උපාසක ජනාලඞ්කාරය - මොරතොට ධම්මක්ඛන්ධ හිමි සහ කරගම්පිටියේ ජෝතිරතන හිමි 1930.pdf

කතෘ :
මොරතොට ධම්මක්ඛන්ධ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1930
මුද්‍රිත වර්ෂය :
1930
පිටු ගණන :
238
බාගත කිරීම් ගණන :
421
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-04-15
ගොනුවේ ප්‍රමාණය :
91 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 120

උපාසකජනාලඞ්කාරය යනු පුරාතනයේ කොත්මලේ පෙරම්පල්ලි විහාරයෙහි වැඩවිසූ ආනන්ද හිමියන් විසින් පාලි භාෂාවෙන් රචිත ප්‍රකට ‘උපාසකජනාලංකාර’ නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජු දවස මොරතොට ධම්මක්ඛන්ධ මහා නායක මාහිමියන් විසින් සිදු කරන ලද්දකි.

ගිහි උපාසක ජනයාගේ ශීල සමාචාර හා විනය ප්‍රතිපත්ති විස්තර කෙරෙන මෙම කෘතියෙහි සරණාගමනය, සීලය, ධූතාංග, ආජීවය, දස පුණ්‍යක්‍රියා, අන්තරායකර ධර්ම, ලෞකික සම්පත්ති, ලෝකෝත්තර සම්පත්ති සහ පුණ්‍යඵල සාධනය යන කරුණු විස්තරාත්මකව ඇතුළත් වේ.

පානදුරේ රන්කොත් විහාරාධිපති කරගම්පිටියේ ජෝතිරතන මහා ස්ථවිරයන් වහන්සේ විසින් සංශෝධනය කර සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය බු.ව. 2474 (ක්‍රි.ව. 1930) දී පානදුරේ මුද්‍රණාලයාධිපති පී. ජේ. කරුණාධාර මහතා විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී.

උපාසකජනාලඞ්කාරය.

රතනත්තයමුපගන්ත්වා ආසීයන්තීති—උපාසකා, (බුද්ධාදි රතනත්‍රය කරා එළඹ හිඳිනු ලැබෙත්නුයි උපාසකයෝ නම් වෙත්) කුසලාකුසලං ජනෙන්තීති—ජනා, (පින්පව් ඇති කෙරෙත්නුයි ජනයෝ නම් වෙත්) උපාසකාව තෙ ජනාවෙති—උපාසකජනා, (උපාසකයෝ වූවාහුත් ඔවුහුමය ජනයෝ වූවාහුත් ඔවුන්මනුයි උපාසකජනයෝ නම් වෙත්) අලං විභූසනං කරීයතෙති—අලඞ්කාරො, (සැරසීම කරනු ලැබෙනුයි අලඞ්කාර නම්) උපාසකජනානං අලඞ්කාරො—උපාසකජනාලඞ්කාරො, නොහොත් උපාසකජනෙ අලඞ්කරීයතෙති—උපාසකජනාලඞ්කාරො යනු නිබ්බචන හෙයින් උපාසක ජනයන්ගේ සැරසීම නොහොත් උපාසක ජනයන් සැරසීම යන අර්ථානුගත නාමයකින් සඤ්ඤිත මෙම ග්‍රන්ථය උපාසක ජනයාගේ සංසාර සාගරයෙන් එතරවීමට අත්‍යන්තොපකාරීවන සේ ගලපා රචනා කරන ලද්දෙකි.

නිර්දෙශානුසාරයෙන් කල්පනාකරනවිට ගැලපීමේ යුක්තිය රම්‍යතර යයි හැඟේ, මෙහි නිර්දෙශයෝ නම් සරණාගමන නිර්දෙශය ශීලනිර්දෙශය ධුතඞ්ග නිර්දෙශය ආජීව නිර්දෙශය දශපුණ්‍යක්‍රියාවස්තු නිර්දෙශය අන්තරායකරධර්ම නිර්දෙශය ලෞකිකසම්පත්ති නිර්දෙශය ලොකොත්තරසම්පත්ති නිර්දෙශය පුණ්‍යඵලසාධක නිර්දෙශ යයි මෙසේ නව දෙනෙක් වන්නාහ.

