අභිධර්මයේ මූලික කරුණු.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
208
බාගත කිරීම් ගණන :
374
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-26
ගොනුවේ ප්‍රමාණය :
9.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 105

අභිධර්මයේ මූලික කරුණු යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට අභිධර්ම ග්‍රන්ථයකි. බුදු දහමේ ගැඹුරුතම දර්ශනය වන අභිධර්ම පිටකයේ එන පරමාර්ථ ධර්මයන් පිළිබඳ මූලික අවබෝධය සාමාන්‍ය පාඨකයාට මෙන්ම ධර්ම ශිෂ්‍යයන්ටද පහසුවෙන් වටහාගත හැකි පරිදි සරල සිංහලෙන් පැහැදිලි කර දීම මෙහි අරමුණයි.

ග්‍රන්ථයේ ඇතුළත් සංඥාපනය මගින් අභිධර්ම පිටකයේ ඉතිහාසය, බුද්ධ දේශනාවක් ලෙස එහි ප්‍රභවය, තව්තිසා දෙව්ලොව දේශනාව, සැරියුත් මහතෙරුන් වහන්සේ වෙතින් මහා සංඝයා වෙත ලැබුණු ආකාරය සහ ප්‍රථම ධර්ම සංගායනාවේදී අභිධර්මය සංගායනා වූ සැටි පිළිබඳව අටුවා පාඨ ඇසුරින් දීර්ඝ විවරණයක් සපයයි.

මෙම කෘතිය ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2025 ජනවාරි මස විසිපස්වන මුද්‍රණය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මුද්‍රණය කර ඇත්තේ පොල්ගස්ඕවිට සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය මගිනි.

ලේකම්ගේ සටහන් .....

සූත්‍ර පිටකයේ එන දහම් කරුණු ගැඹුරින් සලකා බැලූ අභිධර්මය, මෙකල සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වීමට රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොත් පත් හේතු වූ බව ප්‍රකට කරුණකි. අභිධර්මය පිළිබඳ නාහිමියන් තුළ වූ නිරවුල් අවබෝධය උන්වහන්සේගේ ග්‍රන්ථාවලියෙන් ප්‍රකට වන අතර අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය හා පට්ඨාන මහා ප්‍රකරණ සන්නය වැනි පොත්වලින් එය වඩාත් පැහැදිලි වෙයි.

ලෝකය අනිත්‍ය වශයෙන් දක්නට සිත හා අනෙකුත් වස්තූන්ගේ ස්වභාවයත්, එක් එක් වස්තුවක පැවැත්ම හා පෙනෙන ආකාරයත් තේරුම් ගැනීම අවශ්‍යය. භෞතික ලෝකයේ මායා රූපය තේරුම් ගැනීම සඳහා අභිධර්මය උගෙනීමෙන් ලැබෙන්නේ මහඟු උපකාරයකි. බුදුසමයෙන් පමණක් ලැබියහැකි උත්තම ප්‍රතිලාභය වූ නිවන අවබෝධ කරන මාර්ගය වූ විදර්ශනාව වැඩීමට ඒ දැනුම අතිශය උපකාර වේ.

නිතර ගැටුම් පවතින ලෝකයේ නො ගැටී, නො කලකිරී සිටීමටත්, මෝහයෙන් මුලාවී වැළඳගන්නා කාමවස්තූන් නිසා විනාශයට පත් නොවීමටත්, මමත්වයෙන් තොරව දක්නා අනිත්‍ය භාවය, වෙනස් වන ස්වභාවය තේරුම් ගතයුතුය. අභිධර්මය එම ස්වභාවය තේරුම් ගෙන යථාර්ථයට අනුව සිටීමට අපට අනුබල දෙයි. අවසන් පරමාර්ථය වෙනස් වුවත්, නවීන විද්‍යාව ද ලෝකයේ මේ ඒකාකාරී නො වන අනිත්‍ය තත්ත්වය තේරුම් ගන්නට මනස පොළඹවයි. ඒ විද්‍යාත්මක චින්තනය බටහිර ජාතීන් මෙහෙයවන්නේ අධිරාජ්‍යවාදී වූ මානව භක්තියක් උදෙසාය. බුදුසමයෙන් සතපවන ලද අපගේ චින්තාමය ප්‍රඥාව මොට කිරීමට තරම් අධිරාජ්‍යවාදීන් මෙහි රඳවා ගිය ඔවුන්ගේ සංස්කෘතික අධ්‍යාපනය පොහොසත් විය. මේ දෙක අතර ඇති ගැටුම වෙනසට පත් රට දියුණු කරගැනීම සඳහා මහත් බාධකයක්ව ඇත්තේය.

වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික ගැටළුවලට පිළිතුරු සෙවීමේදී දීර්ඝ කාලයක් යටත්විජිතවාදී චින්තනයට නතු වී සිටීමත්, ඒ නිසාම නිදහසින් පසු දේශපාලකයන්ට අවනතවීමත් මත බොහෝ දෙනා ඉන් ගැලවෙන්නට සිත සකස් නොකරති. ව්‍යවසායක දැනුමක් ලබාදීමට ගන්නා උත්සාහයේදී එය හැර තවමත් රජයේ රැකියා සොයති. සිත ශක්තිමත් කර තමන්ගේ මාවතක් සොයා ගැනීමට ද අභිධර්මය ඉගෙනීම උපකාර වෙයි. එය මනා සමාජ සම්බන්ධතාවක් කෙරෙහි ද බලපෑම් කරයි.

විදේශ ආධිපත්‍යයට නතුව, බුදුදහම යටපත් වී තිබූ වකවානුවක 2500 බුද්ධජයන්තියෙන් නිහඬව ඇරඹුණු රේරුකානේ මහනාහිමියන්ගේ ධර්ම ප්‍රචාරක සේවය සිංහල බෞද්ධයන් තුළ සියුම් කම්පනයක් ඇති කළ බව උන්වහන්සේගේ පොත් සමාජගත වූ ආකාරයෙන් වැටහෙයි. මේ පොත් නිසා පැවිදිවුණු, භාවනාවට යොමුවුණු, යහමග ගත්, දහම තේරුම් ගත් බොහෝ දෙනාගේ ප්‍රතිචාර එය සනාථ කරයි.

මෙවර මුද්‍රණයේදී ද කලින් සැකසූ මුද්‍රණ උපාංගයන් ප්‍රයෝජනයට ගැනිණි. එහිදී වර්ණ සංයෝජනය කළ අරුණ තලගල මහතාගේ දැනුම, සංශෝධිත පිටු සැකසීමට ද උපකාරී විය. මුද්‍රණ කටයුතු සඳහා සිකුරු ප්‍රින්ටර්ස්හි ගිහාන් ජයවර්ධන මහතා මහන්සි විය. පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් සෙවණේ, පූජ්‍ය කලුතර පදුම හිමියන්ගේ හා විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ ද, මරදාන විනයාලංකාරාරාමාධිපති පූජ්‍ය කලුතර වනරතන හිමියන්ගේ ද උපකාරයෙන් දහමේ සැනසීම ඔබට ළඟාකිරීමට හැකිවීම සතුටකි. ආධාර උපකාර කළ සියලු සැදැහැවත්හු ද අමිල ආගමික මෙහෙවරක කොටස් කරුවෝය.

තිසරණ සරණයි!

සී තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2025 ජනවාරි මස 01 වැනි දින,
පොකුණුවිටදී ය.

සංඥාපනය

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදු රජාණන් වහන්සේ විසින් පරම සූක්ෂ්ම, පරම ගම්භීර චිත්ත චෛතසිකාදි පරමාර්ථ ධර්මයන් ගේ තතු, ලොවට හෙළිකරනු පිණිස දේශනය කළ විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භීර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ම ය. සෙස්සෝ එයට සමත් නො වන්නාහ. බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද, සාරය ද එය ම ය.

