අනාගත භය - 2022.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 281
- බාගත කිරීම් ගණන :
- 493
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-11-23
- ගොනුවේ ප්‍රමාණය :
- 6.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අනාගත භය යනු අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අනාගත භය වග්ගයෙහි ඇතුළත් සූත්‍ර සතර පදනම් කරගෙන සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. සම්බුදු සසුනේ දියුණුව හා පරිහානිය සිදුවන ආකාරයත්, ඉදිරියට පැමිණිය හැකි ශාසනික විපත් හඳුනාගෙන ධර්ම විනයානුකූලව ජීවිත හැඩගස්වාගත යුතු ආකාරයත් මෙහි විස්තර කෙරේ. මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමයේ පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසිනි.
කර්තෘන් වහන්සේගේ උපසම්පදාවට වසර විසිපහක් පිරීම (2024 ජූනි 18) නිමිති කරගෙන ධර්ම දානයක් වශයෙන් මෙම කෘතිය මුද්‍රණය කරවා බෙදාහැර ඇත. අගුල්ගමුවේ අරියනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් මෙයට පෙරවදන සපයා ඇති අතර ‘අපරිහානිය පදනම’ සංවිධානය සහ බුද්ධික පොල්පිටිය මහතා ඇතුළු දායක පිරිසගේ දායකත්වයෙන් ග්‍රන්ථය එළිදක්වා තිබේ.
පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක්:
- ප්‍රථම අනාගත භය සූත්‍රය සහ සූත්‍ර නිදානය
- ප්‍රථම ධර්ම සංගායනාව සහ ධර්ම විනය බෙදා දැක්වීම
- දුතිය, තතිය සහ චතුර්ථ අනාගත භය සූත්‍ර විස්තරය
- ත්‍රි ශික්ෂාව, ආචාර-ගෝචර සහ සප්ත විසුද්ධි ධර්ම
- නීවරණ ප්රහාණය සහ විදර්ශනා භාවනා ක්‍රම
පෙරවදන
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
“නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තරබාහිරං, ඒවං ගොපෙථ අත්තානං - ඛණො වො මා උපච්චගා, ඛණාතීතා හි සොචන්ති - නිරයම්හි සමප්පිතා”1
ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් රක්නා රජෙකු මෙන් තම සිත රැකගනිවු. මේ දුර්ලභ වූ මොහොත බුද්ධෝත්පාද කාලය ඔබ ඉක්ම නොයේවා. යම් හෙයකින් මේ මොහොත ඉක්ම ගිය අය නිරයෙහි ඉපිද ශෝක කරත් ද, එහෙයිනි.
අනාගත භය සූත්‍ර සතරකින් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ බුදු සසුන පිරිහීමට පත් වන ආකාරය පිළිබඳවයි. වර්තමානයේ එම පිරිහීම තැනින් තැන පෙනෙන්නට ඇත. ඒවා මගහරවාගෙන සසුන් ගුණ තව තවත් දියුණු කිරීම ධර්මකාමී සෑම දෙනාගේම යුතුකම විය යුතු ය.
අනාගත භය නමින් ඔබ අතට පත්වෙන උතුම් ධර්ම ග්‍රන්ථය කියවා බලන කවරෙකුට වුව ද එම අනාගත භය සූත්‍ර සතර තවත් සූත්‍ර හා කරුණු එක්කොට ඉතා වටිනා අයුරින් විස්තර කොට ඇතිබව වැටහෙනු ඇත. ඒ සඳහා කැප වූ පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේට තව තවත් මෙවැනි ධර්ම ග්රන්ථ සම්පාදනය කරන්නට ශක්තිය ලැබේවායි පතන අතර “අපරිහානිය පදනම” නමින් සංවිධානයක් ආරම්භ කොට සත්පුරුෂ මඬුල්ලක් හා එක්ව සසුන් වැඩ පිණිස කටයුතු කරන කුරුණෑගල බුද්ධික පොල්පිටිය මහතා ප්‍රධාන සත්පුරුෂ සැමටත්, මුද්‍රණය කොට බෙදා දීමට දායක වන සැමටත්, මුද්‍රණාලයාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් රත්නත්‍රයේ උතුම් ගුණානුභාව බලයෙන් හා ධර්මදාන කුසල බලයෙන් සියලු ප්‍රාර්ථනා මුදුන් පත් වී සසුනට ද උපකාර වෙමින් පාරමී ගුණ දියුණු කොට ඉක්මනින් නිවනින් සැනසෙන්න ලැබේවායි ආශිර්වාද කරමි.
