උභය ප්‍රාතිමෝක්‍ෂය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2023
මුද්‍රිත වර්ෂය :
2023
පිටු ගණන :
287
බාගත කිරීම් ගණන :
160
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
5.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 144

උභය ප්‍රාතිමෝක්ෂය යනු භික්ෂු හා භික්ෂුණී දෙපක්ෂයට අදාළ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද පාලියෙන් හා සිංහල අනුවාදය සහිතව සම්පාදනය කර ඇති විනය ග්‍රන්ථයකි. මෙහි ප්‍රස්තාවනාව අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සපයා ඇති අතර, ගොඩගමුවේ සෝරත ස්ථවිර සහ පණ්ඩිත කනදුල්ලේ රතනරංසි ස්ථවිර යන ස්වාමීන් වහන්සේලා විසින් මෙම සංස්කරණය සිදුකර ඇත.

බුරුම සංගායනාවෙන් ශුද්ධියට පත්කළ පාඨයන් පාදක කරගනිමින්, උපසම්පන්න භික්ෂූන්ගේ පොහොය කර්ම හා පාමොක් උදෙසීම සඳහාත්, සාමණේරයන්ගේ හා නවක භික්ෂූන්ගේ විනය අධ්‍යයනය සඳහාත් අත්පොතක් වශයෙන් ප්‍රයෝජනවත් වන පරිදි මෙය සකස් කර තිබේ. පෙර මුද්‍රණවල පැවති දෝෂ නිවැරදි කරමින් ශික්ෂාපදවල පෙළපොත් ස්ථාන සටහන් සහ පාදක සටහන් ද ඇතුළත් කර ඇත.

මෙම දහවන මුද්‍රණය (2023) පොකුණුවිට ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද අතර මුද්‍රණය පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් වෙතින් සිදු කර ඇත.

ලේකම්ගේ සටහන් . . .

ත්‍රිපිටකයට අයත් ධර්ම-විනය හා භික්ෂු පරපුර බුද්ධ ශාසනය යි. චිරාත් කාලයක් මේවා පැවැත්වීමේදී බිහි වූ සංස්කෘතිය ද ශාසනයමැ යි.

විනය ශාසනයේ ආයුෂ යි. සංස්ථාවක් වශයෙන් සඝ පරපුර එක්කර ඇත්තේ විනය ශික්ෂාපද තුළිනි. කවර ජාතික භික්ෂූන් වහන්සේ නමකගේ වුවද සාම්‍යයක් අප දකින්නේ මේ හැදියාව නිසාය.

සංඝ සමාජයේ වටිනාකම ද මේ ඒකසන වීම යි. බුදුන් වහන්සේ තමාට පිදූ සිවුර සංඝයාට පුදන්නැයි මහාප්‍රජාපතී තෙරණියට වදාළේ ද සමාජයක් වශයෙන් මුළු මහත් පරපුරක් නිවැරදි කිරීමේ ශක්තිය සංඝසමාජයට ඇති බව තහවුරු කිරීමටයි.

භික්ෂු සමාජයේ මේ එකමුතුව බිඳී යන්නේ නම් ඉන් මිථ්‍යා දෘෂ්ටිය සමාජගතවීම ද වැළැක්විය නො හැකිය. සද්ධර්ම ප්‍රතිරූපකයන් නිසාත්, තෙරුවන, ශික්ෂාපද හා බණ භාවනා ගැන ගරුසරු නැති සංඝයා වහන්සේ නිසාත්, දේශපාලනය, ජ්‍යෝතිෂය හෝ වෙනත් ගුප්ත විද්‍යාදිය ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසාත් ශාසන අන්තර්ධානය වන ආකාරය බුදුන් වහන්සේ දේශනා කළ තැන් රාශියක් කස්සප සංයුක්තයේ දැක්වෙයි.