සංසාර සයුරෙන් එතරවනු කැමතියන්හට පළමුකොට ම සරණාගමනය උවමනා වේ ඒ නොමැති කල අභිප්‍රාය සාංසිද්ධිය නො වන්නේමය එහෙයින් මේ ග්‍රන්ථයෙහි පළමුකොටම එය දක්වනලදි, සරණයෙහි පිහිටි උපාසක ජනයන් විසින් ශීලය අවශ්‍යයෙන් ම සම්පූර්ණ කටයුතු හෙයින් තදනන්තරව ශීලනිර්දෙශය ද එය සම්පූර්ණ කලවුන් විසින් ධුතඞ්ගපරිපූර්ණය කරනවා මිස අනිකක්හට නොහැකිවේ එහෙයින් ඊට ඉක්බිති ධුතඞ්ග ද ඒ සමාදානයෙන් පිරිසිදුවූවන් විසින් ආජීවය මනාසේ රැකියයුතු හෙයින් ඉක්බිතිව ආජීවය ද පරිසුද්ධාජීවය ඇත්තන් විසින් දශපුණ්‍යක්‍රියා වස්තූන්ගේ සම්පාදනය සුකර හෙයින් ඊලඟට දශපුණ්‍යක්‍රියා වස්තු ද තත් පරිපූර්ණයෙන් මතුයෙහි අවිපාකානුභවය පිණිස අන්තරායකර ධර්මපරිවර්ජනය ද තත් පරිවර්ජනයෙන් සිද්ධකටයුතු ඵල දක්වනු පිණිස ලෞකික සම්පත් ද එහි සිටියවුන් විසින් සිද්ධකටයුතු ප්‍රයෝජන දක්වනු පිණිස ලොකොත්තර සම්පත් ද තදනන්තරව ශීලාදීන්ගේ ඵල දක්වනු පිණිස පුණ්‍යඵලසාධක නිර්දෙශය ද දක්වනලදි.

මෙහි සරණාගමනාදි නිර්දෙශයන් දෙශනා අටුවා ටීකා පාඨ උදාහරණ කරමින් ද ඇතැම් කරුණු අදහස් ගෙන විස්තර කිරීමෙන් ද ගැලපීමේ අයුරු උපාසක ජනයන්ගේ පමණක් නොව ධර්මකථිකයන් වහන්සේලාගේ ද විස්තාරාවබොධයට පොහොසත්වෙනවා පමණක් නොව මනීෂීන්ගේ ග්‍රන්ථකර්තෘ කෙරෙහි සම්භාවනීය ගෞරවයට ද හේතුවන්නේමය. පාලිග්‍රන්ථය වනාහි කොත්මලේ “පෙරම්පල්ලි” යන නාමයෙන් ප්‍රකට වූ විහාරයෙහි වැඩවිසූ සිංහලවාචායී භදන්ත ආනන්ද නම් මහා තෙරණුවන්ගේ කෘතියෙකි.

මේ පෙරම්පල්ලි නම් රම්‍යතර විහාරය පණ්ඩ්‍යරාජ්‍යයෙහිදී සිරිවල්ලභ නාමයෙන් ප්‍රකට වූ නගරයෙහි චෝලගඞ්ග නමින් ප්‍රසිද්ධ වූ සාමන්ත රජෙකු විසින් ලොකොත්තර ශාසනයෙහි සර්වඥශාසනය රැකීම ප්‍රධානකර ගෙන කරවනලද විහාරානූනෙන් ප්‍රධාන විහාරයයි ද කලින්කල පැමිණි සතුරු රජයන්ගෙන් ශාසනයට විපත් පැමිණිකල ශාසනායු සංරක්ෂණයෙහි තත්පරවූ සුපෙසල භික්ෂු සංඝයා වහන්සේ මේ විහාරස්ථානයෙහි වැඩවිසූ බැව් ද නිගමන ගාථාවන්ගෙන් පෙනේ.

ජඹුද්‍රොණිපුරය රාජධානි කරගෙන ලංකාරජ්‍යානුශාසනය කල තුන්වෙනි විජයබාහු නම් මහ රජාණන්ගේ නියමයෙන් නගරගිරිපෙදෙව නම් ශ්‍රේෂ්ඨ සෙනෙවියන් විසින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රාධාතූන් වහන්සේත් නිධානකර තබනු පිණිස කරවන ලද්දේදය යනු පොළොන්නරු පුරයෙහි පිහිටුවනලද සිලාලෙඛනයකින් පෙනේ.

