චත්තාළීසාකාර විපස්සනා භාවනාව.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2023
මුද්‍රිත වර්ෂය :
2023
පිටු ගණන :
186
බාගත කිරීම් ගණන :
149
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
7.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 94

චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත උසස් විදර්ශනා භාවනා උපදේශන ග්‍රන්ථයකි. පටිසම්භිදාමග්ගප්පකරණයේ විපස්සනා කථාව හා සංයුක්ත නිකායේ ඛන්ධවග්ගයේ සීලවන්ත, සුතවන්ත ආදී සූත්‍රයන්හි සඳහන් පංචඋපාදානස්කන්ධයන් විදර්ශනා මෙනෙහි කිරීමේ සතළිස් ආකාරය (අනිත්‍ය, දුක්ඛ, රෝග, ගණ්ඩ ආදී) මෙහි සවිස්තරව පහදා දී ඇත.

ප්‍රථම වරට 1968 ජනවාරි මස මුද්‍රණය කරන ලද මෙම කෘතියෙහි විසිතුන්වන මුද්‍රණය ලෙස 2023 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම මුද්‍රණයේදී නවීන පරිගණක අක්ෂර හා වර්ණ සංයෝජනයෙන් යුතුව පාදක සටහන් හා ත්‍රිපිටක නිරදේශයන්ද එකතු කොට සකස් කර තිබේ.

මෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වන මාතෘකා අතර:

  • අනිත්‍ය, දුඃඛ, අනාත්ම ලක්ෂණ විමසන භාවනා පද සතළිස
  • ශමථ හා විපස්සනා භාවනාවන්හි වෙනස සහ විදර්ශනා වැඩීමේ නිවැරදි ක්‍රමවේදය
  • භාවනාවට බාධා පමුණුවන පංච නීවරණ විස්තරය සහ ඒවා ප්‍රහාණය කරන ආකාරය

ලේකම්ගේ සටහන්...

ලෝකය සුන්දර තැනක් නොවේ. බොහෝ දෙනා ලොව අවලස්සන කරති. මුලාව නිසාම ලෝභයේ හා තරහවේ කෲර ස්වභාවය යුද්ධයේ ජාත්‍යන්තර සම්මුතීන් පවා දෙදරවා හරිමින් ළදරුවන්, කතුන් හා රෝගීන් බිලිගනිමින්, උත්සාහයෙන් ගොඩනගාගත් නගර, ග්‍රාමයන් විනාශ කරමින් පවතී. කාමච්ඡන්දයටම හෝ කෲරත්වයටම ඉඩ නොතබා ශික්ෂණයකින් ජීවත් වූ ජනතාව මෙතරම් දරුණු වන්නට හේතු තිබිය යුතුය. විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ දේශපාලකයන් හා ප්‍රතිපත්ති මුළු ලෝකයම එසේ අගාධයකට ගෙන යන බව නොපිළිගන්නා, එහෙත් සත්‍ය කරුණකි.

තම මතයම, තම බලයම පවත්වන්නට උත්සාහ කරන උත්තරීතර ආයතනයන්හි සිටින බලවතුන් තුළ ක්‍රියාත්මක ලෝභ, දෝස, මෝහයන් පාලිත ජනතාව තුළට වෑහෙන බව නොරහසකි.

ඉන් මිදීමට ඇති එකම මග නම් තමන් ගැන සිතා ලෝක තත්ත්වය තේරුම් ගැනීමයි. එය බුදු මගයි. තම ශරීරයේ අනියත බව පසක් කළහොත් තමන්ටම අයත් කරගැනීමේ ආශාව තුනී කළහැකි ය. අනෙකාටත් එහි අයිතියක් අවශ්‍ය බව තේරුම් ගතහැකිය.

මෙවැනි පොත් අවශ්‍ය වන්නේ ඒ අවබෝධය ලබාගැනීම සඳහා ය. අප ලබන වින්දනයන් ඇවැඩකින් තොරව පවත්වා ගැනීම සඳහා ය.

මිනිස් සිතේ සුවය සඳහා තෝරා ගන්නට තිබූ එම ප්‍රතිපත්ති ක්ෂේත්‍රය ද අද වනවිට කෙලෙසෙමින් පවතී. එය ද අර කෙලෙසුන්ගේම ක්‍රියාකාරීත්වය නිසාය. බුද්ධ ධර්මයට, බුද්ධ විනයට අනුව හැසිරීමේ එකඟතාවයෙන් ශ්‍රමණත්වයට පත් ඇතැමුන් ගිහියන් සේම හැසිරෙන්නට පටන්ගැනීමත්, බුදුමග හා බුදුසිරිත විකෘතිකරමින් හැසිරීමත් නිසා නමින් බෞද්ධ වූ බොහෝ දෙනා හරිමග නොදැන වික්ෂිප්ත වෙති. ඒ ගැන උරුමය ඇති මහතුන් ක්‍රියාත්මක නොවීමද කෙලෙසුන්ගේම බලවත් වීමකි.

