පට්ඨාන මහාපකරණ සන්නය 2 - කඩුවෙල අතුලඤාණ හිමි 2023.pdf
- කතෘ :
- කඩුවෙල අතුලඤාණ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2023
- මුද්‍රිත වර්ෂය :
- 2023
- පිටු ගණන :
- 428
- බාගත කිරීම් ගණන :
- 887
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-11-23
- ගොනුවේ ප්‍රමාණය :
- 4.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පට්ඨාන මහාපකරණ සන්නය (දෙවන භාගය) යනු අභිධර්ම පිටකයට අයත් සත්වන මහා ග්‍රන්ථය වන පට්ඨාන ප්‍රකරණය විස්තර කරමින් සම්පාදිත ගැඹුරු ධර්ම ග්රන්ථයකි. බුරුම සම්ප්රදායේ ආභිධර්මික මූලාශ්‍ර හා සන්න ආශ්රයෙන් ත්‍රිපිටකවාගීශ්වර පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමියන් විසින් මෙම සන්න ග්‍රන්ථය සිංහල භාෂාවට සකසා ඇත.
සූවිසි පත්‍යය ධර්මයන්ගේ නාම-රූප, කාල, සභාග-විසභාග ආදී විවිධ ප්‍රභේද විවරණය කෙරෙන අර්ථ නියායන් සහ පට්ඨාන ක්‍රම විග්රහයන් මෙහි මැනවින් ඉදිරිපත් කර තිබේ. ගැඹුරු හේතු-ඵල පරමාර්ථ ධර්ම විභාගය අවබෝධ කරගැනීමටත්, ධර්ම ඥාන හා භාවනා ඥාන වඩා වර්ධනය කරගැනීමටත් මෙය මහෝපකාරී වේ.
මෙම දෙවන භාගය 2023 වසරේදී අනුරාධපුර කටුකෙලියාව සද්ධත්ථිස්සාරාම මහා විහාරයේ ථෙරවාද ප්‍රකාශන සමිතිය (Theravada Publications Society Limited) මගින් ප්‍රකාශයට පත් කර ඇත.
සබ්බදානං ධම්මදානං ජිනාති
අභිධර්ම පිටකයට අයත් සත්වන ග්‍රන්ථය වන පට්ඨාන මහාපකරණය හැදෑරීමට අත්වැලක් ලෙස සකස් වන “පට්ඨාන මහාපකරණ සන්නය - දෙවන භාගය” නමැති ග්‍රන්ථය මුද්‍රණය කරන්නට ලැබීම ඉමහත් ධර්ම ප්‍රීතිය උපදවන්නක් බව කිව යුතුය. ඊට හේතුව නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදාළ අභිධර්ම පිටකය හැදෑරීමටත්, එය අනුව ප්‍රායෝගිකව සිය දිවියට යොදා ගන්නට කැමැති ගිහි පැවිදි බොහෝ දෙනෙකු සිටින බැවිනි. එසේ ම මෙම ග්‍රන්ථය මුද්‍රණය සඳහා අවකාශ ලැබෙන්නේ ද දායක පින්වතුන්ගේ සසුනට හිතකාමී ධර්මයට ළැදිභාවය නිසා ම යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇතැ’යි සිතමි.
තථාගත දේශනාව සිහි කරන අප සැම දන්නා කාරණය නම් “සියලු දානයට වඩා ධර්ම දානය උතුම් බව” යි. ධර්මය නො අසන්නාහු නම් සත්ත්වයෝ හැන්දක් පමණ කැඳ හෝ බත් හෝ දන් නො දෙන්නාහ. එසේ ම සියලු ම බුදුරජාණන් වහන්සේලා සහ පසේ බුදුරජාණන් වහන්සේලා හැරපියා කල්පයක් පුරාවට වැසි වසින කල්හි වැහි බිංදු වුව ද ගණන් කිරීමට හැකි ප්‍රඥාවෙන් සමන්විත වූ සැරියුත් ආදි තෙරවරු වුව ද ස්ව ඥානයෙන් ම සෝවාන් ආදි මග පල ලබන්නට සමත් නො වෙති. අස්සජී තෙරුන් වහන්සේලා විසින් කියනු ලැබූ ධර්මය ම අසා මග පල ලැබූහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවෙන් ශ්‍රාවක පාරමී ඥානය සාක්ෂාත්කාර කළහ. එබැවින් ධර්ම දානය උතුම් වේ.
