පටිච්ච සමුප්පාද විවරණය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
272
බාගත කිරීම් ගණන :
209
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 137

පටිච්චසමුප්පාද විවරණය යනු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, බුදුසසුනේ ගැඹුරුම ධර්මයක් ලෙස සැලකෙන ප්‍රතීත්‍යසමුත්පාදය (පටිච්චසමුප්පාදය) සිංහලෙන් විස්තර කරන ග්‍රන්ථයකි. කතුවරයාණන්ගේ සංඥාපනය බු.ව. 2500 (ක්‍රි.ව. 1957) මාර්තු 1 දින ශ්‍රී විනයාලංකාරාරාමයේදී ලියා ඇති අතර, එය සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පංතියේ අටවන දහම් පොත ලෙස නිකුත් වූ බව එහි සඳහන් වේ.

සම්මෝහවිනෝදනී නම් විභංග අටුවාවේ හා විශුද්ධිමාර්ගයේ ඇති පටිච්චසමුප්පාද විස්තරය ක්‍රමානුකූලව ධර්මය උගත් අයට සුදුසු වන බැවින්, ධර්මය පිළිබඳ ක්‍රමානුකූල ඉගෙනුමක් නොලැබූ සාමාන්‍ය ජනතාව සඳහා අටුවා වර්ණනා ක්‍රමය අනුගමනය නොකොට මෙම ග්‍රන්ථය සම්පාදනය කළ බව කතුවරයාණෝ පවසති. ලෝකය හා සත්ත්වයා පිළිබඳ විවිධ මිථ්‍යා දෘෂ්ටීන්ට නොවැටෙන හේතුඵල ක්‍රමය පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

ග්‍රන්ථයේ පූර්ව භාගය අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාදය විස්තර කරන අතර, එය බු.ව. 2492 දී සෝමාවතී මුණසිංහ මැතිනියගේ ආරාධනාවෙන් ලියා ධර්මදාන වශයෙන් මුද්‍රණය කරන ලදී. ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදයෙන් දැක්වෙන නිවන, නිර්වාණය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර කීපයක් විස්තර කිරීම මගින් පැහැදිලි කර ඇත.

මෙය ශ්‍රී චන්ද්‍රවිමල ධම්පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) විසින් 2025 සැප්තැම්බර් මාසයේ පළ කළ විසිහත්වන මුද්‍රණයයි (ප්‍රථම මුද්‍රණය 1970 පෙබරවාරි ලෙස මුද්‍රණ විස්තරයේ දැක්වේ). මුද්‍රණය සිකුරු ප්‍රින්ටර්ස්, පොල්ගස්ඕවිට. ISBN 955-8663-05-0. මණ්ඩලයේ ගරු ලේකම් සී. තනිප්පුලි ආරච්චි මහතාගේ සටහනක් ද මෙහි ඇතුළත් ය.

ලේකම්ගේ සටහන්...

බුදුසමයේ වහා තේරුම් ගැනීම අපහසු කරුණු අතර ‘පටිච්ච සමුප්පාදය’ එක් මාතෘකාවකි. අභිධර්ම ප්‍රකරණ අතර ‘පට්ඨාන පකරණය’ මේ ගැඹුරු කරුණ ප්‍රත්‍යය 24 ක් මගින් විග්‍රහ කරයි. බුද්ධත්වයෙන් සිවුවන සතියේ මේ ගැඹුරු කරුණ වේගයෙන් හා වඩාත් සංකීර්ණව සිතීම් වශයෙන් බුදුසිරුරෙන් ප්‍රභාව විහිදුණු බව පැවසේ.

ප්‍රතීත්‍ය > පටිච්ච වන භාෂා රීතිය මගහැර පටි+ඉච්ඡ = පටිච්ඡ ලෙස විග්‍රහ කරන ධර්මදේශනා ජනමාධ්‍යයෙන් ප්‍රචාරය වේ. මීට පෙරද යෝගාවචර ස්වාමීන් වහන්සේ නමක් වෙනත් අකාරයෙන් පටිච්ච සමුප්පාදාංග විග්‍රහ කොට ඒවා මේ පොතට ඇතුළත් කරන්නට යෝජනා කළහ.