මේ පිළිබඳ සටහන් පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ගේ දික්සඟි සමන්තේසනාවේ පෙන්වා දී ඇත. කාමච්ඡන්දයට හසුවීමෙන් තමන් නොදැනම නව කර්මාන්තාදියේ යෙදෙන මහා සංඝයාගෙන් වන අතපසුවීම් පූජ්‍යපාද රේරුකානේ නාහිමියන්ගේ පොත්වලින් ද මතු කර දී ඇත. නැති ගුණ අඟවා බුදුවන, රහත්වන, සෝවාන් වන භික්ෂූන් වහන්සේ ද සසුනට කරන්නේ ගිණිය නොහැකි විපතකි.

ගමින් ගම සේවය කළ භික්ෂූන් වහන්සේගේ සේවය මුළුගැන්වී මාධ්‍ය ඔස්සේ ධර්ම දේශකයන් කීපදෙනකු ඉස්මතු වීමත්, ඒ අතර සමහරුන් බණ වැනි බණ කියන්නන් වීමත්, දුර්වල මානසික හේතු නිසා ධර්මය අවලංගු කරමින් භික්ෂු වංශයේ පූර්වාචාරීන් විවේචනය කිරීමත්, ශ්‍රද්ධාවත් ගිහි සමාජය එකතු කළ ‘පිරිත් හුය’ එක් එක් භික්ෂුවගේ අනන්‍යතාව බවට පත් කිරීමත් වැනි කරුණු ගැන කල්පනා කරන විට සසුන පිරිහෙන්නේ බාහිර කරුණුවලට වඩා ආභ්‍යන්තරික ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලි වෙයි.

දෙසැටක් දෘෂ්ටීන් අතර සහජීවනයෙන් ජීවත් වූ බුදුන් වහන්සේගේ චර්යාවත්, ලංකාවේ පණ්ඩුකාභය, දුටුගැමුණු ආදි මුල් නරපතීන්ගේ ක්‍රියා කලාපයන් තේරුම් ගතහොත් සීමාන්තික වූ ජාතිවාද හෝ ආගම්වාද රටක් විනාශකිරීමේ අවස්ථාව දක්වා වර්ධනය වීම වළක්වා ගතහැකි ය. නිජබිම් සංකල්පයෙන් බැහැරව ලාංකික වූ සියලු ජාතීන් ලංකා ඉතිහාසය නිදහස් චින්තනයෙන් හදාරන්නේ නම් රටක් වශයෙන් දියුණු වීම ද අපහසු නොවේ. දේශපාලනඥයන්ගේ ග්‍රහණයෙන් මිදුණහොත් අධ්‍යාපනඥයන්ට මේ කාර්යය කෙටිකලකින් උදාකරලිය හැකි වනු ඇත.

ඇසුරු කරන භික්ෂූන් වහන්සේගේ හැදියාව මත ගිහියන් ශ්‍රද්ධාවත් වන අයුරු බුදුන් වහන්සේ නිතර පෙන්වා ඇති නිසා තම වගකීම අවබෝධ කරගත් භික්ෂු පරපුරක් ඇති වන්නේ නම් අප සමාජය නිවැරදි කර ගන්නට සංඝරත්නයට ද කළහැකි මෙහෙය විශාලය. ප්‍රාතිමෝක්ෂය ඉගෙනීමෙන් හා දැරීමෙන් සංඝරත්නයෙන් විය යුතු සහ කළ හැකි සේවය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේ දැකීමට බෞද්ධයෝ වාසනාවත් වෙත්වා.

