උපාසක වත - ගල්පොතුගොඩ ඤාණවංස හිමි 2025.pdf

කතෘ :
ගල්පොතුගොඩ ඤාණවංස හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
90
බාගත කිරීම් ගණන :
1,415
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-04-15
ගොනුවේ ප්‍රමාණය :
1.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 46

උපාසක වත යනු භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස ගිහි පින්වතුන් විසින් දැනගත යුතු විනය කරුණු විස්තර කරමින් පූජ්‍ය ගල්පොතුගොඩ ඤාණවංස හිමියන් විසින් සම්පාදිත ප්‍රයෝජනවත් විනය මාර්ගෝපදේශ ග්‍රන්ථයකි. භික්ෂූන් සහ ගිහියන් අතර පවතින සබඳතාවයේ දී දෙපාර්ශවයට ම වැදගත් වන චාරිත්‍ර හා වාරිත්‍ර ධර්ම මෙහි සරල බසින් පැහැදිලි කර ඇත.

විනය පිටකය සහ අටුවා ටීකා ඇසුරින් කරුණු උපුටා දක්වමින් සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි ආහාර, මුදල්, සිවුරු, පාත්‍ර, ගිලන්පස, සඟසතු දේ පරිහරණය ආදී එදිනෙදා ජීවිතයේ දී ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලා ඇසුරු කිරීමේ දී සැලකිලිමත් විය යුතු විනය කරුණු රාශියක් අන්තර්ගත වේ. පහසුවෙන් වටහා ගැනීම පිණිස රූප සටහන් ද ඇතුළත් කර ඇත.

ග්‍රන්ථයෙහි ප්‍රධාන මාතෘකා කිහිපයක් මෙසේය:

  • ආහාර සම්බන්ධයෙන් දත යුතු කරුණු (පිළිගැන්වීම, කාලික විභාගය ආදිය)
  • මුදල් සම්බන්ධයෙන් දත යුතු කරුණු හා කැපකරු ක්‍රමය
  • සිවුරු, පාත්‍ර, පාවහන් හා සයනය පිළිබඳ කරුණු
  • භික්ෂූන් හමුවට පැමිණෙන ගිහියන්ගේ හැසිරීම
  • සඟසතු පිරිකර, වස් ආරාධනය හා කඨිනය පිළිබඳ කරුණු

මෙම කෘතිය 2025 වසරේ දී අනුරාධපුර ථේරවාද ප්‍රකාශන සමිතිය මගින් ධර්ම දානය පිණිස මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

චිරං තිට්ඨතු ලොකස්මිං සම්මාසම්බුද්ධසාසනං!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වන්නේ අති දීර්ඝකාලයක් පාරමීදම් මුදුන් පමුණුවාගෙන වන අතර ඒ නම් සොළසාසංඛ්‍යෙය්‍ය කල්ප ලක්ෂයක්, අෂ්ටාසංඛ්‍යෙය්‍ය කල්ප ලක්ෂයක්, හෝ සාරාසංඛ්‍යෙය්‍ය කල්ප ලක්ෂයක් ආදී වශයෙනි. මෙසේ අතිදීර්ඝ කාලපරාසයකින් පසු මෙලොවට දායාද වන ලොවුතුරු දහම සමස්ත ලෝකවාසී සත්ත්වයන්ට ම නිවන පිණිස පවතී.

සම්බුද්ධ ශාසනය මත පිහිටා කටයුතු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙන් ම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ද ඉතාමත් අගේ කොට සැලකිය හැකි “උපාසක වත” නම් මෙම ගතට පෙරවදනක් සපයා දීම භාග්‍යයක් කොට සලකමි. මන්දයත් තථාගත සම්බුදු සසුනේ චිරස්ථිතිය සිවුවනක් පිරිස මත රැඳී ඇති බැවිනි.

සිවුවනක් පිරිසේ ක්‍රියාකාරකම් මත ශාසන ප්‍රතිපදාව නො යෑමට ලෝකනාථයන් වහන්සේ මිණිවැලක් අමුණන්නාක් මෙන් විනය සිකපදයන් පෙන්වා දෙන ලදී. එය සම්බුදු සසුනේ ආයුෂය යි.

