නිර්වාණ විනිශ්චය.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 168
- බාගත කිරීම් ගණන :
- 166
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 7.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ගැඹුරු ධර්ම කරුණු විවරණය කෙරෙන කෘතියකි. 1926 සහ 1927 වර්ෂවලදී මුල්වරට වෙන වෙනම පළකරන ලද ‘නිර්වාණ විනිශ්චය’ සහ ‘පුනරුත්පත්ති ක්‍රමය’ යන පොත් දෙක පසුව එකට එක්කොට පළකර තිබේ. ත්‍රිපිටක පාළිය, අටුවා, ටීකා හා බුරුම ධර්ම ග්රන්ථ (විශේෂයෙන් ලේඩී සයඩෝ හිමියන්ගේ ‘නිබ්බාන දීපනී’ ආදිය) ඇසුරු කරමින් නිර්වාණ ධාතුව පිළිබඳ පරම සත්‍යය විමර්ශනය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙහි ප්‍රධාන වශයෙන් නිර්වාණයේ ස්වභාවය, විවිධ නිර්වාණ ප්‍රභේද, සූත්‍ර දේශනා ඇසුරින් නිවනට පැමිණෙන ආකාරය සහ නිර්වාණය පිළිබඳව විවිධ මතවාදයන්ගේ විනිශ්චය ඇතුළත් වේ:
- නිර්වාණය නිත්යව පවත්නා බව සහ එහි පරමාර්ථ ස්වභාවය
- සෝපාදිශේෂ, අනුපාදිශේෂ, ශුන්‍යතා, අනිමිත්ත ආදී නිර්වාණ භේද
- නිර්වාණයට පැමිණෙන ආකාරය දැක්වෙන සංයුක්තනිකායේ සූත්‍ර දශය
- පුනරුත්පත්ති ක්‍රමය සහ නිර්වාණය පිළිබඳ විවිධ වාද විනිශ්චය
මෙම විසිදෙවන මුද්‍රණය 2024 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර මුද්‍රණය සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය විසිනි.
ලේකම්ගේ සටහන්...
1926 දී සහ 1927 දී මුල්වරට වෙන වෙනම පළකරන ලද රේරුකානේ නාහිමියන්ගේ ‘නිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය’ යන ග්‍රන්ථද්වය 1991 දී එක් පොතක් වශයෙන් අප මණ්ඩලය මගින් එළිදක්වන ලදී.
ග්රන්ථකරණය පිළිබඳව ආධුනික අවධියේදී ලියනලද මේ පොත්වල භාෂාව පිළිබඳව ආධුනික බවක් මිස, කරුණු විග්‍රහය පිළිබඳව ආධුනික බවක් නැති නිසා නිවන හා පුනරුත්පත්තිය පිළිබඳ ගැඹුරින් හදාරන්නකුට මේ පොත හොඳ අත්වැලකි.
යම් කරුණක් පිළිබඳව පෙළෙහි ඇති විග්රහයත්, ඒ අනුව අටුවා ටීකාවන්හි දැක්වෙන ථේරවාදී පද විග්රහයත් එක් තැන් කොට හැකිතාක් සරලව ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සැලැස්වීම රේරුකානේ නාහිමිපාණන් වහන්සේගේ කෘතීන්හි එන ලක්ෂණය යි. පසුකාලයේ පොත්වල ඉතා දියුණුවට පෙනුණු මේ තත්ත්වයට එන්නට නාහිමියන් ගත් වෑයමේ මූලලක්ෂණය ද මේ පොතෙන් තේරුම් ගතහැකිය.
ලෞකික වින්දනය හා ද්‍රව්‍ය හැඳින්වීම සඳහා නිර්මාණය කරගෙන ඇති වචනවලින් ලෝකෝත්තර තත්ත්වයක් විග්රහ කරන්නේ කෙසේද යන ගැටළුව ජයගැනීම රේරුකානේ නාහිමිපාණන්ට පමණක් නොව බුදුන් වහන්සේටද මතුවූවකි. ඒ නිසාම බුදුන් වහන්සේ ධර්ම දේශනාවට පසුබා කල්පනා කළ බවත්, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මදේශනා කිරීමට නැවත තීරණය කළ බවත් සඳහන් වෙයි. එකල බ්‍රහ්ම සංකල්පය යටපත් කරගෙන මතු වූ බුද්ධ සංකල්පය තුලනය කිරීම පිණිස යෙදී ඇති මේ අදහස් කෙසේ වෙතත්, භාෂාව මෙවලමක් වශයෙන් ගෙන ලෝකෝත්තර වූ නිවන තේරුම් කිරීමත්, තේරුම් ගැනීමත්, කොතරම් අසීරු කාර්යයක් වීද යන්න නිවන සහ රහතන් වහන්සේ තේරුම් කරන්නට දේශිත සූත්‍රවල එන පද හරඹයෙන් වටහා ගතහැකිය.
