කෙලෙස් එක්දහස් පන්සියය.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
278
බාගත කිරීම් ගණන :
188
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 140

කෙලෙස් එක්දහස් පන්සියය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට අභිධර්මානුකූල ධර්ම ග්‍රන්ථයකි. බෞද්ධ සාහිත්‍යයේ හා ධර්ම දේශනාවන්හි නිතර කියැවෙන නමුත් බොහෝ දෙනෙකුට විස්තරාත්මකව අවබෝධයක් නොමැති එක්දහස් පන්සියයක් ක්ලේශ ධර්මයන් පිළිබඳව සාමාන්‍ය පාඨකයාට මනාව වැටහෙන සරල සිංහල භාෂාවෙන් විග්‍රහ කර දීම මෙම කෘතියේ මූලික අරමුණයි.

සිතෙහි හටගන්නා අරූපී ධර්ම කොට්ඨාසයක් වන ක්ලේශයන් හඳුනා ගැනීම, ඒවායේ ප්‍රභේද හා සිත අපිරිසිදු කරන ආකාරය විවරණය කරමින් ගිහි පැවිදි සැමට තම සිත් පිරිසිදු කරගැනීම පිණිස මඟපෙන්වීමක් මෙහි අන්තර්ගත වේ. මෙම විසිදෙවන මුද්‍රණය ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්....

අපෙන් සිදු වන පව් බොහොමයක් කරන-කියන පව්කම්වලට වඩා සිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නො දන්නා තරමට මේ පව්වල ප්‍රමාණය ද වැඩිවිය හැකිය. ලෝභ දෝස මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චෛතසික කීපයක් විවිධ ආකාරවලින් මතු වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.

එකම වස්තුවක් එක් එක් පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වෙනස්ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙනස් පෙනීමක් ඇතිවිය හැකිය. එසේම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූපයේද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකිය. කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගණන් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසාය. මේ තත්ත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලි-නො ගැටී ජීවත් වීමට එයම ප්‍රමාණවත් වේ.

හික්මුණු (සමාහිත) සිතක් ඇතිකර ගැනීමට සිත පිළිබඳ මේ ඉගෙනීම ප්‍රයෝජනවත් වෙයි. විදුසුන් මගට පිවිසීමට එය දොරටුවක් වෙයි. ධර්මදානය ඉතා උසස් වන්නේ පුද්ගලයාටත්, සමාජයටත් විමුක්තිය උදාකර ගැනීමට අණට වඩා බණ අවබෝධයට තැන දෙන නිසාය. අණ නොතකා යන්නට බොහෝ දෙනකු උත්සාහ කරතත් බණ දැනගතහොත් එවැනි පව් නොකරන බව පැහැදිලිය.

2500 බුද්ධ ජයන්තිය වන විට බෞද්ධයන් තුළ තිබූ දුර්වල ආගමික දැනුම පොහොසත් කිරීම අරමුණු කර ගෙන ඇරඹුණු රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන්ගේ ‘සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක වැඩපිළිවෙල’ එකල වැඩ විසූ සමහර භික්ෂූන් වහන්සේලාගේ හා විවිධ උගතුන්ගේ විවේචන ජයගනිමින් දීර්ඝ මාවතක ගමන් කළ බව ඔබ දනී. මේ පොත් නිසා බුද්ධ විනය පිළිබඳවත්, භාවනා කිරීම පිළිබඳවත් ගිහියන් දැනුවත් කළවුනට පහසුවක් වූ බව ද පෙනේ. ගිහියන්ට නිවැරදි බෞද්ධයන් ලෙස සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට මේ පොත් නිසා ලැබුණු අනුබලය ද විශේෂයෙන් අගය කළ යුත්තකි.

2019 අග සිට ලෝකයටම ව්‍යසනයක් වූ Covid 19 වසංගතයෙන් මතු වූ ආර්ථික හා සමාජ පෙරළිය නිසා වූ සංස්කෘතික පරිහානිය, පාඨකයන් හා අප අතර දුරස්ථභාවයක් ඇතිකළ නමුත්, එයම ලෝකයේ අනිත්‍යතාව තේරුම් ගෙන සසර ගමනට මෙවලම් සකස් කරන පිරිසකගේ අවධානයට යොමුවීමෙන් අප මණ්ඩලය ආරම්භ කර තිබූ සත්කාරක කටයුතු ඇදී ඇදී හෝ පවත්වා ගෙනයාමට හැකිවීම ‘සද්ධර්මයේ ශක්තිය’ විය.