මෙයට මෙත්සිති, නා උයන ආරණ්‍ය සේනාසනාධිපති හා ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, අගුල්ගමුවේ අරියනන්ද මහා ස්ථවිර.
------------------- 1 ධම්මපද නිරයවග්ග
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති හා
ප්‍රධාන කම්මට්ඨානාචාර්ය,
අගුල්ගමුවේ අරියනන්ද මහා ස්ථවිර.
හැඳින්වීම
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
“තථාගතප්පවෙදිතො ධම්මවිනයො, භික්ඛවෙ, විවටො විරොචති, නො පටිච්ඡන්නො”1
මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය ද, පනවා වදාළ විනය ද විවෘත වූ කල්හි බබළයි. වැසුණු කල්හි නොම බබළයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලයක් සමත්‍රිංශත් පාරමී ධර්ම පූර්ණය කොට සපරිවාර මාර පරාජය කොට සම්බුද්ධත්වයට පැමිණ වදාළේ තමන් වහන්සේ සියල්ල දන්නා නුවණින් අවබෝධ කළ ධර්මය සදේවක ලෝක සත්වයන්ට දේශනා කොට සසර දුකින් අත මුදවා නිවන් සුවයට පමුණුවාලීමට ය. ඒ උතුම් ධර්මය ශ්‍රවණය කිරීම, ඉගෙනීම, ප්‍රගුණ කිරීම, සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩීම, ආර්ය සත්‍ය වශයෙන් සෝවාන් ආදී මාර්ගයන්ගෙන් අවබෝධ කිරීම ආදී වශයෙන් සත්ව සන්තානයෙහි පිහිටි කල්හි මුල් බැස ගත් කල්හි ඒ උතුම් ධර්මයේ බැබළීම ඇති වේ. එසේ සත්ව සන්තානයෙහි නොපිහිටි කල්හි ඒ උතුම් ධර්මයෙහි බැබළීම සිදු නොවේ.
එබැවින් ඒ උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අනුගමනය කරන බුද්ධ ශ්‍රාවක වූ ගිහි පැවිදි සෑම දෙනා විසින් ම හැකි උසස් ම ආකාරයෙන් ඒ ධර්මය දැන ඉගෙන අනුගමනය කිරීමට උත්සාහවත් විය යුතුම ය. එය ශාස්තෲන් වහන්සේට කරන උසස් ම ගෞරවය වන්නේ ය.
සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම දියුණුව ජීවය කරගත් “අපරිහානිය පදනම” නම් ශාසනමාමක සංවිධානයෙහි නිර්මාතෘවර කුරුණෑගල බුද්ධික පොල්පිටිය මහත්මා ශාසන හිතකාමී සත්පුරුෂ පුණ්‍යවන්ත බොහෝ පිරිසක් සමග ඒකාත්මික ව නොමගට බරව සිටින බොදුනුවන් සුමගට ගෙන සම්බුදු සසුන බැබළවීමට මහත් පරිශ්‍රමයක් දරන්නේ පාරමී ශීර්ෂයෙනි. එය ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට කරුණු වේ.
