උපසම්පදා ශීලය.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
401
බාගත කිරීම් ගණන :
166
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
16 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 201

උපසම්පදා ශීලය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත භික්ෂු විනය විෂයයෙහි අතිශය ප්‍රමුඛ ග්‍රන්ථයකි. භික්ෂූන් වහන්සේලා විසින් සුරැකිය යුතු උතුම් උපසම්පදා ශීලය, එහි ආනිසංස, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය සහ පාරාජිකාපත්ති ආදී ශික්ෂාපද පිළිබඳව සවිස්තරාත්මක හා නිරවුල් විග්‍රහයක් මෙහි ඇතුළත් වේ.

විනය නොදැනීම හේතුවෙන් නොදැනුවත්ව සිදුවිය හැකි පාරාජිකාපත්ති ඇතුළු දෝෂයන්ගෙන් මිදීමටත්, ශාසනික ප්‍රතිපත්ති නිසි ලෙස සුරැකීමටත් නවක මෙන්ම ප්‍රවීණ භික්ෂූන් වහන්සේලාට සහ විනය පිළිබඳ විමසන ගිහි පින්වතුන්ට ද මෙම කෘතිය අත්පොතක් බඳු උපකාරයක් සපයයි.

මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2024 වර්ෂයේදී පළකරන ලද දොළොස් වන මුද්‍රණය වන අතර, පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනයෙහි මුද්‍රණය කර ඇත.

ලේකම්ගේ සටහන්...

බුදුසමයේ එන විනය පිටකය ව්‍යවස්ථා, අණපනත්, ප්‍රඥප්ති හා ආචාර ධර්ම යන සියල්ලෙහි එන ගති ලක්ෂණ කැටිවුණු ධර්ම කොට්ඨාසයකි. එහි නිවැරදිව හැසිරෙන තැනැත්තා ලෝකයේ ඉහළම දැනුම ලබයි. එම විදර්ශනාව ලැබීම සඳහා කැපවී කටයුතු කරන්නෝ සංඝරත්නය යි හඳුන්වන අතර, උන්වහන්සේලාට උපකාර වෙමින් පහසු පරිදි විදසුන් ලබන්නට උත්සාහ කරන්නෝ උපාසක-උපාසිකාවෝය.

විනය නීති භික්ෂු-භික්ෂුණී උභය සංඝයා උදෙසා වදාළ ද, ඉන් සමහර කොටස් ක්‍රියාත්මකවීමේදී ගිහියා සම්පූර්ණයෙන් එහි වගකීමෙන් මිදුණේ නො වේ. වෙනත් ආගම්වල නිෂ්ඨාව හා ජීවන ක්‍රමය අනුව එම පූජකවරුන් කරන සමාජ සේවය දෙස බලා පන්සලෙන් ගමට ලැබෙන දේ මදිය යි විවේචනය කරන්නෝ මේ වගකීම් තේරුම් නො ගත් පුද්ගලයෝ ය. ප්‍රඥාවත් ගිහියකු විසින් භික්ෂූන් වහන්සේ සිල්වත් කිරීම සඳහා කළහැකි මෙහෙය විශාල ය. ගිහි භවතුන්ද විචාරාත්මකව විනය පිළිබඳව දතයුත්තේ මේ නිසා ය.

සමස්තයක් ලෙස ගත් කල නූතන නවක භික්ෂූන් වහන්සේ විනය දැනුමෙන් දුප්පත් ය. ඒ නිසා ම හැසිරීමෙන් පිරිහී ඇති බව සැබෑ ය. එසේ වීමට ගිහියා මේ දැනුමෙන් ඈත්වීමත් අධ්‍යාපන ප්‍රතිපත්ති ආදිය ඒ අනුව නො සැකසීමත් හේතු විය. නො දැනුවත් වූ දෙපිරිස ම එක් වී බුදුසසුනෙන් ගතහැකි ප්‍රයෝජන යටපත් කර ක්‍රියා කරති. තමනුත් නො පිරිහෙමින් සසුනේ පිරිහීමත් වළක්වන්නට නම් කෝසල සංයුක්තයේ එන පරිදි ගිහියා විසින් භික්ෂූන් වහන්සේ පරිස්සමෙන් ඇසුරු කළයුතු ය. සර්පයා, ගින්න හා රජුන් ඇසුරු කරන්නාක් මෙන් ප්‍රවේසම් සහගත නො වූයේ නම් ඒ ඇසුර රටට ම අයහපත් ප්‍රතිඵල උදාකරයි.

