විපස්සනා භාවනෝපදේසය - මහාසී සයාඩෝ හිමි, කහටපිටියේ සුමතිපාල හිමි 1966.pdf

කතෘ :
මහාසී සයාඩෝ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2009
මුද්‍රිත වර්ෂය :
2009
පිටු ගණන :
62
බාගත කිරීම් ගණන :
743
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-02-10
ගොනුවේ ප්‍රමාණය :
8.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 32

විපස්සනා භාවනෝපදේශය යනු අග්ගමහා පණ්ඩිත භදන්ත ඌ සොභන මහාසී සයාඩෝ මහා ස්ථවිරයන් වහන්සේ විසින් විදර්ශනා භාවනා වඩන යෝගාවචරයන් උදෙසා දේශනා කරන ලද ප්‍රායෝගික භාවනා උපදෙස් ඇතුළත් කෘතියකි. බුරුමයේ ප්‍රචලිත වූ මෙම භාවනා මාර්ගෝපදේශය, කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය කහටපිටියේ ශ්‍රී සුමතිපාල මහා නාහිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය නිවැරදිව ප්‍රගුණ කරන ආකාරය, භාවනාවේදී ඇතිවන අත්දැකීම් සහ ගැටලු නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහි විස්තර කෙරේ. බුද්ධ ජයන්ති සමයේදී ලංකාවට විදර්ශනා භාවනා සම්ප්‍රදාය ලැබුණු ඓතිහාසික පසුබිම පිළිබඳව ද පොතෙහි හැඳින්වීම් මගින් කරුණු අනාවරණය වේ.

මෙම පස්වැනි මුද්‍රණය 2009 වසරේදී ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියන්ගේ සංස්කාරකත්වයෙන් දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.

කඳුබොඩ විපස්සනා භාවනාව

දෙවි මිනිස් සැප ලැබීමේ මාර්ගය ලොව කවදාත් ඇත්තේ ය. නිවන් මග ඇත්තේ ලොව බුදුවරයන් පහළ වන කාලවල පමණෙකි. දෙවි මිනිස් සැප ලැබීමේ මග ද බුදුවරයන් වහන්සේලා දේශනය කරන නමුත් උන්වහන්සේලා ලොව පහළ වීමේ ප්‍රධාන කාරණය සසර දුක් විඳිනා සත්ත්වයන් ඉන් මුදවා නිවනට පැමිණවීම ය. නිවන් ලැබීම සඳහා උන්වහන්සේලා විසින් දක්වන මාර්ගය විදර්ශනා භාවනාව ය. විදර්ශනාව හැර නිවන් ලැබීමේ දෙවන මගක් ද නැත. සම්පත්තියේ බෞද්ධයන් අතර දන්-සිල් පිළිබඳව මිස විදසුන් වැඩීම පිළිබඳ එතරම් උනන්දුවක් නො තිබිණ. භාවනා ගැන උදාසීනව විසූ බෞද්ධයන් අතර බුද්ධ ජයන්තිය කාලයේ දී භාවනා පිළිබඳ මහත් උද්‍යෝගයක් ඇති විය. බොහෝ දෙනා භාවනා ගැන සොයන්නටත්, භාවනා කරන්නටත් පටන් ගත්හ. මේ කාලයේ කහටපිටියේ සුමතිපාල මහාස්ථවිරයන් වහන්සේ භාවනා ගැන සෙවීම පිණිස බුරුම රටට ගොස් එහි අතිප්‍රසිද්ධ කර්මස්ථානාචාර්ය්‍යවරයකු වන මහාසී ශයාඩෝ යන නම ව්‍යවහාර කරන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහාස්ථවිරයන් වහන්සේ වෙතින් සතිපට්ඨාන විපස්සනා භාවනාව පුහුණු කොට පෙරලා වැඩම කළහ. උන්වහන්සේ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ වෙසෙමින් එහි පැමිණෙන බොහෝ බැතිමතුන්ට තමන් වහන්සේ විසින් ප්‍රතිඵල අත් දැක ඇති ඒ සතිපට්ඨාන විපස්සනා භාවනාව පුහුණු කරවන්නාහ.

