අභිධර්මාර්ථ සංග්‍රහය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2023
මුද්‍රිත වර්ෂය :
2023
පිටු ගණන :
155
බාගත කිරීම් ගණන :
473
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
5.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 78

අභිධර්මාර්ථ සංග්‍රහය යනු අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත පාලි අභිධර්මත්ථ සංගහ මූල ග්‍රන්ථයට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත සුගම සිංහල අනුවාදයයි. 1948 දී පළමුවරට සම්පාදිත මෙම කෘතියෙහි දහහතරවන මුද්‍රණය (2023 ඔක්තෝබර්) ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

පැරණි ශාරිපුත්‍ර සංඝරාජ මාහිමියන්ගේ විස්තර සන්නය නූතන ශිෂ්‍යයන්ට තේරුම් ගැනීමට අපහසු බැවින්, අභිධර්මය හදාරන ආධුනිකයන්ගේ පහසුව පිණිස මූල පාලි ගාථා හා පාඨ සමඟ සරල සිංහල අනුවාදය මෙහි එක්කොට තිබේ. අභිධර්මයේ සමස්ත විෂය පථයම පරිච්ඡේද නවයක් ඔස්සේ විස්තර කෙරේ:

  • චිත්ත සංග්‍රහය
  • චෛතසික සංග්‍රහය
  • ප්‍රකීර්ණක සංග්‍රහය
  • වීථි සංග්‍රහය
  • වීථිමුක්ත සංග්‍රහය
  • රූප සංග්‍රහය
  • සමුච්චය සංග්‍රහය
  • ප්‍රත්‍යය සංග්‍රහය
  • කර්මස්ථාන සංග්‍රහය

ලේකම්ගේ සටහන්...

අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්මය උගන්නවුන් විසින් මුලින්ම ප්‍රගුණ කළයුතු, කටපාඩම් කළයුතු පොතක් වශයෙන් සෑම බෞද්ධ රටක්ම පිළිගන්නා පොතකි. එය අත්පොතකි. ලක්දිව අභිධර්ම පාඩම් පොත් ලියැවී ඇත්තේ ද මේ අනුව යමිනි. ධර්මකාමීන්ගේ ඉල්ලීමත්, අවශ්‍යතාවත් සලකා රේරුකානේ මහනාහිමියන් වහන්සේ විසින් මේ පොත අනුවාදයක් සහිතව භාවිතයට පහසු පරිදි සකස් කරන ලදී.

බුදුදහම දර්ශනයක් වශයෙන් බෙහෙවින් ලොව පවතින්නේ අභිධර්මය නිසාය. විද්‍යාව හා සසඳන්නන් බෙහෙවින් සලකන්නේ අභිධර්මයේ එන ඉගැන්වීම් රටාවය. අභිධර්මය නොදැන දහම් දෙසන්නා නියම ධර්ම කථිකයකු නොවන බව අටුවාව කියයි. ශාස්ත්‍රය උගත් වෙදැදුරාත්, වට්ටෝරු වෙද්‍යවරයාත් අතර වෙනස මෙනැයි පහදා ඇත. මුල් අවස්ථාවේ බුදුන් වහන්සේ තමා අවබෝධ කළ ධර්මය දේශනා කරන ආකාරය ගැන කුකුසක් ඇතිව සිටි බව බුද්ධ චරිතයෙන් පෙන්වයි. ඒ නිසා බුදුන් වහන්සේගේ මුල් සූත්‍රදේශනා බෙහෙවින් සරල සම්ප්‍රදායක් අනුගමනය කළ බව නොරහසකි. කල් යත්ම අභිධර්ම සම්ප්‍රදාය ඇතුළත් සූත්‍ර, සූත්‍රපිටකය තුළම අන්තර්ගත විය. පසුව එය වඩාත් අවබෝධ කළහැකි පිරිසක් අතට පත්වූ බව සැරියුත් හිමියන්ට දේශනා කිරීම පිළිබඳ නිදාන කථාවෙන් පැහැදිලිය.

මේ ටික සඳහන් කරන්නට සිදුවූයේ වැදගත් ශාසන මෙහෙවරක් කළහැකි සමහර භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිකෙව් කරන නිසාය. කෙළින්ම ප්‍රතික්ෂේප කරනවාට වඩා ඒවා ඉගෙන පැරණි ශාස්ත්‍රයටත්, ආචාරීන් වහන්සේලාටත්, සම්ප්‍රදායටත් ගරු කරන්නේ නම් ‘සුන්දර වූ ඇත්ත’ සොයාගැනීම පහසුය. කලබල වී සෝවාන් වනවාට වඩා වැඩි සේවයක් එමගින් කළහැකිය. මිථ්‍යාදෘෂ්ටිය තේරුම්ගැනීම සඳහා සම්‍යක්දෘෂ්ටිය අවශ්‍යය.

ශ්‍රී ලාංකික පදනමට අභියෝග කරමින් අධිරාජ්‍යවාදීන් ගෙන ගිය නොයෙක් වැඩසටහන් අතර බෞද්ධයන් තුළ ගොඩනැගී තිබුණු ආගමික චින්තනය දෙදරවීම ද එක් අංගයකි. රීස් ඩේවිඩ්ස් නම් බටහිර උගතා විසින් එය අපූරුවට ඉටු කළ අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය මගිනුත් අද වන විට සමහර භික්ෂු කණ්ඩායම් මගිනුත් මේ මත ප්‍රචලිත කිරීමට වෙර දරති. ඔවුන් වෙතින් වැඩිපුරම අභියෝගයට පත්වන්නේ බුදුදහමේ දාර්ශනික පදනම වූ අභිධර්ම පිටකය ය. එය බුද්ධදේශනාවක් බව තහවුරු කරන්නට පසුගිය කාලයේ වැඩිපුරම වෙහෙසුණේ රේරුකානේ නාහිමියන්ය. ඒ නිසාම උන්වහන්සේ ‘ආභිධම්මික’ යන ගෞරව නාමයෙන් සමාජය විසින් පුදනලැබූහ.

