විනයවිනිශ්චය සංග්‍රහය ප්‍රථම භාගය - පූජාපිටියේ සූරියරතන හිමි 2023.pdf

කතෘ :
පූජාපිටියේ සූරියරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2023
මුද්‍රිත වර්ෂය :
2023
පිටු ගණන :
108
බාගත කිරීම් ගණන :
399
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-05-02
ගොනුවේ ප්‍රමාණය :
2.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 55

විනයවිනිශ්චය සංග්‍රහය (ප්‍රථම භාගය) යනු මහාවිහාරීය ථේරවාදී සම්ප්‍රදායට අනුව විනය පෙළ, අටුවා සහ ටීකා පාඨ පදනම් කරගනිමින් භික්ෂු විනයෙහි එන ගැටලු සහගත කරුණු පිළිබඳ විග්‍රහයන් ඇතුළත් විනය කෘතියකි. දිද්දෙණිය රණගිරිලෙණ සේනාසනාධිවාසී විනයාචාර්ය නුවරඑළියේ ඤාණසීල හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමියන් විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය නාවල ධම්මානන්ද හිමියන් විසින් සංස්කරණය කර ඇත.

භික්ෂූන් වහන්සේලා අතර මතු වන විනය ගැටලු සාකච්ඡා කර විමතිවිනෝදනී ආදී ප්‍රශස්ත ටීකාවන්හි විවරණ ද මූලාශ්‍ර කරගනිමින් නිරාකරණය කරගත් ලිපි සමූහයක් මෙහි ඇතුළත් වේ. ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ විනයානුකූල විනිශ්චයන් පැහැදිලි කර දී ඇත:

  • පබ්බජ්ජා විනිශ්චය
  • උච්චාරණ විනිශ්චය (කර්මවාක්‍ය උච්චාරණය)
  • දල්හීකම්මෝපසම්පදා විනිශ්චය
  • උදකුක්ඛේප-සීමා පිළිබඳ සංක්ෂේප විනිශ්චය
  • වස් එළඹීමේ විනිශ්චය
  • ‘වච්චකොස’ විනිශ්චය
  • අදින්නාදාන පාරාජිකයට අදාළ පාදයේ විනිශ්චය
  • ආහාරා පටිග්ගහණ විනිශ්චය

2023 වසරේදී මහාවිහාරීය විනයාලංකාර ශ්‍රාවක-සංඝසභාව මඟින් ප්‍රකාශයට පත් කරන ලද අතර, වැවල ඇන්කා ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනයේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ඇත.

පිදුම

ථෙරා අරිට්ඨා පරියාපුණිංසු අම්හෙහි ධම්මං විනයං ච ලද්ධං රක්ඛිංසු සබ්බං සකජීවිතං’ව පූජේමි තේ’හං සමනුස්සරන්තො

අප විසින් ලබන ලද ධර්ම-විනය අරිට්ඨාදි (සිංහල) තෙරුන් වහන්සේලා ඉගෙන ගත්හ (ධාරණය කරගත්හ, පරපුරෙන් පරපුරට උගැන්වීම ද කළහ). ස්වකීය ජීවිතය මෙන් (ඒ) සියල්ල රැක ගත්හ. මම එතුමන් වහන්සේලා අනුස්මරණය කරමින් (මෙම ග්‍රන්ථය) සමර්පණය කරමි.

පුණ්‍යානුමෝදනාව

ශාසනයේ ආයුෂ චිරකාලයක් සුරැකේවා! යන උදාර පැතුමෙන් යුතු ව තම දයාබර මෑණියන් වන අනෝමා අල්විස් මාතාව ඇතුළු අනවරාග්‍ර සසරගමනෙහි දී අභාවප්‍රාප්ත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට හා සුජීවත් ව වාසයකරන පැට්‍රික් රත්නතුංග පියාණන් ඇතුළු පවුලේ ඥාතීන් සියලු දෙනාට දිගාසිරිසුව පැතීම සඳහා විනයවිනිශ්චය සංග්‍රහය - ප්‍රථම භාගය මුද්‍රණය කිරීමේ පූර්ණ දායකත්වය ලබාදුන් පිළියන්දල, වැවල, ඇන්කා ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පුද්ගලික සමාගමේ අධිපති පින්වත් රවී අනුෂ්ක උපාසකතුමාගේ එම පැතුමන් ඉටු වී සුව සේ ධර්මාවබෝධයටත් මෙම කුසලය හේතු වේවා’යි මහාසංඝරත්නය වෙනුවෙන් ආශංසනය කරමු.

