අනත්තදීපනී - ලේඩි සයාඩෝ හිමි පැල්මඩුල්ලේ විජිතානන්ද හිමි 2024.pdf
- කතෘ :
- ලේඩි සයාඩෝ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2024
- මුද්රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 125
- බාගත කිරීම් ගණන :
- 761
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-10-10
- ගොනුවේ ප්රමාණය :
- 6.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අනත්තදීපනී නම් වූ වේදනානුපස්සනා විදර්ශනා කර්මස්ථානය යනු අග්ගමහාපණ්ඩිත භදන්ත ලේඩී සයාඩෝ මහා ස්ථවිරයන් වහන්සේ විසින් බුරුම බසින් රචිත ‘අනත්තදීපනී’ නම් ප්රකට ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය සිදු කර ඇත්තේ බුරුමයේ උසස් ධර්මාචාර්ය විභාග සමත් පූජ්ය පැල්මඩුල්ලේ විජිතානන්ද (විජිතානන්දාභිවංස) හිමියන් විසිනි.
මෙහි ප්රධාන වශයෙන් සත්කාය දෘෂ්ටිය ප්රහාණය කිරීම සඳහා අනාත්ම ලක්ෂණය නුවණින් දැකීම සහ වේදනානුපස්සනා විදර්ශනා භාවනා ක්රමය විග්රහ කෙරේ. බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන අනාත්ම ධර්මතාව, ශාශ්වත හා උච්ඡේද දෘෂ්ටි බැහැර කරමින් පටිච්චසමුප්පාද ධර්මයට අනුව ගැඹුරින් නමුත් සරල ලෙස මෙමගින් පැහැදිලි කර දී ඇත.
මෙම කෘතියේ ද්විතීය මුද්රණය 2024 අගෝස්තු මස අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (කරුවලගස්වැව) මගින් ප්රකාශයට පත් කර ඇති අතර මුද්රණය නුගේගොඩ නවෝද්යා බුක් බයින්ඩර්ස් ආයතනයෙන් සිදු කර ඇත.
ප්රස්තාවනා
“අනත්තලක්ඛණඤ්ඤාපනඤ්හි අඤ්ඤස්ස කස්සචි අවිසයො, සබ්බඤ්ඤුබුද්ධානමෙව විසයො” - “ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන එය දේශනා කිරීම් වශයෙන් පැනවීමේ ක්රියාව අන් කිසිවෙකුගේ විෂය පථයේ නොමැත්තකි. එය සර්වඥ බුදුවරුන්ගේ ම විෂය පථයට අයත් වූවකි.” මහානුභාව සම්පන්න තාපසවරු, සරභංගාදි ශාස්තෲවරු තරමක් දුරට අනිත්ය ලක්ෂණය සහ දුඃඛ ලක්ෂණය තම ශ්රාවකයන්ට දේශනා කිරීමට සමර්ථ වුව ද ඔවුහු අනාත්ම ලක්ෂණය කුළුගන්වමින් දේශනා කිරීමට සමර්ථ නොවෙති. තව ද ඔවුහු ධර්මයන්ගේ නිස්සත්ත්ව බව නම් වූ අනාත්ම ලක්ෂණය පවා සෘජුව දේශනා කිරීමට සමර්ථ නොවෙති. එබැවින් ඔවුන්ගෙන් ධර්ම ශ්රවණය කරන ශ්රාවකයෝ මාර්ගඵලාධිගමනය නොකරති. කරුණු මෙසේ හෙයින් අනාත්ම ලක්ෂණය සසර සැරිසරන සත්ත්වයන්ට අප්රකට ය, අවිභූත ය, දුර්විඥෙය ය. අන්ධකාරයෙහි ඇති දෙයක් චක්ෂුඃපථයට ආපාථ ගත නොවන්නා සේ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය අවිද්යාවෙන් අන්ධ වූ සත්ත්වයන්ගේ ඥාන චක්ෂුවට ආපාථ ගත නොවේ. ඥාන පථයෙහි පතිත නොවේ.
