චතුරාර්ය්ය සත්‍යය.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
185
බාගත කිරීම් ගණන :
232
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
7.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 93

චතුරාර්‍ය්‍ය සත්‍යය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට ධර්ම ග්‍රන්ථයකි. බුදුදහමේ මූලික හා පරම සාරය වූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳ ගැඹුරු ධර්ම කරුණු සාමාන්‍ය ජනයාට පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් සරල සිංහල බසින් මෙහි විස්තර කර ඇත.

පාලි අටුවා ග්‍රන්ථයන්හි එන ගැඹුරු අභිධර්ම විග්‍රහයන් සාමාන්‍ය පාඨකයාට තේරුම් ගැනීමේදී ඇතිවන අපහසුතා මඟහරවා, පැහැදිලි ප්‍රවේශයකින් යුතුව කරුණු දක්වා තිබීම මෙම කෘතියේ විශේෂත්වයකි. 1947 වර්ෂයේදී ප්‍රථම වරට මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථයෙහි තිස්හත්වන මුද්‍රණය ලෙස 2025 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් මෙම සංස්කරණය ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්....

වර්තමානයේ සිදු වන දේ අතීතයට හෝ අනාගතයට හෝ තමන්ට, තමන්ගේ අයට, තම විරුද්ධවාදීනට ආරෝපණය කර සිතමින් ජීවිතයක් දුකට පත්කර ගන්නා සැටි, සසර දික්කර ගන්නා සැටි විචාරශීලීව විමසන්නේ නම් තේරුම් ගැනීම අපට අපහසු නොවේ. දැකීම දැකීම් මාත්‍රයෙන් ආදී වශයෙන් ඇස, කණ, දිව, නාසය, ශරීරය හා මනස ඔස්සේ එන අරමුණු එතැනින් අවසන් නො කර අතීතයට, අනාගතයට හා තමන්ට සම්බන්ධ කරගන්නට වෑයම් නො කළහොත් අපට කොතරම් නම් සැහැල්ලුවෙන්, නිදහසින් ජීවත් විය හැකි ද?

‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ මගින් අපට කියා දෙන්නේ ඊටත් එහා ගිය නිදහස් වීම පිළිබඳ කථාවයි. රේරුකානේ නාහිමියන්ගේ මේ සියලු පොත්වලින් මේ කථාව සරලව හා නිවැරදිව පහදා දෙන්නට ගත් වෑයම 1947 සිට මේ වන තුරුම පරපුරෙන් පරපුරට සේවය කරයි.

1987 වන විට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ දහම් පොත් මුද්‍රණය කර බෙදා හැරීමට ආර්ථික වශයෙන් ඇතිවූ අපහසුතාව නිසාම ප්‍රභවය ලද අප මණ්ඩලය ඔබගෙන් ලද ආධාර/අනුග්‍රහ මත මේ වන විට තම ශක්තියෙන් එම කාර්යය ඉටුකිරීමේ හැකියාව ලබා ඇති බව දන්වන්නේ සතුටිනි. ඒ ශක්තිය ලබාදීම වෙනුවෙන් ඔබට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පළ කරමු.

අලෝභ, අදෝස, අමෝහයන්ගෙන් පෝෂිත ත්‍රිහේතුක කුශල චේතනාවෙන්ම මේ උතුම් ධර්මදානයට සහභාගි වන සමහර සැදැහැවතුන් තම නම් පළ නො කරන ලෙස ඉල්ලන අවස්ථා බොහෝ ය. වටිනා දහම් පොතකට එවැති නාමලේඛනයක් ඇතුළත් කිරීම ප්‍රසන්න නොවෙතත්, එවැන්නක් දැකීමෙන් බොහෝ දෙනා උසස් වූ ධර්මදානයට යොමුවන බවද, එය අරමුණු සාර්ථක කරගැනීමට ඉවහල් වන බව ද ප්‍රකටව පෙනෙන්නකි.

මේ පොත් කියවීමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු, දුගුණ පරයා සුමගට යොමු වුණු, පැවිද්දට යොමු වුණු, නිවන්මගට යොමු වුණු ගිහි පැවිදි බොහෝ දෙනා පිළිබඳ තොරතුරු වරින් වර දැනගන්නට ඇති බැවින් ඔබේ අනුග්‍රහය මහත්ඵල මහානිසංස වන බවත්, අපේ ව්‍යායාමය සාර්ථක වන බවත් සටහන් කරන්නේ සතුටිනි.