ඉගෙනීමේදී සාමණේරයන් වහන්සේලාටත්, පොහොය කිරීමේදී වැඩිහිටි ස්වාමීන් වහන්සේලාටත් නිතර ළඟ තබාගතයුතු අත්පොතක් ලෙස සලකන ‘ප්‍රාතිමෝක්ෂය’ බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි ප්‍රමාණය හා සැකසුම පිළියෙළ කළ බවත්, බුදුන් වහන්සේ මේ ශික්ෂාපද පැනවූ පසුබිම, එහි පදවලට පෙළෙහි දෙන අරුත් ආදි පසුබිම් කරුණු පැහැදිලි කර ගැනීමටත්, ත්‍රිපිටකය කෙරෙහි ස්වාමීන් වහන්සේලා වඩාත් යොමු වේ ය යන අදහසිනුත් ඒ ඒ ශික්ෂාපද පෙළපොත්වල දැක්වෙන ස්ථාන සටහන් කළ බව ශාසනාලයෙන් දන්වමි.

මෙහි සෝදුපත් සැසඳීමේදී ගරු සභාපති හිමිපාණන්ගෙන් හා මාලනීගෙන් ලැබුණු උපකාරය ශාසනාලයෙන් අගය කරමි. අරුණ තලගල මහතාගේ පරිගණක වර්ණ සංයෝජනයත්, සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ මනා මුද්‍රණ නිමාවත් කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. පාදක සටහන් සකස්කිරීමේදී සදවිමල සෙනසුන්වාසී පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද හිමිපාණන්ගේ ත්‍රිපිටකාවබෝධය සහාය වූ බව පින් දෙමින් සිහිකරමි. ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයේ නිර්මාතෘ ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් මෙන් ම සියලු කාර්යයන්ට සහාය වන පූජ්‍ය කළුතර පදුම හිමියන් ඇතුළු විහාරස්ථ හිමිපාණන් වහන්සේලා ද, මෙත් සිතින් සිහිපත් කරමි. ආධාර උපකාරී වූ සැමට ශාසනාලයෙන් යුතුව පින්දෙමි.

සියලු පොත් සඳහා අනුග්‍රහය දක්වන සැදැහැවතුන්ගේ ආධාර මුදල් මුසුවීමෙන් මේ ශාසනික ව්‍යායාමය සඵල වෙයි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම් ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය

2023 ජනවාරි මස 15 දින පොකුණුවිටදී ය.

සැ.යු. - වර්තමාන ආර්ථික අර්බුදය නිසා කඩදාසි මිළ ඉහළයාමෙන් පොත්වල මිළ වැඩිකිරීමට සිදුවීම ගැන කණගාටුව පළකරමු.

සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, 2023 ජනවාරි මස 15 දින, පොකුණුවිටදී ය.

හැඳින්වීම

විනය

“විනයො නාම සාසනස්ස ආයු”. විනය නම් ශාසනයාගේ ආයුෂයයි. මෙයින් භික්ෂූන්ගේ ශික්ෂා ගරුත්වයත්, සම්බුද්ධශාසනයේ ජීවනයත් පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්ඡේද නියමයක් හෙළි කරයි. සම්බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනාකොට වදාළ චිරස්ථාවී ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතුවන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවලින් සොයාගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේදැ යි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කරගතයුතු බවත්, එසේ නො කිරීම ආපත්තියක (වරද)ට හේතුව වන බවත් වදාළහ. තමාට තමා ම වංචා සහගත නො වීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබඳ මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදුකෙරේ.

එහෙයින් වරදත්, ඊට සුදුසු දඬුවමත්, නොසඟවා විනය ශික්ෂාවන් ගුරුතන්හි ලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථාවී වීම ගැන කවර කථාද?

උභය ප්‍රාතිමෝක්ෂය

සියලු ම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතයහ. i. පාරාජික ii. පාචිත්තිය iii. චුල්ලවග්ග iv. මහාවග්ග v. පරිවාර

වශයෙනි. එයින් පාරාජික, පාචිත්තිය යන ග්‍රන්ථද්වයෙහි වදාළතාක් ආඥා දේශනාවන් ඉතා සංක්ෂිප්ත කොට සකස් කළ ශික්ෂා සංග්‍රහයකි, ‘උභය ප්‍රාතිමෝක්ෂය’. භික්ෂූන් හා භික්ෂුණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හෙයින් මෙනම් විය. සර්වඥ ශාසනයට ඇතුළත්ව විසිරිය සම්පූර්ණවීමෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූ භික්ෂුව විසින් රැක්කයුතු ප්‍රාතිමෝක්ෂය උද්දේසවාර පරිච්ඡේද පසකින් පරිමිත වූ අතර භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය පරිච්ඡේද සතරකින් යුක්තය.