සිල්වත් නො වන භික්ෂූන් වහන්සේ ගිහියාගෙන් ලබන ප්‍රත්‍ය පහසුව කොතරම් මානසික වධයකින් ඉවසන්නේ ද යන්න අග්ගික්ඛන්ධෝපම සූත්‍රාදියෙන් ප්‍රකට වේ. මේ නිසා බුදුසසුනේ තමන් හැසිරියයුතු ආකාරය භික්ෂූන් වහන්සේ විසින් දතයුතු ම ය. තමන් ඇසුරු කරන ගිහියා අපායගාමී නො වීම පිණිස යහමගෙහි යෙදවීමත්, තමන් ලබන ප්‍රත්‍යය අන්සතු කිරීමේදී ගිහියන් ශ්‍රද්ධාවෙන් නො පිරිහෙලීමට වගබලාගැනීමත් භික්ෂූන් වහන්සේ සතු ය. භික්ෂුත්වය ආරක්ෂා කරගෙන ඒ කාර්යයෙහි යෙදීමට නම් නිරවුල් විනයදැනුමක් අවශ්‍ය වේ. අපේ රටේදී ‘සිංහලකම’ ගොඩනැගුණේ ද බෞද්ධ ආභාෂයෙන් නිසා දෙපිරිස ම විනය දැනුමෙන් පෝෂණය වීම සිංහලකමත්, බෞද්ධකමත් ආරක්ෂා කරගැනීමට ද හේතු වෙයි.

මුදලට කෑදරකම ඇතිවූයේ ආර්ථික රටාවත්, පාලන රටාවත් වෙනස් කළ 1977 සිටය. ක්‍රමයෙන් අනෙකා ගැන නොතකා තමන්ම අත්පත් කරගන්නා මිනිස්සු නායකත්වයට පත්වූහ. වාසිය තකා ඔවුන්ට අවනතව ආවඩන්නෝද බිහිවූහ. බලය පිණිස කෲරත්වය මුදා හැරීමට ඔවුහු උපයෝගී කරගනු ලැබූහ. භික්ෂූන් වහන්සේද බලයට පොරකන දෙපිරිස වෙත ළංවූහ. එවිට ඔවුනට තම ගමන්මග අමතක විය. සමානාත්මතාව ඉවත්විය. ඇති හැකි අය බිහිවූහ. නැති බැරි අය පිරිහුණහ. ඔවුන්ට අද අඳුරේ, බඩගින්නේ සිටින්නට සිදුවී ඇත.

මේ පසුබිම තුළ ජාතියත්, ආගමත්, රටත්, සංස්කෘතියත් නිරවුල් නොවෙයි. බලවතුන්ගේ ආත්මාර්ථකාමිත්වය හා ව්‍යාකූල පාලනය නිසා සියල්ල කරකවා අතහැරියා සේ වෙයි. බුදුදහම හා බුදුසිරිත එය ආරක්ෂා කළයුත්තන් අතින්ම විකෘතියට පත්වෙයි. ලංකා ඉතිහාසය පමණක් නොව ඉන්දීය ඉතිහාසයත් ඔවුන් අතින් හෑල්ලුවට පත්වෙයි. මේ නිසා පාරම්පරික දැනුම නො ලබන මතු පරපුර සංස්කෘතික උරුමයෙන් ගැලවෙයි.

මෙයට පිළියම් ලෙස රේරුකානේ චන්දවිමල නාහිමියන් විනය පිටකයේ දතයුතු කරුණු කැටිකොට ලියූ දහම් පොත්පෙළ නොකඩවා පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරමු. සමාජය යන අතේ යන භික්ෂූන් වහන්සේලා නොව අද අපට අවශ්‍ය වන්නේ එය නිවැරදි කරන පිරිසකි. තවමත් එය උන්වහන්සේලාට කළහැකියි. (සිවුරෙහි) ශක්තිය හීන වී නැත. එය කළහැක්කේ දේශපාලනයට පැමිණීමෙන් නොව ඊට ඉහළින් සිට මධ්‍යස්ථව හා සිල්වත් මග පෙන්වීමෙන් බවත්, අගතගාමී නොවීමෙන් බවත් තේරුම්ගැනීම අත්‍යවශ්‍ය ය.