සම්බුදු සසුන නගා සිටුවීම පිණිස මනුලොව උපත ලබා නිසි කල උතුම් සසුන් ප්‍රව්‍රජ්‍යාව ලබා නිර්මල ධර්මය ලොවට දේශනා කොට බොහෝ සත්වයන් නිවන් මගට පමුණුවා අපවත් වී වදාළ මහා බෝධිසත්වයන් වහන්සේලා දෙනමක් වන අති පූජනීය මහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය නා උයනේ අරියධම්මාභිධාන අනුනායක මහා ස්වාමින් වහන්සේ ද, අති පූජනීය ගංගොඩවිල සෝම මහා ස්වාමින් වහන්සේ ද සිහිපත් කරමින් ඒ ගරු මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ ජන්ම දිනය යෙදී ඇති 2022-04-24 දින ධර්ම දානයක් වශයෙන් පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිදු කරන මහා පුණ්‍ය කර්මය නිමිත්තෙන් පින්වත් බුද්ධික පොල්පිටිය මහත්මා විසින් කළ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බුදු සසුනෙහි දියුණුව හා පරිහානිය වන ආකාරය හා එසේ පිරිහීමට නොපැමිණ පවතින ආකාරය ගිහි පැවිදි සෑම තම ශ්‍රාවකයන්ගේ හිත සුව පිණිස පැහැදිලි කරමින් වදාළ “අනාගත භය” සූත්‍ර සතර ඇසුරු කොට මේ ධර්ම ග්‍රන්ථය ධර්ම දානයක් වශයෙන් සකස් කළෙමි.
එහෙත් එම කාලයෙහි රටේ පැවති අනාරක්ෂිත තත්වය හා කොරෝනා ව්‍යසනය හේතුවෙන් එම මහඟු කුසලය සිදු කිරීමට නොහැකි විය. අප සම්බුදු සසුනෙහි උපසම්පදා භූමියට පත්ව වසර විසිපහක් සම්පූර්ණ වීම මෙම වර්ෂයේ ජූනි මස දහ අටවැනි දිනට යෙදී පවතින බැවින් එය හදවතින් ම අප මේ ජීවිතයෙහි දී ලැබූ මහත් භාග්‍යයක් කොට සලකා දිවි ඇති තෙක් උසස් ලෙස සසුන් ගුණ පූර්ණයට ලැබේවා යන උදාර අදහසත් එසේම මේ වටිනා ග්‍රන්ථය ගිහි පැවිදි බොහෝ දෙනාට ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන බුදු සසුන සුරක්ෂිත කරමින් සුව සේ නිවන් මග ආලෝකමත් කර ගැනීමට උපකාර වේවා යන ශුද්ධ සංකල්පනාවෙන් මෙසේ ධර්ම දානයක් වශයෙන් ප්රදානය කිරීමට අවස්ථාවක් කර ගත්තෙමි.
මේ මහඟු කුසලය අති පූජනීය නා උයනේ අරියධම්මාභිධාන අනුනායක මහා ස්වාමින් වහන්සේ ද, අති පූජනීය ගංගොඩවිල සෝම මහා ස්වාමින් වහන්සේ ද අනුමෝදන් වෙත්වා. එසේ ම අප උපාධ්යායෝත්තම අති පූජනීය කඩවද්දූවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු මහා බෝසතාණන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. සම්බුදු සසුන ආලෝකවත් කරමින් පාරමී ගුණ පූර්ණය පිණිස මේ උතුම් ලක්දිවට උත්පත්ති වශයෙන් වඩිත්වා. සුව සේ සමත්‍රිංශත් පාරමී දම් සපුරා මතු උතුම් සම්බුද්ධ රාජ්‍යය සුව සේ ලබත්වා යි ගෞරව නමස්කාරයෙන් පුණ්‍යානුමෝදනා කරමි.
සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම දියුණුව ජීවය කරගත් “අපරිහානිය පදනම” නම් ශාසනමාමක සංවිධානයෙහි සාමාජික පින්වත් සැමට ද රත්නත්‍රයේ මහා ගුණානුභාවයන් මේ උතුම් ධර්මදානමය කුසලයන් මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයත් හිමි වීමෙන් සියලු අභිමත ප්‍රාර්ථනා මුදුන්පත් වී සුව සේ නිවන් සුව අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!
