අට්ඨ පරික්ඛාරය - ප්‍රියංක ජයනාත් සොයිසා 2007.pdf

කතෘ :
ප්‍රියංක ජයනාත් සොයිසා
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
103
බාගත කිරීම් ගණන :
433
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-11-23
ගොනුවේ ප්‍රමාණය :
55 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 52

අටම පිරිකඛාරය යනු විනයානුකූලව අටපිරිකර පිළියෙල කිරීම, සිවුරු කඩ කැපීම, මැසීම, පඬු ගැසීම සහ පාත්‍ර ආදී අනෙකුත් පිරිකර සම්පාදනය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දක්වමින් ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා මහතා විසින් සම්පාදනය කරන ලද ප්‍රායෝගික විනය මාර්ගෝපදේශ ග්‍රන්ථයකි. 2007 වසරේදී සම්පාදකවරයා විසින්ම නොමිලේ බෙදාහැරීම පිණිස ධර්ම දානයක් වශයෙන් මෙම කෘතිය මුද්‍රණය කරවා ඇත.

පාළි විනය පිටකය, අටුවා, ටීකා ආශ්‍රය කරගනිමින් මෙන්ම ආරණ්‍යවාසී විනයධර මහා තෙරවරුන්ගේ ඍජු අවවාද අනුශාසනා සහ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන මෙම කෘතිය රචනා කර තිබේ. විශේෂයෙන්ම තුන් සිවුරු, අඳන සිවුර ආදිය කඩ කපා සකස් කිරීමේ ප්‍රමාණ, නූල් ගැසීම, පඬු වර්ග හා පඬු සැකසීම, මැසීමේ පිළිවෙත් සහ මිණුම් ක්‍රම රූප සටහන් සහිතව මෙහි අන්තර්ගත කර ඇත.

  • තුන් සිවුරු, පාත්‍ර, දැලිපිහිය, ඉදිකටුව ආදී අටපිරිකර හා ඒවායේ ආනිසංස
  • කැප සහ අකැප පඬු වර්ග හා සිවුරු
  • සිවුරක් කඩ කපා සකස් කරගැනීම සහ මිණුම් ක්‍රම
  • සිවුරු මැසීම, පඬු පිළියෙල කිරීම සහ පඬු ගැසීම

පෙර වදන

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස!!!

පුන ච පරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්‍රූපායා සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං අයම්පි ධම්මො නාථකරණොති.

(අංගුත්තර - දසකනිපාත)

තවද මහණෙනි! භික්‍ෂු තෙම සබ්‍රහ්මචාරීන්ගේ ලොකු කුඩා යම් ඒ කළමනා කටයුතු වෙත් නම් එහි ලා දක්‍ෂ වෙයි, අනලස් වෙයි. ඒ ඒ දේ සංවිධාන කිරීමට එහි යෙදීමට උපාය කුසලතාව ඇත්තේ සමතෙක් වෙයි. මේ ධර්මයද නාථකර ධර්මයකි, යනු ඉහත සඳහන් සූත්‍ර පාඨයෙහි අදහසයි.

සංග්‍රාමයට පිවිසෙන සෙන්පතියකු විසින් සංග්‍රාම භූමියෙහිදී කළමනා සියලු දේ ගැන මනා දැනුමක් පුහුණුවක් ඇත්තකු විය යුතු වෙයි. එසේම ක්ලේශ සංග්‍රාමයට පිවිසෙන පැවිද්දෙකු විසින් ද සසුන් පිළිවෙත් සහ සියලු වතාවත් පිළිබඳව පූර්ණ අවබෝධයක් දක්‍ෂතාවක් අනලස් බවක් උපාය කුසලතාවක් ප්‍රගුණ කළ යුතුම වෙයි.

පැවිද්දකු විසින් අත්‍යවශ්‍යෙන්ම දැනගත යුතු වන පාත්‍ර චීවර සංස්කරණය සම්බන්ධ පූර්ණ විවරණයක් මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත්තේ විනයානුකූලවය. කෘතහස්ත විචාරී මහා තෙරවරුන් ඇසුරෙන් බොහෝ කරුණු උගෙන, පාත්‍ර චීවර සකස් කිරීමේ පළපුරුද්දක් ඇති පානදුර - වැකඩ පදිංචි පින්වත් ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා මහතා විසිනි, ඒ මහතා මේ ග්‍රන්ථය සම්පාදනයෙහිලා අතිවිශාල උත්සාහයක් සහ වෙහෙසක් දරා ඇත.

නවක භික්‍ෂූන් වහන්සේලාට මේ ග්‍රන්ථය පාත්‍ර සකස් කිරීම චීවර කරණය සිවුරු පඬු පඬු සකස් කිරීම ආදිය ගැන උසස්ම අවබෝධයක් ලැබීමට මාර්ගෝපදේශකයකි.

මේ සඳහා උපදෙස් දීමෙන් අනුග්‍රහය කළ මහා ස්ථවිරයන් වහන්සේලාටත් මෙහි සම්පාදක හා මුද්‍රණය කර ධර්මදානය වශයෙන් බෙදා දීම සිදුකරන සත්ගුණවත් ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා තරුණ මහතාටත් රත්නත්‍රයානුභාව බලයෙන් ආයුරාරෝග්‍යාදි සැපපත් ශාන්ති ලක්‍ෂණ නිබ්බාන ධාතුවත් සුවසේම සාක්‍ෂාත් වේවා.