කලින් තිබූ කඩදාසි මිල සිවු ගුණයකින් පමණ වැඩිවූ නිසා පොතක මිල මෙතරම් වැඩිකරන්නට සිදුවීම ගැන මණ්ඩලයේ කණගාටුව පළකිරීමටත්, වැඩිවූ ප්‍රමාණයෙන්ම නොව සැපයිය හැකි අවම මිල ඊට යොදා ඇති බවත් සැලකිරීමට මෙය අවස්ථාවක් සේ සලකමි. එහෙත් මේ වනවිට ක්‍රමයෙන් කඩදාසි මිලේ අඩුවීමේ සහනය පාඨකයන් වෙත ලබාදෙමින් ඊළඟ මුද්‍රණයන්හි මිල අඩුකිරීමට ක්‍රියාකරමු.

මෙහි අනුක්‍රමණිකාව සැපයූ පරලෝසැපත් හර්බට් පතිරණ වියතාණන් ද, නිබඳ මා පසුපස සිටින මාලනී, ඇයගේ වියපත් දූවල දෑසින් සෝදුපත් සසඳා ගැනීමට කළ උපකාරය ද, තම අද්දැකීම් හා දැනුම මුසුකරමින් අක්ෂර සංයෝජනයෙන් හවුල් වූ අරුණ තලගල මහතාණන් ද, මුද්‍රණයෙන් දායක වූ ගිහාන් ජයවර්ධන මහතා ප්‍රමුඛ සිකුරු ප්‍රින්ටර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව මතක් කරමි. පූජ්‍යපාද කිරිබරුවේ ධම්මානන්ද නාහිමි, පූජ්‍ය කළුතර පදුම හිමි හා පූජ්‍ය කළුතර වනරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සෙවනේ සිට මේ කටයුතු කරන්නට ලැබීමත්, ලෝකය හා දහම තේරුම්ගත් සත්පුරුෂ සමාගමක අනුග්‍රහය ලැබීමත් වාසනාවකි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය.
2024 ජූලි 26 වන දින, පොකුණුවිටදී ය.

ප්‍රස්තාවනා

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රියශක්තිය ශරීරශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේය. ඒ ශක්තීන් පිරිහුණු මහලු අයට පොත් ලිවීම අපහසුය. අමාරුවෙන් ලියුව ද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලු වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත් ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කෙළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් නැත්තේ ඇයිද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැයි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

‘කෙලෙස් එක්දහස් පන්සියය’ යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත් වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්නවුන් දුලබ නිසා එය වචනමාත්‍රයක් වී ඇති බැවින් (කෙලෙස් එක්දහස් පන්සියය) ඒ ගැන පොතක් කවරෙකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග්‍රන්ථමාලාවට අඩුවක්ව පවතින ග්‍රන්ථයක් වන මේ කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදී.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසුකම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේළි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප්‍රමාණයක් නැති ශරීරයක් නැති ඇසට නො පෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියට ම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් කිරීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එබැවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග්‍රන්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස් විස්සක් ද ගෙන තිබේ. පාළි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්ය්‍යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රසිද්ධ සිංහල වචන ම යොදා මේ ග්‍රන්ථය ලියන ලදී. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුක්තයන් ද තිබිය හැකි ය. කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය්‍ය ධර්මය නො දත් ආර්ය්‍ය ධර්මයෙන් නො හික්මවන ලද කෙලෙසුන් නො හඳුනන අන්ධ පෘථග්ජනයන් ගේ සිත්වලය. ඔවුන් ගේ සිත් කෙලෙස් නමැති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කර ගනු කැමැති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.

මේ පොත මුද්‍රණය කරවීමේදී ශෝධ්‍ය පත්‍ර බැලීම් ආදී සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් කිරිබරුවේ ධම්මානන්ද භික්ෂු නමගේ සහාය ඇතිව කරන ලදී. මේ පොත ඉක්මනින් මුද්‍රණය කර දුන් පන්නිපිටියේ තිලක් මුද්‍රණාලයේ ඇම්.ජේ. පෙරේරා මහතා ප්‍රමුඛ සේවක පිරිසට ද පින් සිදුවේවා.

මීට,
ශාසනස්ථිතිකාමී
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
2517 / 1973 සැප්තැම්බර් 07 වෙනි දින
පොකුණුවිට
ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.