පූජාවලිය - වේරගොඩ අමරමෝලි හිමි.pdf
- කතෘ :
- බුද්ධපුත්‍ර හිමි
- පිටු ගණන :
- 975
- බාගත කිරීම් ගණන :
- 1,105
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-07-26
- ගොනුවේ ප්‍රමාණය :
- 2.2 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පූජාවලිය යනු දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද විශිෂ්ට සම්භාව්‍ය සිංහල බෞද්ධ ග්රන්ථයකි. දෙවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහි (ක්‍රි.ව. 1250-1285) දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙන්, ‘ඉතිපි සො භගවා අරහං’ යන නව අරහාදී බුදුගුණ පාඨයේ ‘අරහං’ ගුණය විස්තර කරමින් මෙම ධර්ම ග්‍රන්ථය රචනා කර ඇත. සම්බුදුරජාණන් වහන්සේ ලද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් විස්තර කෙරෙන බැවින් මෙය පූජාවලිය නම් විය.
මෙම සංස්කරණය අතිපූජ්‍ය වේරගොඩ අමරමෝලි හිමිපාණන් විසින් සංස්කරණය කරන ලද්දකි. මෙහි බුද්ධ චරිතය, ශ්‍රාවක චරිත, ජාතක කථා පුවත් මෙන්ම ලක්දිව බුදුසසුන පිහිටුවීම සහ සිංහල රාජාවලිය පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිච්ඡේද 34කින් සමන්විත වේ.
- පූජා සංග්‍රහ කථා හා අභිනීහාර මඟුල් පූජා
- බෝධිසම්භාර, විවරණ හා ජාතිභේද පූජා
- මහභිනික්මන්, බෝධිමණ්ඩල හා සාධුනාද පූජා
- ඉසිපතනාරාම, වේළුවනාරාම, නිග්‍රෝධාරාම හා ජේතවනාරාම පූජා
- යමක ප්‍රාතිහාර්‍ය්‍ය හා දේවෝරෝහණ පූජා
- උද්දේශික පූජා හා සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා
සංඥාපනය.
මේ පූජාවලි නම් ග්‍රන්ථය වනාහි සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මුලප්රණිධියෙහි පටන් ද බුද්ධත්වයෙන් එක්දහස් අටසිය නව වසක් මුළුල්ලෙහි ද සනරාමර සකල ලෝකයා විසින් අතිශය උත්කර්ෂවත් භාවයෙන් යෙදී සිදු කරණ ලද ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳ ‘ආවලිය’ මෙහි සන්දර්ශනය වශයෙන් දැක්වෙන හෙයින් ‘පූජාවලි’ නම් විශේෂ නාමයකින් යුක්ත වූයේ ‘අර්හත් ගුණ වර්ණනා’ නම් අපර නාමධෙයයක් ද ඇති වූවකි.
“අප මහ රජහට බෝධිසත්ව පාරමිතායෙන් යෙදුනා වූ බණක් වදාළ මැනව” යි කරණ ලද දෙවප්‍රතිරාජ මහ ඇමති තුමන්ගේ අරාධනාව පිළිගත් ‘මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙය ‘ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො’, යනාදි නවගුණ පාඨයට ඇතුළත් ‘අරහං’ යන පදය ගෙන එය සුකෝමල හෙලු බසින් වර්ණනා කිරීම් මුඛයෙන් රචනා කළහ.
යථෝක්ත බුද්ධපුත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වනාහි මහ පැරකුම්බා රජතුමන් විසින් කරවන ලද පොළොන්නරු ජේතවන මහා විහාරයෙහි අධිපතිව වැඩ සිටියා වූ ත්‍රිපිටක ධර්මයෙහිද තදන්‍ය ශාස්ත්‍ර විෂයෙහි ද පරතෙර පැමිණියා වූ ටීකාචාර්‍ය්‍ය ශාරීපුත්‍ර සද්ධර්මරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ ගණවැසි වංශාභිජාත මහනෙත් පාමුල සුමංගල මාහිමියන්ගේ සොහොයුරු වූ, එසේම උන්වහන්සේ වෙතින්ම ධර්ම ශාස්ත්‍රය හදාලා වූ ධර්ම ශාස්ත්‍රයෙහි හා තදන්‍ය ශාස්ත්‍රයන්හි පටුතර බුද්ධිමත් වූ බහුශ්‍රුත මහා ස්ථවිරයන් වහන්සේ නමකි. බුදු බැව් පතා ගුණ දහම් පිරීමෙහි නියුක්ත උතුමෙකි. සාමාන්‍ය ලෝක වර්ගයාගේ හිත සැප පිණිස මුන්වහන්සේ විසින් ම යෝගාර්ණවය, ප්‍රයෝග රත්නාවලිය යන වෛද්යක ග්රන්ථයෝද රචිතයහ.
