පුණ්‍යෝපදේශය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2025
- මුද්‍රිත වර්ෂය :
- 2025
- පිටු ගණන :
- 258
- බාගත කිරීම් ගණන :
- 141
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 10 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පුණ්‍යෝපදේශය යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ වන්දනා හා පුදපූජා විධි පිළිබඳ උපදේශාත්මක ග්රන්ථයකි. බෞද්ධයන් විසින් සිදුකරන වන්දනා මාන සහ පුදපූජාවන් හුදු ගතානුගතිකත්වයෙන් තොරව, අර්ථය දැන අවබෝධයෙන් යුක්තව ඥානසම්ප්‍රයුක්ත කුසල් බවට පත්කර ගැනීමට මඟපෙන්වීම මෙම කෘතියේ ප්‍රධාන අරමුණයි.
මහියංගන චෛත්‍ය රාජයාණන් වෙත පැවැත්වූ මහා පූජාවක් නිමිත්තෙන් මුලින් රචනා වූ ගාථා හා වන්දනා පාඨ පදනම් කරගනිමින්, පසුකාලීනව විවිධ පූජා විධි, බෝධි-චෛත්‍ය වන්දනා, පිරිත් හා යන්ත්‍ර, ග්‍රහ අපල හා රෝග නිවාරණ ක්‍රම ආදිය ද විස්තර කරමින් මෙම ග්‍රන්ථය සම්පූර්ණ කර ඇත. තෙරුවන් වැඳීම, මල් පහන් පැන් ආදී විවිධ පූජාවන් නිවැරදිව පවත්වන ආකාරයත්, ඒවායේ ආනිශංසත් මෙහි සවිස්තරව දැක්වේ.
මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2025 වර්ෂයේදී පළ කරන ලද විසිහතරවන මුද්‍රණය වන අතර පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කර ඇත.
ලේකම්ගේ සටහන්...
‘පුණ්‍යෝපදේශය’ සහ ‘බෝධි පූජාව’ යන පොත් දෙකම සැදැහැවතුන් කරන පින්කම් ත්‍රිහේතුක කුසල් බවට පත්කිරීමේ අරමුණින් රේරුකානේ චන්දවිමල මහනාහිමියන් ලියූ පොත්ය. සෝවාන් ආදි මාර්ග ඵල ලැබීම සඳහාත්, උසස් පුද්ගලයන් ලෙස උත්පත්තිය ලැබීම සඳහාත් ත්‍රිහේතුක ප්රතිසන්ධියක අවශ්‍යතාව අප කුඩා කල දහම්පාසලේදී බුදුසමය තුළ සාකච්ඡා කෙරෙයි. එවැනි චරිතයන්ට උදාහරණ ලෙස රේරුකානේ නාහිමි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ආදීන් හඳුනා ගතිමු. මෙකලද උපතින්ම එවැනි දක්ෂතා ඇති දරුවන් බිහිවූ අවස්ථා අසන්නට ලැබේ. ආගමික හා සමාජ කටයුතු අවබෝධයෙන්, කැපවීමෙන් හා අවංක චේතනාවෙන් කරන අය ද මේ අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන්ගෙන් යුක්තව නිශ්ශරණාධ්‍යාශයෙන් කටයුතු කරනවිට උසස් උපතක් ලබන බව ‘අපදානපාළි’ ආදි පොත් පරිහරණය කරනවිට පෙනීයයි.
එවැනි ප්‍රබල සිතක් මරණාසන්නයේදී ඉදිරිපත්ව ඒ සිතම ඊළඟ භවයේ ප්රතිසන්ධි සිත වී එම ජීවිතයේ පසුබිම් සිත (භවංග) වීමෙන් ඔහු දක්ෂ පුද්ගලයකු වේ. ඒ නිසාම ඒ සිතට වැටෙන අරමුණු වහා අවබෝධ කරන්නට හැකිවේ.
මේ මගපෙන්වීම පින් කිරීම කෙරෙහිය. නිශ්ශරණාධ්‍යාශයෙන් කරන විවිධ සමාජසේවා, දේශපාලන හා සමූපකාර කටයුතු කෙරෙහිද මේ මූලයන් යොදාගැනීම ගමක්, රටක් දියුණු කිරීමට ඉවහල් වේ.