සත්ත්වයෝ අනාත්ම ලක්ෂණයට විරුද්ධ වූ ආත්ම ලක්ෂණය ම පිළිගන්නා වූ විශ්වාස කරන්නා වූ ස්වභාව ඇත්තෝ ය. ස්වසන්තානගත නාමරූප ධර්ම “මම ය” කියා හෝ “මාගේ ආත්මය ය” කියා හෝ “සත්ත්වයා ය” කියා හෝ “පුද්ගලයා ය” කියා හෝ “ජීවය ය” කියා හෝ සලකමින් ජීවත් වීම හැම සත්ත්වයෙකුගේ ම ස්වභාවය යි. එය “ආත්ම දෘෂ්ටිය” හෙවත් “සක්කාය දෘෂ්ටිය” යි. හැම සත්ත්වයෙක් ම සත්කාය දෘෂ්ටිය ඇතිව උපත ලබති. සත්කාය දෘෂ්ටිය හැම කල්හි චෛතසික ධර්මයක් ලෙස සිතෙහි පහළ නොවුන ද සත්ත්ව පුද්ගල ආත්ම අදහස හැම විට ම සත්ත්වයන්ගේ සන්තාන තුළ අප්රහීණ අවස්ථාවේ පවතියි. භව තෘෂ්ණාව නිසා හැම මොහොතේ ම භවය නම් වූ නාමරූප පතමින් සිටින්නාක් මෙන් ද, අවිද්යාව නම් අන්ධකාරය නිසා හැම කල්හි නාමරූප ධර්ම පිළිබඳ අනවබෝධයෙන් මුළා වී සිටින්නාක් මෙන් ද සත්ත්වයා “මම සිටිමි”, “මාගේ ආත්මය පවතියි”, “මම ජීවත් වෙමි”, “මම ක්රියා කරමි” යනාදි ලෙසට හැමවිට ම ආත්මග්රාහයෙන් යුතුව ම දිවි ගෙවයි. ආත්මග්රාහය කිසි විටෙකත් අත් නොහරියි. එසේ හැම කල්හි පවතින ආත්ම දර්ශනයෙහි දුරු නොවූ අවස්ථාව “අප්රහීණ සක්කාය දෘෂ්ටිය” යි. එය ම ස්වභාවයෙන් බලවත් බැවිනුත් හැම විට ම චෛතසික ධර්මයක් ලෙස සිතෙහි හට ගැනීමට සූදානම්ව සිටින බැවිනුත් “දෘෂ්ට්යානුශය” නමුදු වේ.
සක්කාය දෘෂ්ටිය විසින් “මම”, “මාගේ ආත්මය”, “සත්ත්වයා”, “පුද්ගලයා”, හෝ “ජීවය” යයි සලකනු ලබන දෙය සත්ත්වයන්ගේ සාරය යි. එය සත්කාය දෘෂ්ටියේ අරමුණ යි. වස්තුවක සාරය, එය යම් නමකින් හැඳින්වීමට ප්රධාන හේතුවකි. සාරය අනන්යතාවයේ හේතුවකි. ලී පුටුව ලී පුටුවක් වන්නේ ලීය නමැති සාරය නිසා ය. ලී පුටුව යම්තාක් කාලයක් ලී පුටුවක් ලෙස පවතියි නම් ඒ එහි ලී සාරය පවතින නිසා ය. පුටුවේ සාරය ලී නොවන සාරයක් බවට පත් නොවන තාක් පුටුව ලී පුටුවකි. ලීයේ යම් යම් වෙනස්කම් ඇති වුව ද ලී බව වෙනස් නොවන තාක් එහි ලී සාරය ඇත යයි සැලකිය යුතු ය. ලී සාරය දිගටම පවතින තෙක් ලී පුටුවේ ලී පුටු බව රැකේ. එසේ ම සත්ත්වයා සත්ත්වයෙක් වන්නේ සත්ත්ව සාරය නිසා ය. සත්ත්වයා යම් කාලයක් පුරාවට එක ම සත්ත්වයෙක් ලෙස ජීවත් වේ නම් ඒ සත්ත්ව සාරය එම කාලය පුරාවට පවතින බැවිනි. සත්ත්වයාගේ එම සාරය සත්ත්ව නොවන සාරයක් බවට පත් නොවන තාක් සත්ත්වයා සත්ත්වයෙක් වෙයි. යම් සත්ත්වයෙක් එම සත්ත්වයා ම වී පවතින්නේ ස්වකීය සත්ත්ව සාරය වෙනත් සත්ත්ව සාරයක් බවට පරිවර්තනය නොවන නිසා ය. සත්ත්වයෙකුගේ සත්ත්ව සාරය වෙනත් සත්ත්ව සාරයක් බවට පත් වුවහොත් එම සත්ත්වයාගේ අනන්යතාවය වෙනස් වේ. යම් යම් වෙනස්කම් වලට භාජනය වුව ද සත්ත්වයාගේ සත්ත්ව බව පවතින තාක් එක් සත්ත්වයෙක් එම සත්ත්වයා ම ලෙස සලකනු ලැබේ. සත්ත්වයා තුළ ඇත යයි සලකනු ලබන මේ සාරය සත්ත්වයාගේ ආත්මය නමුදු වේ.