මුද්‍රණය සඳහා අවස්ථාව සලසා දෙන දායක පින්වතුන් විසින් කරනු ලබන්නේ ද ධර්ම දානමය පුණ්‍ය කර්මයකි. බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් දේශිත ථේරීය පරම්පරානුයාත ව අපට ලැබුණු පට්ඨාන මහාපකරණය හැදෑරීමට පදනම සකසන්නා වූ මෙම ග්‍රන්ථය, මුද්‍රණය කොට සැදැහැතියන් වෙත ධර්මකාමීන් වෙත බෙදා දීමට කළ අදහස ද ප්රශංසාර්භ ය. එබැවින් මේ සඳහා දායක වන පින්වතුන් හට මෙම ධර්ම දානමය පින හේතුකොටගෙන චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය තුළින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නට උපකාර වේවා යි ඉත සිතින් ආශංසනය කරමි!
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි.
තිපිටක කම්මට්ඨාන විහාරය,
උතුරු ගැන් ප්‍රාන්තය,
නෙපෝන්තෝ නගරය,
මියන්මාරය.
2023-06-15
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුභාශිංසනය
පූජ්‍යපාද කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන් වහන්සේ අභිධර්ම පිටකයෙහි පට්ඨාන ප්‍රකරණය මැනවින් අවබෝධ කර ගැනීමට උපකාර වන ආකාරයෙන් පට්ඨාන මහාපකරණ සන්නයේ දෙවන කොටස ද බුරුම බසින් සිංහලයට පරිවර්තනය කර ඇත.
“මෙම ග්‍රන්ථය ලංකාවේ පට්ඨාන ප්‍රකරණය අධ්‍යයන ප්රතිෂ්ඨාපනයෙහි ප්‍රචලිත කිරීමෙහි මෙන් ම පට්ඨාන න්‍යාය උකහා ගනිමින් ධර්ම ඥාණ, භාවනා ඥාණ වැඩි දියුණුවට පත්ව මෙලොව අධිගම ලාභය සඳහා ද උපස්ථම්භක වේ යැයි අපේක්ෂා කරමු” යනුවෙන් එම ග්‍රන්ථයේ ප්රස්තාවනාවෙහි උන් වහන්සේ යොදා ඇති සටහනින් ග්‍රන්ථයේ වැදගත්කම ද ප්‍රකාශ වෙයි.
ගම්භීර ධර්මයක් පාඨකයාට මැනවින් අවබෝධ කර ගැනීමට අදාළව උන්වහන්සේ සිදු කර ඇති ධර්ම සංග්‍රහය අපගේ ප්‍රශංසාවට ලක්වේ. අපගේ ප්රමෝදයට හේතු වේ. උන් වහන්සේ සතු පාලි භාෂා ඥාණය මෙන් ම බුරුම භාෂා ඥාණය ද මීට පෙරත් අප විසින් ඇගයීමට ලක් කර ඇත. අභිධර්මය විෂයෙහි උන්වහන්සේ සතු සුවිශේෂී ඥාණ සම්භාරය මෙම පට්ඨාන මහාපකරණ සන්නය පරිවර්තන කාර්යයෙන් හෙළි වෙයි.
සම්බුද්ධ ශාසන චිරස්ථිතියට උපයෝගී වන ආකාරයේ මෙබඳු විශිෂ්ඨ ධර්ම සංග්‍රහයන් එළි දැක්වීමට ද, ඒ තුළින් ධර්මකාමී සැදැහැතියන්ගේ ධර්ම ඥාණය වඩාත් දියුණු කරලීමට ද අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේට ශක්තිය ලැබේවා යි ආශිංසනය කරන අතර උන්වහන්සේට ද ධර්මාවබෝධය පිණිස මේ සත් කාර්යයන් උපකාර වේවායි පතමි.