ඊට අවශ්‍ය දැනුම විනය පිටකය තුළ ගැබ්වී ඇත. “විනයෝ නාම සාසනස්ස ආයු” යන්න ශාසනයට අයත් භික්ෂු, උපාසක, උපාසිකා කවුරුත් දන්නා කරුණකි. විනය ආරක්ෂා වුවහොත් සූත්‍රාභිධර්ම පිටකයන්හි එන ධර්මාවබෝධයත්, ජීවනයත් සලසාගැනීම උගහට නොවේ. එබැවින් ප්‍රව්‍රජ්‍යාචාර්ය්‍ය ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් විහාර අධ්‍යාපනයත්, පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් පිරිවෙන් අධ්‍යාපනයත් ක්‍රමවත් කිරීම මෙන්ම ශ්‍රමණාකල්ප දියුණු කිරීමත් කෙරෙහි අවධානය යොමුවිය යුතුය. ගෘහස්ථව ආරම්භ වී විවිධ ගැහැට විඳිමින් සිල් රකි දසසිල් මාතාවන් කලෙක පටන් සංවිධානය වී ක්‍රමවත් සංස්ථාවක් බවට පත්වී ඇති හෙයින් ඔවුන් ද දැනුමින් පෝෂණය වී ගරුත්වයෙන් ජීවත්වීමට අදාළ පසුබිම සැකසියයුතු බව ද සටහන් කළයුතු ය.

“න වායමෙය්‍ය සබ්බත්ථ - නාඤ්ඤස්ස පුරිසො සියා, නාඤ්ඤං නිස්සාය ජීවෙය්‍ය - ධම්මේන න වණිං චරේ”.

(ජටිල සූත්‍රය, උදානපාළි, ඛුද්දකනිකාය 1, 256 පිටු.)

“මහණතෙමේ දූත මෙහෙවර හෝ බුද්ධි සේවාව ආදි ලාමක ක්‍රියාවෙහි වෑයම් නොකෙරේ. අන් අධිපතියකු ඇසුරේ ජීවත්වන සේවකයෙක් නොවේ. ධනය වෙනුවෙන් ධර්මය භාවිත නොකරන්නෙක් වේ”.

පොතක පිටපත් අවසන් වන්නට මත්තෙන් කෙසේ හෝ එය සම්පූර්ණ කරන්නට අප මෙහෙයවන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන්ටත්, අදාළ සංවිධාන කටයුතුවලදී නිබඳව සහාය වන පූජ්‍ය කළුතර පදුම හිමියන් ප්‍රමුඛ විහාරස්ථ හිමිපාණන් වහන්සේලාටත්, සෝදුපත් සැසඳීමට සහාය වූ මාලනීටත්, මුද්‍රණ කටයුතු සිදුකළ සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලයටත්, විශේෂයෙන් තම ශාස්ත්‍රීය දැනුමින් හා තාක්ෂණික දැනුමින් පෝෂණය කර පරිගණක වර්ණ සංයෝජනයෙන් පොත ක්‍රමවත් කිරීමට සහාය දුන් අරුණ තලගල මහතාටත්, වර්ණ සංයෝජනයේදී වන වියදම් පියවූ රයිගම කසුන් ජයවර්ධන මහතාටත්, තිබූ අඩුපාඩු සකස් කිරීමට (දුරකථනයෙන්) උපදෙස් ලබාදුන් පූජ්‍යපාද නාවල ධම්මානන්ද නාහිමියන්ටත්, පාදකසටහන් සකස් කරගැනීමේදී ඊට කැපවී සහාය දුන් පූජ්‍ය කැස්බෑවේ බෝධානන්ද සමිඳුන්ටත්, නිරන්තරව අනුග්‍රහය දක්වන සැදැහැවත් පාඨක භවතුන්ටත් ශාසනයේ පැවැත්මට රුකුල් දෙන මේ පොත මුද්‍රණයේදී එය සිහිකරමින් ම පින් දෙමු. කෘතඥවෙමු.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්,
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය.
2024 ජනවාරි මස 15 වන දින
පොකුණුවිටදී ය.