සත්ත්වයාගේ අනන්යතාවය නොවෙනස්ව හැම කල්හි හෝ යම් කාලයක් පුරාවට හෝ පවතියි යි සලකනු ලබන්නේ නම් සත්ත්වයාගේ අනන්යතාවය සුරකින මෙම “සාරය” ද සදාතනිකව හෝ යම් කාලයක් පුරාවට නොවෙනස්ව එක ම දෙයක් ලෙස පැවතිය යුතුය. සාරය නොවෙනස්ව පවතින තාක් සත්ත්වයාගේ අනන්යතාවය සුරැකී පවතියි. සත්ත්වයෙක් “ජීවිතය පුරාවට මම ජීවත් වෙමි” යි සිතන්නේත් “උපන්නා වූ මම වර්ෂ අසූවක් ජීවත් වී මිය යන්නෙමි” යි සිතන්නේත්, “මම මිය ගොස් සසර නැවත භවයක උපදින්නෙමි” යි සිතන්නේත්, “මම මේ භවයෙන් චුතව අපායට හෝ දිව්ය ලෝකයකට යන්නෙමි” යි සිතන්නේත් මෙම සාරය නොවෙනස්ව එකම දෙයක් ලෙස පවතින්නක් යයි සලකනු ලබන නිසා ය. සත්කාය දෘෂ්ටිය විසින් “මම”, “මාගේ ආත්මය”, “මාගේ ජීවය” යනාදි ලෙසට සලකනු ලබන්නේ මෙම සාරය යි.
ඇතැමෙක් මෙම සාරය ජීවිතයක් පුරාවට පැවත මරණයේ දී කෙළවර වන්නේ යයි සලකති:- “යතො ඛො, භො, අයං අත්තා රූපී චාතුමහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොති” (බ්රහ්මජාල සූත්රය). ෂඩ්ශාස්තෘවරුන් අතුරෙහි වූ මක්ඛලීගෝසාල, සසර කල්ප අසූහාර ලක්ෂයක් සැරිසරා සත්ත්වයාගේ සාරය ඉබේ ම විනාශ වන්නේ යයි පැවසීය (සාමඤ්ඤඵල සූත්රය). ඇතැම් දාර්ශනිකයෝ ඇතැම් දිව්ය බ්රහ්මාදි භවවල උපත ලැබූ පසු එම භව අවසානයෙහි දී සත්ත්වයාගේ සාරය විනාශ වේ යයි සැලකූහ:- “අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි, නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා දිබ්බො රූපී කාමාවචරො කබළීකාරාහාරභක්ඛො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොති” (බ්රහ්මජාල සූත්රය). බුද්ධ කාලයෙහි විසූ යමක භික්ෂුව ක්ලේශ ප්රහාණය කළ පසු සත්ත්වයාගේ සාරය මරණයෙන් සිඳේ යයි ද සැලකීය:- “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා” (යමක සූත්රය). ඇතැමෙක් සත්ත්වයෙකුගේ එක් භවයක සාරය අනෙක් භවයේ සාරයෙන් වෙනස් වූවක් සේ ද සැලකූහ. එනම් එක් භවයක සාරය මරණයෙන් විනාශ වන අතර එම සාරය විසින් භවය තුළ කරන ලද කුසලාකුශල කර්ම නිසා අලුතින් සාරයක් නව භවයක හට ගන්නේ යයි පැවසූහ. “පරං කතං දුක්ඛං” යනු මෙම දර්ශන වාදයයි. මේ සියලු දර්ශනවලින් සාරය නම් වූ ආත්මයේ විනාශය දකින නිසා ඒ සියලු දර්ශනවාද උච්ඡේද දෘෂ්ටිය නම් වේ.