නාලයනේ අරියධම්ම ස්ථවිර
නාලයන ආරණ්‍ය සේනාසනය
පන්සියගම තැ. සං. 60554

ශාසනික නීතියක්

බුදු සසුනේ චිර ජීවනය සඳහා අදාළ සෑම දෙයක්ම ගොඩ නැගී ඇත්තේ කැප-අකැප යන කරුණු දෙකක් මතය. එය සාසනික නීතියකි. මෙම ග්‍රන්ථය තුළත් විස්තරාත්මක වන කරුණු අනුව බැලීමේදී පෙනී යන්නේ මෙය සාසනික නීතියක් ලෙසය. ‘අටම පිරිකඛාරය’ යන මාතෘකාව අනුව සුවිශේෂ විවරණයක් පෙල අටුවා, ටීකා, සංග්‍රහා අනුසාරයෙන් විස්තරාත්මකව යෙදී ඇති ආකාරය ඉතා පැහැදිලිව ග්‍රන්ථයේ මුලටම යොදා ඇත. එය අති විශේෂයකි. අනතුරුව රූප සටහන් ආකාරයෙන් විභජනයක් කර ඇත්තේ ශාසන දයාන්විත ඤාණ මනසිකාර පටිනායකයින්ය. පාඨකයාට කරුණු වහා තේරුම්කර ගැනීමේ භාග්‍ය එයින් හිමිකර දී ඇත.

බොහෝ කලක සිට අරණ්‍ය සෙනසුන් කීපයක් ඇසුරු කරමින් විනයධර ධර්මධර ගරුතර ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබා පාත්‍ර චීවරාදිය සම්පාදනයෙහිලා අවවාද අනුශාසනා ලබා ස්වකීය අත්දැකීම් රැසක් ලබා එහි නිපුණත්වයක් හිමිකරගත් මෙ ග්‍රන්ථයේ සම්පාදක හා මුද්‍රණය කර ධර්ම දානය වශයෙන් බෙදාදීම සිදු කරන පානදුර වැකඩ පදිංචි පිංවත් ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා මහත්මයා සාසනික මෙහෙවරක් ඉටු කල සත් පුරුෂ කෙනෙක් බව අව්‍යාජව කිව හැකිය. මේ වෙනුවෙන් තම හැකියාවන් ඉතා නිහතමානීව සාසනික දයාවකින් කැපවී අධිකතර උත්සාහයකින් ඉටුකර තව බොහෝ දෙනෙකු අතරට එය බෙදා හැරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ශාසන මාමක සත් පුරුෂ සැමගේ ගෞරවාදරය මෙම සාසනික ග්‍රන්ථය වෙත යොමුවේවා.! මෙය මැනවින් පරිශීලනය කෙරේවා.! සසුන් ගුණ මගින් සැමගේ ජීවිත ප්‍රභාවත් වේවා.!

වැලිමඩ ධම්ම දස්සි ස්ථවිර
නිමලව ආරණ්‍ය සේනාසනය
කිරින්ද, තිස්සමහාරාමය.

වචනයක්

චීවරයෙන් තොර පැවිද්දක් නොමැත්තේමය. මෙම චීවරය බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට අයිති බැවින් ආර්ය ධජය යැයි කියනු ලැබේ. මෙය නිවැරදිව හා විනයානුකූලව සකස් කොට පූජා කිරීමෙන් නිසි ආනිසංස ලබාගත හැකිය. එසේ නොමැතිව කූට ව්‍යාපාර වශයෙන් චීවර කර්මාන්තය කිරීම භයානක දුක් විපාක ගෙන දීමට හේතුවකි.

විනයානුකූල චීවරය හා අටපිරිකර ගැන නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීමට මෙම දහම් පුස්තකය ප්‍රයෝජන වෙතැයි විශ්වාස කරමි. මෙහි මුල් කොටස අප විසින් සංස්කරණය කර ඇති අතර පූජ්‍යපාද නාලයනේ අරියධම්ම නාහිමි සහ චීවර ආචාර්ය පූජ්‍ය මාදම්පේ පේමානන්ද හිමිගේ පූර්ණ උපදෙස් පරිදි මෙම පොත සකස් කර ඇත. මෙහිදි අසීමිත කැපවීමකින් ක්‍රියා කරන ලද්දේ පිංවත් ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා මහත්මයාය. එතුමාගේ කැපවීම නොතිබුණේ නම් මෙවන් පොතක් එළි දැක්වීම සිහිනයක් යැයි මම සිතමි. ගරු ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි මෙහිලා ඇති බොහෝ කරුණු ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා මහත්මයා විසින් ලේඛන ගත කර ඇති බව සාසන දයාවෙන් සිහිපත් කරමි.

මෙහිදී සහය දැක්වූ සියලු දෙනාටත් උදව් උපකාර කල සැමටත් ඔබ අප සියලු දෙනාටත් දෙවියන් සහිත ලෝක සත්වයාටම මෙම උතුම් ධර්ම දානමය පිංකම අමා නිවන් සැනසුම පිණිසම හේතු වේවා! වාසනා වේවා ! කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

කාරුණික
ලග්ගල කල්‍යාණවංස හිමි
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය
ගල්දූව - කහව
අම්බලන්ගොඩ.

