පට්ඨාන ප්රකරණ අධ්‍යයන ප්‍රවේශය - කඩුවෙල අතුලඤාණ හිමි 2024.pdf
- කතෘ :
- කඩුවෙල අතුලඤාණ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 1,057
- බාගත කිරීම් ගණන :
- 1,565
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-11-23
- ගොනුවේ ප්‍රමාණය :
- 12 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පට්ඨාන ප්රකරණ අධ්‍යයන ප්‍රවේශය යනු අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වූ පට්ඨාන මහා ප්‍රකරණය හැදෑරීම සඳහා සම්පාදිත ප්‍රවේශ ග්රන්ථයකි. මෙහි කතුවරයා වන්නේ ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමියන් ය. බුරුම සම්ප්‍රදායික අධ්‍යයන රටාවන් හා අටුවා ටීකා සන්න ඇසුරින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙම කෘතිය මූලික වශයෙන් පට්ඨාන මහා ප්‍රකරණයෙහි ඇතුළත් ප්‍රත්‍ය විභාගය සහ නය ක්‍රම පිළිබඳව ගැඹුරු හා විධිමත් විග්‍රහයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් සූවිසි ප්‍රත්‍ය දේශනාව සහ මහාවාරයෙහි ඇතුළත් සූවිසි පට්ඨාන නය ක්‍රම ආශ්රිත කරුණු මෙහිදී විස්තර කර ඇත.
මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතරට පහත දෑ ඇතුළත් වේ:
- අනුලෝම තික, දුක, දුකතික, තිකදුක, තිකතික, දුකදුක පට්ඨානයන්
- පච්චනීය තික, දුක, දුකතික, තිකදුක, තිකතික, දුකදුක පට්ඨානයන්
- අනුලෝම පච්චනීය පට්ඨානයන්
- පච්චනීකානුලෝම පට්ඨානයන්
මෙම ග්‍රන්ථය 2024 වර්ෂයේදී Theravada Publications Society Limited මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාද පණිවිඩය
පූජ්‍යපාද කඩුවෙල අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේ සාසන චිරස්ථිතියෙහි උපකාරක ධර්මධරයෙකි. උන්වහන්සේ මැල්සිරිපුර රණගිරිලෙන ථෙරවාද ත්‍රිපිටක ධර්මාධ්යයන ආයතනයෙහි ධර්ම-විනය හදාරා අභිධර්ම විෂයෙහිද විශේෂ ඥානයක් ඇතිකර ගත්තෙකි. අනතුරුව බුරුමයට ගොස් එහිදී ද බුරුම ආචාර්යවරුන්ගේ ආශ්රයෙන් ම අභිධර්ම පිටකය - සප්ත ප්‍රකරණය පිළිබඳව විශේෂ හැදෑරීම් කළ අයෙකි. එසේම සප්ත ප්‍රකරණයෙහි අන්තර්ගත ග්රන්ථ කීපයක් පිළිබඳ විවරණද සැපයූ අයෙකි. උන්වහන්සේගේ අභිධර්ම ඥාන විශාරද භාවය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය උන්වහන්සේ වෙත ගෞරවනාම සම්මුතියක්ද පිරිනමා ඇත.
මෙවර උන්වහන්සේ විසින් ලියා පළ කොට ඇත්තේ, පට්ඨාන මහා ප්‍රකරණයෙහි දැක්වෙන පළමු පට්ඨානය වන කුසල ත්‍රික පට්ඨානය සඳහා වන විවරණයකි. එම කුසල ත්‍රික පට්ඨානය හැදෑරීම සෙසු පට්ඨානයන් හැදෑරීම සඳහා ද්වාරයක් ද වන හෙයිනැයි උන්වහන්සේම දක්වත්. කුසල ත්‍රික පට්ඨානය හැදෑරීම සඳහා බුරුම බසින් ලියවුණු ග්රන්ථ රාශියක්ම ඇති බවත්, මෙම ග්‍රන්ථය සම්පාදනය සඳහා එම ග්රන්ථ අතරින් ග්රන්ථ කිහිපයක් පරිශීලනය කළ බවත් උන්වහන්සේ දක්වත්.