බුද්ධධර්මය හා බුද්ධචරිතය වෙනස් අර්ථකථනයකට ගෙන යන පිරිසක් කලෙක පටන් රට තුළ ක්‍රියාත්මක වේ. තර්කය සත්‍යයම නොවේ. එසේම උගත්කමම පාණ්ඩිතත්යයද නොවේ. ලෝභ, දෝස, මෝහයන්ගෙන් අගතියට යෑම මේ තාර්කිකයන් තුළද දැකියහැකිය. අප රටෙහි පිරමිඩ් ගණදෙනුවලින් බැටකෑ පිරිස අතර උගත්, උසස් තනතුරු දරන්නෝ බොහෝය. බුදුසමය තුළ ක්‍රියාත්මක වන චින්තන රටාව වෙනස් කිරීම අපහසුය. ජනාධිපතිවරයකු නෙරපා හැරීමට සමත් වූ ජනමාධ්‍යය බෞද්ධ චින්තනය වෙනස් කිරීමට අසමත් වී ඇත. විරෝධතා ධර්ම මතු වී කලක් ගියත්, තවමත් තමන් අසමත් බව එම නිවේදකයන්ම පිළිගන්නා අවස්ථා ඉදිරිපත් වේ.
පුණ්‍යෝපදේශය මුද්‍රණය සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලය වරෙක පොලී රහිත ණය පදනමින් උදව් කළේය. කළුබෝවිල පියදාස වන්නිආරච්චි මහතාද සම්පූර්ණ වැය දරමින් උදව් කළේය. එය පදනම්ව බොහෝ අනුග්රාහකයන්ගේ උපකාරයෙන් පොතේ පැවැත්ම සිදුවෙයි. මෙවර මුද්‍රණයේදී අලුතින්ම වර්ණ සංයෝජනය කරන්නට සිදුවීම නිසා සෝදුපත් සැසඳීමේදී මාලනීගේ සහාය ගැනිණ. වර්ණ සංයෝජනයේදී අරුණ තලගල මහතාගේ දැනුම හා කැපවීමත්, පාදක සටහන් සඳහා මූලාශ්‍ර සැසඳීමේදී සදවිමල සෙනසුන්වාසී පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද හිමියන් හා පූජ්‍ය රත්පොකුණගම ධීරානන්ද පොඩිහාමුදුරුවන් වහන්සේගේ අධිෂ්ඨාන සහගත කැපවීමත්, පොතෙහි අගය වැඩි කරන්නට හේතුවිය. පෙර පරිදිම සිකුරු මුද්‍රණාලයේ ගිහාන් ජයවර්ධන මහතාගේ සේවය මනා මුද්‍රණයක් ලබාගන්නට හේතුවිය. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිගේ අධීක්ෂණයෙන් හා පූජ්‍ය කළුතර පදුම හිමියන්ගේද, සහ විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ සහායයෙන් අරුණ තලගල මහතා සමග හොඳ පොතක් ඉදිරිපත් කරන්නට ලැබීම සතුටකි.
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 අගෝස්තු 27 වන දින, පොකුණුවිට ය.
මේ පොත ලියවුණු සැටි
මේ වනාහි මේ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමි යි කලින් සිතා ලියන ලද පොතක් නො වේ. මෙය ලියැවුණේ මෙසේ ය.
මහියංගන චෛත්‍ය රාජයාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදැහැවත් පිරිසක් මා වෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගි වනු පිණිස එහි යෑමට මට ද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මම ද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගාථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළයුතුව තිබිණ.
දැනට රටේ භාවිත වන “ඉතිපි සෝ භගවා” යනාදි වන්දනා පාඨ ඔවුන්ට කියවුව ද ඒවා නොතේරෙන බැවින් එයින් ඔවුන්ට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නො වේ. තේරුම් සහිතව ඒවා කියවුව ද ඒ පාඨවලට ඇතුළත් ගැඹුරු ගුණ ඔවුන්ට නො වැටහෙන බැවින් එයින් ද ඔවුන්ට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නො වී ය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇතිකර ගතහැකි වන පරිදි පහසුවෙන් තේරුම් ගතහැකි බුදුගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදී. මේ පොතේ මුලට ඇත්තේ ඒ වන්දනා වාක්‍යය ය.