එසේම මෙම ධර්මදානමය කුසලය වෙනුවෙන් දායකත්වය දරමින් හා මෙම ග්‍රන්ථය උසස් නිමාවකින් මුද්‍රණය කර ගැනීමට උපකාර වූ සංජීව ජීවන්ත මල්ලි හා ලක්මිණි නංගි ඇතුළු පවුලේ සැමට ද, චාමිනී නංගි ඇතුළු පවුලේ සැමට ද සියලු යහපත් ප්‍රාර්ථනා සුව සේ මුදුන් පමුණුවා ගැනීමටත් ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමටත් හේතු වේවා.
සම්බුදු සසුන ආලෝකවත් කොට අපවත් වී වදාළ සංඝ පිතෘන් වහන්සේලාට ද, අනෙකුත් බෞද්ධ වීරයන්ට ද මතු සියලු ධර්ම ප්‍රාර්ථනා ජය ගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා. බුදුසසුන බබළවමින් සුජීවත්ව වැඩ වෙසෙන අති පූජනීය පා අවුක් භාවනා මාර්ගයෙහි නිර්මාතෘ අති පූජනීය පා අවුක් සෙයාඩෝ මහා ස්වාමින් වහන්සේ හා ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි වත්මන් අනුශාසක අති පූජනීය පහලවිටියල ජනානන්දාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, ඉතා වටිනා ශාසන මෙහෙවරක් කරමින් සම්බුදු සසුනටත් යෝගාවචර මහා සංඝයාට බොහෝ පිහිට උපකාර සලසන අති පූජනීය කහගොල්ලේ සෝමවංශ මහා ස්වාමින් වහන්සේට ද අනෙකුත් සංඝ පීතෘවර මහා ස්වාමින්වහන්සේලා ප්‍රධාන ප්‍රධාන සියලු යෝගාවචර මහ සඟ රුවනට ද මෙම ධර්ම දානමය කුසල බලයෙන් හා රත්නත්‍රයානුභාව බලයෙන් නිදුක් රෝගී සුවපත් බව ඇතිව විංශත් ශතවර්ෂාධික කාලයක් ඉතා පහසුවෙන් සසුන් ගුණ පූර්ණය කරගෙන සුව සේ නිවන් සුව අවබෝධ කර ගැනීමට හේතු වෙත්වා! මේ සඳහා වටිනා පෙරවදනක් සපයා දීමෙන් අනුග්‍රහ දැක්වූ නිමල භාවනා මාර්ගය කියා දෙමින් දෙස් විදෙස් ගිහි පැවිදි බොහෝ දෙනාට ධර්ම සුවය ලබා දෙන අපගේ ගුරුදේවෝත්තම ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේට ද, ගාම්භීර වූ ඉතා අර්ථවත් පසු වදනක් සපයා දෙමින් අනුග්‍රහ දැක්වූ නොමග යන ජනයාට යා යුතු නිසි මග පෙන්වමින් ගිහි පැවිදි බොහෝ පිරිසකට ගැඹුරු ධර්මයන් පැහැදිලි කොට දෙමින් ජාතික ශාසනික මහත් මෙහෙවරක් කරන්නා වූ රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කල්‍යාණ මිත්‍ර අති පූජනීය තලගමුවේ සුධීරානන්ද මහා ස්වාමින් වහන්සේට ද සියලු ධර්ම සංකල්පනා පහසුවෙන් මුදුන් පත් වී නිවන් සුව අවබෝධය පිණිස ම හේතු වාසනා වෙත්වා! සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද සුව සේ පාරමී සපුරා නිවන් සුව ලබන්නට ම හේතු වේවා. මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සඳහා දායකත්වය දැරූ සැමට ද මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපති තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද සුවසේ ම නිවන් සුව ලබන්නට හේතු වේවා.
මෙයට ශාසන හිතකාමී, නිකපිටියේ ගුණරතන හිමි, සීල සමාහිත යෝගාශ්‍රමය, සීලගම, බෙලිහුල් ඔය. 2024-05-20
------------------- 1 අං: නි: ති: නි: කුසිනාරා වග්ග පටිච්ඡන්න සූත්‍රය
මෙයට ශාසන හිතකාමී,
නිකපිටියේ ගුණරතන හිමි,
සීල සමාහිත යෝගාශ්‍රමය,
සීලගම, බෙලිහුල් ඔය.
2024-05-20