උන්වහන්සේ විසින් විවරණය කරන ලද පට්ඨාන කුසල ත්‍රිකයේ පාඩම් මාලා පෝෂණය කොට ඇත්තේ බුරුම ආචාර්යවරුන්ගේ ද විවරණ මත පදනම් වෙමිනි. ශිෂ්‍යයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයටත්, ගුරුවරයකු නොමැතිව පට්ඨානය හැදෑරීමට අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනු පිණිසත් එය රචනා වී තිබීම විශේෂත්වයකි. මතු සසුනේ පැවැත්මෙහි ලා පරියාප්ති ධර්මයේ නිරවද්‍ය විවරණයන් උපයුක්ත වන හෙයින් අපේ අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේගේ මෙම ධර්ම විවරණය අතිශයින්ම අගය කළ යුත්තකි. අභිධර්ම අධ්‍යයනය පිළිබඳ ශ්‍රී ලාංකේය ථෙරවාදී ඇදුරු පරපුරේ අභ්‍යාසය බෙහෙවින් ලබා ඇති අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේ බුරුමයේ සම්භාවිත අධ්‍යයන ක්රමයන් පිළිබඳව ද විශේෂ ඥානයක් ලබා සිදුකර ඇති ග්රන්ථ සම්පාදනය පට්ඨාන ප්‍රකරණයේ නය ක්රමයන් හදාරනු කැමති ධර්මකාමීන්ට නිසි මග ගුරු උපදේශ සපයනු ඇත යනු අපගේ විශ්වාසයයි. එබඳු ශාසන චිරස්ථායී කෘත්‍ය සම්පාදනයෙහි නියැලී සුවිශේෂ ධර්ම ශාස්ත්‍ර සංග්‍රහයක් සිදුකරන ලද කඩුවෙල අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේට පරියාප්ති ශාසනාභිවෘද්ධිකාමිකයන්ගේ නොමඳ ප්‍රශංසාව හිමි විය යුතුය. තවදුරටත් මෙබඳු ශාසනාභිවෘද්ධිකාමී වැඩ වඩන්නට අවශ්‍ය කායික-මානසික නිරෝගීභාවය උද්යෝගය සඳහා තෙරුවන් සරණින් දෙවරක්වරණත් ලැබේවා යැයි අපි හෘදයාංගමව ආශීර්වාද කරමු.
මෙයට, ශාසනහිතකාමී
අග්ගමහාපණ්ඩිත, පරියත්තිධර, ත්‍රිපිටක විශාරද - ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහාස්ථවිර, ශ්‍රී විද්‍යාවාස මහාපිරිවෙන මිණොලුව - මීරිගම
ඇදුරු පරපුරේ ආශිර්වාදය
චිරං තිට්ඨතු සම්මා සම්බුද්ධ ශාසනං!
විනය සූත්‍ර අභිධර්ම නම් වූ ත්‍රිපිටක ධර්මය අතරින් අභිධර්මය ප්රකරණ සතකින් සමන්විතය. ධම්මසංගණී, විභංග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන මහාප්‍රකරණය නම් වූ ඒ අභිධර්ම සප්ත ප්‍රකරණය අතුරෙන් හත්වැන්න පට්ඨාන මහාප්‍රකරණය යි.
අභිධර්මය හදාරණ ආභිධම්මිකයන් විසින් අනිවාර්යයෙන් හැදෑරිය යුතු වූ ස්වරූපකථන අභිධර්ම ග්රන්ථ සතරක් ඇත. මාතිකා ස්වරූප, ධාතුකථා ස්වරූප, යමක ස්වරූප සහ පට්ඨාන ස්වරූප යනු ඒ ග්රන්ථ සතර යි.
ධම්මසංගණි ප්‍රකරණයෙහි ඇත්තා වූ තිකමාතිකා 22 දුක මාතිකා100 සූත්‍රාන්ත මාතිකා 42 යන මාතිකා සියල්ල පිළිබඳ දේශනා පාලිය, පදාර්ථ සහ අභිධෙය්යාර්ථ නම් වූ ස්වරූප කථනය මාතිකා ස්වරූප ග්රන්ථයට ඇතුලත් වේ.