ඒ ඒ ආචාර්ය්‍යවරයන් විසින් පුහුණු කරවන විදර්ශනා භාවනා ක්‍රම බොහෝ ගණනක් ඇත්තේ ය. ඒවායින් දැනට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ පුහුණු කරවන විදර්ශනා ක්‍රමය ඉතා ඉක්මනින් ඵල දැකිය හැකි භාවනා ක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකුන් විසින් තම තමන් ගේ අත්දැකීම් අනුව ම පිළිගෙන ඇත. ඉක්මනින් ඵල දැකිය හැකි වන බැවින් ඒ භාවනා ක්‍රමය ජනප්‍රිය විය. එය පුහුණු කරවන භාවනා මධ්‍යස්ථාන බොහෝ ඇති විය.

මේ භාවනා මධ්‍යස්ථානවලින් නිවන් සොයන සත්පුරුෂයන්ට සිදුවන යහපත ඉතා විශාල ය. ඇතමුන් මේ භාවනා මධ්‍යස්ථාන වැඩක් නැති ඒවා ලෙස පහත් කොට කථා කරන්නේ භාවනා ගැන නො දැනීම නිසා ය. උපදෙස් දෙන, යෝගීන්ගේ සැක දුරු කර දෙන, පසු බසින කල්හි යෝගීන් උනන්දු කරවන, නිතර සොයා බලා යෝගීන් ආරක්ෂා කරන, ගුරුන් නො මැතිව ආහාර පාන පිළියෙල කර දෙන, උපස්ථායකයන් නොමැතිව තම තමන් සියල්ල කර ගනිමින් භාවනා කොට භාවනාව දියුණු කර ගැනීම අති දුෂ්කර ය. මේ මධ්‍යස්ථානවල ඒවාට පැමිණෙන යෝගීන්ගේ තතු දිනපතා පරීක්ෂා කර ඔවුන්ට උපදෙස් දෙන්නා වූ, සැකයක් බියක් ඇති වුවහොත් ඒවා දුරු කරදෙන්නා වූ, යෝගීන් පසු බසිනා කල්හි උත්සාහ කරවන්නා වූ පලපුරුදු ආචාර්ය්‍යවරු ඇත්තාහ. අඩුවක් නැතිව කලට වේලාවට දානය, ගිලන්පස සපයන උපස්ථායකයෝ ඇත්තාහ. ඒ නිසා ඒවාට පැමිණ භාවනා කරන පින්වතුන්ට ඉක්මණින් භාවනාව දියුණු කරගත හැකි වන්නේ ය. ඉක්මනින් භාවනා රසය, භාවනාමය ප්‍රීතිය ලැබිය හැකි වන්නේ ය. තනි තනිව භාවනා කරන කල්හි පැමිණෙන්නවුන් හා කථා කරන්නට සිදුවීම් ආදියෙන් නිතර භාවනාව අතපසු වේ. පිරිසක් එකතුව කාල සටහනක් අනුව වැඩ කරමින් භාවනා කරන කල්හි අතපසු වීමක් නැතිව භාවනාවෙහි යෙදිය යුතු සම්පූර්ණ කාලයේ ම භාවනාවෙහි යෙදෙන්නට ලැබේ. භාවනා මධ්‍යස්ථානවල කාල සටහන් අනුව බොහෝ දෙනෙකුන් එකතුවී භාවනා කරන බැවින් ද ඒවායේ දී ඉක්මනින් භාවනාව දියුණු වේ. කරුණු මෙසේ හෙයින් සසර දුකින් මිදෙනු කැමැති නිවන ළං කර ගනු කැමැති කල්ප කෝටි ගණනකිනුදු නො ලැබෙන බුදුසසුන මුණ ගැසී ඇති මේ උත්තම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබනු කැමැති පින්වත්හු භාවනා මධ්‍යස්ථානයන්ට ඇතුළුව භාවනාවෙහි යෙදෙත්වා.