සම්පාදකගෙන්

සිංහල ජාතියේ ඉතිහාසය සියවස් ගණනක් අතීතයට විහිද යයි. සිංහල ජාතිය තරම් බෞද්ධ ගුණධර්ම වලින් පෝෂණය වූ වෙනත් ජාතියක් ලොව නැති තරම්ය. අන් කවර ජාතියකටවත් නොමැති මිළකල නොහැකි දේ අප ජාතිය සතුව ඇත. ලොව කොතරම් ජන වර්ගයන් පැවතුනත් අවුරුදු පන්දහසක් බුදු සසුන පැවතීමට උරදීම සඳහා සිංහල ජාතියේ මනස උසස් බව තථාගතයන් වහන්සේ බුදු නුවණින් දැකීමත් ලක් දෙරණ තුන් වරක් තථාගතයන් වහන්සේගේ පාද ස්පර්ශය ලබාදීමත්, දළදා වහන්සේ ප්‍රධාන කොට ගෙන, වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් සිංහල ජාතියට උරුම වීමත්, සිංහල ජාතියට දෙන සහතිකයයි. රහත් වීමට තරම් පුණ්‍ය මහිමය ඇත්තාවූ දිව්‍ය පුත්‍රයෝ ද බ්‍රහ්ම රාජයෝ ද තම තලවලින් චුතව ලක් දෙරණේ පුණ්‍යවන්ත වූ මැණික්වරුන්ගේ කුසවල් තුළ සියදහස් ගණනින් ගැබ්ගත්හ. සිය දහස් ගණනින් රහත් ගුණයෙන් යුක්ත වූ රහතන් වහන්සේලා කසාවතින් සැරසී අරියවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් පිණ්ඩපාතය සඳහා මග වැඩිය බව අනුරාධපුර ඉතිහාසය සාක්‍ෂි දරයි.

ශිෂ්ට සම්පන්න ලෝකයේ මිනිස්සු තමන්ගේ විලිවසා ගැනීමටත්, ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගැනීමටත්, බාහිර උපද්‍රව වලින් සම ආරක්‍ෂා කරගැනීමටත්, යන කරුණු මුලික කරගෙන වස්ත්‍ර පරිහරණය කරති. ප්‍රධාන වශයෙන් මනුෂ්‍යයන් විලිවසාගැනීම පිණිස ඇඳුම් අඳිති. නොයෙක් ජාතිවල නොයෙක් කුල ගෝත්‍රවල නොයෙක් ආගම්වල, මිනිස්සු ඔවුනට ආවේණික ඇඳුම් අඳිති. මිනිසුන් අතර ද උසස් යැයි සම්මත ප්‍රභූහු නොයෙකුත් වටිනා වස්ත්‍ර අඳිති. ආගමික නායකයිනට ද ඔවුනට ආවේනික ඇඳුම් ඇත. බොහෝ දුරට මේ සියලු අය පරිහරණය කරන ඇඳුම් කෙලෙස් ඇතිවීම පිණිසම උපකාරි වෙයි. මුළු බුද්ධශාසනයටම ආවේණික එකම වස්ත්‍රයකුත් එම වස්ත්‍රය සකසා ගැනීමට එකම පොදු නීතියකුත්, පරිභෝග කිරීමට එකම ක්‍රමයකුත්, වස්ත්‍රයට සරිලන වර්ණයෙන් යුත් තුන්ලෝක ධාතුවේම වන්දනා මානයට පාත්‍රවූ පෙර පිනෙන්ම උතුම් මනුෂ්‍යයෙකුටම පෙරවිය හැකි එකම වස්ත්‍රය කසාවතයි. කසාවත පෙරවීම නිරාමිසය පිණිසත්, විරාගය පිණිසත් පවතියි. දර්ශනය වන සෑම තරාතිරමක කෙනෙකුට වුවද එම කසාවතේ වර්ණය සිත ශාන්ත කරවීම පිණිසම පවතියි. මෙය බුදු සසුනක පවතින මහිමයයි. ගිහි බවින් වෙන්වීමත් පැවිදි බවට අවතීර්ණ වීමත් සම්බන්ධ කරුණුවේ චීවරයයි. බුදුන් වහන්සේගේ පාංශුකූල චීවරය මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ චීවරය සමඟ හුවමාරු කරගනිමින් පරිභෝග කරන විට මහපොළොව කම්පාවීම චීවරයේ ඇති ආශ්චර්ය බව මනාලෙස පෙන්නුම් කරන එක් අවස්ථාවකි.

බුදු සසුනක් පැවතීම සඳහා මහෝපකාරී වන කැපසරු ලෙස අටපිරිකරයක් සකසා ගැනීම කෙසේද යන්න පුරුදු පුහුණු කිරීම මේ ධර්ම ග්‍රන්ථයේ මුලිකම අරමුණයි. ගත වර්ෂ ගණනක් අවිච්ඡින්නව පැවත එන මේ ක්‍රම පිළිවෙත අරඤ්ඤවාසී භික්‍ෂූන් වහන්සේලා ඉතාම නිහඬව අරඤ්ඤ තුළ පවත්වාගෙන යති. ගිහි-පැවිදි යන දෙපක්ෂයම නිවැරදි ලෙස මේ ක්‍රම පිළිවෙත ගැන අවබෝධයක් නොමැති වීම නිසා සමාජය තුළ අටපිරිකර නොවටිනා තත්ත්වයකට පත්වීම ඉතාම කණගාටුදායකය. එක් වර්ෂයක වස්සාන සමයේදී මා අම්බලන්ගොඩ ගල්දූව අරඤ්ඤ සේනාසනයට ගිය අවස්ථාවකදී සිල්වත් ගුණවත් මහා සංඝරත්නය සමගි සම්පන්නව සිවුරක් කඩ කපන ආකාරය අහම්බෙන් දුටිමි. එම දර්ශනය දැකීමෙන් ඒ ගැන කුතුහලයක් ඇතිවී ඒ ගැන විමසිලිමත් වීමි. මගේ සිතට එය තදින්ම කාවැදුනි. කිනම් දවසක හෝ මාද මේ අයුරින්ම කැප සරු ලෙස චීවරයක් පුජා කරන්නේ යැයි සිතේ සනිටුහන් කරගනිමින් එය අනාගතයට බාර දුනිමි.