පහන් පූජාව සඳහා දැනට භාවිත වන “ඝනසාරප්ප දිත්තේන” යනාදි ගාථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාර කියනුයේ කපුරුවලට ය. එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රිය ය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාථා දෙකක් රචනා කරන ලදී.
දැනට මල් පූජාව සඳහා භාවිත කරන “වණ්ණ ගන්ධ ගුණෝපේතං” යනාදි ගාථාව ද මට අප්‍රිය ය. පූජා කිරීමේ හොඳ ක්‍රමය යම්කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීම ය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදුගුණයක් නො කියැවේ. තව ද, ඒ ගාථාවෙහි “සන්තතිං” යන වචනයත් තැනට ගැලපෙන්නක් සේ නො පෙනේ. මල් පූජාවට භාවිත කරන “පූජේමි බුද්ධං කුසුමේනනේන” යනාදි ගාථාවෙන් ද යම්කිසි බුද්ධ ගුණයක් නො කියැවේ. එහි “පුප්ඵං මිලායාති යථා ඉදං මේ” යනාදි ගාථාවේ අපරාර්ධයෙන් කියැවෙන්නේ ද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදුගුණ ඇතුළු කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදී.
ආහාර පූජාව සඳහා භාවිත කෙරෙන “අධිවාසේතු නො භන්තේ” යනාදි ගාථාවත් මට කීමට ප්‍රිය නැති ගාථාවෙකි. එහි එක ම භෝජනය පිළිගැනීම සඳහා ‘අධිවාසේතු’, ‘පතිගණ්හාතු’ යි වචන දෙකක් යෙදී තිබීමත්, ‘පරිකප්පිතං’ යන වචනයත් මේ ගාථාව ප්‍රිය නැතිවීමේ හේතුව ය. ‘පරිකප්පිතං’ යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතැමුන් එය හැර “අධිවාසේතු නෝ භන්තේ භෝජනං පරිකප්පියං”යි ද, ඇතැමුන් “අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං”යි ද කියනු ඇසේ. මේ ගාථාව ප්‍රිය නැති බැවින් ආහාර පූජාවට ගාථා ද අලුතෙන් පිළියෙල කරන ලදී.
පැන් පූජා, ගිලන්පස පූජා, සුවඳදුම් පූජා, දැහැත් පූජා සඳහා ද ගාථා අලුතෙන් ම සාදන ලදී. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක් ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහා ද, කොඩි පූජාව සඳහා ද ගාථා දෙකක් රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන් මල් පිදීම කරන බැවින් ඒ සඳහාත්, කිරි ආහාර පුදන බැවින් ඒ සඳහාත් ගාථා රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් චෛත්‍යයන්ට කප්රුක් පූජාවක් කරන බැවින් ඒ සඳහා ද ගාථාවක් රචනා කරන ලදී. මහියංගනයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර, කුඩ, වටාපත්, පාවහන්, ඇඳ පුටු ආදි නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර පිදීමට ගාථා ද පිළියෙල කරන ලදී.
දෙවියන්ට පින් දීමට දැනට භාවිත කරන “එත්තාවතා ච අම්හේහි” යනාදි ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවෙකි. එහි ‘එත්තාවතා’ යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමට ය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වල ය. දානාදි පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින්,
කතං අම්හෙහි’මං පුඤ්ඤං - සබ්බ සම්පත්තිසාධකං, සබ්බේ දේවානුමෝදන්තු - අම්හේ රක්ඛන්තු සබ්බදා
යන ගාථාව පිළියෙල කෙරිණ.