මෙවර මුද්‍රණයේදී මේ පොත නැවත වර්ණ සංයෝජනයෙන් සකස් කරන්නට සිදුවිය. අරුණ තලගල මහතාගේ දැනුමෙන් හා කැපවීමෙන් එය ක්‍රමවත් විය. පාදක සටහන් සඳහා ත්‍රිපිටකයේ හා අටුවාවන්හි සොයා බලා ඉසව් සටහන් කිරීමට සදවිමල සෙනසුන්වාසී පූජ්‍ය රන්පොකුණුගම ධීරානන්ද පොඩිහාමුදුරුවන්ගේ සහාය ලැබිණ. වර්ණ සංයෝජනයේ වියදම් දැරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හංවැල්ල, පහත්ගම සුජානි පෙරේරා මෙනෙවිය ඇතුළු පවුලේ සාමාජිකයෝ උසස් ධර්මදානයේ හිමිකරුවෝ වූහ.

සෝදුපත් සැසඳීමේදී සහාය ලබාදුන් මාලනී නිවැසියෙකු වීම පහසුවකි. උනන්දුවෙන් හා සැදැහැයෙන් මුද්‍රණ කටයුතු කරන සිකුරු ප්‍රකාශක ගිහාන් ජයවර්ධන මහතා ක්ෂේත්‍රයට අභියෝගයක් වෙමින් තවමත් පොත් මිල අවම තත්ත්වයේ තබාගෙන යාමට අපට උදව් කරයි. සුපුරුදු ලෙස සභාපති, පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් සෙවනේ පූජ්‍ය කලුතර පදුම හිමි සහ විහාරස්ථ ස්වාමීන් වහන්සේලා සමග ඔබේ සිතේ සැනසීම සඳහා කටයුතු කරන්නට හැකිවීම සතුටකි. ඔබේ අනුග්‍රහයද මහත් සහනයකි. ආර්ථික අපහසුතාව ගුණධර්ම හීනවීමට හේතු නොවීමට ඔබේ සිත් ශක්තිමත් වේවා.

සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම්, ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය 2023 දෙසැම්බර් 01 වන දින, පොකුණුවිට දී ය.

ප්‍රස්තාවනා

‘චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව’ වනාහි ධ්‍යාන, මාර්ග, ඵල, අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය.

සිල්වත් භික්ෂුව ය, සෝවාන් භික්ෂුව ය, සකෘදාගාමී භික්ෂුව ය, අනාගාමී භික්ෂුව ය, රහත් භික්ෂුව ය යන සෑම දෙනා විසින් ම පඤ්චස්කන්ධය අනිත්‍ය, දුඃඛ, රෝග, ගණ්ඩාදි වශයෙන් නුවණින් මෙනෙහි කළයුතු බව ඛන්ධවග්ග සංයුක්තයේ, චූළපණ්ණාසකයේ, ධම්මකථික වග්ගයෙහි, සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය. තව ද, ඒ වර්ගයෙහි ම එන සුතවන්ත සූත්‍රයෙහි,

“ඨානං ඛෝ පනේතං ආවුසෝ විජ්ජති යං සුත්වා භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝමනසිකරොන්තෝ සෝතාපත්තිඵලං සච්ඡිකරෙය්‍යාති. -පෙ- සකදාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අරහත්තඵලං සච්ඡිකරෙය්‍යාති”

යනුවෙන් පඤ්චුපාදානස්කන්ධයන් අනිත්‍ය, දුඃඛ, රෝග, ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන උගත් භික්ෂුවට සෝවාන් ඵලය ද, සකෘදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අර්හත් ඵලය ද සාක්ෂාත් කළ හැකිවීමට කරුණක් ඇත්තේ ය යි දක්වා ඇත්තේ ය.

සීලවන්ත සූත්‍ර, සුතවන්ත සූත්‍ර දෙක්හි දැක්වෙන කරුණු අනුව දැනට ජීවිතයේ පශ්චිමකාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලීසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉතා ගතිමු. එය ඵලදායක වන්නේ ද, විදර්ශනා කළයුතු ආකාර සතළිස ගැන පිරිසිදු දැනුමක් ඇතිව භාවනා කළහොත් ය. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම්කිසි කරුණක් ගැන ඇතිවන දැනුමට වඩා උසස් දැනුමක්, පිරිසිදු දැනුමක්, පුළුල් දැනුමක් ඒ දෙය විස්තර කර ලිවීමෙන් ඇතිකර ගතහැකි ය. එබැවින් සතළිස් ආකාර විපස්සනාව ගැන අපගේ දැනුම දියුණු කරගැනීමේ අදහස, මේ ග්‍රන්ථය සැපයීමේ ප්‍රධාන හේතුව ය. කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාලීසාකාර විපස්සනාව කිසි ම පොතක විස්තර කර නැත. මේ භාවනාව විස්තර කරන විශේෂ ග්‍රන්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකි. ඒ පාඩුව පිරිමසාළීම ද මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේ එක් හේතුවකි.

