රතනමඤ්ජුසා නාම අභිධම්මමාතිකා සජ්ඣායනා - කණ්ඩක්කුලමේ මෙත්තානන්ද හිමි 2025.pdf
- කතෘ :
- කණ්ඩක්කුලමේ මෙත්තානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2025
- මුද්‍රිත වර්ෂය :
- 2025
- පිටු ගණන :
- 146
- බාගත කිරීම් ගණන :
- 460
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2025-03-15
- ගොනුවේ ප්‍රමාණය :
- 2.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රතනමඤ්ජුසා නාම අභිධම්මමාතිකා සජ්ඣායනා යනු අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණයන්හි එන මාතෘකාවන් දිනපතා සජ්ඣායනය කිරීම පිණිස සම්පාදනය කරන ලද අත්පොතකි. මෙය අනුරාධපුර ථෙරවාද ප්‍රකාශන සමිතිය මගින් 2025 වර්ෂයේදී ධර්ම දානය පිණිස මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.
මෙහි අභිධර්ම සජ්ඣායනාවෙහි ආනිසංස, අභිධර්මය පිළිබඳ මූලාශ්‍ර සටහන් සහ අටුවා-ටීකා ඇසුරෙන් සැකසුණු හැඳින්වීම් අන්තර්ගත වන අතර, ප්‍රධාන වශයෙන් ධම්මසංගණී, විභංග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක සහ පට්ඨාන යන අභිධර්ම ප්රකරණ හතෙහි මාතෘකා පාලියෙන් පෙළගස්වා ඇත. ඊට අමතරව ආරම්භක ගාථා, නමස්කාර පාලිය සහ ඒවායේ සිංහල තේරුම් ද පරිශීලකයාගේ පහසුව පිණිස ඇතුළත් කොට තිබේ.
පෙරවදන
රතනමඤ්ජුසා නම් වූ මේ අභිධර්ම මාතෘකා සජ්ඣායනාමය වන්දනා පොත, දිගු කලක සිට තිබුණු අදහසක ප්රතිඵලයකි. ශාසන අන්තර්ධාන කතාවල සඳහන් පරිදි පරියාප්ති ශාසන අන්තර්ධානයේ දී මුලින් ම අතුරුදන් වනුයේ අභිධර්ම පිටකය යි. ඒ අභිධර්මය නම්, සම්මාසම්බුදුවරුන්ගේ විශිෂ්ටතම දේශනා ය. අධික වූ දේශනාය. එබඳු දේශනාවක් උගනිමින්, උගන්වමින් දරා ගැනීම ද අධික වූ විශේෂ වූ සිහියක් හා නුවණක් ඇති සත්පුරුෂයන්ට ම අයත් ධූරයකි. ලොව පිරිහෙන කලට සත්ත්වයෝ අධික කෙලෙස් සහිත වූවාහු, සිහිය නුවණ දුර්වල වූවාහු වෙත්. එබැවින් ගාම්භීර අර්ථ ධර්ම දැරීමට තරම් ආධ්‍යාත්මික ශක්තියක් නැතිකමින් ම ගැඹුරු ධර්මය උගෙනීම, උගැන්වීම අතහැර දමත්. එබැවින් කෙතරම් දුර්ලභ වුවත්, විශිෂ්ට වුවත් ප්‍රයෝජනවත් මේ අභිධර්මය පළමුව අතුරුදන් වේ. ධර්මතාවය එසේ වුව ද එය දැන ඒ අතුරුදන් වීම පමා කරවීමට අපට හැකි අයුරින් මේ අග්‍ර ධර්මය අප විසින් පුරුදු පුහුණු කරමින් දරාගත යුතුව ඇත. මෙකල බුරුම රටට වැඩම කොට බොහෝ අපහසුතා මැද එරට ශේෂව පවතින අභිධර්ම නයක්‍රම උගෙනවිත් ගිහි පැවිදි සත්පුරුෂයන්ට උගන්වන්නා වූ ගුරු උතුමන් කිහිපදෙනෙකුන් වහන්සේලා නිසා මෙරට ද නැවතත් අභිධර්මයට යම් ආලෝකයක් එක්වෙමින් පවතී. පැවිදි උතුමන් ද, උපාසක උපාසිකාවන් ද පට්ඨාන ධර්ම සජ්ඣායනාදිය දිනපතා කරන අයුරු දැක ගැනීමට හැකිය. ඒ සත්ක්‍රියාව ම දිගුවක් වශයෙන් අභිධර්ම සප්තප්රකරණයේ ම අඩංගු සියලු මාතෘකා සංග්‍රහයකි මේ. රුවන්මැලි මහසෑරළුව ආදි පූජනීය ස්ථානවල පිරිත්, සූත්‍ර, ගාථා, බෝධිපූජා කවි ආදිය සජ්ඣායනා කරන සැදැහැවතුන් වෙත ද මේ අභිධර්ම මාතෘකා සජ්ඣායනය හුරුවේත්වා!
මේ අභිධර්ම සජ්ඣායනය නිවන් දොරටුවකි. පටිසම්භිදා සහිත අරිහත්වයට උපනිශ්‍රයකි. තදංග වශයෙන් කෙලෙස් යටපත් කරයි. පිරිතේ ආනිසංස ද ලබාදෙයි. එබැවින් ශාසනමාමක, ආත්මාර්ථයෙහිත් පරාර්ථයෙහිත් දක්ෂ, ශාසන උන්නතිය පතන, සියලු තථාගත ශ්‍රාවක ශ්‍රාවිකා, පැවිදි ගිහි සියලු සත්පුරුෂයන් විසින් දිනපතා කොටස් වශයෙන් හෝ සජ්ඣායනයට උත්සුක වෙත්වා! මේ ශාසනය රැකිය යුත්තෝ අප ම ය. පරියාප්ති ධර්මය ඇතිතාක් ම ප්‍රතිපත්ති ධර්මය පවතී. ප්‍රතිපත්ති ධර්මය ඇතිතාක් ම ප්‍රතිවේධ ධර්මය පවතී. එනම් සත්ත්වයන්ගේ සසර දුකින් මිදීම පවතී.