1927 සිට 1947 දක්වා රේරුකානේ නාහිමියන්ගේ කිසිදු පොතක් පළනොවීම හා මේ කාලය ධර්මපත්රිකා පමණක් පළවීම තුළ වසර 20 ක පමණ කාලයක් භාෂාව පිළිබඳ මේ ගැටළුව ජයගැනීමට නාහිමියන් ගත් වෑයම තේරුම් ගතහැකිය. උන්වහන්සේගේ අනික් පොත් හා සසඳන විට, කරුණු තේරුම් කිරීම් අතින් සරල, සුගම නොවූ මේ පොත් දෙක පිළිබඳ අදහසත්, එය පාදක කරගෙන භාෂාව සකස් කරගැනීමත් නිසා මේ පොත් දෙකෙහි වටිනාකම අතිවිශාලය. 1947 දී පළවූ ‘චතුරාර්ය සත්‍යය’ භාෂාව පිළිබඳ වූ අඩුපාඩු ඉවත ලා කියවන්නාගේ අදහස් සීඝ්‍ර වර්ධනයකට ගෙන යාහැකි සේ අදහස් කුළුගැන්වීමේ ලක්ෂණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කිරීමට නාහිමියෝ සමත් වෙති.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය සැඟවෙන්නට නොදී එය ප්රබුද්ධ ජනයාගේ යහපත පිණිස විවර කර දුන් මහා කාශ්‍යප, මහින්ද, බුද්ධඝෝෂාදි මහා සංඝ පරම්පරාවට අයත්ව 2500 බුද්ධජයන්තිය වෙනුවෙන් නිහඬව විශාල සේවයක් කර සියක් වසරක් ආයු වළඳා බුද්ධධර්මය අනුවම ලෝකය ඉක්මවූ රේරුකානේ නාහිමියන්ගේ උදාරගති අවබෝධ කර ගනිමින්, ලොව සත්‍යය වසා ඇති මායා පටලය තේරුම් කිරීමටත්, ඒ පොත් කියවීමෙන්, සිතට පුරුදු කිරීමෙන් සසර ගමන කෙටිකර ගැනීමට සාධකයක් කරගන්නා හැටියටත් අපි ඔබෙන් ඉල්ලමු.
මෙවර මුද්‍රණයේදී පළමුවතාවට පාදක සටහන් යොදා වැඩිමනත් අධ්‍යයනය කරන්නන්ට උපකාරී වන සේ තොරතුරු සැපයුවේ සදවිමල සෙනසුන්වාසී පූජ්‍ය රන්පොකුණුගම ධීරානන්ද පොඩිහාමුදුරුවන්ගේ කැපවීමෙනි. නාහිමියන්ගේ අදහස නිවැරදිව වටහාගන්නට හැකිවන සේ තම දැනුමත්, කැපවීමත්, එක්කරමින් වර්ණ සංයෝජනයට දායකවූයේ අරුණ තලගල මහතාය. ඊට වැය දරමින් තමාගේ නිර්වාණය විනිශ්චය කරගැනීමට උත්සාහවත් වූයේ නුගේගොඩ තිළිණි තුෂාරි ජයවර්ධන දියණිය යි. පෙර සේම සිකුරු ප්‍රකාශක ගිහාන් ජයවර්ධන මහතාගේ සහාය මුද්‍රණයට ලබාදීම ගැන කෘතඥවෙමි. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමි සෙවනේ පූජ්‍ය කළුතර පදුම හිමි, කළුතර වනරතන හිමි ඇතුළු සඟරුවනේ සහාය ලබමින් උසස් වූ ධර්මදානමය කුශලයේ කොටස්කරුවකු වීමට හැකිවීම ගැන සතුටු වෙමි. ආධාර අනුබල දුන් සියලු දෙනා එක්ව එක පොකුරක සත්පුරුෂ සමාගමකදී නිවන් දැකීමට මේ පින් හේතුවේවා.
තිසරණ සරණයි!
ඩී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2024 මාර්තු මස 01 වන දින, පොකුණුවිටදී ය.
සංඥාපනය
ශ්‍රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෙක කල්ප කෝටි ශතසහස්‍රයෙහි පූරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්වඥතාඥානයන් කරණකොටගෙන අවබෝධ කොට වෙණෙය්ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ, සකල බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ, සුඛපිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැනගැනීම සඳහා සිය බසින් කරන ලද නිර්වාණ තත්ත්වදීපක ග්රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින් ‘නිර්වාණ විනිශ්චය’ නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරන ලදී. මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වය ද, ද්විතීය පරිච්ඡේදයේ නානාවිධ නිර්වාණයන් ද, තෘතීය පරිච්ඡේදයේ නිවනට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වය ද, පරිනිර්වාත පුද්ගල තත්ත්වය ද දක්වන්නා වූ දේශනාවන් ද, චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්වය දක්වන්නා වූ දේශනාවන් ද, පඤ්චම පරිච්ඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චය ද දක්වා තිබේ.