කාලය ගෙවීයන්ම එක් අවස්ථාවකදී බඩල්කුඹුරේ සෝමාලෝක හිමිපාණන් වහන්සේ මුණ ගැසුණ විට “මා මේ ජීවිතයේදී අටපිරිකරක් පුජාකර නොමැති බව ප්‍රකාශ කලෙමි.” එවිට එම ස්වාමීන් වහන්සේ “මහත්මයා අටපිරිකරක් පුජාකරන විට පාත්‍රය මම දෙන්නේ යැයි ප්‍රකාශ කළසේක.” පසුව පාත්‍රයක් ඒ ස්වාමීන් වහන්සේගෙන් මාහට ලැබුණි. මා පාත්‍රය රැගෙන විත් නිවසේ කබඩ් එකක් තුළ ආරක්‍ෂාකාරීව තැබීය. මෙසේ වර්ෂ පහක් පමණ කාලය ගෙවී ගියේය.

නිමලව ආරඤ්ඤසේනාසනයේ වැඩ වසන මහා සංඝරත්නයට අගෝස්තු මස තමනට හිමි දානය දීම සඳහා පොල්ගස්විට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි තිලියා දූවත්ත මහත්මිය සහ පවුලේ ඤාති පිරිස පැමිණියහ. එහිදී එම මහත්මිය විසින් වාර්ෂිකව දළඳා සමිඳුන් මූලික කරගෙන මහා සංඝරත්නයට දෙන දානයට සහභාගිවීම සඳහා මටත් ආරාධනා කළාය. කාලයක් තිස්සේ සිතේ පැවතුන කැපසරු අටපිරිකරක් සාදා පුජා කිරීමට මෙය මහඟු අවස්ථාවක් කරගත යුතු යැයි සිතේ සනිටුහන් කරගතිමි. ඉන්පසු මහා සංඝරත්නයෙන් අවසර ලැබ කැපසරු අටපිරිකරක් සාදා ගැනීම සඳහා කෙරෙන සියලුම කටයුතු අම්බලන්ගොඩ ගල්දූව ආරඤ්ඤ සේනාසනයේදී ඉමහත් වෙහෙසක් ගනිමින් ඉගෙන ගතිමි. ඉන්පසු ජීවිතයේ ප්‍රථම වතාවට අටපිරිකරක් පුජා කිරීම දළඳා වහන්සේ මුලික කරගෙන සිදුවීම ජීවිතය තුළදී එක් අමරණීය සිදුවීමකි. එම අටපිරිකර සැකසීමේදී තම දෙඅතින්ම කඩ කපා වෙන්කිරීමත්, පඬු සැකසීමත්, තලතෙල් සිඳීමත්, සිඳූ තලතෙල් පාත්‍රයට ඇල්ලීමත්, සිවුරට පඬු පෙවීමත් සිදුවුනි. පානදුර ශ්‍රී මහා විහාර පාර අංක 63 දරණ නිවසෙහි පදිංචි අශෝකා අබේනායක මහත්මිය ස්වකීය කාලයත්, ශ්‍රමයත්, වැය කිරීමෙන් මහත් කැපවීමකින් පිං පිණිස සිවුරු මසාදුනි. බුදුන් වහන්සේගේ ධර්ම විනයට අනුකූලවම කැපසරු ලෙසම මේ අටපිරිකර සැකසුනි. එමෙන්ම මේ අටපිරිකර දළඳා සමිඳුන්ට පුජා කරනු ලැබූ දිනය පොහොය දිනයක් වීමත් සුවිශේෂය.

කැපසරු ලෙස අටපිරිකරක් සකසා ගැනීමේ මේ ක්‍රම පිළිවෙත ලිඛිතව ඉදිරිපත් කොට පොතක් වශයෙන් මුද්‍රණය කර ධර්ම දානයක් වශයෙන් බෙදාදීම සඳහා පාදක වූයේ දළඳා වහන්සේට පුජා කල අටපිරිකරය. ධර්ම දානයක් වශයෙන් මෙය මුද්‍රණය කිරීම සඳහා අදිටන් කිරීමෙන් පසුව නැවත ගල්දූව ආරඤ්ඤයට වස්සාන සමයේ ගොස් තවත් අවශ්‍ය දැනීම් සම්භාරය මහත්වු කැපවීමකින් ලග්ගල කල්‍යාණවංශ හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ ඉගෙන ගතිමි. පසුව අතිරේක ප්‍රායෝගික දැනුම් සම්භාරය චීවර ආචාර්ය අම්බලන්ගොඩ මාදම්පේ පේමාලෝක හිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ඉගෙන ගතිමි. සිවුරු සැකසීම පිළිබඳව එම ස්වාමීන් වහන්සේගේ දැනීම් සම්භාරයත් ප්‍රායෝගික දැනීමත් විශ්මය ජනකය. ස්වකීය දැනීමත් ප්‍රායෝගික අධ්‍යයනයත් මහත්වූ ඕනෑකමකින් වගකීමකින් ගිහි-පැවිදි දෙපක්‍ෂයටම පුරුදු පුහුණු කිරීමම නිවන් දැකීමට මෙයම පාරමිතාවක් වේයැයි සිතමි. මෙම ධර්ම ග්‍රන්ථයේ මුල් පරිච්ඡේදයේ සඳහන් බුද්ධාභාෂිත ධර්ම කරුණු ලග්ගල කල්‍යාණවංශ ස්වාමීන් වහන්සේට ලිවීම සඳහා ආරාධනා කළෙමි. ඉතාම නිහතමානී ලෙස අට පිරිකඛාරය පිළිබඳව අවශ්‍ය වන ධර්ම කරුණු ඉතාම ලිහිල්ව ධර්ම විනයට අනුකූලවම ලිවීම ශාසනයේ චිරස්ථිතිය සඳහාම පැවැත්ම සඳහා උපදෙමකි.