රතනමඤ්ජුසා - බුදුන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයෙන් සතරවන සතියේ දී මහා බෝධියට වයඹ දිගින් පිහිටි රතනඝරයෙහි වැඩහිඳ අභිධර්මය සම්මර්ශනය කළ සේක. ඒ නිමිති කොට මෙහි නාමය “රතනමඤ්ජුසා” ලෙස යෙදුවෙමු. මේ, විමතිවිනෝදනී ටීකාකාර චෝලියකස්සප තෙරණුවන් විසින් විරචිත මෝහවිච්ඡේදනී නම් අභිධර්ම ටීකාවේ පාලි කොටසයි.
ආරම්භක ගාථා - අත්ථසාලිනී නම් වූ ධම්මසංගණී අටුවාවේ එන ආරම්භක ගාථාවන්ගේ අටවන ගාථාව හැර, පළමුවන ගාථාවේ සිට එකොළොස්වන ගාථාව දක්වා ගෙන පසුව අප විසින් සලකන අර්ථය හැඟවෙන ලෙස ඉතිරි ගාථා ප්‍රබන්ධ කර ඇත. අත්ථසාලිනියේ එන ගාථා යෙදීමට හේතුව අභිධර්මය පිළිබඳ විවිධ අසත්‍ය කථා ගොතන අයට මූලාශ්‍ර මඟින් ම කරුණු දැක්වීම සුදුසු නිසා ය. මේ පෙරවදන සැකසීමේදී පාලි මූලාශ්රපාඨ හැකිතාක් අඩුකොට ග්‍රන්ථය විශාල වීම වැළැක්වීමට උත්සාහ දැරුවෙමු. ඒ මෙම ග්‍රන්ථය එදිනෙදා පරිශීලනයට සුදුසු කුඩා අත් පොතක් කිරීම සඳහා ය. එහෙත් අම්බසේවන ගරුසීනාන නයින් අභිධර්මයට ඇති දුර්මත බැහැර කරවනු පිණිස යෙදිය යුතු ම යැයි සැලකූ කරුණු ඇතුලත් කළෙමු. තව ද මෙහි අර්ථ ආනිසංස දක්වා උත්සාහ ජනනය පිණිස සුදුසු පරිදි පෙළ, අටුවා, ටීකා කොටස් යෙදුවෙමු.
නමස්කාර පාඨය - ස්කන්ධාදීන්ගේ නොසිඳී පැවැත්ම නම් වූ සංසාර සාගරය, විස්තර විභාග දක්වමින් දේශනා කරනුයේ නයසාගර නම් වූ ත්‍රිපිටක ධර්මයෙනි. ධර්ම, අර්ථ, දේශනා, ප්‍රතිවේධ වශයෙන් සතර ගාම්භීර්යයෙන් යුතු ඒ ත්‍රිපිටක ධර්මය ද ඤාණසාගර නම් වූ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාන, ප්රඥප්ති යන සකලවිධ ඥෙය්‍ය මණ්ඩලය ම ඉතිරියක් නැතිව දක්නා වූ සර්වඥතා ඥානයෙන් ම සම්මා සම්බුදුවරු ම දකිත්.
මේ කරුණු සලකා විවිධාකාරයෙන්, විශේෂාකාරයෙන් බුද්ධගුණ, බුද්ධඥාන, මතුකරමින් බුදුන් වහන්සේට නමස්කාර කිරීම බුද්ධානුස්සතියක් ද විශේෂ අධිකාරයක් ද වන හෙයින් නිතර භාවිතා කරන සුපුරුදු නමස්කාර පාඨය වෙනුවට “ඒ අනන්ත නයසාගර, ඥාන සාගර පරතෙර පත් අභිධර්ම දේශක වූ සම්මාසම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!” යන අර්ථයෙන් යුතු මෙබඳු නමස්කාර පාඨයක් යෙදුවෙමු.
මෙයින් ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් තෙරණුවෝ සරද නම් තාපස අවධියේ නිරෝධයට සමවත් අනෝමදස්සී දසබලයන්වහන්සේට සත්දිනක් පුරා පුෂ්ප ඡත්රයක් (මල් කුඩයක්) දරා සර්වඥතා ඥානය සහිත අනේක බුද්ධ ගුණයන්ට සිය ගණනක් (දෙසිය සතළිස් එකක්) ගාථාවන්ගෙන් ගුණ ගයා අනෝමදස්සී බුදුන් වහන්සේගේ දක්ඛිණ ශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේ බඳුව අනාගතයේදී මම ද එක්තරා බුදුකෙනෙකුන්ට ප්‍රථම අග්‍ර ශ්‍රාවක වෙම්වා! යි කළ ප්‍රාර්ථනාවට විවරණ ලැබ මේ බුද්ධ ශාසනයේ දක්ඛිණ ශ්‍රාවක තනතුර ලැබීමට තරම් අධිකාරයක් වීම සලකා ත්‍රිපිටක අර්ථකථාගත අනේකවිධ බුද්ධගුණ උගෙන දරා සිහිකිරීමට ද ගායනයට ද උත්සුක වනු මැනවි. මේ දුර්ලභ බුද්ධෝත්පාදක්ෂණය අර්ථවත් කරගනු මැනවි.