පාරමිතා ප්‍රකරණය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 316
- බාගත කිරීම් ගණන :
- 154
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාරමිතා ප්‍රකරණය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ ග්රන්ථයකි. බුද්ධත්වය, පසේබුද්ධත්වය සහ ශ්‍රාවක බෝධිය (රහත් බව) යන ත්‍රිවිධ බෝධීන්ගෙන් එකකට පැමිණ සසර දුකින් මිදීම සඳහා සම්පූර්ණ කළ යුතු වූ දස පාරමිතාවන් පිළිබඳව ගැඹුරු කරුණු මෙහි සරලව හා පැහැදිලිව විග්රහ කර ඇත.
බොහෝ පාරමිතා ග්‍රන්ථවල සම්මා සම්බෝධි පාරමිතාව පමණක් විස්තර වන නමුත්, මෙම කෘතියෙහි සාමාන්‍ය සැදැහැවතුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ශ්‍රාවක බෝධි පාරමිතාව ද ඇතුළුව ත්‍රිවිධ බෝධීන්ට ම අදාළ පාරමිතා ධර්ම විස්තර කර තිබීම මෙහි විශේෂත්වයකි. එසේම මෛත්‍රී පාරමිතා කථාව තුළ අන්තර්ගත මෛත්‍රී භාවනා විස්තරය ඇතුළු වැදගත් ධර්ම විනිශ්චයන් රැසක් ද මෙහි අඩංගු වේ.
පොතෙහි ප්‍රධාන මාතෘකා අතරට පහත කරුණු ඇතුළත් වේ:
- ත්‍රිවිධ පාරමිතා, පාරමී සම්පාදන කාලය හා අභිනීහාරය
- අභව්‍යස්ථාන අටළොස, බුද්ධභූමි සතර සහ අධ්‍යාශය සය
- ප්‍රත්‍යේක බෝධි හා ශ්‍රාවක බෝධි පාරමිතා විවරණය
- දාන පාරමිතාව ඇතුළු දස පාරමිතාවන්ගේ විස්තර හා ප්‍රභේද
- පාරමිතා සම්පාදනයේ උපාය මාර්ග
මෙම විසිදෙවන මුද්‍රණය (2024 ජනවාරි) ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කර ඇත.
ලේකම්ගේ සටහන්...
බුදු රජාණන් වහන්සේ නොයෙක් දෙනාට ඒ ඒ අය දන්නා තරමින් සහ භාෂාවන් අනුව වැටහෙන සේ දහම් දෙසීමේ හැකියාවෙන් නිපුණ වූ සේක. එසේ ම උන්වහන්සේ නොයෙක් දේ ගැන මනාව දැන සිටි සේක. මේ හැකියාවන් ඇතිවීම, කිසියම් ප්‍රගුණ කිරීමක ප්රතිඵලයකි. එක් ජීවිතයකදී ඇති කර ගන්නා පුහුණුවකින් මෙතරම් හපන් කමක් කළ නොහැකි බව අපට වැටහෙන කරුණකි.
සත්‍ය අවබෝධ කරගන්නා තත්ත්වයන් තුනක් බුදු සමයේ උගන්වයි. බුදු, පසේ බුදු, රහත් යන මේ තත්ත්වයන්ට පත්වීම සඳහා පෙරුම් පිරිය යුතු කාලය ද එකිනෙකට වෙනස් වෙයි. එසේම ප්‍රඥා, ශ්‍රද්ධා, වීර්ය යන මානසික මට්ටම් සමතුලිත කිරීමට යෙදෙන කාලය ද තවදුරටත් වෙනස් වෙයි. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ සිට සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂය දක්වා මේ කාලය දීර්ඝ වෙයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ සත්ත්වයා සසර සයුරෙන් එතෙර කිරීමේ වගකීමේ හා කාර්ය්යභාරයේ ප්‍රමාණය සුළුපටු නොවන බවයි.