සසුන් ගුණපුරන්නවුන් මෙන් ම එයට බැස ගන්නා උවැසි උවැසියන්ටත් තම ගුණයන් පුරාගනුවස් පෙළදහමට අටුවා ටීකාවනට අනුව “උපාසක වත” නම් මෙම ගත ඉතාමත් උචිත අයුරින් සකසා දෙනුයේ පන්දහසක් කල් ලෝදම් බැබළීම පිණිස ය. වර්තමානයේ ගිලිහී යන චර්යා ධර්මයන් විනය කාරනා මෙම ගතින් සකසා ගැනීමට මනා ව ඉවහල් වේ.

තථාගත පරිනිර්වාණයෙන් වසර 2600 පමණ ගෙවී ඇතත් අද දක්වාත් සසුන බැබළෙන්නේ සුපේශල ශික්ෂාකාමී යතිවරු නිසා ම ය.

එවන් යතිවර පරපුරක් යටතේ ස්වකීය පැවිදි දිවිය ආලෝක කරගනිමින් තමාත් බැබළී සිවුවනක් පිරිස ද බබළවමින් සම්බුදු සසුන ආලෝකමත් කිරීමට ගන්නා ලද මෙම උත්සහය ඉතාමත් අගනේ ය.

බොහෝ කලක් බුරුම රට ධර්මය හදාරමින් තම නැණ ඔප්නංවාගත් පූජ්‍ය ගල්පොතුගොඩ ඤාණවංස ආයුෂ්මතුන්ට මෙම කුසලය නිවන පිණිස ම හේතු වේවා!

මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට උරදුන් සැමටත් මෙත් සිතින් ආශිර්වාද කරමි.

මෙයට,

මෙත්සිතින්,

පහලවිටියල ජනානන්ද මහා ස්ථවිර
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සම්මාන අනුනායක
මහෝපාධ්‍යාය, ශාසන කීර්ති ශ්‍රී පටිපත්ති ශෝභන
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය හා ප්‍රධාන අනුශාසක

හැඳින්වීම

මෙම සම්බුද්ධ ශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලදරුවනට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත්, වටිනාකම පමණ කළ නො හැකි, අතිඋත්තම අතිදුර්ලභ වස්තුවෙකි. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද රජකම්වලට හිමිකම් ඇති රජපුත්තු ද අපරිමිත ධනසම්පත් ඇති මහසිටුවරු ද සිටුපුත්තු ද රජසම්පත් සිටුසම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍රශීලය වේ. එබැවින් එයට ‘අධිශීලය’යි ද කියනු ලැබේ. එය රක්ෂා කරන තැනැත්තා ආපායිකාදී දුක්බයන්ගෙන් හා අත්තානුවාදාදී භයින් ද මුදවන බැවින් ‘ප්‍රාතිමෝක්ෂ සංවරශීලය’යි ද කියනු ලැබේ. එහි අනුසස් නො අඩුව ලැබීමට එය නො නැසෙන පරිදි, සිදුරු නො වන පරිදි, පළුදු නො වන පරිදි රැකිය යුතු ය. එය මැනවින් රැකිය හැකි වීමට එයට අයත් ශීලාංගයන් දත යුතුය.

ඉහත කියන ලද අකාලික ශාසනය වනාහි භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට නිවන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙන ඒකායන මාර්ගය යි. එහි දී භික්ෂුවිනය සේ ම ගිහිවිනයත් ඇත. භික්ෂූන් ගිහිපින්වතුන් සමග ද ගිහිපින්වතුන් භික්ෂූන් සමග ද ආශ්‍රය නිශ්‍රය කිරීමේ දී කළ යුතු හා නො කළ යුතු දෑ (චාරිත්‍ර වාරිත්‍ර) පිළිබඳව බෞද්ධයන් වශයෙන් දැන ගැනීම ඉතා වැදගත් වේ. එසේ දැන ගැනීම අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය රකින භික්ෂූන් වහන්සේලාගේ නිවන් ගමන පහසු කරන්නේ මෙන් ම, නිවන් ගමන ඉක්මන් කරන්නා වූ මහඟු උපකාරයකි.