සංස්කාරක හිමි.

සංස්කාරක හිමි.

පූර්විකාව

‘ආනන්දය, මාගේ ඇවෑමෙන් ධර්ම-විනය නුඹලාට ශාස්තෘන් වහන්සේ වන්නේ යැ’යි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී දේශනා කළ සේක. පළමුවන, දෙවන සහ තෙවන ධර්ම-සංගායනාවන්ගෙන් සුසංගෘහිත තථාගත ශ්‍රී බුද්ධවචනය ලක්දිව පිහිටුවන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. එලෙස ලක්දිව පිහිටුවූ ධර්ම-විනය අනේකවිධ දුක්ගැහැට මධ්‍යයේ පරපුරෙන් පරපුරට අවිච්ඡින්න ලෙස දායාද කිරීමට ලජ්ජී, සුපේශල, ශික්ෂාකාමී ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලා තම දිවි දෙවැනි කොට කැප වූහ. ධර්ම-විනය ආරක්ෂා වීම පර්යාප්ති ශාසනයේ ආරක්ෂාවට හේතු වේ. එය ම ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ ශාසනයන්ගේ ද සුරක්ෂිතතාව තහවුරු කරන්නේ ය.

2022 වසරේ දී අපහට පටිච්චසමුප්පාද-ධර්මය පැහැදිලි කිරීම සඳහා පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ වරින්වර රණගිරිලෙණ සේනාසනයට පැමිණි සේක. එකල ධර්ම-විනය ගැටලු සාකච්ඡා කොට ඒවා නිවැරදි ව නිරාකරණය කරගැනීමට අපට හැකි විය. වරින්වර යොමු වූ විනය-ගැටලු විසඳීම සඳහා අදාළ ත්‍රිපිටකාගත තොරතුරු සම්පාදනය කිරීමේ වගකීම මා වෙත යොමු විය. එබැවින් ඒ සඳහා විවිධ ලිපිලේඛන සකස් කළෙමි. මෙලෙස සකස් කරන ලද ලිපි සමූහය එක්තැන් කොට ග්‍රන්ථයක් වශයෙන් පළ කිරීම සඳහා නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මා දිරි ගැන්වූ සේක.

මේ සියල්ල පිටුපස සිටිමින් සම්බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා ධර්ම-ශාස්ත්‍ර අධ්‍යයනයේ හා භාවනාවෙහි අප මෙහෙයවන නියමුවාණන් වන සේක් අන් කවරෙකුත් නොව අතිපූජ්‍ය නුවරඑළියේ ඤාණසීලාභිධාන ගුරුදේවෝත්තමයන් වහන්සේ ය. අප සියල්ලන්ගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ වන එතුමන් වහන්සේට මෙයින් රැස් වූ සියලු පුණ්‍යසම්භාර-ධර්මයන් සාදර සිතින් යුතු ව අනුමෝදන් කරමි. මෙම කටයුතු සොයාබලා නිවැරදි ගුරු උපදෙස් ලබා දෙමින් අප මෙහෙයවන්නා වූ අපගේ ආචාර්යෝත්තමයන් වහන්සේ වන පූජ්‍ය කුණ්ඩසාලේ අරණ්‍යවේසී ස්වාමීන් වහන්සේ ද කෘතඥතා පූර්වක ව සිහිපත් කරමි. තමන් වහන්සේගේ කාලය, ශ්‍රමය යොදගනිමින් මා විසින් ලියන ලද ලිපි ශෝධනය කරමින් ද නැවත නැවතත් සංස්කරණය කරමින් ද මෙම සමස්ත කර්තව්‍යය පුරාවට මා මෙහෙයවූ පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ උපකාරය ද පුණ්‍යානුමෝදනාවෙන් යුක්ත ව සිහිපත් කරමි.