මූලික සනිටුහන් කර ගැනීමේ සිට බුදුවීම දක්වා වන දීර්ඝ කාලය පුහුණුවීමේ හා අවශ්‍ය දැනුම රැස්කිරීමේ කාලයයි. හෙවත් පාරමී පුරන කාලයයි. ඕනෑම දෙයක් අත්හැර දැමීමේ හා ඉවසීමේ ගුණයන් පුහුණු කරන අතර ම නොයෙක් දේ ගැන වන මනා දැනුමක් රැස්කිරීම ද මේ කාලය තුළදී සිදුවේ. පුද්ගලානුකූලව කරුණු වටහාදීමේ ශක්තිය මෙහි හරයයි. එමෙන්ම අභිනීහාරයේ සිට දැඩි අධිෂ්ඨානයකින් සිත ප්‍රගුණ කරන්නේ නම් එකම මගක යන භව පරම්පරාවක් සකස් කළහැකි බවද මෙයින් අධ්‍යාහාර වෙයි.
පාරමිතා පිරීමේදී කුශලය උසස් වන ආකාරයෙන් කරන හැටි මේ පොතේ උගන්වයි. දානය එහි මුල් පියවරයි. දානයන් අතුරින් උසස් වන්නේ ධර්ම දානය යි. ධර්මය ලියා තැබීම, දහම් පොත් මුද්‍රණය කිරීමට අනුග්‍රහ දැක්වීම සහ ධර්මය ප්‍රචාරය කිරීමට ගන්නා වෙනත් කටයුතු ධර්ම දානයට ඇතුළත් වෙයි. අටමහකුසල් දැක්වීමේ දී ද “ධම්මස්ස ලේඛනං” යනුවෙන් ධර්මය ලිවීම ඇතුළත් කර තිබේ.
ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ දහම් පොත් නැවත මුද්‍රණය කිරීම මගින් පවත්වා ගෙන යාම අප මණ්ඩලයේ කාර්යය යි. ඉතාමත් සරලව සහ නිරවුල්ව ගැඹුරු දහම් කරුණු විස්තර කර ඇති මේ පොත් කියවා තේරුම් ගැනීම පහසුය. මේ පොත් කියවීමෙන් ගුණගරුක වන, භාවනාමය පින්කමට යොමු වන, පැවිදි බිම සරුකර ගන්නා පුද්ගල සංඛ්‍යාව බොහෝ ය. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් පීඩනයට පත්ව පොත් මුද්‍රණය අපහසුව ඇති මේ යුගයේ ඊට ආධාර කිරීමත්, මුද්‍රණ කඩදාසි මිල ඉහළයාමෙන් පොත් මිල ඉහළයාම තේරුම් ගැනීමත් පාරමිතා සංඛ්‍යාවට ගැනෙන දානයක් වනු ඇති බවද සටහන් කරමු.
මෙම මුද්‍රණයේදී සෝදුපත් සැසඳීම සඳහා මාලනීගේ සහය ලැබිණි. අනුක්‍රමණිකාව පරලෝසැපත් හර්බට් පතිරණ මහතාගේ උත්සාහයකි. පරිගණක අක්ෂර සංයෝජනය අරුණ තලගල මහතාගේ දැනුමින් හා කැපවීමෙන් පෝෂණය විය. රයිගම කසුන් ජයවර්ධන මහතා අක්ෂර සංයෝජනය සඳහා වන වියදම් දරමින් තමන් හා සාලෝහිතයන් පාරමී කුසලයට යොමුකරයි. සිකුරු ප්‍රින්ටර්ස්හි ශිහාන් ජයවර්ධන මහතාගේ මුද්‍රණ සහායයෙන් පොතට යස නිමාවක් ලැබිණි. පූජ්‍යපාද කිරිඹොරුවේ ධම්මානන්ද නාහිමියන් හා පූජ්‍ය කළුතර පදුම හිමියන් ප්රමුඛ විහාරස්ථ ස්වාමින්වහන්සේලාගේ ඇසුරේ කෙරෙන මේ ධර්මදානමය මෙහෙයුමට යොමුවන අනුග්‍රාහක භවතුන් ඇතුළු සැමට මේ උත්සාහය පාරමිතාවක් වේවා! තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2024 ජනවාරි මස 15 වන දින,
පොකුණුවිට ය.
සංඥාපනය
සම්‍යක් සම්බෝධිය ය, ප්රත්යෙක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවකුට සසර දුකින් මිදී නිවනට නො පැමිණියහැකි ය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරියයුතු පාරමිතාවන් සම්පූර්ණ නො කොට කිසිවකුට බෝධිත්‍රයෙන් එකකටවත් නො පැමිණියහැකි ය.
