ධර්ම විනිශ්චය.pdf
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2025
- මුද්‍රිත වර්ෂය :
- 2025
- පිටු ගණන :
- 249
- බාගත කිරීම් ගණන :
- 166
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-26
- ගොනුවේ ප්‍රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධර්ම විනිශ්චය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, බෞද්ධ ධර්මය හා විනය පිළිබඳ මතභේදාත්මක හා ප්‍රායෝගික ගැටලු නිරවුල් කෙරෙන ප්‍රශ්නෝත්තර ග්රන්ථයකි. මෙහි ප්‍රථම මුද්‍රණය 1959 අගෝස්තු මස ප්‍රකාශයට පත් වූ අතර, මෙම පිටපත 2025 දී පළවූ විසිඑක්වන මුද්‍රණයයි.
බුරුම සාහිත්‍යයේ එන ධර්ම විනිශ්චය ග්රන්ථ ආදර්ශයට ගනිමින්, බුදුදහම පිළිබඳ නූතන සමාජයේ පැනනගින විවිධ ගැටලු, සැක සංකා හා වැරදි මත දුරු කරනු පිණිස පොදු ජනයා සහ පැවිදි උතුමන් විසින් විමසන ලද මෙන්ම සමාජයේ කතාබහට ලක්වූ ප්‍රශ්න සියයකට ත්‍රිපිටක ධර්මය හා අටුවා ඇසුරින් සවිස්තරාත්මක විසඳුම් මෙහි සපයා ඇත.
මෙහි සාකච්ඡා වන ප්‍රධාන කරුණු අතර:
- බුද්ධ ප්‍රතිමා වන්දනාව සහ චෛත්‍ය පිළිබඳ විනිශ්චය
- බුද්ධ පූජාව, ආහාර පූජාව හා මල්-පහන් පූජා පැවැත්වීමේ අර්ථය
- සරණාගමනය හා දෙවියන් ඇදහීම පිළිබඳ විමසුම්
- සංඝික දානය සහ සංඝික වස්තු පරිහරණය
- භික්ෂු විනය, සුළු ශික්ෂාපද හා ඇවැත් පිළිබඳ කරුණු
මෙම කෘතිය ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කර ඇත.
ලේකම්ගේ සටහන්...
මහා ලෝකයක සංක්ෂිප්ත සැලසුම, බඹයක් පමණ වූ ශරීරය තුළින් දකින්නට ඉගැන්වූ බුදුරජාණන් වහන්සේ අපේ මානසික දියුණුවේ අඩු වැඩිකම් හා උත්සාහය, අධිෂ්ඨානය අනුව කෙටි කලෙකින් හෝ දිගු කලකින් නිවීම ඇතිකර ගැනීමේ මග තමන් වෙත ම පවරා දුන්හ. බියකරු සසරෙහිදී විරලව ලැබිය හැකි, බුදුදහම පවතින කලකුත්, මිනිසත් බවත් ලබා ඇති අප ‘ගෙදර වැඩ’ තුළින්ම යහපැවැත්ම ප්‍රගුණ කළහොත් නිවන් මග දක්වාම එය දියුණු කළ හැකිය.
එහිදී ප්‍රාථමික වශයෙන් අප උගත් දහම තුළින් මතුවන විවිධ ගැටළු බුදුදහමට අනුව ප්‍රායෝගිකව හා මැදහත්ව විසඳූ අවස්ථා සියයක් අතිපූජ්‍ය රේරුකානේ මහනාහිමියන්ගේ මේ පොතෙන් ඔබට කියවිය හැකිය.
පිළිගත් බුදුදහමේ නිවැරදි මගට එරෙහිව අදහස් දක්වන්නන් අද පමණක් නොව එදාද සිටි බව කතුහිමිපාණන් හැඳින්වීමේදී සඳහන් කර ඇත. අපේ ජීවිත කාලය තුළ එවැනි අත්දැකීම් රාශියක් විඳගන්නට අපට හැකිවිය. මේ වනවිට ඒ පිළිලය කොතරම් ඔඩු දුවා ඇත්දැයි කිවහොත් ගිහි පැවිදි සම්බන්ධය කඩන, ගිහි ජීවිතය දෙදරවන බණ වැනි හරුප දොඩන, බොහෝ ශ්‍රාවකයන් වටකරගත් චීවරධාරීන් රාශියක් බිහිව තිබීමත්, පැවිදි ජීවිතයේ ඇති නිදහස වැරදියට භාවිත කරමින් ශ්‍රමණ දිවියට නොහොබිනා සේ ඔවුන් දිවි පවත්වන බවත් තේරුම් ගෙන එමගින් බැහැර වන්නට බෞද්ධයන් සිතට ගතයුතුව ඇත. එවැන්නන් පැවිදි කළ ගුරු ස්වාමීන් වහන්සේලාද මේ ගැන කල්පනා කළයුතුව ඇත.