මෙම ග්‍රන්ථය සම්පාදනයෙන් රැස් කරගත් කුශලශක්තිය සුජීවත් ව සිටින දයාබර මෑණියන්ට ද සහෝදරයා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නීරෝග චිරජීවනය පිණිසත් වහා නිවන්සුව සාක්ෂාත් කිරීම පිණිසත් පාරමී ධර්මයක් වේවා! අභාවප්‍රාප්ත වූ පියාණන් වහන්සේටත් පැවිදි වූ දින පටන් සිවුපසයෙන් උපකාර කළ ගිහි-පැවිදි කල්‍යාණමිත්‍ර සියලු දෙනාටත් මෙයින් ජනිත වූ පුණ්‍යධර්ම අනුමෝදන් කරමි. මෙම ධර්මදානමය කුශලකර්මය ඉන්ද්‍රෝපේන්ද්‍රාදි දිව්‍යරාජ බ්‍රහ්මරාජ සමූහයාටත් සදේවකලෝකයාටත් ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා!

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා !!!

මෙයට, පූජාපිටියේ සූරියරතන හිමි. 16/06/2023

මෙයට,
පූජාපිටියේ සූරියරතන හිමි.
16/06/2023

හැඳින්වීම

වර්තමානයෙහි ගිහි-පැවිදි බොහෝ දෙනා අතර ධර්මසාකච්ඡා සුලභ වුව ද විනය පිළිබඳව සිදුකෙරෙන සාකච්ඡා අඩු බවක් පෙනේ. එබඳු සාකච්ඡාවක් කෙරුණ ද නිවැරදි විනය-විනිශ්චයක් ලබාදීමට විනය පෙළ, අට්ඨකථා, ටීකා දන්නා විනයධරයෝ ද දුර්ලභයහ. භාග්‍යවතුන් වහන්සේ විනය පනවා ඇත්තේ ප්‍රධාන වශයෙන් පැවිදි-ශ්‍රාවකයන්ට ය. එනිසා ගිහිපින්වතුන් අතර විනය-සාකච්ඡාවන් සුලභ නො වීම අරුමයක් නො වේ. එහෙත් පැවිදි-ශ්‍රාවකයන් අතර ද විනය-සාකච්ඡා දුර්ලභ වීම එක්තරා පරිහානියකි. කලාතුරකින් නමුත් මෙකල ද වරින් වර එබඳු සාරවත් විනය-සාකච්ඡාවන් සංවිධානය කිරීම සත්පුරුෂයන් විසින් සිදුකරනු ලැබේ. වර්ෂ 2011 දී එබඳු අවස්ථාවකට සහභාගි වීමට මාහට ද ආරාධනා ලැබිණි. එම ස්ථානය වූයේ අනුරාධපුර, මරදන්කඩවල, ලබුනෝරුකන්ද අරණ්‍ය-සේනාසනය යි. එහි එකල ප්‍රධාන අනුශාසක වූ පූජනීය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දෙදිනක විනය වැඩමුළුවක් සංවිධානය කෙරුණු අතර නා උයන, නාථගනය, රණගිරිලෙණ (දිද්දෙණිය), කිනිතුලාගල යන අරණ්‍ය-සේනාසනවල විනයාචාර්යවරුන්ගේ මූලිකත්වයෙන් එම සාකච්ඡාවාරය සිදුකෙරුණි. ඊට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා තුළ ඒ සඳහා විශාල උනන්දුවක් ඇති වූ අයුරු මාහට දැකගත හැකි විය. එසේ ම වරින් වර ඇතැම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා මා වෙතින් ද විනය ගැටලු විමසන්නට වූ අතර එබඳු අවස්ථාවල දී මාගේ ශක්තිප්‍රමාණයෙන් පිළිතුරු ලබාදුනිමි. වැඩිදුර කරුණු විමසා දැනගැනීමට අවශ්‍ය වූ විට මා බොහෝ දුරට සම්බන්ධ කරගනු ලබන්නේ දිද්දෙණිය, රණගිරිලෙණ අරණ්‍ය-සේනාසනාධිවාසී විනයාචාර්ය පූජනීය නුවරඑළියේ ඤාණසීල හිමිපාණන් වහන්සේ සහ පූජනීය පණ්ඩිත කුණ්ඩසාලේ අරණ්‍යවේසී හිමියන් වහන්සේ ය.