සූත්‍ර පිටකයෙහි එන කරුණුවලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම්පුරා ලැබියයුතු විශිෂ්ට ඥානයක් නුවුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නා ලැබේ. අන්‍ය පණ්ඩිතයන් ගේ පොත්වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදුසස්නෙන් පිටත ඇතියක් නො වේ. සූත්‍ර පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍රමානුකූල ව විභාග කර ද නැත, පැහැදිලි කර ද නැත. එබැවින් බුදුසමය පිළිබඳ සම්පූර්ණ දැනුමක්, නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකි ය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්මකථිකයකු වීමට නම් අභිධර්මය උගතයුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගතහැකි වීමට, ඇදකුද සොයා ගතහැකි වීමට, අඩුවැඩිකම් සොයා ගතහැකි වීමට ඇත්තා වූ, නූල ද, ලඹය ද, මට්ටම් ලෑල්ල ද, කෝදුව ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික්නූල පාවිච්චි නො කොට, ලඹය පාවිච්චි නො කොට, මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට, කෝදුව පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

ඇතැමෙක් “අභිධර්ම පිටකය බුද්ධදේශිතයක් නො වේ ය, එය පසු කාලයේදී යම් කිසිවකු විසින් ඇතිකරන ලද්දක් ය, ප්‍රථම ධර්ම සංගීතියේදී එය සංගායනා නො කරන ලද්දේ ය”යි කියති. එය ඔවුන් ගේ මතිමාත්‍රයෙකි. අභිධර්ම පිටකය අබුද්ධදේශිතයකැ යි කියන්නවුන්, බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසූ බව අත්ථසාලිනී නම් වූ විශේෂ අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන් ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියන්නවුන් තද ප්‍රහාරයකට ද ලක්කොට තිබේ. අත්ථසාලිනියේ නිදාන කථාව බලනු.

තථාගතයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩ සිට, අභිධර්ම පිටකය සම්මර්ශනය කළ බව බුදුසස්නෙහි අතිප්‍රසිද්ධ කරුණකි. ඒ බව අභිධර්ම පොත්වල පමණක් නො ව, සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

“චතුත්ථෙ සත්තාහෙ බොධිතො පච්ඡිමුත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්මපිටකං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං”. මේ බුද්ධවංස අටුවාවෙහි ඒ කාරණය දක්වන පාඨය ය.

“තතො පච්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්මපිටකං. විසෙසතො චෙත්ථ අනන්තනය සමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං”. මේ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි ඒ කාරණය දැක්වූ පාඨය ය.

අභිධර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නා වූ, ඥානය ප්‍රසන්න කරන්නා වූ, ඥානය තියුණු කරන්නා වූ ප්‍රකරණයෙකි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සව් කෙලෙසුන් නසා බුදු වූයේ වී නමුත් සම්බුද්ධත්වයට පැමිණි පළමුවන, දෙවන, තුන්වන සතිවලදී නීල, පීතාදි රශ්මීහු නො නික්මුණාහු ය. සතරවන සතියෙහි රතනඝරයෙහි වැඩහිඳ ධම්මසංගණියේ පටන් ක්‍රමයෙන් අභිධර්ම ප්‍රකරණයන් මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ථාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන්ගත් කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන්වහන්සේගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්න වනු සමග ම තත් සම්ප්‍රයුක්ත කාමාවචර මහාක්‍රියා චිත්තය ද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චෛතසිකයෝ ද ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හෘදයවස්තුව ද ප්‍රසන්න විය. අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝ ද චිත්තය සේ ම ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තජ රූපයන් ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේ ගේ සකල ශරීරය ම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයේ ඒ ඒ තැන්වලින් නීල, පීත, ලොහිතාවදාත, මාඤ්ජිෂ්ඨා, ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණය ඇති ආලෝක ධාරාවෝ, අධිෂ්ඨානාදි ක්‍රියාවක් නැති ව ම, ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මෙන්නට පටන් ගත්හ. තථාගත ශරීරයෙහි කේශාදි නීලවර්ණ ස්ථානයන් ගෙන් නීල රශ්මිධාරාවෝ නික්මුණාහු ය. සම ආදි පීතවර්ණ ස්ථානයන් ගෙන් පීත වර්ණ රශ්මිධාරාවෝ නික්මුණාහු ය. ලේ ආදි රක්ත වර්ණ ස්ථානයන් ගෙන් ලෝහිත රශ්මීහු නික්මුණාහු ය. දන්තාදි ශ්වේත වර්ණ ස්ථානයන් ගෙන් අවදාත රශ්මීහු නික්මුණාහු ය. ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨ, ප්‍රභාස්වර රශ්මීහු ද නික්මුණාහු ය. එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සෑම කල්හි ම විහිදෙන්නට පටන් ගත්තේ ය.

අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශල බලයෙන් ලත්, තථාගතයන් වහන්සේ ගේ අතිශයින් තීක්ෂණ වූ ඥානය පරමාර්ථ ධර්ම විෂයයෙහි අතිවේගයෙන් ගමන් කෙළේ ය. එබැවින් ඒ සතියෙහි සම්මර්ශණය කරන ලද ධර්මය මෙතෙකැ යි පමණ නො කළ හැකි ය. අතිදීර්ඝ වූ ඒ අභිධර්මය වචනවලට නගා දේශනය කරතහොත් වර්ෂ සියයකින් වුව ද, දහසකින් ලක්ෂයකින් වුව ද නිම කළ නොහැකි බව:

“සත්ථා පන එවං සත්තානං මනසා චින්තිත ධම්මං වචීභෙදං කත්වා දෙසෙන්තො වස්ස සතෙනපි වස්ස සහස්සෙනපි වස්ස සතසහස්සෙනපි මත්ථකං පාපෙත්වා දෙසෙතුං නක්කොන්ති න වත්තබ්බං” යනුවෙන් අත්ථසාලිනී නම් වූ විශේෂ අටුවාවේ දක්වා තිබේ.

සතර වන සතියෙහි සිතින් සිතූ ඒ අතිදීර්ඝ අභිධර්මය තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සත්වන වර්ෂයෙහි තීර්ථකයන් ගේ මාන මර්දනය පිණිස සැවැත්නුවර සමීපයෙහි ගණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන් ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව් ලොවට වැඩ වදාරා එහි පාරිච්ඡත්තක නම් වූ දිව්‍ය වෘක්ෂමූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය ශෛලාසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට, දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම සමූහයා මධ්‍යයෙහි මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොට දේව ගණයා අමතා “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතා ධම්මා” යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කළ හැකි පමණට හකුළුවා දේශනය කළ සේක.