සුඛී දීඝායුකො භව..!
මෙයට, ශාසනහිතකාමී,
අග්ගමහාපණ්ඩිත, පරියත්තිධර, ත්‍රිපිටක විශාරද - ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහාස්ථවිර
ශ්‍රී විද්‍යාවාස මහපිරිවෙන
මිණිඔලුව - මීරිගම
නානාප්‍රකාර භේද ඇති පට්ඨානය
පට්ඨානං නාම නාමෙන, නාමරූපනිරොධනො, දෙසෙසි අතිගම්භීර-නයමණ්ඩිතදෙසනං.
පඤ්චප්පකරණ අට්ඨකථා/ගන්ථාරම්භකථා
සම්මාසම්බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් සතර වන සතියෙහි රුවන් ගෙයි වැඩ වාසය කරමින් ධර්මය සම්මර්ශනය කරනුයේ සත්වන දින හේතුපච්චයෝ, ආරම්මණපච්චයෝ ආදී වශයෙන් පට්ඨාන ධර්මය මෙනෙහි කරනවාත් සමග ම ෂඩ්විධ බුද්ධරශ්මි මාලා විහිදුවමින් අනන්තනය සමන්වාගත සමන්ත පට්ඨාන මහාවිෂයෙහි පවත්නා ගාම්භීර ඥාණය ලොවට පසක් කරමින් බුදු වීමෙන් සත්වන වස තව්තිසාවේ වැඩසිට දේශනා කරමින් ඒ උගන්වන පට්ඨාන ධර්මය නාම රූපයන්ගේ හටගැනීම සහ බිඳීම අතිශයින් ගාම්භීර නා නා නයක්රමයන්ගෙන් ඔබවත් කරමින් දේශනා කළ ධර්මය යි. එකී ධර්මය,
ධම්මතො කාලතො චෙව, නානප්පකාරභෙදතො; පච්චයුප්පන්නතො චෙව, විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
පඤ්චප්පකරණ අට්ඨකථා/ පච්චයුද්දෙසවණ්ණනා
හේතු ප්රත්යයාදී සූවිසි ප්‍රත්‍යය ධර්මයන්හි අවබෝධඥාණය විසඳ සුවිසඳ භාවය පිණිස ඒ ඒ ප්‍රත්‍යය ධර්මයන්හි පිහිටි අර්ථය ධම්මතො; ධර්ම වශයෙන්, කාලතො; කාල වශයෙන්, නානප්පකාරභෙදතො; නොයෙක් නොයෙක් ආකාර වූ ප්‍රභේද වශයෙන් ද, පච්චයුප්පන්නතො චෙව; වර්තමාන වශයෙන් යැයි, එහි විනිශ්චය දත යුතු යි.