නිවනින් නිවිය හැක්කේ කුසලයක් උපදවා ගෙන මිසක අකුසල් රැස් කරගෙන නොවේ. වර්තමාන කාර්ය බහුල සමාජීය තත්ත්වයන් මත ශාසනික චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ බොහෝ ගිහියෝ සේ ම ඇතැම් භික්ෂූන් වහන්සේලා ද තැකීමක් නො කරති. ඔවුන්ගේ මතය වන්නේ කාලය ට අනුව සියලු දේ ම වෙනස් වන බව යි. නමුත් ඔවුන් නො දන්නා කරුණ නම් සම්බුද්ධ ශාසනය සහ බුද්ධ දේශිත සද්ධර්මය සෑම කල්හි ම වලංගු වන අතර විනය ශාසනයේ ආයුෂය වන බව ය.

මෙකල විනය රකින්නෝ අල්ප ය. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු අනාගතයේ දී වන බව දන්නා නිසාවෙන් සෑම කාලයට ම අදාළ ව විනය සික්ෂා පැණවූ සේක. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය මුඛ පරම්පරාගත ව පැමිණීමෙන් පසු ව ග්‍රන්ථාරූඪ වූයේ එහි කිසිදු වෙනසක් සිදු නො කර ය. එසේ නිර්මල ව නිවැරදි ව සිදු කළේ එතෙක් කල් නො කිලිටි ව රහතන් වහන්සේලා විසින් එය පරපුරෙන් පරපුරට ගෙන එන ලද බැවිනි. එනමුත් වර්තමාන සමහර භික්ෂූන් වහන්සේලා විසින් ඒ නිර්මල ධර්මය විකෘති කිරීමට පටන්ගෙන ඇත. විනය සික්ෂාපදයන් එදා මෙන් අදත් අපහසුවකින් තොර ව රැකිය හැකි බව විනය රකින්නෝ දනිති.

අපගේ අඩුපාඩු ව නම් ඒවා හරිහැටි නො දැන අකුසල් රැස්කර ගැනීම යි. ඊට අමතර ව එම නො දැනුවත්කම නිසා ම භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් අපහසුතාවයන්ට මුහුණ පාන්නට සිදු වී ඇත. එවන් පසුබිමක සරල ව ගිහිපින්වතුන් විසින් දැනගත යුතු විනය කරුණු පිළිබඳ මනා ව දැනගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමි.

මෙය හැකිතාක් සරල ව ලිවීමට අදහස් කළේ සියලු දෙනාට ම එක සේ වටහා ගැනීමට පහසු වීම පිණිස යි. තැන් කිහිපයක රූප සටහන් යෙදුවේ ද සුබාවබෝධය පිණිස ම ය. එය කාටත් පහසුවක් වේ යැයි සිතමි.

එමෙන් ම මෙහි ඇතුළත් කරුණු විනය පිටකයෙන් උපුටා ගත් කරුණු ය. මෙහි පාලිය ඇතුළත් නො කළේ ග්‍රන්ථය මහත් වන නිසාවෙනි. පාලිය ඇතුළත් නො කලත් එහි අර්ථයට හානියක් නොවන සේ හැකිතාක් සරළ කොට ඇතුළත් කළේ කියවන්නන් හට පහසුවෙන් අවබෝධ වීම පිණිස ම යි. මෙහි ඇති කරුණු පිළිබඳ යම් කෙනෙකුට සැකයක් ඇත්නම් ත්‍රිපිටකයෙන් බලා සැක තැන් දුරු කරගත හැක. එම කරුණු උපුටාගත් ග්‍රන්ථයන් සැකෙවින් මාතෘකා පිළිවෙලින් මෙහි දක්වා ඇත.

මෙම ග්‍රන්ථය සංස්කරණය කිරීම සඳහා ආරාධනා කළ පින්වත් එම්. ජී අමිල ප්‍රියංකර මහතාටත් පින්වත් ජනක රංග මහතාටත් මෙම පුණ්‍ය කර්මය හේතුවෙන් සසර ජයගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා.