සිවුරු සැකසීම සඳහා කරන කාර්යය මනා සිහි නුවණින්, ඉවසීමෙන්, කළයුතු කාර්යයකි. එහි ප්‍රායෝගික අධ්‍යයනය ද තරමක් අපහසුය. එය ලිඛිත භාෂාවට පෙරලීමෙන් පසු පාඨකයාට මෙය කෙතරම් දුරට අවබෝධ වේද? යන්න මා හට ඉතාමත් ප්‍රහේලිකාවක් විය. එය එක් අතකින් අභියෝගයකි. දිවා රෑ වෙහෙසවෙමින් අපමණ බාධක මධ්‍යයේ අනුනට කරදරයක් බරක් නොවන අයුරින් මා ගුරු උපදේශයෙන් ස්වාධීනව ඉගෙන ගත් දෙය හැකි තාක් සරල ලෙස ඉදිරිපත් කිරීමට උපරිම උත්සාහයක නිරත වූයෙමි. බාධක වැඩි නිසාම සිත කලකිරුණු අවස්ථාද එමටය. එවිට ලිවීමේ අදහස අතහැර ගත්තෙමි. එහෙත් මෙය ඉදිරිපත් කිරීමට නොයෙක් වර සිත ධෛර්යයමත් කිරීමට මගේ මෑණියන් වන සන්ද්‍රාදුර චාලට් ද සිල්වා මහත්මිය නිතරම කටයුතු කළාය. එසේ නොවූනා නම් මා ඉමහත් වෙහෙසක් දරා උපයාගත් දැනුම් සම්භාරය වැලලී යනු නොඅනුමානය. මෙම පොතේ අඩංගු සියලුම සටහන් හා ඊට සම්බන්ධ කරුණු මා ස්වාධීනව ඉදිරිපත්කළ සටහන්ය. එමෙන්ම මිණුම් ක්‍රම පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්කම මදකම නිසා ආයුර්වේද ඖෂධ සංග්‍රහයෙන් මිණුම් පිළිබඳව කරුණු උපුටා මෙම පොතට යෙදුවෙමි. පරිගණක කටයුතු වලදී මා පෞද්ගලිකවම උපදෙස් දෙමින් වෙහෙස දරමින් පරිගණකයට අවශ්‍ය දත්තයන් යෙදුවෙමි. මෙහිදී යම් යම් අඩුපාඩු මා අතින් සිදුවීමට ද ඉඩ ඇත. මෙම පොත පරිශීලනය කරන පාඨකයන් එයට සමාව දෙනු ඇතැයි මා විශ්වාස කරන්නෙමි. මෙහි සාර්ථකත්වය රඳා පවතිනුයේ පරිශීලනය කරන පාඨකයින් මතය. එමෙන්ම ප්‍රායෝගික අධ්‍යයනය තුළය. එය පාඨකයන් සතු දෙයකි. මෙම ධර්ම ග්‍රන්ථය කියවීමෙන් පසු ප්‍රායෝගික අධ්‍යයනයේදී ඉමහත් පහසුවක් හා දැනීමක් ලබාගැනීමට උපකාරී වේ යැයි සිතමි. එවිට මෙය පුහුණු කරන ගුරුවරයාට මෙයින් ලැබෙන සහනය අති මහත්ය. පාඨකයන්ගෙන් ලැබෙන ගුණදොස් හා විවේචනයන් මා උපේක්‍ෂාවෙන් බාර ගන්නෙමි.

මෙම ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් පසු මා මුලිකව බලාපොරොත්තු වූයේ මුද්‍රණය කර ධර්ම දානය වශයෙන් බෙදා දීමට අදිටන් කළෙමි. එහිදී මෙම ග්‍රන්ථය පිළිබඳව තොරතුරු දැනගත් මාගේ හිතවතුන් සිය කැමැත්තෙන්ම මෙම ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු සඳහා දායකවීමට කැමැත්ත පළකලහ. දානයක් අතරින් උසස්ම දානය ධර්මදානය වන බැවින් මෙම උත්කෘෂ්ඨ පිංකමට එම සත්පුරුෂ මඩුල්ල දායක කරගැනීමට මා තීරණය කළෙමි. මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසුව මාගේ මෑණියන් සහ පියතුමන් වන ඉදිරිමුණි අමරපාල ද සොයිසා මහතා යන දෙපලගේ දෙඅතින් මෙම වර්ෂයේ වස් සමාදන් වන පොහොය දින මහා සංඝරත්නයට පුජා කිරීමට බලාපොරොත්තු වූයෙමි. එයට අවශ්‍ය කටයුතු බොහෝ සෙයින් සම්පාදනය කර තිබුණි. එහෙත් පියතුමන්ගේ කලක සිට තිබෙන හෘද රෝගී තත්වය උත්සන්න වීම නිසා 2007/04/13 වන දින සවස් භාගයේ පානදුර රජයේ මුලික රෝහලට ඇතුළත් කළෙමි. එහිදී මා පියතුමන් ලඟ නිදි නොලබා පසුදා පහන් වනතුරු උපස්ථාන කළෙමි. එදින සවස් කාලයේ මාගේ මාමා පියතුමාගේ උපස්ථානය සඳහා යෙදුණේය. මධ්‍යම රාත්‍රියට ආසන්නව පියතුමන් අවුරුදු 68ක් ආයු වළඳා සිහි නුවණින් යුක්තව අවසන් හුස්ම හෙළුවේය.