මේ පද විග්‍රහයන් බෞද්ධයාට අරුමයක් නොවේ. අටුවා හා ටීකා සම්ප්‍රදාය බුදුන් වහන්සේගෙන් ඇරඹී බෞද්ධ චින්තන ක්‍රමය ඉදිරියට ගෙනෙයි. පවතින අටුවා අතර හෙළටුවාවල ආ අදහස් සැළකිල්ලට භාජන වූ අයුරු සමහර සඳහන්වලින් පෙනෙයි. උසස් තත්ත්වයනට පත්වීම වහා කළහැකි අය දුලබය. එහෙත් සියල්ලන්ට නිවැරදි මගක් ඔස්සේ පෙරුම්පුරා ඒ තත්ත්වයනට පත්වීමේ ඉවසීම බුදුසමය මගින් ප්‍රගුණ කරයි. එසේ කල්ප අසංඛෙය්‍ය ගණනක් පෙරුම් පිරීමෙන් උසස් තත්ත්වයනට පත්වීමට හැකි බව ගමෙහි සිල්ගන්නා උපාසිකාව පවා දන්නා කරුණකි.

සෝදුපත් සැසඳීමේදී මාලනීගෙන් ලද සහායත්, වර්ණ සංයෝජනයේදී තම කාර්යශක්තියටත් ඔබ්බට යමින්, ශාස්ත්‍රීය හා තාක්‍ෂණික දැනුම මනා ලෙස යොදාගනිමින් පොත සකස්කර ගැනීමට වූ අරුණ තලගල මහතාගේ කැපවීමත්, ක්‍ෂේත්‍රයේ සොයා බලා අවම මිලකට පොත් මුද්‍රණය කරන්නට වෙහෙස, වියදම නොබලා සැදැහැයෙන් කටයුතු කළ සිකුරු ප්‍රකාශන ආයතනයේ ගිහාන් ජයවර්ධන මහතාගේ සේවයත්, කාලීනව වැඩිවන වර්ණසංයෝජන වියදම් දැරූ රයිගම කසුන් ජයවර්ධන මහතාගේ ශ්‍රද්ධාවත් අගයා පින්දෙමි. නිබඳ අවධානය යොමුකරමින් මණ්ඩලයේ කාර්යක්‍ෂමතාව රකින පූජ්‍යපාද කිරිඹරුවේ ධම්මානන්ද නාහිමියන් සහ කුදු මහත් කටයුතු භාරගෙන කටයුතු කරන කලුතර පදුම හිමියන් ප්‍රමුඛ විහාරස්ථ හිමිපාණන් වහන්සේලාත්, ආර්ථික වශයෙන් පීඩනයට පත්වී රට වැටුණු අවස්ථාවේ ආධාර අනුබල දෙමින් හා වැඩි වූ මිල ඉවසා පොත් මිලදී ගෙන කියවූ පාඨක සමූහයත් ශාසනාලයැතිව සිහිකරමි. වහා හේතු ඵල න්‍යාය අවබෝධ කර හේතු නිරෝධයට සියල්ලෝ සමත් වෙත්වා!

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය; 2025 අගෝස්තු 10 වන දින, පොකුණුවිටදී ය.

සංඥාපනය

ලොවුතුරා බුදුබවට පැමිණෙන්නා වූ සකල මහා බෝධිසත්ත්වයන් ම ආනාපාන චතුර්ථධ්‍යානයට සමවැදී, නුවණ දියුණු - තියුණු කොට ගෙන, එසේ තියුණු කරගත් නුවණ ප්‍රතීත්‍යසමුත්පාදධර්මයට යොමු කොට එය අනුලෝම - ප්‍රතිලෝම වශයෙන් සම්මර්ශනය කොට සංසාර චක්‍රයේ සැටි නිවැරදි ලෙස තේරුම් ගෙන, අර්හත්මාර්ග ඥානය උපදවා සංසාර ප්‍රවෘත්තියට හේතු වන අවිද්‍යා - තෘෂ්ණා ප්‍රධාන එක්දහස් පන්සියයක් කෙලෙස් සතුරන්, මතු කිසි කලෙක නැඟී නො එන පරිදි සම්පූර්ණයෙන් නසා ලොවුතුරා බුදුබවට පැමිණෙන බව “සබ්බ බෝධිසත්තාහි ආනාපානචතුත්ථජ්ඣානතො වුට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඕතාරෙත්වා තං අනුලෝම-පටිලෝමං සම්මසිත්වා බුද්ධා හොන්ති” යනුවෙන් සංයුත්තනිකායට්ඨකථාවෙහි දක්වා තිබේ. මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ලොවුතුරා බුදුබවට පැමිණි පසු ද උන්වහන්සේලා නිතර සිහිකිරීම් වශයෙන් භාවිත කෙරෙති.