ප්‍රස්තාවනා

මේ නෛය්‍යානික සර්වඥශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලපුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත්, වටිනාකම පමණ කළ නො හෙන, අත්‍යුත්තම අතිදුර්ලභ වස්තුවෙකි. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද, රජකම්වලට හිමිකම් ඇති රජපුත්තු ද, අපරිමිත ධනසම්පත් ඇති මහසිටුවරු ද, සිටුපුත්තු ද රජසම්පත්, සිටුසම්පත් හැර පැවිදිවූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍රශීලය ය. එබැවින් එයට ‘අධිශීලය’යි ද කියනු ලැබේ. එය රක්ෂා කරන තැනැත්තා ආපායිකාදි දුක්බයන්ගෙන් හා අත්තානුවාදාදි භයින් ද මුදවන බැවින් ‘ප්‍රාතිමෝක්ෂ සංවරශීලය’ යි ද කියනු ලැබේ. අනේකසහස්‍ර ශික්ෂා ඇති ඒ ශීලය අතිවිශාල ය. එය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ද ඒ නිසා ය. එහි අනුසස් නො අඩුව ලැබීමට එය නො නැසෙන පරිදි, සිදුරු නො වන පරිදි, පලුදු නො වන පරිදි රැකියයුතු ය. එය මැනවින් රැකියහැකි වීමට එයට අයත් ශීලාංගයන් උගතයුතු ය. දතයුතු ය.

“යො ගවං න විජානාති න සො රක්ඛති ගොගණං, එවං සීලං අජානන්තො කිං සො රක්ඛෙය්‍ය සංවරං” (මහාවග්ගපාළි 1, 244 පිටු.)

යම් ගොපල්ලෙක් තමා රකින ගවමුළේ ගවයන් නොහඳුනා නම් ඔහු ගවමුළ රැකීමට සමත් නො වන්නේ ය. ඔහුගේ ගවමුළ ක්‍රමයෙන් පිරිහී යන්නේ ය. එමෙන් ශීලය නො දන්නා වූ පැවිද්දා ද ඔහු විසින් රැකියයුතු උපසම්පදා ශීලය රැකීමට සමත් නො වන්නේ ය. ඔහුගේ ශීලය ක්‍රමයෙන් පිරිහෙන්නේ ය. සමහරවිට පාරාජිකාපත්තියට පැමිණීමෙන් ඔහු සම්පූර්ණයෙන් ම උපසම්පදා ශීලයෙන් පිරිහෙන්නේ ය.

උපසම්පදාවේ ජීවය පාරාජිකාපත්තිවලින් වැළකී විසීම ය. පාරාජිකාපත්තියට පැමිණීම ද මහ කලබලයක් ඇතිවන, පොලිසියට උසාවියට යන්නට සිදුවන මහ කරුණකින් ම සිදුවන්නක් නො වේ. ඉතා සුළු, ඉතා සියුම් දෙයින් ද සමහරවිට පාරාජිකාපත්තියට පැමිණේ. විනය ඉතා සියුම් ය. එබැවින් විනය නො දත් භික්ෂුව ඔහුටත් නො දැනීම පාරාජිකාපත්තියට පැමිණියහැකි ය. විනය ද නො දත්, සිකපද ගැන සැලකිල්ල ද නැතිව නොයෙක් බාහිර වැඩවල යෙදෙමින් බොහෝ ගනුදෙනුවල යෙදෙමින් වෙසෙන භික්ෂූන්ට එසේ වීමට බොහෝ අවකාශ ඇත්තේ ය. විනය නො දැනීම නිසා පාරාජිකාපත්තියට පැමිණ ඒ බව නො දැන සංඝකර්මවලට සහභාගි වෙමින් උපසම්පන්නයකු ලෙස පෙනීසිටීම, දැන පාරාජිකා වීමට වඩා නපුරු ය. උපසම්පන්නයකු විසින් නො දැන වුව ද පාරාජිකා වීමට හේතු වන වරදක් කරන ලද්දේ නම් එකෙණෙහි ම ඔහු පාරාජිකාපත්තියට පැමිණේ. නො දැනීම නිදහසට කරුණක් නො වේ. පාරාජිකාපත්තියට පැමිණීමෙන් උපසම්පදාව අහෝසි වේ. එයට ප්‍රතිකර්‍මයක් ද නැත. එබැවින් ඔහු ඒ ජීවිතයේදී නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වේ. නැවත උපසම්පදා කළ ද ඔහුට උපසම්පදාව නො පිහිටයි. ඔහුට ඉතිරි වන්නේ ශ්‍රමණ ලිංගය පමණෙකි. ඔහුට සිවුරු ඉවත් නො කර එසේ ම සිට සාමණේර ශීලය සමාදන් වී සාමණේරයකු වශයෙන් බුදුසසුනෙහි රැඳී සිටීමට අවකාශ ඇත්තේ ය. එසේ නො කරතහොත් ඔහුට ඇත්තේ සිවුරු හැර යාම ය.

