බුද්ධ නීති සංග්‍රහය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2025
- මුද්‍රිත වර්ෂය :
- 2025
- පිටු ගණන :
- 178
- බාගත කිරීම් ගණන :
- 150
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 5.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අනුවාද සහිත බුද්ධ නීති සංග්‍රහය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත, ගිහි-පැවිදි දෙපක්ෂයටම දෙලොව යහපත සලසා ගැනීම පිණිස බුද්ධ දේශනාවෙන් උපුටා ගත් උපදෙස් ඇතුළත් විශිෂ්ට ග්රන්ථයකි. හිතෝපදේශය, පඤ්චතන්ත්රය වැනි අබෞද්ධ නීති ග්‍රන්ථවල අඩංගු දුරුපදේශයන්ගෙන් තොරව, පිරිසිදු බුදුදහම තුළ විසිරී පවත්නා සාදාචාරාත්මක හා ප්‍රායෝගික උපදෙස් එක්තැන් කිරීම මෙහි අරමුණයි.
මෙහි දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, ජාතකපාළිය, ධම්මපදය, උදාන, ඉතිවුත්තක හා සුත්තනිපාත යන පාළි මූලාශ්රයන්ගෙන් උපුටා ගත් ගාථා 550ක් සහ ඒවායේ සරල සිංහල භාවසන්නය (අර්ථය) සවිස්තරව දක්වා ඇත. ජීවිතය සාර්ථක කර ගැනීම, ධනය රැස් කිරීම හා පරිහරණය, මිතුරු සබඳතා, පවුල් ජීවිතය සහ පරලොව සුගතිය සලසා ගැනීම ආදී කරුණු රැසක් මෙහි විවරණය වේ.
- නුවණ ඇතිකර ගතයුතු බව සහ බුදුවරුන්ගේ පණිවුඩය
- පොහොසත්වීමේ හේතු සය හා ධනය රැස් කළයුතු ආකාරය
- දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු අට
- සංග්‍රහ සතර සහ අගති සතර
- මිනිසාගේ විනාශයට හේතු හා ශෝක නො වීමේ හේතු
- ධර්ම චර්යාව හා සැප ගෙනදෙන කරුණු
මෙම පොතේ දහත්වන මුද්‍රණය 2025 සැප්තැම්බර් මස ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් පොකුණුවිටදී ප්‍රකාශයට පත් කර ඇති අතර මුද්‍රණය පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය විසින් සිදු කර ඇත.
ලේකම්ගේ සටහන්. . .
ලෝකයේ පවතින රාජ්‍ය නීති හෝ ආගමික නීති සාමාන්‍යයෙන් භය හෝ භක්තිය දනවයි. එමගින් පාලකයාට හෝ නිර්මාපක දෙවියාට අවනත වන්නේ කිසියම් ආකාරයක දඬුවමකට යටත් වන්නට ඇති අකැමැත්ත නිසාය. එහෙත් බුදුසමයේ එන නීති පුද්ගලයා අවබෝධයට ළංකරයි. සිතට කථා කර දුසිරිතින් මුදවයි. දුසිරිත හා සුසිරිත වෙන් කර ගැනීමේදී ලෝක සම්මතයන් හා බෞද්ධ දර්ශනයේ එන පිළිගැනීම් අතර ගැටුමක් ඇතිකර නොගනී.
‘බුද්ධ’ යනු අවබෝධයයි. අවබෝධය ලැබූ තැනැත්තා ද ‘බුද්ධ’ යි. එබැවින් ප්‍රබුද්ධයන් බිහි කරන මග බුද්ධ නීතිය යි. එය බෝසත් මගයි.
කථා කීමේ ශෛලිය පෙරදිග වැසියන්ගේ එක් උපදෙස් (නීති) කලාවකි. ජාතකපාළි, ධම්මපදපාළි ආදි කථාන්තර මගින් උපදෙස් දුන් තැන්වලින් උපුටා ගෙන රේරුකානේ නාහිමියන් කළ මේ සංග්‍රහය හදවතෙහි සුමුදු සිතිවිලි ගලා යන්නට සලස්වා පුද්ගලයා සුමගට යොමු කරයි.