මීට, ලෝවැඩ කැමති, රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර, පොකුණුවිට 1966

පෙරවදන

“විපස්සනා භාවනෝපදේශය” නමැති මෙම පොත් පිංච බුරුම රට භාවනා මධ්‍යස්ථානවල බොහෝ සෙයින් භාවිතයට පත්ව ඇති පොතකි. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනා කිරීමෙන් හා භාවනා ක්‍රම උගැන්වීමෙන් ද ලත් අත්දැකීම් ඇති “මහාසී ශයාඩෝ” නම් බුරුම මහාස්ථවිරයන් වහන්සේ යෝගීන්ට කරන ලද දේශනා මෙම පොතට ඇතුළත්ව තිබේ. පළමුව එම දේශනා පොතක් වශයෙන් සකස් කොට නොතිබුණ ද, භාවනා ශාඛා මධ්‍යස්ථාන වැඩිවත්ම දේශනය පොත් වශයෙන් මුද්‍රණය කරවා ප්‍රචාරයට පත් කළේ ය. මේ එම පොත ය.

මෙහි සඳහන් උපදෙස් අනුව භාවනාව පුරුදු කොට ප්‍රතිඵල ලැබුවෝ බොහෝ වෙති. එහෙයින් මෙය ප්‍රමාණයෙන් කුඩා වුවද, පොතක ලීලාව අඩු වුවද මහඟු වටිනාකමක් ඇති පොතක් ලෙස සැලකිය හැකි වේ.

අප රට ද භාවනා ක්‍රම පුරුදු වන්නන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය සිංහල බසට පරිවර්තනය කොට ප්‍රසිද්ධියට පත්කිරීම මෙයට කලින් කළ යුතුව තිබුණ නමුත් අවිවේකී භාවය නිසා එය පමා විය. එහෙත් සියනෑ විපස්සනා භාවනා සමිතියේ පින්වතුන්ගේ ආරාධනය පරිදි අවිවේකතා මධ්‍යයේ වුවද, මෙය සිංහලයට පෙරලා දීමට සිදුවිය. හදිසියේ කරන ලද්දක් බැවින් මෙහි ව්‍යාකරණ දෝෂ සහ පුනරුක්ත දෝෂාදිය ද විද්‍යමාන විය හැකි ය. ඒවා ගැන නොසලකා මෙහි දැක්වෙන උපදේශයන් පමණක් සිහියට ගෙන ධර්ම රසය විඳීමට උත්සාහවත් වන ලෙස, පාඨකයාට ශාසනාලය පෙරටුව දැනුම් දී සිටිමු.

තවද අප රට ඇතැම්හු භාවනාවක නොයෙදී භාවනා විවේචනය කරමින් ප්‍රමත්තව වෙසෙති. එය භාවනාවේ හොඳ නරක තේරුම් ගන්නා මාර්ගය නොවන බවත්, නියම උපදෙස් අනුව භාවනාවේ යෙදීමෙන් ම හරි වැරදි තේරුම් ගැනීමට හැකි වන බවත් මෙහිලා සිහිපත් කරවනු කැමැත්තෙමු.

මේ බවට, ශාසනස්ථිතිකාමී, කහටපිටියේ සුමතිපාල මහා ස්ථවිර, විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කඳුබොඩ, දෙල්ගොඩ. 1966

සංග්‍රහපනය

බුරුම රට නිදහස් රජයක් බවට පත්වීමෙන් පසු රටේ හා ආගමේ දියුණුව සඳහා ගත යුතු සංවර්ධන ක්‍රම ගැන සාකච්ඡා ඇති විය. ඒ සාකච්ඡාවන් අතර වැදගත් දෙය බුද්ධ ශාසනය බවත්, එහි දියුණුව සැම දෙනාගේ ම සුභසිද්ධියට හේතුවන කරුණක් බවත් තීරණය විය. ප්‍රතිපත්ති ශාසනයේ දියුණුව කෙසේ කළ යුතුදැයි සලකා බැලීම සඳහා “සාසනානුග්ගහ” සමිතිය සමග වර්ෂ 1947 නොවැම්බර් මස 13 වන දා අගමැති මන්දිරයේ මූලික රැස්වීම් පවත්වන ලදී.