අනේකාකාර විදර්ශනා භාවනා ක්‍රම ඇත්තේ ය. ඒ සෑම භාවනා ක්‍රමයකින් ම බලාපොරොත්තු වියයුත්තේ, ස්කන්ධයන්ගේ අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන ලකුණු තුන අවබෝධ කිරීම ය. අනිත්‍යාදි ලක්ෂණ තුන සතළිස් ආකාරයකින් ම විස්තර කරන මේ ග්‍රන්ථය භාවිත කිරීම කවර ආකාරයකින් වුව ද විදර්ශනා වඩන යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ අවබෝධ කරගැනීමට මහෝපකාරයක් වනු ඇත. භාවනාමධ්‍යස්ථානවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටින කුලපුත්‍රයන්හට ද මේ පොත කියැවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබියහැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය වසා සිටින අවිද්‍යාව නමැති වලාකුළ තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි. රූපාවචර - අරූපාවචර ධ්‍යාන සමාධි හා ඍද්ධිබල බුදු, පසේබුදුවරයන් විසින් හා බුද්ධශ්‍රාවකයන් විසින් ඇතිකර ගෙන සිටින නමුත් ඒවා බුදුසසුනේ සාරය නො වේ. ඒවා බුදුසසුනෙන් පිටත ද ඇත්තේ ය. විදර්ශනාව හා මාර්ගඵල ධර්ම බුදුසසුනෙහි මිස, ඉන් පිටත තීර්ථක ශාසනවල නැත. බුදුසසුනේ සාරය නම්, අන් සසුන්වල නැති, මෙහි ම ඇති විදර්ශනා මාර්ගඵලයෝ ය. ලෝකෝත්තර මාර්ගඵල ලබා දෙන්නේ විදර්ශනාවෙනි. ධ්‍යාන සමාධීහු මගඵල ලබාදීමට සමත් නො වෙති. බොහෝ වෙහෙසී රූපාවචර ධ්‍යානයක් ලබාගත් තැනැත්තාට මරණය තෙක් ඒ ධ්‍යානයෙන් නො පිරිහී සිටියහැකි වුවහොත් බ්‍රහ්මලෝකයෙහි උත්පත්තිය ලැබියහැකි ය. ධ්‍යානය ආරක්ෂා කිරීම ඉතා අපහසු ය. අප මහබෝසතාණන් වහන්සේ පවා ධ්‍යාන ලබා සිට නොයෙක් ජාතිවලදී ඒවායින් පිරිහුණ බව ජාතක කථාවලින් පෙනේ. සෙස්සන්ට එය පරෙස්සම් කරගැනීමේ අපහසුව ගැන කියනුම කිම? කාමාවචර කුශලය සේ රූපාවචර, අරූපාවචර ධ්‍යාන කුශලයෝ නොයෙක් වර, නොයෙක් තැන, නානා ආකාරයෙන් විපාක දෙන්නාහු නො වෙති. සියවසක් ආරක්ෂා කරගෙන සිටි ධ්‍යානකුශලය වුව ද මරණාසන්නයේදී පිරිහී ගියහොත් එය අහෝසි වේ. මතු කිසි ම ඵලයක් එයින් නො ලැබේ. විදර්ශනා භාවනා ක්‍රමයක් උගෙන එය භාවිත කරන පින්වතා වර්තමාන භවයේදී විශේෂත්වයකට නො පැමිණියහොත්, ඒ පිනෙන් ඔහු දෙව්ලොව ඉපදියහැකි ය. බුදුරජාණන් වහන්සේගෙන් එදා බණ අසා මගපල ලැබූ බොහෝ දෙවියෝ අදත් දෙව්ලොව ඇත්තාහ. ඔවුන් ඇසුරෙන් ඔවුන්ගෙන් දහම් ඇසීමෙන් මිනිස්ලොවදී විදර්ශනා පුරුදු කළ පින්වතාට දෙව්ලොවදී මගඵල ලැබීමට ඉඩ ඇත. එසේ ද නො හැකි වුවහොත් බුදුකෙනකුන් හමුවූ විටෙකදී ඔහුට ලෙහෙසියෙන් මගපල ලබා නිවන් දැකියහැකි ය.