ධාතුකථා ප්‍රකරණයෙහි වදාරා ඇත්තා වූ මාතිකා පද 14 පිළිබඳව දේශනා පාලිය පදාර්ථ සහ අභිධෙය්යාර්ථ නම් වූ ස්වරූප කථනය ධාතුකථා ස්වරූප නමින් හැඳින්වේ.
යමක ප්‍රකරණයෙහි වදාරණ ලද්දා වූ මූල යමකය, ඛන්ධ යමකය ආදි යමක දේශනා දශය පිළිබඳව දේශනා පාලිය, පදාර්ථ සහ අභිධෙය්යාර්ථ නම් වූ ස්වරූප කථනය වනාහි යමක ස්වරූප ග්‍රන්ථය යි.
අනන්තනය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණයෙහි වදාරා ඇත්තාවූ සූවිසි ප්‍රත්‍යන් සහ සූවිසි පට්ඨානයන් පිළිබඳ වූ දේශනා පාලිය ගණපදාර්ථ සහ අභිධෙය්යාර්ථ නම් වූ ස්වරූපකථනය පට්ඨාන ස්වරූප ග්රන්ථයට ඇතුලත්ය.
යථෝක්ත ස්වරූපකථන ග්රන්ථ සතර උද්ග්‍රහණය ධාරණය කොට අභිධර්මය හදාරන්නවුන් හට ම අභිධර්මය පිළිබඳව යථාවබෝධය ලැබේ.
ඈත අතීතයෙහි පෞරාණික ආචාර්යයන් වහන්සේලා වනාහි ශිෂ්යනට අභිධර්මය උගැන්වීමෙහිදී ස්වරූප කථනයන් සහිතවම අභිධර්මය උගන්වා ඇත්තේ ද ඒ නිසාමය. සීතාවක රාජසිංහ රජුගේ ශාසන විලෝපයෙන් අතුරුදහන් වූ ලංකා සම්බුද්ධ ශාසනය නැවතත් සියම්රට, බුරුමරට, රාමඤ්ඤ දේශය ආදි බෞද්ධ රාජධානිවලින් ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
එසේ හෙයින් මෙරටෙහි සම්බුද්ධ ශාසනය බැබලීමට ලක්වූ අතර වර්තමාන සඟ පිරිස් විටින්විට බුරුම රට අධ්‍යාපන රටාවන් අධ්‍යයනය කර තම තම නැන පමණින් ගම්භීර ධර්ම ප්‍රවේශයට මගපෑදීම සිදුකරයි. පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි විසින් සම්පාදිත පට්ඨාන ප්රකරණ අධ්‍යයන ප්‍රවේශය නැමති මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිතය. තරුණ යතිවරයන් වහන්සේලාගේ බිහිවීම සාසන උන්නතිය පිණිසමය. මින් ජනිත වන කුසලානිසංසය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය පිණිසම හේතු වේවායි ආශිර්වාද කරමි.
මෙයට මෙත්තානි,
පහලවිටියල ජනානන්ද ස්ථවිර, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති, ප්‍රධාන අනුශාසක හා ප්‍රධානාචාර්ය, ශ්‍රී කල්යාණධර්ම ආශ්‍රමය, කොළඹ 07.