මෙම ග්‍රන්ථය සංග්‍රහ කිරීමේ මූලික ප්‍රස්තුතය එළැඹුණේ ද එබඳු එක් විනය-සාකච්ඡාවකිනි. වර්ෂ 2021 වස්සානය ආරම්භ වූ ඇසළ පුරපසළොස්වක පොහෝදිනට පසු ව එළඹුණු පැළවිය දින මාහට දුරකථනයෙන් කථා කළ පූජනීය නෑදෙළ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ‘වස් එළඹුණු දින ම සත්තාහකරණීයෙන් බැහැර ව යා හැකි දැ’යි කියා මාගෙන් විමසූ සේක. මා ගුරුවරුන්ගෙන් උගත් පරිදි නම්, වස් එළඹුණු දින ම සත්තාහකරණීයෙන් යා නො හැකි බවත් එදින වස් විසූ තැන වැඩසිට පසුදින අරුණ නැගුණු පසු යා හැකි බවත් එදින ම ආපසු එන ගමනක් නම්, පිටත් ව පසුදින අරුණට පළමු ව යළි සෙනසුනට පැමිණිය යුතු බවත් පැවසුවෙමි. ‘මේ පිළිබඳව සඳහන් වන්නේ කුමන ග්‍රන්ථවල දැ’යි කියා මා වෙතින් ඒ හිමියන් විමසූ පැණයට ‘විමසා බලා පිළිතුරු දෙන්නම්’ යනුවෙන් පිළිතුරු දුනිමි. ඒ අනුව මේ පිළිබඳව සඳහන් වන විනයග්‍රන්ථ පිළිබඳව දැනගැනීමට මම පූජනීය කුණ්ඩසාලේ අරණ්‍යවේසී හිමියන්ව සම්බන්ධ කර ගතිමි. ඊට පිළිතුරු දුන් පූජනීය අරණ්‍යවේසී හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ ද දන්නා පරිදි වස් එළඹුණු දින ම සත්තාහකරණීයෙන් පිටත් ව යා නො හැකි බවත් අදාළ පෙළ, අටුවා, ටීකා පාඨ බලා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන බවත් ය. එම විනය පෙළ, අටුවා, ටීකා පාඨ විමසූ පූජනීය අරණ්‍යවේසී හිමියන්ට මෙතෙක් අප දැරූ මතය සාවද්‍ය බව පෙනී ගියේ අදාළ පාඨ දැකගත් විට ය. ඒ අනුව වස් එළඹුණු දින ම සත්තාහකරණීයෙන් බැහැර යා හැකි බවට සඳහන් වන අටුවාපාඨය මා වෙත ද ඉදිරිපත් කරන ලදී. එය කියවා බැලූ මාහට තව දුරටත් ඇති වූ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා මා උපකාර කරගත්තේ ‘විමතිවිනෝදනී’ ටීකාව යි. විමතිවිනෝදනී ටීකාව වනාහි දකුණු ඉන්දියාවේ බුදුසසුන බැබළුණු දහවන සියවස පමණෙහි දී චෝලිය කස්සප මහාතෙරුන් වහන්සේ සම්පාදනය කළ ප්‍රශස්ත ම විනයටීකාව ය. එහි එන විවරණය බැලූ මාහට වස් එළඹීම හා සත්තාහකරණීයෙන් බැහැර ව යාමට අදාළ ව තිබුණු සියලු ගැටලු නිරාකරණය විය. මේ බව මා පූජනීය අරණ්‍යවේසී හිමියන්ට පැවසූ විට ඒ හිමියෝ ද ඊට අදාළ පෙළ, අටුවා, ටීකා පාඨ බලා නැවතත් මනාව පෙළ ගස්වා මාහට එවූහ. එම පාඨ බැලූ මාහට ඇති වූ සිතිවිල්ල නම්, බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස මෙම කරුණු ලියා පළ කළ යුතු බව ය. මෙම අදහස විනයාලංකාර ශ්‍රාවක-සංඝසභාවේ ගරු සභාපති කල්‍යාණමිත්‍ර පූජනීය රජ්ගම විවේකවිහාරී ස්වාමීන් වහන්සේ සමගින් පැවසූ විට ඒ හිමියෝ ද මාගේ අදහස එකහෙලා ම අනුමත කළහ. ඒ අනුව ඇති වුණු සිතිවිල්ලෙන් එදින ම මෙම විනයසාකච්ඡා-සංග්‍රහය ලිවීමට ආරම්භ කළෙමි.