ශෝධ්‍යපත් සැසඳීමේදී උපකාරී වූ මාලනී ද, පරිගණක වර්ණ සංයෝජනයේදී තම දැනුම හා හැකියාව තහවුරු කරමින් වඩාත් හොඳ පොතක් ලබාදීමට වෙහෙස වූ අරුණ තලගල මහතා ද, තම සොහොයුරා ආරම්භ කළ, පරිගණක වර්ණ සංයෝජනයට අදාළ වියදම දරන පින්කමට සහභාගී වූ රයිගම තිලිණි තුෂාරි ජයවර්ධන මහත්මියද, මනා නිමාවකින් පොත එළිදැක්වීමට මුද්‍රණයෙන් සහාය වූ සිකුරු ප්‍රින්ටර්ස්හි ශිහාන් ජයවර්ධන මහතා ද, පාදක සටහන් සොයා දී පොතෙහි අගය වැඩිකළ පූජ්‍ය රන්පොකුණුගම ධීරානන්ද පොඩි හාමුදුරුවන් ද සහෘදව සිහිකරමි. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන්ගේ හා පූජ්‍ය කලුතර පදුම, කලුතර වනරතන සමිඳුන් වහන්සේලා ප්‍රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සෙවන, සැනසුමින් මෙහි යෙදීමට අනුබලයක් වෙයි. ශාසනාලයෙන් හා කෘතඥතා පූර්වකව සියල්ලන් සිහිකරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 සැප්තැම්බර් මස 26 වන දින, පොකුණුවිටදී ය.

සංඥාපනය

ලෝකයේ වාසය කරන මනුෂ්‍ය තිරශ්චීනාදි සත්ත්වයන් පිළිබඳව හා අන්‍ය ලෝක වස්තූන් පිළිබඳව ද, සාමාන්‍ය ජනයාට ඇත්තේ වැරදි දැනීමකි. ඔවුහු ද්‍රව්‍ය නො වූ ක්‍රියා රාශියක් ද්‍රව්‍යයන් ලෙස ද, කුඩා ද්‍රව්‍ය සමූහයන් මහත් වස්තූන් ලෙස ද, සත්ත්ව පුද්ගල භාවයක් නැති ධාතු සමූහයක් සත්ත්වයන් පුද්ගලයන් ලෙස ද, අනිත්‍ය දෙය නිත්‍ය දෙයක් සැටියට ද, අශුභ දෙය සුන්දර දෙයක් සැටියට ද, දුක ම සුවයක් සැටියට ද, දුක ඉපදීමේ හේතුව ම සැප ලැබීමේ හේතුවක් සැටියට ද, සත්‍ය වූ සැපය හා එය ලැබීමේ ප්‍රතිපත්තිය මහත් නපුරක් සැටියට ද වරදවා තේරුම් ගෙන සිටිති. තථාගතයන් වහන්සේ වනාහි ඒ සියල්ල තත්ත්වාකාරයෙන් දැන වදාළ සේක. ලෝක තත්ත්වය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ආකාරය ආර්‍ය්‍ය සත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ.

ලෝක තත්ත්වය පිළිබඳ වැරදි හැඟීම් ඇතිව එය ම පරම සත්‍යය හැටියට පිළිගෙන, එයට අනුව ම සිතන, එයට අනුව ම සියලු ක්‍රියා කරන තැනැත්තා හට වැටහෙන්නේ තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ ආර්‍ය්‍ය සත්‍යය අසත්‍යයක් හැටියට ය. ඒ නිසා ම ඔවුනට මේ ධර්මය දැනගැනීම ඉතා දුෂ්කර ය. බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ආර්යසත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇතිකර ගතයුතු ය. මෙකල වසන බෞද්ධ ගෘහස්ථයන්ගෙන් තබා පැවිද්දන්ගෙන් ද වැඩි දෙනෙක් මේ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ඡායා මාත්‍ර දැනුමක්වත් නැත්තෝ ය. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොර ව ස්වශක්තියෙන් ම කෙනෙකුට සොයා ගතහැකි, තේරුම් ගතහැකි ධර්මයක් ද නොවේ. ඒ ධර්මය තරමකින්වත් බෞද්ධ ජනයාට දැනගැනීමට නම් පහසුවෙන් තේරුම් ගතහැකි සැටියට ලියවුණු පොත් තිබිය යුතු ය. මේ වනතුරුත් එබඳු පොත් සුලභ වී නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්ය්‍යසත්‍යයන් තරමකින්වත් දැනගැනුමට උපකාර වීමේ අදහසින් අපගේ නැණ පමණින් මහත් පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනය කරන ලදී.