අප විසින් මේ ග්‍රන්ථය කරන ලද්දේ අභිධර්ම ප්‍රකරණයන් අතුරෙන් ධර්මසංගණී, විභංග, කථාවත්ථු යන ප්රකරණ තුනේ එන නිර්වාණය දක්වන දේශනාවන් හා දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය යන නිකාය සතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත්‍ර සියගණනක් ද, උදානයෙහි හා ඉතිවුත්තකයෙහි එන දේශනා කීපයක් ද, ථේරගාථා, විමානවත්ථු, නිද්දේස, නෙත්ති ආදි ප්රකරණයන්හි ඇතැම් දේශනා ද, ඒ ඒ දේශනාවන්ගේ අර්ථකථා, ටීකා ද, විසුද්ධිමාර්ගය හා එම ටීකාව ද, බුරුම භාෂාවෙන් තිබෙන ‘නිබ්බාන දීපනී’ නම් වූ ග්රන්ථයක් හා තවත් ග්රන්ථයන් ද ඇසුරුකිරීමෙනි. නුමුත් මෙහි දක්වා ඇත්තේ සූත්‍ර ස්වල්පයක් පමණකි.
අති සූක්ෂ්ම වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය මන්දබුද්ධිකයන්ට අප වැන්නන් විසින් නො ව සර්වඥවරයකු විසින් ද අවබෝධ කරවිය නොහේ. අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් හා තීක්ෂ්ණ ඥානයෙන් යුක්තවූවන්ට අවබෝධ කරවීම පිණිස ය. මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් යුක්තවූවන්ට තේරුම් ගතහැකි වන පරිදි ග්‍රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල් කොට සම්පාදනය කෙළෙමු. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්ත්වය අවබෝධ කර ගතහැකි නො වේ. එබැවින් මෙය නොතේරෙන බණකැ යි පසු නො බැස කාරණය අවබෝධ වනතුරු සිහිනුවණින් යුක්තව නැවත නැවත බැලියයුතු ය. මෙහි ප්‍රථම පරිච්ඡේදයෙන් ම කල්‍යාණ පෘථග්ජනයන් විසින් දතහැකි පරිදි නිර්වාණ තත්ත්වය දතහැකි වේ.
නිර්වාණය ප්රත්යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්‍ය්‍යයන් වහන්සේලා පමණකි. පෘථග්ජනයන් විසින් උන්වහන්සේලාගේ වචනානුසාරයෙන් දතයුතු වේ. උන්වහන්සේලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධවන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින් ද යතහොත්, ලෝක ව්‍යවහාරයෙහි ලෝකයා විසින් නො දන්නා ලද අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්‍යවහාරයෙහි වූ වචන වනාහි පළමුකොට අර්ථය දැන, දන්නා ලද අර්ථය ප්‍රකාශකිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. එබැවින් ආර්‍ය්‍යයන් වහන්සේලා ඒ ඒ ගුණයන් නිමිත්ත කොට ගුණවාචක ශබ්දවලින් ගුණීභූත නිර්වාණය ප්‍රකාශකළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචන ද බොහෝ වෙති.
අසංඛතං අනන්තං අනාසවං සච්චඤ්ච පාරං නිපුණං සුදුද්දසං, අජරන්තං ධුවං අපලෝකිතං අනිදස්සනං නිප්පපඤ්චං සන්තං.
අමතං පණීතඤ්ච සිවඤ්ච ඛේමං තණ්හක්ඛයෝ අච්ඡරියඤ්ච අබ්භුතං, අනීතිකං අනීතිකධම්මං නිබ්බානමේතං සුගතේන දේසිතං.
අබ්යාපජ්ඣං විරාගෝ ච සුද්ධි මුත්ති අනාලයෝ දීපං ලේණඤ්ච තාණඤ්ච සරණඤ්ච පරායණන්ති1
මේ සළායතන වග්ග අසංඛත සංයුක්තයේ එන ගාථාවලින් නිර්වාණවාචී ශබ්දයෝ දැක්වෙති. මෙයින් ‘අසංඛත’ ශබ්දයෙන් සංස්කරණය නො කරන ලද බව නමැති නිර්වාණ ගුණය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශකරනු ලැබේ. ‘අනන්ත’ ශබ්දයෙන් තෘෂ්ණාක්ෂය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන් ද ඒ ඒ ගුණ නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශකරනු ලැබේ. මේ වචනවලින් පෘථග්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නො වේ. ඒ වනාහි පරම්පරාගත ආචාර්ය්ය උපදේශ අනුගමනය කොට පෘථග්ජනයන් විසින් දතයුතු වේ. නිර්වාණය ප්‍රකාශ කරන්නා වූ පාලි අර්ථකථා ටීකාවන්හි අර්ථය විපරීතාකාරයෙන් ගෙන නානා වාද ඇතිකර ගැනීමට හේතුව ද මේ වචනාර්ථ දුරවබෝධත්වය ම ය. පරම්පරාගත ආචාර්ය්යෝපදේශ නොමැතිව තමා ම පොත් බලා උගෙනීම කළා වූ ද, එබඳු ආචාර්ය්යෝපදේශ ඇසුරු නො කළා වූ ද ඇතැම්හු අප රටේ නානාකාරයෙන් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ.