මෙකල ලෝකයේ රහතන් වහන්සේලා ඇත ද? නැත් ද? මෙකල රහත් වියහැකි ද? නො හැකි ද? යන මේවා අද ලෝකයේ බොහෝ දෙනකුන් අතර පවත්නා ප්‍රශ්නයෝ ය. රහත්වීමේ මග දක්වන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලෝකයෙහි රහත්හු නැත යයි ද, රහත් නො වියහැකි යයිද, නො කියහැකි ය. මෙකල පෙර සේ රහතුන් සුලභ නැති බව පමණක් කියහැකි ය. රහත්හු තමන්ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නො වෙති. දුටු විට රහත් බව දැන ගැනීමට ලකුණක් ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනකුන් දුටුවත් හැඳින ගත නො හැකි ය.
කොළඹට යනු කැමතියකු කොළඹට වැටී ඇති මගකට බැස, කොළඹ බලා ඒ මග ගමන් කොට අවසන් කළහොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා, එදින හේ කොළඹ ය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වයේ ය. රහත්වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලෙකදී රහත් බවට නො පැමිණියහැකි යයි කීම යුක්ති යුක්ත නො වන කථාවෙකි. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත්, ශාසනික ප්රතිපත්තියත් කලකට අවලංගු කිරීමෙකි.
රහත්වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතැමෙක් සංක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන් ම ද රහත්වෙති. ඇතැමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමෙන් රහත්වෙති. ඇතැමෙක් පැවිදිවීමට හිස කේ කපන අතරේදීම රහත්වෙති. ඇතැමෙක් පැවිදිව දින ගණනින් රහත්වෙති. ඇතැමෙක් මාස ගණනක් උත්සාහ කිරීමෙන් රහත්වෙති. ඇතැමෙක් වර්ෂ ගණනක් උත්සාහ කිරීමෙන් රහත්වෙති. ඇතැමෙක් මුලු ජීවිත කාලයේ ම දුක් ගෙන ද රහත් නො වෙති.
රහත්වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම් ගතයුත්තේ රහත්වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නො ව, අතීත භවයන්හි පුරන ලද පාරමිතාවකුත් උවමනා බව ය. අතීත භවවලදී රහත්වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කරගෙන සිටියෝ, ඉතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණෙති. වර්තමාන භවයේදී රහත්වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැතියෝ කොතෙක් උත්සාහ කළාහු ද ඒ ජාතියේදීම රහත් නො වෙති. එය නො මෝරූ බීජයක් රෝපණය කොට, කොතෙක් දිය ඉස්සත්, කොතෙක් පෝර කළත් පැළයක් ඇති නො වීම මෙන් දතයුතු ය.
බුදුවරයන් වහන්සේ කෙනකුන් ලොව පහළ වූ කල්හි රහත්වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන්වහන්සේගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කරගෙන වෙසෙන අය අනුක්රමයෙන් රහත්වීමෙන් බුදුසස්න පරණවත් වත් ම රහත්වන්නෝ අඩු වෙති. මේ බුදුසස්නෙහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තේ මෑතකදී නොව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම ය. ඒ බව කස්සප සංයුක්තයෙන් හා භද්දාලි සූත්‍රයෙන් ද දතහැකි ය.
කෝ නු ඛෝ භන්තේ, හේතු කෝ පච්චයෝ යේන පුබ්බේ අප්පතරානි චේව සික්ඛාපදානි අහේසුං බහුතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහිංසු කෝ පන භන්තේ, හේතු කෝ පච්චයෝ යේනේතරහි බහුතරානි චේව සික්ඛාපදානි අප්පතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහන්ති?
මේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේගෙන් විචාළ ප්‍රශ්නයෙකි. මේ ප්රශ්නය ම භද්දාලි තෙරුන් වහන්සේගෙන් ඇසූ බව මජ්ඣිම නිකායේ භද්දාලි සූත්‍රයේ දැක්වේ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පෙර සිකපද තුබූයේ ටිකකි. එහෙත් බොහෝ භික්ෂූහු රහත්වූහ. දැන් බොහෝ සිකපද ඇත්තේ ය. එහෙත් අලුතෙන් රහත්වන්නේ ටික දෙනෙකි. එයට හේතුව කවරේ ද”? යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ප්රශ්නය ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම අලුතෙන් රහත්වන සංඛ්‍යාව අඩු වූ බව මේ ප්‍රශ්නයෙන් පෙනේ. සිකපද වැඩිවීමෙන් වන්නේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තිය අඩුවීම නො ව වැඩිවීම ය. ප්‍රතිපත්තිය වැඩිවී තිබියදී රහත්වීම අඩු වී යාමෙන් එයට වර්තමාන ප්‍රතිපත්තිය හැර තවත් දෙයක් උවමනා බව තේරුම් ගතහැකි ය. ඒ උවමනා දෙය නම් අතීත භවවලදී පිරූ පාරමිතාව ය.
රහත්වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේදී ම අඩුවූයේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත්වී අවසන් වීමෙනි. මේ බුදුසසුන දැන් බොහෝ පැරණි ය. මේ සස්න ඇති වූ මුල් කාලයේ දී ම එක් එක් කෙනා බැගින් ද, සමූහ සමූහ වශයෙන් ද, රහත්වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටුහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇත්නම් ඇත්තේ ඉතා ටික දෙනෙක් ය. ලෝකයෙහි නව රහතුන් දුලබ වීමෙත්, රහත්වන්නවුන් දුලබ වීමෙත් හේතුව එය ය.
මේ භවයේදී උත්සාහ කළහොත් රහත්වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යයි නො කියයුතු ය. බොහෝ සෙයින් අර්හත්වය සඳහා වෙර වඩන්නට - දුක් ගන්නට සිත් වන්නේ තරමක්වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ට ය.
මේ ජාතියේ රහත් වූවත් නො වූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත්හු දැනුදු නැත්තාහු නො වෙති. ඔවුනතර මේ ජාතියේදී ම රහත්වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්, ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදීම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත්වන්නට නුපුළුවන් වූයේ ද, ඒ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියකදී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය.
රහත්වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන, අනාගත බුදුසස්නක් ගැන බලාපොරොත්තු නො වී, මේ ජාතියේදී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් උත්සාහ කළයුතු ය. පැළවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වූව ද ජලය නො ලදහොත්, නො පැළ වී දිරා යන්නාක් මෙන් මේ ජාතියේදී උත්සාහ කළහොත් රහත්වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝ ද උත්සාහ නො කිරීම නිසා රහත් නො වෙති.
වර්තමාන භවයේ දී රහත්වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති, අනාගතයේදී රහත්වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදුකර ගතහැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළයුතු ය. එය කළහැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇතිකර ගතයුතු ය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇතිකර ගතහැකි ය.
පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම වශයෙනි. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනකුන් නිවන් දකින්නේ ද, නිවන් දක්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කෙළෙමු.
මෙය සම්පාදනය කිරීමේදී කාහටත් පහසුවෙන් තේරුම් ගතහැකි වන පරිදි කරුණු විස්තර කිරීමට ද අපි හැකි පමණ උත්සාහ ගතිමු. අන් පාරමිතා පොත්වල ඇති, පාඨකයන්ගේ වෙහෙසට හේතු වන, වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මෙයට ඇතුළු නො කෙළෙමු. පොත මහත් කිරීමට නිෂ්ඵල දේ මෙයට ඇතුළු කොට ද නැත. අප නිතර ම උත්සාහ ගත්තේ පොත හැකි තාක් කුඩා කිරීමට ය. මෙහි තැනින් තැන ඉතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයයන් ඇත්තේ ය. මෛත්‍රී පාරමිතා කථාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි.
මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතර ද සුලභ නැත. මෛත්‍රිය බුද්ධාගමයේ මූලික ධර්මයෙකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත්, එය තේරුම් කර ගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන ලෙසත්, අන්‍යයන්ටත් එය කියා දී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත්, මෙය කියවන පින්වතුන්ගෙන් විශේෂයෙන් ඉල්ලමු.
මෙයට - ශාසනස්ථිතිකමී, රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
2485 / 1949 නොවැම්බර් මස 18 වෙනි දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.
මෙයට - ශාසනස්ථිතිකමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
2485
---- නොවැම්බර් මස 18 වෙනි දින
1949
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.