ධම්මතො - මෙහි ධර්ම වශයෙන් යනු නාම රූප වශයෙන් සූවිසි ප්‍රත්‍යයන් වෙන් කිරීම යි. නාමය නාමයට ප්‍රත්‍යය වීම, නාමය රූපයට ප්‍රත්‍යය වීම, රූපය නාමයට ප්‍රත්‍යය වීම, රූපය රූපයට ප්‍රත්‍යය වීම, නාමරූප නාමරූපයන්ට ප්‍රත්‍යය වීම යන අර්ථ නියාය ගෙන සූවිසි ප්‍රත්‍යය ධර්මයන් ඒ තුළ බහාලා කරන අර්ථ විග්‍රහය ධම්මතෝ නම්. හේතු ප්‍රත්‍යය නාම රූප ධර්මයන්හි අර්ථ ගන්වන බැවින් නාමධම්මෙකදෙසො නම් වේ. ආරම්මණ ප්‍රත්‍යය තෙමේ පඤ්ඤත්තිය සමග සියලු නාමරූප ධර්මයෝ ගන්නා ලදී. සහජාතාධිපති, කම්ම, ඣාන, මග්ග යන ප්‍රත්‍යය ධර්මයෝ නාමධම්මෙකදෙස යි. ආරම්මණාධිපති තොමෝ සියලු ගරු ධර්මයන් අරමුණු කරන බැවින් ආරම්මණ ධම්ම නම් වේ. එනම් ඇතැම් නාම සහ රූපධර්මයෝ ම එහි ඇතුළත් වේ. සතර නාමස්කන්ධ සංඛ්‍යාත නාම ධර්මයන් ම අනන්තරසමනන්තරපච්ඡාජාතාආසෙවනවිපාකසම්පයුත්තනත්ථිවිගත යන ප්‍රත්‍යයන්හි නාම ධර්මයන්ගේ ප්‍රත්‍යය භාවය දත යුතු යි. පුරෙජාතපච්චයො රූපධම්මොව පුරේජාත ප්‍රත්‍යය රූප ධර්ම වෙයි. සෙසා යථාලාභවසෙන නාමරූපධම්මා. සෙසු ආරම්මණ අධිපති සහජාත ආදී ප්‍රත්‍යය ධර්මයෝ නාම රූප ධර්ම වශයෙන් ද ආරම්මණාධිපතිආරම්මණූපනිස්සයපකතූපනිස්සය යන ප්‍රත්‍යය ධර්මයන්හි පඤ්ඤත්ති ධර්මය සංග්‍රහ වේ. නිර්වාණය මෙහිදී අසංගෘහිත වූවත් නාමෛකදේශ වශයෙන් කීමට වටී.
කාලතො - හෙතුසහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයපුරෙජාතපච්ඡාජාතවිපාකආහාරඉන්ද්රියඣානමග්ගසම්පයුත්තවිප්පයුත්තඅත්ථිඅවිගත යන පසළොස් ප්‍රත්‍යය ධර්මයෝ පච්චුප්පන්න වී තමාගේ ඵලයට ප්‍රත්‍යය වෙත්. අනන්තරසමනන්තර-ආසෙවනනත්ථිවිගත යන පඤ්ච ප්‍රත්‍යය ධර්මයෝ අතීත වශයෙන් ම සිට තමාගේ ඵලයට ප්‍රත්‍යය වේ. කම්ම ප්‍රත්‍යය තෙම එක් පැත්තකින් පච්චුප්පන්න වී තවත් පැත්තකින් අතීත වී තමාගේ ඵලයට ප්‍රත්‍යය වේ. ඉතිරි වූ ආරම්මණඅධිපතිඋපනිස්සය යන ත්‍රිවිධ ප්‍රත්‍යය ධර්මයෝ ත්‍රෛකාලික වී තමාගේ ඵලයට ප්‍රත්‍යය වේ. නිර්වාණපඤ්ඤත්ති යන මොවුහු කාලවිමුක්ත වී තමාගේ ඵලයට ප්‍රත්‍යය වෙත්. මෙහි සංග්‍රහය මෙසේයි.
පච්චුප්පන්නාව හොන්තෙත්ථ, පච්චයා දස පඤ්ච ච; අතීතා එව පඤ්චෙකො, තෙ කාලෙ ද්වෙපි නිස්සිතො; තයො තිකාලිකා චෙව, විමුත්තා චාපි කාලතොති.
