විනයත්ථදීපනී මාතිකට්ඨකථා ව්‍යාඛ්‍යානය 3 - මහව ඤාණාලෝක හිමි 2024.pdf
- කතෘ :
- මහව ඤාණාලෝක හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 618
- බාගත කිරීම් ගණන :
- 571
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-11-25
- ගොනුවේ ප්‍රමාණය :
- 4.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විනයත්ථදීපනී නම් මාතිකට්ඨකථා ව්‍යාඛ්‍යානය (තෘතීය භාගය) යනු භදන්ත බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත ප්රාතිමෝක්ෂ අටුවාව හෙවත් කංඛාවිතරණී මාතිකට්ඨකථාව ඇසුරෙන් රචිත විස්තරාත්මක සිංහල සන්න ව්‍යාඛ්‍යානයකි. ධර්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහව ඤාණාලෝක හිමියන් විසින් මෙම ග්රන්ථ මාලාව සම්පාදනය කර ඇත.
භික්ෂු ප්රාතිමෝක්ෂයට අයත් ශික්ෂාපදයන්හි පාලි පෙළ, අටුවා හා ටීකා මත විවරණය කරමින් සකස් කර ඇති මෙම කෘතිය, පැරණි සිංහල සන්න සම්ප්රදාය (විසුද්ධිමාර්ග සන්නය ආදී) අනුගමනය කරමින් පදානුපදික අර්ථ හා විස්තරාත්මක විනිශ්චයන් සපයයි. විනය පිටකය ගැඹුරින් හදාරන මහා සංඝරත්නයටත්, උපසම්පදාපේක්ෂක හිමිවරුන්ටත්, පිරිවෙන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් මෙය අගනා අත්පොතකි.
මෙම තෘතීය භාගය 2024 වසරේදී ථෙරවාද ප්‍රකාශන සමිතිය (Theravada Publication Society) මඟින් ප්‍රකාශයට පත් කරන ලද අතර, මුද්‍රණය ගණේමුල්ල පාරමී ප්‍රින්ටර්ස් වෙතින් සිදු කර ඇත.
පූර්විකාව
අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම ථෙරවාද පරියත්ති අධ්‍යයන පීඨයේ පීඨාධිපති, දඹදෙණිය බුද්ධශ්රාවක ධර්ම අධ්‍යයන පීඨයේ ලේඛකාධිකාරී, ධර්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහව ඤාණාලෝක ස්ථවිරපාදයන් වහන්සේ විසින් සම්පාදිත විනයත්ථදීපනී නම් මාතිකට්ඨකථා ව්‍යාඛ්‍යානය සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස හේතු වන වටිනා ග්රන්ථ රචනයක් බව එහි ප්‍රථම, ද්විතීය භාගයන් කියවීමෙන් අපට පසක් විය. අර්ථකථාවාර්ය බුද්ධඝෝෂපාදයන් විසින් විරචිත කංඛාවිතරණී මාතිකට්ඨකථාව පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පදානුපදික පරිවර්තනයක් ද සමඟින් අර්ථකථා, ටීකා ඇසුරෙන් විවරණය කිරීම විනය පිළිබඳ උනන්දුවක් දක්වන භික්ෂූන්ට මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාර්ථයින්ට ද ඉමහත් ප්‍රයෝජන ඇති බව අපගේ විශ්වාසය යි.
මෙහි ප්‍රථම භාගය නිදානුද්දේසය පටන් සංඝාදිසේසුද්දේසය තෙක් සම්පාදිත අතර ද්විතීය භාගය අනියතුද්දේසය සහ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපද විවරණය කරමින් සම්පාදිත ය. ත්‍රිපිටකය සහ විශේෂයෙන් විනය පිටක පාලිය පිළිබඳ විස්තරයක් ද සමඟින් කංඛාවිතරණී මාතිකට්ඨකථාව පිළිබඳ නොයෙක් දුර්මත ප්‍රතිබාහනය කරමින් රචිත ප්‍රථම භාගයේ සංඥාපනය ද, පාලි අර්ථකථා සහ අර්ථකථාවාර්යයන් වහන්සේලා පිළිබඳ බොහෝ වැදගත් තොරතුරු ඇතුළත් ද්විතීය භාගයේ සංඥාපනය ද ඤාණාලෝක ස්ථවිරයන්ගේ විනය පිටකය සහ තදාශ්රිත ශාස්ත්‍රඥානය විදහා දක්වන කදිම නිර්මාණයන් වේ. අර්ථ ව්‍යාඛ්‍යානයේ දී විසුද්ධිමාර්ග සන්නය වැනි පෙර ලාංකේය ඇදුරුවරයන්ගේ රචනා ක්‍රමය අනුගමනය කළ උන්වහන්සේ මෙහි ලා විනය පෙළ, අර්ථකථා සහ ටීකා ඇසුරෙන් සිදු කරන අර්ථ වර්ණනාව ප්රශංසාර්හ ය. එය අර්ථවර්ණනාවන්හි යෙදෙන නවකයින්ට මනා පූර්වාදර්ශයක් වේ.