මධ්‍යම රාත්‍රියට ආසන්නව රෝහලේ සිටින මාමාගෙන් ලැබුණු දුරකථන පණිවුඩයකින් පසුව මාත්, මවත්, කුඩා නැගණියත් නැගණියගේ ස්වාමිපුරුෂයාත් රෝහලට ගියෙමු. රෝහලේ ඉදිරිපස මාමා දුක්බරව සිටගෙන පියතුමන් මරණයට පත්වූ බව දැන්වූයේය. එම වදන් පෙළ කනට වැටෙනවාත් සමගම මුළු භවයම ගිනිගත්තාසේ මට දැණුනි. පවුලේ සැමගේ දෙනෙතින් ගලාගිය උණුසුම් කඳුළුත් ශෝකාග්නියත් මුවින් පිටවුණු දුක්බර වදන් වලින් නිහඬ පරිසරය දෝංකාර දුනි. මගේ සිත කම්පා විය. ලොව විසිරී සිටින සිංහල බෞද්ධයා අළුත් අවුරුදු අසිරියෙන් පසුව ප්‍රීතියෙන් නිදි දෙවිදුව වැළඳ ගනිද්දී අප පවුලේ සැම දුක් සාගරයක කිමිදුණෝය. පියතුමන්ගේ නිසල දේහය රෝහලේ ඇඳ මත වැතිරී තිබුණි. අප ඉපදුණු දා පටන් පියකුගෙන් ඉටුවුනු අපරිමිත ගුණය නියමාකාරයෙන් සිතට වැටහුණි. මා චිත්‍රපටියක් නරඹන්නාක් මෙන් හය හතර තේරෙන වයසේ පටන් මතකයන් මනස ඉදිරියේ දිස්වන්නට විය. ඇතිවී - පැවති නැතිවී යාම කෙතරම් වේදනාකාරී තත්ත්වයක් දැයි දැණුනි. සසර ගමන මෙතරම්ම භයංකර දැයි දැණුනි. අති දීර්ඝ සසර මෙවැනි තත්ත්වයන් වලට ගණන් කළ නොහැකි තරම් මුහුණ දෙන්නට ඇද්දැයි සිතුනි. බැඳීම් බිඳීමේදී හිතට ඇතිවන කම්පනය සිද්ධාර්ථ කුමරුවෝ සාර අසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා මැනවින් දැනගත්හ. තථාගතයන් වහන්සේගේ ධර්මය කෙතරම් සත්‍ය දැයි ප්‍රායෝගිකව මැනවින් දැනගත්තෙමු. තථාගතයන් වහන්සේගේ සුවඳින් සුවඳවත් වී දැල්වුණු පහනක ආලෝකය නිවී යන්නාක් මෙන් අප ජීවිතවල ඝණ අඳුර නසමින් අප ජීවිතවලට නොමිලයෙන් ගුණධර්මයන් තබමින් අප පියතුමන් මෙලොවින් සමුගත්තේය.

මේ ධර්ම ග්‍රන්ථය එළි දැක්වීමෙන් යම් පුණ්‍ය ශක්තියක් වේද එය පළමුව උත්තම වූ ත්‍රිවිධ රත්නය විෂයෙහි කරන ධර්ම පුජාවක් වේවා!. එමෙන්ම මෙම කුසල සම්භාරය ජීවිතයේදී ප්‍රථමයෙන්ම ඇසුරට පත්වූ කල්‍යාණ මිත්‍රවූ කරුණාබර හදවතින් යුතුව ධර්ම කරුණු අවබෝධ කරදුන් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඤාණාරාම මහාහිමිපාණන් වහන්සේටත්, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව සම්පාදක මහා උපාධ්‍යාය අතිගරු පණ්ඩිත කඩවද්දූවේ ජිනවංශ අභිධාන මහාහිමිපාණන් වහන්සේටත්, මා කළ ආරාධනාවෙන් මේ ධර්ම ග්‍රන්ථය කියවා බලා අගනා පෙරවදන සපයමින් ද සෑම අවස්ථාවකදීම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ප්‍රතිපත්ති මාර්ගයේ යාම සඳහා දිරිදෙමින් උපකාරකරන අති පුජනීය කර්මස්ථානාචාර්ය ත්‍රිපිටක විශාරද නාලයනේ අරියධම්ම මහාහිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සැප බල, වීර්යයත්, ශත වර්ෂාධික කාල දීර්ඝායුෂ අත්වී සුවසේ පාරමී මුදුන්පත්ව උතුම් ලොව්තුරා බුදු බව පිණිසම වේවා.!

ස්වකීය වටිනා කාලය මිඩංගු කිරීමෙන් මේ ග්‍රන්ථය කියවා බලා ලිපියක් සපයමින් ඇගයීමට ලක් කළ නිමලව ආරඤ්ඤ සේනාසනාධිපති අතිපුජනීය වැලිමඩ ධම්ම දස්සි මහාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවන සැලසී පතන බෝධියකින් නිවන් මග පිණිසම හේතුවේවා.!