බුද්ධවර්ෂ 1769 දී ලක්රජයට පත් කාලිංගමාඝ රජුගෙන් හා ඔහුගේ අමාත්‍යාදීන්ගෙන් ලක්වැසියන්ට අප්‍රමාණ හිරිහැර හා විපත් ද බුද්ධශාසනයාගේ පිරිහීමට හේතු ද ඇතිවූබැව් මහාවංසයෙන් ප්‍රකාශිතවේ මේ කාලයෙහි සුභ නම් සෙනාපතියෙක් යාපව්මතුවෙහි නුවරක්කොට ගෙන ඒ ප්‍රදෙශය හා බුද්ධශාසනය ද රක්‍ෂා කෙළේය, ගෝවින්දනම් පර්‍වත මස්තකයෙහි නුවරක් කොට ගෙන භුවනෙකබාහු නම් ආදිපාද තෙම රුහුණුරට හා එහි නිවැසි භික්‍ෂු සංඝයා සහිත ශාසනයත් රක්‍ෂා කෙළේය, සඛ නම් සෙනෙවි තෙමේ මණිමෙඛලා නම් රටෙහි උස් වූ ගඞ්ගාද්‍රොණි නම් පර්වතයෙහි නගරයක් කරවා ඒ රට හා සම්බුද්ධශාසනයත් රකිමින් විසූයෙය, දහමි සිරිසඟබෝ පරම්පරානුගත වික්‍රමාන්විත විජයබාහු නම් කුමාර තෙමේ වනදුර්ගයට පැමිණ කල්යවනුයේ වත්ති රජ යයි ප්‍රකට වී. මේ කාලයෙහි යට කී විහාර තුන සාදවන ලද්ද යයි සිතීමට ද අවකාශ තිබේ.

බුද්ධ වර්ෂයෙන් 1790 වැන්නෙහි රජයට පැමිණී තුන්වෙනි විජය බාහු නම් නරෙශයන් විසින් කරවනලද යයි ද සිතීමට කරුණු තිබේ, මේ රජ වනාහි යට කී වත්ති රජය, මාඝ රජුට බියෙන් වන්නියෙහි සිට සිංහල සේනාවන් රැස්කර ගෙන දෙමළුන් පන්නා හරිමින් මායාරට අත්පත්කොට ගෙන ජඹුද්‍රොණීපුරය රාජධානිකර ගෙන රාජ්‍යානුශාසනය කෙළේය. * මේ රජ රාජ්‍යයට පැමිණි පසු මාඝ රජුට බියෙන් දළදාධාතූන් වහන්සේ හා පාත්‍රාධාතූන් වහන්සේත් රක්‍ෂාවෙහි නියුක්ත භික්‍ෂු සංඝයා සොලීරට වැඩි බැව් අසා අමතියන් යවා උන්වහන්සේලා මෙහි වැඩමෙව් කල කොත්මලේ කන්දේ නිභිය තැනක පොළොවට නිධාන කොට තුබූබැව් අසා ජඹුද්‍රොණී පුරයට ගෙන්වා මහත් පුදසිරින් පැවැත්වූ බැව් මහාවංසයෙන් පෙනේ, මේ රජු විසින් කරවනලද නම් ඒ ධාතුනිධානය තිබුනු තැන ඒ නිමිතිකර ගෙන කරවන ලද්දක් විය යුතු.

සිංහල උපාසකජනාලඞ්කාරය.

සෙණ්ඩඛණ්ඩ සෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ මහ රජාණන් දවස පූජාවලියෙහි ශිෂ්‍යාකාරී පිටකත්‍රයධර මොරතොට ධම්මක්ඛන්ධ මහා නායක ස්වාමිපාදයන් විසින් පාලිභාෂාව නොදත් මහාජනයාගේ ප්‍රයෝජනය පිණිස සිංහල භාෂාවට පරිවර්තනය කරනලද්දේය, මේ මහා ස්වාමිපාදයන් වහන්සේ නම් ප්‍රියශීලී බහුශ්‍රැත උත්තමයන් වහන්සේ නමකි රාජාධි රාජසිංහ මහරජාණන් විසින් රචනා කරන ලද අසන්දෘශ ජාතකයෙහි මුන්වහන්සේගැන කියනලද කවියක් මෙසේය— “අමර ගුරුහරන සකදන් පිනාවන් විතර නොවන ගුණනැණ සබඳිනාවන් පවර නමැති මොරතොට සතිමනාවන් සසර වසනතුරු මට වාසනාවන්” මේ කාව්‍යයෙන් මුන්වහන්සේගේ ගුණය හා ශාස්ත්‍රඥානය ද ඒ රජ තුමන්ගේ මුන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ද ප්‍රකාශිතයි මේ නායක මහා ස්වාමිපාදයන් වහන්සේ වැලිවිට සරණංකර සංඝරාජ මහා ස්වාමිපාදයන් වහන්සේගෙන් ශබ්දශාස්ත්‍රය සහිත ධර්මවිනය උගත් සියම් දෙශයෙන් උපාලිතෙරණුවන් ඇතුළු මහා සංඝයා ශ්‍රී වර්ධන පුරයට වැඩමවා කල උපසම්පදායෙහිදී අබ්භිලල සඞ්ඛ්‍යාත උපසම්පදාවලත් උතුමෙකි. කරුණු මෙසේ හෙයින් කීර්ති ශ්‍රී රාජසිංහ—රාජාධි රාජසිංහ—ශ්‍රී වික්‍රම රාජසිංහ යන මේ රජවරු තුන්දෙනාම මුන්වහන්සේට සම්මුඛ වූ බැව් පෙනේ.