විනයත්ථදීපනී නම් මාතිකට්ඨකථා ව්‍යාඛ්‍යානය තෘතීය භාගය ද මුද්‍රණය කිරීමට සූදානම් බව ඇසීමෙන් මෙම සත් ප්රයත්නය සැබවින් ම ශාසනස්ථිතිකාමී බව සිතා අතිශයින් ම සතුටට පත් වීමි. විනය පිටකය පෙළ අර්ථකථා ඇසුරෙන් වර්ණනා කිරීමෙහි ලා උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාව ප්‍රථම ද්විතීය කාණ්ඩයන් කියවීමෙන් දැනගත හැකි අතර එපමණක් නොව උන්වහන්සේ සතු සුවිශිෂ්ට භාෂා හැකියාව ද මොනවට පිළිබිඹු වේ. උන්වහන්සේගේ මෙම විශේෂ දක්ෂතා නිසාවෙන් ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විසින් පවත්වන බොහෝ විනය වැඩමුළුවලට ද උන්වහන්සේගේ සක්‍රීය දායකත්වය ලබාගනු ලැබේ. දඹදෙණිය බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ ලේඛකාධිකාරීත්වය දරණ උන්වහන්සේගෙන් ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනයට ලැබෙන අනුග්‍රහය ද සුළුපටු නො වේ. අද්‍යතන ත්‍රිපිටක පරියත්තියෙහි ලා අපේ ඤාණාලෝක ස්ථවිරයන් අතින් සිදු වන මෙහෙවර දැක අතිශයින් ප්රමෝදයට පත් වෙමි.
ධර්ම විනයානුගත භික්ෂු ජීවිතයක් ගත කරමින් විනය විශාරදත්වයෙන් විශිෂ්ට හැකියාවන් පෙන්වමින් අපේ ඤාණාලෝක ස්ථවිරයන් විසින් කරන මෙම ශාසන සංග්‍රහය බෙහෙවින් ම අගය කරමින් උන්වහන්සේට තවදුරටත් මෙවැනි වැදගත් මෙහෙවර ඉටු කිරීමට තෙරුවන් සරණින් ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ඉත සිතින් ආශිර්වාද කරම්හ.
මහව ඤාණාලෝක ස්ථවිරයන්ගේ ධර්ම විනය ඥානය තව තවත් දියුණු වේවා!
මෙයට කාරුණික,
මකුලෑවේ විමල මහාස්ථවිර
මහානායක
මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය
2024.10.06
ආශංසනය1
කංඛාවිතරණී මාතිකට්ඨකථාව සඳහා පූජ්‍ය මහව ඤාණාලෝක ස්ථවිරයන් විසින් සන්නයක් සැපයීම අතිශය ප්රහර්ෂයට කරුණකි. මෙවැනි සවිස්තර විනය විනිශ්චයන්ගෙන් යුත් සන්නයක් සපයමින් රචනා කර ඇති මෙම මාහැඟි ග්‍රන්ථය අනෙක් සන්න ග්රන්ථයන්ට අද්විතීය ය. දැනට ප්‍රථම භාගය හා ද්විතීය භාගය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන පරිදි නිසගි ශික්ෂාපද දක්වා එය පාඨකයන් අතට පත්ව ඇත. උපසම්පදාපේක්ෂක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විනය දැනුම දියුණු කරගැනීම සඳහා මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම ඉතා වැදගත් ය. අධ්‍යාපනය ලබන හේරණ, උපසපන් සියලු ම භික්ෂූන් වහන්සේලා විසින් අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය. පාරාජිකාපාළිය, පාචිත්තියපාළිය, මහාවග්ගපාළිය, චුල්ලවග්ගපාළිය, පරිවාරපාළිය යන විනය පිටකයේ ඒ ඒ කරුණු සම්බන්ධයෙන් සාරාංශය මෙහි අන්තර්ගත ය.
මෙම විනයත්ථදීපනී නම් මාතිකට්ඨකථා ව්‍යාඛ්‍යානය නමැති ග්‍රන්ථය සැකසීම සඳහා පූජ්‍ය මහව ඤාණාලෝක ස්ථවිරයන් වහන්සේ විසින් විශාල පරිශ්‍රමයක් දරමින් කටයුතු කිරීම විශේෂත්වයකි. පූජ්‍යතර නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස නිසි පරිදි ධර්මාධ්යයනය හා ශික්ෂණය ලබා ඉන් ලබාගත් පරිණතභාවය මෙම ග්‍රන්ථය තුළින් හෙළි වේ. ගුරුවරයා යටතේ සිටින ශිෂ්‍ය පිරිස ගුණගරුක විය යුතු ය. අවංක නිහතමානී ශීලාචාර බව, යටහත් පැවතුම් ඇති බව, ඉවසීම, දයාව, කරුණාව යන ගුණධර්ම තිබිය යුතු ය. එවැනි ගුණ දහමින් පෝෂණය වූ තෙරපාණන් වහන්සේ නමක් වශයෙන් පූජ්‍ය මහව ඤාණාලෝක ස්ථවිරයන් වහන්සේ හැඳින්විය හැකි ය.