තවත් දාර්ශනිකයෝ සාරය කිසිදාක විනාශ නොවන බවත් හැම කල්හි ම සසර සැරිසරමින් පවතින බවත් සැලකූහ:- “සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො, තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං.” (බ්රහ්මජාල සූත්රය). සියලු ආත්ම සාරයන්ගේ මව්සාරයක් ඇති අතර තමන්ගේ ආත්මසාරය එම මව්සාරය සමඟ එක් වීම ම විමෝක්ෂය බව උපනිෂද් දර්ශනයේ සඳහන් වේ. තමන්ගේ ආත්මසාරය මව්සාරයෙන් වෙනස් නොවූවක් ලෙස අවබෝධ කිරීම එම මෝක්ෂයට මාර්ගය යි. තවත් සමහර ශාස්තෘවරු සත්ත්වයාගේ ආත්මයේ ක්රියා කලාපය විමසා බලා එම ආත්මය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් විසින් ගනු ලබන තීරණයක් අනුව සත්ත්වයාගේ ආත්මසාරය සදාකාලික ස්වර්ගයකට හෝ නිරයකට යන බව සැලකූහ. ක්රිස්තියානි, ඉස්ලාම් ආදි දේවවාදි ආගම්වල මෙම අදහස දැක්වේ. කියන ලද මේ දර්ශන සියල්ල සදාතනික ආත්මයක් ගැන පවසන නිසා ශාශ්වත දෘෂ්ටිය නම් වේ.
ලෝක සත්ත්වයා බොහෝ සෙයින් යථෝක්ත දර්ශන දෙකෙන් එකකට බැසගෙන සිටිති. එබැවින් කච්චානගොත්ත සූත්රයේ දී තථාගතයන් වහන්සේ මෙසේ පැවසූහ:- ‘ද්වයනිස්සිතො ඛ්වායං, කච්චාන, ලොකො යෙභුය්යෙන - අත්ථිතඤ්චෙව නත්ථිතඤ්ච” - “කච්චාන, ලෝක සත්ත්වයා බොහෝ සෙයින් දර්ශනවාද දෙකක් නිශ්රය කොට ගෙන වාසය කරති. ඒ, සදාතනික ආත්මයක් මරණින් පසු ඇත යන ‘ඇති බව’ යන දෘෂ්ටිය සහ ‘මරණින් මතු හෝ යම් කලෙක දී ආත්මය විනාශ වේ’ යන ‘නැති බව’ යන දෘෂ්ටිය යි” (කච්චානගොත්ත සූත්රය).