සඳවිමල සෙනසුන්වාසී පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් තැන් කීපයක මුද්‍රණ දෝෂ මගහැරවීමෙන් හා රන්පොකුණුගම ධීරානන්ද පොඩිහාමුදුරුවන් සපයා දුන් පාදක සටහන් එකතු කිරීමෙන් පොතෙහි අගය වැඩි කරන්නට අපට හැකිවිය. පුස්තකාල පරිහරණයේදී පූජ්‍ය කඩවත ගුණානන්ද හිමියන් දුන් සහායද මතකයට නගමි. වර්ණ සංයෝජනයේදී තම දැනුම කැපකිරීමෙන් යොදමින් නව මිණුම් අනුව මේ පොත්පෙළ ව්‍යුහාත්මකව ප්‍රමිතිකරණයට ලක්කිරීමට උදව් දුන් අරුණ තලගල මහතාගේ ව්‍යායාමයද අගය කළ යුතුය. මේ මුද්‍රණ වාරයේ සංශෝධිත පරිගණක සටහන් ද ඒ මහතා අතින්ම ඉටුවිය. සියලු පොත්වල වර්ණසංයෝජන වියදම් දැරූ රයිගම කසුන් ජයවර්ධන, ඒ. ඩී. තිළිණි තුෂාරි ජයවර්ධන සොයුරු-සොයුරියන්ද වෙසෙසින් කෘතඥතාවයෙන් සිහිකරමි. මුද්‍රණයේදී සැදැහැයෙන් හා ඕනෑකමින් සැමදා කටයුතු කරන සිකුරු මුද්‍රණාලයේ ගිහාන් ජයවර්ධන මහතාගේ සහාය නිසා පිරිමැසුම්දායක පිරිවැයක් දැරීමටත්, අවම මිල ගණනකට ඔබ වෙත ලබාදීමටත් හැකිවිය.
පූජ්‍යපාද කිරිඹතුරේ ධම්මානන්ද නාහිමියන්ගේ සෙවණේ, පූජ්‍ය කලුතර පදුම, කලුතර වනරතන ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ, විහාරස්ථ අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේද සහායෙන් මේ සත්කාර්යයේ යෙදීම සැනසිලිදායකය. කියවන ඔබත්, අනුබල දෙන සැමත්, අවම කොමිස් මුදලක් යටතේ මේ පොත් ඔබ වෙත ළඟා කරන වෙළඳ නියෝජිත පිරිසත්, යහපත් සමාජයක් හා සැනසුමක් අපේක්ෂාවෙන් කරන මේ ව්‍යායාමයේදී ඇතිකරන සමිත සිතිවිලි සැමදෙනාගේ යහපත පිණිසත්, නිවන් අවබෝධයට පදනම පිණිසත් හේතු වේවා!
තිසරණ සරණයි!
ඩී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 ජූලි මස 26 වන දින, පොකුණුවිටදී ය.
හැඳින්වීම
ඥෙය්‍යසාගර පාරගත වූ, මහා කරුණික වූ, අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනය කරන ලද්දා වූ කර්මය, පුනරුත්පත්තිය, ත්රිලක්ෂණය, පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, ධාතු අටළොස, ඉන්ද්රිය දෙවිස්ස, ප්‍රතීත්‍යසමුත්පාදය, චතුරාර්‍ය්‍ය සත්‍යය යනාදි ධර්ම සමූහය අතිශයින් ගැඹුරු ද, සියුම් ද වන්නේ ය. උන්වහන්සේ විසින් දේශිත සූත්රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සඳහා උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇතැයි සිතන සුළු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන, හැකි පමණින් ගුණදහම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. භික්ෂූන්වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධයට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.
බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත්ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්මග්රන්ථ අපේ සාහිත්‍යයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම් පොත් ඇතිකිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
අපේ දහම් පොත් කියවන ඇතැම් ගිහි පැවිදි පින්වතුන් විසින් අපෙන් අසන ලද්දා වූ ද, තැන් තැන්වලදී අන්‍යයන් කථාකරනු ඇසුණා වූ ද ධර්ම ප්‍රශ්නවලින් තෝරා ගත්තා වූ ද, බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා දීම පිණිස අප විසින් ම මතු කොට යොදන ලද්දා වූ ද, ප්‍රශ්න සියයකට පිළිතුරු ධර්මවිනිශ්චයේ මේ ප්රථමභාගයට ඇතුළු කොට ඇත්තේ ය.
ඉදිරියටත් ලැබෙන ප්‍රශ්න එකතු කොට අවකාශ ලදහොත් මෙහි ද්විතීය භාගය සම්පාදනය කිරීමට ද බලාපොරොත්තු වෙමු.* එයට ඇතුළත් කිරීමට සුදුසු ප්‍රශ්න අප වෙත ලියා එවුවහොත් ඒවාට පිළිතුරු මෙහි ද්විතීය භාගයට ඇතුළු කරනු ලැබේ. ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇතිනම් එය අප වෙත ලියා එවනු මැනවි.
චිරං තිට්ඨතු සද්ධම්මෝ.
* (මෙහි දෙවන ශතකයක් ලිවීමට නාහිමියන් සිතා සිටි නමුත් එවැන්නක් නොලියවුණු බවත්, 1997. 07. 04 වන දින උන්වහන්සේ අපවත් වූ බවත් සටහන් කරමු. - ගරු ලේකම්)
මීට ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිර
2503
------ අගෝස්තු 13 වෙනි දින
1959
පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.