ජීවිතයේ ධර්ම මාර්ගයට අවතීර්ණ වූ මුල්ම අවධිය තුළදී බොහෝ සෙයින් මාහට උදවු උපකාර කළාවූ ද කෝටි ගණනින් ස්වකීය ධනය ද, කාලය ද, ශ්‍රමය ද තම ජීවිතය ශාසනය වෙනුවෙන්ම කැපකර පසුව මහණදම් පුරමින් ශාසනයට ඉමහත් සේවයක් සලසා අපවත්වී වදාළ ගරු ධම්ම නියන්ති ස්වාමීන් වහන්සේටත්, සිවුරු සැකසීම සඳහා අවශ්‍ය දැනීම් සම්භාරය ලබාදීමෙන් ද මා කළ ආරාධනාවෙන් මේ ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදයට බුද්ධ භාෂිත ධර්ම කරුණු ලියා ඉදිරිපත් කළ ලග්ගල කල්‍යාණවංශ මහාහිමිපාණන් වහන්සේට ද මහත් වූ වීර්යයකින් කැපවීමකින් කරුණාවෙන් සිවුරු සකස් කිරීම සඳහා පුරුදු පුහුණු කරන චීවර ආචාර්ය අම්බලන්ගොඩ මාදම්පේ පේමානන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සැපබල වීර්යයත් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ අත්වී පාරමී මුදුන්පත් වී සුවසේ පතන බෝධියකින් නිවන් සුව පිණිසම වේවා!. එමෙන්ම සෑම අවස්ථාවකදීම උදවු උපකාර කරන ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ලේඛකාධිකාරි කහගොල්ලේ සෝමවංශ හිමිපාණන් වහන්සේට ද සියලු පාරමී මුදුන්පත්වී පතන බෝධියකින් නිවන් සුව අත්වීම පිණිසම පවතිවා. සිය කැමැත්තෙන්ම ප්‍රථමයෙන්ම මෙම ධර්ම ග්‍රන්ථය පැහැදිලි ලෙස අත්පිටපත් කරදුන් ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ නමකගෙන් සිදුවුනි. මෙම පොතට ස්වකීය නම නොයෙදන ලෙසට බලවත් ලෙස ඉල්ලීම නිසා එම නම නොයෙදුවෙමි. එම ස්වාමීන් වහන්සේ නිහඬව කරන ලද කුසල මහිමයෙන් නිවන් දකින ජාති දක්වාම කිසිදු බාධාවකින් තොරව සුවසේ පාරමී පුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අත්වීම පිණිසම පවතිවා. මා මෙලොවට හදා වඩා බිහිකළ

මෑණියන්ට මෙයින් ජනිතවන සියලුම කුසල් බලයෙන් උපදින සෑම මනුෂ්‍ය ආත්මයකදීම ත්‍රීහේතුක ප්‍රතිසන්ධිගතවද, පියතුමන් රෝගාතුර වන අවස්ථාවලදී මෑණියන් දැඩිහිතින් කල උපස්ථානයෙන් උපදවාගත් කුසලබල මහිමයෙන් බක්කුල මහරහතන් වහන්සේට මෙන් මේ ජීවිතයේ පටන් නිවන් දකින ජාති දක්වාම නිරෝගි බව ලැබේවා, නුවණින් යුක්තවම සුගතිගාමී ලෝකවල උත්පත්තිය ලබමින් පාරමී පුරා පතන බෝධියකින් නිවන් සුව අත්වීම පිණිසම පවතිවා.

එමෙන්ම මා මේ ජීවිතයේදී ඥාණසම්ප්‍රයුක්තව උපදවාගත් සියලුම කුසල ශක්තියද, මේ ධර්ම ග්‍රන්ථය බෙදීමට අදහස් කළ දා පටන් මේ මොහොත දක්වාම සිත තුළ ඇතිකරගත් ඥාන සම්ප්‍රයුක්ත කුසල ශක්තියද, මේ ධර්ම ග්‍රන්ථය පරිශීලනය කරන ප්‍රායෝගික අධ්‍යයනය ලබන සියලුම සත්පුරුෂයන් උපදවන කුසල ශක්තියද, 2007. 07. 14 වන දින පියතුමන් මිය පරලොව ගොස් තුන්මසක් ගෙවෙන දින අප නිවසේ පැවැත්වෙන ධර්මදේශනාවෙන් පසුව මේ ධර්ම ග්‍රන්ථය ධර්මදේශකයාණන් වහන්සේ සම්මුඛව ධර්ම පුජාවක් වශයෙන් පුජාකොට එයින් ලැබෙන කුසල ශක්තියද, ඥාන සම්ප්‍රයුක්තව සිත කය වෙහෙසවමින් ස්වකීය දෙඅතින්ම මහා සංඝරත්නයේ උදවු උපකාරයෙන් චීවර වලට අවශ්‍ය රෙදිවලට නූල් ගසා කඩ වෙන්කිරීමෙන්ද, සත්පුරුෂයකුගේ මාර්ගයෙන් කඩ වෙන්කරගත් රෙදි මසාගැනීමෙන්ද, අප පවුලේ සැම දහඩිය වගුරුවමින් මහෝගනි පොතු සහ වරකා මුල් ගලවා එය කුඩා කැබලි වලට වෙන්කර අවුවේ දමා වේලාගැනීමෙන් පසු පදමට පඬු සැකසීමත්, නිවැරදි ලෙස පදමට සිඳුවාගත් තලතෙල් පාත්‍රයන්ට ඇල්ලීමත්, බෝඹුකොළ පවනේ වේලීමෙන් පසු එය තම්බා සිවුරු සේදීමත්, පසුව කැපසරු ලෙස සකසාගත් පඬු සිවුරුවලට ගසා කැපසරු ලෙස සිවුරු සැකසීමත් අටපිරිකරට අවශ්‍ය අනෙක් සියලුම දේ සම්පාදනය කොට කැපසරු ලෙසම අටපිරිකරක් සකස්කොට මහා සංඝරත්නය අරමුණුකොට සහ සතුකොට පුජා කිරීමෙන් ලැබෙන අප්‍රමේය ඥාන සම්ප්‍රයුක්ත කුසල සම්භාරය පියතුමන් චිත්ත ප්‍රමෝදයෙන් යුතුව පිරි ඉතිරි දෙගොඩ තලාවන ජලධාරාවක් සේ අනුමෝදන් වෙත්වා.!. මෙයින් ජනිතවන කුසල ශක්තියෙන් ඉපදෙන සෑම අත්භවයකදීම සුගති සම්පන්න ලෝකවල ඉපදේවා!. ලබන සෑම මිනිස් අත්භවයක්ම ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් ත්‍රීහේතුක ප්‍රතිසන්ධිගතවම ඉපදේවා! ප්‍රාර්ථනීය බෝධියකට අදාලව පාරමී පුරාගනිමින් මොක්‍ෂපුර රන්දොර විවෘත වීම පිණිසම පවතිවා.!