මෙහි මුල් ලිපිය ලියන අතරතුර මෙම ග්‍රන්ථය සංග්‍රහ කිරීම අතරමග දී තාවකාලික ව අඩාල වූ නමුත් වර්ෂ 2022 දී රණගිරිලෙණ අරණ්‍ය-සේනාසනයෙහි ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටින අතර ‘සීමා-විනිශ්චය’ සහ ‘දළ්හීකර්ම උපසම්පදා-විනිශ්චය’ පිළිබඳව ලිපි දෙකක් සකස් කිරීමේ අවශ්‍යතාව පැනනැගුණි. මේ පිළිබඳව මා විනයාචාර්ය පූජනීය පූජාපිටියේ සූරියරතන හිමියන් සමඟින් සාකච්ඡා කොට ඒ හිමියන් තත් කාර්යයෙහි මෙහෙයවීමි. පූජනීය කුණ්ඩසාලේ අරණ්‍යවේසී හිමියන්ගේ ද උපදෙස් ලබාගෙන පූජනීය සූරියරතන හිමියෝ උක්ත මාතෘකාවන්ට ඉතා නිවැරදි වටිනා ලිපි දෙකක් සම්පාදනය කළහ. ඒ අතර පූජනීය කිරිබ්බන්වැව උපනීත හිමියෝ දළ්හීකර්ම උපසම්පද පිළිබඳ පැහැදිලි කෙරෙන විනය-ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස වර්ෂ 2022, ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක-සභාවෙහි දී යෝජනා කළහ. මෙම සියලු කරුණු සලකා බලා විනයවිනිශ්චය නමින් ලිපිසංග්‍රහයක් සැකසීමේ අවශ්‍යතාව විනයාචාර්ය පූජාපිටියේ සූරියරතන හිමියන්ට ඉදිරිපත් කළෙමි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඒ හිමියෝ ඉතා ම හොඳින් තම කටයුත්ත සිදු කළහ. ඉහත ලිපි දෙක මෙන් ම ඒ හිමියන් විසින් සකස් කරනු ලැබූ තවත් ලිපි කිහිපයක් ද මෙහි ඇතුළත් වේ. බොහෝ දෙනාගේ හිතසුව පිණිස තව තවත් මෙබඳු ශාසනික කටයුතුවල නිරත වීමට පූජනීය සූරියරතන හිමියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු සැපත් ධර්මඥාන-භාවනාඥානාදියත් අභිවර්ධනය වේවා’යි ආශංසනය කරමි.