අටුවා පොත් අතුරෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඇත්තේ ‘සම්මෝහවිනෝදනී’ නම් වූ විභංගප්‍රකරණාර්ථ කථාවේ හා ‘විසුද්ධි මාර්ගයේ’ ය. පාලි භාෂාව නො දත් සාමාන්‍ය ජනයාට ඒවායින් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. පාලි භාෂාව දත් පමණින් ද ඒවා කියවා චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගැනීම පහසු වැඩක් නො වේ. ඒ ඒ පොත්වල චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කර තිබෙන්නේ ධම්මසංගනී ප්‍රකරණයෙහි එන පරමාර්ථ ධර්ම විභාගයන් මැනවින් උගත් අයට දැනගැනීමට සුදුසු හැටියට ය. පූර්වභාගයෙහි ඇතිකර ගන්නා ලද පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුමක් නැති ව පාලි භාෂාව දත් පමණින් ම ඒවායේ යථාර්ථය දතහැකි වේ ය යන අදහසින් ඒ පොත් කියවන්නවුන්ට ඇතිවනුයේ නො දැනම ‘දැනගතිමි’ යන රැවටීමක් පමණකි. ඒ රැවටීම නම්, කොහෙත්ම නො දැන සිටීමටත් වඩා නපුරකි. පාලි භාෂාව පමණක් උගෙන දහම් පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝ ය.

අප අදහස වූයේ පාලි භාෂාව හා පරමාර්ථ ධර්ම විභාගයන් ද කලින් දැන නො සිටින අයටත් මේ ධර්මය පිළිබඳ තරමකටවත් ශුද්ධ දැනුමක් ඇතිකර ගත හැකි වන සැටියට පොතක් සම්පාදනය කිරීම ය. එබැවින් අප විසින් සම්මෝහවිනෝදනී ආදියෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණනා කර තිබෙන මග නො ගෙන මේ පොත ලිවීමට අන් මගක් ගන්නා ලදී. කෙසේ ලියූ කල්හි කියවන්නාට පහසුවෙන් කාරණය අවබෝධ වේ දැයි කරුණක් පාසා ම කල්පනා කොට ඒ ඒ අවස්ථාවෙහි අපට කල්පනා වූ පරිද්දෙන් කරුණු පහදමින් මේ පොත සම්පාදනය කෙළෙමු.

නවකථා පොතක් කියවන්නකුට වෙහෙසක් නැති ව අර්ථයත්, කථා රසයත් ලැබෙන සේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාදනය නො කළ හැකි ය. එබැවින් කවිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නො වී, ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතු ය. චතුරාර්‍ය්‍ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකථා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළහොත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත හැකි වනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝ ම උත්සාහ කරත්වා.

මීට - ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.
2490 / 1947 පෙබරවාරි 6 වැනි ගුරු දින දී ය.

ප්‍රස්තාවනා

ආගම් බොහෝ ය. දුකින් මිදෙනුවට මඟැ යි එකෙක පැවසුණු දෑ අනෙකක පැවසුණු දැයට වෙනසි. ඇත්ත දක්නා රිසියහු විසින් කළයුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැන්ම ය.

රවි-ඉන්ද්‍ර-අග්නි යන තුන් දෙවියනට යාග හෝම කැරුම ඇවැසි ම දැය කොට වේදය කියයි. මීමංසා දර්ශනය එය ම තහවුරු කරනුමට කරුණු හැර පායි. අහුරමස්දා නම් මැවුම්කරු පිදුමත්, සුමනස්-සුවක්-සුකෘති යන තුන වැඩුමත්, දුකින් මිදෙනුවට අවශ්‍යයෙන් ම කළයුතු දෑ යැ යි සරාටුස්ත්‍ර දර්ශනය කියයි.

පුරුෂ, ප්‍රකෘති, මහත්, අහංකාර, ශ්‍රෝත්‍ර, ත්වක්, චක්ෂුස්, ජිහ්වා, ඝ්‍රාණ, වාක්, හස්ත, උපස්ථ, පායු, පාද, මනස්, ශබ්දතන්මාත්‍ර, ස්පර්ශතන්මාත්‍ර, රූපතන්මාත්‍ර, රසතන්මාත්‍ර, ගන්ධතන්මාත්‍ර, ආකාශ, වායු, තේජස්, අප්, පෘථිවි යන පස්විසි පදාර්ථ ප්‍රත්‍යක්ෂ කැරුම මෝක්ෂලාභයට අවශ්‍ය දෑ යැ යි සාංඛ්‍ය දර්ශනය පණවයි.

සාංඛ්‍ය දර්ශනයෙහි කී දෑ පස්විස්සට ඊශ්වර පදාර්ථයත් එක්කොට මේ පදාර්ථ සවිස්ස දැක්මෙන් මෝක්ෂය ලැබේ යැ යි පාතඤ්ජල දර්ශනය දක්වයි.

ආත්ම, ශරීර, ඉන්ද්‍රිය, අර්ථ, බුද්ධි, මනස්, ප්‍රවෘත්ති, දෝෂ, ප්‍රේත්‍යභාව, ඵල, දුඃඛ, අපවර්ග යන පදාර්ථ දොළොස ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන, ශබ්ද යන ප්‍රමාණ සතරින් මැන දැනගැන්ම ම මෝක්ෂ ලාභයට සෑහේ යැ යි න්‍යාය දර්ශනය කියයි.