තථාගතයන් වහන්සේගේ දේශනාව මෙම දර්ශන දෙකෙන් වෙනස් වූවකි. භවයක් පුරාවට හෝ සසර යම් කාලයක් පුරාවට හෝ සදාතනිකව හෝ නොවෙනස්වන සාරයක් පැනවිය නොහැකි බව, එනම්, එබඳු සාරයක් විද්යමාන නොවන බව තථාගත දේශනාව යි. සාරය නුවණින් සෙවූ මහා බෝධිසත්ත්වයන්ට හමුවූයේ තමන්ට ආවේණික ලක්ෂණ දරන හේතූන් නිසා හට ගන්නා වූ මොහොතක් මොහොතක් පාසා ඉපිද බිඳෙන්නා වූ කායික මානසික දුඃඛයන්ට හේතු වන ධර්ම සමූහයකි. ඒවා නාම රූප නම් වේ. එකදු නාම රූපයක් සාරය ලෙස සැලකිය නොහැකි බවත් නාම රූප නොවෙනස්වන සාරයකින් තොර බවත් නාම රූපයන්ගෙන් අන්ය වූ සාරයක් කියා දෙයක් නැති බවත් මහාබෝධිසත්ත්වයෝ තම අවබෝධ ඥානයෙන් දුටුවහ. එනම් විසිදෙවැදෑරුම් සත්කාය දෘෂ්ටිය මුළාවක් බව උන්වහන්සේ අවබෝධ කළහ. ආත්ම සාරයක් නොමැති කල්හි සදාතනිකව භවයෙන් භවයට සැරිසරමින් පවතින හෝ මව්සාරය සමඟ එකතු වන හෝ සදාතනික ස්වර්ගයකට හෝ නිරයකට යන හෝ සාරයක් නොමැති බව තථාගතයන් වහන්සේ වදාළහ. සාරයක් නොමැති කල්හි සාරය දිනෙක විනාශ වීම පිළිබඳ කථාවක් ද නොමැත. එබැවින් තථාගතයන් වහන්සේ උච්ඡේදයට හෝ ශාස්වතයට නොවැටී ධර්මය දේශනා කළ සේක. ඒ අනුව යමින් බ්රහ්මජාල සූත්රයේ දී තථාගතයෝ දෙසැටක් දර්ශනවාද ද ප්රතික්ෂේප කළහ.
සමහර දාර්ශනිකයෝ නොවෙනස්ව යම් කාලයක් හෝ සදාතනිකව හෝ පවතින සාරයක් නැති බව දුටුවහ. පර්යේෂණ වලින් ලබා ගත් තොරතුරු අනුව ආත්ම සාරයක පැවැත්මට හේතු නැති බව පැවසූහ. පවතින්නේ නිස්සාර වූ ධර්ම සමූහයක් බවත් සත්ත්වයා යනු එම ධර්ම සමූහය කෙරෙහි පවතින ව්යවහාර මාත්රයක් පමණක් බවත් දුටුවහ. නමුත් එම නිස්සාර ධර්ම සමූහය නිසා තවත් නිස්සාර ධර්ම සමූහයක් මරණින් මතු හට ගැනීමක් විය නොහැකි බව පැවසූහ. ඔවුහු පූර්ව භවයක් හෝ පසු භවයක් නොමැති බවත් හුදු වර්තමාන භවය පමණක් ඇති බවත් සැලකූහ. ඔවුන් අතුරින් ඇතැමෙක් භෞතිකවාදීහු වෙති. භෞතිකවාදීහු සියල්ලෝ ම පාහේ මරණින් මතු උත්පත්තිය විශ්වාස නොකරති. ද්විත්වවාදීන් අතුරින් ද ඇතැමෙක් මෙම අදහස දරති.
අනාත්මවාදී වූ, පරලෝකය නොඅදහන අය අතුරින් බොහෝ දෙනා නාම ධර්මවල විද්යමානත්වය ප්රතික්ෂේප කරති (materialists). ඇතැමෙක් නාම ධර්ම රූපයෙන් අන්ය වූ වෙන ම ධර්ම ලෙස නොසලකති, රූපයේ ම අතුරු ඵලයක් ලෙස සලකති (property dualists and epiphenomenalists). නාම ධර්මය විද්යමාන වූවක් මෙන් ම රූපයෙන් අන්ය වූවක් ද ලෙස සලකන ඇතැමුන් පවා පුනර්භවයකට හේතු නොදකිති (certain substantial dualists). සාරයක් නොපිළිගත්ත ද මරණින් මතු අලුතින් ධර්මයන්ගේ හට ගැනීමක් ගැන කථා නොකරන මෙම දර්ශන සියල්ල ද “නත්ථිකා” යන දර්ශනයට ම වැටේ. එනම් උච්ඡේදවාදය යි. මෙම දර්ශන උච්ඡේදවාදයට යන්නේ ආත්මය නම් වූ සාරය යම් කලෙක සිඳේ යයි සලකන නිසා නොව, මරණින් මතු නැවත අලුතින් ධර්ම හට නොගන්නේ යයි සලකන නිසා ය. මෙලොව පවතින ධර්ම සමූහය හෝ ධර්ම පරම්පරාව මරණයත් සමඟ සිඳේ යයි එම දර්ශනවලින් කියවේ.