කීර්ති ශ්‍රී රාජසිංහ මහාරජාණෝ බුද්ධ වර්ෂයෙන් 2290 වැන්නෙහි රජයට පැමිණ වැලිවිට සරණංකරාභිධාන සුපෙසල ශික්‍ෂාකාමී ශාසනදීපක්‍ෂයෙහි අනවරතයෙන් ප්‍රොත්සාහී වූ සාමණෙරයන් වහන්සේගේ උපදෙශානුසාරයෙන් ශාසන වර්ධනයෙහි උත්සාහවත්ව නට බුන් විහාරාරාම ප්‍රතිසංස්කරණය කරවීම හා අභිනව විහාරාරාම කරවීමත් පෙගුදෙසයෙන් හුදකලාව වැඩි එක් මහතෙර නමක් ලබ ලක්වැසි කුලදරුවන් පැවිදි කරවීමත් සියම්දෙසයෙන් උපාලි මහතෙරණුවන් ප්‍රධාන මහා සංඝයා වහන්සේ වැඩමවා උපසම්පදා කරවීමත් යනාදී බොහෝ ශාසන දියුණුවට හේතුවූ කටයුතු කරමින් පන්තිස්වසක් රජසිරිවළඳ පරලෝ සැපත්වුහ. ඉක්බිති ඒ මහාරජාණන්ගේ බාල සොහොයුරු තෙමේ බුද්ධ වර්ෂ 2325 වැන්නෙහි රාජාධි රාජසිංහ යන නමින් රජයට පැමිණ පළමු රජු සේ ශාසනික කටයුතු නොපිරිහෙලා කරමින් අටලොස්වසක් දැහැමින් රජය කරවා පරලෝ ගියේය. ඉන්පසු ඒ රජුගේ බෑනා කෙනෙක් බුද්ධ වර්ෂ 2343 වැන්නෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ යන නාමයෙන් ශ්‍රී වර්ධන පුරයෙහි ම ඔටුනු පැළඳ රජය කරවන කාලයෙහි මේ සිංහල පරිවර්තනය කෙළේය. මේ සිංහල උපාසකජනාලඞ්කාරයෙහි කර්තෘ වූ මොරතොට ධම්මක්ඛන්ධ මහානායක මහා ස්වාමිපාදයෝ පණ්ණාසක් වසකට අඩුනොවූ වයස් ඇතිකාල මේ ග්‍රන්ථකරණයෙන් ලෝකාර්ථ සිද්ධියක් කළාහු යයි මේ පිළිබඳ කරුණු සංසන්දනයෙන් පෙනී යන කරුණකි.

අපේ සුද්ධිය.

පානදුර යන්ත්‍රාලය අයිතිකාර පී. ජේ. කරුණාධාර මහත්මයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරනු නොහැකි වූයෙන් ඉතාම අනවකාශාදියෙන් මේ කටයුත්තෙහි යෙදෙන්ට සිදුවිය, එසේ ද නමුත් අපේ සුද්ධිය ලෝකාර්ථකාමී සුධී ජනයාගේ අමනාප සන්තුෂ්ටියට භාජන නොවන්නේ නම් හේ ජනමානන්තර දොෂයෙක්මය බෙහෙවින්ම අපේ සුද්ධිය මේ උපාසකජනාලංකාරය රචනාකල ආනන්දයතී පරිවර්තනයකළ මොරතොට ධම්මක්ඛන්ධ මහානායක යන ස්වාමිපාදයන් වහන්සේලා තද්ග්‍රන්ථකරණයෙහි ආශ්‍රිත ග්‍රන්ථයන් ආශ්‍රය කිරීමෙන් මහත් පරිශ්‍රමයෙන් ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේලාගේ අදහස මුදුන් පමුණුවාලීමට තත්පරව සිද්ධකලබැව් සිහිබුද්ධිමත්ව කියවාබලන සුධීන්ට වැටහේමය. මේ පොත දෙවරක් මුද්‍රණය කොට විසුරුවා හැර තිබේ ඒ කොපියක් ගෙන මීට සංසන්දනයකර බැලුකල් අපේ සුද්ධියගැන යමක් සිතා ගැනීම අපහසු නොවන්නේමය. මෙහිදු යම් යම් ප්‍රමාද දොෂ ස්ථාන විද්‍යාමාන වීනම් ලෝකාර්ථකාමී සුධීහු සංශොධනය කෙරෙත්වා.

මීට—කාරගම්පිටියේ ජෝතිරතන උන්නාන්සේ. වර්ෂ 1930 අගොස්තු මස 5 වන දින පානදුරේ රන්කොත්වෙහෙරදීය.