පඤ්චප්පකරණ අට්ඨකථා/ පච්චයුද්දෙසවණ්ණනා
වර්තමාන වශයෙන් ඵලයට ප්‍රත්‍යයවන ප්‍රත්‍යය ධර්මයෝ පසළොසකි. අතීත වශයෙන් ඵලයට ප්‍රත්‍යයවන ප්‍රත්‍යය ධර්මයෝ පහකි. කම්ම ප්‍රත්‍යය නැමැති එකම ප්‍රත්‍යය පච්චුප්පන්න අතීත වශයෙන් සිට ප්‍රත්‍යය වෙත්. ආරම්මණාදි ප්‍රත්‍යය තුනක් ත්රෛකාලිකව සිට ප්‍රත්‍යය වේ. නිබ්බාන පඤ්ඤත්ති යන මොවුහු කාල විමුක්ත වෙත්. මෙසේ කාල වශයෙන් විනිශ්චය දත යුතු යි.
නානාප්‍රකාර භේද වශයෙන් කෙරෙන අර්ථ විග්‍රහය පට්ඨාන මාතිකා වණ්ණනාවට අනුව දත යුතු ය.
ධම්මතො කාලතො චෙව, එකස්සානෙකපච්චයා; අනෙකෙසඤ්ච ධම්මානං, එකපච්චයභාවතො.
සභාගා විසභාගා ච, යුගළා ජනකාදිතො; සබ්බට්ඨානාදිභෙදා ච, රූපාරූපවිකප්පතො; භවතො සඞ්ගහා ඤෙය්යයො,පකිණ්ණකවිනිච්ඡයො.
මොහවිච්ඡෙදනී පට්ඨානමාතිකාත්ථවණ්ණනා
ධම්මතො; ධර්ම වශයෙන්, කාලතො; කාල වශයෙන්, එකස්සානෙකපච්චයා; එක් එක් ධර්මයකට නා නා විධ ප්‍රත්‍යය වශයෙන්, අනෙකෙසඤ්ච ධම්මානං - එකපච්චයභාවතො; නොයෙක් නොයෙක් ධර්මයන්ට එක් ප්රත්යයක උපකාරක භාවය (කම්මපච්චයා තෙවීසති පච්චයුප්පන්නා ධම්මා), සභාගා විසභාගා; සභාග විසභාග වශයෙන්, යුගළා; යුගළ වශයෙන්, ජනකාදිතො; ජනක උපස්ථම්භක වශයෙන්, සබ්බට්ඨානාදිභෙදා; සියළු තැන්හි යෙදීම් නොයෙදීම් වශයෙන්, රූපාරූපවිකප්පතො; රූප අරූප වශයෙන්, භවතො; භව වශයෙන්, සඞ්ගහා; සංග්‍රහ වශයෙන් යැයි පට්ඨාන දේශනාවෙහි දසවිධ ප්රකීර්ණක විනිශ්චය යි. ඒ තුළින් උගන්වන අර්ථ නියාය මෙවැනි සන්න (නිස්සය) ග්රන්ථ තුළින් මනාව ඔබවත් වෙයි.
මෙසේ ප්‍රත්‍යය මුඛයෙන් සූවිසි පට්ඨානයට බැසගැනීමේ දී කුසලත්‍රික පට්ඨානයෙහි අර්ථ විග්‍රහය වශයෙන් පට්ඨානප්රකරණ සන්නය ඉදිරිපත් වූවත් අවසාන භාගය බුරුම අකුරෙන් සිංහළ භාෂාවට පරිවර්තනය කරමින් එය සර්ව සම්පූර්ණ මහා පට්ඨානප්රකරණ සන්නයක් වශයෙන් වර්තමානයේ ආභිධම්මික භික්ෂු, උවසු, උවැසියන්ගේ පට්ඨානප්රකරණ ඥාණවිෂය සුවිසල් භාවයට පත්වීම පිණිස මෙකී ග්‍රන්ථය ධම්මාදාසයක් වනු නොඅනුමානය. මෙකී ග්රන්ථයෙහි කර්තෘ පූජ්‍යපාද කඩුවෙල අතුලඤාණ ස්ථවිරපාදයන්ගේ ශාස්ත්‍රීය ධර්ම සංග්රහයන්හි එක් සුවිශේෂී පියවරකි. තව තවත් මෙවැනි ශාස්ත්‍රීය ග්රන්ථ සසුනට දායාද කිරීමෙහිලා දරණ උත්සහය නිමාව තෙක් රැගෙන යෑමට ශක්තිය ධෛර්ය්යය රත්නත්‍රයේ ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණය ගිහි පැවිදි සැමදෙනාගේ උපකාරය නොඅඩුව ම ලැබේවා යි මෙත් සිතින් ආශිංසනය කරම්හ.