අප සියලු දෙනාට ම විනයපිටකය පිළිබඳව මෙබඳු ඥානවත් බවක් ඇති කර ගැනීමට හේතු වූයේ දිද්දෙණිය, රණගිරිලෙණ අරණ්‍යසේනාසනාධිවාසී විනයාචාර්ය පූජනීය නුවරඑළියේ ඤාණසීල හිමිපාණන් වහන්සේගේ ගුරු-ඇසුර යි. එතුමන් වහන්සේගේ සදුත්සාහය නිසා මහාවිහාරීය ථේරවාදයට අනුව අටුවා-ටීකා සහිත විනයපිටකය මැනවින් හදාරා උගන්වන විනය-ඇදුරු පරපුරක් බිහි විය. මෙම කෘතිය සැකසීමෙහි ලා තම වටිනා කාලය වැය කරමින් නිසි උපදෙස් ලබා දුන්නාහු ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජනීය කුණ්ඩසාලේ අරණ්‍යවේසී හිමියෝ ය. පූජනීය ඤාණසීල හිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නයක් වන පූජනීය අරණ්‍යවේසී හිමියෝ මෙම කටයුත්තෙහි ලා මහත් ශක්තියක් වූහ.

කවරයේ නිමාව සැකසීම වෙනුවෙන් තම වටිනා අදහස් ඉදිරිපත් කළ අප හිතමිත්‍ර ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ උපාසක මහතාව මෙහි දී විශේෂයෙන් සිහිපත් කරන අතර සියතින් නිර්මාණය කරන ලද අලංකාර සිතුවමක් මෙම ග්‍රන්ථය වෙනුවෙන් ලබාදීම පිළිබඳව එතුමාට විශේෂයෙන් කෘතඥ වෙමු. කුඩා කල පටන් ම බෞද්ධ සිතුවම් කලාවෙහි නිපුණ වූ එතුමා වෙසෙසින් අසූමහාශ්‍රාවකයන් වහන්සේලාගේ චිත්‍ර නිර්මාණයේහි ඉතා දක්ෂ කලාශිල්පියෙකු සේ ම පෙළ-අටුවා පිළිබඳ බහුශ්‍රැත සැදැහැති පින්වතෙකි. අනුරාධපුර, පොළොන්නරු චිත්‍ර මෙන් ම අජන්තා චිත්‍ර ශෛලිය ද කැලණි විහාර සිතුවම් ශෛලිය ද අනුගමනය කරමින් නිර්මාණය කළ මෙම රමණීය සිතුවම අපට ලබාදීමේ කුසලය එතුමාට නිවනින් සැනසීම පිණිස හේතු වේවා’යි ආශංසනය කරමි.

සෝදුපත් බැලීමෙහි දී හා අත්පිටපත් පරිගණකගත කිරීමෙහි දී විශේෂයෙන් සහාය වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජනීය නේපාලයේ සෝමරතන හිමියන්ට ද, සෝදුපත් බැලීමේ කටයුතුවලට සහාය වූ පූජනීය ගලේවෙල ඤාණවිජය හිමියන්ට හා පූජනීය හොරණ ඤාණෝදය හිමියන්ට ද මෙම ග්‍රන්ථය පළකරවීමේ කාර්යයෙහි උත්සුක වූ පූජනීය කිරිබ්බන්වැව උපනීත හිමියන්ට මෙන් ම පූජනීය උස්සාපිටියේ නිග්‍රෝධ හිමියන්ට සහ මුද්‍රණ කටයුතු මැනවින් සිදුකරමින් තම ධනවැයෙන් මෙම ග්‍රන්ථය මුද්‍රණය කර දුන් ඒ. එන්. සී. ඒ. මුද්‍රණාලයේ අධිපතිතුමා ඇතුළු දායක වූ සියලු දෙනාට ද සදේවක ලෝකයාට ද මෙම කුශලකර්මය සසරදුකින් නිදහස් වීමට හේතු වේවා’යි ප්‍රාර්ථනා කරමි.

මෙයට, සසුන් ලැදි, නාවල ධම්මානන්ද ස්ථවිර, ධර්මරාජගල රාජමහාවනසෙනසුන, කඳුරුවැව, ඇහැටුවැව. 02/07/2023

මෙයට,
සසුන් ලැදි,
නාවල ධම්මානන්ද ස්ථවිර,
ධර්මරාජගල රාජමහාවනසෙනසුන,
කඳුරුවැව, ඇහැටුවැව.
02/07/2023