මෙම ග්‍රන්ථය සැකසීමෙහිලා සෝදුපත් බලමින් උපකාර කළා වූ පූජ්‍ය බද්දේගම වජිරනන්ද ස්වාමින් වහන්සේට ද, පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමින් වහන්සේට ද, පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමින් වහන්සේට ද, පූජ්‍ය පූජාපිටියේ සූරියරතන ස්වාමින් වහන්සේට ද, පූජ්‍ය කටුවන ධම්මසාර ස්වාමින් වහන්සේට ද උපකාර කළ අනෙකුත් සියලු ම ස්වාමින්වහන්සේලාට ද මෙම කුසලය නිවන් පිණිස ම හේතු උපනිශ්‍රය වේවා. මෙම ග්‍රන්ථය සඳහා සිතුවම් නිර්මාණය කළ පින්වත් කේ. වයි. ඩිලේඛා සවිනි මධූමාලි සහෝදරියටත් මේ පින නිවන් පිණිස ම හේතු උපනිශ්‍රය වේවා.

එසේ ම මේ සඳහා තවත් සෝදුපත් බැලීම් ආදියෙන් උපකාර කළා වූ පින්වත් මෑණියන් ඇතුළු සියලු ම ගිහි පින්වතුන්ටත් මුද්‍රණ දායකත්වය දැරූ සියලු ම දෙනාටත් මුද්‍රණාලයාධිපති තුමන් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලයටත් මෙම කුසලය අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා. එමගින් සසර ජයගෙන උතුම් නිවනින් සැනසීම පිණිස ම මෙම කුසලය හේතු උපනිශ්‍රය වේවා.

සෑම දෙනාට ම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මගඵලවලට පැමිණීමට මෙම ග්‍රන්ථය හේතු උපකාර වේවා.

තෙරුවන් සරණ ම වේවා!

ග. ඤාණවංස හිමි.

පුණ්‍යානුමෝදනාව

• “සාගාරා අනගාරා ච -උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා, ආරාධයන්ති සද්ධම්මං - යොගක්ඛෙමං අනුත්තරං.” “ගිහි පින්වතුන් ද, පැවිදි උතුමන් ද යන දෙපක්ෂය ඔවුනොවුන් ඇසුරු කිරීම නිසාවෙන් (ප්‍රතිපත්ති-ප්‍රතිවේධ) සද්ධර්මය ද, අරිහත්වය සහ නිවන ද සම්පාදනය කෙරෙත්.” • “සාගාරෙසු ච චීවරං - පච්චයං සයනාසනං, අනගාරා පටිච්ඡන්ති - පරිස්සයවිනොදනං.” “පැවිදි උතුමෝ ගිහි පින්වතුන්ගෙන් පීඩා උපද්‍රව දුරු කරන සිවුරු ය, සෙනසුන් ය, පිණ්ඩපාත ය, ගිලන්පස ය යන ප්‍රත්‍යය ද පිළිගනිත්.” (ඛුද්දකනිකායො/ බහුකාරසුත්තං)

“භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස ගිහි පින්වතුන් විසින් දැන ගත යුතු කරුණු” යන මැයෙන් “උපාසක වත” නමින් වටිනා දහම් පුස්තකයක් සම්පාදනය කළ, ගෞරවනීය ගල්පොතුගොඩ ඤාණවංස ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දිගාසිරි පිණිසත්, පාරමී පුරමින් පතන්නා වූ බෝධියකින් අසංඛත වූ නිර්වාණ ධාතුව අවබෝධය පිණිසත්, මෙම ධර්ම දානමය කුසලය හේතු උපනිශ්‍රය ම වේවා!

මේ උතුම් දහම් පුස්තකය සඳහා දායකත්වය දැරූ මේ සඳහා නන් අයුරින් දායක වෙමින්, උපකාර කළ සෑම සියලු දෙනාගේ පවුල්වල සුජීවත් ව සිටින දෙමාපිය ආදී ඥාතීන්ට ද, නමින් මිය පරලොව ගිය සියලු ම ඥාතීන්ට ද, මෙම උතුම් කර්තව්‍යයට සම්බන්ධ වන්නට හැකි වූ අපට ද, ලෝකවාසී සියලු සත්ත්වයන්ට ද ප්‍රාර්ථනීය බෝධිවලින් වහ වහා උතුම් නිවනින් නිවීම පිණිස ම, මෙම උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා!

මෙම දහම් පුස්තකය මුද්‍රණය කරන්නට දායක වූ “පාරමී මුද්‍රණාලයේ” අධිපතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, ධර්මාවබෝධය පිණිස ම මෙම උතුම් කුසලය හේතු වාසනා වේවා!

මෙයට ශාසනාලැයති,

අමිල ප්‍රියංකර.