ධර්ම මාර්ගයට අවතීර්ණවීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මාවූත්, සිල්වත් ගුණවත් මහාසංඝරත්නය ඇසුරු කිරීම සඳහා මග පාදාදුන් කල්‍යාණ මිත්‍ර භාවනා උපදේශක දේ. ආනන්ද ද සිල්වා මහතාට ද නිදුක් නිරෝගි බවත් නුවණින් යුක්තව උපදින සෑම මනුෂ්‍ය අත් භවයකදීම ත්‍රීහේතුක ප්‍රතිසන්ධිගතව ඉපදී ප්‍රාර්ථනීය බෝධියකට අදාලව නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා.!

මා මේ ධර්ම ග්‍රන්ථය ලිවීමෙන් පසු මෙය කියවා බලා කිනම් දුරට අවබෝධ වේද යන්න බැලීම පිණිස දුන් විට එය මනාව ඉටුකොට නැවත පැහැදිලි අත් අකුරින් ලියා උදවු උපකාර කළ වැද්දුව තිස්ස පාරේ ‘සිරිරැස්’ හි පදිංචි මානෙල් ගලගම මහත්මියටත් දුවණිය වන සුමංගලී ගලගම මහත්මියටත් සියලුම පරිගණක කටයුතු මහත් වෙහෙසක් දරමින් ඉටුකරදුන් පානදුර උදාරා පරිගණක ආයතනයේ සේවයේ නියුතු නන්දුනි පීරිස් මෙනෙවියටත්, එම ආයතනයේ අධිපති තිලකසිරි පෙරේරා මහතාටත් මෙම පුණ්‍ය බලයෙන් නිවන් දකින ජාති දක්වාම සෙවනැල්ලක් මෙන් මෙහි කුසල විපාක ලැබ ප්‍රාර්ථනීය බෝධියකට අදාලව පාරමී පුරාගෙන නිවන් පිණිසම පැවතීමට හේතු වාසනා වේවා.! තම වටිනා කාලය මිඩංගු කිරීමෙන් පොතේ මුල් පිටකවරයට රමණීය චිත්‍රයක් ඇඳදුන් අරුණ ගුණසේකර මහතාට සහ එම මහත්මියටත්, අවිවේකී බවෙන් වුවත් මා කළ ඉල්ලීම ඉවත නොදමමින් මේ ග්‍රන්ථය බලා නිවැරදි ව්‍යාකරණ සහ අක්‍ෂර නිවැරදි කරදුන් පාසල් අවදියේ සිංහල ගුරුතුමිය වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විශ්‍රාමික ආචාරිනී සුරම්‍යා මේදිස් ගුරුතුමියටත්, පාසල් අවධියේදී සිප්සතර හැදෑරීමට උදවු උපකාර කළ මුල් ගුරුවර ගුරුවරියන්ටත්, මේ පොත අගනා ලෙස මුද්‍රණය කරදුන් නුගේගොඩ කොලිටි ප්‍රින්ටර්ස් ආයතනයේ අධිපතිතුමා ඇතුළු සේවක මඩුල්ලටත් නන් අයුරින් උදවු උපකාර කළ සැමටත් මුදල්මය ආධාරදුන් සත් පුරුෂයන්ටත් මෙම ධර්ම ග්‍රන්ථය පරිශීලනය කරන එමෙන්ම ප්‍රායෝගික අධ්‍යයනය ලබන සැමටත් දෙව් මිනිස් සුගති ලෝකවල ඉපදී පතන බෝධියකින් පාරමී පුරාගනිමින් මාර්ගඵල අවබෝධය පිණිසම පවතිවා.!

මෙයට,

ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා නො. 37/66, ‘උපේඛා’, සුහද මාවත, වැකඩ, පානදුර. 2007/07/14

ඉදිරිමුණි ප්‍රියංක ජයනාත් ද සොයිසා
නො. 37/66, ‘උපේඛා’, සුහද මාවත,
වැකඩ, පානදුර.
2007/07/14