අනුරාධපුරයෙහි බුද්ධදාස රජතුමන් විසින් කරවන ලද මොනර පිරිවෙණ නම් විහාරය ගැන මහාවංසයෙහි සඳහන් වේ. එහෙත් මෙහි සඳහන් වන මයුරපාද පිරිවෙණ එය ම යයි නිශ්චයට නො යා හැකිය. මේ ග්‍රන්ථය නිපදවන කාලයෙහි අනුරාධපුරයෙහි පැවති විහාරායතනාදිය සාකල්‍යයෙන් ම වන බිහි වී ගොස් ය. එසේ ම භික්ෂු පරපුරද සිඳී බිඳී ගොස් ය. පුරා විද්යාධිකාරී උතුමන්ගේ ද අදහස් පරිදි මෙහි සඳහන් මයුරපාද පිරිවෙණ කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් පෙදෙසෙහි පිහිටි වාතගිරි යන අපරනාමයකින් ප්‍රසිද්ධ වාගිරිගල පිහිටියෙකැයි නිශ්චයට යා යුතුව තිබේ. දැනට කැලෑරොදින් ගහන වූ මෙහි වනාහි ගල්ලෙන් පොකුණු ආදි නටබුන්ව ගිය දේ දකින්ට ලැබේ.
පෙර මේ ස්ථානය සිංහල මහා බලකොටුව වශයෙන් ද රක්ෂිත ධනස්ථානය වශයෙන්ද ඇතැම් සිංහල රජවරුන්ට අතිශයින් පිහිට විය. පසුව ආරණ්යායතනයක් බවට පරිවර්තිත වූයේ පූජාවලි නම් ශ්‍රේෂ්ඨ ග්රන්ථ නිෂ්පාදක බුද්ධ පුත්‍ර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජය භූමිය ද විය.
ක්‍රි: ව: 1250 දී ලක් රජයට පැමිණ පන්තිස් වසක් රාජ්‍යය විචාලා වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීය පරාක්‍රමබාහු රජතුමන්ගේ තිස්වන හවුරුද්දෙහි පූජාවලි ග්‍රන්ථය නිමවාලීය යි එහි සඳහන් වේ.
තුන්වැනි විජයබාහු මහා රජතුමන්ගේ පුත් වූ ii පැරකුම්බා රජතුමා දඹදෙණි පුරය රාජධානිය කොට ගෙන ලංකාරාජ්‍ය පදප්‍රාප්ත විය. මේ රජතුමාගෙන් ශාස්ත්‍රයටද ආගමටද සිදු වූ සේවය අනල්ප ය. දඹදෙණි කාලයෙහි නිෂ්පදිත ග්රන්ථයන්ගෙන් මෙකලද ශාස්ත්‍රය උද්දීප්තව පවතී. විසුද්ධි මාර්ග සන්නය මේ රජතුමන්ගේම කෘතියකි. එතුමාගේ ශාස්ත්‍රාගම විෂයෙහි පැවති ඥානය මේ එකම ග්‍රන්ථයෙන් ප්රකාශිතය.
දඹදෙණිය, කුරුණෑගල, කැලණිය, අත්තනගල්ල, වාගිරිගල, බෙන්තොට, තොටගමුව, වැලිගම, දෙවුන්දර ආදී ස්ථානයන්හි පිරිවෙන් විහාර පිහිටුවා මේ රජතුමා ආගමික වර්ධනයද කරවාලීය.
පෙර යා නො හැකිව තිබූ විෂමස්ථානයන්හි මාර්ග ඉදි කරවා ඒදඬු පාලම් සාදවා, තැන් තැන්වල උයන් වතු නිපදවා, වැව් අමුණු බඳවා මහජන සේවයද මැනවින් ඉටු කෙළේය.
දුනුකේවතු පරපුරෙන් පැවත ආවා වූ දෙව ප්රතිරාජ මහ ඇමතිතුමා ද්විතීය පරාක්‍රමබාහු රජතුමන්ගේ ආගමික කෘත්‍ය සංවිධානයෙහි ශ්‍රේෂ්ඨස්ථානය ඉසිලිය. හේ යුද්ධයෙහිද ඉතා දක්ෂයෙකි. චන්ද්‍රභානු හා කළ යුදෙහි දී ඒ බැව් මැනවින් ප්‍රකට විය. අනෝමදස්සී මාහිමියන් කළ සිදත් සඟරාවෙහි මෙසේ ප්රතිරාජ මහ ඇමති තුමාගේ ගුණ වර්ණය දැක්වේ.
“සඳවන සිඳු කිය කුඹුයොන නම සත රා කිවී සෙවෙත තොද වැලිනි යලතො ගො රා අරුණු කිහෙනි වී කෙරළන් ලැබ හුරී රා පැටිවනෙදෙස යුද පතිරජ දිය ඉසු රා”
යනුවෙනි.
එසේම එතුමාගේ තත්වය එහි මෙසේද සඳහන් වේ.
“දකුණලක සියල්-බුජමහවුරෙනි රක්නා, දෙදෙව් රදලගම් විමනග-පතිරජ දෙව් සැරදෙනේ.” යනුයි.
පූජාවලියෙහිද
“................................. මාගේ ඒ අදහස් දැන ලෝවැඩෙහි බැඳෙන ඇමතියෙක් කවරේදෝහෝයි සිතා එකනාලිකේරඵලයක් බුදුබැව් පතාරෝපණය කොට තුන් ඇස්සෙන් තුන් පැලයක් නංවා ගත්