝධි යන වචනයේ තේරුම දතයුතු ය. ගසකට ඒ නම ආරූඪ වූයේ කෙසේ ද? ඒ ගසෙහි ඇති පූජනීය භාවය කුමක් ද? ඒ ගසෙහි ඇති බලය කුමක් ද? ඒ ගසට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන අනුසස කුමක් ද? වැඳීම කුමක් ද? කුමකට කරන්නක් ද? එය කරන්නේ කෙසේ ද? පිදීම යනු කුමක් ද? පිදිය යුත්තේ කුමක් ද? පිදිය යුත්තේ කෙසේ ද? යන මේ කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කළ යුතු ය.
බෞද්ධයන් විසින් දත යුතු නොයෙක් කරුණු ගැන අප විසින් පොත් ලියා ඇති මුත් බෝධි පූජාව ගැන පොතක් ලියා නැත. අප වෙත පැමිණියා වූ ද, නොයෙක් තැන්වලදී අපට මුණ ගැසුණා වූ ද අපගේ පොත් කියවූ බොහෝ දෙනෙක් බෝධි පූජාව ගැන ග්රන්ථයක් පිළියෙළ කරන ලෙස අපට ආරාධනා කළහ.
දැනට අප සිටින්නේ අසූ එක් අවුරුදු වයසේ ය. පොත් ලිවීමට වුවමනා සිහිය, ඇස, අත යන මේවා දැන් ඉතා දුබල ය. එබැවින් අපි කලක් ම ලිවීම නවත්වා සිටියෙමු. බොහෝ දෙනකුන්ගේ ඉල්ලීම නිසා හැකි වුවහොත් අවසානය තෙක් ලිවීමෙත්, අපහසු වෙතොත් නවත්වා දැමීමේත් අදහසින් මේ පොත ලිවීම ආරම්භ කෙළෙමු. කෙසේ හෝ මෙයත් ලියැවිණ. මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. ඔවුන්ගේ අදහස් මුදුන් පත්කර ගැනීමේ මග දැක්වීම් වශයෙනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනකුන්ට කලින් නො දැන සිටි බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත. බෝධි පූජාව පිළිබඳ නොයෙක් ශාන්තිකර්ම කරන සැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රුචි ශාන්තිකර්ම තෝරාගෙන ඒවායින් ජනයාට ශාන්තිය සලසා දියහැකි වනු ඇත.
බෝධි පූජාව උසස් කුශලයකි. එයින් ලැබෙන විපාක මේ ග්රන්ථයෙහි දක්වා ඇත. බෝධි පූජාව කුශලයක් වුව ද එය කරන බොහෝ දෙනකුන් ඉන් බලාපොරොත්තු වන්නේ අනාගත භවයන්හි ලැබෙන විපාකයක් නො ව වර්තමාන භවයේ ම යම් කිසිවක් සිදුකර ගැනීම ය. බෝධි පූජාවෙන් වර්තමාන භවයේදී බලාපොරොත්තු වන දෙය ඉටුවන්නට ද පිළිවන. සමහරවිට ඉටු නො වන්නටත් පුළුවන. සංසාරය අතිදීර්ඝ බැවින් බෝධි පූජාවෙන් ලැබෙන ඵලය බලාපොරොත්තු වූවත් නොවූවත් කවදා හෝ ලැබෙන්නට පිළිවන. එය ලැබීමට හෝ නො ලැබීමට බලාපොරොත්තු වීම හෝ නො වීම කරුණක් නො වේ. පව් කරන්නවුන් ඒවා කරන්නේ අපායට යෑමේ බලාපොරොත්තුවකින් නො වේ. එහෙත් ඔවුනට එයින් අපායට යෑමට සිදුවේ. බලාපොරොත්තු නුවුව ද කුශලයෙන් සුගතියට යෑමට සිදුවන බව ඒ න්‍යාය අනුව කියයුතු ය. කිසි පිනක් නො කොට මේ අගනා මනුෂ්‍යාත්මය නිෂ්ඵල කරගන්නා අයට බෝධි පූජාවක් වුව ද කිරීම ඉමහත් යහපතකි.