එහි දී සම්මත වූයේ ප්‍රතිපත්ති ශාසනය දියුණු කිරීම සඳහා භාවනා මධ්‍යස්ථාන හා කර්මස්ථානාචාර්ය්‍යවරයන් අවශ්‍ය බවයි. ඒ සඳහා සිරිසුධම්ම සර් උනුවෙං මැතිතුමා ප්‍රධාන සිය පවුලේ අය විසින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඉඩමක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

ඉනික්බිති සුදුසු කම්මට්ඨානාචාර්ය්‍යවරයෙක් ගැන බුරුමයේ උඩ පාත දෙරටෙහි ම සෙවීමේ දී උඩරට සෙවබෝ නගරාසන්නයේ පිහිටි සෙක්ඛුන් ග්‍රාමයේ ආරාමයක වැඩ සිටි “සිරිපවර ධම්මාචාර්ය” යන උපාධි ධර “අග්ගමහා පණ්ඩිත මහාසී සයාඩෝ” නමැති පූජ්‍ය ඌ සොභනනාමධාරී මහා ස්වාමිපාදයන් වහන්සේ ගැන දැනගන්නට ලැබුණේ ය. ඒ ආරංචිය දැනගත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සිරිසුධම්ම උනුවෙං මැතිතුමා වහාම එහි ගොස් උන්වහන්සේ සමග සාකච්ඡා කොට පර්‍යාප්ති ප්‍රතිපත්ති දෙක්හි මනා පටුත්වයක් ඇති බව අවබෝධ වී මෙසේ ආරාධනා කළේ ය.

‘ස්වාමීනි, පිරිහීගෙන යන බුදුසසුන නගාලීම සඳහා ප්‍රතිපත්තිය අවශ්‍ය බව අපේ පිළිගැනීමයි. ඒ නිසා අනුකම්පා කර ශාසනාභිවෘද්ධිය සඳහා රැන්ගුන් නගරයට වැඩමවන සේක්වා’යි යනුවෙනි. කළ ආරාධනය පිළිගත් උන්වහන්සේ එහි වැඩම කළහ.

ඉන්පසු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න අගමැති ඌනු මැතිතුමා ද මහාසී සයාඩෝ ස්වාමිපාදයන් වහන්සේ වැඩ සිටින ආරාමයට පැමිණ නැවතත් ආරාධනා කොට රැන්ගුන් නගරයට වැඩම වීමෙන් පසු

1949 නොවැම්බර් මස 10 වෙනි දා “සාසන යෙයිතා” නමැති භාවනා මධ්‍යස්ථානය යෝගාවචරයන් තුන් දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. නායක හිමියෝ ද තමන් වහන්සේගේ සැප පහසුකම් ද නොසලකා දිවා රෑ දෙක්හි ධර්ම දේශනා කිරීමෙන් හා යෝගීන්ට උපදෙස් දීමෙන් ද ක්‍රියා කර ගෙන යන අතර දිනෙන් දින ම යෝගාවචර පිරිස වැඩිවෙන්ට වූහ. ඒ පැමිණෙන අයට මේ ග්‍රන්ථයේ තිබෙන අන්දමට කරුණු කියාදීමේ දී විඩාවට පත්වන බව දුටු “සාසනානුග්ගහ” සමිතියේ පින්වතුන් විසින් “ටේප් රෙකෝඩ්” නමැති යන්ත්‍රයක් පූජා කරන ලදින් එදා සිට මේ දේශනය එමගින් කෙරෙයි. එසේ පවත්වා ගෙන යාම නිසා 1950 වන විට යෝගීන්ගේ සංඛ්‍යාව ද, ශාඛා මධ්‍යස්ථාන ද වැඩි වූහ. එහෙත් ශාඛා මධ්‍යස්ථානයක් පාසා ටේප්රෙකෝඩ් යන්ත්‍ර සැපයුම දුෂ්කර විය. එනිසා බොහෝ දෙනාගේ ඉල්ලීම හා ඕනෑකම උඩ ඉහත කී දේශනය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට සිදුවිය.

භික්‍ෂූන් වහන්සේලා 1,351 උපාසකවරු 1,328 උපාසිකාවෝ 3,036

1965 දක්වා ඇති වූ ශාඛා මධ්‍යස්ථාන 119 ක් වෙයි. එයින් ප්‍රතිඵල ලැබූ අය 1,01,663 දෙනෙක් වෙති. මූලස්ථානයේ පමණක් 1,61,744 දෙනෙක් වෙති.