පට්ඨාන ප්රකරණ අධ්‍යයන ප්‍රවේශය - පුණ්‍යානුමෝදනාව
“අමතං දදො ව සො හොති යො ධම්මමනුසාසති”
යමෙක් මෙරමා හට ධර්මයෙන් අනුශාසනා කෙරේද හේ අමෘතය දුන්නා හා සමානය.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරයේ පෙරුම් පුරා පාරමිතා බලය කොතෙක්ද යන්න දැන ගැනීමට ඇති හොඳම උදාහරණය පට්ඨාන දේශනාවයි. අනන්ත ඥාන මණ්ඩලයේ ප්‍රතිමූර්තිය සමන්ත මහා පට්ඨානප්පකරණයයි. ධම්මසංගණී ආදි ප්රකරණ සතකින් සැදුම්ලත් අභිධර්ම දේශනාවේ ගාම්භීරතම ධර්ම විවරණය වන පට්ඨානප්රකරණයෙන් විවරණය වන්නේ සත්ත්වයාගේ හටගැනීමට පැවැත්මට මුලවන හේතුඵල දහමයි. සූත්‍ර පිටකයේ දොළොස් ආකාර පටිච්චසමුප්පාදයක් දැක්වේ. අභිධර්මපිටකයේ සූවිසි ප්‍රත්‍යන්ගෙන් දැක්වෙන හේතුඵල දහම අනන්ත නය ඇති ප්‍රත්‍ය විභාගයකි. යමෙක් තථාගතඤාණයේ සහ හේතුඵල දහමේ ගැඹුර ගැන දැන ගැනීමට කැමතිනම් සූවිසි ප්‍රත්‍ය විවරණය උගත යුත්තේමය. මෙම ධර්ම කොට්ඨාශය ඉගෙන ගැනීමට කැමති ගිහි පැවිදි සෑම දෙනෙකුටම “පට්ඨාන ප්රකරණ අධ්‍යයන ප්‍රවේශය” පොත මහත් උපකාරයක් වන්නේය. මෙම පොත අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැක. මෙම ධර්මය අධ්‍යයනය ධර්ම දැනුම වැඩිවනවා පමණක් නොව ස්වකීය ගුණ ධර්ම දියුණු වීමටත්, කුසල දහමේ සිත පිහිටා වීමත්, ත්‍රිවිධ රත්නයේ ගුණ ගැන මනා පැහැදීමක් ඇතිවීමටත්, භාවනාඥානය හා තීක්ෂණ ප්‍රඥාවේ දියුණුවටත් හේතු වනු ඇති. එම නිසා මෙම පොත සම්පාදනය කළා වූ පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ආයුෂ්මතුන් වහන්සේගේ මෙම ධාර්මික අසහාය උත්සාහය අප විසින් මහත් කොට අගය කරන්නෙමු. මෙම ග්‍රන්ථය සම්පාදනයෙන් ලැබුවාවූ ආනිසංස බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් ජීවිත ගත කරන්න ලැබේවා, තව තවත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ලැබේවා, භාවනාමය ඥානය වැඩි සසර දුක නිවා ලබන උතුම් නිවනින් සැනසීමට මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කර සිටිමු.
ශාසනස්ථිරකාමී, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සංඝසභාවේ සභාපති ධුරන්ධර, ත්‍රිපිටකාචාර්ය, විදර්ශනා කම්මට්ඨානාචාර්ය, දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය මීතලාවේ විනීත මහා ස්ථවිර
පට්ඨාන ප්‍රකරණය හැඳින්වීම
‘පට්ඨාන අධ්‍යයන ප්‍රවේශය’ යන ග්‍රන්ථය ඉතා වටිනා ග්‍රන්ථය කි. අභිධර්ම දේශනාවේ අවසාන කොටස පිළිබඳව මනා දැනීමක් ලැබීමට මෙම ග්‍රන්ථය පරිශීලනය සහ හැදෑරීම තුළින් පුළුවන. ලේඛක ස්ථවිරයන් වහන්සේ බුරුම රටේ වැඩහිඳිමින් අභිධර්මය පිළිබඳ මනා දැනීමක් ලබාගෙන නොයෙක් අටුවා ටීකා සන්න පොතපත පරිශීලනය කරමින් මේ වටිනා ගැඹුරු දහම් පොත සකසා ඇත. එය යෝගාශ්‍රම සංස්ථාවට ද මහත් ආලෝකය කි.
පට්ඨාන ප්‍රකරණය මහා සාගරයේ පතුළ මෙනි. අතිශයින් ම ගැඹුරුය. එහෙත් රසවත් ම ධර්ම කොට්ඨාශය යි. මූලික දැනුම ලබාගෙන අනුපිළිවෙලින් අභිධර්ම ග්රන්ථ අධ්‍යයනය කටයුතුය.