මෙවැනි තැන් ඇසුරු කොට දරුවන්ගේ මනස පුබුදු කළහැකි නම්, අධ්‍යාපනඥයින් වැදගත් තීරණ ගන්නේ වේ. පෙරදිග ගති සිරිත් අවඥාවෙන් බැහැර කර අපරදිග දියුණුව දුටු දේශපාලනඥයින් හා නිලධාරීන් නිසා අපේ ශික්ෂණය ඇති කළ වැදගත් අධ්‍යාපන අංශ අපෙන් ගිලිහී ගියේය. එකිනෙකා කෙරෙහි ආදර කරුණාවත්, ක්රමික ශික්ෂණයත් ඇති කළ ඉතිහාසය, සාහිත්‍යය හා ආගමික අධ්‍යාපනයත් නූතන විද්‍යා තාක්ෂණික අධ්‍යාපනය සමග සමගාමීව ඒ හා මුසු කොට ගෙන යන්නට හැකි නම් මෙතෙක් අප වල්මත්ව ගිය ගමන නිවැරදි කර ගතහැකිය. යුද්ධය නිසා රටට අහිමි වූ බොහෝ දේ නැවත ළඟා කරගැනීම සඳහා නව පරපුර සකස් කිරීමේ නිවැරදි මාවතට එළඹීමට පාලකයෝ අසමත් වූහ. බලය අවභාවිත කළ ඔවුහු රට දුප්පත් කළහ. ළමා මනස පිබිදෙන, වර්ධනය වන කාලවකවානුවක් තුළ නම්‍යශීලී විෂයයන් මගින් මනස සුවපත් කළහොත් නිවැරදි යහපත් තීරණ ගන්නා අනාගත පාලකයන් බිහි කරගැනීම අපහසු නොවේ.
දේශපාලන නායකත්වයේ සහ අධ්‍යාපන විශාරදයන්ගේ නිවැරදි දැක්ම මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනු දැක්ම ජාතියේ අභිලාශයයි. රට ගොඩනැගිය හැක්කේ සමස්තය දකින පාලකයන්ගෙනි.
මෙවර නැවත වර්ණ සංයෝජනය කර පොත මුද්‍රණය කිරීමට සිදුවූ නිසා නාහිමියන් උපුටාගත් ත්‍රිපිටක මූලාශ්රයන් වඩාත් පැහැදිලිව සොයා යන්නට ඔබට උපකාර වනු පිණිස පාසටහන් යොදා නැවත සංස්කරණය කළෙමු. ඒ සඳහා අරුණ තලගල මහතාගේ වර්ණ සංයෝජන සහායත්, පූජ්‍ය රන්පොකුණගම ධීරානන්ද පොඩි හාමුදුරුවන්ගේ මග පෙන්වීමත් ප්‍රයෝජනවත් විය. සෝදුපත් සැසඳීමේදී මාලනීගෙන් ලැබෙන සහාය ශක්තියකි. වර්ණ සංයෝජනය සඳහා වැය පස දරමින් සහාය වූයේ කසුන් ඉන්දික ජයවර්ධන මහතාගේ මග ගිය හංවැල්ලේ ජේ. හේමමාලී පෙරේරා මහත්මියයි. එසේම මුද්‍රණ කාර්යයේදී සිකුරු ප්‍රකාශක ගිහාන් ජයවර්ධන මහතාගේ හා කාර්ය මණ්ඩලයේ සහායෙන් මනා මුද්‍රණයක් එළිදැක්විණ. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් හා පූජ්‍ය කලුතර පදුම හිමි, පූජ්‍ය කලුතර වනරතන හිමි ඇතුළු විනයාලංකාර පරපුරෙහි සෙවනේ සිට මේ කටයුතු කරන්නට හැකිවීම සතුටකි. මුද්‍රණ වියදම් පියවා ගැනීම පිණිස ඔබ දෙන ශක්තිය බොහෝ දෙනා නිවීමට යොමු කිරීමේ මාර්ගයයි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 සැප්තැම්බර් 04 වන දින
පොකුණුවිටදී ය.