අප බුදුරජාණන් වහන්සේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය සම්මර්ශනය කොට පැමිණ වදළ අර්හත්ඵල සමාපත්තියට සමවැදී බෝමුල ඒ අස්නෙහි ම සතියක් වැඩ සිට ඒ සමාපත්තියෙන් නැගී, ප්‍රථමයෙන් කරන්නට යෙදුණේ ද ප්‍රතීත්‍යසමුත්පාදය සිහිකිරීම ම ය. උන්වහන්සේ බුදුවීමෙන් සත්වනද රාත්‍රියේ ප්‍රථමයාමය අනුලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කිරීමෙනුත්, මධ්‍යයාමය ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කිරීමෙනුත්, පශ්චිමයාමය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කිරීමෙනුත් ගතකළ බව උදාන පාළියේ දක්වා තිබේ. මෙසේ ලොවුතුරා බුදුබවට පැමිණීමට උපකාර වන්නාවූත්, ලොවුතුරා බුදුවරයන් වහන්සේලා නො හැර භාවිත කරන්නාවූත් ධර්මයක් වන බැවින් මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුසස්නෙහි උසස් ධර්මයක් බව කියයුතු ය. ඉතා උසස් ධර්මයක් වූ මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ඉතා ගැඹුරු ය. එය මහා බෝධිසත්ත්වයන් හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන් හැර, අන්කිසිවකු ස්වශක්තියෙන් නිරවුල් කර තේරුම්කර ගැනීමට සමත් නො වන බව “ඨපෙත්වා පන ද්වේ බෝධිසත්තෙ අඤ්ඤෙ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි” යනුවෙන් මහානිදන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ.

ප්‍රතීත්‍යසමුත්පාද සංඛ්‍යාත මේ හේතුඵල ධර්මය සොයා- ගැනීමේ දුෂ්කරත්වය නිසා ම බුදුසසුනේ පිහිටෙන් තොරව ස්වශක්තියෙන් ම ලෝ තතු සෙවූවෝ නොයෙක් අයුරින් නො මග ගියහ. ඇතමෙක් “ලෝකයත් සත්ත්වයාත් දෙවියකු විසින් මවන ලද්දේය. මේ සත්ත්වයෝ ඒ මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි සැපදුක් ලබන්නාහ. මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි ම සත්ත්වයෝ මරණින් මතු සුගතියට හෝ දුගතියට යන්නාහ” යි ගත්හ. ඇතමෙක් “මැවුම්කරුවකු නැතිව පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන ධාතුන්ගෙන් සත්ත්වයා ඇතිවූයේය”යි ගත්හ. ඇතමෙක් “ආත්මයත් ශරීරයත් එක ය”යි ගත්හ. ඇතමෙක් “ආත්මය අනිකෙක, ශරීරය අනිකකැ”යි ගත්හ.

ආත්මයත් ශරීරයත් එකයයි ගත්තෝ “ශරීරය විනාශ වීමෙන් ආත්මයත් විනාශ වන්නේය, එබැවින් මරණින් මතු සත්ත්වයා නූපදින්නේ ය යි ද, පින් පව්වලින් සත්ත්වයාට වන දෙයක් නැත්තේ ය” යි ද කියති. ශරීරය අනිකෙක ආත්මය අනිකෙකැයි ගත්තෝ “ශරීරය සේ ආත්මය නැසෙන දෙයක් නො වේ. ආත්මය කවදවත් නො මැරෙන්නේ ය. ඒ ආත්මය ශරීරය බිඳෙන කල්හි කුඩුවකින් පක්ෂියකු බැහැර යන්නාක් මෙන් පුරාණ ශරීරයෙන් බැහැරව අලුත් ශරීරයකට යන්නේ ය” යි කියති.

ඇතැමෙක් “පෙර කළ පින් පව් අනුව ම සත්ත්වයෝ සැප දුක් ලබති” යි ගත්හ. ඇතමෙක් “කර්මවිපාකය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කෙරෙති”. ඇතමෙක් “පින් පව් කළ තැනැත්තා ම එහි විපාකය විඳී ය”යි ගත්හ. ඇතමෙක් “අනිකකු කළ කර්මයේ ඵලය අනිකෙක් විඳී ය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයේත් වී ය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයෙහි නො වූයේ ය, අලුතෙන් ඇති වූවෙකැ”යි ගත්හ.