පට්ඨාන දේශනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. 1. පච්චය විභංගවාරය 2. මහාවාරය යනුවෙනි. පච්චය විභංගවාරයෙහි සූවිසි ප්‍රත්‍ය දේශනාව වේ. ‘හේතු පච්චයෝ ආරම්මණ පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්රිය පච්චයෝ මග්ග පච්චයෝ ඣාන පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ’ යනුවෙනි.
මහාවාරය යනු සූවිසි පට්ඨාන දේශනය යි. එයින් මූලික වශයෙන් මහානය ක්‍රම සතරකි. 1. අනුලෝම පට්ඨාන නය 2. පච්චනීය පට්ඨාන නය 3. අනුලෝමපච්චනීය පට්ඨාන නය 4. පච්චනීයානුලෝම පට්ඨාන නය එම සතර යි.
ඉන් අනතුරුව තවත් නය ක්‍රම සයකී. 1. තික පට්ඨාන 2. දුක පට්ඨාන 3. දුකතික පට්ඨාන 4. තිකදුක පට්ඨාන 5. තිකතික පට්ඨාන 6. දුකදුක පට්ඨාන වශයෙනි. ඉහත පට්ඨාන ආකාර සතර (04), පසු පට්ඨාන සය (06) සමග ගුණ වූ කල්හි සූවිසි (24) පට්ඨානය (04 x 06 = 24) නම් වේ.
එම සූවිසි පට්ඨාන මෙසේ යි - 1. අනුලෝම තික පට්ඨානය 2. අනුලෝම දුක පට්ඨානය 3. අනුලෝම දුකතික පට්ඨානය 4. අනුලෝම තිකදුක පට්ඨානය 5. අනුලෝම තිකතික පට්ඨානය 6. අනුලෝම දුකදුක පට්ඨානය 7. පච්චනීය තික පට්ඨානය 8. පච්චනීය දුක පට්ඨානය 9. පච්චනීය දුකතික පට්ඨානය 10. පච්චනීය තිකදුක පට්ඨානය 11. පච්චනීය තිකතික පට්ඨානය 12. පච්චනීය දුකදුක පට්ඨානය 13. අනුලෝම පච්චනීය තික පට්ඨානය 14. අනුලෝම පච්චනීය දුක පට්ඨානය 15. අනුලෝම පච්චනීය දුකතික පට්ඨානය 16. අනුලෝම පච්චනීය තිකදුක පට්ඨානය 17. අනුලෝම පච්චනීය තිකතික පට්ඨානය 18. අනුලෝම පච්චනීය දුකදුක පට්ඨානය 19. පච්චනීයානුලෝම තික පට්ඨානය 20. පච්චනීයානුලෝම දුක පට්ඨානය 21. පච්චනීයානුලෝම දුකතික පට්ඨානය 22. පච්චනීයානුලෝම තිකදුක පට්ඨානය 23. පච්චනීයානුලෝම තිකතික පට්ඨානය 24. පච්චනීයානුලෝම දුකදුක පට්ඨානය
සූවිසි ප්‍රත්‍යය සහ සූවිසි පට්ඨානය යන ක්‍රම දෙක පිළිබඳව මනා ඉගෙනීමක් මෙම ග්‍රන්ථය තුළින් ලබාගත හැකිය. අභිධර්මය පිළිබඳව මනා දැනීමක් ඇති ගුරු උතුමන් වහන්සේ නමක් වෙතින් මෙය මනා කොට ද ඉගෙනගත යුතුය. අභිධර්ම පිටකයේ මුල් ප්රකරණ සියල්ලේ ම පාහේ දැනුම අවශ්යයහ. එම ප්රකරණ සය ම නිවැරදිව ඉගෙනගෙන ඇති පිරිසට ‘චුල්ලසෝතාපන්න’ යැයි ද ව්‍යවහාර වේ. එම නිසා මේ දහම් දැනුම මනා කොට දියුණු කරගත යුතුය.