සබ්බෙ සත්තා භවන්තු සුඛිතමුදිතත්තා!
මෙයට,
දිගන සුගතවංස ස්ථවිර.
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද.
ප්‍රස්තාවනාව
දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයෙහි විවරණ ලද අප මහබෝසතාණෝ අනන්ත සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් යුතු ව සාරාසංඛ්යෙය්ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූරණය කොට දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩපයේ දී සවාසනා සකල ක්ලේශයන් මතු නූපදනා ලෙස ප්රහාණය කොට ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ සේක. බුද්ධත්වයෙන් සතරවන සතියෙහි දී රත්නාඝරයෙහි වැඩ හිඳිමින් භාග්‍යවතුන් වහන්සේ සප්ත ප්‍රකරණය මෙනෙහි කළ සේක. පළමු ප්‍රකරණයන් සය කුඩා වූ බැවින් සර්වඥතා ඥානය රිසි සේ හසුරුවන්නට ඒ ප්‍රකරණයන් ප්‍රමාණවත් නො වී ය. නමුත් සත්වෙනුව ඇති පට්ඨාන මහාප්රකරණයෙහි ඇතුළත් අතිශය සූක්ෂ්ම වූ ධර්මයන්හි උන්වහන්සේගේ සර්වඥතා ඥානය රිසි සේ හසුරුවන්නට අවකාශ ලද බැවින් සිත අතිශයෙන් පහන් විය. සිත පහන්වීමේ ඵලයක් ලෙස ලේ ධාතුව අතිශයෙන් සුපරිශුද්ධ විය. ලේ ධාතුව පිරිසිදුවීම හේතුවෙන් බුද්ධ ශරීරයෙන් නීල, පීත ආදී ෂඩ් වර්ණ රශ්මි ධාරාව මුලින් ම නිකුත් විය. සර්වඥ ශ්‍රී ශරීරයෙන් රශ්මීන් විහිදුවීමට සමත් වූ ගම්භීර වූ පට්ඨාන ධර්මයේ විශිෂ්ටත්වය මෙයින් ප්‍රකට ය.
භාග්‍යවතුන් වහන්සේ රත්නාඝරයෙහි වැඩ හිඳිමින් මනසිකාරය කළ සූක්ෂ්ම වූ ධර්මයෝ කවරහු ද යත් - හේතු-ඵල ධර්මයෝ ම ය. තථාගත දේශනයෙහි පැමිණෙන හේතු-ඵල දේශනාව තෙවැදෑරුම් වේ. සංසාර ප්‍රවෘත්තියට හේතුව තෘෂ්ණාව ය යැයි ගෙන ආර්ය සත්‍ය ක්‍රමයට සංක්ෂේපයෙන් දැක්වීම පළමු දේශනා ක්‍රමය යි. අංග දොළොසක් ගෙන පටිච්චසමුප්පාද ක්‍රමයට දැක්වීම දෙවන දේශනා ක්‍රමය යි. පරමාර්ථ ධර්මයන් පහළ වීමේ දී ඒ ඒ පරමාර්ථ ධර්මයන් ඉපදීමට හා පැවැත්මට උපකාර කරන පරමාර්ථ ධර්මයන්ගේ ප්‍රත්‍යය ශක්තීන් ප්‍රධාන කරමින් පට්ඨාන ක්‍රමයට දැක්වීම තෙවන දේශනා ක්‍රමය යි. මෙම අතිශය සූක්ෂ්ම වූ ප්‍රත්‍යය ශක්තීන් සම්මර්ශනය කරන ලදින් උන්වහන්සේගේ සිත මනාව පහන් විය.