‘විනයෝ නාම සාසනස්ස ආයු’ යන දේශනයට අනුව ශාසනය රඳා පවතින්නේ විනය මත ය. විනය නැති කල්හි ශාසනය ද නැත. විනයෙන් තොරව සසුන් දිවි මගෙහි ද පරාජය පමණක් හිමි වේ. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නිසා ශාසනය පවතී. ඒ සඳහා විනයඥානය හා එහි ප්‍රායෝගිකත්වය අතිශයින් වැදගත් වේ. එබැවින් මෙම ග්රන්ථ ද්වය පරිශීලනය කිරීම බුද්ධ ප්‍රඥප්ත විනය පිළිබඳ හසල දැනුමක් ලබාගැනීමට මෙන් ම ප්‍රායෝගික ශාසනික ජීවිතය සඳහා ද මහත් වූ රුකුලක් වේ.
මෙම විනය ග්‍රන්ථය සැකසූ පූජ්‍ය මහව ඤාණාලෝක ස්ථවිරයන් වහන්සේට තව තවත් ධර්මඥානය විනයඥානය දියුණු වේවා. සියලු ම ශාසනික ප්‍රාර්ථනා සඵල වේවා යි ආශංසනය කරමි. එමෙන් ම ධර්මවිනයෙහි ගරුක භාවයෙන් ශාසනික ප්‍රතිපදාවේ සුශික්ෂිතව ධර්මවිනය පිළිබඳව බහුශ්‍රැතභාවය ලබාදුන් පූජ්‍යතර නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිරයන් වහන්සේට ද ශාසනික ගුණ දියුණු කිරීමට ශක්තිය බලය ධෛර්යය ලැබේවා. සියලු ප්‍රාර්ථනා සඵල වේවා යි ආශීර්වාද කරමි.
1 විනයත්ථදීපනී ප්‍රථම භාගය ප්‍රකාශයට පත් කිරීමේ දී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහාලේඛකාධිකාරී පූජ්‍ය කහගොල්ලේ සෝමවංසාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ විසින් සපයා දුන් ආශංසනය යි.
මෙයට කාරුණික,
කහගොල්ලේ සෝමවංශ මහාස්ථවිර,
මහාලේඛකාධිකාරී,
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය.
2020.04.09
ප්‍රස්තාවනා1
පළමු, දෙවන, සහ තෙවන ධර්ම සංගායනාවන්ගෙන් සංගෘහිත සද්ධර්මය ලක්දිව පිහිටුවන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. උන්වහන්සේගෙන් ධර්ම විනයෝද්ග්රහණය කළ අරිට්ඨ, තිස්සදත්ත, කාලසුමනාදී ධර්ම විනයධර මහරහත් ථේර පරම්පරාව සහ අනුශිෂ්‍ය පරම්පරාව විසින් කාලාන්තරයෙහි ධර්ම විනයෙහි සුරක්ෂිතභාවය පිණිස තම යුතුකම හා වගකීම මැනවින් ඉටුකරන ලදි.
“සබ්බං ථෙරවාදනති චෙ සඞ්ගීතියො ආරූළ්හා පාළි. සා හි මහාසඞ්ඝිකාදීහි නානාලද්ධිකාහි විචෙචෙතුං ථෙරවාදො’ති වුත්තා. අයඤ්හි විභජ්ජවාදො මහාකස්සපථෙරාදීහි අසංකරතො රක්ඛිතො ආනීතොවා’ති ථෙරවාදොති වුච්චති.” යැයි තෙවන ධර්ම සංගායනා කථාවෙහි ථේරවාදය ගැන පුරාණ ඇදුරුවරයන්ගේ අර්ථකථනය දක්වා ඇත.
මහින්දාගමන සමයෙහි දෙවන පැතිස් මහ රජු විසින් මහසඟරුවනට පළමු කොට වාසය පිණිස පූජා කළ මහාමේඝ වනෝද්‍යානයෙහි පිහිටි තිස්සාරාමය මූලික කොට අනුරාධපුරය හා තදාසන්න ප්‍රදේශවලත් ලක්දිව පුරාවටත් මහා භික්ෂු පිරිසක් වාසය කළ අතර පසුකාලීනව අභයගිරිය හා ජේතවනාරාමය මුල්කොට හටගත් වෛතුල්යය, අභයගිරික හා සාගලිකාදී විපරීත මත දරන භික්ෂු සමූහය වෙතින් පිරිසිදු ධර්ම විනය දැරූ භික්ෂු සමූහය වෙන්කොට හඳුනාගැනීම පිණිස අනුරාධපුර මූල තිස්සාරාමය ‘මහාවිහාරය’ ලෙසත් තදනුයාත භික්ෂු
1 විනයත්ථදීපනී ප්‍රථම භාගය ප්‍රකාශයට පත් කිරීමේ දී අප ගුරුදේවෝත්තම පූජනීය නුවරඑළියේ ඤාණසීලාභිධාන ලොකු ස්වාමීන් වහන්සේ විසින් සපයන ලද ප්‍රස්තාවනාව යි.