තථාගතයන් වහන්සේගේ ධර්මය මෙයින් ද අන්ය වේ. රූපයෙන් අන්ය වූ වෙන ම නාම ධර්මයක පැවැත්මක් තථාගතයන් වහන්සේ දේශනා කළහ. එම නාම ධර්මය රූපය ඇසුරු කර ගෙන පැවතිය ද රූපයෙන් අන්ය වූ වෙන ම ධර්මයකි. එක් ජීවිතයක පවතින නාම ධර්මය ක්ෂණයකින් බිඳී අතුරුදහන් වෙයි. නමුත් බිඳී ගිය නාම ධර්මය වෙනුවට අලුතින් නාම ධර්මයක් හට ගනී. එම නාම ධර්මය ද ක්ෂණයකින් බිඳී යයි. ඒ වෙනුවට අභිනව නාම ධර්මයක් හට ගනී. මෙසේ පවතින්නේ නාම ධර්මයේ පරම්පරාවකි. නමුත් එක් වර පවතින්නේ එක් නාම ධර්මයක් (චිත්තෝත්පාදයක්) පමණකි. මොහොතක් මොහොතක් පාසා බිඳී යන නාම ධර්ම පරම්පරාව සාරයක් නොවේ, ආත්මයක් නොවේ. එසේ වුව ද මරණයට පත් වන විට ජීවිතයේ අවසාන නාම ධර්මය බිඳී ගිය පසු අප්රහීණ ක්ලේශ (අවිද්යා, තෘෂ්ණා සහ දෘෂ්ටි) සහ ශේෂ වූ කර්ම වේගය යන ප්රධාන හේතු දෙක නිසා ක්ෂණයකින් අලුත් නාම ධර්මයක් හට ගනී. බොහෝ විට ඒ වෙනත් ස්ථානයක ය. එසේ අභිනව නාම ධර්මයක පහළ වීම මතු ඉපදීම යි. නව නාම ධර්මය ද ක්ෂණයකින් බිඳී අතුරුදහන් වෙයි. ඒ වෙනුවට නැවත අලුතින් නාම ධර්මයක් හට ගනී. එය ද බිඳී ගොස් තවත් නාම ධර්මයක් හට ගනී. අභිනව භවයේ ද නාම ධර්මය පරම්පරාවක් ලෙස ම පවතියි. එසේ පවතින නාම ධර්ම ද සාරයක් නොවේ, ආත්මයක් නොවේ. මෙසේ නිස්සාර වූ ධර්ම සමූහයක් කර්ම ක්ලේශ හේතූන් ඇති කල්හි පරම්පරා වශයෙන් දිගින් දිගට ම පවතින බව තථාගත දේශනාව යි. ඒ අනුව යථෝක්ත දර්ශනවාදවලින් ද තථාගත දේශනාව වෙනස් වේ.
තථාගත දේශනාව අනුව එක් භවයක් තුළ රූප ධර්ම ද ඉපදෙමින් බිඳෙමින් පරම්පරා වශයෙන් පවතියි. එබැවින් රූප ධර්ම ද සාරයක් නොවේ. අප්රහීණ ක්ලේශ සහ ඉතිරි වූ කර්ම වේග නිසා අභිනව භවයෙහි ද රූප හට ගනියි. එසේ වුව ද නාම ධර්ම මෙන් එක් භවයක රූප තවත් භවයක රූප සමඟ පරම්පරා වශයෙන් සම්බන්ධ නොවේ. අලුත් භවයෙහි රූප ධර්ම ඉපදෙමින් බිඳෙමින් පූර්ව භවයෙන් වෙන් වූ වෙන ම ධර්ම පරම්පරාවක් ලෙස පවතියි. අභිනව භවයේ රූප ධර්ම ද ඉපදෙමින් බිඳෙමින් පවතින නිසා සාරයක් නොවේ. ආත්මයක් නොවේ.