ඕනෑම ආගමක්, දර්ශනයක් ප්‍රභවය ලද අදහසින් පමණක් සෑහෙන්නේ නොවේ. නව අදහස් එක්වෙමින් එහි වර්ධනයක්, පරිණාමයක් සිදුවිය හැකිය. එය පරිණාමයක් මිස ක්ෂණික පරිවර්තනයක් විය නොහැකිය. බුදුසමයට පසුබිම් වූ ඉන්දීය ඉතිහාසයේ සොයාගැනීම් පවා අමතක කර, තහවුරුව තිබූ බුද්ධ චරිතයත්, ධර්ම පර්යායත් හෑල්ලුවට පත්කරමින්, මෙතෙක් එය පවත්වාගෙන ආ සිවුපණක් පිරිස දෙදදරා හැරීමට ගන්නා උත්සාහය ආගමේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්වුණක් නොවේ. ධර්මශාලාවත්, විද්වත් එකතුවත්, ජනමාධ්‍යයත්, අධ්‍යාපනයේ කුතුහලය වූ තරුණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයාත් අවුල්වමින් කරන ව්‍යාපාරය පෙරදිග වැසියන් දුර්වල කිරීමේ ක්‍රියාදාමයේ අවස්ථාවක් වියහැකිය.

අභිධර්මාර්ථ සංග්‍රහයට වැයවූ මුද්‍රණ වියදම තනිව දරමින්, දෙහිවල පියදාස වන්නිආරච්චි මහතා වරෙක දැමූ පදනම අදටත් මෙහි පැවැත්මට උපකාරයකි. සෝදුපත් සැසඳීමේදී මාලනීගේ සහායත්, වර්ණ සංයෝජනයේදී අරුණ තලගල මහතාගේ දැනුම හා කැපවීමත්, මුද්‍රණයේදී සිකුරු ප්‍රකාශක ගිහාන් ජයවර්ධන මහතාගේ සහයෝගයත් පොත එළිදැක්වීමට උපකාරී විය. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන්ගේ හා කලුතර පදුම හිමියන් ප්‍රමුඛ විහාරස්ථ හිමිවරුන්ගේ සෙවණේ, ඔබෙන් ලැබෙන මූල්‍ය සහාය මෙන්ම පාඨක අවධානයත් මේ සත්කාර්යයේ නියැලීමට මා පොළඹවයි.

තිසරණ සරණයි.

සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම්, ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, 2023 ඔක්තෝබර් 01 වන දින, පොකුණුවිට ය.

සංඥාපනය

අභිධර්මාර්ථ සංග්‍රහය නමැති මේ ප්‍රකරණය ශතවර්ෂ ගණනක පටන් ප්‍රසිද්ධ වූ, නොයෙක් වර මුද්‍රණයට පැමිණියා වූ ග්‍රන්ථයකි. එබැවින් මෙය හැඳින්වීමට අප විසින් උත්සාහයක් නො කරනු ලැබේ. මේ ග්‍රන්ථය ඉගෙනගන්නා ශිෂ්‍යයන්හට සන්නයක් වශයෙන් දැනට ලබා ගතහැකිව තිබෙන්නේ ශාරිපුත්‍ර සංඝරාජ මහාස්වාමිපාදයන් විසින් ප්‍රණීත සන්නය පමණි. එය මේ ප්‍රකරණය ඉගෙනගන්නවුන් විසින් දතමනා බොහෝ දෑ ඇතුළත් වී තිබෙන විස්තර සන්නයක් වුව ද, ශතවර්ෂ ගණනකට පෙර කැරුණු ඒ ග්‍රන්ථයේ භාෂාව බොහෝ වර්තමාන ශිෂ්‍යයන්ට තේරුම් ගැනීමට අපහසු ය. එබැවින් ඒ සඳහා ශිෂ්‍යයන් විසින් බොහෝ වෙහෙසියයුතු ය. වෙහෙසී වුව ද ඇතැම් ශිෂ්‍යයන්ට එයින් ප්‍රයෝජනයක් ගත නො හැකි බව නොයෙක් වර උගැන්වීමේදී අපට ප්‍රත්‍යක්ෂ විය. එබැවින් මේ ප්‍රකරණයට කාලානුරූප, සුගම සන්නයක් ඇති කළයුතු ය යන අදහස අපට නොයෙක් වර පහළවිය. නමුත් මෙය එබඳු වැඩක් කළහැකි කාලයක් නො වේ. අභිධර්මය ඉගෙනගන්නා ශිෂ්‍යයනට මෙයින් මද පහසුවක් මුත් වේවා යි මේ අනුවාදය මේ වරට අප විසින් පිළියෙල කරන ලද්දේ ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ

මීට,
රේරුකානේ චන්දවිමල ස්ථවිර.

1948 පෙබරවාරි මස 08 වෙනි දින
පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාර පිරිවෙන්හිදී ය.