සංඥාපනය
ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතැනකවත් නැත. මිනිසා කොහි සැඟවී සිටියත්, කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයාගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන, මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොය සොයා එන නමුත් මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නො එන්නේ ය. එය ඔහුට පෙනී පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තේ ද නො සිට පළා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයෙක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්මවීම ය, පැමිණියහැකි දුක් වළක්වා ගැනීම ය, නො ලැබූ සම්පත් ලබා ගැනීම ය, ලැබූ සම්පත් නො නැසෙන සේ පවත්වා ගැනීම ය, මරණින් මතු අපාගත නො වී සුගතිගාමී වීම ය යන කරුණු පස සිදුකර ගැනීම ඉතා දුෂ්කර ය. එය සිදුකර ගතහැකි වීමට බොහෝ නුවණ තිබියයුතු ය. නුවණ මද තැනැත්තා දෙලොවින් ම පිරිහෙන්නේ ය. මෙලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේ ය. මිනිසකුට ඒ කරුණු පස සිදුකර ගතහැකි වීමට දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. ඒවාට නීතිය යි කියනු ලැබේ.
උභයලෝකාර්ථය සිදුකර ගතහැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමති සෑම දෙනා විසින් ම නීතිය උගතයුතු ය. එබැවින් පෙර විසූ පණ්ඩිතයෝ නීති ග්රන්ථ නිපදවූහ. අප රටේ පෙර කුලදරුවනට අක්ෂරාභ්යාසය කරවීමට ගත් පොත්පෙළට නවරත්නය, ව්‍යාසකාරය, හිතෝපදේශය, ප්රත්යයශතකය යන පොත් ඇතුළු කර තිබෙන්නේ ද නීති ශාස්ත්‍රය සෑම දෙනා විසින් ම උගතයුතු නිසා ය.
තථාගතයන් වහන්සේ විසින් ද නීතිය ප්‍රකාශ කරන ලද්දේ ය. අන් පණ්ඩිතයන්ගේ නීති ග්‍රන්ථවල දුරුපදේශ ද නැත්තේ නො වේ. ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග්රන්ථයක් වූ හිතෝපදේශයේ ද දුරුපදේශ නැත්තේ නො වේ.
“චිතෞ පරිෂ්වජ්ය විචේතනං පතිං ප්‍රියා හසී යා මුඤ්චති දේහමාත්මනඃ, කෘත්වාපි පාපං ශතලක්ෂමප්යසෞ පතිං ගෘහීත්වා සුරලෝකමාප්නුයාත්”
මේ හිතෝපදේශයේ දැක්වෙන එක් උපදෙසකි. “යම් භාර්‍ය්‍යාවක් මළ සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළඳගෙන ගින්නෙන් දැවී මිය යා නම්, ඕ තොමෝ සියක් ලක්ෂයක් පව් කළ තැනැත්තියක් වුව ද හිමියා ගෙන සුරලොවට යන්නී ය” යනු එහි තේරුම යි. මෙය කොතරම් දුරුපදේශයක් ද?
“පිතා වා යදි වා භ්රාතා - පුත්‍රො වා යදි වා සුහෘත්, ප්රාණච්ඡේදකාරා රාඥා - හන්තව්යා භූතිමිච්ඡතා”.
මෙය ද හිතෝපදේශයේ උපදෙසකි. “පියා හෝ වේවා, සහෝදරයා හෝ වේවා, පුත්‍රයා හෝ වේවා, මිත්‍රයා හෝ වේවා තමාගේ ප්‍රාණය නසන්නෝ රජු විසින් නැසියයුත්තාහු ය”. යනු එහි තේරුම යි. පියා වුව ද මරන්නට කරන මේ අනුශාසනය කොතරම් දුෂ්ට ද?
“ජයෙ ච ලභතෙ ලක්ෂ්මිං - මෘතෙනාපි සුරාඞ්ගනාම්, ක්ෂණවිධ්වංසිනඃ කායඃ - කා චින්තා මරණෙ රණෙ”.
මෙය ද හිතෝපදේශයේ දැක්වුණු ශ්ලෝකයෙකි. යුද කොට දිනන තැනැත්තේ ශ්‍රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව් ලොවට යන බව ද එයින් දැක්විණ. මේ උපදේශයට රැවටී යුද කොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇත් ද?
බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සදුපදේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම බීම, පා සේදීම, මුඛ සේදීම, නෑම, මලමූත්‍ර පහ කිරීම, කෙළ ගැසීම ආදි සුළු කරුණුවලදී පිළිපැදියයුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කියයුතු ය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමාගේ උභයලෝකාර්ථය ම සිදු කර ගන්නේ ය. පරාර්ථය ද සිදු කරන්නේ ය.
බුද්ධ නීතිය උභයලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුව ද, එය එක් තැන් නො වී පාළි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් සෑම දෙනාට ම එයින් ප්‍රයෝජන නො ගතහැකි වී තිබේ. එබැවින් බෞද්ධයෝ ද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගෙනීමට හිතෝපදේශ, පඤ්චතන්ත්රාදි අබෞද්ධ ග්රන්ථ භාවිතයට පටන්ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් උගෙනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපට පෙනුණු බැවින් බුද්ධ නීති සංග්‍රහය නමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ. වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාළි සාහිත්‍යයේ ඇත්තේ ය. ඒ සියල්ල ම එක්තැන් කළහොත් ඉතා විශාල ග්රන්ථයක් වන්නේ ය. ග්‍රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍ය වශයෙන් දේශිත නීති නො ගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන් කොට භාවසන්නයක් ද ලියා මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහි දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, ජාතකපාළිය, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත යන පොත්වලින් උපුටා ගන්නා ලද ගාථා පන්සිය පනසක් (550) ඇත්තේ ය. මේ ග්‍රන්ථය භාවිත කරන තැනැත්තාහට සෑම කටයුත්තකට ම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබියහැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබාගෙන කියවීමට සුදුසු ග්රන්ථයකි. ධර්මකථිකයන් වහන්සේලාට හා අන්‍ය කථිකයන්ට ද, ගුරුවරුන්ට ද ඉතා ප්‍රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගැන්වීමටද යෝග්‍ය පොතකි.
බුදුන් වහන්සේ විසින් එකල පැවති ව්‍යවහාර ක්‍රමයට අනුව දේශිත මේ ගාථාවල ව්‍යවහාර ක්‍රමය අපේ භාෂා ව්‍යවහාර ක්‍රමයට බොහෝ වෙනස් ය. එබැවින් කාරණය පහසුවෙන් තේරෙන සැටියට ඒවාට අපේ භාෂාවෙන් අර්ථ දීමට ඉතා දුෂ්කර ය. ගාථාවට අයත් වචනවල සැටියට ම අර්ථ දුනහොත් සමහර ගාථාවලින් කියන කාරණය තේරුම් ගැනීමට අපහසු වන්නේ ය. ගාථාවේ වචන ගැන නො සලකා කාරණය පහසුවෙන් තේරුම් ගතහැකි වන සැටියට ගාථාවට අර්ථ දුනහොත් අර්ථ වාක්‍යය, ගාථාවේ වචනවලට බොහෝ දුර වන්නේ ය. ඇතැම් ගාථාවලින් කියැවෙන කාරණය පහසුවෙන් තේරුම් ගතහැකි වනුයේ ගාථාවට අයත් සමහර වචන අතහැර අර්ථ දුන් කල්හි ය. සමහර ගාථාවලින් කියැවෙන කාරණය තේරුම් ගැනීමට පහසු වන්නේ ගාථාවේ නැති තවත් වචනත් එක්කොට එයට අර්ථ දුන් කල්හි ය. මේ හැම කරුණක් ම සලකා බලා එක්තරා මධ්‍යම ක්‍රමයකට අප විසින් මේ භාවසන්නය සම්පාදනය කරන ලදී. සමහරවිට මෙහි සදොස් තැන් ද තිබියහැකි ය. මතු මුද්‍රණය කරවන වාරයකදී සකස් කිරීම සඳහා මෙහි යම්කිසි දෝෂස්ථානයක් දුටහොත් අපට දන්වන ලෙස උගතුන්ගෙන් ඉල්ලමි.
මීට,
ලෝකශාසනාර්ථකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
2493/1952 අප්‍රියෙල් 25 වෙනි දින
පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.