දැන් මියගිය ඥාතීන්ට පින් පැමිණවීමට කියන “ඉදං වෝ ඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ” යන ගාථාර්ධය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නො ව තිරෝකුඩ්ඩ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මියගිය ඥාතීන්ට පින්දීම කළහැකි වුව ද වඩා හොඳින් ඒ කටයුත්ත කළහැකි වීමටත්, අවිශේෂයෙන් මියගිය ඥාතීන්ට පින් දීමටත්, මියගිය මාපිය පුත්රකලත්රාදීන්ට විශේෂයෙන් පින් දියහැකි වීමටත්, ගාථා පෙළක් පිළියෙල කරන ලදී. අනතුරුව ප්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ට පින් දීමට ගාථා ද පිළියෙල කරන ලදී.
මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගි වන්නට නො ලැබිණ. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත්වූයෙන් බෝධි වන්දනා, බෝධි පූජා, චෛත්‍ය වන්දනා, චෛත්‍ය පූජා කිරීමට ගාථා ද සපයන ලදී. එක ම ගාථාවක් කියා බෝධියට, චෛත්‍යයට වැඳ, බුදුනට මල් පහන් පූජා කිරීම ක්රමානුකූල නො වන නිසා, බෝධියට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාථා ද මෙයට එකතු කරන ලදී.
මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථා කියා සීවලී පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට එය ක්‍රමානුකූලව කළහැකි වනු පිණිස එය සඳහා ගාථා පෙළක් ද මෙයට ඇතුළු කරන ලදී.
ගාථා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළවිය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාව ය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් ඵල වන පරිදි කරන්නට නො දනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇතිකර ගතහැකි වන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිදුම් කළයුතු වස්තු ගැනත්, ඒවායේ අනුසස් ගැනත් විස්තරයක් ලිවීම ය. අදහස පහළ වූ පරිදි එය ද කරන ලදී. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය.
ඇතැම්හු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝ ය. ඔවුන් සඳහා හොඳින් කියහැකි පැරණි ගත්කරුවන් කීප දෙනකුගේ රත්නත්‍රය වන්දනා ගාථා ද මෙයට එකතු කරන ලදී.
මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවදී ලබන අනුසස් ම නො ව මෙලොවදී නොයෙක් ආකාර අනුසස් ලබාගතහැකි ය. මෙලොවදී යම් යම් දේ ලබා ගතහැකි වන්දනා ක්‍රම කීපයක් ද මෙයට එකතුකිරීමේ අදහස පහළවීමෙන් එය ද කරන ලදී.
ඒ වන්දනා ක්‍රම භාවිත කරතහොත් ඒවායින් නොයෙක් ප්‍රයෝජන ලබාගත හැකිවනු ඇත. අනතුරුව යෝගාවචරයනට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක්‍රමයක් ද දක්වා ඇත. භාවිත කරතහොත් එයින් යෝගාවචරයනට බොහෝ ප්‍රයෝජන වනු ඇත.
බෞද්ධයෝ රෝග සුව කරගැනීම්, අමනුෂ්‍ය භය දුරුකර ගැනීම්, ග්‍රහ අපල දුරුකර ගැනීම් ආදි කරුණු පිරිතෙන් සිදුකර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදුකර ගතහැකි වනු සඳහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලැබියහැකි වීමට දතයුතු කරුණුත්, තවත් නොයෙක් ප්‍රයෝජන ලැබියහැකි ගාථාත්, බෞද්ධයන් භාවිත කරන යන්ත්‍ර කීපයකුත් මේ ග්රන්ථයට ඇතුළු කර ඇත.
පින උසස් පහත් වන්නේ, අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුව ය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව, වැඳුම් පිදුම් කළයුතු වස්තු ගැන, වැඳුම් පිදුම් කළයුතු ආකාරය ගැන, ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුන්ට එයින් උසස් පිනක් නො ලැබියහැකි ය. උසස් පිනක් ලැබියහැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කරගෙන ක්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කරගතහැකි වනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නො දනිති. මේ පොත කියවුවහොත් ඔබට ඔබේ දැනීමේ අඩුපාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ ද කර ගතහැකි වනු ඇත.
සකල සත්ත්වයෝ සුවපත් වෙත්වා!
ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
26. 10. 1962
පොකුණුවිට
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.