භික්ෂු භික්ෂුණී ශාසනද්വയ ම නිර්මලව පැවති යුගයේ උභය ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍රහයකින් ලද පහසුවත් අවශ්‍යතාව හා ප්‍රයෝජනයත් පිළිබඳව යමක් සිතාගත හැක්කේ අනිත් විනයග්‍රන්ථ අතර උභය ප්‍රාතිමෝක්ෂයට හිමි වන ස්ථානය ගැන සලකා බැලීමෙනි. යාම්-ඊම්, ඉඳුම්-හිටුම්, කෑම-බීම් වැනි ඉතා කුඩා කරුණෙහි පටන් භික්ෂුත්වය විනාශවී යාම දක්වා වූ ලොකු කරුණුත්, මාතෘකා සංග්‍රහයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය විනය සාගරයට බැසගන්නවුන්ට විවෘත කළ තොටක් වැනිය.

අද භික්ෂුණී ශාසනයක් නැත. මතු ඇතිවිය හැකිද නොවේ. එහෙයින් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය ද තව ඉදිරියටත් ගෙනයාමෙහි අවශ්‍යබවක් නො පෙනේ. අද පමණක් නොව අනුරාධපුර රාජධානියෙන් මෙපිට ලක්දිව භික්ෂුණී ශාසනයක් (මෙහෙණි සස්නක්) ගැන තොරතුරු අනාවරණය නොවේ. එහෙත් ඉතා මෑතක් වනතුරු ම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කථාදිය සැපයූ ආචාර්යවරු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය අමතක නො කළහ. භික්ෂුවට පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍රහ කොට ප්‍රාතිමෝක්ෂය පිළියෙළ කිරීම අදට මෙන් ම එදාට ද ප්‍රමාණ විය. ශික්ෂා ගෞරවය, ධර්ම ගෞරවය සහ ග්‍රන්ථ ගෞරවය ගැන සැලකූ ඇදුරෝ පෙර පැවති පරිදි ම තිබෙන්නට හළමුත් වෙනසක් නො කළහ. අපිදු මෙහිදී එය අනුගමනය කෙළෙමු.

අපේ සංස්කරණය

‘ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහාසංඝසභාවේ’ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේය. සෑම වර්ෂයක ම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයකදී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදුවේ. එහිදී ශ්වේජින් නිකායේ මහානායක මාහිමියන් ඇතුළු මධ්‍යම නවක සෑම භික්ෂුවක් ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේ ම සාමණේරවරු සතර බණවර පාඩම් දිය යුතුය.

ඉකුත් වර්ෂයේ පැවැත්වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගි වනු කැමති භික්ෂුවරයකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය. අපට ද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු. අනුවාදය සහිත වූ ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩි කලක් ගත නොවූ බව පෙනිණ. එහෙත් එය පෙරලා බැලීමේදී අප තුළ ඇති වූ බලවත් සංවේගයේ ප්‍රතිඵලය වශයෙන්, මෙම අනුවාදය සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කළේ. එතරම් ඒ පිටපත වරදින් ගහනව පැවැත්තේය. විනය පරීක්ෂණවලදී නැතිව ම බැරි පොත් පිංචක් වශයෙනුත්, විනය ශික්ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයෙනුත්, වැදගත් වූ ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍රණය කළ යුතුව තිබියදී සෝදුපත් බැලීම ගැන සැලකිල්ලක් නො දක්වා ඇති බව පෙනීගියේය.