පොහොය දිනය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
162
බාගත කිරීම් ගණන :
189
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
6.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 82

පොහොය දිනය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත, පොහෝ දිනයන්හි උපෝසථ ශීලාදී ප්‍රතිපත්ති පිරීමට උපදෙස් දෙන අත්පොතකි. 1966 දී ප්‍රථම වරට මුද්‍රණය කරන ලද මෙම කෘතිය, පොහොය දිනවල සිල් සමාදන් වන සැදැහැවතුන්ට මුළු දවස ඵලදායී ලෙස ගතකිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස සම්පාදනය විය.

උපෝසථ දිනයෙහි සිල් සමාදන් වීම, ශීලය ආවර්ජනා කිරීම, බුද්ධ වන්දනා හා පූජා පැවැත්වීම, භාවනාවල යෙදීම, ධර්ම ශ්‍රවණය හා සාකච්ඡාව මෙන්ම රාත්‍රී කාලයේ ධර්ම සජ්ඣායනා ආදිය ක්‍රමානුකූලව සිදුකිරීම සඳහා කාලසටහනක් මෙහි අන්තර්ගත වේ. භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා නිරතුරුව ලබාගත නොහැකි අවස්ථාවලදී පවා උපාසක උපාසිකාවන්ට ස්වාධීනව සිල්වත් ජීවිතයක් මෙහෙයවීමට මෙය උපකාරී වේ.

මෙම පිටපත 2024 අගෝස්තු මස පොකුණුවිට ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් නිකුත් කරන ලද 26 වන මුද්‍රණයයි.

ලේකම්ගේ සටහන් . . .

සෑම විහාරස්ථානයක ම එකසේ ප්‍රයෝජනවත් පෝදා වැඩසටහනක් ක්‍රියාත්මක නො වීම නිසා සිල් සමාදන්වීම සඳහා වඩාත් හොඳ තැන් සොයා යන බෞද්ධයන් අප කොතෙකුත් දැක ඇත. ඒ නිසා ගමේ පන්සලත් දායකයාත් අතර ඇති විය යුතු සම්බන්ධය තව තවත් දුරස්ථ වේ. නොයෙක් ආකාරයෙන් භේදභින්න ව ගිය සමාජය එකමුතු කිරීමට ඇති සාර්ථක ම මාර්ගයක් නම් පන්සල කේන්ද්‍ර කොට ගිහි පැවිදි සම්බන්ධය යලි තහවුරු කිරීමයි.

සමහර භික්ෂූන් වහන්සේලා මේ දිනය යොදාගෙන ගිහියා දහම් දැනුමින් පෝෂණය කිරීමට හැකි අවස්ථාව මගහැර, ක්‍රමානුකූල දෛනික වැඩසටහනකට යොමු නොවී ම, ගුවන්විදුලි ධර්ම දේශනාවකට සිල්වතුන් යොමු කර තමන් නිදහස් වීම, ගම්බද ගිහියාට ගැඹුරු දහම් කරුණු අනවශ්‍ය යයි තීරණය කර ඒවා පහදා නොදීම වැනි ක්‍රියාදාමයන් නිසා ගිහියා ආකර්ෂණය කරගැනීමේ මාර්ග අතහරිති. පින පිළිබඳව, ගැඹුරු දහම් කරුණු පිළිබඳව සහ ශීලය හා විනය පිළිබඳව සමහර ස්වාමීන් වහන්සේලා තුළ ඇති අඩු දැනුමද ගිහියා පිනෙහි හා නිවනෙහි උදාසීන කරවයි. විවිධ වැඩ සටහන් මගින් ප්‍රචාරය වන සමහර භික්ෂූන් වහන්සේලා ධර්මප්‍රතිරූපකයන් වන විට හා උන්වහන්සේලා වටා පමණක් රොක් වී ධර්මය තේරුම් ගන්නා ගිහියා නිසාද වන්නේ සසුනට හානියකි. ඇදහිය යුතු, රැකිය යුතු ධර්මය ආරක්ෂක මන්ත්‍ර බවට පත්කිරීමට බොහෝ මාධ්‍ය මගින් ක්‍රියා කර ඇත්තේ මේ පසුබිම තුළය. පාරිභෝගික චෛත්‍යයට කරන බුද්ධ පූජාව වෙනම ම බෝධි පූජාවක් බවට පත්කර ගැනීම් ගැනද අප කල්පනා කළ යුතුය.

විසිපස්වන මුද්‍රණයේදී පොතෙහි ඇතුළත් කරුණුවලට අත නොතබා ව්‍යුහයේ වෙනස්කම් ඇතිකරන ලද්දේ පාඨකයාගේ පහසුව පිණිසය. එය සාර්ථකය. ඊට උපස්තම්භකව පොතෙහි පරිගණක වර්ණ සංයෝජනය කර සහාය වූ අරුණ තලගල මහතා මෙවර සංශෝධිත පරිගණක සටහන් යෙදීමටද සහාය විය. සිකුරු ප්‍රින්ටර්ස්හි ශිහාන් ජයවර්ධන මහතාගේ මුද්‍රණ සහායත්, ගරු සභාපති පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් හා පූජ්‍ය කළුතර පදුම, කළුතර වනරතන ස්වාමීන් වහන්සේලා ඇතුළු විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ කැපවීමත් මේ කාර්යයේදී මහත් පිටුබලයකි. සියල්ලන් කෘතඥතාවෙන් සිහිකරමි.

වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මිලගණන් චලනය වීම ගැන කණගාටුව පළකරමු.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රීචන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය.
2024 අගෝස්තු 01 වන දින,
පොකුණුවිට දී ය.

ග්‍රන්ථය හැඳින්වීම - සිල් සමාදන් වන පින්වතුන්ට කරන නිවේදනය

මසකට පොහොය දින සතරක් ඇතත් මේ කල බොහෝ දෙන සිල් සමාදන් වන්නේ, පුර පසළොස්වක පොහොය දිනයෙහි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නො දත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන් ද ලැබිය හැකි නියම ප්‍රයෝජන නො ලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතු ව නිෂ්ඵල කථාවල යෙදීම් ආදියෙන් පොහොය දිනයේ කාලය අපතේ යවති. ඒ බව දුටු සැදැහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්‍රණාලයේ ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි, කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි, ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑ කමින් ආරාධනා කළේ ය. ඔහුගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්‍රන්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදී.

හොඳින් අකුරු කියවිය හැකි පින්වතකුට අනිකකුගේ උපදෙස් නැතිව ද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකි වනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේගේ සම්බන්ධයක් නැති ව අනුරාධපුරාදි පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන් ම ප්‍රයෝජනවත් වනු ඇත. මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන් ම ප්‍රයෝජන ගත හැකි වනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නො හෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතු ය. සීලය ආවර්ජනා කිරීම හා භාවනා ද පොත බලාගෙන කළ හැකි ය. පොත බලා කරන කල්හි කල්යාමෙන් ඒවා පුරුදු වී පොත නො බලා ම කළ හැකි තත්ත්වයට ද පැමිණිය හැකි වනු ඇත.

උපාසක පිරිසක් ඇති තැන්වලදී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවාගෙන වන්දනා කිරීම සුදුසු ය. එහෙත් නිතර ම භික්ෂූන් වහන්සේලාට ඒවා කරදීමට අනවකාශ විය හැකි ය. එබැවින් උපාසක පිරිසේ ම කෙනකු ලවා ඒවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීමට ද උපාසකෝපාසිකාවන් පුරුදු විය යුතු ය. කියවීමේහි සමත් උපාසකෝපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නට ද පුරුදු කර ගත යුතු ය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුශලයක් ද අතිරේක වශයෙන් ලැබේ.

මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ, වන්දනා පූජා දෙක ය. ඔවුන් වන්දනා පූජා ද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇති වන්නේ, මහත්ඵල මහානිසංස නො වන දුබල වූ ඥානවිප්‍රයුක්ත කුසල් ය. ඥානසම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කර ගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කර ගත යුතු ය. සිල්සමාදන් වන පින්වතුන් විශේෂයෙන් ම ඒ දැනුම ඇති කර ගත යුතු ය.

එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් ‘පොහොය දිනය’ නමැති මේ ග්‍රන්ථයට ඇතුළු කළ යුතු ය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්‍යෝපදේශය නමැති ග්‍රන්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථයට ඒවා ඇතුළු නො කරන ලදී. සිල් සමාදන් වන දිනවලදී බණ පොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිත කරන පින්වතුන්ට ඒ අඩුව පිරෙනු ඇත.

රාත්‍රියේ කරන සජ්ඣායනාවල් පොත බලාගෙන කළ යුතු ය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක් කෙනකු විසින් හෝ දෙදෙනකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් අසා සිටිය යුතු ය. එක් අයකුට මුළුකාලයේ ම සජ්ඣායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ඣායනා කළ යුතු ය.

පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්‍රමය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු.

මීට,
ලෝවැඩ කැමති,
රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර
15. 9. 1966
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.

මහා සංඝරත්නය වෙත කරන නිවේදනයයි.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේදී කළ යුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීලසමාදානය සාර්ථක කර දෙන කෙනකු සිටිය යුතු ය. එබඳු කෙනකුගේ සහාය නො ලද හොත් බොහෝ දෙනෙක් ම සිල් සමාදන්වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ, තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවල මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේට ද ඉඩක් නැත. එබැවින් මෙය දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ.

පොහොය දිනය නමැති මේ ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසඳා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළ යුතු වැඩ සියල්ල මෙහි කාල සටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සිල් සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්‍රියා කරන ලෙස යෙදවුවහොත් ඒ ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේ ය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව, කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේ ම කෙනෙකු ලවා හෝ කරවිය හැකි ය. අකුරු කියවිය හැකි කවරෙකුට වුව ද මේ පොතෙන් ඒ වැඩ කළ හැකි ය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීම ද සිල් පිරිසේ කෙනකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකි ය. බණ කිය යුතු වේලාවලදී බණක් වශයෙන් ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසු ය. රාත්‍රි කාලයේ කරන ධර්ම සජ්ඣායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකි ය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගතහොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත්, භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.

රේරුකානේ චන්දවිමල ස්ථවිර