පර්වතයකින් ගඟක් ගලා බස්නාක් මෙන් තුන්මසක් මුළුල්ලෙහි නො නවත්වා ම අතිසීඝ්‍රයෙන් කළ ඒ අභිධර්ම දේශනය ද ඉතා දීර්ඝ ය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂූන් වහන්සේලාට නුගත හැකි ය. නො දැරිය හැකි ය. දෙව්ලොව අභිධර්ම දේශනය කරන්නා වූ තථාගතයන් වහන්සේ, දේශනය නො නැවතී පවතිනු සඳහා ඒ අසුන මත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධර්මය දේශනය කෙරෙත්වා යි ඉටා ආහාර වැළඳීම් ආදිය පිණිස දිනපතා මිනිස් ලොවට වඩනා සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිති. ඇතැම් දෙවි කෙනෙක් නො දනිති. මිනිස් ලොවට වඩනා වූ තථාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඬු සිඟා ගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩනා සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට එතැනට වඩනා සේක. තථාගතයන් වහන්සේ ඒ දිනයෙහි දෙසු අභිධර්මය, වෙරළ තීරයෙහි සිට අත දිගු කොට මහ සයුර දක්වන්නාක් මෙන්, ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනය කරන සේක. සිවුපිළිසිඹියාපත් ඒ මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අති සංක්ෂෙපයෙන් දේශනය කළ ඒ ධර්මය නය සියයෙන්, නය දහසින්, නය දසදහසින් අවබෝධ කර ගැනීමට සමත් වන සේක. උන්වහන්සේ බුදුන් වහන්සේ ගෙන් උගන්නා වූ ඒ අභිධර්මය භික්ෂූන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියට මදක් විස්තර කර ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේ ගේ අතවැසි භික්ෂූන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේ ගේ අභිධර්ම දේශනය නිමවනු සමග ම ආභිධර්මිකයෝ වූහ. අද පවත්නා අභිධර්ම පිටකය දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වූ ඒ අභිධර්මය ය. එය තථාගතයන් වහන්සේ ගෙන් ලත් නය අනුව, තථාගතයන් වහන්සේ ගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වන ලද්දක් වුව ද, බුද්ධ දේශනය සැටියට ම පිළිගනු ලැබේ.

ප්‍රථම ධර්ම සංගායනයේදී අභිධර්ම පිටකයක් නො තිබිණැ යි ඇතැමුන් කියතත්, විනය පිටකයට අයත් චුල්ලවග්ග පාලියෙහි ප්‍රථම ධර්මසංගායනය විස්තර කරන පඤ්චසතික ඛන්ධකයෙහි-

“උපාලිං විනයං පුච්ඡි - සුත්තන්තානන්ද පණ්ඩිතං, පිටකං තීණි සංගීතිං - අකංසු ජීනසාවකා”යි

පිටකත්‍රයක් සංගායනා කළ බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නො පැවතියේ නම් තුන් පිටකයක් වීමට අභිධර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතු ය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර, විනය පිටක දෙක මෙන් ම බුද්ධ කාලයේ පටන් ම පැවතුණ බව කිය යුතු ය. ප්‍රථම සංගීති සමයෙහි අභිධර්ම පිටකය නො තිබිණැ යි කීම ප්‍රතිෂ්ඨා විරහිත හිස් කියුමක් බව ද දතයුතු ය.

ප්‍රථම ධර්ම සංගීති සමයේදී උපාලි මහ තෙරුන් වහන්සේට විනය පිටකයත්, ආනන්ද ස්ථවිරයන් වහන්සේට දීර්ඝ නිකායත්, සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ ශිෂ්‍යයනට මජ්ඣිම නිකායත්, මහ කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත්, අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කළ බව සුමංගල විලාසිනී නම් වූ දීඝනිකායට්ඨ කථා නිදානයේ සංගීති කථාවෙහි දක්වා තිබේ. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බවක් එහි සඳහන් නො වේ. අභිධර්ම පිටකය භාර කළ කෙනකු එහි සඳහන් කර නැත්තේ, අභිධර්ම පිටකය සංගායනා නො කළ නිසා ය යි කියති. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බව එහි සඳහන් නැත ද, අභිධර්ම පිටකය සංගායනා කළ බව එහි පැහැදිලි ලෙස ම දක්වා තිබේ.

“තතො අනන්තරං, ධම්මසංගිණී විභඞ්ගඤ්ච - කථාවත්ථු ච පුග්ගලං, ධාතු යමක පට්ඨානං - අභිධම්මොති වුච්චති ති. එවං සංවණ්ණිතං සුබ්‍රහ්මණාගොචරං තන්තිං සංගායිත්වා ඉදං අභිධම්මපිටකං නාමාති වත්වා පඤ්චඅරහන්තසතානි සජ්ඣායමකංසු. වුත්තනයෙනෙව පඨවි කම්පො අහොසි”.