පාරාජිකා වීම මහාපාපයක් ම නො වේ. සමහරවිට අකුශලකර්මපථයන්ට අයත් නො වන සුළු පාපයකින් ද පාරාජිකා වියහැකි ය. මහාපාපයක් වන්නේ පාරාජිකා වී ඒ බව සඟවා ගෙන උපසම්පන්නයකු ලෙස සංඝයා අතර පෙනී සිටීම ය. පාරාජිකාපත්තියට පැමිණියහුට එකෙණෙහි ම ඔහුට කලින් තුබූ සඝසතු සෙනසුන් පරිභෝග කිරීමේ අයිතිය ද, සඝසතු භාණ්ඩ පරිභෝග කිරීමේ අයිතිය ද, සංඝලාභයෙන් කොටසක් ලැබීමේ අයිතිය ද යන මේ සියල්ල අහෝසි වේ. නො දැන වුව ද පාරාජිකා වූ මහණ එසේ ම සිටිනවා නම් ඔහු පරිභෝග කරන්නේ තමාට පරිභෝග කිරීමට හිමිකමක් නැති සඝසතු සෙනසුන් ය. ඔහු පාවිච්චි කරන්නේ තමාට අයිති නැති සඝසතු භාණ්ඩයන් ය. වළඳන්නේ ද තමාට අයිති නැති භෝජන ය. විනය නො දැනීම නිසා සමහරවිට තරුණ කාලයේදී පාරාජිකා වූ තැනැත්තාට මහලු වියට පැමිණීමෙන් පසු යම්කිසි විනය සාකච්ඡාවක් ඇසීමෙන් හෝ විනය පොත් කියවන විටෙක හෝ තමා පරිජි ඇවතට පැමිණ ඇතිබව දැනෙන්නට පිළිවන. එසේ වුවහොත් ඒ අවස්ථාවෙහි ඔහුට ඇතිවන්නේ එතෙක් කල් තමාට උපසම්පදාවක් නැතිව උපසම්පන්නයකු වශයෙන් පෙනී සිට තමාට අයිති නැති සිවුපසය පරිභෝග කිරීම ගැනත්, වැඳුම් පිළිගැනීම ගැනත්, සංඝකර්මවලට සහභාගි වීම ගැනත් ඉමහත් දොම්නසකි. මහලු වයසට පැමිණ සිටින ඔහුට දැන් ගිහිව ජීවත්වීමට හැකියාවක් ද, මහතෙර කෙනෙකු වශයෙන් කලක් සංඝයා අතර පෙනී සිටි බැවින් සාමණේරව සිටීමට හැකියාවක් ද නැත. මේ කරුණු නිසා ඔහුගේ සිතට කිසි සැනසිල්ලක් නො ලැබේ. එසේ පසුතැවිල්ලෙන් ජීවත්වන ඔහුට මරණ මොහොතේ ඉදිරිපත් වන්නේ ද ඒ කාරණය ම ය.

කස්සප බුදුන්ගේ සසුනෙහි ආරණ්‍යයෙහි වෙසෙමින් ඉතා හොඳින් විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුවක් ඔරුවකින් යාමේදී ඇල්ලූ ගසක කොළයක් කැඩීමෙන් සිදුවූ ඇවත ගැන තුබූ කුකුස මරණාසන්නයේ ඉදිරිපත් වී නාගයකු වී උපන් බව ධම්මපදට්ඨකථාවේ සඳහන් වේ. විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුව ඒ සුළුදෙය පිළිබඳව ඇති වූ කුකුස නිසා එසේ වී නම් පාරාජිකාවට පැමිණ සිටීම නමැති ඒ මහා වරද මරණාසන්නයෙහි ඉදිරිපත් වූ මහණහුට කෙසේ සුගතියකට පැමිණිය හැකි වේ ද? ඔහු පත්වනු ඇත්තේ ඉමහත් දුකකට ය. මේ විනය නො දැනීමෙන් වියහැකි මහත් වූ නපුර ය.

පාරාජිකාපත්තියට පැමිණීම හා ඉන් මිදීම යන දෙකරුණ ම සමහර අවස්ථාවලදී ඉතා සියුම් ලෙස සිදුවෙයි. පාරාජිකාවට ළං වන ඇතැම් කරුණුවලින් පාරාජිකා නො වී දුක්කුළා ඇවතකට හෝ ථුලැසි ඇවතකට හෝ පැමිණ නවතින අවස්ථා ද ඇත්තේ ය. එබඳු කරුණුවලදී සමහරවිට විනය නො දත් භික්ෂුවට පාරාජිකා නො වී ම පාරාජිකා වූයෙමි ය යන හැඟීම ඇතිවියහැකි ය. එබඳු වැරදි