බුද්ධෝත්පාදය දුර්ලභ ය. බුදුසසුනෙන් ලැබියයුතු උසස් ප්‍රයෝජනය ලැබීමට නම් බුදුසස්නෙහි පමණක් ඇති විදර්ශනා භාවනාව කළයුතු ම ය. ආනාපාන මෛත්‍රී අශුභාදි ශමථ භාවනා නො කළයුතු ය යි අපි නො කියමු. ඒවා ම භාවනා කිරීමෙන් බුදුසස්නෙන් ලැබියයුතු උසස් දෙය නො ලැබෙන බැවින් විදර්ශනා වැඩීම සෑම දෙනා විසින් ම කළයුතු ය.

“ශමථ භාවනාවෙන් සමාධියක් උපදවා නො ගෙන විදර්ශනා වැඩීමෙන් පලක් නැත”ය යන මතයක් ද සමහරුන්ට ඇත්තේ ය. එය වැරදි හැඟීමකි. ඒ ගැන දතයුතු කරුණු මේ පොතේ අග කොටසෙහි ඇත. ඒවා හොඳින් කියවා සැක ඇත්තෝ සැක දුරුකර ගනිත්වා! ශමථ භාවනාවලින් සමාධි උපදවා, ධ්‍යාන උපදවා, විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනාවක් වඩන්නට අවස්ථාවක් නො ලැබ ම ජීවිතය කෙළවර වනු ඇත. එයින් ඔබට බුද්ධෝත්පාදයෙන් ලැබියහැකි උසස් ඵලය නො ලැබී යන්නේ ය. භාවනා කිරීමට පටන්ගන්නා අයගෙන් ධ්‍යානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙනයාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනාඥානයක් ලැබෙන පරිදි වුව ද භාවනාව පැවැත්විය හැකිවන්නේ ඉතා ම ටිකදෙනකුන්ට ය. එයට හේතුව නීවරණයන් විසින් ඔවුන් පරදවනු ලැබීම ය. භාවනාව දියුණු කළහැකි වීමට නම්, යෝගාවචරයා විසින් නීවරණ පැරදවිය යුතු ය. යෝගාවචරයකුට භාවනා කරමි ය කියා කරන්නට ඇත්තේ නීවරණ සටන ය. බුදුසස්නෙහි පැවිදිව ආර්ය ශීලස්කන්ධයෙහි පිහිටා, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටා, ආර්ය වූ සිහිනුවණින් යුක්තව විවේකස්ථානයකට එළඹ වාඩිවී කමටහනෙහි සිත පිහිටුවා ගෙන කාමච්ඡන්දාදි නීවරණයන්ගෙන් සිත පිරිසිදු කොට යෝගාවචරයන් ධ්‍යානාදි ධර්ම ලබන බව බොහෝ සූත්‍රයන්හි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර දේශනාවල දැක්වෙන අන්දමට යෝගාවචරයකුට භාවනා කිරීම් වශයෙන් කරන්නට ඇති ප්‍රධාන දෙය නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීම ය. “මෙකල භාවනා කරමී”යි කියා සමහර අවස්ථාවල යම්කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප්‍රහාණය නමැති බර වැඩක් තමාට කරන්නට ඇති බව පවා නො දනිති. ඔවුහු අනේකාකාරයෙන් තමන් කෙරෙහි නැගී එන නීවරණයන් ද නො හඳුනති. එබැවින් ඔවුහු නීවරණයන් විසින් පරදවනු ලද්දුව භාවනා කරමි යි කියමින් සෑමකල්හි එක තත්ත්වයෙන් ම සිටිති. නීවරණයන් ප්‍රහාණය කිරීමට වීර්යය නො කරන ඔවුනට කිසිකලෙක භාවනාවෙන් උසස් ඵලයක් නො ලැබියහැකි ය. නීවරණයන් නො හඳුනන්නවුන්ට ද නීවරණ ප්‍රහාණය නො කළහැකි ය. එබැවින් සසර දුකින් මිදෙනු රිසියෙන් භාවනා කරන පින්වතුන්ට නීවරණයන් ගැන දැනුමක් ඇතිකිරීම පිණිස නීවරණ විස්තරයක් ද ලියා මේ ග්‍රන්ථයට එකතු කරන ලදී. මේ නීවරණ විස්තරය හොඳින් කියවා ඒවා ගැන දැනුමක් ඇතිකර ගෙන භාවනාව කරගෙන යන යෝගාවචරයන්ට නීවරණ ප්‍රහාණය පහසුවනු ඇත.

මීට - ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිර
2511
-------
1967 දෙසැම්බර් 6 වෙනි දින,
පොකුණුවිට,
විනයාලංකාරාරාමයේදී ය.