තථාගතයන් වහන්සේගේ ප්‍රතීත්‍යසමුත්පාද දේශනය වනාහි මෙහි කී නොකී එකම දෘෂ්ටියකටවත් නො වැටෙන හේතුඵල ක්‍රමයක් දක්වෙන දේශනයෙකි. ඒ හේතුඵල ධර්මය සොයාගන්නට නුපුළුවන්වීම නිසා මෙසේ සත්ත්වයන් නොයෙක් දෘෂ්ටි ගෙන අවුලෙන් අවුලට පත්ව, නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවන මේ සංසාරය ඉක්මවිය නො හැකිව දුකෙහි ම ගැලී ඉන්නා බව “එතස්ස ආනන්ද, ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් මහානිදන සූත්‍රයෙහි වදරා තිබේ.

මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය දන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නො මිදේ. එබැවින් දුකින් මිදීම බලාපොරොත්තුවන සැමදෙනා විසින් ම බුදුසස්නෙහි ඉතා උසස් තැනක් ගන්නා මේ ප්‍රතීත්‍ය- සමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකර ගැනීමට උත්සාහ කළයුතු ය. මේ උසස් ධර්මය දත හැක්කේ ද බුද්ධෝත්පාද කාලයෙහි ම ය. බුද්ධශුන්‍ය කාලවලදී මේ ධර්මය ඇති බවවත් දැන ගැනීමට ක්‍රමයක් නැත. දැනට පැමිණ ඇත්තේ මේ උසස් ධර්මය දැන ගැනීමට, ඉගෙන ගැනීමට ඉඩ ඇති යහපත් කාලයකි.

එහෙත් දැනට ඇති බෞද්ධයන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ම මේ උසස් ධර්මය ගැන කිසිවක් දන්නෝ නො වෙති. එබැවින් ඔවුහු තමන් ලබා සිටින මේ උත්තම බුද්ධෝත්පාදක්ෂණයෙන් ගන්නට ඇති උසස් ප්‍රයෝජනය නො ලබති. බෞද්ධයම්හ යි ප්‍රතිඥාකර ගෙන ඉන්නා අයගෙන් ඇතමෙක් මේ ධර්මය නො දන්නා නිසා ම “මරණින් මතු ඉපදීමක් නැත, පින් පව්වල විපාකයක් නැත” යනාදීන් මිථ්‍යා දෘෂ්ටියට බැස සිටිති. ඒ තත්ත්වයට පැමිණ සිටින පැවිද්දෝ ද නැත්තාහු නො වෙති. ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය නො දැනීම නිසා නො මගට වැටී ඉන්නා ජනයාගේ යහපත සඳහා අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

පාළි පොත්වලින් පටිච්චසමුප්පාදය පිළිබඳ විස්තරයක් ඇත්තේ සම්මෝහවිනෝදනී නම් වූ විභංග අටුවාවෙහි හා විශුද්ධිමාර්ගයෙහිත් ය. ඒ පොත් දෙක්හි එන පටිච්චසමුප්පාද විස්තරය එකිනෙකට වැඩි වෙනසක් නැත. ඒ පොත්වල එන පටිච්චසමුප්පාද විස්තරය ඉතා වැදගත්ය. ඒවායේ පටිච්චසමුප්පාදය විස්තර කර තිබෙන්නේ ක්‍රමානුකූලව ධර්මය ඉගෙන ගන්නා වූ ද, ඉගෙන ගත්තා වූ ද තැනැත්තන්ට සුදුසු වන පරිදි ය. මෙකල පවත්නා අධ්‍යාපනයේ හැටියට පාළි පොත් හත අටකින් කොටස් පමණක් උගෙනීම ලැබුවන්ටත්, ධර්මය පිළිබඳ උගෙනීමක් නො ලැබූ සාමාන්‍ය ජනයාටත්, ඉහත කී පොත් දෙකේ එන ප්‍රතීත්‍යසමුත්පාද වර්ණනාවෙන් ප්‍රයෝජනයක් නො ලැබියහැකි ය. රසයක් නො ලැබියහැකි ය. අප විසින් මේ පටිච්චසමුප්පාද විවරණය සම්පාදනය කරන ලද්දේ ධර්මය පිළිබඳ ක්‍රමානුකූල ඉගෙනුමක් ලබා නැති සාමාන්‍ය ජනතාව දෙස බලාගෙන ය. එබැවින් අටුවාවල එන ප්‍රතීත්‍යසමුත්පාද වර්ණනා ක්‍රමය අනුගමනය නො කොට, අපට වැටහෙන පරිද්දෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