යමකු විසින් සත්‍යය පහදා දුන් කල ද ඔවුහු තමා පෙර කී ක්‍රමවලට විරුද්ධ වූ සියල්ල ඕවා බුරුම බණ ය, සිංහල බණ නො වේ ය, සිංහල බණපොත්වල ඕවා නැත ය යනාදිය කියා අඥායන් රවටා තමාගේ පණ්ඩිතකම රැකගන්නට උත්සාහ කරති. යමක් තීරණය කර ගතහැකි ඥානයෙන් හීන වූ පක්ෂපාතය කරනසුලු වූ ඇතැම්හු සිංහල බණ ය යි කීවාම කෙතරම් අසත්‍යයක් වුවත් සත්‍යය යි ද, ධර්මය යි ද පිළිගනිති. බණවල බුරුම, සිංහල, සියම්, ජපන් ආදි භේදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්ම විනය දත් පඬිවරුන් ඇත්තේ බුරුමයේ ය. ඊට හේතුව නම්, එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නො වී ශාසන පරම්පරාව අවිච්ඡින්නව පැවැත්ම ය. අප රටේ පෙර පටන් පැවත ආවා වූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පත් ද නෂ්ටප්රාප්ත වූහ. බුරුමයේ අද දක්වා ම අර්ථකථා සහිත පිටකත්‍රයට සන්න ගැටපද විවරණාදිය හා තවත් සියගණන් ඒ භාෂාවෙන් කරන ලද බණපොත් ද ඇත. එරට වැඩවිසූ නානා ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටක ධර්මයෙහි විශාරද වූ, ලේඩීසයඩෝ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද නිබ්බාන දීපනී නම් වූ ග්‍රන්ථය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්‍ය වූ ද නිර්වාණය ගැන කරන ලද පිටු සාරසියය (400), පන්සියය (500) පමණ ඇති ග්රන්ථ කීපයක් ද වේ. එයින් ගම්භීරාගම්භීර මහා නිබ්බුත දීපනී නම් වූ ග්‍රන්ථයෙන් කොටසක් ඇම්. ධර්මරත්න පඬිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහල භාෂාවට පරිවර්තනය කොට ලක්මිණි පහන පත්‍රයෙහි ප්‍රසිද්ධ කරවූයේ ය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග්රන්ථයක් නො වේ. එහි කර්තෘ වූ ශීලාදි ගුණයන් කරණකොටගෙන අති ප්‍රසිද්ධ වූ ගෞරවාර්හ ජාගරාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වූ, බොහෝ ග්‍රන්ථයන්ගේ කතෘවරයෙක් වූ විසුද්ධාචාර නායක ස්වාමිපාදයාණන් වහන්සේ විසින් කරන ලද ඡද්දිට්ඨානනී නම් වූ විශුද්ධිමාර්ගය වැනි ග්රන්ථයක් වේ. එහි නිර්වාණය දැක්වියයුතු තැන ස්වකීය ආචාර්ය්යවරයාණන්ගේ නිර්වාණ විනිශ්චය තිබියදී ලේඩීසයඩෝ නම් වූ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වා තිබේ. එයින් යථෝක්ත ග්‍රන්ථය උන්වහන්සේගේ ශිෂ්‍යයන් විසින්වත් පිළි නො ගන්නා ලද බව ස්ඵුට වේ. එය ඇම්. ධර්මරත්න පඬිතුමා විසින් මෙරට පළකරනු ලැබීම නිසා ද, එතුමාගේ ඊට අනුව ලියන ලද ලිපි නිසා ද ඒ මත පිළිගත් අය අප රටේ ද ඇති වියහැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නො වීම පිණිසත් ඒ වාදයන් සම්බන්ධව හා තවත් නොයෙක් වාදයන් ගැන ද සංක්ෂේප විනිශ්චයවල් මෙහි පඤ්චම පරිච්ඡේදයේ දක්වා ඇත.
මීට,
රේරුකානේ චන්දවිමල යති.
වැල්ලබඩ පන්සල,
පානදුර.
ක්‍රි.ව. 1926