මේ පොතෙහි සඳහන් භාවනෝපදේශයන් නිතර බැලීමෙන් හෝ සජ්ඣායනා කිරීමෙන් ධර්ම රසය අවබෝධ නොවන බවත්, ඒ ධර්මාවවාද අනුව භාවනා කිරීමෙන් ම ධර්ම රසය විඳගන්ට ලැබෙන බවත් විශේෂයෙන් සැලකිය යුතුයි.

මේ බවට, මෙන්ගල අචුං මියෙයි, රැන්ගූන් නුවර. 15 - 08 - 54

බුද්ධ ජයන්තිය හා විදර්ශනා භාවනාව

සම්බුද්ධ පරිනිර්වානයෙන් 2500 පිරීම නිමිති කොට අප රට ඇති වූ ආගමික ප්‍රබෝධයෝ බොහෝ වෙති. විදර්ශනා ක්‍රමයට අද්විතීය ස්ථානයක් ලැබුණේ ය. අනාගත පරපුරේ දැනගැනීම සඳහාත්, භාවනාභිලාෂීන්ගේ ප්‍රබෝධයට හේතුවනු පිණිසත් නව විදර්ශනා ක්‍රමය අප රටට ලැබුණු අයුරු සටහන් කර තැබීම වැදගත් යැයි සිතමි.

බුද්ධ ජයන්ති නිමිත්තෙන් කිනම් පියවරක් ගනිම් දැයි සාකච්ඡා කිරීම පිණිස ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්වුන. එවකට ශ්‍රී ලංකාවේ අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මැතිතුමා එහි මූලසුන හෙබවූහ. බුරුම තානාපති ඌ බාලචින් මහතා, අභයසුන්දර මහතා, රෙජිනා පොන්සේකා මහත්මිය, එච්. ශ්‍රී නිශ්ශංක නෝනා මහත්මිය ආදී සම්භාවනීය පිරිසක් එයට සහභාගි වූහ. බුද්ධ ජයන්තිය නිමිත්තෙන් විදර්ශනා භාවනා ක්‍රමය පුරුදු කිරීම කළ යුතු හොඳම කටයුත්ත යැයි ද, මහජනයාට සෑහෙන සහනයක් ලබා ගැනීමට ඇති මග එය වන්නේ යැයි ද බුරුම තානාපති තුමා මේ පිරිසට පැහැදිලි කළහ. ඒ ගැන කැමැත්ත දැක් වූ පිරිස රජයේ ද සම්බන්ධය ඇතිව බුරුම රට ප්‍රධාන භාවනා මධ්‍යස්ථානය වන සාසනයෙයිතා භාවනා මධ්‍යස්ථානයට කම්මට්ඨානාචාර්ය්‍යවරයන් ලබා ගැනීම සඳහා දැනුම් දින. එහි අධිපති අග්ග මහා පණ්ඩිත භදන්ත ඌ සොභන මහා ස්ථවිරපාදයන් වහන්සේ එවකට බුරුම රට වැඩ සිටිය කහටපිටියේ සුමතිපාල මහා ස්ථවිර පාදයන් වහන්සේ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට කම්මට්ඨානාචාර්යවරයන් ලබා දීමට කළ ආරාධනය පිළිගත් බව ලක් රජයට දැනුම් දින.

ඉන් පසු කහටපිටියේ සුමතිපාල මහා ස්ථවිර පාදයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙහි රැස්වීමක් පැවැත්විණ. මේ සත් කෘත්‍යය කළ යුතු ආකාරය පිළිබඳව සෑහෙන විස්තරයක් ගරු සුමතිපාල තෙරුන් වහන්සේ විසින් පැහැදිලි කරන ලදී. මේ රැස්වීම අවසානයේ දී රෙජිනා පොන්සේකා මහත්මියගේ මත්තේගොඩ වත්ත භාවනා මධ්‍යස්ථානය වශයෙන් පාවිච්චි කිරීමට සහ නිශ්ශංක නෝනා මහත්මියගේ බංගලාව වන යමුනාව