කුශලය වනාහි ඥාන සම්ප්‍රයුක්ත කුශලය, ඥාන විප්‍රයුක්ත කුශලය යි දෙ පරිදි වේ. ඉහත කී කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කිරීමේදී ඇතිවන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙකි. දැනුමක් නැති ව අනුන් කරන සැටි බලා කරන්නවුන්ට ඇතිවන්නේ ඥාන විප්‍රයුක්ත කුශලයෙකි. එය දුබල කුශලයෙකි. අනාගත භවයේදී එයින් ඇතිවන්නේ ද ඥාන විප්‍රයුක්ත ද්විහේතුක හෝ අහේතුක ප්රතිසන්ධියෙකි. ද්විහේතුක ප්රතිසන්ධියෙන් උපන්නෝ ද්විහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්රතිසන්ධියෙන් උපන්නෝ අහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්රතිසන්ධිය ඇතිවන්නේ වඩාත් දුබල ඥාන විප්‍රයුක්ත කුශලයෙනි. මිනිස්ලොව ඉපද සිටින උත්පත්තියෙන් ම අංගවිකල පුද්ගලයෝ අහේතුක ප්රතිසන්ධිකයෝ ය. ඥාන විප්‍රයුක්ත දුබල කුශලයට අංග සම්පූර්ණ උත්පත්තියක් ලබාදීමට ශක්තියක් නැත. බලවත් ඥාන විප්‍රයුක්ත කුශලය අංග සම්පූර්ණ උත්පත්තියක් ලබාදීමට සමත් වේ. එහෙත් ඔවුහු ඥානය හීන පුද්ගලයෝ ය. ද්විහේතුක අහේතුක පුද්ගලයෝ භාවනා කළ ද, බුදුවරයකු හමුවී දහම් ඇසුව ද, මගපල ලැබීමට, ධ්‍යාන ලැබීමට සමත් නො වෙති. භාවනා කොට දහම් අසා සෝවාන් ආදි මගපල ලැබීමට සමත් වන්නෝ ඥාන සම්ප්‍රයුක්ත කුශලයාගේ විපාක වශයෙන් ලබන ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලැබූ පුද්ගලයෝ ය. ද්විහේතුක, ත්‍රිහේතුක පුද්ගලයන් වෙන්කොට හැඳින ගැනීමට විශේෂ ලකුණක් නම් නැත.
කරන කුසල්වල සම්පූර්ණ ඵලය ලැබෙන්නේ අනාගත භවවලදී ය. වර්තමාන භවයේ ලැබෙන්නේ විපාකවලින් ඉතා සුළු කොටසක් පමණෙකි. කරන කුශලය ඥාන විප්‍රයුක්ත දුබල කුශලයක් වුවහොත් එයින් වර්තමාන භවයේදී කිසි ම ඵලයක් නො ලැබී යන්නට ද පිළිවන. බෝධි පූජාව ඥාන විප්‍රයුක්තව කරන්නවුන්ට එයින් ඔවුන් බලාපොරොත්තු වන වර්තමාන ඵලය නො ලැබී යා හැකි ය.
මේ පොත හොඳින් කියවා, මෙහි ඇති කරුණු හොඳින් තේරුම් ගෙන බෝධි පූජාව කරතහොත් එයින් මෙලොවදී ම බලාපොරොත්තු වන දේ ද ඉටු කරගත හැකිවනු ඇත.
බෝධි පූජාව පමණක් නො ව වෙනත් කුශලයන් ද ඥාන සම්ප්‍රයුක්ත ව කළහැකි වීමට මේ පොත ඔබට පිහිටවනු ඇත. මේ පොත මුද්‍රණයේදී ද අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් සෝදුපත් බැලීම් ආදි සියලු කටයුතු කළ බව සඳහන් කරමු.
සෑම දෙනාගේ ම යහපත් කල්පනා මුදුන් පත් වේවා!
මීට, ලෝවැඩ කැමති,
රේරුකානේ චන්දවිමල
මහානායක ස්ථවිරයෝ ය.
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.
26. 01. 1978