කර්ම ක්ලේශ යන හේතූන් ඇති කල්හි මරණින් මතු නිස්සාර ධර්ම අලුතින් හට ගෙන මරණයට පෙර පැවති නිස්සාර ධර්මයන්ගේ පරම්පරාව මරණින් මතු ද දිගින් දිගට අඛණ්ඩව පවතින්නේ යයි සඳහන් කරන තථාගතයන් වහන්සේගේ දේශනාව වූ කලී මුලින් සඳහන් කළ සාරයේ විනාශය පනවන උච්ඡේද දර්ශනයෙන් ද බොහෝ සෙයින් වෙනස් වූවකි.
එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක:-
‘සබ්බං අත්ථී’ති ඛො, කච්චාන, අයමෙකො අන්තො. ‘සබ්බං නත්ථී’ති අයං දුතියො අන්තො. එතෙ තෙ, කච්චාන, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති.
සදාතනික සාරයක්, දිනෙක විනාශ වන සාරයක් හෝ මරණින් අවසන් වන නිස්සාර ධර්ම සමූහයක් ගැන දේශනා නොකළ තථාගතයන් වහන්සේ මොහොතක් මොහොතක් පාසා හට ගනිමින් බිඳෙමින් පවතින නිස්සාර ධර්ම සමූහයක පරම්පරාව කර්ම ක්ලේශ යන හේතූන් ඇති කල්හි මරණයෙන් නතර නොවී අඛණ්ඩව පවතින බව දේශනා කළ සේක. එය ම අනාත්ම ලක්ෂණ සංඛ්යාත ධර්ම නියාම දේශනාව යි. අනාත්ම භව චක්ර දේශනාව යි. සංසාර ප්රවෘත්ති දේශනාව යි. ත්රිවිධ වෘත්ත දේශනාව යි. ප්රතීත්යසමුත්පාද දේශනාව යි. අනාත්ම ලක්ෂණ සංඛ්යාත පරම ගම්භීර ප්රතීත්යසමුත්පාද ධර්ම නියාමය ස්වයංජාත ඥානයෙන් අවබෝධ කොට අන්ය සත්ත්වයන්ට ද අවබෝධ වන ආකාරයෙන් දේශනා කළ බැවින් ම තථාගතයෝ සම්මාසම්බුද්ධ නම් වූහ. එසේ හෙයින් ම අටුවාවල “අනත්තලක්ඛණඤ්ඤාපනඤ්හි අඤ්ඤස්ස කස්සචි අවිසයො, සබ්බඤ්ඤුබුද්ධානමෙව විසයො” යයි පවසන ලදී.
මෙම ගැඹුරු ධර්මය ප්රත්යක්ෂව අවබෝධ කර ගත් කල්හි ම අප්රහීණ සත්කාය දෘෂ්ටිය දුරු වන්නේ ය. දෘෂ්ට්යානුශය ප්රහාණය වන්නේ ය. අප්රහීණ සත්කාය දෘෂ්ටිය දුරු කළ කල්හි ම සත්ත්වයා ලාමක පෘථග්ජනගෝත්රය ඉක්මවා උතුම් ආර්ය්යගෝත්රයට පැමිණියේ වෙයි. ආර්ය්යයෝ හැම කල්හි සත්කාය දෘෂ්ටියෙන් වෙන් වූවෝ වෙති, තොර වූවෝ වෙති. නැවත උපත ලැබුව ද ඔවුහු දෘෂ්ට්යානුශයෙන් තොරව ම උපදිති. ඔවුන් කෙරෙහි අල්ප මාත්ර වූ ද සත්කාය දෘෂ්ටියක් ඉතිරිව නැත. සත්කාය දෘෂ්ටිය නැති වන මොහොතේ ම ශාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක ද දුරුව යයි. පෘථග්ජනයාට ඇති භාරදූර ම කර්තව්යය තම සන්තානයේ නිධානගත අප්රහීණ සත්කාය දෘෂ්ටිය දුරු කිරීම යි. එම කර්තව්යය සම්පාදනය කළ හැක්කේ ධර්මයන්ගේ අසාර බව, නිස්සාර බව හෙවත් අනාත්ම ලක්ෂණය දත් අයෙකුට පමණි. පරතෝඝෝෂය තුළින් ධර්මයන්ගේ අසාර බව උගත් අයෙකුට ම පමණි. එම භාරදූර කර්තව්යය තරමක් පහසු කිරීම සඳහා ලියවුණු මාහැඟි ග්රන්ථයකි අනත්තදීපනිය.