පූජ්‍යපාද ත්‍රිපිටකාචාර්ය අභිධර්මවිශාරද කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන් වහන්සේට අභිධර්මය පිළිබඳව මනා දැනීමක් ඇති බැවින් ඉහත නමින් නම්වත් කළ හැකිය. මෙවැනි කෘති ඉදිරිපත් කිරීම කාලෝචිතය. දැනඋගත් ගිහිපැවිදි සැමගේ බුද්ධි වර්ධනයට මෙම ග්‍රන්ථය හැදෑරීම ඉතා වැදගත් වේ.
අත්ථ පටිසම්භිදාඥාණය ධම්ම පටිසම්භිදාඥාණය නිරුත්ති පටිසම්භිදාඥාණය පටිභාන පටිසම්භිදාඥාණය යන සිව්පිළිසිඹියා ඥාන ලබන්නට අභිධර්මය උගෙන ඒ ගැන මනා අවබෝධයක් ලබාගත යුතුය. ඒ බැවින් මේ වටිනා ග්‍රන්ථය කීපවතාවක් හදාරා අභිධර්ම දැනුම වැඩිදියුණු කරගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටිමි.
පූජ්‍යපාද ග්‍රන්ථවිශාරද කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන් වහන්සේට බුද්ධ සාසනය තුළ කටයුතු කිරීමට නිදුක් නීරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා! තව තවත් ධර්ම ග්රන්ථ එළිදැක්වීමට ශක්තිය බලය ධෛර්යය ප්‍රඥාව ලැබේවා’යි මෙත් සිතින් පතමි.
මෙයට,
කහගොල්ලේ සෝමවංශ ස්ථවිර
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,
ගල්දූව - කහව,
අම්බලංගොඩ.
2024. 02. 01
පරමාර්ථ වචනයක්
“දුවෙ සච්චානි අක්ඛාසි, සම්බුද්ධො වදතං වරො; සම්මුතිං පරමත්ථඤ්ච, තතියං නූපලබ්භති” වදාළේ සස් දෙකම - දෙසුවන් උතුම් බුදුහිමි සම්මුති පරමරුත් - නොලැබේ තෙවැන්නක් (පඤ්චප්පකරණට්ඨකථා)
වදාරන්නවුන් අතර උතුම් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේ සම්මුති සත්‍ය - පරමාර්ථ සත්‍ය යැයි සත්‍ය දෙකක්ම වදාළේ ය. තෙවැනි සත්‍යක් සම්බුදු දහමෙහි නොලැබේ.
“බුද්ධානං පන ද්වෙ කථා සම්මුතිකථා ච පරමත්ථකථා ච. තත්ථ සත්තො, පුග්ගලො, දෙවො, බ්රහ්මාතිආදිකා සම්මුතිකථා නාම. අනිච්චං, දුක්ඛං, අනත්තා, ඛන්ධා, ධාතුයො, ආයතනානි, සතිපට්ඨානා, සම්මප්පධානාතිආදිකා පරමත්ථකථා නාම” (පඤ්චප්පකරණට්ඨකථා) - සම්මාසම්බුදුරජාණන් වහන්සේලාගේ කතා වනාහි සම්මුති කතා - පරමාර්ථ කතා වශයෙන් දෙකකි. එහිදී සත්වයෙක්, පුද්ගලයෙක්, දෙවියෙක් ආදි වශයෙන් සංකේත වචන යොදා කරන ව්‍යවහාරය සම්මුති කතා නම් වේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ආයතන ධාතු සතිපට්ඨාන සම්මප්පධානාදී වශයෙන් උගන්වන දේශනාව පරමාර්ථ කථා නම් වේ.