සිංහලෙන් පටිච්චසමුප්පාදය විස්තර කර ඇති පොත් කීපයක් අපට කියවන්නට ලැබිණ. ඒ පොත් අප සිත් නො ගත් බැවින් පටිච්චසමුප්පාද විවරණය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමට අදහස් කෙළෙමු. අතිශයින් ගැඹුරු වූ මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය, කියවන්නවුන්ට තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ග්‍රන්ථයක් සම්පාදනය කිරීම පහසු වැඩක් නො වේ. අඩුපාඩුවක් වරදක් ඉතිරි නො වන පරිදි මේ ගැඹුරු ධර්මය විස්තර කිරීමට සමත් බවක් අපට නැත. අප විසින් මෙය කරන ලද්දේ “මහජනයාට තේරුම් ගතහැකි වන පරිද්දෙන් සැපයූ පටිච්චසමුප්පාද වර්ණනාවක් කොහෙත් ම නැතුවාට වඩා මේ පොතවත් තිබීම හොඳ ය” යන අදහසිනි.

අනුලෝම - ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනා දෙකින් වඩාත් ගැඹුරු ධර්මය වන්නේ ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනය ය. එයින් දක්වෙන්නේ නිවන ය. පෘථග්ජනයන්ට අවිෂය වූ ඒ නිවන අපගේ අදහසේ හැටියට විස්තර කරනවාට වඩා නිවන පිළිබඳව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම දැක්වීම් වශයෙන් නිර්වාණය විස්තර කිරීම වඩා හොඳ ක්‍රමය වන බැවින් තථාගතයන් වහන්සේ විසින් නිර්වාණය සම්බන්ධයෙන් වදළ සූත්‍ර කීපයක් මෙහි විස්තර කර ඇත. ඒවා කියවීමෙන් නිර්වාණ තත්ත්වයත් බොහෝ දුරට තේරුම් ගතහැකි වනු ඇත.

මේ ග්‍රන්ථයෙහි අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාදය විස්තර කරන පූර්ව භාගය අප විසින් ලියන ලදුයේ ලක්දිව අභිධර්මය උගත් කාන්තාවක් වන කොළඹ හැව්ලොක් ටවුන්හි ලෙයාර්ඩ් මාවතෙහි අංක 18 දරණ මන්දිරයෙහි වෙසෙන සෝමාවතී මුණසිංහ මැතිනියගේ ආරාධනාවෙන් බුද්ධවර්ෂයෙන් 2492 වැන්නෙහිදී ය. ඒ කොටස ඇගේ වියදමින් ඒ කාලයේදී මුද්‍රණය කරවා ධර්මදාන වශයෙන් බෙදා දෙන ලදී. දෙදහස් පන්සිය වැනි වසට කලින් මේ පොත සම්පූර්ණකොට මුද්‍රණය කරවන බලාපොරොත්තුවෙන් සිටි මුත් පැමිණියා වූ යම් යම් අපහසුකම් නිසා බලාපොරොත්තු කාලයේදී මෙය කරන්නට නො ලැබිණ. නොයෙක් අපහසුකම් මධ්‍යයේ අප ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ බුද්ධ ජයන්ති වර්ෂය තුළදී ම මේ ග්‍රන්ථයත් මහජනයා අතට පැමිණවිය හැකි විය.

මේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පංතියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම්පොත් පෙළ අවසන් කරනු ලැබේ. කිසි ඝෝෂාවක් නො කොට, කිසිවකුගෙන් ආධාරයක් නො ගෙන, අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්මපුස්තක ප්‍රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සාර්ථක වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු. අපගේ මේ ධර්මපුස්තක ප්‍රචාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනාගේ සියලු යහපත් වැඩ සාර්ථක වේවා යි පතමු. මේ ධර්මපුස්තක ව්‍යාපාරය කරදරයක් නැතිව පවත්වාගත හැකිවූයේ ධර්මකාමීන් විසින් මේ පොත් කලට වේලාවට මිලයට ගත් නිසා ය. අපේ දහම් පොත් ගත් ගිහි පැවිදි සැමදෙනා ම මේ ධර්මපුස්තක ව්‍යාපාරයේ ආධාරකාරයෝ ය. හැම දෙනාට ම පින්සිදු වේවා!

(මේ ග්‍රන්ථය මුද්‍රණයේදී සෝදුපත් බැලීම් ආදි වැඩ සියල්ල අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම නම, කිරිඹරුවේ ධම්මානන්ද නම සමග කරන ලද බව ද ස්තුති පූර්වකව සඳහන් කරමු.)

ධර්මය ලොවෙහි බැබලේවා !

මීට, ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්ද්‍රවිමල ස්ථවිර; බු: ව: 2500, ක්‍රි: ව: 1957 මාර්තු 1 දින, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.