බුරුම රට “මොන් ය්වා” ග්රාමයෙහි “ලේඩී” නම් වන සෙනසුනෙහි වැඩ වාසය කළ ථේරවාද ශාසනයෙහි හැම කල්හි බබලන නොනිමෙන පහන් තරුවක් බඳු සකල පර්යාප්ති ප්රතිපත්ති ධර “ලේඩී සයාඩෝ” නමින් පැතිරුණු යශස් ශ්රී ඇති අග්ගමහා පණ්ඩිත ඤාණධජාභිධාන මහා තෙරුන් විසින් රචිත අනත්තදීපනී නම් ග්රන්ථය සත්කාය දෘෂ්ටිය ප්රහාණයට මඟ කියා දෙන හස්තසාර ග්රන්ථ මාණික්යයකි. ධර්මය ගැන ගැඹුරු දැනුමක් නැති ගිහි පින්වතුන්ට පවා මෙම ග්රන්ථය පරිශීලනය කොට පිරිසිදු අවබෝධයක් ලබා ගෙන අනාත්ම ලක්ෂණ විදර්ශනාව මැනවින් ප්රගුණ කිරීමට හැක. මෙම ග්රන්ථය කියවීම් මාත්රය පවා විදර්ශනා ඥාන අභිවර්ධනයට උපකාරක බව කිව යුතුය. තථාගත ධර්මය ගැන අතිශය පුළුල්, අතිශය ගැඹුරු අවබෝධ ඥානයකින් හෙබි පරමත්ථදීපනී, අනුදීපනී, නිරුත්තිදීපනී වැනි මහානීය ග්රන්ථ රචනා කොට තම ඥාන මහිමය ලොවට ප්රකට කළ, තම ඥානාලෝකයෙන් වේනෙය්ය ජන සන්තාන ඒකාලෝක කළ මහා තෙරුන් වහන්සේ නමක් අතින් මේසා ගැඹුරු විෂයක් සරල ලෙසින් විග්රහ වූ ග්රන්ථයක් රචනා වී තිබීම ථේරවාදය රුචි කරන, ථේරවාදයට ගරු කරන හැමගේ වාසනාවකි. විදසුන් වැඩීමට වෙර දරන හැම දෙනා මෙම ග්රන්ථය ආදරයෙන් ගෞරවයෙන් පරිශීලනය කරත්වා!
බුරුම බසින් ලියවුනු අනත්තදීපනී නම් හස්තසාර ග්රන්ථය සිංහල බසට පරිවර්තනය වූයේ එයට ඉහළ ම සුදුස්සා අතින් බව අපගේ හැඟීම යි. බුරුම රට සාසනධජ ධම්මාචරිය විභාගය සමර්ථ වී සිටින, එමෙන් ම සක්යසීහ ධම්මාචරිය නම් මණ්ඩලේ නුවර අභිවංස විභාගයෙහි මූලික අදියර සියල්ල සහ අවසාන අදියරෙහි විභාග තුනෙන් එකක් සමර්ථ වී සිටින බුරුම බස පිළිබඳ ඉහළ පරිචයක් ඇති විජිතානන්දාභිවංස ස්වාමීන් වහන්සේ අතින් මෙම ග්රන්ථය ලියවීම සිංහල බස කථාකරන, ථේරවාද ධර්මය රුචි කරන අප හැමගේ භාග්යයකි. අපගේ ශිෂ්යරත්නයක් ද වන විජිතානන්ද