“සංකෙතවචනං සච්චං, ලොකසම්මුතිකාරණං; පරමත්ථවචනං සච්චං, ධම්මානං තථලක්ඛණං” සස් වේ වදන් සලකුණු - ලොවෙහි සම්මත කෙරුණුයෙන් පරමරුත් සස් නම් - වදනේ තත් ලකුණු දම්
මෙසේ ලෝකසම්මුති කාරණාවන් ප්‍රකාශ කිරීමේ දී සංකේත වචන යොදා කරන සම්මුති ව්‍යවහාරය භාග්‍යවතුන් වහන්සේට මුසාවක් ද නොවේ. ඇතැම් කරුණු සම්මුතියෙන් විග්රහ කිරීමෙන් අර්ථය සම්පූර්ණ වන අතර එවැනි තැන්හි තත් වූ ලක්ෂණ ඉස්මතු කොට පරමාර්ථ වචන යෙදීමෙන් අර්ථ ගැන්වීම අර්ථ විනාශයකි.
“අපිච අට්ඨහි කාරණෙහි භගවා පුග්ගලකථං කථෙසි - හිරොතප්පදීපනත්ථං, කම්මස්සකතාදීපනත්ථං, පච්චත්තපුරිසකාරදීපනත්ථං, ආනන්තර්ය්යදීපනත්ථං, බ්රහ්මවිහාරදීපනත්ථං, පුබ්බෙනිවාසාදීපනත්ථං, දක්ඛිණාවිසුද්ධිදීපනත්ථං, ලොකසම්මුතියා අප්පහානත්ථන්ති” (එකංගුත්තරටීකාව) - තවද, භාග්‍යවතුන්වහන්සේ කරුණු අටකින් පුද්ගල කථාව කරනසේක. හිරියොතප් අර්ථ ගැන්වීම සඳහා, කර්මය අයත් කොට ඇතිබව ප්‍රකට කිරීම සඳහා, එක්සත් පුද්ගලයා අයත් ක්‍රියා අර්ථ ගැන්වීම සඳහා, පෙරවිසුකඳපිළිවෙල අර්ථ ගැන්වීම සඳහා, දානයේ පිරිසිදුකම අර්ථ ගැන්වීම සඳහා, ලෝකසම්මතය අත්නොහැරීම සඳහාත් යනුවෙනි.
පරමාර්ථ වශයෙන්ම යමක් අර්ථ ගැන්වීමේදී ස්කන්ධ ආයතන ධාතු ආදි වශයෙන් ඉගැන්වීම තුළින් බුදුදහමෙහි පරමාර්ථය ප්‍රකට වනු ඇත. එම නිසාම බුදුරජාණන් වහන්සේගේ දේශනාව “පරමත්ථ දේශනා, නාමරූපපරිච්ඡේද කථා, යථාධම්මසාසන” යන මෙවචන වලින්ද අර්ථවත් කරන්නේ සූත්‍ර විනය ධර්මයන්ට වඩා අතිරේක අතිවිශිෂ්ඨ අභිධර්ම දේශනාවේ පරමාර්ථ වචන වශයෙනි.
“පඤ්ඤත්තිං අනතික්කම්ම, පරමත්ථො පකාසිතො; සමඤ්ඤං නාතිධාවෙය්‍ය, තස්මා අඤ්ඤොපි පණ්ඩිතො; පරමත්ථං පකාසෙන්තො, සමඤ්ඤං නාතිධාවයෙ” නොකර වහර බැහැර - දෙසන ලද පරමරුත ද සම්මුතිය නොහැරම - එහෙයින්ම සෙසු පඬිවරු දෙසනවිට පරමත් - වහරද බැහැර නොකරනු
ඇතැම් සංකේත වචන භාවිත කරමින් පරමාර්ථ ප්රකාශනය හුදී ජනයන්ගේ සත්‍යාවබෝධය පිණිස හේතු වන බැවින් අභිධර්ම සත්තප්පකරණය බහුලීකෘත කරන යෝගාවචරයන්ට විශේෂ විදර්ශනා භූමිකාවකි. එහි දක්වන අර්ථ අතුරෙන් පට්ඨානප්පකරණයෙහි උගන්වන හේතුඵල වාදය, ප්‍රත්‍ය - ප්‍රත්‍යයොත්පන්න විභාගය, ප්‍රත්‍ය ඝටනා විභාගයෙන් උගන්වන අනාත්ම ලක්ෂණය, පට්ඨාන භාවනාවෙන් මතු වන අසම්මෝහ විජානනය