ද්‍රව්‍ය, ගුණ, කර්ම, සාමාන්‍ය, විශේෂ, සමවාය, අභාව යන සත මෝක්ෂය පිණිස අවබෝධ කටයුතු දෑ යැ යි වෛශේෂික දර්ශනයෙහි දැක්වෙයි.

ජීව, අජීව දෙක තත්ත්වාකාරයෙන් දැනගැන්ම ම විමුක්තියට අවශ්‍ය දෑ යැ යි ජෛන දර්ශනය පවසයි.

එක ම සත්‍ය වූ සච්චිදානන්ද-රූප පරමාත්මය හෙවත් බ්‍රහ්මය ද, මායා-රූප වූ ලෝකය ද යන පදාර්ථ දෙක තතු සේ දැන්ම ම විමුක්තියට අවශ්‍ය යැ යි වේදාන්ත දර්ශනය කියයි.

(දේව-ත්‍රිත්වාදියෙහි) විශ්වාසය, ප්‍රාර්ථනාව, පිළිපැදීම, සක්‍රමෙන්තුව යන සතර ක්‍රෛස්තව සමයෙහි මෝක්ෂ ලාභයට ඉවහල් ප්‍රධාන අවයව කොට දැක්වෙති.

“පරලොවක් නැහැ යි, කළයුත්තේ මැරෙන තාක් හොඳට කා බී කම්සැප විඳුම යැ”යි උගන්වන චාර්වාක දර්ශනය පෘථිවි, අප්, තේජස්, වායු යන පදාර්ථ සතරක් ම පණවයි.

අන් දර්ශන මෙහි දැක්වුණු දැයට හුරු වූ යම් යම් දෑ දතයුතු ම කොට, ඇවැසි ම කොට දක්වයි.

අන්හැම දර්ශනයක ම සර්වප්‍රකාරයෙන් කෙසේ වෙතත්, දතයුතු කිසිවෙක ඡායා මාත්‍රයක් ඒකදේශයකින් නො දැක්වෙන්නේ නො වේ. එකී දර්ශන පහළ කළ අන්‍ය ශාස්තෘවරයන් ගත් මඟින් අනෙකක්ම තථාගත ශාන්තිනායක ශාක්‍ය මුනීන්ද්‍ර සර්වඥයන් වහන්සේ ගත් සේක. කිසි ම දෘෂ්ටිගතිකයකු විසින්දු ඉවතැ නො ලියහැකි සතරවැදෑරුම් පදනමෙක ස්වදේශනා ධර්මය පිහිටුවා ලූ සේක. ආගමක් අවශ්‍ය වනුයේ දුකක් ඇතැ යි පිළිගන්නහුට ය. දුක කවර සැටියෙන් තේරුම් ගත්තත්, “මෙහි දුක් ඇතැ”යි හේ පිළිගනී. එයින් මිදෙනු පිණිස ම ය, ඔහුට ආගමක් අවශ්‍ය වනුයේ. මෙහි දුක් ඇත්නම්, සැප ලබනුවට ඔහුට බාධක වනුයේ ඒ දුක් හරිහැටි නො දැන, ඒ සියලු දුක හෝ ඉන් කොටසක් හෝ සැපයැ යි වරදවා ගෙන, එහි ඇලීම යැයි ඔහු විසින් පිළිගතයුතු ය. දුකක් ඇතිනම් එයට ඉඳුරා විරුද්ධ සැපක් ඇති බව හැම දෘෂ්ටිගතිකයා ම පිළිගනී. දුකට හේතුව තෘෂ්ණාව වන කල, “එය දුරැලූවොත් දුක නො වේ. සැප ලැබෙයැ”යි පිළිගැනේ. ඒ තෘෂ්ණාව නසන මග ම දුක් දුරලන සැප ලබන මග වේ. මෙසේ ‘දුක, දුක් හෙය, සැප, සැපට මග’ යන සතර ඇත්ත දුකින් මිදෙනුරිසි කා විසිනුත් තත් වූ පරිදි අවබෝධ කටයුතු බව මැදහත්වැ විමසන්නහු විසින් පිළිගතයුතු ය. මේ කරුණු සතර සිය දේශනාවෙහි පදනම් කැරු වදාළ සර්වඥයන් වහන්සේ එයට චතුස්සත්‍ය යන නම දුන් සේක. පන්සාළිස් වසක් ලෝකාර්ථ චර්ය්‍යාවෙහි යෙදුණු ඔබ වහන්සේ ධර්මදේශනා වශයෙන් වදාළ කිසි ම වචනයෙක්

ගෞරවාර්භ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි.